කෙළවරක හිඳිනා මනුස්සයා දිහාවේ බලන්නට තරම් වත් මගේ හිත එකලාසයක් කරගන්න බැරුව හිටියේ..,
යටි හිත මට තවමත් දොස් පවරනවා..!

මෝඩයා.. ඒ කෙල්ල උඹට කැමතියි කියලත් උඹ අහක බලාගත්තා..,
ඉතින් මම මොකෝ කරන්නේ..?? මම ඒ කෙල්ලට අකමැති නිසා, මගේ හිතට බොරු කරන්න බැරි නිසා මම අකමැති වුනා..,
ඒත් ඒ කෙල්ල උඹේ පස්සෙන් කොච්චර ආවද??
ආවා කියලා එහෙමත් කැමති වෙන්න පුලුවන්ද? ලව් කියන්න උඹට ඩීල් එකක් උනාට මට ඩීල් එකක් නෙවෙයි..,
කෙටියෙන් කිව්වොත් උඹ කියන්නේ මම උනාට මම උඹට වඩා වෙනස්..!
මම මගේ හිතට කියා ගත්තා..

පුතා ඇහැලියගොඩට නේද ටිකට් ගත්තේ..?
කෙළවර හිටපු මනුස්සයා මගෙන් ඇහුවා..!

ඔව් ඇයි..?
මම දෙන්න ඕන උත්තරේ වෙනුවට ප්‍රෂ්ණේකින්ම උත්තර දුන්නා..,

නෑ මේ පහුවෙන්නේ කුරුවිට හරිය...ඒකයි..!

සීට් දෙකතුනකට එහායින් කොන්දා මතුවෙලා මගේ දිහාට එන්න ගත්තා.., සමහර විට ඇහැලියගොඩට ටිකට් අරන් කුරුවිට පහු කරන නිසා වෙන්නෑති.., මම පනහේ කොලයක් සාක්කුවෙන් ගත්තා..,

රත්නපුරේ එකක්..!

කොන්දා මගේ දිහා අමුතු විදියට බලලා ටිකට මැශිම එහාට මෙහාට කරකවන්න ගත්තා..,

"ඕක ජපනා හදලා මෙහෙට එව්වේ හොරයක් බොරුවක් වංචාවක් කිසිම කොන්දෙක්ට කරන්න බෑ කියලා ශුවර් කරලා., ගෙනැල්ලා සතියයි.., ඕකේ හිලකට ගිණිකූරු ඔලුවක් ඔබලා ටිකට් අඩුවෙන් කැඩෙන්න අපේ එකෙක් සෙට් කරා..! "

දවසක් අපේ තාත්තා වැඩ කරන මනුස්සයෙක් එක්කලා කියනවා මම අහගෙන..,

ටිකට් එක විතරක් දුන්නු කොන්දා එහා සීට් එකේ හිටපු තොල් රතු කරපු නෝනට ටිකට් දෙන්න ගියා..,

කෝ ඉතුරු??  මම ඇහුවේ කොන්දගෙන්
ගාණ බලන්න..?
49යි
දුන්නේ??
50ක්
රුපියලට මොන ඉතුරුද මහත්තයා..,

කට කොනකින් හිනාවෙන ගමන් කොන්දා කියද්දී.., අර තොල් රතු කරපු ගෑණි කට වහගෙන හිනාවුනා..,

නොසන්ඩාල යක්කු.., ඉතුරු දෙන්න දන්නේ නෑ.., ඊට හපන් උන්ට උඩගෙඩි දෙන්න ඉන්න ගෑණු.., ගෑණු ඉස්සරහ පොර වෙන්න උන් ඉතුරු දෙන්නෑ, ඒ මදිවට පඬි ටෝකුත් දෙනවා

මම මට ම කියාගත්තා..!

පස්සේ ඉන්න මිනිස්සුන්ට ටික දීලා ආපහු ටික වෙලාවකින් කොන්දා මා ඉන්න තැනට ආවා..,
අර ඉස්සරහ ඉන්න නෝන ට මම රුපියල් දෙකක් වැඩිපුර දීලා ආවා.., කැමතිනම් ඉල්ලගන්ඩ..,

මේ ඕයි මම ටිකට් ගත්තේ තමුසේගෙන් මිසක් ඒ නෝනගෙන් නෙවෙයිනේ..,

ඒ වුනාට මහත්තයා, මහත්තයාගේ දිහා බලලා හරි නෝනා ටිකට් එකක් දෙන්න කැමති උනොත්???
මං දන්නෑ..,

දන්නේ නෑ නෙවෙයි මම ඒ නෝනට සල්ලි දුන්නම ඒ නෝනා කිව්වා මට වැඩිපුර රුපියල් දෙකක් ඇවිල්ලා කියලා.., මම කිව්වා රුපියලක් අඩුවෙන් දුන්නු කවුරුවත් ආවොත් මම නෝනා ගාවට එවන්නම් නෝනා එයාට රුපියලක් දෙන්න කියලා.

මූ මහ අමුතු කොන්දෙක්..,

තව හෝල්ට් එකකින් ඒ නෝනා බහිනවා මහත්තෙයා එතෙන්ට දැම්ම ම ගියොත් හොඳයි

මම නැගිටිනකොට මගේ එහා සීට් එකේ හිටපු තොල් රතු කරපු ගෑණි මම ඉන්න තැනට එන්න වටේ තියා ගෙන ඉන්න බෑග් ටික එකතු කරන්න පටන් ගත්තා..,

මහත්තයා මක්කටැයි යන්නේ?

මම යන්නේ රුපියලක් ඉල්ලගන්න..,

මොකටද?

ඒ මගේ ඉතුරු..,

රුපියලට ඔච්චර කෑදරවෙන්න එපා..,

රුපියල උනත් ඒ මගේ සල්ලිනේ, තමුන්ට ඕනේ නෑ ඒ ගැන වද වෙන්න

මමත් මේ මහ කතන්දර කිව්වට මටත් රුපියලක් කියන්නේ මහමෙරක් මහත්තයා..,

තමුන් මොනවද කලේ රුපියලකින් හා කියමු බලන්න.., මම ඒ බවලත් ඇත්තීගෙන් ඇහුවේ වදෙන් බේරෙන්න බැරි තැන.

මොනවද තමුන් කලේ ඒකෙන්..?

රුපියලකින්ද?

ඔව්

රුපියල පාවිච්චි කරලා තමා මම සමහර වෙලාවට අපේ ගේ ඉස්සරහා තියෙන බොක්ස් එකෙන් කෝල් ගන්නේ අපේ රට ඉන්න මහත්තයට..,

රුපියලකින්???

ඔව් ඒ පෝන් පෙට්ටියේ මුලින් රුපියල් පහක් දාලා පස්සේ තව රුපියලක් බාගෙට දාලා වට්ටගන්නේ නැතුව හිට්යම ඕන තරම් වෙලා කෝල් ගන්න පුලුවන්..,

වෙන???

මම මහත්තයා ගැන දන්නේ නෑ.., ඒත් මගේ ජීවිතේට රුපියලක් කියන්නේ මහ මෙරක් වගේ..,

ඒ මොකෝ..?

මම ඉස්සරහ ඉන්න ගෑණුකෙනා ගාවට යන්නේ නැතුව මෙයා ගාවින් ඉඳගත්තේ මේ කතාව අහගන්න උවමනාවෙන්..,

මගේ ළමයට අවුරුදු එකහමාරේදී වලිප්පුව හැදෙන්න ගත්තා.., පස්සේ මම ළඟම තියෙන ඉස්පිරිතාලේට දරුවව වඩාගෙන දුවලා ගිහින් දොස්තරට පෙන්නුවම කිව්වා ඉක්මනට ගිහිල්ලා මේ බේත අරන් එන්න කියලා.., පස්සේ ළමයව ඇඳේ තියලා ගියා බෙහෙත අරන් එන්න.., තුන්ඩුව පාමසියට දීලා බේත ගන්න සල්ලි දුන්නම ඉතුරු දුන්නා මට ඒ මනුස්සයා රුපියලක් වැඩිපුර..,
මම ඒක දැක්කෙත් එළියට ආවට පස්සේ, පස්සේ ඉස්පිරිතාලෙට එනගමනේ මම යනකොට ඔන්න ඉන්නවා සුවිප් කාරයෙක්, මම ටිකැට් එකක් ගන්න පර්ස් එක අදිනකොට සල්ලි තිබ්බේ සන්තකේට ම රුපියල් දහනවයයි.., මොනවා කරන්නද මම ආපහු අකුලගෙන එන්න හදනකොට මට මතක් උනා බේත් තුන්ඩුව අස්සේ රුපියලක් එක්ක නේද මම පපුව අස්සේ ගහගත්තේ කියලා.., පස්සේ ඒක ඇදලා ඒ රුපියත් එක්ක රුපියල් විස්සක් කරලා මම ගත්තා ටිකැට් එක..,

"මේ ගෑනි කියන්නේ බේගලයක්ද මන්දා" මගේ හිත එහෙම කියනවා උනත් මේ කතාව අහන්නේ නැතුව යන්න මොකද්ද වගේ..,

ඉතින්????

ගෙදර ඇවිල්ලා ඉතින් වෙනදා වගේම වැඩ කරගෙන ගියා.., මට ටිකැට් එක ගැන හාංකවිසියක්වත් මතක් උනේ නෑ, දවසක් මම මම පපුවේ ගහං යන හැඹිලිය අරං කඩේට යන්න සල්ලි ගනින්න හදනකොට ඒක අස්සේ තිබිලා වැටුනා මේ ටිකැට් එක.., කඩේට යන ගමන් බැලුවා පත්තරෙන් දිනුම් ඇදීමේ ප්‍රතිපල.., මයේ හිත වාවන්නේ නැතුව ගියා මහත්තයා.., මට ඉංගිරිසි අකුර නැතුව අංක හතර ගැලපිලා..,

හරියටම කෝමද දන්නේ??

ඇයි මාත්තයා ටිකැට් එකේ පස්සේ ගහලා තියෙන්නේ විස්තර..,

ආහ් ඔව් නේද?

ඉතින් ඊට පස්සේ..?

මම ජීවිතේ ගොඩ දාගත්තේ ඊට පස්සේ.., මේ ඔක්කොම මට ඊට පස්සේ ලැබුණ එව්වා.., මනුස්සයෙක්ට පළවෙනි ලස්සේ හම්බු කරන්න තමා අමාරු මහත්තයා, ඊට පස්සේ ඒ මිනිහා දන්නවා කොහොමද ඉතුරු ටික ගොඩ දාගන්නේ කියලා..!

කෝ තාම මහත්තයා අරයාගෙන් සල්ලි ඉල්ලගත්තේ නැද්ද??

ඇහැ කොනට වගේ කිලුටු කහ පාට කමිසය අස්සේ තියෙන ටිකට් මැසිම දිහා බලන්න හදනකොටම මගෙන් කොන්දා එහෙම ඇහුවා..,

එක්කෝ ඕන්නෑ.., මොකටද කියලා හිතුනා..,

කෝමත් මාත්තයාට ඒ නෝනාගෙන් සල්ලි ඉල්ලගන්න ලැබෙන්නේ නෑ,

ඇයි ඒ..?
ඒ නෝනා මීට හෝල්ට් දෙක තුකනකට කලියෙන් බැස්සා.,

ඔහ්! මොනවා කරන්නද..? එහෙනම් තමුසේ වත් දෙනවා මට මගේ රුපියල..,

ආපහු ඉල්ලනවා..,

රුපියල දෙන්න මා ගාව මාරු කාසි නෑ..,

තමුසේලා ඔහොම එන නගින හැම කෙනාගෙන්ම රුපියල සත පනහා ගත්තාම තමුසේලට හාම්පුතාලගෙන් ලැබෙන 10% ට වඩා වැඩි ගාණක් ලැබෙනවනේ ඕයි..,

හීන් හිනාවකුත් එක්කලා කොන්දා මා දිහා බැලුවා..,

මහත්තයා, මේ රුපියලේ වටිනාකම තනියෙන් තියෙද්දී බොහොම අඩු උනාට රුපියලේ ඒවා ගොඩක් එක්කාසු කලාම බොහොම වැඩියි.., ඔහේලාට දැන් මෙහෙම රුපියල ගැන මතක් උනාට, මේ බස් එකට නගින සමහර ඈයෝ රුපියල් 10 අමතක කරලා බහින වෙලාවල් තියෙනවා, ඉතින් අපේ දරු පවුලුත් රැකෙන්නේ ඕකෙන් නිසා තමා අපි මේ රස්සාව තවමත් කරන්නේ..,

මං කිව්වේ මාත්තයා.., දැක්කා නේද රුපියලේ වටිනාකම..,
අපි දන්නේ නෑ සමහර වෙලාවට.., ලොකු ලොකු කෝටි වචන හැන්දෙන්නේ මේ වගේ පොඩි පොඩි රුපියල් වලින් තමා මහත්තයා..,

හා මහවත්ත හෝල්ට් බහින්න.., කෝ කෝ ඉක්මනට බහින්න..,

බස් එක නවත්තපු තැනින් මිනිස්සුන්ව ගන්න කොන්දා එහෙම්මම  ඉස්සරහට ගියා..,

මම ආපහු අර බවලත් ඇත්තී පැත්තට හැරුණා.

ඒ මනුස්සයා කියාපු එකෙත් ලොකු ඇත්තක් තියෙනවා මහත්තයා.., අතේ සල්ලි ගැවසෙන සමහර වෙලාවට ඔය රුපියල අපේ පොකට් එක බර කරන නිකම්ම නිකම් කාසියක් උනාට, ඔය රුපියල නිසා මිනිස්සු කීදාහක් නං අද ජීවත් වෙනවද?

හ්ම් ඒක නම් එහෙම තමා.., මම රුපියල ඉල්ලන්නේ නෑ ඒත්, මේ ඔහේ කියාපු කතාව හින්දා මට රුපියල නැව බහින්න හිත්දෙන්නේ නෑ..,

ඒකත් එහෙම වෙච්චි.., මම කියන්නද මහත්තයා, එහෙනං මෙන්න මේ රුපියල තියාගන්න.., ආපහු මේ ගෙන්දගං පොලවේ කොහේදි හරි අපි මුලිච්චි වෙන්නේ නැතෑ.., එතකොට මට මහත්තයාට මාව මතකේ තිබ්බොත් ආපහු මේ රුපියල දෙන්න.., අද මට රුපියල නූමනා උනාට එදාවෙනකොට මට ඔය රුපියල කෝටියකටත් වඩා වටීද කවුද දන්නේ..ඈ??

එහෙනං මං ගියාවේ..,
බුදු සරණයි.

