එයා මගේ ලඟට එනකොට මම හිටියේ දහදියෙන් නැහැවිලා, බයට නෙවෙයි ආසාවට, ඒක මගේ පළමු වෙනි වතාව, මම ඈ දෙස බැලුවා, මීට පෙර කිහිපවතාවක්ම මේ දේ කර හුරුපුරුදු බවක් තියෙන බව මට ඇගේ මුහුණෙන් පෙනුණා. ඈගෙන් වහනය උනේ මීට ටික වෙලාවකට කලින් මොනවා හරි සැර බීමවර්ගයක් බීලා ආපු බවක්.

සැපපහසු ජීවිත නෙව.

එකපාරට ඈ මගේ දිහා බැලුවා.

මේ පළවෙනි පාරද?

මම හිස ඉහල සිට පහලට සෙලෙව්වා.. එත් ඒ නිහඬ අභිනයෙන් ඈ තෘප්තිමත් උනේ නැහැ. අය තවත් ප්‍රශ්නයක් අහන්නට මුව උල්කරා,

ටිකක් අමාරුවෙයි, සමහර විට ඉක්මනට බඩු ටික යන්නත් ඉඩ තියෙනවා, නොගියත් කමක් නැහැ, පලවෙනි පාර නිසා සමාවක් දෙන්නම්. දන්නවද ඒක කරන්න?

ඔ..ඔව් කලින් දැකලා තියෙනවා, 

කොහෙන්ද?

ෆිල්ම් වලින්, පත්තර වලින්, යාළුවො එහෙම කියන එව්වයින්. 

කෙල්ලෙක් ඉන්නවද? 

හිටියා දැන් නැහැ. 

එයා එක්ක මේවා කරේ නැද්ද?

මට උවමනාව තිබ්බට එයා බැහැ කිව්වා, මම බලකරන්න ගියේ නැහැ. මගදී වෙන කරදරයක් එහෙම උනොත් කියලා..

කීයක් අතේ තියෙනවද? 

මගේ අතේ තියෙන්නෙම 300යි.

කමක් නැහැ. අදට ඇති, ඒ රියා එක පොඩි නිසා අවුලක් නැහැ, ඔය ගැන ඇති.

කෝකටත් කියල මම ආපහු කියලා දෙන්නම්. 

හා

එහෙනම් හොඳ ළමයා වගේ, පොඩ්ඩක් පහලට නැවිලා ඒ ටික උඩට අරගෙන දෙපැත්තට කරලා එලියට ගන්න

ආ මෙන්න..!

ඔය බෑග් එකේ තියෙන කොස්මැටික් බඩු ගැන ඔක්කොම තොරතුරු මේ පොතේ කියනවා. ඔයාට තියෙන්නේ කවුරු හරි බඩු ගනිද්දී එක ගැන ඇහුවොත් විස්තර ටික ලස්සනට කියලා මේ ෂැම්පු, ක්‍රීම්, සෙන්ට් වර්ග ටික විකුණගෙන එන්නයි.  



(රමණයෙන් බොහෝ දේවල් වලින් කල හැකිය, රමණය බහුඅරුත් පදයක් වන අතර, එහි අරුත් එකකින් එකක් වෙනස් වේ. අර්ථය කුමක් උවත් කතාව රමණීයව පැවසීම කියන්නාගේ වගකීමකි, සම්මා සතියෙන් කියවීමේ වගකීම ඔබ සතුය.)
ඒ මහලු ගොවියා සිය ගොවි බිම් වල තව දුරටත් වැඩකරන්නට තමාට නොහැකි බව දැන සිටියා. 
මේ නිසා ඔහු තම දවසෙන් බොහෝ වෙලාවක් කලේ ඉස්තෝප්පුවේ තබා තිබු අසුනකට වී කාලය ගෙවීමටයි. ඔහුගේ පුතා, සිය පියාගෙන් තමාට අයිති වූ ගොවි බිම්වල වැඩ කටයුතු ඉදිරියට පවත්වාගෙන ගියා. 
එලෙස ඔහු ගොවිබිමේ සිටිමින්ම බොහෝ අවස්ථාවල සිය පියා නිවාස ඉදිරිපිට ඉස්තෝප්පුවේ අසුන්ගෙන සිටිනු දුටුවා. 

