අන්තිමේ මම හිත හදාගත්තා.

ඔට්ටු දාපු සල්ලිවත්, දාලා ගිය ගෑණි වත් ආපහු එන්නැති බව අන්තිමේ තේරුම් ගිය නිසා, මම හිත හදාගන්න තීරණේ කළා. අඩු පාඩු තියෙන්න ඇති. හවස බීලා එන එක ඇත්ත වෙන්න ඇති. ඒත් මම කවදාවත් පමණ ඉක්මවලා බීලවත්, පරදින්න ඔට්ටු දාලවත් නැහැ.

ඒ නිසා අන්තිමේ මම හිත හදාගත්තා.

බාගෙට ලියලා ඉවර වුන කතා කොළ මේසේ හැම තැනම. ඔලුවට මෙලෝ අදහසක් එන්නේ නැති තැන, බාගෙට ලියපු කතන්දර එකින් එක පුරුද්දන්න බැලුවා. ඒත් ඒක එච්චර ලේසි වැඩක් නෙවෙයි. ගින්දරයි වතුරයි එකට පුරුද්දන්න බැහැනේ. මැද්දෙන් ඇතිලියක් හරි මුට්ටියක් හරි තියන්නම වෙනවා. ඒත් මම ලියන්න හිතේ තියාගෙන ඉන්න කතාව කොහොමද මම එකකට එකක් ගැලපෙන්නේ නැත්නම් පුරුද්දන්නේ.

ඔලුවට මෙලෝ අදහසක් එන්නේ නැහැ.

අපේ එකෙක් ඒ ඇයි කියලා ඇහුවම, මම කිව්වා මට රයිටර්ස් බ්ලොක් වෙන්න ඇති කියලා. එතකොට ඌ අහනවා උඹ රයිටර් කෙනෙක් ද කියලා.

මොන ජීවිතද අප්පා මෙව්වා

කඳුළු පනිනකම් හිනා වෙන්න උවමනාව තිබ්බත් සතුට බෙදාගන්න උවමනාම කරන කෙනා මා ගාව නැති නිසා මම හිතේ සතුට බොහෝ වෙලාවට හංග ගන්නවා. කොච්චර ආසාවෙන් හිනාවෙන්න හිතුනත් එයා නැති පාළුව මට තවම දැනෙනවා. ෆෝන් එකේ දාගෙන ඉන්න එයාගේ පින්තුර ටික බල බල හිත තවාගත්තට මොකෝ හිත තාම රිදෙනවා උඹ මගේ ගාව නැති බව දැනුන මුල්ම දවසේ වගේම.

ඒ නිසා අන්තිමේ මම හිත හදාගත්තා.

කොහෙද උඹ ඉන්නේ, මොනවද කරන්නේ, කරදරයක් නැතිව ඉන්නවද , කියලා අහන්න කරන්න උවමනා නැතත් තවමත් හිතට එන්නේ ඒ දේවල්. උදේ 6.45 එන කෝල් එක, රෑ 10.45ට එන කෝල් එක, තොර තෝංචියක් නැතුව කියවන වග විස්තර, කොච්චර ආසාවෙන් අහගෙන හිටියද කියලා දන්නවා නම් උඹ..

ග්ලාස් එකේ පතුල පේන්න ගත්තට පස්සේ ඔලුව ඉස්සුවා. තාමත් බාර් මල්ලි බර්බන් එක අතේ තියාගෙන මම ඉස්සරහ!

සර්ට තව ෂොට් එකක් දාන්නද?

මොකුත් කියන්නේ නැතුව ඉන්නකොට, බුවා අනාරාධිතවම මගේ ග්ලාස් එක ආපහු පිරෙව්වා.
ග්ලාස් එක තාම ඉවර නැහැනේ

ඒ නිසා අන්තිම මම හිත හදාගත්තා.