කෙලින් කතා කරන්න බැරිවෙච්චි මගේ දෙබිඩි හිත, බස් එක, ටිකට් එක, සල්ලි, කොන්දා, ඉතුරු සල්ලි, රුපියල, රතු හැට්ට ඇත්තී, ඉතුරු සල්ලි, හොල්ට් එක, සුයිප් එක, සල්ලි, දිනුම, සල්ලි, හෝල්ට් එක, බහින තැන, සල්ලි, ඉතුරු සල්ලි, කොන්දා, රුපියල, රතු හැට්ට ඇත්ති, සල්ලි, රුපියල, ඉතුරු..,

මෙහෙම එක එක හිතුවිලි මයේ ඔලුව අස්සේ හොල්මං කරන්න ගත්ත නිසා මම ඉස්සරහ සීට් එක ඔලුව ගහ ගත්තා.., ගෑණිගේ හැට්ටේ අස්සෙන් ගහගත්තු ලේන්සුවේ බාගෙට එලියට ආපු කොනේ තැවරිච්චි කියුටිකිරා වවුඩර් වල පුසුඹ අස්සේ මගේ සිහිය මේ අමුතු රුපියල වටා කේන්ද්‍රාපසාරීව කැරකෙන්න ගත්තා.., අයියෝ සල්ලී..,

මට අරින්න බෑ ඇස් දෙක, ගඩොල් දෙකක් පිල්ලම් වල එල්ලලා වගේ..,

මහත්තයා, මහත්තයා.., කෝ කිසි සද්දයක් නෑ නේ.., තාම තද නින්දේ..,

මහත්තයා, මහත්තයා කෝ නැගිටින්නකෝ,

අපි ඩිපෝවට දාන්න යන්නේ බස් එක..,

ඈ මම මේ කොහෙද?

රත්නපුරේ.., ඩිපෝවේ.., කෝ අර රතු ගෑණි මෙතන හිටපු..,

මොන ගෑණියෙක්ද? මෙතන එහා පැත්තේ තිබුනේ අපේ අයියගේ කඩේට දාන්න මම අවිස්සාවෙල්ලේන් ගත්තු කොහුමිටියක්.., මම දැක්කා මාත්තයා කොහුමිටිය අස්සේ රිංගලා මොක්ද්දෝ හක්කලමක් කරනවා.., මට මොකෑ ඉතින්..,

ඒ කියන්නේ මෙතන රතු අත්කොට හැට්ටයක් ඇඳන් ගෑණියෙක් හිටියේම නෑ..?

නෑ නෑ හත්තිලව්වේ හිටියේම නෑ.., හැමදාම උදේට රෙන මයේ පුක පල්ලා මෙතන තිබ්බේ කොහුමිටියක්.., ඒ අස්සේ මහත්තයා රිංගන ගමන් රුපියලක් ගැන මොකක් හරි කියනවත් ඇහුනා.., අනේ මන්දා මට මොකුත් තේරුණෙත් නෑ..,
මිනිස්සු පිරිලා හිටපු නිසා මම බලන්න වෙලා ගත්තේ නෑ..,

හ්ම් ඒකත් එහෙමද?

හරි හරි අපිට යන්න පරක්කුවෙනවා..,
මහත්තයාට ඉතුරු සල්ලි එහෙම ගන්න තියේද?
ආ ටිකට් එක බලනවා..,
රුපියලක් තියෙනවා.., ආ මෙන්න..,

රුපියලක්..?

ඔව්.

තමුසේම තියා ගන්නවා ඔය බම්බු රුපියල මට එපා..,

ඕක මහ අමුතු රුපියලක්..!
සාහිත්‍ය කියන්නේ දෙපැත්ත කැපෙන ආයුධයක් වගේ, බොහොම වගකීමෙන් වගේම බොහෝම පිළිවෙලින් භාවිතාව කරගෙන ගියොතින් මින් ලැබෙන ප්‍රතිඵල නිමක් නෑ..! මගේ පොතේ අට වැනි පරිච්ඡේදයේ ආරම්භය වෙන් වෙලා තියෙන්නේ මේ සංවේදනාව කියවන්නා අතරට රැගෙන යාම සාක්ෂාත් කරගැනීම සඳහා.
සිය පොත අත තබා ගෙන ලේඛකයා ඔහේ කියවාගෙන යයි.., පොත් කියවීමේ හමුවට පැමිණි බොහෝ අය ඇල්මැරුණු ස්වභාවයෙන් ලේඛකයාගේ කතාව අසාගෙන සිටිති. ඔහු ලියන්නේ මොනවාද, කියන්නේ මොනවාද කියා දන්නා සේ කතාව අසාගෙන සිටිති.., මා අසල සිටින අයිරා පොතින් කට වසාගෙන ඈණුමක් යවනවා මා හොරැහින් දිටිමි. මේ ඔහුගේ දෙවැනි හමුවයි. හිතවතියක වන අයිරාගේ නිවසේ පැවැත්වූ පළමු හමුව සාර්ථක වූයේ නැතත් ආරිරූබන්ගේ දෙවැනි පොත් කියැවුම් හමුවට අනුග්‍රහය සපයන්නට මා වෙත පැවරිණ. එහි ඇති නීරස බව දන්නා නමුදු සමාජය තුල රැඳී සිටින්න නම් මා ඒ කල යුතුය.
කොළඹ ප්‍රබුද්ධ සම්මත සමාජයේ පවතිනා මේ අලුත් සම්ප්‍රදායන් වෙත ආශක්ත වීම කෙසේ වෙතත්, මා නිවසේ ඉස්තෝප්පුවේ දිවානයට වී මේ පොත කියවන්නට උත්සහ දැරීමෙන් ලේඛකයා කියනවාට වඩා එහි ප්‍රස්තුතය ගැන අවබෝධයක් ලබාගත හැකි බව මම අත්දැකීමෙන් ම දනිමි.., අටවන පරිච්ඡේදය අවසන ලේඛකයා කියූ ඇල්මැරුණු විහිළුවකට සිනාසුනු මම නව වන පරිච්ඡේදය පෙරළා ගතිමි.
කොහොමද අනුරාධා බුක් රීඩිං එක?
හොඳට ගියාද?
හේවා මා එක්කලා කිව්වා අද ප්‍රෙස් ක්ලබ් එකේදී එයා ගිය බුක් රීඩිං වලින් හොඳම එක්ස්පීරියන්ස් එක ලැබුවේ මේකෙන්ලු.
මිසිස් ජයතිලක මිනිහගේ ෆ'ද ක්‍රියේශන් වලට කියලා හාෆ් ලැක් චෙක් එකක් ඔෆර් කලා ලු..!
මිනිහගේ හොඳ කාලේ..,
ඒ අස්සේ ලේක් හවුස් එකේ චීෆ් බන්දුල, මිනිහට සිළුමිණේ කොලම් එකක් කරන්නත් ඉන්වයිට් කරලා.
ඒත් මිනිහා ගැන විස්තර මම දන්නවා ඒ නිසා පරිස්සමින්.. ඕකේ..?

ඇල්මැරුණු ස්වභාවය ගැන මා සැමියා වන අරුණ ට කිසිත් නොකියන්නට තීරණය කලත්, මාසික පොත් කියවුම් සැසිය සංවිධානය කිරීමේ වගකීම මා හට පැවරුණු දා සිට මටත් වඩා උනන්දුවෙන් ඒ පිළිබඳ සොයා බලන්නට වීම නිසා, කිසිවක් නොකියා සිටීමට මට සිත් දෙන්නේ නැත. මා අකමැතිම දේ කරන්නට වෙන මේ කාලය ඉතාම කුරිරුය.
එහෙත් ප්‍රවේසම් වෙන ලෙස කීවේ කාගෙන්ද?
අසා පලක් නැත ඒ නිසා මම ඉවසමි.
වරදක් නෑ..,
රීඩිං එකට ආපු අයගෙන් ගොඩක් අය පොත් හරියට රිෆර් කරලා තිබුනෙත් නෑ අරුණ..,
අපරාදේ කියලත් හිතෙනවා වෙලාවකට අපි සරසවි එකට කියලා කොපීස් තිහ හතලිහක් ඕඩර් කෙරෙව්වේ..,
වෙනදා වගේ උවමනාව තියෙන අය පොත කෝහෙන් ගන්න කියලා එන්න කිව්වා නං අගේට රිෆර් කරලා එයි..,
මෙදා පොත ෆ්‍රීනේ අපි දුන්නේ,
ඒ නිසා අගයක් නෑ..!

හ්ම්..,
ඒකත් එහෙමද? කමක් නෑ මේ ඔයා ඕගනයිස් කල පළවෙනි බුක් රීඩිං එකනේ..,
ඊළඟ එක මීට වඩා කල්පනා කරලා කරමු.

සැමියෙකු බිරිඳකට සියලු දේට නොවලහා උපකාර කරයි නම් ඔහු දේවත්වයෙන් සැලකිය යුතුයැ.., ඒ දේවත්වයටත් වඩා ඉහලින් කෙනෙකු සිය ප්‍රියම්බිකාවට උපකාර කරයි නම් ඒ සැමියාව බිරිඳට "මල කරදරයක්" වන්නට වැඩි කාලයක් ගත වෙන්නේ නැත. මා හට අදවන විට සිදු වී ඇත්තේ ද එයයි. 

කෙනෙකුට අතීතය තුල පදනම් වෙලා අනාගතය හෝ වර්තමානයක් ගොඩන්ගන්න උත්සහ කරනවා නම් ඒක කවදාවත් යථාර්තයක් බවට පත් කරගන්න හමු වෙන්නේ නෑ.., අපිට කාලාර්ථ වලින් කරන්නට පුලුවන් වෙන්නේ පෙර කල ක්‍රියාකාරකම් වලින් උගත් පාඩම් වල හරය අනාගතය සාක්ෂාත් කරගැනීම සඳහා භාවිතා කර ගැනීමයි.

කලකට පෙර මම පොතක් නොලියා ඉන්නවැයි කියා තරයේම හිතාගෙන හිටපු කාලයක මගේ එක්තරා දයාබර රසික කියවන්නියක් ඇයගේ පෞද්ගලික ධනපරිත්‍යාගයෙන් එක්තරා කාලයක මට මගේ සාහිත්‍ය කටයුතු ගැහැටකින් තොරව කරගෙන යන්නට ඉඩ ප්‍රස්ථාව සැපයුවා. මම අද මෙතැන ඉන්නවා නම් ඒ ගෞරවයෙන් සියයට අසූවකටත් වඩා ඇයට හිමිවිය යුතුයි.., වාසනාවකට අද ඒ මගේ මිතුරියත් ඔබ අතර ම..
නිදා වැටෙමින් සිටි අසන්නන් නො එසේනම් කියවන්නන්[?] එකවර ගැස්සී ඇහැර එකිනෙකා දෙස බලන්නේ අනුනගේ ඇස් තමා දෙසවත් යොමු වී ඇතිදැයි සැකයෙනි.
මම ගැනද දන්නේත් නෑ අනූ මෙයා මේ කියන්නේ.., මමත් දවසක් එයාගේ ලිට්‍රසි වැඩ වලට හෙල්ප් එක්ක වෙන්න කියලා  පොඩි දෙයක් ඔෆර් කලා ඒක ගැනද දන්නේ නෑ මේ කියන්නේ...
අයිරා  පොතේ කියමින් සිටිනා පරිච්ඡේදය සොයා ගැනීමට නොහැකිව ලතැවෙමින් මා දෙස බලා කියන්නී, මම ඈ දෙස බලා සිනහවක් පෑවෙමි.

අයිරා උපතින්ම රත්තරන් හැන්ද මුව තබා ආ ගැහැණියකි. මුදලින් ආඪ්‍යව සිටින ඈ මාපියන්ගෙන් වෙන්ව ස්වාදීන දිවියක් සිය පරම්පරා සමාගමේ මාසික වේතනය ලබමින් සුවසේ වෙසෙන්නී, සිය වයසට වසා අඩකිනුත් ලාබාල පුරුශයෙකු සිය ස්වාමිපුරුෂ තැන්හි තබාගෙන ජීවත්වන්නියකි.  එ මතු නොව මේ ශාලාවේ සිටින කාන්තාවන්ගෙන් අඩකටත් වඩා ප්‍රේමය නම් සංවේදනාව අනියම් සබඳතා නම් විශ පෙවූ සැතකින් කපා කෑ වුන් වෙති..,
 මේ පොතේ නම විදියට "සාධුවරයෙක් හා නග්නව" කියලා දාන්න මම හිතුවේ මේ තුල සිටින ප්‍රධාන චරිතය තුලින් මම එළියට ගන්න හැදුවේ චරිතය තුල අපි හැමගේම ජීවිතවල රහස් කතා පොඩ්ඩ පොඩ්ඩ හරි තියෙනවා කියන අදහස දෙන්නයි..,
ඇත්ත මමත් පිළිගන්නවා මම මේ ගේවන්නේ මගේ තෙවන පෙම්වතිය හා කාලය. පෙර පෙම්වතියන් අදටත් මා එක්ක සබඳතා තිබෙනවා, වැරදි ආකාරයේ නොවේ.., බොහෝම සමාජ සම්මත ලෙස, ඔවුන් හා එක්ව ජීවිතය බෙදා ගැනීමේදී මම ජීවිතය වින්ද හැටි තමා මේ ඊළඟ කොටසෙන් පළවෙන්නේ.., කතාවේ ඊළඟ කොටසට මම මගේ ජීවිතයේ කොටසක් කියෙව්වාට සමාවෙන්න.., ඒත් ඒ අත්දැකීම ඔබට ඊළඟ කොටස කියවන්නට හොඳ ප්‍රවේශයක් වේවී.
මම ඊළඟ පරිච්ඡේදය පෙරලීමි.

මීට දින කිහිපයකට ප්‍රථමයෙන් මා නිවසේ මා සයනය මතම මේ මොහොතේ සිය පුස්තකය ගෙන විස්තර කරමින් සිටින මේ මිනිසා විසින් බරවූ කෙහෙරැලි පිරිමදිමින් කියැවූ මා හා කියැවූ දේ මතකයට එන්නට විය.., "අනියමක් අස" නම් මා පෙරළාගත් පරිච්ඡේදය තුල කියවන්නට හිත යොමු නොකර අකුරුතුලින් අතීතය සිහිකරවන්නට වී.

අපි මෙහෙම ඉන්න වග අරුණ දැනගත්තොත් කොහොම වෙයිද ආරි..?
කමක් නෑ, ඔයා ආවේ අපේ බුක් රීඩින් එකට එන ඉන්වයිටීස්ලාට දෙන පොත් ගන්නවා කියලානේ..,
අවුලක් නෑ මම කියන්නම් අරුණට ඔයා මා එක්ක බුක් එම්පෝරියම් එකට ගියා කියලා,
කොහොමත් අරුණ තමා මට කීවේ ඔයාව අද උදේ බ්‍රෙක්ෆස්ට් වලට කලින් මීට් වෙන්න කියලා.,
අනික, අරුණ එහෙම නැරෝමයින්ඩඩ් මිනිහෙක් නෙවෙයි අනූ..,
ඔයා අරුණව මැරි කරන්න කලින් මිනිහට මම කවුන්සිලින් කරලා හිටං තියෙනවා..,
ඒ කොහොමද?

