නෝක්කාඩු සමාගමය පිළිබඳව කුඩා චාමර තුල තිබුනේ හිත් නොහොඳකි. දෙමාපියන්ගේ සහ පන්ති භාර ගුරුතුමිය අතර හුවමාරු වන අමුතුම ආකාරයේ වාග්මාලා සහ තමාදෙසට එල්ල වන හදිසි රවා බැලීම් වලින් හෙම්බත්ව සිටි චාමර ආපසු පන්තිය දෙස බැලුවේ නිතර තමන් අකමැති යමපල්ලන් සිටින අපායක් වැනි වූ තමන්ගේ පන්තිය, ගුරු දෙමාපිය සමාගමය අස්සේ දෙවුලොවක් ලෙස පෙන්නට වූ බැවිනි.
මේකාව ගහලා හරි හදන්න මිසිස් අපෝන්සු..

වැඩක් නෑ මිසිස් කීර්ති මගේ අත රිදෙන එක විතරයි දැන් කියලම කී පාරක්ද?

ඒ වුනාට මැඩම් එහෙම බෑනේ, මේ ළමයව අපි සයිකෝලොජිස්ට් කෙනෙක්ගාව අරන් ගියොත් රට්ටු හිතයි මයේ කොල්ලට පිස්සු කියලා..
නෑ මිසිස් කීර්ති බලන්න මේ ළමයා අද උදේ ගර්ල්ස් ටොයිලට් ගාවට ගිහින් කලිසම අස්සේ අත දාගෙන ඉන්නවා..,
අපේ ප්‍රීෆෙක්ට් කී ගමනක් නම් කිව්වද ඔහොම ඉන්න එපා කියලා..,
කෝ ඒත් ඇහුවායැ..,
තව ඉස්සරහට ඔය එක එක බාල අපරාධ වලට එකතු වෙන්නේ මේ වගේ ළමයි තමා.,
මම නම් කියන්නේ මේ ළමයා මේවා කරන්න ඉගෙන ගත්තේ කොහෙන්ද කියලා හොයලා බලන්න..,
දෙමාපියෝ විදියට මේ ගැන මීට වඩා බරපතලව හිතන්න මිසිස් කීර්ති,
නැති නම් නැතිවෙන්නේ ඔයාලට ඔයාලගේ ළමයාවමයි.
කීර්ති මහත්මිය පන්තියට ගොස් ඉස්කෝල බෑගය රැගෙන එන විටත් චාමර සිටියේ පන්තියේ කොරිඩෝවේ දන ගස්වාය.., මේ ඔහුගේ එසේ මුල් වතාව නිසා කඳුලු පිරි දෙනෙතින් හාත්පස බලමින් සිටියේ තමාව බේරන්නට කවුරුත් නැද්දෝ යන සිතුවිල්ලෙනි..,
එනවකෝ යන්න අද මම අප්පච්චිට කියලා හොඳ ගුටියක් ඉල්ලලා දෙන්නං...
පාසැලෙක් ඇවිදින දුරක තිබූ කීර්ති මහත්මියගේ නිවස, දෙන්නා දෙමහල්ලෝ පස්වසරකට පෙර බදුගත්තේ චාමරව පාසලට ඇතුලත් කරගන්නට පාසල අසල නිවෙසක් තිබීම තෝරාගැනීම් ලැයිස්තුවේ ඉහළට එන්නට වැඩි ලකුණු එකතුවන්නට ඇති හොඳ අවස්ථාවක් බව විශ්‍රාමික ගුරුවරියක් කීර්ති යුවල දැනුවත් කලාට පසුව ය.
මොන රාස්සයෙක් වැහිලද මන්දා මෙයාට..,
ඉන්නවාකෝ අප්පච්චි එනකම් හොඳ ගුටියක් ඉල්ලලා දෙන්න..!
උගන්නන්නේ මොනවද කියලා මතක නෑ,
ගෙදර එන්නේ කොහේ හරි තුවාල කරගෙන එහෙම නැත්තං නාවර පෙරාගෙන
ඔහොමද ළමයි හැදෙන්නේ..,

ඒකට මිසිස් කාරියකරවනගේ ළමයා ජසින්ත..,
"කා" එකෙන් බහින්නේ කිරිකොකා  වගේ,
ගෙදර යනකොටත් එහෙමමයි,
ඇඟේ කුණුපොදක් නෑ,
ඒක අපේ එවුන්, මුන් ළමයි නෙවෙයි යක්කු..!
අම්මා මොනවාදෝ තනිවම කියා ගනිමින් තමන්ගේ සපත්තු මේස් බුරුල් කරන දුටු චාමර වෙනදාටත් වඩා නිහඬය. සිරුර දොවා, අකුත් ඇඳුම් අන්දවා වෙනදාට බත් ගුලි කර කවනා අම්මා, අද තමාව ඇඟසෝදවා තමා යලිදු ඔහු දෙස ගස්සා බලා කාමරයෙන් එළියට ගිය ආකාරය දුටු චාමරට හැඬුම් ආවේ ය. ප්‍රථම වරට අම්මා තමාව නොසලකා හැරිය බව දැනී.., බැරිමරගාතේ සාලුව උනා දමා ඇඳ උඩ පිළිවෙලට තබා තිබූ ඇඳුම් එකිනෙක ඇඳගන්නට වීය.