වෙනදා වගේම Dynamite Jackට මගේ ඔට්ටුව දාලා කැෂියර් එකේ රංජිත්ට සල්ලි නෝට්ටු කොළ දුන්නම මිනිහා මගෙන් මොකටදවත් කියලා අහන්නේ නැතුව, සල්ලි ටික ලාච්චුවේ දාගෙන, කොණ තැලෙන කම් කකා හිටපු පැන්සලෙන් මොනාදෝ ඒ කිළුටු පොතේ ලියාගත්තා. මම මොනාද ලිව්වේ කොච්චර ඔට්ටුව දැම්මද කියලාවත් අහන්න ගියේ නැහැ, මොකද මම දන්නවා මම දාන ඔට්ටු දිනන වග.

මම ඒ වෙනකොට එච්චර දක්ෂ ඔට්ටු කාරයෙක් වෙලා හිටියා.

එහෙම ඔට්ටු දාලා හරි මට ඕනේ වුනේ මගේ හිත හදාගන්න. ඒ වුනාට මොනවා කලත් මගේ හිතේ ඒ අඩුපාඩුව මැකෙන්නේ නැහැ කියල මම දැනගෙන හිටියා, මම හිතන්නේ එයාත් ඒක දන්නවා ඇති.
එක දවසක මේක වුනේ, මම හිතන්නේ ඒක මගේ අන්තිම දවසද දන්නෙත් නැහැ.

වෙනදා වගේම රංජිත්ට සල්ලි දීලා ඔට්ටුව දාලා මම ආවා බාර් එකට මොනා හරි බිලා උගුර පුච්චගන්න. වෙනදා වගේම මගෙන් අවසරයක් නැතුව හිස් වෙන වීදුරු එකින් එක පිරවෙන්න ගත්තා. පිරුන වීදුරු එකින් එක උගුරෙන් පල්ලෙහාට ගලන්නත් ගත්තා.

වෙනදට වඩා මට පොඩ්ඩක් වැඩි වුනු බව මට හිතුනේ සිට් එකෙන් බහින්න හදනකොට. මට අරකිව මතක් වුනා. එකී හිටියා නම් මට මෙහෙම වෙන්නේ නෑනේ කියලා හිතලා මට පට්ට තරහක් ආවා. මම නැගිටින්න හිතනකොටම මහා ජරා ගඳක් තියෙන එවුන් දෙන්නෙක් ඇවිත් මාව අත් දෙකෙන් අල්ලාගෙන ගිහින් එලියට දානවා දැනුනා.

ඒක මහජරා ගඳක්, සුදුළුනු එක්ක අරක්කු කවලම් වෙච්චි. ඇස්දෙක බොඳ වෙලා හිතා ගන්න බැරි විදියට. මුළු ලෝකෙම බොඳයි. මම නැගිටින්න හදනකොටම කොහෙන්දෝ ආපු හෝන් පාරක් මගේ කණ පසාරු කරගෙන ගියා. ඒ එක්කම මට දැනුනේ, අමුතු ගැස්සිල්ලක් එක්ක මාව පාවෙනවා. ඒත් ඒ මිලි තප්පර ගානකට විතරයි.

ඔව් මිලි තප්පර ගානකට විතරයි.

කෑකොස්සන් ගහන එවුන් නැති නෑදෑකම් හදාගෙන මාව බදාගෙන කෑ ගහන එවුන් අස්සෙන් මම නැගිට්ටා. මම දැක්කා මම වගේම එකෙක් බිම බල්ලෙක් වගේ චප්ප වෙලා ඉන්නවා. මම නැගිටලා පාර අයිනට වුනා කාටවත් මාව පෙනුනේ නැහැ.

මම බිත්තියට මුවා වෙලා මොකද වෙන්නේ කියල බලාගෙන ඉන්නකොට මගේ අතේ ඇඟිලි අස්සෙන් අර ගොඩක් කාලෙකට කලින් මට දැනුන ඒ සිනිඳු ඇඟිලි වල අමුතු රස්නේ දැනුනා.

