සේකර

/
14 Comments
නිරුත්සාහකව අතට ආ පෑණ කිසිවක් ලියා නැති ෆුල්ස්කැප් කොලය මත එහා මෙහා දිව්වේ.., අකුරු එකතු කරන්නට තරම් වැදගත් කිසිවක් නොවූ නිසාය.., රස්සාවට ගිය පළමු සතිය බැවින් වචන 650ක උපරිමයකට යටත් වන ලෙස සමාජීය ගැටලුවක් පිළිබඳ දවසට අවම එක ලිපියක් හෝ ලබා නොදුන හොත් ගැහැට වන්නේ ම මට ම නිසා පෑණ කොලයට තදකර සිතුවිල්ලක් මිරිකා හරින්නට වෙහෙස වීමි..,

ආ මහත්තයා අදත් මෙතනම..,

ඔව් මම මේ පත්තරේට ලිපියක් ලියන්න කරුණු කාරණා ටිකක් එක්කහු කරනවා.

මේ ළඟදී මෙතනම ඔය මහත්තයා හිටපු විදියටම මහත්තයෙකුයි නෝනා කෙනෙකුයි ඇවිල්ලා කතා කර කර ඉන්නකොට මම මොකෝ කියලා ඇහුවම ඒ දෙන්නත් කිව්වේ " අපි මේ පත්තරේකා සම්මුඛ සාකච්චාවක් ගන්න ආවැයි කියලා"

ඉතින්..?

මම ඒ වෙලාවේ මෙතන අතුගගා හිටියේ.., පස්සේ ප්ලේන්ටියක් බොන්න මම එහා පැත්තේ පෙට්ටිකඩේ ගාවට යනකොට පාර අනික් පැත්තේ තියෙන සනීහිල් එක ඇතුලේ ඉඳන් ඒ දෙන්නා ආපහු එළියට ආවා, නෝනගේ මූණේ කිසි එළියක් නෑ, මහත්තයා කලිසම හද හදා එළියට ඇවිල්ලා, නෝනව බස් එකට නග්ගලා මහත්තයා බයිසිකලේ නැගලා ගියා.

ඉතින් ඔහේට අහන්න තිබබනේ සම්මුඛ සාකච්ඡාව කරගත්තද කියලා..?

අනේ මොකටද මහත්තයා.., දෙන්න සාකච්චාව කෙසේ වෙතත් වැඩේ සම්මුඛ කරගෙන වග මට තේරුණා..,

කටේ වම් පසින් රූරන බුලත් කෙළ පහර පිටි අතින් මකමින් හේ තනිවම සිනහසෙයි, ඒ අව්‍යාජ සිනහව ඉදීරියේ මම මගේ සිනහවද ඔප්නංවා ගතිමි..,

මේ දවස් වල මට එච්චර වැඩ නෑ.., ඉතින් මම කරන්නේ ගාඩන් එකේ තණකොල ටික කපන්න සුබේට උදව්වේන ගමන්.., අර කොණේ තියෙන පාත්ති වල අලුතින් මල් පැල වගා කරනවා..,

ඇයි ඒ???

ඇයි මහත්තයා, එතකොට වත්තට මල් අඩු උනොත් එතනින් පැල ගන්න පුලුවන්නේ.., කංකානං මහත්තයා මට දවසේ වියදම දෙනවා.., ඉතින් ඒ ඇති නේව මට ජීවත් වෙන්න..,

ඔහේගේ නම මොකද්ද?

මම ජයසේකර, මට හැමෝම කියන්නේ සේකර කියලා. ඒත් මං කැමති මට ජයේ කියනවට, මගේපවුල විතරයි මට ජයේ කියලා කතා කරන්න හිටියේ.., කොහේද බාල කොල්ලා හම්බවෙන්න යද්දී නැති උනානෙව..,

ඉතින් දරුවෝ ටික බලාගන්නේ කෝමද??