මේසය මත තබා තිබූ කෑම පිඟානේ වෙනදාට දකින බත් ගුලි වෙනුවට තැනින් තැන හොදි මාලු දමා ඇති ආකාරය දුටු කුඩා චාමරට අත්තම්මාගේ බත් පිඟාන සිහිවිය..,
අත්තම්මා හිටියා නං කවාගන්න තිබ්බා..,
එයා බාප්පලෑ ගෙදරනේ..,
සඳුනිට කවනවා ඇති දැන් එයා..!!!
සඳුනි යනු චාමරගේ අප්පච්චීගේ සහෝදරයාගේ දියණියයි. චාමරත් සඳුනිත් එක වයසේ නිසා දෙදෙනාට එකම ආකාරයෙක් කවනා අත්තම්මා දෙදෙනාගේම ප්‍රියතම චරිතය වන්නේ නිරායාසයෙනි. අත්තම්මා නිවසේ සිටින විට එකින් එක බත් ගුලි හදමින් සුරංගනා කතා කියමින් කෑම කවනා ආකාරය චාමරට මතක් විය.., අත්තම්මා බාප්පාගේ ගෙදර නිවාඩු ගන්නා බව අප්පච්චී අම්මාට කියනවා චාමර අසා සිටියේ පෙරදා ගෙදර වැඩ කරන අතර වාරයේ ය.
අම්මා තමා මෙයාලව නරක් කරන්නේ..,
ඔහොම කැව්වම කොහොමද ළමයා බත් අනන්නවත් අත හුරු කරගන්නේ..?
අත්තම්මා චාමරට කවනා විට කීර්ති මහතා සිය මවගෙන් කීප විටක් ම අසා ඇත.
උඹට අවුරුදු දොළහ වෙනකම්ම මම කැව්වා..,
කෝ උඹට බත් අනාගන්න දැන් හූරු නැද්ද??
අත්තම්මා අසන්නේ එපමණකි. කීර්ති මහතා හැකි වේගෙන් සිය තර්කය හකුලා ගන්නේ මුණුපුරන් සිටිනා මිත්තණියන් හා තර්ක කරනවාට වඩා සිය බිරිඳට අවකලණය උගැන්වීම ලෙහෙසි බව අත්දැකීමෙන් දන්නා නිසා ය.

කෑම කා අවසන් වූ පසුව චාමර, සෙමින් පිඟාන කුස්සියෙන් තබා පැමිණ ඇඳට ගොඩවිය..!

අප්පච්චි කුමන වේලාවක හෝ එනු ඇත. අම්මා ඉස්කෝලේ විස්තරය කියූ පසු අප්පච්චීගෙන් ගුටි ලැබෙනු ඒකාන්තය..!
 
චාමර දෑස් තදකර පියා ගත්තේ ය.

අප්පච්චි වෙනදාට අරන් එන චොකෝ අද ගෙනෙයිද?
ගෙදර වැඩ කරන්නට උදව් වෙයිද?
ඉස්කෝලේ වූ දේ අම්මා කී පසු ගුටි කන්නට වේවිද?
මේ ආකාරයේ නා නා විධ වූ සිතුවිලි චාමරගේ හිත තුල හොල්මන් කරත්දී.., නිදි දෙව්දුව චාමරගේ දෑස මත නිදිදැල් අතුරන්නට විය..

එක වරම කවුරුන්දෝ සිය හිස සිපගනු දැනුනු චාමර එකවරම ඒ සුවඳ කාගේදැයි තහවුරු කරගත්තේ දෑස වරක් වත් හැරීමෙන් තොරව ය.
සුපුරුදු ආකාරයට තමන් කෑම කා නින්දට වත් ම, චාමර අවදිවන්නේ අප්පච්චීගේ සුපුරුදු හාදුව මඟිනි.
ඉන්නවාකෝ අප්පච්චි එනකම් හොඳ ගුටියක් ඉල්ලලා දෙන්න..!
අම්මා පාසලේ සිට ගෙදර එත්දී කියූ දේ එක වරම මතක් වී චාමර කොට්ටයට මූහුණ තදකරගෙන එක වරම හඬන්නට විය..,
චූටි පුතා මොකෝ මේ අඬන්නේ?? මේ බලන්න මම පුතාට චොකෝ ගෙනාවා..,
කෝ මේ පැත්ත හැරෙන්න..,
මොකෝ මේ අඬන්නේ?? හ්ම්..?
එන්න එන්න අපි චොකෝ එක කාලා කිරි එකක් බොමු හොඳේ??
චාමරගේ උත්තරයක් පිට නොවූවද අප්පච්චී චාමරව වඩාගෙන සාලයට ආවේ කිරි ජෝගුවද අතින් රැගෙන ය.
කෝ මේහේ බලන්න???
චාමර දෑස් හැරියේ එවිට ය..,
පුතාට අද ටීච මගේ පුතාට ගහලා එලියේ දන ගස්සලා තිබ්බද? හ්ම්?
කුඩා චාමර හිස වැනුවේ නිරුත්සාහකව ය.

දෑසින් කඳුළු ගුලි කඩා හැලෙන්නට වීම කීර්ති මහතාගේ හිතට පුදුමයක් වූයේ.., වෙනදාට වරදක් කල පසු මුහුණ රතු කරගෙන හොර බැල්මක් දමාගෙන සිටිනා සිය දරුවා, අද ඉකි ගසමින් අසරණව හඬන්නට වීම නිසා ය. කොතනක හෝ වරදක් සිදුවී ඇති බව කීර්ති මහතා හට ඉවෙන් මෙන් දැනෙයි. වෙන කවරදාකටත් වඩා කීර්ති මහතා චාමරට දයාබර විය..,
චූටි පුතා දන්නවද, ඉස්සර අප්පච්චි පොඩි කාලේත් චූටි පුතා වගේ මයි. කරන්නේම දඟ වැඩ. අත්තම්මා ගහනකෝ අප්පච්චි දුවන්නේ වත්ත පුරාවට.., එතකොට අත්තා මොකද්ද කරන්නේ කියලා දන්නවද?
චාමර නිහඬව හිසින් තමන් නොදන්නා බවට සන් කලේය. 
අත්තා අප්පච්චීව වඩාගෙන මුලු රෑ පුරාම කතා කියනවා..!
ඉතින් අත්තා වගේ මගේ චූටි පුතාත් මට ඉස්කෝලේ මොනවද උනේ කියලා කිව්වොත් ඔයාගේ අප්පච්චීත් ඔයාට දවස පුරාම වඩාගෙන කතා කියලා දෙනවා තේරුනාද?
අද උදේම ඉස්කෝලේ ගියාම මම කැන්ටිමට ගියා ටොෆි ගන්න..,
සියල්ල අවසන බ්‍රහ්මදණ්ඩය දුරුකරමින් චාමර වචන එකින් එක අමුණන්නට වී..
ඉතින්?