ඒ වෙනකොට කවදාවත් නැතුව මගේ හිත ඉබේටම හැදිලා තිබුණා.

ආපෝ මහත වැඩි නැද්ද?
වැඩියි නං තමයි ඉතිං..
කෑම අඩුකරල ටිකක් දුවන්න.
දුවන්න බෑ දනිස්සෙ අවුලක් තියෙනව.
ඕව නිදහසට හදාගත්තු හේතු
ඔයාගෙ මූන කැතයි. ප්ලාස්ටික් සර්ජරියක් කරගන්න.

මොකෝ මේ ඇඟ පුරා චිත්‍ර
හෙහ්
මේවට කීයක් ගියාද?
මං කැමති නෑ ගනං අහනවට
ආ නිකංද ගහල දුන්නෙ..
නෑ මං කටට ගත්තා
ආහ්

මොනවද මේ පච්චවල තේරුං.. ඔය ටී ෂර්ට් අතට වැහිච්ච එකත් බලමු
ඕන නෑ.. මං ඕව පෙන්නන්න කැමති නෑ
පෙන්නන්න කැමති නැත්තං ඇයි ගැහුවෙ
මගේ සල්ලි.. මගේ ඇඟනෙ
මොනවද ඕවයෙ තේරුං
මේ ලොකු එකේ තේරුම නං පුක නොදී ඉන්නවද කියල. පොඩි එකෙන් කියන්නෙ උඹෙ කට ගඳයි කියල.

මොකද්ද රස්සාව?
මේ පත්තරේක
ආහ්.. එහෙනං අපිට ඇඩ් එකක් දාගන්න පුළුවන්
ඔයා බඩුවක්ද?
නෑ ඉතිං පත්තරේ මොකෝ කරන්නෙ?
ලියනව
ආ... මොකෝ මේ දවස්වල දේශපාලනේ ගැන හිතන්නෙ.
ඉස්සර වගේම කැතයි කියල තමයි හිතෙන්නෙ

දැන් ඔය පත්තර රස්සාවෙන් හම්බෙන සල්ලි ඇතිද?
ඇති
ආ ඒ කියන්නෙ ලක්ෂයක් විතර හම්බෙනව ඇති
ඒ ඉස්සර දැන් ඊට වැඩියි
ආ... අපෙත් දුවෙක් ඉන්නව දාගන්න බැරිවෙයිද?
දාමු.. ඕගොල්ලො ගෙදර නැති වෙලාවක් කියන්නකො

අපි දැක්ක බැන්දයි කියල
ආ ඔවු .. ගිය අවුරුද්දෙ
තාම ළමයෙක් එහෙම නෑ?
ඉන්නව. කොල්ලෙක්
ආනේ ඇයි හදිස්සි වුනේ
කොන්ඩම් එකේ හිලක් තිබ්බනෙ
ආ...
තව එකෙක් හදන්නෙ නෑ?
මම එක්කෙනාගෙන් එකයි හදන්නෙ. ඔයාලගෙ දුවෙක් හිටිය නේද කසාදයක් නැති. එයා කැමති වෙයිද?


මොකද්ද ඔය ෆෝන් එක? චයිනීස්ද?
ඔවු.
විකුණන්නෙ නැද්ද?
ඇඟද? 
අහ්.. නෑ නෑ මේ ෆෝන් එක.
විකුණන්න ඉන්නෙ
මට දෙන්න විස්සකට
අයියෝ ඊයෙ එක්කෙනෙකුට දහයකට දෙන්න පොරොන්දු වුනා.