ඔයාව මැරි කරන්න කලින් කැම්පස් ඉන්න කාලේ එයාට වෙන එෆෙයාර් එකක් තිබ්බා..,

ඔව් මම දන්නව ඒක.

ඒකේ ඉවර උනාට පස්සේ පරණ මතකයන් එක්ක අරුණට ඩීල් කරන්න අමාරු තත්ත්වයක් තිබ්බා..,
මට මතකයි දවස් තුන හතරක්ම සුමිත්‍රයෝ එකදී මීට් වෙනවා.

සෙක්ස් ලව් වගේ ෆීලින්ග්ස් එක්ක අපිට මේ සිටුවේශන් එකේ දී ප්ලේ කරන්න හරි අමාරුයි ආරි.., එක්කෝ මම අරුණව අත අරින්න වෙනවා, එහෙම නැතිනම් ඔයාටයි මටයි මේක නවත්තන්න වෙනවා.
උරහිසට අත තබා කෙනෙකු මා හා ඈත සිට කතා කරනවා දැනුණ හෙයින් මම දෑස් හැරියෙමි...
අනූ අනූ ඔයාට නින්ද ගියාද..? අහන්න..,මේ චැප්ටර් එක තමා ලස්සනම.., මිස්ටර් ආරිරූබන් ඔයා දිහා විනාඩියක් විතර බලාගෙන හිටියා.., ඔයා ඇස් ඇරියේ නැතුව හිටියම මම හිතුවේ නින්ද ගිහින් කියලා.., 
මොකෝ උනේ?  වට් හැපන් ටු යූ..?
මම මුහුණට බරවී වැටී තුබූ කේශ සකසා ගතිමි.., තෙතට කම්මුල වටා පැතිරුණු දෑ මම අතින් ගතිමි.., ඒ කඳුළුය. සැමියෙකු සිටියදී ඊට එරෙහි වී අනියමකට පෙම් බඳින්නට තරම් ගල් වූ හිතක් මා සතු වුව, ඒ උමතු සංවේදනාවට එරෙහිව මා දෑස මටත් හොරා සංවේදී වී ඇති බව දැණින.
කෙහෙරැල්ලකින් මුව සඟවා රහසින් දෑස් පිසදාගතිමි.
ඔයාට බෑ කියල කිව්වට මට ඔයා වෙනුවෙන් තියෙන ෆීලින්ග්ස් ඔයා ඉස්සරහ දී මෙහෙම් හංගගෙන ඉන්න අමාරුයි අනූ.., මම ඔයාට වඩා මැචුව බව ඇත්ත.., ඒත් මම දන්න විදියට මම අරුණට වඩා ඉස්සරහින්.., ඒකට කමක් නෑ.., ඉන් අනිද්දට තියෙන බුක් රීඩින් එක මගේ ක'රියර් එකට හියූජ් හෙල්ප් එකක් වෙනවා.., හොඳ වෙලාවට අරුණ මට ස්පොන්සර් කරන්නම් කිව්වේ.., ඒ නිසානේ මට ඔයාවත් හම්බුනේ..,

ඒ උනාට මම මේකට කැමති නෑ.., මේක නවත්තන්න ඕනේ.., වී හැට් වූ ස්ටොප් දිස්, වී මස්ට්
ඒත් මම තව දවසක් ඔයාව මීට් වෙන්න කැමතියි..,
බෑ.., මට බෑ..,
හ්ම්ම්.., ඒකත් එහෙමද?
අනූ මේකට අකමැතිනම් මම හවසට අරුණව ක්ලබ් එකේදී මීට් උනාම ඔයාගේ හිඩ්න් ඩිසයර්ස් ගැන අරුණට කියලා දෙන්නම්.., මම හිතන්නේ නෑ අරුණ ඒවා දැනගන්න අකමැතිවේවි කියලා..! 
රාත්‍රියට මා සනසවන එකම සංවේදනාව අරුණගේ ආදරය වුවත් අද දහවලේ මේ උමතු වයෝවෘධයා සිය දස්කම් පාමින් පාරම්බායි. අද අසල වූ පිහිය ලාච්චුවට දමා වැසිය යුතුය.., නො එසේනම් මටත් හොරා මා දෑත් මේ මුග්ධ නාකියාගේ හිස සැත්කම් කරනු නියතය.

නිමක් නැති රාගික රාත්‍රීන් ඈ වෙත ආශක්ත වන්නට මා හිත මටත් නොදැනීම භාවිත කලත් ඒ තුල ප්‍රේමය නැති වග හැඟිණි.., මසට මසක් එක්වන සමට සමක් සංස්පර්ශ වන ඒ උමතු රමණය නවතා දමන්නට මම කෙතෙක් උත්සහ කලද.., ඈ ඊට සූදනම් නැති වග හැඟේ.., මා සාධුවරයෙකි ඈ රාගිණියකි.., කාමයෙන් උමතුව සිරුරේ තැනින් තැන සලකුණු තැබුවද, පසුදින ඒ දකින මා සිත වෙලන්නේ සංතෝශයකින් නොව වේදනාවකිනි, අපුලකිනි, මා ගැන මාතුල ඇති වූ අප්‍රියජනක හැඟීමකිනි.
මෙන්න මේ ඉහත මම කී කොටස මම ලියන්නට හේතු වුන අත්දැකීම මම නිර්මාණයට උවමනා ආකාරයට නවා ගත්තත් එහි හරය සත්‍ය නිමිත්තක් පාදක කරගෙනයි තැනී තිබෙන්නේ.., කාන්තාව කියන්නේ පිරිමියාගේ අවැසිතා සපුරන්නට මේ ලොවට ජනිත වෙච්චි මනුසතෙක් කියලා පුරුෂ මූලික මේ සමාජ ක්‍රමය කොතෙක් කිව්වත් මගේ පෞද්ගලික හැඟීම එහි විලෝමයයි.
තවත් දරා සිටින්නට නොහැක.., මේ අමනුෂ්‍යයා රහස් ජීවිතයක හරය අකුරු කර එය විකුණා ජීවත් වෙන්නට තැත දරයි, එයට විරුද්ධ වූ මා රාගිණියක බවට පත් කර ඔහු සාධුවරයෙකු කිරීමෙනි.., වේදනාව තුවාලය ඇත්තා සතුය.., රමණය තුල ප්‍රේමය නැතත් එහි කොතැනක හෝ සෙනෙහෙ සටහනක් හෝ ඇති බව ඇදහුවෙමි.., එහෙත් එයද කිසිදු හරයක් නැති පුස්සක් බව මට සැනෙකින් අවබෝධ විය.

මේ ශාලාව තුලින් වහාම ඉවත් විය යුතුය..,
නිලංකාර වූ මනසක් සහිතව එළියට වන් මා ඈතින් මෝටර් රථයට හේත්තු වී දුරකතනය උත්තර දෙන අරුණව දුටිමි..,

මොකෝ උනේ වැඩේ ලස්සනට යනවද?

මම දන්නේ නෑ ඔයා එළියේ ඉන්නවා කියලා., මම ටැක්සියක් කෝල් කරලා ගෙන්න ගන්න ගියේ..,

ඕනේ නෑ, මම අද ටිකක් අ'ර්ලි ආවා.., ස්නැක්ස් වගයක් කාර් එකේ ඇති අපි යනගමන් කොහෙන් හරි ටී එකක් බොමු.., අද ඔයාට මහන්සි දවසක් වගේ..,

ඔයා මට මොකෝ උනේ කියලා කිවේ නෑනේ..??
ආරිගේ පොත හොඳයි ද?

මොන හොඳක්ද? ඒක ඒ යකාගේ සෙක්ස් ලයිෆ් එක එලියට දාගන්න ලියාපු එකක්..,
මට එපා උනා ඒක අහං ඉඳලා.., ඒ යකා මානසික ලෙඩෙක් ද කොහෙද..,
ඇයි ඔයා හිනා වෙන්නේ..?

නෑ මට හිනා ගියේ ඔයා ඒ මනුස්සයාව කියවපු විදිය හරියටම හරි කියලා හිතුන නිසා තමා.., ඔව් ඔයා කිව්වා වගේ මිනිහාට පොඩි අව්ලක් තියෙනවා තමා..,
ඉස්සර මම කැම්පස් ඉන්න දවස් වල මගේ ෆස්ට් ලව් එක බ්‍රේක් උනාම මම සුමිත්‍රයෝ එකේ මගේ යාලුවෙක් එක්ක එන අයට කන්සල්ට් කරන්න පාට්ටයිම් සෙට් උනා..,
ඒ දවස් වල ඔය ආරිරූබන් ආවා තෙරපි වලට..,
මිනිහගේ ගෑණි එක්කලා අවුලක් වෙලා..,
මම තමා මිනිහට තෙරපි සෙශන්ස් දුන්නේ..,

ඒත්...මිනිහා...මිනිහා කිව්වේ..?

මිනිහා කිව්වද මම මිනිහගෙන් කවුන්සිලින් ගත්තා කියලා..?

ඔ...ඔව්..?

ගණන් ගන්න එපා. මිනිහා හිතා ඉන්නේ එහෙම තමා..,
මම ඒකයි කිව්වේ මිනිහාගේ පොඩි අවුලක් තියෙනව කියලා.

ඒකයි මම කීප සැරයක්ම කිව්වේ  පොඩ්ඩක් පරිස්සමින් ඉන්න කියලා..!
ඒ යකාට සයිකෝ...!!!!
සාගරිකාගේ කට උත්තරය:
ඒ වෙලාවේ අපිදෙන්නා ආවේ එකම බස් එකේ..,
ගෙදරට පන්ති යනවැයි කියලා ආවට එයා මාව බස්සගත්තේ බස් එකෙන් පන්තියට හෝල්ට් දෙකක් මෙහයින් තියෙන මිනොල්ටා රෙස‍්ට් එක ගාව හෝල්ට් එකෙන්..,
අපි දෙන්න ඇතුලට ගියා..,
මම එයාට වඩා අවුරුදු දෙකක් වැඩිමල් නිසා.., එයා කැෂියර් ඉස්සරහදී

"අක්කේ මම අයිඩෙන්ටිය ගෙනවේ නෑ.., අක්කා අයිඩෙන්ටිය දෙන්න" කිව්වා

මට ඒ වෙලාවේ තමා මේ මිනිහා එක්ක තරහා ගියේ..,
ඇයි වදේ වැඩිමල් නං මගේ පස්සෙන් ආවේ මොකෑ..,
ඉන්න තිබ්බනේ තමන්ගේ පාඩුවේ..,
අනික වයස කියන්න ඕනෑයෑ..!!
අනිකා කාමරේ ඇතිලට ගිහිල්ලත් මේ මිනිහා පොත් ටික ඇඳ උඩින් තියන්නේ නැතුව එහෙ මෙහෙ යනවා..,
මට බලාගෙන ඉන්න බැරිම තැන තමා පටන්ගත්තේ..,
ඇයි හත්තිලව්වේ ආවනං තැනකට ඒක හරි හෝ වැරදි හෝ කොරලා ඉවර කරන්න එපෑය..,

පෑ එකහමාරකට පස්සේ අපි කාමරෙන් එලියට ඇවිල්ලා මම ම සල්ලිගෙවලා පන්තියට ආහම තමා පොලීසිය අපිව හොයාගෙන පන්තියට ආවේ., 
අනික එදා කාමරේ අස් කරලා තිබ්බෙත් නෑ..! 


සුමේදගේ කට උත්තරය: 
ඉස්සර මට මතකයි එයා අපේ ගේ ඉස්සරහ හිටපු සුමනසේකර අංකල්ලැයේ ගෙදර එනවා.,
නාලිකා අක්කත් එක්කලා සෙල්ලං කරන්න..,
අපේ අයියා ඒකාලේ ඕලේවල් කරලා හිටපු නිසා හවසට හවසට සේකර අංකල්ලගේ ගෙදරය යනවා..,
ඒත් මම අයියා මෙයා එක්කලා සෙල්ලං කරනවා දැක්කේ එක පාරයි.., මම කාටවත් කිව්වේ නෑ..,
හැබැයි අයියා දන්නවා මම සීන් එක දැක්කා කියලා..,
මම ඒලෙවල් පන්තියට යනකොට තමා ඊට පස්සේ කාලෙදී එයාව දැක්කේ, මට වඩා අවුරුදු දෙකක් වැඩිමල් කෙල්ලෙක් පන්ති එන්නේ ඇයි කියලා මට පුදුම හිතුනත් මම කවදාවත් ඒක අහන්න ගියේ නෑ..,
එදා වෙනකල් ම. මම කෝම හරි ට්‍රයි කරලා එයා එක්ක යාලු වුනේ අපේ අයියා ඒ දවස් වල කියන එව්වා අහගෙන ඉඳලා..,
ඒ උනාට යාලු උනාට මොකෝ මට එහෙම කරන්න එහෙම තිබ්බ ඕනෑකම එහෙම්ම ම යටපත් උනා..,
අපේ යාලුවෝ නං කිව්වේ මූ පරමාදර්ශී වෙන්න යනවා කියලා..!
වෙනදා වගේම අපි පන්තියට යන්න කියලා බස් එකට නැග්ගට එයා මාදිහා හරි අමුතු විදියට බලනකොට මටත් මොකුත් නොවුනාම නෙවෙයි.., ඒත් මම පෙන්නුවේ නෑ.., කොල්ලෙක් උනාම පොඩ්ඩක් රැස්පොට් එකට ඉන්න එපෑය.

ඒත් කොන්දා "මිනෝල්ටා බහින්න" කිව්වම එයා මා දිහා බලලා අමුතු විදියට හිනාවෙලා අහක බලාගත්තා,
මම දෙපාරක් හිතුවේ නෑ.., එයාගේ අතින් අල්ලගෙන හෝල්ට් එකෙන් බැස්සා.
සල්ලි ගෙවන්න යනකොටයි මම දැක්කේ මගේ අයිඩෙන්ටිය නෑ කියලා.., මම එයාගෙන් ඒක ඉල්ලුවා..,
ඒ වෙලාවේ තමා එයාගේ මූණ නාලු වෙලා කලුතලා වැටිලා තියෙනවා දැක්කේ..,
මා එක්කලා තරහද දන්නෙත් නෑ..,
මම පොත්ටික අරගෙන කාමරේ එහා මෙහා යනකොටත් එයා ඇඳේ ඉඳගෙනත් ඉවරයි.
එයා ඉඳගෙන ඉන්න විදිය දැක්කම් මට මතක් උනේ අපි ඕලෙවල් කරද්දී බලපු සුමනා ගෝමස්ගේ ඇගේ වෛරේ තුන..,

මොකෝ පටන් ගන්නෑද්ද??