ඉතිං මම කැන්ටිම ඉස්සරහ ඉන්නකොට ලොකු අයියලා දෙන්නෙක් මට කතා කලා. කතා කලලා මට කිව්වා

ඔව් මොකද්ද කිව්වේ??
කිත්සිරි මහතාගේ සිත නොසන්සුන් ය.
මට කිව්වා. අක්කලාගේ ටොයිලට් එක ගාවට වෙලා  කලිසම ගලවගෙන පෑන්ටි එක ඇතුලට අත දාගෙන හිටියොත් රුපියල් 10ක් දෙනවා කිව්වා.., මම බෑම කිව්වා.., එතන හිටපු ලොකු අයිය කෙනෙක් කිව්වා එහෙම කලේ නැත්තම් නැටුම් කාමරේට දාලා දොර වහනවා කියලා..!
මම ටීචවත් හෙව්වා.., ඒ වෙලාවේ ටීචත් හිටියේ නෑ. පස්සේ මම ඒ කිව්ව විදියට හිටියා.
ඔයා ඇයි ඒක ටීචට කීවේ නැත්තේ??
මම කියන්න හදනකොට තමා අප්පච්චී, ටීච මට ගැහුවේ.., මේ???
චාමර සිය අතේ තවමත් උඩට මතුවී තිබූ ඉරටු පහරක් අප්පච්චීට පෙන්වී ය.
එතකොට ඔයා ප්‍රිෆෙක්ට් අයියා කෙනෙකුට කීව්වේ නැද්ද??
ප්‍රිෆෙක්ට් අයියා කෙනෙක් තමා අප්පච්චී මට එහෙම ඉන්න කියලා කිව්වේ...!!
එතකොට ඔයා අම්මට කිව්වේ නැත්තේ ඇයි?
අම්මට කියන්න හදනකොට මට කෑ ගහන්න එපා කියලා බැනලා ටීච එක්ක කතා කර කර හිටියා..,
එතකං ඔයා කොහෙද හිටියේ..,
ටීච කිව්වා එළියෙන් දණ ගහගෙන ඉන්න කියලා..!
චාමරට නොදැනෙන පරිදි කීර්ති මහතා චාමරගේ දෙදන දෙස නෙත් හෙලීය. උදේ වැලි පිරුණු පැසේජයේ දණ ගසාගෙන සිටිනා කුඩා චාමර ව මැවී පෙනෙන්නට විය.