හැමදාම ඔහොම බොන්නෙපා.
හැමදාම කවුද බිවුවෙ?
කොහොමවුනත් ඔච්චර බොන්නෙපා
හා! ඇයි
මැරිල යයි
ඔය අපේ සීයත් අවුරුදු 105ක්ම හිටියෙ
හැමදාම බිවුවද?
නෑ පොර අනුන්ගෙ බොන නොබොන ඒව නොහොය පාඩුවෙ හිටියනෙ. අකාලෙ මැරුනෙ නෑ.
1 කොටස

 ඩිස්ක්ලේමරය : තත්‍ය ලොකය තුල කිසිඳු චරිතයකට කතානායිකාවගේ චරිතාංග ආරෝපනය කිරීමෙන් පලක් නැති. කාලයත් චින්තනයක් ඊට වඩා උචිත සංවේදනාවකට සිත යෙදවීම තුලින් එයට වඩා මනැස් ප්‍රතිලාහ ලබාගත හැකිය.
Alice Fredenham..
ෂෝ එකට විනාඩි පහකට කලින් එයා ලෑස්ති වෙලා ඉවර වුනේ. ඒ එයාගේ හැටි, මොනම වෙලාවකවත් එයාගේ මූණේ දුකක සේයාවක් වත් දැනෙන්නට ඉඩ තිබ්බේ නෑ, මේකප් එකෙන් ඒ හැම හැඟීමක් ම යටපත් කරන්න එයා උත්සහ ගත්තා.
හරි මට ශෝල් එක දාන්න..!
මා ගාවට ඇවිත් නිකට උස් කරලා උරහිස් වටේට වෙනද වගේම ශෝල් එක දාන්න කියලා කියනකොටත් මම හිටියේ එයා ගැන කල්පනාවක, ඒ ලස්සන ඇස්, පිරුණු පියොවුරු, සිහින් ඉඟ. ආපහු හැරිල බලන්න තරම් ලස්සනට පිහිටලා තියෙන මුහුණ ඒ ලස්සන තවත් දෙගුණ තෙගුණ කලා. මේක්ප් එක දාලා ඉවර උනාට පස්සේ රතුම රතු ලේ පාට ලිප්ස්ටික් එක මුවේ තවරලා අහවර වෙලා යන්තමට මේකප් එකට යටින් පෙනෙන උඩු තොලට උඩින් වම් පැත්තෙන් පිහිටලා තියෙන උපන් ලපය ඉස්මතු වන විදියට ඇහි බැම පාට කරන පැන්සලයෙන් පුංචි තිතක් තියාගන්නත් ඈ අමතක කලේ නෑ.
එහෙම සැරසුනාට පස්සේ ඈ ඇලිස් ෆ්‍රෙඩෙන්හැම් වගේද එහෙම නැත්නම් ඇන්ජෙලා සෙනෙවිරත්න වගේද කියලා කල්පනා කරන්න ගියේ නෑ. මම ආදරය කලේ ඒ මුහුණට ඇත්තට ම.
ඒක මහපුදුමාකාර හැඟීමක්, ආදරේ, ලලාසාව, රාගය, කරුණාව, දුක මේ හැම සංවේදනාවක් ම එකට එකතුවෙලා එක හැඟීමක් හැදෙනවා නම් ඒකට මේ ලෝකේ මම නොදන්න නමක් තියෙනවා නම් ඒ නම ඒකට සුදුසු යැයි මට හිතුනා, මම අදටත් දන්නෑ ඒ ඇයි කියලා. රතු පැහැති උස් අසුනේ ඈ හිඳගෙන මා දිහා බැලුවා, මම හිටියේ තිරයේ දකුණු කෙලවරේ ඉඳන් ඈ දිහා බලාගෙන, ඈ ඒක දන්නවා මම හැමදාම ඉන්න තැන ඒ...
මම හිනා වුනා. මටත් නොදැනිම මගේ මුහුණ අවිඥාණිකව ඈ හා හිනා වුනා. මම ඒක පාලනය කරගන්න උත්සහ කලේ නෑ. එකවරම පසුබිම් සංගීතය නැවතුනා. ඈ හෙමින් හෙමින් සිය හඬ අවදි කලා.!
කල්පාන්තයක සිට නිහඬව ගලායන සිහිනයක අවසාන තත්පරයක දුබලව නැඟී සැලෙනා ප්‍රේම වියෝගයකට හඬක් ඇති නම් ඒ හඬ තමන්ට ආරූඪ කරගෙන ඈ සිය ගැයුම ආරම්භ කලා, කවදාවත් නොවූ අයුරින්..
රතූවූ දෙනෙත්, බමන මනැස්පුත්‍රයින් හා සංවාදයට ලොල්, ශීශාවන්ගේ දුම් වළලු වල අලංකාරය විඳිනා, මනැස් ලෝක වල සංචාරය කරන්නන් එකවරම සිය ගමන්, කතා, විඳීම් නවතා ඈ දෙස බලා සිටින්නට ගත්තා. වීදුරු ගැටෙනා, ගෑරප්පු අතර මස් කැබලි පසාරු කර තසිම් මත ගැටෙනා හඬ නතර වී එකවරම ඈ දෙස බලා හිඳින්නට ගත්තා..
කාල්පනික දුම්වලා මැද්දෙන් සරනා දේවතාවියක මෙන් අප මනස් මාළිගා වල සිය මුදු පා තබා පරිස්සමට ඇවිද යන්නට හුරුකාරියක මෙන් ඈ ගැයුමෙන් ඈ වටා දෑස් දල්වා සිටිනා සියක් දෙනා ගැන බිඳකුදු නොසිතා ඈ සිය ගැයුම කරගෙන යන්නට වුනා.