ළමයි පොඩි කාලේ ලොකු කෙල්ල ළමයි ටික බලාගත්තා මහත්තයා.., කාලේ වෙනස් උනා අපි වයසට යද්දී ඒ අය තරුණ ළමයි වෙච්චි.., දැන් ඉතින් ඒ අයගෙන මට මිසක්කා මගේ ඒ අයට වෙන්න දෙයක් නෑ..,
හ්ම්.., ජයේ මේ දවස් වල එච්චර වැඩ නෑ කිව්වේ වෙන කොහේවත් වැඩ කරනවද??

මම බංකුවේ උඩ ලිපිගොණුව තබා සේකර වෙතට හැරුණෙමි.

ඔව් මහත්තයා මගේ රස්සාව, මිනී වලවල් කපන එක, අලුතෙන් ගෑස් එකෙන් පුච්චන නිසා කවුරුවත් දැන් වලවල් කපන්නේ නෑ.., ඉන්දියාවේ ක්‍රමේ කියලා ගඟකට හරි ඇලකට හරි අලු ටික විසික්කා කරනවානේ, ඉතින් අපි කොහෙද වලවල් කපලා ජීවත් වෙන්නේ.., ඒකයි මම ගාඩන් එකේ වැඩට ආවේ.

පාඩුවක් නැද්ද??

වරදක් කියන්නම බෑ මහත්තයා.., දවසේගාන හම්බුවෙන නිසා අවුලක් නෑ.., ඒත් මේ වැඩ හරි ඒකාකාරීයි.., මට ඉන්න බැරිම තැන මම මේකේ මුරකාර කමකට ඉල්ලුවා.., ඉස්සරහ ගේට්ටුවේ ඉන්න එකා මහ මුඩුමයා.., ඒ යකා මම ඉල්ලුම් කරන බව දැනගෙනද මන්දා මිනිහගේ දුව බැඳපු බෑණව ජොබ් එකට සෙට් කලා.., මං හිතන්නේ ඒ යකා ඌගේ ගෙදර කෙල්ලත් එක්ක බින්න බැහැලද කොහේදෝ ඉන්නේ.

මට රස්සාව නැති උනාට මේක මට පරම් පරාවෙන් ආපු රස්සාවක් මහත්තයා..,

ඔහේ ඔය කියන්නේ මිනීවලවල් කපන වැඩේ ගැනද??

එහෙනං, අපේ තාත්තගේ මුත්තා ඒ කියන්නේ නත්තා කරලා තියෙන්නේත් මේ රස්සාව.., පළවෙනි ලෝක යුද්දේ කාලේ අපේ නත්තා වැඩ කරලා තියෙන්නේ ඉංගිරිසි ලොකු ලොක්කෙක්ගේ වත්තක.., අපේ නත්තා ඒ දවස් වල පොඩීලු.., මුලින්ම කරන්න දීලා තියෙන්නේ රබර් වලවල් කපන එක, ඊට පස්සේ ටික ටික ලොකු වෙන්න ගත්තම වත්තේ සොහොනේ වලවල් කපන මිනිහා අසනීප වෙලා මෙයාට තමා වලවල් කපන්න වෙලා තියෙන්නේ.., දැන් වගේ ඒ කාලේ මරණ මෙහෙම සුලබ නෑ මහත්තයා.., ඒ දවස් වල මලගෙයක් උනා කිව්වාම කඩ පිලකවත් මිනිහෙක් හවස හය වෙනකොට හොයාගන්න අමාරුයි.., ඉතින් එහෙම එකේ මිනී වලක් ගැන කවර කතාද??? අනික ඔය මිනීවලවල් ඒ දවස් වල කැපුවේ රොඩීකුලේ අයලු.., ඉතින් මේ රස්සාවට මිනිස්සු නොයන නිසා නත්තා මේකට ගැරෙන්න ඇති කියලා හිතෙනවා මහත්තයා. ජීවත් වෙන්න එදාවේල හොයාගන්න මොන කුලබේදද මහත්තයා.., ඒ දවස්වල පිට ගං තුලාන වලින් මිනිස්සු ඇවිල්ලා අපේ නත්තාව එක්කගෙන යනවලු මිනී වලවල් කප්පගන්න.., ඒ දවස් වල අපේ නත්තා සත 10 ක ගාස්තුවකටලු මේ වලවල් කපලා තියෙන්නේ,