හිස සිප, සිය සාක්කුවේ වූ චොකලටය චාමර අත තැබූ කීර්ති හුන් තැනින් නැගිට්ටේ සියලු තතු නිරාවරණය කරගෙන ය. ඈතින් සිට චාමරට නොදැනෙන පරිදි සියල්ල අසාගෙන සිටි කීර්ති මහත්මිය දෙස බැලූ ඈ සැමියා, සුසුමක් හෙලුවේ.., දරුවා ගැන වූ අනුකම්පාවෙන්ද, තමාගේ අදූරදර්ශී බවනිසා සිය පුතුට දුන් සිත්වේදනා ගැන කල්පනා කරදැයි නොදත් ඈ, සැමියාගේ දෙනෙත් මඟ හැර මුලුතැන්ගේ වෙත පා ඔසවන්නට වුවත් චාමර පාසලට ඇතුලත් කරන වෙලේ විදුහල්පති තමා හා සැමියාට කී දේ දෙසවන රැවු දෙන්නට විය. 
"මිස්ට ඇන්ඩ් මිසිස් කීර්ති බය වෙන්න එපා දැන් දරුවා ගැන, අපිට ඉන්නේ දරුවගේ හදවත අම්මලට වඩා තේරුම් ගත් ගුරු මණ්ඩලයක්, ඒ වගේම තමන්ගේ සහෝදර සහෝදරියන්ට වඩා තමන්ගේ බාල සහෝදරයින්ට ආදරේ කරන ශිෂ්‍ය නායක කණ්ඩායමක්.!! "
       සංස්කාරක තුමා සිතනා පරිදි කවිය ලියන්නට හේතු භූත වූවා යැයි කියන්න නිමිත්ත කවියේ මඟක් ලියාගෙන යන විටෙක රචකයා තුලින් අද්භූත ලෙස අතුරුදන් වන්නට ගනිද්දී රචනාව කියවන්නා තුල ඇති වන අහ්ලාදයද ඒ ආකාරයෙන්ම අතුරුදන්වන බව කීප විටකම ඔහුගේ හිතවත් රචකයන් කීපදෙනෙකුටම කියා ඇති බව එතුමා හට මතක්වන්නේ ඔහුගේ සංස්කාරකත්වයෙන් එළිදකින මාසික සාහිත සඟරා කලාපයක හෙතෙම කවි ලෙස නොසලකන ඒ වැකි කොටස් ඇස ගැටෙන විටදී ය. කොලයේ වූ අකුරු මඳක් හුරුපුරුදු වුව කාගේදැයි එකවරම හිතට නංවා ගන්නට සංස්කාරක තුමා තවමත් අපොහොසත්ය.
මිස් ප්‍රේමා..,
කවුද මේ කවි දාන්න කියලා දුන්නේ..?
මේවා කවිද?
මේවාට කියන්නේ කුකවි කියලා.
අපේ සඟරාව වටේ නමක් රැඳුනානම් රැඳුනේ අපි පලකරන ලිපිවල ගුණාත්මක භාවය නිසා මිසක් මේවගේ මෙලෝරහක් නැති කවි කෑලි නිසා නෙවෙයි.
කවි පිටුව කරන අරවින්දට මගේ ඔෆිස් එකට එන්න කියන්න
වහාම මේ දැන්!!
 සඟරාවට එවනා පාඨක ලිපි කියවා බලන්නී ප්‍රේමා නම් වන්නීය. ඕ සඟරාව නමට ලැබෙන සියලු ලිපි කියවා බලා අදාල අංශ වලට යොමු කරයි. වගකීම කවිපිටුවේ සංස්කාරකට වන නමුදු කිසිත් නොදත් ප්‍රේමා වෙත සංස්කාරක තුමා කියූ ඒ ඒ වදන් මතක් වන විට "කියෙව්වා සැර වැඩිද මන්දා" කියා හිත කොතරම් කියන්නට වූවත් ඔහු දරනා මතය වෙනස් කරන්නට සූදානමක් නොවීම විටෙක ඔහුගේම කනස්සල්ලට හේතුවේ. එනමුදු මේ "උද්දච්චකම[?]" නිසා සංස්කාරක තුමන් ළඟාකරගත් දේ අපමණය. ඒ නිසා අහිමි වූ දේද නැත්තේ ම නොවේ, ඒවා අතුරු කතාය.  සංස්කාරක තුමා එවන් අවස්ථාවලදී සැනින් පරාජික අතීතය අමතක කර ඇතුලු හිතට හැරෙන බව කවුරුත් දන්න දෙයකි. ඒ "අමුතු හිතේ" ඉඩ ඇත්තේ ජයග්‍රහණයට පමණි.
සර් මට එන්න කිව්වේ?
අරවින්ද කාර්‍යාල කුටිය තුලට එබී ඇසුවේ සංස්කාරක තුමා කල්පනාවේ උඡ්ඡස්ථානය අසලදී ය..
කම් අරවින්ද ටේක් අ සීට්..
තෑංක්යූ සර්..,
අරවින්ද කවරදාටත් වඩා කලබලය, වයස සතලිසකට මඳක් අඩු බවින් පෙනුනද අරවින්ද සැබෙවින්ම හාෆ් සෙන්චරියේ අග එල්ලී සිටින්නෙකි, ඔහු පෙනුමෙන් සුදු මැලි ය.. රිටක් සේ උස බටහිර චිත්‍රපටවල එන ගොපල්ලෙකු [Cow Boy]බඳු ඔහු ඉන් වෙනස් වෙන්නේ නිතර අත රැඳි ස්මාර්ට් ෆෝනය, අපිලිවෙලට යටකල කමිසය සහ එයටම ගැලපෙන හමගිය ඩෙනිම, බොකුටු කොණ්ඩය, නිතර පළඳින ගීක් උපැස් යුවළ සහ බාගෙට කැපූ රැවුල වැනි වූ අරවින්දට ම ආවේණික හඳුණා ගන්නා ලක්ෂණ නිසාවෙනි.
ඔහුගේ මේ අනිසි කලබලය සංස්කාරකතුමාගේ මුවට නිති සිනහා නංවන නමුදු ඒ සිර කරගෙන අරවින්ද වෙතට හැරිණ.
මොනවද මේ දාලා තියෙන කවි?
මේවා කවිද?
ලියන්න දෙයක් නැති කමට ලියලා තියෙනවා කියලයි මට නං හිතෙන්නේ..,
අරවින්ද ඔයා මේ සඟරාවේ වගකීමක් දරන කර්තෘ කෙනෙක්, එහෙව් එකේ මෙහෙම එක එකා ලියලා එවන මේ වගේ පල් හෑලි දාන්න එපා මේකට.., එහෙම උනොත් අර ෆේස් බුක් එකෙයි මේකෙයි වෙනසක් නැති වෙයි.
කවියක් උනාම අර්ථයක් තියෙන්නේ ඕනේ එළිසමය එළිවැට ගලපන්න හැකිවෙන්නේ ඕනේ
ඒ ඔක්කෝටම වඩා අර්ථයක් තියෙන්න ඕනේ.. ඒත් මෙහෙම උනාම ඔටුවන්ටත් කවි ලියන්න පුලුවන්නේ..,
තාලයක් නෑ රාමුවක් නෑ, පද බෙදීමක් නෑ, තේරුමක් නෑ.
අනේ මන්දා..,
හා අරවින්දම කියන්න මා කියන එක වැරදිද හා??

නෑ සර් වැරදිම නෑ.
ඒත් මේ දැම්මෙත් තොරලාමයි.
සතියකට කීදාහක් නං එනවද කවි කියලාම..,
ප්‍රේමා මිස් කරන්නේ ඒ ලියුම් කඩන්නෙත් නැතුව මගේ මේසෙට එවන එකයි..,
ලියුම් හාරපන්දාහකින් කවි විසිපහක් තෝරනවා කියන එක ලේසි පාසු වැඩක් නෙවෙයි සර්.
සර්ම දන්නවානේ ඒ ඩ්‍රිල් එකකටත් වඩා වෙනම ප්‍රොජෙක්ට් එකක් වන බව...

මම ඒක නොදන්නවා නෙවෙයි.
ඒක කරන්න මට පස්සේ ඉන්න හොඳම කෙනා අරවින්ද බව මම දන්න නිසා තමා මේ වැඩේ අරවින්දටම මම බාර දුන්නේ.
ර කවි සංගං වලින් එක දිගටම කවි එනකොට  හැමදාම ඒවා දැම්ම ම කියවන අයට ඒකාකාරී වෙන නිසා තමා පත්තරේ දැන්වීමක් දාලා පාඨක කවි දාමු කියලා කිව්වේ...,
ඒක වැරදුනේ නෑනේ, දැනටත් වැඩිම ඇඩ්ස් තියෙන්නේ ඒ පිටු දෙකටනේ.
එහෙම නේද?
 අරවින්ද සංස්කාරක තුමා දෙස බලා සිටියේ විමතියෙනි.
ඒත් සර් මේ කවි..