එයා මගෙන් ඇහුවේ ගහන්න වගේ..,
ඇඳුං ටික තියලා මම ඇඳගන්න සරමක් හෙව්වම රැක් එකේ දාලා තිබ්බ සරම දිග ඇරියම මට සංසාරේ එක්ක එපා උනා..,
කාඩ්බෝඩ් වගේ, සරම බිත්තියට හේත්තු කලෑකි..,
පස්සේ මම කෝම හරි ඒ දෙවල් එහෙම වෙලා එලියට එනකොට ක්ලාස් එකේ ලන්ච් බ්‍රේක් එක..,
මම කෙලිම්ම එයා එක්ක පන්තියට ගියා..,
පැයකින් තමා පන්තියට පොලීසියෙන් ඇවිත් අපි දෙන්නව අරන් ගියේ. 
අනික මගේ පර්ස් එක වැටිලා කොහේ හරි..! 
අම්ම දැනගත්තොත් මාව කයි..!


ටියුශන් ගුරුවරයාගේ කට උත්තරය:
මම පන්තිය පටන් ගන්නකොට ළමයි ගාන බලලා තමා පටන් ගන්නේ..,
ඒත් ඉතින් අලුතින් රිවිශන් වලට ගත්තු නිසා මම අද ගාණක් තියාගත්තේ නෑ..,
මම ඔය කියන ළමයි දෙන්නම ගන දන්නවා..,
බොහෝම වැඩගත් දෙමාපියන්ගෙන් පැවත ගෙන එන දෙන්නෙක්. විශයන් වලටත් කිසිම අදක්ෂ කමක් නෑ..,
හොඳට වැඩ කරනවා..,
ඔය සිද්ධිය වෙච්චි වෙලාවේ මම සිගරට් එකක් බොන්න එළියට ඇවිත් හිටියේ.,
ඒත් ක්ලාස් එකේ වීදුරුව අස්සෙන් මම දැක්කා කොල්ලා කලිසම හද හදයි,
කෙල්ලෙක් අවුල් වෙච්චි කොන්ඩේයි හැට්ටෙයි හද හදා දුවගෙන එනවා..,
මම ඒක එච්චර හිතුවේ නෑ..,
අද කාලේ වෙනස් තාලය අලුත් නෙව.,
ලන්ච් අවර් එකට එලියට යන ළමයි ඕන තරං ඔහොම එනව ඒක අමුතුදෙයක් නොවෙයි.
පස්සේ මම සැලලිහිණිය කවි 108 පාඩම් ගන්න ඔන්න මෙන්න කියලා ඉන්නකොට තමා පොලීසියෙන් ආවේ..,

සැළලිහිණිය වදු කැළණිය පුරවරට 
කියලා කොල්ලා කවිය අවසාන කොරනකොට තමා මේ රාළහාමි ඇවිත් අහවලා ඉන්නවද කියලා ඇහුවේ..,

මම හිතන්නේ මේක ළමයින්ගේ වැරැද්ද නොවේ, මේ සිස්ටම් එක සමාජයට යන පාර කපන විට වෙච්ච වැරැද්දක්..,
එක්ස්කියුස්.., 
මේ මම සිගරට් එකක් බිව්වට කමක් නැද්ද?? 
 (සිගරට්ටුවක් දල්වාගනිමින් )
you know mister, ඔය රෙස්ට් එකේ සර්විස් එක අන්තිමයි..! you have to trust my word.. 
බොරු නං සාගරිකාගෙන් අහලා බලන්න..!

තානායම් සේවකයාගේ කට උත්තරය:
මම මෙහෙම හිටියට හතර පෝයටම සිල් ගන්නවා..,
මට අපේ අපුච්චා කීවේ කවදාවත් දුන්වෙනි සිල්පදේ කඩන්න එපාය කියලා..,
මම කලේ ඒ නෝනගේ අයිඩෙන්ටිය අරන් නම ගම ලියාගෙන ආපහු කාමරේ යතුරත් එක්ක දුන්න එක විතරයි..,
අපේ ලොකු සර් නං මේ වගේ ඒවා අත අරින්නෑති උනාට මොකෝ මම නං ඔය හිල්මන් සීන් වලට කැමතිම නෑ..,
ඒ ආපු නෝනා මීට කලිනුත් මෙහෙට ආවා.., ඒත් ඒ ආවේ තනියම..,
මයේ හිතේ නම සාගරිකාද කොහේදෝ.., නොනා කාමරේ යතුර ඉල්ලං ගියාට පැයකට විතර පස්සේ මහත්තයෙක්  දෙන්නෙක් එනවා පෑ දෙක තුනක් ඇතුලත..,
මම හොයන්න ගියේ නෑ ඒ ඇයි කියලා..,
එදා ආවේ පොඩි මල්ලි කෙනෙක් එක්කලා..,
අනේ පොඩි එකා හරි සීදේවි පාටයි..,
ඒ මහත්තයා පොඩ්ඩක් එහාට ගියාට පස්සේ මම ඇහුවා මල්ලිද කියලා..,
නෝනා ඇහැක් ගහලා සද්ද නැතුව ඉන්න කිව්වා..,
පස්සේ මම මහත්තයාට කාමරේ යතුර දීලා මගේ වැඩ ටික කරගත්තා..,
පෑ එකාමාරහින් විතර නෝනයි මහත්තයයි දෙන්නම් කලබලෙන් වගේ සල්ලිත් ගේවලා ගියා..,
පස්සේ මම කාමරේ අස් කරන්න යනකොට කාමරේ ඇතුලේ පර්ස් එකක් වැටිලා තිබුණා..,
සල්ලිත් තිබ්බ නිසා මම එලියට ඒක දෙන්න එනකොට ම ඉස්සරහ ට්‍රැපික් ලයිට් එක ගාව එස් අයි මහත්තයෙක් හිටියා

මොකෝ තමුසේ..??
නෑ මේ පර්ස් එකක්,
පර්ස් එකක්, කෝ ගන්නවා මෙහාට..?
මේක කොහේ තිබිලාද හම්බුනේ..?
රෙස්ට් එකේ කාමරේක තිබිලා.., මේ දැන් නෝනා කෙනෙකුයි මහත්තැන් කෙනෙකුයි ඇවිල්ලා ගිය එකක.

මම එහෙම කිව්වම එස් අයි මහත්තයා මාවත් දාගෙන ජීප් එකේම තමා පන්තියට ආවේ..,

අහ් කියන්න අමතක උනා.., ඇඳේ පොලු දෙකක් කැඩිලා.., ඒකේ අලාබෙත් අරන් දෙන්ට සර්.., අපේ ලොකු සර් දැනගත්තොත් මං ඉවරයි..! 
අද අහස දැක්කද?
ම්හු නෑ!
හඳ නැති උනාට අහසම එක එක තරු රටා වලින් පිරිලා

යමුද බලන්න??

ඈ මගෙන් ඇසුවා..,

හා.

උඩුකයට මගේ කමිසය ඇඳ සිටි ඈ පඩිපෙළ නගිනයුරු බලා හිටපු මම ඈ පස්සෙන් ගියා.

සීතලයි නේ..?

ඔව් මේ හුළඟ කියන්නේ වැස්සක් අතළඟ..!

කවුද කියන්නේ එහෙම..?
මම හිනාවකින් මුව සරසාන ඇගෙන් ඇසුවා.

අපේ අත්තා, එයා මාව පොඩිකාලේ උකුල උඩින් තියාගෙන තරු රටා කියා දෙනවා..!

ආසයි නේ?
හ්ම්...

අත්තා ගිය අවුරුද්දේ නැති උනානේ?

ආහ් එහෙමද?
හ්ම්..!

මට තාම මතකයි ඒ කවි..,

හිරු අසලින් මඳ නැමුණු
බඳට මිණි තුනක් අල්ලපු
දුන්න අතින්ගෙන අහසේ
සරයි තුටින් දඩයක්කරු

පොඩි පැටවුන් සමඟින්නේ
අම්මා පියමඟ මැන්නේ
වළස් පවුල ඇත ගගනේ
සොයන් මපුත තරු අරණේ

මම ආසම කපු ගවුමත් ඇඳගෙන අත්තාගේ පපුවට තුරුල් වෙලා නිදියනවා අහස දිහා බලාගෙන..,

කාමරයට ගිය මම ඇඳ උඩ දමා තිබූ කබාය ගෙන ඈ උරහිස වටා එතුවා..,
තෑංක්ස්..!

සීතලද ?
මම උත්තරය දැන දැනත් ඇගෙන් ආයෙමත් ඇහුවා

නෑ!

එදා ඔයා අහස තරු ගණන් කලේ අත්තා ගාව ඉඳගෙන.., ඒත් අද?

ඔව් මම ඔයා ගාව..?

ආසද?

ගොඩාක්..!

සමහර වෙලාවට අපි ජීවිතේ ඇතුලේ හොයන්නේ තරුද කියලත් හිතෙනවා, පොඩි කාලේ ඉඳළම ඕනම ළමයෙක් ආසයි දිළිසෙන්න.., කොල්ලෙක් නං ඊටත් වඩා ආසයි තරුවක් වගේ දිලිසෙන කෙල්ලෙක්ව යාලු කරගන්න..

කවුරු වගේද?

හරියටම ඔයා වගේ..!

මිතූ..?

හ්ම්?

මට සීතලයි.., මාව කබාය එක අස්සෙන් අත දාලා බදාගන්න??

එන්න අපි තරු ගනිමු..!

ඒ දිග කෙස් අස්සෙන් තරු වලට ළං වෙන්න බැරි දිව්‍යමය සුවඳට මගේ ගත ඈ වෙත බැඳුණා

කවදා හරි දවසක නුඹ
පුන් සිරුරක පෙම් හදකට
තුරුලුවෙලා තරු ගනීවි
සුබ සිහිනය මඟ කියාවි

අපේ අත්තාගේ කවි පෙළේ අන්තිම කවිය..,
මට හිතෙනවා ඒ කවිය කියන්න ඇත්තේ කවදා හරි මට ලැබෙන ඔයාටමයි කියලා..!

අහසේ තරු කෝටි ගාණක් පායලා,
අපිට ජීවිත කාලය පුරාම කතා කරන්න දේවල් තියේවි..,
දඩයක්කරුවා ගසේ කරුව අතුරින් තුවක්කුව තබා ගත්තේය.., හේ නිහඬ ය, විමසිලිමත් ය, අවට පරිසරයේ වෙන හැම වෙනසකට සිය ඉන්ද්‍රීයන් සංවේදනය වන බව දඩයක්කරුවා දනිතත්.., තමා සිටිනා ගසේ ඉහත්තාවෙන් අයියානායක දෙවියන් වෙතට පිදූ රුක්අත්තන අත්ත තවම තිබේදැයි වෙඩිලන්නට ප්‍රථම දැනගන්නට මෙන් දඩයක්කරුවා හිස ඔසවා ගස දෙස බැලුවේය.
"දෙයියෝ මාව ආරස්සා කොරනවා"
ගැඹුරු හුස්මක් පහතට හරිමින් දඩයක්කරුවා සිතීය. ගස මතට වී සිටින්නට තවමත් කල් වෙලාසන වූවත් වේලාවට කලින් තම ඉලක්කය සරි කරගන්නා දඩයක්කාරතෙමේ සියල්ල පරිපූර්ණව සාර්ථක දඩයමකට සියල්ල ලැහැස්තිදැයි නැවතත් පරික්ෂා කරන්නට මෙන් මුලසිට සියල්ල පිරික්සන්නට පටන් ගති.
අදවත් දඩයමක් කරගෙන එන්න බලන්ට,
අපුච්චාගේ ඉලව්ගෙදෙට්ට ගත්ත කාසිවලට තෝරමල්ලිනානාට තවමත් මං මුදලක් ණයයි..,
ඒ  ටික දෙන්න බැරි උනොත් මට වෙන්න ඌ එක්ක ඒ හිලව්වට නිදිවදින්න..,
මම ඒම කොරන්ට ආස නෑ දෙයියෝ,
අයියනායක දෙයියන්ගේ පිහිටෙන් අදවත් සතෙක් එලාගන්ට බලන්ට..,
පැලෙන් තුවක්කුවද රැගෙන පිටවෙන්ට කලින් දෙපා වැඳි සිය බිරිඳ වූ "අසා" සිය දෙපාමුල රැඳී කියූ දේ දඩයක්කරුවාගේ හිතේ නටන්නට වන්නේ, කන්ද ඉහත්තාවේ පිහිටි යෝධ රුක් අත්තන ගසට නැගුණේ වෙන කිසිඳු විසඳුමක් නොවූ තැන ය. දඩයක්කාරයාගේ ජීවිතයේ වටිනාම වස්තු දෙකකි. එකක් පිය උරුමයෙන් තමන්ට ලැබි තුවක්කුවය. අනෙක පිය උරුමයෙන් ලැබුණු තුවක්කුව උරුක් කර නිවසින් බලෙන් පන්නගෙන ආ "අසා" ය.
මස් මරන එවුන්ට දෙන්න මේ පැලේ කෙල්ලෝ නෑ.., තෝ ආ අතක් බලාගෙන පල..,
හැරමිට්ට උරුක් කර තමා වෙතට බිනූ මහල්ලා වෙතට කිසිදු හිතක් පපුවක් නැතිව තුවක්කුව උරුක් කර බලහත්කාරයෙන් අසාව කැන්දගෙන ආ හැටි මතක් වෙද්දී දඩයක්කාරයාගේ මුවඟට නැගෙන්නේ සිනහවකි.
මට තොගේ නාකියට මොල කෑලි යන්න තියන්න පුලුවන් අම්මපා.., ඒත් මම එහෙම කරන්නේ නෑ,
මං තොට‍ මනාප නිසා..,
අම්මා අප්පලගේ වටිනාකමක් මම දන්නේ නෑ බොල,
මාව වදලා අපේ අම්මා වැදූගෙයි සන්නියෙන්ම මියෑදිලා,
කිරි අම්මා තමා මයේ අම්ම උනේ..,
තුවක්කුව අරන් අපේ අපුච්චා කැලේ යද්දී ඌරෙක් හදිගැහිලා බඩ හංකඩේ ඉරෙන්නම අඟෙං පාර දීලා..,
එහෙම තමා මයේ අම්මා අප්පා දෙන්නම මියෑදුනේ..,
මම තොගේ මහ එකාව තොලොංචි කරලා තෝව ඇන්න ආවොත් තෝත් මං වගේම අනාත එකෙක් වෙනවා,
උඹ මට ඇත්තටම මනාප නං මා එක්ක වර. අයියනායක දෙයියං පල්ලා මම උඹව ආරස්සා කොරනවා, මයේ ඉසේ පණ අති තුරාවට..,
මං මූට මනාපයි අපුච්චා..,
මට මහ ලොකු ආරච්චි පුත්තුන්ගෙං කාරි නෑ.
මං යනවා මූ එක්ක..!
එවකට සොළොස් වියවත් සපුරා නැති අසා, නමක් ගමක් නොදත් තමා සමඟ ආ හැටි මතක් වී දඩයක්කාරයාගේ සිතේ අසා ගැන ඉපැදුනේ නොසිඳෙන සෙනෙහසකි. 
අසා තමා සමඟ කරකාර විත් දෙවසරකට පමණ පසු අසාගේ අපුච්චා මියගියේ ලේ මාපිලෙකු දෂ්ඨ කිරීමෙනි.
සේතුං පිල්කඩේ ඇලවෙලා ඉන්න වෙලාවේ තමා මේක වෙලා තියෙන්නේ..,
පැලේ වහලේ දිගේ එල්ලිච්චි මාපිලා සේතුංගේ පපුතුරටමයි දස්ට කරලා තියෙන්නේ...,
දස්ට කොලාම විසට නින්ද යනවා, ඊට පස්සේ මාපිලා ලේ උරලා වහලෙන්ම කැලේට තොලොංචි වෙනවා.
මේක වෙලා ටික දොහක් වෙන්න ඇති, අපි සේතුවාගේ පැලෙන් සද්දයක් නැති නිසා,
පැලේ කුණු ගඳ ගහනකොට තමා ඇවිත් බැලුවේ..,
එතකොටත් වෙන්න ඕනේ හරිය වෙලා..!