ඊට පස්සේ.., නත්තා මලායින් පස්සේ අපේ මුත්තා.., ඒ කියන්නේ ආතගේ තාත්තා තමා මේ වැඩේ කරගෙන ගිහින් තියෙන්නේ අපේ මුත්තා කසාද බැඳලා තියෙන්නෙත් මිනීවලක් කපන්න ගිහින් වල කපන තැනට තේ ගේන්න ආපු ළමයා එක්කලු.., අපේ මහ ආච්චිට වයස අවුරුදු 13යිලු මුත්තා එක්ක එකවහලක් යට වෙද්දී.., කොහොම හරි අර වල කපපු ඉඩමෙන් බාගයක් විතර දෑවැද්දට හමුබුවෙලා තියෙනවා.., මහත්තයා දන්නවද අපේ මුත්තා කරලා තියෙන්නේ මොකද්ද කියලා..?

මොකද්ද විකුණලද ඉඩම??

මොන පිස්සුද මහත්තයා.., අපේ මුත්තා ඒක සොහොන් පිට්ටනියක් කරලා.., පොඩි ඉඩම් කෑලි මිනි වළලගන්න විකුණලා.., වලවල් වලට.., ඒ කාලේ රුපියල් 20යිලු අටයි පහේ ඉඩං කෑල්ලක්.., කොහොම හරි මෙහෙම වැඩ කරගෙන යනකොට අපේ ආතාත් කොල්ලා කාලේලු.., මිනිස්සු අතරේ "වල ආතර්" කිව්වම හරි ප්‍රසිද්ධයිලු.., ඉස්සර දවසට වලවල් 10ත් 20 අතර ප්‍රමාණයක් කපනවලු. 

තනියම..????

නෑ මහත්තයා ඔය කාලේ වෙනකොට අපේ ආතා වැඩේට බැහැලා තියෙන නිසා මිනිස්සු දම්මලාලු වැඩ කරවලා  තියෙන්නේ, මාසේ පඩියකට තමා ඒ කට්ටිය වැඩ කරලා තියෙන්නේ.., ඔය ටවුමේ සොල්දර කඩේ මුදලාලිගේ පවුල ගේ මිනී වලේ වැඩ කරලා තියෙන්නේ අපේ ආතලා..,

මහත්තයා කොහේද??

මමද? මම රත්නපුරේ..,

හා එහෙමද? එහෙනම් අහලා තියෙනවද සුනිල් මැණික් කියලා වෙළෙන්දෙක් ගැන..,

ඔව් ඔය කහවත්තේ ඉන්නේ..,

අපේ ආතා මේ වගේ මිනිස්සු දාලා වැඩ කරනවා කියලා කිව්වම අපේ මුත්තගේ බාලපුතාත් ඒ කියන්නේ අපේ ආතගේ එකකුස උපන් මල්ලී එක්කහුවේලා ඔය වැඩේට.., පස්සේ ඔහොම යනකොට එක දවසක් කහවත්තේ රබර් ඉඩමක ලැයිමක දෙමළ මිනිහෙක් මැරිලා අපේ ආතට පණිවිඩේ ඇවිල්ලා, එදා ආතා වෙන තැනක වලක් කප්පවන්න බාර අරන් තිබ්බ මිසා ආතගේ මල්ලීව යවලා වැඩේ කරන්න කියලා.., පස්සේ වල කපනකොට උදැල්ලට ටිකක් තදට ගලක් වැදුන නිසා අලවංගුවෙන් පොඩ්ඩක් හාරලා බලලා.., බලනකොට මැණික් ගල.., එතනින් පස්සේ තමා මිනිහා නගින්න පටන් ගත්තේ.., දැන්නං අපි එක්කලා කිසිම ඇයි හොඳයියක් නෑ..,