අ..අ..අ..!
තව එක වචනයක් කතා කරන්න එපා අරවින්ද,
අරවින්දම දන්නවා නේ අරවින්දට කවිපිටුව බලාගන්න දුන්නේ ඒ ගැන හොඳ විශ්වාසේ තියලා කරගෙන යන බවට වෙච්චි මගේ හිතේ තියෙන ෂුවර් එක නිසා කියලා,
ඉතින් ඒ විශ්වාසේ කඩා ගන්න එපා,
මම නැති කාලෙකත් මේ සඟරාව තියෙන්නේ ඕන,
ඔයාලව මම මේ පුහුණු කරන්නේ අන්න ඒ තැනට එන්න තේරුනාද?

ඔව් සර් ඒත්...

ඒත් මේත් කියලා වෙච්චි දේට නිදහසට කාරණා කියවන්න හදන්නෙපා අරවින්ද, 

ඔයා ඔය කරන්න හදන්නේ මගේ යකා අවුස්සන වැඩක්. 
මොකද මම කැමති නෑ මා කතා කරනකොට මැදට පනින බොරු පණ්ඩිතයින්ට.
අරවින්ද කියන්න හැදු දේ එක වරම ගිලගත්තේ ය.
මේ මෝඩ පෝතකයාට කියා පලක් නැති වග අරවින්දට දැන් දැන් වැටහී යමින් පවතී.., මීට පෑ දෙකකට පෙර අහසේ සිට හේමලයා පෑගෙන්නට අව්ව දුන් රවී අවරට යන්නට තනන්නේ සිය වැඩ කොටස අදට අවසන් බව පවසන්නට මෙනි. අරවින්ද සයිඩ් බෑගයට ඉතුරු වූ කොල සියල්ල දමා ගත්තේ කාර්යාලයෙන් ඉවතට යන අතරමඟ තවත් ලිපි කිහිපයකට ම තොරතුරු ගන්නට ඒ ඒ තැන් වලට වේලාසනින් යායුතු නිසා ය.
අතපසුවීමකින් අවසාන කොලය මේසය මතට වැටුන සැනින් ඒ දුටු අරවින්ද කොලය අහුලා සිය පැසට ඔබාගන්නට සදනාවිට ඇස් කොණකට මීට දින කීපයකට පෙර "ඈ" ගෙන් ඉල්ලාගත් ඡායාරූපය ඇසට හසුවිය,
පුදුමයක් නෑ අර කෙල්ල අරෙහෙම දුක් විඳින එක....
දුරකතනයට ආ කෙටි පණිවුඩයක් නද දෙනු දැක ඒ අතට ගත් අරවින්ද, තිරයේ වූ දෑ දැක මුවගට සිනහවක් නඟාගන්නට විය.
Ain't no one in my place to night, If you''re free, Hop in..
තිබූ හදිසිය දෙගුණ තෙගුණ වී අරවින්ද කාටත් හොරා අඩවන් කර තිබූ දොරෙන් කාර්යාලයෙන් එළියට පනින විටත් සංස්කාරක තුමා සිටියේ මේසයට හිස ඔබාගෙන කුමක්දෝ ලියමිනි.
අරවින්ද හඬක් නොනැගෙන සේ දොර වසා දැමීය.

රාත්‍රී ආහාරයෙන් පසු "මධූ" හා සයනයේදීත් අරවින්දට, අද සිටින්නේ වෙනදා තමා පැමිණි පසුව නොනවත්වා සිනහා සලන මධූ නොවන වග දැනුනේ නිරායාසයෙනි. කැරලි වූ කෙහෙරැල්ලින් ආවරණය වූ කන් පෙත්ත මත හාදු තැවරූ අරවින්ද, මධූව තමාගේ පැත්තට හරවා ගත්තේ ය.
මොකෝ ඔයා බර කල්පනාවක වගේ??
මම?
ඔව්?
අද ඩිනර් එකේදීත් එහෙමයි, හිතට ඔච්චරම වද දෙනවා නම් කරන්න තියෙන්නේ ශෙයා කරගන්නා එක නේද?

you can tell me anything n you know that.
අපි එක්නෙකාට අමුත්තෝ නෙවෙයි නේ.
මොකෝ අම්මා ආපහු ලෙඩ වෙලා ද?
නෑ අරවින්ද, එහෙම එකක් නෙවෙයි, අපේ මහත්තයා ගැන.,
what about'em?
ඉස්සර වගේ නෙවෙයි අරවින්ද, දැන් එයාට පොඩ්ඩ බැරි වෙන්න බෑ තරහා යනවා.
සමහර වෙලාට මම දෙන ටී එක වත් නොබීයි යන්නේ..,
දවල්ට කෝල් එකක් නෑ, හවසට කෑමට එනවද කියලා අහන්න කෝල් කරනකොට ආන්සර් කරන්නේ නෑ.
අනේ මන්දා මෙයාට මොනා වෙලාද කියලා..,
ඔයාගෙන් ඩිවෝස් උනට පස්සේ මම හිතාගෙන හිටියේ අම්මලත් එක්ක ඉන්න නේ..,
ඒත් එයාම මාව අහගෙන මගේ පස්සෙන් එනකොට එනකොට, කරන්න දෙයක් නැති කමටයි මම කැමති උනේ..,