 තවදුරටත් ඔහුගෙන් පලක් නැහැ. මොනම දෙයක් වත් කරන්නේ නැහැ නෙව, ඔහේ ඉඳගෙන ඉන්නවා ඇරෙන්ට.. 

පුත්‍රයා සිය පියා ගැන එසේ සිතුවා. සිය පියා මෙලෙස අලසව කාලය ගත කිරීම ගැන ඉවසාගත නොහී, ඉමහත් කෝපයට පත් වූ පුතා, එක දවසක් දැව පෙට්ටිය තැනුවා. කිසිවක් නොකියාම සිය නිවහනේ ඉස්තෝප්පුව මතට දැව පෙට්ටිය ගෙන ආ පුතා සිය පියාට ඊට ඇතුළු වන ලෙස කියා සිටියා. 

කිසිවක් නො ඇසූ පියා ඊට ඇතුළු වූ වහාම මේ පුතා එහි පියන වසා දැමුවා. එලෙස වසා දැමුවේ ඒ පෙට්ටිය ගොවි භුමියේ කොනකට වෙන්නට පිහිටා තිබූ උස බෑවුමෙන් පහලට තල්ලු කරන්නටයි. 

කඳුමුදුනට පෙට්ටියත් ඔසවාගෙන ළඟාවූ වහාම තමා ඔසවාගෙන ආ පෙට්ටිය තුලින් සිහින තට්ටු කරන හඬක් ඇසී පෙට්ටිය බිම තැබු පුතා එහි පියන මඳක් හැර බැලුවා. පියා බොහොම සුවපහසුවේ ඒ වන විටත් පෙට්ටිය තුල වැතිරී සිටියා. 

 "කන්දෙන් පහලට මාව තල්ලු කරන්න කලින් මට උඹට දෙයක් කියන්න අවසරද?" 

මහලු පියා සිය පුත්‍රයාගෙන් අසා සිටියා.. 

මොකද්ද ඒ?? 

 උඹට කැමතිනම් මාව මේ කන්දෙන් පහලට තල්ලු කරලා දාපං. 

පියා පුතාට පැවසුවා.. 

එත් මේ යසට හදපු ලී පෙට්ටිය පරිස්සම් කරලා තියපන්, සමහර විට උඹේ දරුවන්ට මේක පාවිච්චි කරන්න උවමනා වේවි. 