ඒ මොකෝ සරු වෙලා නිසා සේකරලව දකින එක ලැජ්ජයිද දන්නේ නෑ,

එහෙම වෙන්නත් ඇති මහත්තයා.., කවුද දන්නේ.., එදා අපේ ආතා ගියානං වල කපන්න අද ඔතන ඉන්නේ අපි.., පස්සේ ටික කාලයක යනකොට ආතා මේවා දැනගෙන තමන්ගේ මල්ලී තමන්ට කිසිම උදව්වක් කරපු නැති නිසා.., හිතේ අමාරුවටම බොන්න පටන් අරගෙන.., ඒකෙන්ම මැරිලා.., ඒ මැරෙන්න හේතුව ඒක විතරක් නෙවී මහත්තයා මැතිණිගේ කාලේ ප්‍රජා ඉඩං රාජසන්තක කලාලු, ඒකට අහුවේලා, ඔය කාලේ වෙනකොට අපේ අර ඉඩමත් ආණ්ඩුවට අයිතිවෙලා.., ඒකේ සෝකෙන්ම තමා එහෙම වෙලා තියෙන්නේ.., මට මතකයි අපේ ආතා මැරෙණවා.., එතකොට මම 7 වසරේ.., මම 8 පාස් උනාට පස්සේ ඉස්කෝලේ නැවැත්තුවා.., මමත් තාත්තා පස්සේ

ගිහින් මේ රස්සාවටම පුරුදු උනා.., පස්සේ බැන්දා දරුවෝ හැදුවා.., ඔන්න ඔහොම තමා ජීවිතේ.., මම කවදාවත් කාටවත් කරදරයක් කරලා ජීවත් වෙච්චි මිනිහෙක නෙවෙයි මහත්තයා.., ඒක නිසා මට හිතේ දුකක් නෑ.., ඉතින් මේ වයසට ගිහින් ඉන්න නිසා සේකරට පුලුවන් නේ ගෙදරට වෙලා දරුවන්ගේ දුක සැප බලාගෙන ඒ අයගෙන් උදවු අරගෙන

ඉන්න..,

තනි මට මොන සැපද මහත්තයා..,
ලොකු කෙල්ල ගාමන්ට් එකේ කිව් ඇස් කෙනෙක්ව බැන්දා, ඒ දෙන්නට ළමයි දෙන්නයි., මද්දුමේ ඩුබායි.., පොඩ්ඩා තමා ගෙදර ඉන්නේ මා එක්කලා තනියට ගෙදටත් මම පොඩ්ඩට ලිව්වා මහත්තයා, කොල්ලට වයස 22ක් උනාට කසාද බඳින්න කෙල්ලෙක් එහෙම ඉන්නවා.., අපිවගේ නෙවෙයි.., ඒවා නං කලටවෙලාවට කරගන්නවා අද කාලේ උන්..,

ඒ උනාට සේකරට පුලුවන්නෙව මාසෙට සතිය ගානේ දරුවන්ගේ ගේවල් වල ඉන්න...,

මම මොකට ඒ අයට කරදර කරනවද මහත්තයා., ඒ අය ඒ ගොල්ලන්ගේ ලොක හදාගෙන පැලපදියම් වේලා ඉන්නකොට මම මොකටද කරදර කරන්නේ මට තවම හයිය හත්තිය තියෙනවා මිනී වලක් දෙකක් දවසට කපාගන්න..,

දැන් මිනී වලටකට කීයක් ගන්නවද කපන්න..,

රුපියල් 900ක් දාහක් වත් ඕනේ මහත්තයා..,
ඒත් වලකපල ගොඩට ඇවිල්ලා ගණුදෙණු කතා කරනකොට මිනිස්සු හැසිරෙන්නේ උන් කවදාවත් මැරෙන්නෑ කියලා වගේ.