හ්ම්.., දන්නවා ඒක.
අද මම කෝල් කරලා එනවද කියලා අහන්න කෝල් කලාම එක පාරට කට් කරලා ෆෝන් එක ඕෆ් කරලා.,
මම කොහොමද මෙහෙම ජීවත් වෙන්නේ අරවින්ද?
වෙලාවකට හිතෙනවා වහ ටිකක් බීලා මැරෙන්න..
නිරායාසයෙන්ම ඇස් කෙවෙණි තුලින් ගලා කම්මුල් දිගේ පහලට බට කඳුලු රාත්‍රී නිදි ගවුමේ පදාස තෙත් කරන්නට විය.
මැරෙනවා කියන එක උත්තරේ නම් ඔයාට වහ බෝතලයක් මුලින් ම ගෙනල්ල දෙන්නේ මම.
ඒත් එහෙම කලා කියලා කිසිම දෙයක් විසඳෙන්නේ නෑ නේද මධූ?
ඔයා මාත් එක්ක ඉඳපු කාලේ ආපු කරදර වලට උත්තර හෙව්වේ අපි දෙන්නම කතා කරලා..,
මතකද?
මධූ උත්තර දුන්නේ හිස වැනීමෙනි.
ඉතින් ඒ වගේ එයා කූල් එකේ ඉන්න වෙලාවක් බලලා පොඩ්ඩක් ස්මූත්ලී පොඩි ට්‍රීට් එකක් එහෙම දීලා කතාවට අල්ලගෙන එයා එක්ක කතා කරන්න, සමහර විට එයාට මොනා හරි ඔෆිස් එකේ ප්‍රශ්ණ තියෙනවද කියලා කවුද දන්නේ?
ඕන මිනිහෙක් ආසයි තමන්ගේ වයිෆ් ආදරෙන් ළඟට වෙලා කතා කරමින් ඉඳලා ඕනම ගැටලුවකට සොලූශන් හොයන්න.
එයත් එහෙම වෙයි..

හ්ම්ම් බලමුකෝ..,
එයා ඔයා වගේ ෆ්ලෙක්සිබල් නෑ අරවින්ද..,
ඒ රූඩ් ගතිය මට තේරුනේ බැන්දට පස්සේ..
අනික මේ ඔක්කොටම හේතුව වෙන කතන්දරයක් අරවින්ද...
අරවින්ද දෑස පියාගත්තේය..
ආදරය කල දෑත වෙන එකෙකු හා සරණ බැඳ, යහන්ගත වූ කල ඒ දැකීම ඉවසන්නට බැරිව තමාගේ අතීත වැලි තලාවේ වැළලී ඈ පිළිබඳ වූ සිය පෙම අද වන විට නිත‍්‍යානුකූල සැමියා තනතුරින් මිදී "හොරමිනිහා" නම් කුප්‍රකට තනතුර හොබවන්නට වූ විට අරවින්ද ගේ අවර පසට ඒ ගැන සතුටක් වුවත්, යහ පසට, මනස
දුකින් පුරවාලන නිමිත්තක් විය.

    මඳ විවෘතව තිබූ ජනේලය හරහා හිමිදීරියේ ලා හිරු එබිකම් කලේද අරවින්ද අවදි වූවේද එකටම ය. සිය පොරෝනය ගත දවටාගෙන උරහිසට හේත්තු වී නිදන මධූ දැක මෙයට වසර කීපයකට පෙර අතීතය මතකයට නගන්නට උත්සහ කලද, ඊට පෙර සිය දුරකතනයේ සීනුව නද දෙන්නට වූයේ "දැන් හිටියා ඇති ඔෆිස් යන්න ලෑස්ති වෙයන්" කියන්නාක් මෙනි..

---- ---- ----

අරවින්ද කාර්යාලයට එන විටත් කාර්යාල සහයක සුන්දරම් පාන්දරම  කාර්යාලයේ දොරටු හැර අවසානය..
අන්න ලොකු සර්,  අරවින්ද මහත්තයා එනකම් බලා ඉන්නවා.., 
ඊයේ රෑ දවසම වැඩ. ලොකුසර්ට හරි අප්සෙට් ඊයේ අරවින්ද මහත්තයාට කෑ ගහපු එකට, 
මම උදේ තේක දෙන්න ආවම ලොකු සර් මේසේට ඔලුව තියාගන නිදි, 
මම ඇහැරවන්නේ නැතුව යන්න හැදුවම මට කතා කරලා ඇහුවා අරවින්ද මහත්තයා ආවද කියලා...,

ඉතින් තමුසේ මොකෝ කිව්වේ?

මම මොනා කියන්නද ? මම නෑ කිව්වා. පස්සේ මට කිව්වා අරවින්ද මහත්තයා ආව ගමන්ම ලොකුසර්ගේ කැබින් එකට එන්නය කියලා කියන්නය කියලා.

හුම් ඒකත් එහෙමද? මොකෝ දන්නෑ
අරවින්ද කාමරයට යනවිටත් සංස්කාරක තුමා කුමක්දෝ ලියමින් සිටිනවා දැකීය. මුලු රැයක් පුරා නිදිවරා ලියු බොහෝදේ ගුලිවූ කොල ලෙස මේසය වටේ විසුරුවා හැර ඇති බවත්, මේසය මත කොල 200 පමණ බන්ඩලයකුත් ඊට අමතරව අවුල් වූ හිසකේ සහිතව පොඩි වූ කමිසය සහ නාස තුඩින් වැක්කෙරෙන්නට ඔන්න මෙන්න තිබෙන්නා වූ කණ්නාඩිය ද රඳවාගෙන සිටි හේ, එකවරම හිස ඔසවා අරවින්ද දෙස බැලීය,
ආහ්
අරවින්ද එන්න වාඩි වෙන්න

මට සමාවෙන්න අරවින්ද
මම ඊයේ ගොඩක් ටෙන්ෂන් එකෙන් හිටියේ,
මම ඒ ප්‍රේෂර් එක යැව්වේ අරවින්ද පිටින්..,
ෆොර්ගිව් මී ප්ලීස්..!