එහෙත් එකවරම.....
දෙවියනේ මේ මොකෝ උනේ?? ඉක්මනටම වතුර ටිකක් අරන් එන්න, කෝ මේ වේටර් කොලුවා, ඉක්මනට වතුර ටිකක් අරන් වරෙන්, ඈට සිහිය නෑ, කවුරු හරි ඇම්බියුලන්ස් එකකට කතා කරන්න.., දෙවියනේ..????
මම දෑස හරින විටත්, බිම වැටී සිටී ඈ වටා බොහෝ දෙනෙක් වට වී අවසන්,
කරුණාකරලා මට ඉඩ දෙන්න, මම එයාගේ හස්බන්ඩ්, ප්ලීස් පොඩ්ඩක් ඉඩ දෙන්න..!
වටවී සිටිනා එකා දෙන්නා එහා මෙහා කරමින් මම ඈ වෙත යන්නට උත්සහ කලා, මා ඈ වෙත යන විටත් ඇය, ඇස් ඇරගෙන මා දෙසම නෙත් හෙලාගෙන සිටිනවා එක දිගටම, සිහින කඳුලු බින්දුවක් කම්මුල දිගේ ගලා විත් බිම තෙමා තිබුණා..
ඈ සිහිසුන් වෙලා..!
මට හිතුනේ එහෙම. හිතවටා හිසවටා බමන කිසි හේතුවක් හැඟීමක් මනසට ඇතුල් නොවී මහාම කාලකන්ණිම ගුමු ගුමුවක් හිත තුල හොල්මන් කල තප්පර තිහක්. මට දැනුනේ එහෙම.. හැමදේම සිදුවන්නේ මන්ද චලනයෙන්. 