මුලය: 
Zen Stories To Tell Your Neighbors 
[ඔබේ අසල්වැසියන්ට කියාදිය යුතු සෙන් කතන්දර] ඇසුරිනි.
කරුණාලතා ස්වභාවයෙන්ම හීන්දෑරි සිරුරක් හිමි කාන්තාවකි. මා පතලේ පැත්තේ සහ රබර් ඉඩම යන අවස්ථාවල, අසලින් ගලා බසින ඇලට මායිම්ව ඇති පොල් වත්තේ, වෙලුනු පොල්අතු ඇහිඳින කරුණාලතා මට අමුත්තක් නොවේ.
අහ චුටි මහත්තයා පතලේ පැත්තේ යනවද?
මම යන්නේ පතලට බව හොඳින්ම දන්නා නමුත් මගේ විමසන්නේ ඇය යාබද වත්තේ පොල් අතු ඇහිඳින බව අඟවන්නට මෙනි.
ආ ඔව් කරුණාලතා මම පතලේ පැත්තේ යන්න කියලා. ගිහින් එන්නං!
මම උත්තර දුන් විට ඈ හිසවනා තමා කරමින් සිටි වැඩේ මා මීට පෙර නොදැක්කා සේ නියුක්ත වීම මට දැන් හුරුපුරුදු ය. කරුණාලතා සම්බන්දයෙන් මට පවසන්නට කිසිවක් හෝ පෙර සතිය වන තුරුම මා හට තිබුනේ නැත. එහෙත් එයට මඟ පෑදුනේ හරි අපූරු ආකාරයකට ය.
අප අවසානයටම කැනීම් කර ඉල්ලම් ගොඩ දමාගත් පාතාලය අවසන් වුයේ ආදායම් අතින් නොවුනත් සේවකයන් ඇති පාඩුවක් කරමිනි, එයට හේතුව නම් අපගේ පතල්නඩයේ සිටි එක සාමාජිකයෙකුගේ ඉවත්ව යාමයි. 6 දෙනෙකු කරවනා පතලය එක අයෙකු අඩු වීම විටෙක පාතාලය අතරමග නතර වන්නට තරම් හේතුවන ක්‍රියාවකි. අවාසනාවකට අපට වුයේද එයම ය.
මහත්තයා අපි රන්ජි වෙනුවට කරුණාලතා නැන්දාගේ පුතා බුද්ධිකව ගන්නද?
මටත් ප්‍රතික්ෂේප කරන්නට තරම් හේතුවක් නොවුන නිසා අවසරය සහිතවම මීළඟට ආරම්භ කරන්නට යන පතලයට හවුල් කරුවෙක් ලෙස බුද්ධික එක්කාසු කරගන්නට හේතු යෙදුනේ එලෙස ය. රාජකාරි අවසන් වී ගෙදරට ආ මම තාත්තා සමඟ දවසේ වූ දේ කතා කිරීම පුරුද්දක් ලෙස කරගෙන යමි. එදත් වෙනදා ලෙසම මං තාත්තා සමඟ කතා බහේ යෙදී සිටිත්දී එදින සිදුවූ දේ මම ඔහුට පැහැදිලි කරෙමි.
ආ ඔය කරුණාලතා කියන්නේ අර ගමෙවුන් එක එක කට කැඩිච්ච කතා කියන වාහෙ නේද?
තාත්තා කිවූ අපබ්‍රංසය මා හට තේරුම් ගන්නට නොහැකි වුනත් මා එය ඔහුගෙන් හාරා අවුස්සන්නට නොගියෙමි. පසුදා පතලය පැත්තේ යන විට වෙනදා ලෙසම කරුණාලතා සමඟ වන කතා බහ සිදුවිය. පතල් නඩය තේ පානය සඳහා පතලේ වැඩ කටයුතු නතර කල වෙලාවක මම පාතාලයේ බාස්උන්නැහේ වන අනුරගෙන් මේ ගැන විමසන්නට සිතුවේ එදින තේ පානය උවමනා කරන කෙටි ආහාරයක් ගෙන එන්නට බුද්ධිකව කඩ පිලට පිටත් කර හැරිය බැවිනි.
මොකද්ද අනුර අර කරුණාලතාට එක කට කැඩිච්ච කතා රට්ටු කියන්නේ.
ඒක ටිකක් අමුතු කතාවක් මහත්තයා.
අනුර පිළිතුරු දුන්නේ මඳක් හඬ බාල කරමිනි.
ඔය කරුණාලතා නැන්දා කසාද බැඳලා නැහැ. දැන් ඉතින් හතර පෝයටම සිල් ගත්තට ඉස්සර නම් කියන්නේ උන්දැව රිංගපු නැති පඳුරක් මේ ගිනිගැස්ම වත්තේ නැතුව ඇති කියල. මෙහෙම ටික කාලයක් වෙනකොට උන්දා ගමේ පන්සල හැදුවට පස්සේ නිතරම බෝධිපුජා වැඩ අරවට මේවට එනවා. එහෙම එද්දී තමා කසාදයක්වත් නොබැඳපු මේ බවලත් ඇත්තිගේ බඩට දරුවෙක් ආවේ. කවුරුත් දන්නේ නැහැ කවුද අපුච්චා කියලා. එත් ළමයාගේ කම්මුලේ තියෙන උපන්ලපය නිසා මිනිස්සුන්ගේ හිතේ පොඩි සැකයක් තිබ්බා. එක එක හා හෝවවල් ගියේ නැතුවම නෙවෙයි එත් එක දවසක පොලට ගිය වෙලාවේදී පොලේ එළවලු විකුණන ධර්මේ මාමා මේකිට මොනවටදෝ නොසෑහෙන්න බැනලා. ඔතන අපේ හේඅලියා ඉඳලා තියෙන්නේ බඩු කිර කිර. ඒ කතාවට ඌත් ගුටි කාලා. අපි එක්කත් ඌ තමා මෙව්වා කිව්වේ.
ඉතින් මොනවද ධර්මේ කරුණාලතාට කියලා තියෙන්නේ?
මගේ කුතුහලයට මගේ මුවින් එම වදන් පිටවුයේත්, අතේ වූ තේ කෝප්පය මුවට ලංවුයෙත් මට නොදැනීමය.
"තොට මිනිස්සු නැතුව ළමයෙක් බඩට ඕනේ කිව්වම, එක දුන්න මටනේ ඔහොම කයිකතන්දර කියන්නේ" කියලා..!
එතකොට හේඅලියා අහලා..,
ඔව් මොකද්ද අහලා තියෙන්නේ???