අනේ සර් එකට මක් වෙනවද මම එහෙම ඕවා මතක තියා ඉන්න කෙනෙක් නෙවෙයි සර්..,
ඒ ගැන හිතන්න එපා..,
අරවින්දගෙන් මම පර්සනල් මැටර් එකක් අහන්නද?

අහන්න සර්?

අරවින්ද මැරීඩ් ද?

ඩිවෝස් වෙලා ඉන්නේ සර්.., ඒක දිග කතාවක්..,

හ්ම් මගේ කතාවත් ටිකක්
එහෙමයි, රස්සාව ගැන හිත යොමු කරලා, ජීවිතේ හදාගන්න උත්සහ කලා, ජීවිත හදාගෙන ගෑණියෙක් ගන්න බලනකොට මට ඒකට වයස වැඩියි.
පස්සේ මම බැන්දෙත් ඩිවෝස්ඩ් ලේඩි කෙනෙක්ව.,
මගේ තනිකම මකාගන්න.
ඒත් එහෙම කලාට ම ඒ තීරණේත් අවුල් කියලා හිතෙනවා,
කසාද බැන්දට මොකෝ අරවින්ද මේ ලයිෆ් එක ඇතුලේ පොඩි පොඩි අවුල් තියෙනවා,
ඒක තමා මෙච්චර මම ටෙන්ෂන් එකෙන් ඉන්නේ.
පවුල් ජීවිතේක තියෙන්නේ ඕනේ ප්‍රධානම දේ අවංක කමයි අරවින්ද, එක්කෙනෙක් හරි ඊට පිටු පානවා නම් එතන ජීවිතයක් නෑ..., නිකමට හිතන්න තමන්ගේ පාට්නර්ගේ කලින් මැරේජ් එකේදී කාවද බැන්දේ කියලා නොදන්න හස්බන්ඩ් කෙනෙක් ඉන්න පුලුවන්ද අරවින්ද? 
හ්ම්ම්
කරුමේ කියන්නේ අරවින්ද මම තනිකම මකාගන්න කසාදයක් කරගත්තට අපේ පවුලට තෙවැන්නෙක් ඕන බව තේරුනා ටික කාලෙකින් ම.
මගේ වයස එක්කලා තියෙන ප්‍රස්නේ එක්ක තියෙන එක දුක දරුවෙක් නැති එක.

ඉතින් සර් ඕෆනේජ් එකකින් දරුවෙක් ව හදාගන්න ගන්න ඇහැකිනේ?

බෑ අරවින්ද මට ඕන මගේම ලෙයින් උපන් දරුවෙක්.. විජේවර්ධන නම ගෙනියන්න පුලුවන් මගේම ලෙයින් උපන්න දරුවෙක්..,

මේවා මෙහෙම කතා කරන්න බෑ අරවින්ද.., දැන් යන්න ඔයාගේ කැබින් එකට අපි
හවසක අපේ ගෙදරදී හමුවෙමු..,
අපි ඩ්‍රින්ක් එක්ක් එහෙම දාගෙන කතා කරමු..

අරවින්ද කිසිත් නොකියාම කාමරයෙන් පිටවිය.
මේසය අසලට වී පෙරදින බෑගයට ඔබාගත් කොලමිට දිගහරිමින් අරවින්දගේ මතකය පෙරදින රාත්‍රියේ සයනය වෙතට හැරෙන්නට විය.. වෙනදා නුරා කෙඳිරුම්, ප්‍රේම ආලප් වලින් පිරි ඒ සයනය ඊයේ පිරී තිබූයේ අරවින්ද හා එකට සයනය බෙදාගත් ඒ කාන්තාවගේ සෝ දුක් රිසි සේ ගලන්නට ඉඩ දුන් පාදමක් ලෙසය.
එයා ඔයා වගේ ෆ්ලෙක්සිබල් නෑ අරවින්ද..,
ඒ රූඩ් ගතිය මට තේරුනේ බැන්දට පස්සේ..
අනික මේ ඔක්කොටම හේතුව වෙන කතන්දරයක් අරවින්ද...

ඉතින් මොකද්ද එයා එහෙම වෙන්න හේතුව?
මට දරුවෝ නෑලු එයා කොච්චර උත්සහ කලත් මගෙන් කිසි රෙස්පොන්ස් එකක් නෑලු

ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්න ගියේ නැද්ද?

ගියා..,
ඒ අය කියන්නේ මෙයාගේ වයස නිසා මෙහෙම ගැටලු එන්න පුලුවන් කියලා..,
ඒත් එයා හිතන්නේ ඒක මගේ වරදක් කියලා..,
ඒකේ පලිය ගන්නේ මගෙන් මේවගේ වැඩ කරලා..,

හ්ම්ම්...