මන්ද චලනයතුල මම අධි ක්‍රියාකාරී වන්නට කොතෙකුත් උත්සහගත්තත් මනුසතෙකු වීමේ පාපය කරණ කොටගෙන මට එසේ කරන්නට නොහැකි වුනා මා තුල උවමනාව තිබුනත් කොතෙකුත්..
නැහැ ඇය මියගිහින්..!
තමන්ගේ සහ කරුවන්ගේ උරහිස් වලට වාරු වෙලා ඇය දෙස බලලා සමහර බවලත්තු තමන්ගේ සැමියන්ගේ කනට කරලා එහෙමත් කිව්වා. මට මොකවත් හිතාගන්න බැහැ. මගේ හිත කාල්පනික රික්තකයක හිරවෙලා වගේ මට දැනෙන්නට වුනා. සියලු ක්‍රියාකාරකම් සැනින් නැවැත් වූ ඒ මහා නිහඬතාව අවටින් සත්‍ය ලෙසම ඇති උනාද නැති නම් මගේ සිතේ වූවා ද කියලා අදටත් මට හිතාගන්න අපහසුයි.
තවමත් ඒ ඇස් මා දිහා බලාගෙන.
ඒ තියුණු ඇස් මා දිහා බලාගෙන. මම ඒ බැල්ම දරාගන්නට බැරුව මගේ දෑස ඉන් ඉවතට ගත්තා. ඒත් ඇය මගේ හිත ඇතුලේ. හදවත මත සුමුදු පාද තබමින් ඇවිදයනවා, මට එය දැනෙනවා.  රික්තකයක සිරවී තිබූ අවකාශය හෙමීට කැරැකෙන්නට පටන් අරගෙන, යොදුනක් ඈතින් මට ඇසෙන්නට වූ මිනිසුන් කතා කරන හඬ මට දැන් ඇසෙන්නේ බොහොම සමීපව.
එක වරම මගේ උරහිස කිසිවෙකු විසින් ස්පර්ශ කරනු දැනෙන්නට වුනා.

*********************
හරි මට ශෝල් එක දාන්න..,
කිසිදු වෙනසක් නොමැතිව ඇය මා ඉදිරිපිට තියෙන වීදුරුවෙන් හැඩ බලනවා.
කෝ ඔයා මොකෝ මේ ශෝල් එක අතේ තියාගෙන ඉන්නේ.., මට දාන්නේ නැද්ද ශෝල් එක?? 
ෂෝ එකට තව පැය කීපයයි තියෙන්නේ, මම ක්‍රිස්ටිනාටත් එන්න එපා කිව්වා, අද පෆොර්ම් කරන්නේ මම විතරයි. 
ඇයි ක්‍රිස්ටිනාට මොකද? 
නැහැ මොකුත් නැහැ. ක්‍රිස්ටිනා අද නිවාඩු ගන්නවා කිව්වා. 
ඇයි ඔයා එකපාරටම එහෙම ඇහුවේ?

මුවේ තවරන්නට බෝතලයෙන් කලතා පොවාගත් ලිප්ස්ටික් පින්සලය තොල මත තබන්නට පෙර ඇය මගේ දෙස බලා ඇසුවේ පුදුමයෙන්.
අද අපි ගෙදර ඉමු. ක්‍රිස්ටිනාට කියන්න ඇවිත් පෆොර්ම් කරන්න කියලා. 
තවමත් කිසිවක් අදහාගත නොහැකිව පුදුමයෙන් මා දෙස ඇය බලා සිටියා. විනාඩි කිහිපයකට කලින් තමා සමඟ සාදයේ ගී ගයන්නට රැගෙන යන්නට එකඟ වූ තමන්ගේ සැමියා මෙහෙම වෙනස් කතාවක් කියනකොට මොන ගෑණිටද පුදුම නොහිතෙන්නේ.

ඇය කිසිත් නොවීමසා අනෙක් ආසනයේ තිබු සිය පසුම්බියෙන් දුරකථනය ගෙන ක්‍රිස්ටිනා වෙත සිය කාර්ය භාර කර ඉන් නිදහස් වුවාය.
එකත් හරි එත් ඔයා මොකද මට එකපාරටම එහෙම කිව්වේ?අද යන්න එපා කියලා..?
මට ඔයා එක්ක නිදහසේ කතා කරන්න ඕනේ..?
නිදහසේ?
මීට කලින් කවදාවත් නොවුන තරමට?
අනේ ඔයා මාව බය කරනවා.., මොකද මේ අමුතු විදියට එක එක කතා කියන්නේ?
කියන්න මට , ඔයා අද යන්න කැමති මොන රෙස්ටුරන්ට් එකටද?
පලවෙනි පාරට අපි දෙන්න මුණ ගැහුණු ඩවුන් ටවුන් එකේ Moschino's රෙස්ටුරන්ට් එකට?
 ඇය කිසිම දෙයක් කියන්නට මත්තේන් මම දුරකථනය අරන් අපේ "ප්‍රියතම" අවන්හලෙන් මේසයක් වෙන් කළා.