අසාගේ පියා වල දැම්මේ මලගමක් නොමැතිවය.., එහෙත් හත්දොහේ දානයට දඩයක්කාරයා අත වූ මුදල නොසෑහුනු නිසා ඊට සහයට ආවේ නානා ය. වලත්තකමේ උපත ලෙස හැඳින්නූ ඇලෙන් එගොඩහේ හම්බවලානටම සිටි ධනවතා වූ තොරමල්ලි නානා ඇලහැර මැණික් වෙළඳාමෙන් සහ මුදල් අතමාරුවට දීමෙන් දිවිය සරු කරගත්තෙකි, බිරින්දෑවරුන් පස් දෙනෙකුට සැමියෙකු වූ නානා හට ඇලහැර ද තවත් පවුලක් සිටිනා බව රට්ටු කතා වෙනවා දඩයක්කාරයා ඇසී ඇත. එහෙත් අසාගේ අපුච්චාගේ මලගමට තමා අත වූ රුපියල් හතට මදිපාඩුව සපුරන්නට ඉතිරු රුපියල් තුන පංගාත්තු කරේ තොරමල්ලී නානා ය.
නානාට මං දඩයමක් එලාගත්තු ගමන් මුදල පියවන්නං..,
හදිස්සි නෑ හදිස්සි නෑ,
මම ළඟදී ඒ පැත්තේ ඇවිත් යන්නං කෝ..,
පිය වියෝවෙන් වැලපෙන අසා දෙස බලමින් නානා දඩයක්කාරයාට කී හැටි තවමත් මතකය.., 

දින කීපයකට පසුව ගංතුලානේදී
ඕන්න බලපන්, මසාගේ ගෑණිව මං සහේට ගත්තේ නැත්තං මං තොරමල්ලිනානා නොවෙයි
ලෙස කියනවා, දඩයක්කාරයාගේ කණට කාන්දු වූ වාර එමට ය.
වලත්තයා.., ඕකට මම
දඩයක්කාරයා තුවක්කුව වැරෙන් තද කරගන්නා විටම ඇසුනේ කොල අතු සැලෙන් හඬකි. වඩාත් විමසිලිමත්ව බැලූ කල දඩයක්කාරයා මෙතෙක් වෙලා බලා සිටි දඩයම තමා වෙතට එන බව හැගුනේය.

අසල වූ වල්ගසේ දලු කමින් සිටි පිරිපුන් සිරුර සහිත මේ සත්වයා එලා ගනිතොත් තමන්ට නානාගේ ණයෙන් බාගයකටත් වඩා ගෙවාදමන්නට හැකි බව මනසේ හොල්මන් කලේය.., දෙවරක් නොසිතූ දඩයක්කරු සත්වයාගේ හිස මානා කොකා ගැස්සුවේය. අතුණුබහන් සුද්ද කර මස් කඳ පැලට ගෙනියන්නට සිය ඉණෙහි වූ කිණිස්ස ඇදගත් දඩයක්කාරයා ගසෙන් පැන්නේ එක වරම ය.

නොසිතා තැබූ පය වැරදී යාම නිසා අත්ත පසු කර පහත වූ ගල් උලේ සිය දෙපරැන්ද වැදුන දඩයක්කාරයාට කිසිවත් සිතන්නටත් ප්‍රථම හිරිවැටුන යටිකයෙන් කුමක්දෝ උණු දියරයක් දෙපරැන්දෙන් ගලනවා දැනෙන්නට විය.., නිලංකාර වූ දෙනෙතින් කිසිවක් බලන්නට හැකියාවන් නැතිවුව උකු දියරින් පෙඟි සිය සරම අත ගෑමෙන් ඒ ගලන්නේ මොනවාදැයි ගලපාගන්නට දඩයක්කරයා උත්සහ දැරීය.

වෙඩි වැදි හිසින් යුතුව ගෝණ මව මරුවිකලෙන් දඟළනායුරු ඇසුන දඩයක්කරුට ඉන් පසුව රක්ත වූ දෑසින් දුටුවේ පණ අදින මව වටා ඉවලන කුඩා ගෝණ පැටවුන්ගේ සරසරයයි.

ඒ වන විටත් දරුවන්ගේ මවු අහිමි කල පවට බිරිඳට දාව සිය වර්ගයා බිහි කිරීමේ අයිතියද දඩයක්කාරයාට ස්වභාව ධර්මයා විසින් සදාකාලයට අහිමි කර අවසාන ය.

හිණ තුරේ වූ බුලත්පයියෙන් තමා සන්තක වූ අන්තිම මූණිස්සමත් තුවක්කුව දමාගත් දඩයක්කාරයා අවසන් වරට තමා දෙසට දෑස් යොමුකර සිටින ගෝණදෙනගේ සුවිසල් නිසල සිරුර දෙස බලා දෙනෙත් පියා ගති.
එවිටම නිකට යටට තුවක්කු මුව තැබූ දඩයක්කරයාගේ ඇඟිල්ල, තුවක්කුවේ කොකා පසුපසට කර අවසාන ය.
සෝරත හාමුදුරුවෝ පන්සලට වඩිනකොට හවස් යාමේ පහුවෙලා ගොම්මන වෙන්න මොහොතයි වගේ.., බෝමලුවේ සුදු ඇඳගෙන බොහෝම කල්පනාකාරීව මිදුල අමදින සැදැහැවත් බෞද්ධයෙක් දිහාවට සෝරත හාමුදුරුවන්ගේ ඇහැ ගියේ ඉබේට ම. සිවුරු පහුරු ලෙහලා පැන් සැනහීගෙන සුපුරුදු විදියට විහාර ගේ ඇතුලට යන්න ආවාසෙන් එළියට බැස්සේ එද්දී වගේ බෝමලුව දිහා ඇස් යොමාගෙන..,

කවදාවත් නැතිව මෙච්චර වෙලා මිනිහෙක් මිදුල අමදින්නේ.., ඇරත් මේ බෝමලුවේ..,
සෝරත හාමුදුරුවෝ තනිවම කියාගත්තා..,
කෝකටත් යමු බලන්ට..,

මහත්තයා...,
අපේ හාමුදුරුවනේ..,
අමුත්තා සෝරත හාමුදුරුවන් අස වැඳ වැටුණා.

මහත්තයා මේ අවේලාවේ..?

මම පන්සලට ආවේ ගොම්මන් වෙන්න කලින් අපේ හාමුදුරුවනේ..,

මහත්තයාව මම මීට කලින් පන්සලේදී දැකලා නෑ නෙව..,

ඔබ වහන්සේට තියා මට මාව දැකගන්නත් ලැබුණේ නෑ.., මට මාව පේන්න ගත්තේ වෙන්න තියෙන ලොකුම දේ වෙලා ඉවර උනාට පස්සේ අපේ හාමුදුරුවනේ..,

මම තකහනියක්ම ආවේ ඔබ වහන්සේව හමුවෙලා යන්න, මම අහලා තියෙනවා ඔබ වහන්සේගේ වචනෙකින් මිනිස්සු සීයක් උනත්

නිවන අවබෝධ කරගන්න ඇහැකි කියලා..,

ආ.. ඒ මහත්තයා මගෙන් ලාභ ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් මම බණට වඩින මාධ්‍ය ආයතන මා ගැන කියන කතා මහත්තයා.., මම චිත්ත උපදේශන කරනවා තමා මහත්තයා.., මට ඔබ තුමාට කරලා දෙන්න ඕන මට කොරන්නට ඇහැකි උදව්වක නං කොරලා දෙඥ්ඥා.. ඉතින් කියන්නකෝ මහත්තයා මගෙන් මොනවද වෙන්න ඕනේ??

මම රස්සාව කරන්නේ උසාවියේ අපේ හාමුදුරුවනේ.., වැරදිකාරයෝ නීතිය ඉදිරියට ගෙනල්ලා දඬුවම් දෙන්න වගේම වැරදි වලට දඬුවම් ලබන්නට උසාවි එන අහිංසකයෝත් නීතිය ඉස්සරහ නිවැරදි කාරයෝ කරලා තියෙනවා අපේ හාමුදුරුවනේ මම..,

ඒ කියන්නේ ඔබතුමා නඩුකාරයෙක්..,

සාමාන්‍ය ජීවිතය ඇතුලේ මිනිස්සු මාව අඳුණා ගන්න විදියෙන් කිව්වොත්...

ඔව් මම නඩුකාරයෙක්..,

හරි කතාව කියන්ට..,

මම නීතිය අතට අරගෙන කටයුතු කරපු කාලයක් තිබුණා.., ඒ මම මේ රස්සාවට ආපු මුල් කාලේ.., ඒකාලේ මම හිතුවේ රස්සාව වගේම මට පේන ඕනේම දෙයක් මට ඕන විදියට නීතිය හරහා හැඩ ගස්සන්න පුලුවන් කියලා.., අන්තිමේ මට වැරදුනා..!

මට තවම ඔබතුමාව පැහැදිලි නෑ

නීතිඥ්ඥයෙක් විදියට වැඩ බාරගන්නකොටත් මගේ පවුල් පසුබිම හංගලා, මම කවුදකියන නිමිත්ත අනික් අයගෙන් වසන් කරලා තමා මම ඒ තැනට පත් වුනේ.., රස්සාව මේ විදියට කරගෙන යනකොට මට තේරුණා, මගේ නීති උදව් ගන්න අය කොහොමත් මගේ වටපිටාව හොයනවග.., එහෙම උනොත් මගේ අතීතය ගෙවුනු විදිය සහ ඒ වෙත්දී මගේ අනෙක් පවුලේ උදවිය ඉන්න විදිය අනුව මට ඉහලට යන්නේ වෙන්නේ නෑ කියලා.., මට තිබ්බ එකම විකල්පය විදියට මම දැක්කේ මහේස්ත්‍රාත් කෙනෙකු විදියට සේවය කරන එක. එතකොට මගේ උවමනාවට නොවුනත් මා කරන රස්සාව එක්ක අවට පරිසරයේ ඉන්න අය මා එක්ක සම්බන්ධතා පවත් වන්නට එනවා අඩුනිසා.., කාලය ගතවුනා.. මම නීති පීඨයේ දැන අඳුණාගෙන හිටපු ගෑණු දැරිවියක් එක්ක මම කසාද බැන්දා, මම එයාටවත් මගේ අතීතය, මට බද්ධවෙලා තියෙන අතීතය ගැන කියන්න ගියේ නෑ.., 

හරි මම අහගෙන ඉන්නේ මහත්තයා, කියන්ට..,

මෙහෙම කාලය ගතවුනා.., මම මේ වෙනකොට දරුවන් දෙන්නෙකුගේ පියෙක්..,
මගේ පවුලේත් කිසිම ගැහැටක් මේ වෙනකොට වෙලා නෑ..,
ඒත් මේ හදිස්සියේ තමා මට මේ ගිණිගෙඩිය පාත්වුනේ..,
මට නිවනක් නෑ හාමුදුරුවනේ මාව පණපිටින් ගිණිගන්නවා..,
මම කවදාවත් ආදරයෙන් කතා කලේ නෑ තමා..,
ඒත් එක දවසක් හරි මා වෙනුවෙන් මොනවා හරි දෙයක් කරලා තියෙනව නෙව..,
මට තාම මතකයි, තීන්දුව දීලා පෑණ කඩද්දී මා දිගා බලා හිටපු විදිය..,
මට ඇස් පියන්න බෑ හාමුදුරුවනේ..,
මම ඇස් පියාගත්තොත් මට පේන්නේ ඒ මූණ..,

මහත්තයා ලොකු කරදරයක පැටලිලා තියෙන වගේ මට තේරෙනවා.., ඒත් මට මහත්තයාව තවමත් තේරුම් ගන්න බැරි නිසා මම

කොහොමද මහත්තයාට උදවු කරන්නේ..?