හානේ කරුනාලතා අක්කට බුද්ධිකයව හම්බුනේ ධර්මයේ හැසිරිලාද?

ස්වස්තික මට හමුවන්නේ අවිස්සාවේල්ල නුවර බසයක් තුල දී ය. [ඔහුගේ සත්‍ය නම නොදන්නා නිසා ඔහුව මේ නමින් හඳුන්නනවාට කරුණාකර කමන්න.] නිහඬව කවුළුවක් අසල රේ බෑන් කණ්නාඩි දෙකක් පැළඳ ගෙන පොතක් පෙරලගෙන සිටිද්දී ය. හදිසියේ බසයට නැගුණු සමහරක් දෙනා ස්වස්තික අසලින් හිඳ ගත්තද ටික වෙලාවක් යන විට අසල වූ සීට් එකක් හිස් වූ තැන, එතැනට ගොස් හිඳ ගනියි. ඉන් පසුව අසල සිටිනා පුද්ගලයෙකු හා ස්වස්තික දෙසට ඇඟිල්ල දිගු කරමින් මොනවාදෝ කියයි. 
අවිස්සාවේල්ලේ සිට හෙට්ටිමුල්ල පහුවන තුරුම දෙතුන් දෙනෙකුම එකමාකාරයෙන් ප්‍රතික්‍රියා දක්වන්නට වූ නිසා ස්වස්තික අසල වූ සීට් එකකට මම මාරු වුනෙමි. හේ උස ය, ප්‍රියමනාපය, කිසිදු වරදක් නොපෙනේ, විටින් විට සිය ජංගම දුරකථනය දෙස නෙත් යොමමින් තිරයේ පෙන්වන දේට උත්තර ලියමන් ද, ඒ අතරතුර තමා අතැති පොතේ පිටු පෙරලමින් ද කල් ගමනේ යෙදෙනු විනා ඔහු තුලින් කිසිදු වෙනසක් මා හට පෙන්නුම් කෙරුනෙම නැති. අවසාන කිසිවක් නොවන තැන මේ කුහුල ඉවසනු නොහැකිව මම ස්වස්තික අසලින් හිඳ ගතිමි.