 ********************* 

අපි මොශීනොස් වෙත යනකොට ඉදිරිපස ම අප වෙනුවෙන් සුන්දර මේසයක් වෙන්කර තිබුනා. මීනා [ඇගේ නම මම මේ සටහනේ කියන මුල්ම වතාව.] තවමත් කිසිවක් නොකියාම මගේ මඟපෙන්වීම වලට අවනත වෙනවා. එත් ඇයගේ සිතේ අමුතු සතුටක් මෝදුවෙන බව නම් මට හොඳින්ම වැටහුනා.

සෙස්ස පස්සට......
එයා මගේ ලඟට එනකොට මම හිටියේ දහදියෙන් නැහැවිලා, බයට නෙවෙයි ආසාවට, ඒක මගේ පළමු වෙනි වතාව, මම ඈ දෙස බැලුවා, මීට පෙර කිහිපවතාවක්ම මේ දේ කර හුරුපුරුදු බවක් තියෙන බව මට ඇගේ මුහුණෙන් පෙනුණා. ඈගෙන් වහනය උනේ මීට ටික වෙලාවකට කලින් මොනවා හරි සැර බීමවර්ගයක් බීලා ආපු බවක්.

සැපපහසු ජීවිත නෙව.

එකපාරට ඈ මගේ දිහා බැලුවා.

මේ පළවෙනි පාරද?

මම හිස ඉහල සිට පහලට සෙලෙව්වා.. එත් ඒ නිහඬ අභිනයෙන් ඈ තෘප්තිමත් උනේ නැහැ. අය තවත් ප්‍රශ්නයක් අහන්නට මුව උල්කරා,

ටිකක් අමාරුවෙයි, සමහර විට ඉක්මනට බඩු ටික යන්නත් ඉඩ තියෙනවා, නොගියත් කමක් නැහැ, පලවෙනි පාර නිසා සමාවක් දෙන්නම්. දන්නවද ඒක කරන්න?

ඔ..ඔව් කලින් දැකලා තියෙනවා, 

කොහෙන්ද?

ෆිල්ම් වලින්, පත්තර වලින්, යාළුවො එහෙම කියන එව්වයින්. 

කෙල්ලෙක් ඉන්නවද? 

හිටියා දැන් නැහැ. 

එයා එක්ක මේවා කරේ නැද්ද?

මට උවමනාව තිබ්බට එයා බැහැ කිව්වා, මම බලකරන්න ගියේ නැහැ. මගදී වෙන කරදරයක් එහෙම උනොත් කියලා..

කීයක් අතේ තියෙනවද? 

මගේ අතේ තියෙන්නෙම 300යි.

කමක් නැහැ. අදට ඇති, ඒ රියා එක පොඩි නිසා අවුලක් නැහැ, ඔය ගැන ඇති.

කෝකටත් කියල මම ආපහු කියලා දෙන්නම්. 

හා

එහෙනම් හොඳ ළමයා වගේ, පොඩ්ඩක් පහලට නැවිලා ඒ ටික උඩට අරගෙන දෙපැත්තට කරලා එලියට ගන්න

ආ මෙන්න..!

ඔය බෑග් එකේ තියෙන කොස්මැටික් බඩු ගැන ඔක්කොම තොරතුරු මේ පොතේ කියනවා. ඔයාට තියෙන්නේ කවුරු හරි බඩු ගනිද්දී එක ගැන ඇහුවොත් විස්තර ටික ලස්සනට කියලා මේ ෂැම්පු, ක්‍රීම්, සෙන්ට් වර්ග ටික විකුණගෙන එන්නයි.  