හරි මම හාමුදුරුවන්ට කතාව කියන්නං..,

එක මනුස්සයෙක් තමන්ගේ ජීවිකාව විදියට නීතියෙන් වරදක් ලෙස සලකන දෙයක් ප්‍රවාහනය කරන්න ගත්තා.., දීර්ඝ කාලයක් තිස්සේ  මේ රස්සාව කරපු මේ මනුස්සයා තමගේ දරුවන්ගේ බඩකට පිරෙව්වේත් මේවායින් හම්බ කල ආදායමින්.., කල් ගතවෙනකොට මේ මනුස්සයාගේ පවුල ලෙඩවෙලා ආන්ඩුවේ ඉස්පිරිතාලෙක වාට්ටුවක, මූලික ප්‍රතිකාර පවා අහිමිව මැරෙද්දිත් මේ මිනිහා කලේ තමන්ගේ පුරුදු රස්සාවමයි.., අදාල නීති විරෝදී දේවල් ප්‍රවහනය කරනකොට දරන්නට වෙන ආතතිය නිසාවෙන් ඒ ගෙනියන දෙයින් තමනුත් ටික ටික වග කියන්නට වීම නිසා අවුරුදු දෙක තුනක් යනකොට ඒ මනුස්සයා ඊට ඇබ්බැහියෙක් වෙලා ඉවරයි.., දරුවන් කරකියා ගන්න දෙයක් නොමැති කම නිසා යැපුණා උනත් තමන්ගේ මව අහේතුකව මියගියේ තමන්ගේ තාත්තාගේ උවමනාවක් නැතිකම නිසා කියන අදහස දරුවන්ගේ හිතේ නිසතරම් දැල්වී පවතින ගිනිදැල්ලක් වුනා. දරුවන් කරඳඬු උස්මහත් වෙනකොටම උන් උන්ගේ ලෝක හොයාගෙන පියෑඹුවා.., ඒත් මේ මනුස්සයා තමන්ගේ ඇබ්බැහිය නවත්තන්නේ නැතිව කරගෙන යන්න උවමනා නිසා පරණ රස්සාවේම ගැලුණා.., ඔහොම් වෙත්දීයි මේ මනුස්සයා ග්‍රෑන්පාස් හංදියේදී පාර්සලයක් එක්කලා පොලීසියෙන් අත් අඩංගුවට අරන් තියෙන්නේ.., ඒ වෙලාවෙදී හිටපු නඩු කාරයා මේ මනුස්සයාව උසාවියට ඉදිරිපත් කෙරුවායින් පස්සේ ඇතුලට යැව්වා.., කොහොමත් ඒ වගේ චොදනාවකට වරදකරු උනාම ඒ නඩුව දෙවරක් අසන නිසා තීන්දුව දෙන්නට වෙලා තිබුණේ මට, එදායින් පස්සේ තමා මේ හැමදේම...,

මට මෙහෙම දෙයක් හිතෙනවා මහත්තයා, මම කවදාවත් අහලා නෑ නඩුකාරයෙක් තමා ගේ අතින් දඬුවමකට ලක් වෙච්චි කෙනෙක් ගැන මෙහෙම අනුකම්පාවකින් කතා කරනවා.., අනේ මන්දා.., මට හිතෙන හැටියට මේ මනුස්සයා මහත්තයා ජීවිතේට බොහොම ළඟ කෙනෙක් වෙන්න ඕනේ..,

ඔව් අපේ හාමුදුරුවනේ ඒකනේ මට ඉවසා දරගෙන ඉන්න බැරි..,

මහත්තයාගේ අකමැත්තක් නැතිනම් මම කැමතියි ඒ කවුද කියලා දැනගන්න..,

මගේ තාත්තා..!
නිරුත්සාහකව අතට ආ පෑණ කිසිවක් ලියා නැති ෆුල්ස්කැප් කොලය මත එහා මෙහා දිව්වේ.., අකුරු එකතු කරන්නට තරම් වැදගත් කිසිවක් නොවූ නිසාය.., රස්සාවට ගිය පළමු සතිය බැවින් වචන 650ක උපරිමයකට යටත් වන ලෙස සමාජීය ගැටලුවක් පිළිබඳ දවසට අවම එක ලිපියක් හෝ ලබා නොදුන හොත් ගැහැට වන්නේ ම මට ම නිසා පෑණ කොලයට තදකර සිතුවිල්ලක් මිරිකා හරින්නට වෙහෙස වීමි..,

ආ මහත්තයා අදත් මෙතනම..,

ඔව් මම මේ පත්තරේට ලිපියක් ලියන්න කරුණු කාරණා ටිකක් එක්කහු කරනවා.

මේ ළඟදී මෙතනම ඔය මහත්තයා හිටපු විදියටම මහත්තයෙකුයි නෝනා කෙනෙකුයි ඇවිල්ලා කතා කර කර ඉන්නකොට මම මොකෝ කියලා ඇහුවම ඒ දෙන්නත් කිව්වේ " අපි මේ පත්තරේකා සම්මුඛ සාකච්චාවක් ගන්න ආවැයි කියලා"

ඉතින්..?

මම ඒ වෙලාවේ මෙතන අතුගගා හිටියේ.., පස්සේ ප්ලේන්ටියක් බොන්න මම එහා පැත්තේ පෙට්ටිකඩේ ගාවට යනකොට පාර අනික් පැත්තේ තියෙන සනීහිල් එක ඇතුලේ ඉඳන් ඒ දෙන්නා ආපහු එළියට ආවා, නෝනගේ මූණේ කිසි එළියක් නෑ, මහත්තයා කලිසම හද හදා එළියට ඇවිල්ලා, නෝනව බස් එකට නග්ගලා මහත්තයා බයිසිකලේ නැගලා ගියා.

ඉතින් ඔහේට අහන්න තිබබනේ සම්මුඛ සාකච්ඡාව කරගත්තද කියලා..?

අනේ මොකටද මහත්තයා.., දෙන්න සාකච්චාව කෙසේ වෙතත් වැඩේ සම්මුඛ කරගෙන වග මට තේරුණා..,

කටේ වම් පසින් රූරන බුලත් කෙළ පහර පිටි අතින් මකමින් හේ තනිවම සිනහසෙයි, ඒ අව්‍යාජ සිනහව ඉදීරියේ මම මගේ සිනහවද ඔප්නංවා ගතිමි..,

මේ දවස් වල මට එච්චර වැඩ නෑ.., ඉතින් මම කරන්නේ ගාඩන් එකේ තණකොල ටික කපන්න සුබේට උදව්වේන ගමන්.., අර කොණේ තියෙන පාත්ති වල අලුතින් මල් පැල වගා කරනවා..,

ඇයි ඒ???

ඇයි මහත්තයා, එතකොට වත්තට මල් අඩු උනොත් එතනින් පැල ගන්න පුලුවන්නේ.., කංකානං මහත්තයා මට දවසේ වියදම දෙනවා.., ඉතින් ඒ ඇති නේව මට ජීවත් වෙන්න..,

ඔහේගේ නම මොකද්ද?

මම ජයසේකර, මට හැමෝම කියන්නේ සේකර කියලා. ඒත් මං කැමති මට ජයේ කියනවට, මගේපවුල විතරයි මට ජයේ කියලා කතා කරන්න හිටියේ.., කොහේද බාල කොල්ලා හම්බවෙන්න යද්දී නැති උනානෙව..,

ඉතින් දරුවෝ ටික බලාගන්නේ කෝමද??

ළමයි පොඩි කාලේ ලොකු කෙල්ල ළමයි ටික බලාගත්තා මහත්තයා.., කාලේ වෙනස් උනා අපි වයසට යද්දී ඒ අය තරුණ ළමයි වෙච්චි.., දැන් ඉතින් ඒ අයගෙන මට මිසක්කා මගේ ඒ අයට වෙන්න දෙයක් නෑ..,
හ්ම්.., ජයේ මේ දවස් වල එච්චර වැඩ නෑ කිව්වේ වෙන කොහේවත් වැඩ කරනවද??

මම බංකුවේ උඩ ලිපිගොණුව තබා සේකර වෙතට හැරුණෙමි.

ඔව් මහත්තයා මගේ රස්සාව, මිනී වලවල් කපන එක, අලුතෙන් ගෑස් එකෙන් පුච්චන නිසා කවුරුවත් දැන් වලවල් කපන්නේ නෑ.., ඉන්දියාවේ ක්‍රමේ කියලා ගඟකට හරි ඇලකට හරි අලු ටික විසික්කා කරනවානේ, ඉතින් අපි කොහෙද වලවල් කපලා ජීවත් වෙන්නේ.., ඒකයි මම ගාඩන් එකේ වැඩට ආවේ.

පාඩුවක් නැද්ද??

වරදක් කියන්නම බෑ මහත්තයා.., දවසේගාන හම්බුවෙන නිසා අවුලක් නෑ.., ඒත් මේ වැඩ හරි ඒකාකාරීයි.., මට ඉන්න බැරිම තැන මම මේකේ මුරකාර කමකට ඉල්ලුවා.., ඉස්සරහ ගේට්ටුවේ ඉන්න එකා මහ මුඩුමයා.., ඒ යකා මම ඉල්ලුම් කරන බව දැනගෙනද මන්දා මිනිහගේ දුව බැඳපු බෑණව ජොබ් එකට සෙට් කලා.., මං හිතන්නේ ඒ යකා ඌගේ ගෙදර කෙල්ලත් එක්ක බින්න බැහැලද කොහේදෝ ඉන්නේ.

මට රස්සාව නැති උනාට මේක මට පරම් පරාවෙන් ආපු රස්සාවක් මහත්තයා..,

ඔහේ ඔය කියන්නේ මිනීවලවල් කපන වැඩේ ගැනද??

එහෙනං, අපේ තාත්තගේ මුත්තා ඒ කියන්නේ නත්තා කරලා තියෙන්නේත් මේ රස්සාව.., පළවෙනි ලෝක යුද්දේ කාලේ අපේ නත්තා වැඩ කරලා තියෙන්නේ ඉංගිරිසි ලොකු ලොක්කෙක්ගේ වත්තක.., අපේ නත්තා ඒ දවස් වල පොඩීලු.., මුලින්ම කරන්න දීලා තියෙන්නේ රබර් වලවල් කපන එක, ඊට පස්සේ ටික ටික ලොකු වෙන්න ගත්තම වත්තේ සොහොනේ වලවල් කපන මිනිහා අසනීප වෙලා මෙයාට තමා වලවල් කපන්න වෙලා තියෙන්නේ.., දැන් වගේ ඒ කාලේ මරණ මෙහෙම සුලබ නෑ මහත්තයා.., ඒ දවස් වල මලගෙයක් උනා කිව්වාම කඩ පිලකවත් මිනිහෙක් හවස හය වෙනකොට හොයාගන්න අමාරුයි.., ඉතින් එහෙම එකේ මිනී වලක් ගැන කවර කතාද??? අනික ඔය මිනීවලවල් ඒ දවස් වල කැපුවේ රොඩීකුලේ අයලු.., ඉතින් මේ රස්සාවට මිනිස්සු නොයන නිසා නත්තා මේකට ගැරෙන්න ඇති කියලා හිතෙනවා මහත්තයා. ජීවත් වෙන්න එදාවේල හොයාගන්න මොන කුලබේදද මහත්තයා.., ඒ දවස්වල පිට ගං තුලාන වලින් මිනිස්සු ඇවිල්ලා අපේ නත්තාව එක්කගෙන යනවලු මිනී වලවල් කප්පගන්න.., ඒ දවස් වල අපේ නත්තා සත 10 ක ගාස්තුවකටලු මේ වලවල් කපලා තියෙන්නේ,

ඊට පස්සේ.., නත්තා මලායින් පස්සේ අපේ මුත්තා.., ඒ කියන්නේ ආතගේ තාත්තා තමා මේ වැඩේ කරගෙන ගිහින් තියෙන්නේ අපේ මුත්තා කසාද බැඳලා තියෙන්නෙත් මිනීවලක් කපන්න ගිහින් වල කපන තැනට තේ ගේන්න ආපු ළමයා එක්කලු.., අපේ මහ ආච්චිට වයස අවුරුදු 13යිලු මුත්තා එක්ක එකවහලක් යට වෙද්දී.., කොහොම හරි අර වල කපපු ඉඩමෙන් බාගයක් විතර දෑවැද්දට හමුබුවෙලා තියෙනවා.., මහත්තයා දන්නවද අපේ මුත්තා කරලා තියෙන්නේ මොකද්ද කියලා..?

මොකද්ද විකුණලද ඉඩම??

මොන පිස්සුද මහත්තයා.., අපේ මුත්තා ඒක සොහොන් පිට්ටනියක් කරලා.., පොඩි ඉඩම් කෑලි මිනි වළලගන්න විකුණලා.., වලවල් වලට.., ඒ කාලේ රුපියල් 20යිලු අටයි පහේ ඉඩං කෑල්ලක්.., කොහොම හරි මෙහෙම වැඩ කරගෙන යනකොට අපේ ආතාත් කොල්ලා කාලේලු.., මිනිස්සු අතරේ "වල ආතර්" කිව්වම හරි ප්‍රසිද්ධයිලු.., ඉස්සර දවසට වලවල් 10ත් 20 අතර ප්‍රමාණයක් කපනවලු. 

තනියම..????

නෑ මහත්තයා ඔය කාලේ වෙනකොට අපේ ආතා වැඩේට බැහැලා තියෙන නිසා මිනිස්සු දම්මලාලු වැඩ කරවලා  තියෙන්නේ, මාසේ පඩියකට තමා ඒ කට්ටිය වැඩ කරලා තියෙන්නේ.., ඔය ටවුමේ සොල්දර කඩේ මුදලාලිගේ පවුල ගේ මිනී වලේ වැඩ කරලා තියෙන්නේ අපේ ආතලා..,

මහත්තයා කොහේද??