මිනිස්සුන්ගේ හැටි තමා මහත්තයා.., මහත්තයා ලියලා ජීවිතේ ගොඩ දානවා.., මම වලවල් කපලා ජීවිතේ ගොඩ දානවා.., වෙනස් දේවල් කලාට මිනිස්සු මේ හැමදෙයක්ම කරන්නේ ජීවත් වෙන්න..,
එහෙම ජීවත් වෙලා ඇතිවෙලා මිනිස්සු අවසානට මොහොතට යනකොට ඒ ඈයොන්ට සැතපෙන්ට උදවු කරන්නේ මම..,

ඒ කෝහොමද??

ඇයි මහත්තයා.., මයේ රස්සාව මිනී වලවල් කපන එකනේ..!



You may also like

14 comments:

  1. අපේ ගමේ පාක් එකට වඩා සොහොන් පිට්ටනිය ලස්සනයි. ඒ තරමට ඒකෙ වැඩකරන මිනිස්සු නීට් එකට ඒක පවත්වගන්නවා. අපේ තාත්තගෙයි නැන්දගෙයි කටයුතුවලදි මට උන් කීපදෙනෙක් එක්ක කතා කරන්න ලැබුණත් උන් ගෙවන ජීවිතේ මගේ එකෙන් ලොකු වෙනසක් නෑ කියල මට හිතුණා. හවස හතට මිනියක් පිලිස්සුවොත් උන්ට ඒ වෙනකල් OT ගන්න පුළුවන්. OT ඉල්ලන වවුචර වලට අර මිනිය පුළුස්සන්න නගරසභාවෙන් දීපු නියෝග කොලේ කොපියක් අමුණන්න වෙනවා. උන් එක්ක මම කලේ ඒ වගේ ඔෆීෂියල් කතාවක්.

    ඔතන මිනී පිලිස්සුවට පස්සෙ අළු මුට්ටි වළලන්නත් වෙනම පැත්තක් තියෙනවා. කැමතිනම් ගඟට දාන්න පුළුවන් වුණාට මිනිස්සු බොන්නත් වතුර ගන්න ගඟට මිනී අළු දාන්න බැරි නිසා ගොඩ දෙනෙක් සොහොනෙ කොහේ හරි මුට්ටිය වලලනවා. ඒකට වල කපන උන්දැට තව රුපියල් සීයක් දෙසීයක් විතර මිට මොලවනවා.

    මේ කතාව කියවද්දි මට පිළිවෙලින් ඔය සිද්ධි ටික චිත්තරපටියක් වගේ ගලාගෙන ආවා...

    ReplyDelete
  2. සරල මිනිස්සු... වලදාපු හැමෝටම වැඩියෙන් හිත සැනසිල්ලෙන් මැරෙයි...

    ලස්සනයි මචං...

    ReplyDelete
  3. ශෝක් කතාව මල්ලි.... කියවගෙන ගිය ඒක හුස්මට.... අහම්බෙන් දැකල කියෙවුවත්.... ගන්න යමක තිබුන නිසා පාඩුවක් නම් උනේ නෑ....

    ReplyDelete
  4. විස්වාස කරනවද . .

    මම ගෙයක් හදන්න ඉඩමක් හොයද්දී හම්බ උනු ඉඩමට මම ආසා කලේ ඉඩමේ එක මායිමක අඩි පහලොවේ පාරට එහායින් තියෙන්නේ පවුලේ සුසාන බූමියක් වීම නිසා.

    ගේ හදලා ඉවර උනු කාලේක මගේම වියදමින් වත් ඒ කනත්ත ලස්සනට අරලිය ගස් ඉද්ද ගස් වවන්න තමයි මගේ ආසාව.