(රමණයෙන් බොහෝ දේවල් වලින් කල හැකිය, රමණය බහුඅරුත් පදයක් වන අතර, එහි අරුත් එකකින් එකක් වෙනස් වේ. අර්ථය කුමක් උවත් කතාව රමණීයව පැවසීම කියන්නාගේ වගකීමකි, සම්මා සතියෙන් කියවීමේ වගකීම ඔබ සතුය.)
ඒ මහලු ගොවියා සිය ගොවි බිම් වල තව දුරටත් වැඩකරන්නට තමාට නොහැකි බව දැන සිටියා. 
මේ නිසා ඔහු තම දවසෙන් බොහෝ වෙලාවක් කලේ ඉස්තෝප්පුවේ තබා තිබු අසුනකට වී කාලය ගෙවීමටයි. ඔහුගේ පුතා, සිය පියාගෙන් තමාට අයිති වූ ගොවි බිම්වල වැඩ කටයුතු ඉදිරියට පවත්වාගෙන ගියා. 
එලෙස ඔහු ගොවිබිමේ සිටිමින්ම බොහෝ අවස්ථාවල සිය පියා නිවාස ඉදිරිපිට ඉස්තෝප්පුවේ අසුන්ගෙන සිටිනු දුටුවා. 

 තවදුරටත් ඔහුගෙන් පලක් නැහැ. මොනම දෙයක් වත් කරන්නේ නැහැ නෙව, ඔහේ ඉඳගෙන ඉන්නවා ඇරෙන්ට.. 

පුත්‍රයා සිය පියා ගැන එසේ සිතුවා. සිය පියා මෙලෙස අලසව කාලය ගත කිරීම ගැන ඉවසාගත නොහී, ඉමහත් කෝපයට පත් වූ පුතා, එක දවසක් දැව පෙට්ටිය තැනුවා. කිසිවක් නොකියාම සිය නිවහනේ ඉස්තෝප්පුව මතට දැව පෙට්ටිය ගෙන ආ පුතා සිය පියාට ඊට ඇතුළු වන ලෙස කියා සිටියා. 

කිසිවක් නො ඇසූ පියා ඊට ඇතුළු වූ වහාම මේ පුතා එහි පියන වසා දැමුවා. එලෙස වසා දැමුවේ ඒ පෙට්ටිය ගොවි භුමියේ කොනකට වෙන්නට පිහිටා තිබූ උස බෑවුමෙන් පහලට තල්ලු කරන්නටයි. 

කඳුමුදුනට පෙට්ටියත් ඔසවාගෙන ළඟාවූ වහාම තමා ඔසවාගෙන ආ පෙට්ටිය තුලින් සිහින තට්ටු කරන හඬක් ඇසී පෙට්ටිය බිම තැබු පුතා එහි පියන මඳක් හැර බැලුවා. පියා බොහොම සුවපහසුවේ ඒ වන විටත් පෙට්ටිය තුල වැතිරී සිටියා. 

 "කන්දෙන් පහලට මාව තල්ලු කරන්න කලින් මට උඹට දෙයක් කියන්න අවසරද?" 

මහලු පියා සිය පුත්‍රයාගෙන් අසා සිටියා.. 

මොකද්ද ඒ?? 

 උඹට කැමතිනම් මාව මේ කන්දෙන් පහලට තල්ලු කරලා දාපං. 

පියා පුතාට පැවසුවා.. 

එත් මේ යසට හදපු ලී පෙට්ටිය පරිස්සම් කරලා තියපන්, සමහර විට උඹේ දරුවන්ට මේක පාවිච්චි කරන්න උවමනා වේවි. 

මුලය: 
Zen Stories To Tell Your Neighbors 
[ඔබේ අසල්වැසියන්ට කියාදිය යුතු සෙන් කතන්දර] ඇසුරිනි.