මමද? මම රත්නපුරේ..,

හා එහෙමද? එහෙනම් අහලා තියෙනවද සුනිල් මැණික් කියලා වෙළෙන්දෙක් ගැන..,

ඔව් ඔය කහවත්තේ ඉන්නේ..,

අපේ ආතා මේ වගේ මිනිස්සු දාලා වැඩ කරනවා කියලා කිව්වම අපේ මුත්තගේ බාලපුතාත් ඒ කියන්නේ අපේ ආතගේ එකකුස උපන් මල්ලී එක්කහුවේලා ඔය වැඩේට.., පස්සේ ඔහොම යනකොට එක දවසක් කහවත්තේ රබර් ඉඩමක ලැයිමක දෙමළ මිනිහෙක් මැරිලා අපේ ආතට පණිවිඩේ ඇවිල්ලා, එදා ආතා වෙන තැනක වලක් කප්පවන්න බාර අරන් තිබ්බ මිසා ආතගේ මල්ලීව යවලා වැඩේ කරන්න කියලා.., පස්සේ වල කපනකොට උදැල්ලට ටිකක් තදට ගලක් වැදුන නිසා අලවංගුවෙන් පොඩ්ඩක් හාරලා බලලා.., බලනකොට මැණික් ගල.., එතනින් පස්සේ තමා මිනිහා නගින්න පටන් ගත්තේ.., දැන්නං අපි එක්කලා කිසිම ඇයි හොඳයියක් නෑ..,

ඒ මොකෝ සරු වෙලා නිසා සේකරලව දකින එක ලැජ්ජයිද දන්නේ නෑ,

එහෙම වෙන්නත් ඇති මහත්තයා.., කවුද දන්නේ.., එදා අපේ ආතා ගියානං වල කපන්න අද ඔතන ඉන්නේ අපි.., පස්සේ ටික කාලයක යනකොට ආතා මේවා දැනගෙන තමන්ගේ මල්ලී තමන්ට කිසිම උදව්වක් කරපු නැති නිසා.., හිතේ අමාරුවටම බොන්න පටන් අරගෙන.., ඒකෙන්ම මැරිලා.., ඒ මැරෙන්න හේතුව ඒක විතරක් නෙවී මහත්තයා මැතිණිගේ කාලේ ප්‍රජා ඉඩං රාජසන්තක කලාලු, ඒකට අහුවේලා, ඔය කාලේ වෙනකොට අපේ අර ඉඩමත් ආණ්ඩුවට අයිතිවෙලා.., ඒකේ සෝකෙන්ම තමා එහෙම වෙලා තියෙන්නේ.., මට මතකයි අපේ ආතා මැරෙණවා.., එතකොට මම 7 වසරේ.., මම 8 පාස් උනාට පස්සේ ඉස්කෝලේ නැවැත්තුවා.., මමත් තාත්තා පස්සේ

ගිහින් මේ රස්සාවටම පුරුදු උනා.., පස්සේ බැන්දා දරුවෝ හැදුවා.., ඔන්න ඔහොම තමා ජීවිතේ.., මම කවදාවත් කාටවත් කරදරයක් කරලා ජීවත් වෙච්චි මිනිහෙක නෙවෙයි මහත්තයා.., ඒක නිසා මට හිතේ දුකක් නෑ.., ඉතින් මේ වයසට ගිහින් ඉන්න නිසා සේකරට පුලුවන් නේ ගෙදරට වෙලා දරුවන්ගේ දුක සැප බලාගෙන ඒ අයගෙන් උදවු අරගෙන

ඉන්න..,

තනි මට මොන සැපද මහත්තයා..,
ලොකු කෙල්ල ගාමන්ට් එකේ කිව් ඇස් කෙනෙක්ව බැන්දා, ඒ දෙන්නට ළමයි දෙන්නයි., මද්දුමේ ඩුබායි.., පොඩ්ඩා තමා ගෙදර ඉන්නේ මා එක්කලා තනියට ගෙදටත් මම පොඩ්ඩට ලිව්වා මහත්තයා, කොල්ලට වයස 22ක් උනාට කසාද බඳින්න කෙල්ලෙක් එහෙම ඉන්නවා.., අපිවගේ නෙවෙයි.., ඒවා නං කලටවෙලාවට කරගන්නවා අද කාලේ උන්..,

ඒ උනාට සේකරට පුලුවන්නෙව මාසෙට සතිය ගානේ දරුවන්ගේ ගේවල් වල ඉන්න...,

මම මොකට ඒ අයට කරදර කරනවද මහත්තයා., ඒ අය ඒ ගොල්ලන්ගේ ලොක හදාගෙන පැලපදියම් වේලා ඉන්නකොට මම මොකටද කරදර කරන්නේ මට තවම හයිය හත්තිය තියෙනවා මිනී වලක් දෙකක් දවසට කපාගන්න..,

දැන් මිනී වලටකට කීයක් ගන්නවද කපන්න..,

රුපියල් 900ක් දාහක් වත් ඕනේ මහත්තයා..,
ඒත් වලකපල ගොඩට ඇවිල්ලා ගණුදෙණු කතා කරනකොට මිනිස්සු හැසිරෙන්නේ උන් කවදාවත් මැරෙන්නෑ කියලා වගේ.

මිනිස්සුන්ගේ හැටි තමා මහත්තයා.., මහත්තයා ලියලා ජීවිතේ ගොඩ දානවා.., මම වලවල් කපලා ජීවිතේ ගොඩ දානවා.., වෙනස් දේවල් කලාට මිනිස්සු මේ හැමදෙයක්ම කරන්නේ ජීවත් වෙන්න..,
එහෙම ජීවත් වෙලා ඇතිවෙලා මිනිස්සු අවසානට මොහොතට යනකොට ඒ ඈයොන්ට සැතපෙන්ට උදවු කරන්නේ මම..,

ඒ කෝහොමද??

ඇයි මහත්තයා.., මයේ රස්සාව මිනී වලවල් කපන එකනේ..!

නිහඬ තාවය නොවන්නට දේවින්දට හෘදයාබාදයක් සැදේතැයි සුනේත්‍රාට සිතුන නිසා කිසිවක් නොකියා සිටීම උචිත යැයි ඇයට සිතිණි. දෙදෙනා කාමර දෙකකට සිය බඩු බාහිරාදිය ඇදගත් පසුව එකට සිටිනු දකින්නට ලැබුනේ කෑම කාමරයේදී පමණි. ඒද ප්‍රධාන සේවක තැන පිලෝරිස් ගේ අතින් තැනෙන උදේ දවල් සහ රාත්‍රී ආහාර වේල ගනීමට පමණි.මත ගැටුව ඇරඹුණ දාසිට දෙදෙනා කෑම කාමරයේ එන සෑම අවස්ථාවකම පිලෝරිස් කෑම කාමරයේ මේසය අසල හරි මැද සිට සිය හාම්පුතුන් කෑම ගෙන අවසාන කරන තෙක් සිටිය යුතු වීම අනිවාර්යය විය.

පිලෝරිස් ඔය ලූණු එක මෙහාට දෙන්න.

සම්බෝල එක ඉක්මනට මෙහාට දෙන්න මට යන්නත් පරක්කු වෙනවා පිලෝරිස්..,

මේ ආදී නෙක ලෙසින් සිය ජීවිත විසින් විහින් හුදෙකලා කරගත්, සිය යුග දිවියේ අවසාන භාගය ගෙනව දෙදෙනෙකු සිටින නිවසක ප්‍රධාන සේවකයෙකු වී සිටීම තමා කරන ලද පාපයක් වග පිලෝරිස් තවමත් සිතයි.
ඒ මේ සිද්ධියේ සිවුවැනී වූත් නොපෙණෙන්නා වූ විත්ති කරුවා මේ සදාකාලික නිහඬ සේවක තැන වන නිසා ය.

*****************************************

බහුතරය මැඩම්ට ඡන්දේ දැම්මා කියලා සර් සැලෙන්න එපා අපි හැමදාම සර් එක්කලා නෙව.

අල්මේදා සිය උපැස් යුවල අතට ගෙන දේවින්දගේ උරහිසට අතක් තබන ගමන් පවසන්නේ දේවින්දගේ වටේ සිටින අනික් අයද තමා කියනදේට අවනත වූ බව හඟවන අයුරිනි.

වැඩේ කියන්නේ ඕයි.., මේ ගෑණිට මිනිස්සු පුදුම කැමැත්තක් නේ තියෙන්නේ අද..?
මුන්ට අපි බලයේ ඉන්නකොට කල සේවේ අමතක වෙලා..,

මම මෙහෙම කියනවට අමනාප වෙන්න එපා සර්.
මේපාර ප්‍රාදේශීය සභාව අපේ අතට ගන්න අපිට හෙන ගේමක් දෙන්න වෙනවා. මොකද මේ පාර "poll"වල රිසාල්ට් වලින් උනත් සර්ගේ නෝනා ඉන්නේ සර්ට වඩා ටිකක් ඉස්සරහින්. මම මේ කේලමක් එහෙම කියනවා කියලා හිතන්න එපා සර් ඕං..!

දෙපස බලා  සිය උපැස් යුවල නැවතත් සවන් අතර රඳවනා ගමන් අල්මේදා තෙපලීය.

මේ ඔක්කෝම මගේ වැරදී ඕයි, මගේ වැරදී..,
මමයි ඔය ගෑණිට දේශපාලනේට එන්න කිව්වේ.., ඒකත් මට තර්ජනයක් වෙන නිසා විපක්ෂෙන් ඉල්ලන්න.., මොකද ඒ කාලේ අපිට මිනිස්සු රොද බැඳන් හිටියට අනිප්පැත්තට මැස්සෙක්වත් හිටියේ නෑනේ ඕයි. කරුමේ කියන්නේ මේකි මේ පක්ෂේට බැඳුණත් හරි අර මදනායක කාරයා එහෙම වැඩ කරන්න ගත්තේ පිස්සු හැදිලා වගේ.., නෙද්දකිං මං වගේ බූරුවෙක්..!

තමා විසින් විස කවන ලද අදහස සුනේත්‍රාගේ සිතට කැවූ දේවින්ද, සිය තීරණයට ශාප කරගනිමින් සීටත්දී ඊට පාර කැපුවේ සියසේවක තැන වග මතකයක්වහ් නොමැතිව සිටින සිය හාම්පුතා දෙස බලන අල්මේදාගේ මුවේ රැඳුණේ අවඥා සහගත සිනහවකි. යෝධ කන් දෙකකුත්, පොල් දතුත් නොතිබුණාට සිය හාම්පුතා යනු මිහිපිට වෙසෙන මිනිස් වෙසින් සිටිනා තවත් එක බූරුවෙක් බව මේ වන විටත් අල්මේදා අවබෝධ කරගෙන තිබිණ.

බර අඩි තබමින්, මේසය මත වූ ෆයිල් කිහිපය කිහිලි ගන්නාගෙන සිය මේසය අසලින් ප්‍රධාන දොර වෙතට අල්මේදා යන හඬ දේවින්දට ඇසෙන අතරම ශේෂ කන්දක් වටා පාවෙන වළාකුලු බැම්මක් ලෙස බැඳි අතීතය වටා පිහිනන මතකයන් දේවේන්ද්‍රගේ හිත තුල හොල්මන් කරන්නට වූයේ කිසිදු පිළිවෙළකින් තොරවය.

අපේ පාරත් අපේ සර් පළවෙණියා මැඩම්..,

ඒකනේ මටත් තවමත් හිතාගන්න බෑ මෙහෙම මිනිස්සු දේවින්ද වටේ රැඳිල ඉන්නේ කොහොමද කියලා..,

ජන බලේ මැඩම් ජන බලේ.., සල්ලි වලට කරන්න බැරි දෙයක් නෑ අපරාදේ කියන්න බෑ අපේ සර්ටත් මොණරකොළ විසික්කරලා මිනිස්සු බාන වැඩේ අගේට පිහිටලා තියෙනවා..,
ඉස්සර මැඩම්ට මතකද මැඩම් අපේ සර් තරඟ කරනවට අකමැති වුන හැටි.., මම නෙව සර්ට කැමැත්ත අරන් දුන්නේ..,

අල්මේදා අඩවන් දෙනෙතින් සුනේත්‍රා දෙස බලා කියන්නට වී.
අල්මේදා එලෙසින් බැලුවේද සුනේත්‍රා ගස්සා ගෙන ගෙතුලට ගියේද එක විටය.

අල්මේදාට පරණ කුණු අමතක වෙලා තියෙන එක ලොකු දෙයක්.., මිනිහාට වෙච්චි ඇක්සිඩන්ට් එකෙන් පස්සේ මතකෙන් පොඩ්ඩක් අවුල් ගිය නිසා එහෙම වෙන්න ඇති. නැත්තම් මෙහෙම බේරිල්ලක් තියේද..? දැන්නං ඔය බීලා මිනිහා මෙලෝ විචාරයක් නැතුව කියවනවා.

ඈ තමාටම කියාගත්තේ නිරුත්සාහකව ය.

අල්මේදා සිය සැමියා හා මිතුරු වූ ආකාරය සුනේත්‍රාගේ මතකයේ ඉත හොඳින් සටහන් ව ඇත., සිය සැමියා ව්‍යාපාර ආරම්භ කරන්නට පෙර අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කරනා අවදියේ සිටම අල්මේදාගේ හා දේවින්දගේ සහ සම්බන්ධය ඉතා යහපත් මට්ටමේ පැවතිනි.., දැන් පවතින ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රී ධූරයකට තරඟ කල ජයවර්ධන මහතාට රාජ්‍යසේවයේ සිටිමින් ම සහාය දීම යන යන චෝදනාව මත අල්මේදාව සහ දේවින්දව සේවයෙන් තාවකාලිකව අත්හිටවනු ලැබුවේ එකටමය. වෙනත් ශාඛාවක සේවය සඳහා පත්වීමක් ගත හැකිව තිබුණත් අල්මේදාද දේවින්ද සමඟම සේවයෙන් ඉවත් වීම සමඟම අල්මේදා දේවින්දගේ දකුණු අත බවට පත් වූයේ නිරුත්සාහකව ය.

මගේ වටේ මිනිස්සු හිටියට මොකෝ, අල්මේදා විතරයි අන්තිමට මගේ පැත්තට හිටියේ මුලු ඔපීසියෙන්ම.., මම දේශපාලනය කල එක එකක් ඒත් මෙහෙම සේවයෙන් අයින් කරන එක මහ පජාති වැඩක්..!

රහමෙරක් කටතොලේ ගෑවූ දිනට ඉස්තෝප්පුවේ හාන්සිපුරුව උඩට වී උරුවම් බාන අතර මෙලෙස කීම අනිවාර්යය විය. තමාට පිය පාර්ශවයෙන් ලැබුණු රබර් අක්කරයේ සීට් විකුණූ දාට , නිවසට අඩුම කුඩුම සමඟ අරක්කු කාලක්ද රැගෙන ඒම දේවින්දට හුරු විය.

රස්සාව නැති මනුස්සයා, ඔන්නොහේ පොඩ්ඩක් පාවිච්චි කලාට මොකද..?

සිය හද බසට කෙතරම් එකඟ නැතිවුවත් දේශපාලනය වෙනුවෙන් සිය රස්සාව බිලිදුන් දේවින්දගේ බිරිඳ දේවින්ද ගැන අහිතක් නොහිතුවේ ඉහත කාරණා පාදක කරගෙනය.

මම ඔය තත්වෙට පත් උනත් මම ඔහොම වේවි. ටික කාලෙකින් ඔව්ව ඇරිල යාවි.., තාම රස්සාව නැතිවෙච්චි අලුතනේ..!

කොතරම් ගැහැට ජීවිතය ඉදීරියට පැමිණියද ඒ එකක්  සඳහාවත් දේවින්දගේ සිතේ පැවති දේශපාලනය ගැන වු මනාපය ඉවත් කරන්නට ඒ ගැහැට ශක්තිමත් නොවීය.

අවසන දෙවින්ද එළඹෙන ප්‍රාදේශීය සභා ඡන්දයට ඉදිරිපත් වෙන්නට තීරණය කලේය.

මම ඊළඟ එලෙක්ෂන් එකට ඉදිරිපත් වෙන්න හිතාගෙන ඉන්නවා සුනේත්‍රා..!

සිය කැමැත්ත අකමැත්ත පවා නො අසා මැතිවරණයකට ඉදිරිපත් වීමට සිතාගෙන සිටින සිය සැමියා ගැන සුනේත්‍රාගේ සිතේ ඇතිවූයේ තරහාවකි.