    ඉස්සර උඩහමුල්ලේ කනත්ත ලඟින් යද්දී මට පුදුම ආසාවක් තිබුනේ සතියකට දවස් දෙකක් වත් හවස්වරුව එතන ගත කරන්න තිබ්බ නම් කියලා . . ඒ කාලේ අද වගේ හිතේ හයිය තිබ්බේ නෑ . . . හවස් අතේ කනත්තවල් වල ලගින්නේ මොලේ අමාරුකාරයෝ කියලා රට්ටු කියයි කියලා බයේ මගේ ආසාව කවදාවත් ඉශ්ට කර ගනන් බැරි උනා අහම්බෙන් කාගේ හරි මලගෙයක් උනාම ඇරෙන්න . . .

    කනත්තවල් ඇතුලේ අපි නොහිතන කතා මහා ගොඩාක් තියෙනව බන් . . .

    ReplyDelete
  5. ඔය වගේ ජීවිතේ සරල මිනිස්සු අද කාලේ ගොඩක් අඩුයි, ආසාවෙන් කියෝගෙන ගියේ

    ReplyDelete
  6. මට මේක කියවනකොට හිතුනේ මේ සැබෑ චරිත ගණනාවක් එකට එකතු කරලා ලියපු මනඃකල්පිත කතාවක් කියලා. අපූරුයි!

    ReplyDelete
  7. එක කතාවක් ඇතුලේ කතා ගොඩක්. කතාවේ මාතෘකාව සේකර කියලා තිබුණු නිසා මම ආවේ "සේකර" ගැන කියවන්න. මේ සේකරත් ඒ සේකර වගේ කෙනෙක් කියලා අන්තිමට හිතුණා

    ReplyDelete
  8. අනෙක් මිනිස්සුන්ට සදාකාලික නින්ද සැනසිල්ලෙ සැතපෙන්නට සලසන මිනිසෙකුගේ කතාව. අපූරුයි.

    ReplyDelete
  9. පසු ගිය දවසක ලංකාවට ගිය වෙලේ කාලයක් තිස්සේ තිබ්බ හීනයක් හැබෑ කර ගන්න පුළුවන් වුනා. ඒ තමයි කනත්තක සංචාරය කරන එක.
    උදේ හතට විතර ගල්කිස්ස කනත්තෙන් නතර වුනේ අහම්බෙන්.
    මට හමු වුනු සොඳුරුම මිනිස්සු ටිකක් හමු වුනේ එතනදි.

    කිසි ප්‍රශ්නයක් නැතිව මම එයාලා එක්ක එකට දුමකුත් දැම්මා. එහෙම මට හිතවත් කෙනෙක් එක්කවත් ලේසියෙන් දුමක් දාන්න නොපෙළඹෙන මම එහෙම කලේ ඒ තරමට ඒ අය මට දැනුන හින්දයි.

    ඒක කොයි තරම් දැනුනද කියනවා නම් එදාම හවස වෙන කිසි වැඩක් නැතිව බොරැල්ල කනත්ත පුරාත් රවුම් ගැහුවා.
    (පස්සේ කට්ටිය මට රස්සාවකුත් හොයලා දීලා තිබ්බා කනත්තෙන්ම...) හික්ස්..

    ඒත් මේ වගේ කතා බොහොමයක් සැබෑවටත් වෙනවා කියලා තේරෙන්න අපි එහෙම ඇත්දැකීමක් ගන්න ඕනේ.

    ReplyDelete
  10. නියමයි මචන්...!

    ReplyDelete
  11. අපේ ගම් පළාත්වල ඔය වැඩේ තවම කුලියට වෙන්නෙ නෑ.. ඒත් පුළුවන් මිනිස්සුන්ගෙන් ගන්නවත් ඇති මුදල්.. ඒක හරියටම කියන්න දන්නෙ නෑ..

    මම කියන්න ගියේ, මිනිය වළලලා ඉවර වෙලා නාගෙන එහෙම එයාලා ඔක්කොම මළ ගෙදරට එන්න ඕනි.. ඊට පස්සෙ සාලෙ බිම වාඩිවෙලා මළබත කන්න ඕනි.. මිනී වල කපන්න මූලික වුන කෙනා එන්නෙ නැතිව කවුරුත් කන්නෙ නෑ.. ඉතින් මේ කුලියට වලවල් කපන අයත් එහෙමද දන්නෙ නෑ...