ටික දුරක් ගමනේ යෙදුන තැන,
ස්වස්තික : මිස්ටර්ට ගමන බොරින් වගේ නම් මම පොතක් දෙන්නද කියවන්න?
මම: අනේ දෙන්න ගොඩක් ස්තුතියි.
විනාඩි කිහිපය සිය දෙපා අතර රඳවාගෙන සිටින රෙදි මල්ලෙන් පොතක් රැගෙන දෙයි.
ස්වස්තික : කියවන්න. ඔය පොත මම ලියපු එකක්, තවම ප්‍රින්ට් එකට දීලා නැහැ. හෙට අනිද්දම මොනා හරි කරන්න ඕනේ. දන්නේ නැද්ද, මගේ මිසිස්ගෙයි දරුවන්ගෙයි වැඩ වලට හිර උනාම මගේ වැඩ වලට වෙලාවක් නැහැනේ.
මම හිනහාවක් පා පොත අතට ගතිමි. මිනිසුන් මෙවැනි මිනිසෙකුව අඩු තක්සේරු කර ඔහු අනුන්ගේ විඩාව සිඳුවා ගැනීමට පොතක් දුන්විට එය ප්‍රතික්ෂේප කර වෙනත් තැනක අසුන් ගත උන් ගැන මට ඇති වුයේ සැබවින්ම අනුකම්පාවකි. පොත කවරය සිතන්නටත් බැරි තරම් අගනා ආකාරයට සමින් නිමවා ඇත. මෙතරම් වෙහෙසක් ගෙන පොතක් සමින් බැඳ ලියන්නට පටන් ගන්නා කෙනෙකු වේ නම් ඔහු හෝ ඇය නොසලකා හරිය යුතු පුද්ගලයෙකු නොවන බව මගේ සිතට දැන් දැන් දැනෙමින් පවතී.
මම: මිස්ටර් පොත ගොඩාක් ලස්සනට බයින්ඩ් කරලා තියෙනවා. මෙහෙම පොතක් ලියන්න පටන් ගන්න එසේ මෙසේ හැකියාවක් තියෙන කෙනෙකුට බැහැ.
සිය උපැස් යුවල ගලවා පොත මතින් තබා මගේද බැලූ ස්වස්තික,
ස්වස්තික: මිස්ටර් මිනිස්සු උනාම කිසිම දෙකින් සැලෙන්න හොඳ නැහැ. හැමදේම වෙන්නේ මිනිහට, මම මගේ ඊළඟ ෆික්ෂන් එකට කරුණු කල්පනා කරන ගමන් ඉන්නේ, කැන්ඩි වලට මේ බස් එක යනකොට තව වෙලා යන නිසා මට මගේ ෆස්ට් චැප්ටර් එකට තොරතුරු එකතු කරගන්න පුළුවන්. ඒ නිසා ප්ලීස් ඔය මේ පොත කියවන්නකෝ, අපි ටිකකින් කතා කරමු.
එය ආරාධනාවක්ද තර්ජනයක් ද කියා මගේ සිතින් සිතා ගත නොහැකි වූ තැන මම මා ඇත වූ ඔහුගේ පොත දෙස නෙත් සැලීමි. හමින් කවරය කල පොත තවමත් මා දෙඅත තම නිසලව තිබේ. මම සෙමින් එය කියවන්නට පටන් ගතිමි. එහෙත්...,
මම පළමු පිටුවද දෙවැනි පිටුවද තෙවැනි පිටුවද පෙරලුවද කිසිවක් සොයා ගන්නට නොහැකි වූ තැන මම මුලසිට අගට පොත පෙරලීමි. එය කිසිවක් නැති හිස් පොතක් විය. මම ස්වස්තික දෙස හැරුනෙමි.
මම: මිස්ටර්, ඔයාගේ මේ පොතේ
ස්වස්තික : ආ...ඔව් ඉතින්?
මම: මොකවත් නැහැ නේ?
ස්වස්තික: මොනවා
මම : ඔව් මොනවත් නැහැ
ස්වස්තික : කෝ කෝ මෙහාට දෙනවා බලන්න.
මම : ආ මෙන්න.
ස්වස්තික : ඇයි අයිසේ මේ තියෙන්නේ යස අගේට.
ස්වස්තික ම දෙසට හැරී පොත් හිස් පිටු අතර ඇඟිලි යවමින් පෙන්වයි. එහෙත් කිසිවක් ලියා නැති ඒ පොතේ ඔහු පෙන්වන දේ සිතින් මවාගෙන හෝ හිසින් සන් කරන්නේ කෙලෙස? මම කරබාගෙන උන්නෙමි.
තමුසෙට පිස්සු, තමුසෙට විතරක් නෙවෙයි මෙතන මගේ එහාපැත්තෙන් හිටපු උන් ඔක්කොටොම පිස්සු. 
ස්වස්තික මහ හඬින් කියවයි, එහෙත් බසයේ මොර ගෑම නිසා ඒවා ඇසෙන්නේ ඉඳහිටය. මම මේ මනුස්සයා පවසනා අපුල කතා ඉවසනු බැරිම තැන නැගිට, අසලක වූ ඉඩක අසුන් ගතිමි.

බසය තවමත් මාවනැල්ල පසුකර නැත. ඉහත්තාවෙන් වූ බස් නැවතුමෙන් නැගුනු මගියෙක් ස්වස්තික අසලින් හිඳ ගත්තේය.
මිස්ටර්ට කම්මැලි වගේ නම් දෙන්නද පොතක් කියවන්න.?
ස්වස්තික තමන්ට එහායින් හිඳගත් මගියාගෙන් ඇසුවේද, මා ඇතුළු බහුතරයක් මගීන්ගේ මුවගට සිනහා නැගුනේද එකවරම ය.