ඔයා ඔයාගේ අවුරුදු 15 තිස්සේ කරගෙන ආපු රස්සාවත් නැති කරගත්තේ ඔය උලවු දේශපාලනේට පින්සිද්ධ වෙන්න. දැං ඔයා මේ හදන්නේ ටික ටික කීය කීය හරි එකතු කරගෙන්න හදන රබර් කෑල්ලෙන් එන ආදායමත් නැති කරලා දාන්නද දේවින්ද..?
දෙයක් කරනකොට මීට වඩා මොලේ පාවිච්චි කරන්නකො අනේ..!
මොනවද මේ ඔයාට වෙලා තියෙන්නේ.!

සුනේත්‍රාගේ නෝක්කාඩු මධ්‍යයේ දේවින්ද සිය දේශපාලන ගමන ගැන වූ පැතුම් මල් හකුලා ගත්තත් පයට පෑගී මිලාන වූ නිදිකුම්බා නැවත යථා තත්ත්වයට පත් වන්නාක් මෙන් නැවත නැවත හිත තුල ඔබ මොබ යන්නට වී.

මං චන්දේ ඉල්ලනවට අපේ නෝනා අකමැතියි ඕයි..,

දිනෙක ඉස්තොප්පුවේ පරණ පුරුදු අසුනේම සිටිනා ගමන් අල්මේදාට දේවින්ද කීවේ අත වූ නැවිකට් වැටියේ අළු අළුබඳුණට මුදන ගමන් ය.

සර් මෙහෙම කරන්න.., නිතරම නෝනා කැමතී දේවල් ම කරන්න. එයැයිගේ හිත ගන්න.

මමත් දවසක් දෙකක් කතා බහ කරලා බලන්නංකෝ..,

අනේ ඔව් ඕයි, අර උලවු ප්‍රෂ්නේදී තමුසේත් මා එක්කම එළියට බැහැපු එක ගැන අපේ නෝනා ඉන්නේ හරි පැහැදීමෙන්. තමුසේට එයා ගේ හිත වෙනස් කරන්න බැරි වෙන එක්ක් නෑ.

පොඩ්ඩක් බලනවා ඈ..!

දේවින්දගේ බිරිඳගේ හිත දේශපාලනයට නතු කරන්නට අල්මේදා විවරණ ගත්තේ එලෙස ය. ඊට මාස කිහිපයකට පසුව එක් සවසක..,

හරි කමක් නෑ. හැබැයි එක පාරයි. පැරදුනොත් ඔයා මේ වගා ටික කරගෙන ගෙදරට වෙලා ඉන්න ඕනේ..!

ඒ සුනේත්‍රාගේ අවසරය ස්වරූපයෙන් ආ අණ ය.

සිය පාදපරිචාරිකාවගෙන් තම හිතේ පැවති ආශාව සඳහා අවසරය ලැබීමත් සමඟම දේවින්දගේ සිය අදහස සඳහා වූ ක්‍රියාත්මක වීම් දෙගුණ තෙගුණ වන්නට විය. අල්මේදාගේ සහායත්, අනාගතය සඳහා වූ දේශපාලනකයන්ගේ මඟ පෙන්වීමත්, නැගෙන දේශපාලකයෙකුගේ කතා විලාශය දරනා මේ අංකුර දේශපාලකයාගේ අනාගතය දීප්තිමත් වීමෙන් සිය ව්‍යාපාර කටයුතු පවා අනාගතයේදී ගොඩ නංවා ගත හැකියයි සිතු ප්‍රකට ව්‍යාපාරිකයන්ගේ මූල්‍ය අනුග්‍රහය මත තරඟ වැදුණු දේවින්ද පළමු වටයෙන්ම ප්‍රතිවාදී පිළට වඩා ඡන්ද දස දහසක අතිරික්තයක් සමඟ ප්‍රාදේශීය සභාවට තේරී පත් විය. එම ඡන්ද ප්‍රමාණය දෙවැනි වූවේ ප්‍රාදේශීය සභාවේ සභාපති වූ යසරත්න මහතාට පමණය.

දේවින්ද මන්ත්‍රීතුමාට ජය වේවා..,
අපේ දේවින්ද මන්ත්‍රීතුමාට ජය වේවා..,
ජය වේවා.., දේවින්ද මන්ත්‍රීතුමාට ජය වේවා..,

ඈතින් ඇසෙන සිය ඡන්ද දායකයින් ගේ ජය ගෝෂාව දේවින්දට ඇසෙන්නට වූයේ තමා වෙත දමාගසන ලද ආසිරි මල් අහුරක සතුට හිත මත ලියවමිනි. සුනේත්‍රා ටීපෝව මතින් තබාගිය තේ කොප්පය අතට ගත් දේවින්ද කල්පනා කලේ පක්ෂ නායක යසරත්න මහතා තමාට කී දේ ගැනය.

කරන දේ ගැන හොඳ සෙවිල්ලෙන් ඉන්න.., මොනම වටිනාකමක් වත් නැති දේකට ඇරෙන්න අනිත් දේවල් වලට එළිපිට කෑ ගහන්න යන්න එපා.., එහෙම උනොත් අපි එක්කලා ඉන්න අපේ ඉන්වෙස්ට් කරන බිස්නස් කාරයෝ ටික එහෙමෙහෙ ගියොත් එහෙම මේ ගමන යන්න වෙන්නේ නෑ තේරුණාද දේවින්දට.,
අනික් වැදගත්ම දේ..,
මොනම හේතුවන් නිසාවත් තමා ළඟින් ඉන්න අයව දේශපාලනේට ගාව ගන්න එපා.., එහෙම උනාම තමන්ගේ long run එකකට කරදර වෙනවා ඒ අයව.

සික්.., මට වැරදුනේ එතන තමා ඕයි..! එතනම තමයි..!
යසරත්න මට එපා කිව්ව එක දෙයක් වත් මම කලේ නෑ මේක ඇරෙන්න..,
බලනවකෝ ඒකෙන්ම මම ඇන ගත්ත හැටි.

අල්මේදාගේ මුවග සිනහවක් රැඳුණේ නිරුත්සහයෙනි.
ගැටලු සහගත අවස්ථවලදී අල්මේදා දේවින්ද හට උපදේස දෙන්නේ මිතුරෙකු තරම් සමීපව ය..,

ගන්නවා තමුසෙත් ශොට් එකක්..,
කනප්පුව මත වූ විස්කි බෝතලය දෙසට දික්කර දෙවින්ද කී විට අල්මේදා අසල තිබූ වීදුරුව ගෙන ඒ දේට ළංවිය.

කල දේ හරි කියලා මම කියන්නේ නෑ සර්. ඒත් මෙහෙමත් දේකුත් තියෙනවා.., සර් ආණ්ඩු පක්ෂෙන් ඉල්ලනවා, මැඩම් විපක්ෂයෙන් ඉල්ලනවා.., එකෙක්වත් මේ පවුලට ළං වෙන්න වෙන්න තියා හිතන්නේවත් නෑ..! මේක හොඳ අවස්ථාවක් කියලා හිතන්න. මෙලෝ රහක් නැති විපක්ෂයක් ඉන්නවට වඩා ජවසම්පන්න විපක්ෂයක් එක්කලා අපිට දෙන්න තියෙන තරඟේ වැඩියි.., ඒ වගේ තමා තියන සතුට.

තමුසේ නං කියයි.., ඒ වගේද මැතිවරණේකට බැට් බෝල ටිකක් බෙදලා දීලා ලේසියෙන්ම ගන්න තිබ්බ චන්ද ටික සික්..!

බල ලෝභයට ලොල්වී සිය පවුලේ හර පද්ධතියේ වටිනාකම් ද ඡන්ද  තුලින් මනිනා මේ දුරු පාලකයා පිළිබඳව අල්මේදා හට කලින් සුනේත්‍රා තමා හා පවසා තිබූ  නිසා ඒ බව අල්මේදාට අරුමයක් වූයේ නැත. සිය හාම්පුතාගේ වචන තුලින් අතීතයට දුවන අල්මේදාගේ සිත සුනේත්‍රාත් තමාත් තනි වූ සවසක් මතකයට නඟයි.

අපේ මහත්තයාද? එයා ගැන කියන්න තියෙන්නේ සල්ලි බලේ ප්‍රසිද්ධිය තියේ නං එයාට වෙන මොනවත් ඕනේ නෑ..,

මොනවත්ම???

ඔව්..?

මැඩම්ව වත්?

සමහර වෙලාවල් වලට මාවත් අමතක වෙන තරම්..,

එහෙනම් මැඩම් ට කරන්න තියෙන්නේ එක දෙයයි.

ඒ මොකද්ද?

දැන් මැඩම් ම කීවා, සල්ලී වලට බලයට කෑදරයි කියලා අපේ සර්.

ඔව් ඉතිං?

ඉතිං මැඩම්ටත් තියෙන්නේ සර්ගේ හිතවතා වෙච්චි "මට" මේ විදියට සලකනවා වගේ සර්ගේ හිත අරගෙන විපක්ෂෙන් වත් ඡන්දේ ඉල්ලන්න.

අවිශ්වාසයේ අකමැත්තේ අපුල, කැමැත්තේ විශ්වාසයේ රස බවට රවටා සුනේත්‍රාට කැවූ ආකාරය මතක් වී අල්මේදාගේ මුවේ නැඟුණේ සිනහවකි. නැඟුණ සැනින් සිනහව සඟවා ගත් අල්මේදා පෙරටත් වඩා බැරෑරුම් බවක් ආරූඪ කරගෙන දේවින්දගේ ගැටලුව ගැන සිතනාකාරයෙන් සිටින්නට වී.

මොකෝ මේ එකපාරටම තමුසේ කල්පනා කරන්න ගත්තේ..? ගණන් ගන්න එපා ඕයි, take it easy.
හරි අපි ඕක ගැන වෙන වෙලාවක කතා කරමු.., මම යනවා පොඩ්ඩක් එළියට.
තමුසේ ඉස්සරහ ඔෆිස් කාමරේ වැඩ ඉවර කරලා වහලා යතුර සුනේත්‍රාට හරි පිලෝරිස්ට හරි දීලා යනවා..

ට්‍රැවලින් හරි නේ?
හරි සර්.!!

ok
will see you then.


සිය සැමියා මිදුලේ නතර කර ඇති පැජරෝවට නඟිනු දුටු සුනේත්‍රා, ඊට මඳක් ඈති තමා සිටින බැල්කණියේ දෙස බලමින් ඉක්මන් ගමනින් එන පුද්ගලයා සිය කාමරය තුලට පිළිගන්නට වහ වහා පහල මහලට යන්නට විය.

රථයේ නැඟී යන අතර තුර තමා අත වූ ජංගම දුරකතනයට ආ ඇමතුම ට පිළිතුරු දෙන්නට වූ දේවින්ද ඉන් අනිත් කොනින් නැඟි හඬින් වික්ෂිප්ත වන්නට විය.

ඔව්?

හරි..? ඔය කතා කරන කෙනා කොහොමද දන්නේ??

මගේ නෝනා එක්ක ඌ එහෙම සම්බන්ධයක් තියෙනවා කියලා..,

ඔව්..?

ඔව් මමයි කිව්වේ ඉස්සරහ ඔපීසියේ දොරවල් වහල යතුරු දීලා යන්න කිව්වේ..,

මොනවා..මේ වෙලාවෙත්..?

නෑ නෑ.., එහෙම ඕනේ නෑ..,

මම ඒක එහෙම නම් මම ඒ ප්‍රෂ්ණේ විසඳගන්නම්.

ඔව්..,

ඒක එහෙම නම් මම ඒකට දෙන්න ඕන බෙහෙත් දන්නවා..,

හ්ම්..

නිරුත්සාහකව ඇමතුම විසන්න්ධි වූ පසු දේවින්ද තුල ඇති වූයේ කුකුසකි.., සිය දකුණු අතට හොරෙන් වම් අත කියාකරන අයුරු දැනෙන්නට වීම නිසාවෙන් සිත තුල මුළුගැන්වී තිබූ පැරණි සිද්ධිවාචක එකින් එක මොළයට පොම්ව වනවාක් මෙන් දැනෙන්නට විය.

රථය තුල උෂ්ණත්වය අඩු අගයක් ගත් නමුදු සියොළඟ නැඟි දහදිය කඳ නිසා පිටි අත්ලෙන් පිහදාගත් නමුදු සිතට නැගෙන සිතුවිලි සරි දහදියද නොකඩවා ගලා යන්නට විය.

සාක්කුවෙන් ගත් කුඩා හැඹිළියෙන් අතට හලාගත් කුඩා පෙත්ත දිව යට තබා ගත් දේවින්ද අසුනට බර වූයේ කල්පනා සහගතවය.

*****************************************

අල්මේදා මෙහාට එනවා..,

ඇයි සර් අද තමුසේට මොකක් හරි වැඩක් තියෙනවද?

පොඩි අපොයින්මන්ට් එකක් දාගෙන ඉන්නේ සර්, කමක් නෑ කියන්නකො මොකක්ද සර්ට වෙන්නේ ඕනේ??

නෑ මේ පොඩි වැඩක්.., අද අපේ නෝනට KV ස්පෝර්ට්ස් ක්ලබ් එකේ කාවද පිළිගැනීමේ උත්සවයක් තියෙනවා කියලා පිලෝරිස්ට කියනවා මම අහගෙන.., මේ ගෑණි මගේ මූණ බලන්නේවත් නැති නිසා මට අහන්නත් බෑ මොකද්ද කියලා,

පොඩ්ඩක් ඒක බලලා කරන්න තියෙන දෙයක් තියේනම් කරලා දෙනවා..,

හරි සර්.!!

මන්ත්‍රීතුමා පිටත් වූ වහාම අල්මේදා ඇමතුමක් ගත්තේ සුනේත්‍රාට ය.

හලෝ මැඩම්!!

ඔව්

මම මේ අල්මේදා කතා කරන්නේ, වැඩේ හරිද?

ඔව් මම දේවින්ද එළියට යන්න හදනකොට, එයාට ඇහෙන්න ඔය කියාපු විදියට පිලෝරිස්ට කිව්වා

ඔව් මට කිව්වා මැඩම් ව එක්ක ගෙන යන්න කියලා.., හරි මම තව පැයකින් එන්නම්

ok..

තනි පුද්ගලයෙකු පදවගෙන ආ රථය දේවින්ද මංත්‍රී නිවස්නයට ආ පසු ඉන් පිටවූයේ දෙදෙනෙකුගේ සතුටු සිනා සහිතවය. සුඛෝපභෝගී හොටල් කාමරයක් තුල ගෙවුණු එක නිමේෂයක අවසන මහ හඬක් නංවම්න් විවෘත වූ දොරක් පාමුල වසර පහළොවක දේශපාලන දිවියට උදව්වක් වූ රහසක් විවර වී තිබිණි....

පසුදින...., 

3