    ReplyDelete
  12. පහුගිය කතා සෑහෙන කොටසක් කියෙවුවා මරු බන්, මම බ්ලොග් අවුරුදු 2-3ක් තිස්සේ කියෙවුවට කොමෙන්ට් කරන්නෙ අඩුවෙන් බන්, එත් උඹෙ කතා ටික කියවපුවම cඔමෙන්ට් නොකර යන්න බෑ බන්. ඇත්තමයි බන්... උඹ හොද සිත්තරෙක්, උඹට පුළුවන් අපේ ඔලු වල චරිත ජොඊවත් කරන්න. කතාව කියවද්දි ඇස් බොද වෙන්නේ, හිනා වෙන්නේ නිරායාසයෙන්ම බන්. ජය වේවා.

    ReplyDelete
  13. සිරාවටම මම ආවෙ අපි ගොඩ දෙනෙක් දන්නා සේකර ගැන කියවන්න.ඒත් අනේ මන්දා අපි දන්නා සේකරගේ වගේම අව්‍යාජත්වයක් මේ සේකරගේත් දැක්කා.අදමයි මෙහාට ආවේ.සංවේදී පොස්ට් එකක්.

    ReplyDelete
  14. හරේ : සොහොන් පිට්ටනි එක්ක වෙනම උප සංස්කෘතියක් යටින් ගලනවා හරේ අයියා..!
    මම ලියන්න උත්සහ කලේ ඒක..!

    බීට්ල් : ස්තූතියි මචන්

    ලක්ෂ්මන් අයියා : මගේ බ්ලොග් එකකට ඔයාගෙන් වැටිච්ච පළවෙනි කොමෙන්ට් එක, ස්තූතියි

    දුකා : මම පොඩිකාලේ කනත්තක් ගාවින් යනකොට ඇස් වහ ගන්නවලු.., ඉස්සර මම ලොකු අම්මලගේ ගෙදර ගියාම හවස හයෙන් පස්සේ එළියට බහින්නේ නෑ.., ඒ එයාලගේ ගෙදර ඉස්සරහ තිබ්බේ අනුරාධපුර සුසානභූමිය නිසා.., ඉස්සර මමයි අයියයි එළියට බහිනවට අපිව බය කරලා තිබ්බේ රසදිය මෑන් රෑට ඉන්නවා කියලා..,
    රසදිය මෑන් කියන්නේ කෙල්ලෙක්ගේ ප්‍රෂ්ණේකට ඒ ගෙවල් ගාව රසදිය බීලා මැරිච්ච විද්‍යාව සර් කෙනෙකුට..!
    දැන් ඒවා මතක් වෙනකොටත් හිනා :ඪ්

    ඩිලා : ස්තූතියි මචන්.

    පූසා : ඇත්ත සිද්ධි. නම මනංකල්පිතයි :)

    හසිත : වෙන්න ඇති.., මම දන්න සේකරලා ඔක්කොම එහෙමයි.

    නලිනි : ස්තූතියි.

    බුරු : යන්න ඕනේ සොහොඉන් ගල් කියවන්න. ඒක තමා ආතල්ම වැඩේ..! :)

    අමිල : ස්තූතියි මචන්.., උඹේ කොමෙන්ට් මට හයියක්.., පුලුවන්නම් ආහහු ලියන්න පටන් ගනින්.., හැකියාව තියෙද්දී උඹලා නොලියන එක පාඩුවක්..!

    තනෝජා අක්කා : ඔව් අක්ක හරි, ඒත් සමහර පැති වල මේ විදියට මිනිස්සු හොයාගන්න බැරුව ගියාම [හැමෝම වැදගත් කියන ජොබ් කරන්න ගත්තම] මේ අයගේ පිහිට තමා අපිට ඉතුරු වෙන්නේ..!

    මානවක : ස්තූතියි මචන්z.

    ReplyDelete