මම මොනා කරන්නද අරවින්ද?
මට ඔයා වගේ මනුස්සයෙක් කසාද බැඳලාත් ඉන්න බැරි උනා නම් මෙයා ගැන මොන කතාද?
මම හරි පවු කාරියක් අප්පා,
මේ ජීවිතේ මහ කරුමයක්
 විජේවර්ධනගේ ජීවිතය සබැඳි හුය පිළිබඳව අරවින්ද මුල සිටම දැනෙගෙන සිටියද, විජේවර්ධනගෙන් මේ හෙළිදරව්ව වන තුරු මේ ගැන කිසිවක් ම දැන සිටියේ නැති. මේ උභතෝකෝටිකය ගැන ඇති ගැටලුව තුල දෙපසම සමබර කරන්නට තමා වෙතින් වියයුතු යුතුකම කුමක්දැයි අරවින්ද ගේ මොළයට දැනෙමින් නොදැනෙමින් තිබුණද, ඒ පිළිබඳ අවසාන නිගමනයකට එන්නට තමා වේලාසන වැඩි යැයි අරවින්දට සිතුනු වාර ගණන අනන්තය. සත්‍ය වශයෙන්ම අරවින්දගේ විඳුමට ගියහොත්, හදිසියේ හෝ විජේරත්න ඒ පිළිබඳව දැනගතහොත් ලැබෙන ප්‍රතිචාරය කෙබඳුදැයි අරවින්ද නොදැන සිටියේය.
සර් ඔලුව කැක්කුමද? පැනඩෝල් දෙකක් දෙන්නද?
තමාට පිටුපසින් ඇසුන සුන්දරම්ගේ හඬ නිසා හිස එසවූ අරවින්ද සුන්දරම් දෙසට හැරෙන්නට වන.
යමුද ප්ලේන්ටියක් ගහන්න?
යමු.
සුන්දරම් අරවින්දගේ පසුපසින් වැටින.
ප්ලේන්ටි දෙකයි වඩේ 4යි..
අරවින්ද මිල ගෙවා අවසාන වන විටත් සුන්දරම් වඩේ තැටිය සහ ප්ලේන්ටි දෙක රැගෙන මේසය මතින් තබා අවසාන ය.
සුන්දරම් උඹ බැඳලද?
ඔව් සර් අවුරුදු 4ක් විතර

බබාලා?
දෙන්නෙක් ඉන්නවා සර්

හ්ම්ම්..,

ඇ..ඇයි සර්..?

නෑ පොඩි අදහසක් දැනගන්න?

කියන්ඩ සර්, තේරෙන දේකට නං හෙල්ප් දෙන්නා.

දැන් මේම හිතපන්.
උඹ කෙල්ලෙක්ට ලවු කරනවා, කාලයක් යනකොට උඹේ ලවු එකට කෙල වෙලා, ඒ කෙල්ල වෙන මිනිහෙක් කසාද
බඳිනවා,
ඒත් උඹ
කෙල්ලව ආස්සරේ කරනවා,
අවුලක් තියෙනවා කෙල්ලට,
ඒක තමා.., මිනිහගෙන් කෙල්ලට ලමයි නෑ.
තනි අවුල,,
මිනිහා හිතන්නේ කෙල්ලගේ අවුලක් කියලා.
කෙල්ල හිතන්නේ මිනිහගේ අවුලක් කියලා.
කෙල්ල මේ සීන් එක උඹට කිය කිය අඬනවා,
උඹ මොකෝ කරන්නේ?
මම වෙන මොකෝ කරන්නද මහත්තයා
ගෑණිට කියනවා මිනිහව ඩිවෝස් කරන්න කියලා..,

එතකොට සුන්දරම්, අර මිනිහා පවු නැද්ද?

ඒත් මහත්තයා මිනිහට ළමයි හදන්න බැරිනං අර ගෑණිටනේ සමාජෙන් සෝලි වැටෙන්නේ..?

හ්ම් ඒකත් එහෙමද?

ඇයි මහත්තයා එහෙම ඇහුවේ එකපාරටම?

නෑහ් නිකං
සුන්දරම් නොඉවසිලිමත් ය. අරවින්දගේ සිතේ කුමක් හෝ වද දෙන බව සුන්දරම්, අරවින්දගේ අතැඟිළි තේ කෝප්පයේ රාමුව වටා පිරිමැදෙන ආකාරයෙන් දනී. අවසානයේ කිසිවක් නොකියාම අරවින්ද නැගී සිටියේය.
අපි යමු.., කරන්න වැඩ ගොඩ ගැහිලා...!
තමන්ට ඇති වැඩ ගැන කිසිදා කා හටවත් චෝදනා නොකරන අරවින්ද ගෙන් මීට විනාඩි කිහිපයකට පෙර එසේ ඇසුවේ ඇයි දැයි කියා අසන්නට සුන්දරම්ට උවමනා වුව, ඔහු ඒ කිසිවක් නොඅසා ම අරවින්ද පසුපසින් වැටිණ.
ගෙවී ගිය කාලය තුල සඟරාවේ ඉදිරි කලාපයේ වැඩ අතර සිරවී සිටි අරවින්දට මධූ හා ගෙවූ කාලය සහ වර්තමානය අතර පරතරය සති දෙකක්ට වඩා වැඩි වුව, ඒ බව එතරම් නොදැනුනේ අරවින්දගේ වැඩ වල හිරවීම ඉතා ඉහල වූ නිසා වෙනි. කිහිපවාරයක් මධූගෙන් අරවින්දට ඇමතුම් ලැබුනද ඒවාට උත්තර දෙන්නට ලද අවස්ථා කුමනාකාරයකින් හෝ අතහැරීම නිසා මේ දැනීම තවත් අඩු විය.
නිවාඩු පාඩුවේ හෙමීට කෝල් එකක් දෙනවා..
අරවින්ද එක් දිනයක දෙකක එසේ සිතුවද, ඒ ඇමතුම, මධූගෙන් කෙටි පණිවුඩයක් අරවින්දට ලැබෙන තුරුම සිහිණයක් විය.. වැඩ කරන දවසක කෑම පැයට ස්වල්ප වේලාවකට ඉහතදී ආ ඒ කෙටි පණිවුඩය මධූගෙන් වීම අරවින්දට පුදුමයක් නොවුනද එහි ඈ ලියා තිබූ දේ ගැන ඇතිවූයේ පුදුමයකි..
Thanks a lot my love...
හදිසියේ තමාට ස්තූති කර එවා තිබූයේ කුමක් නිසාදැයි ඇසීමට අරවින්ද සිය ජංගම දුරකතනයෙන් මධූට ඇමතුමක් ගන්නට විය..
අරවින්ද මහත්තයා, අන්න ලොකු සර් මහත්තයාට එන්න කිව්වා,, හදිස්සියක්ලු, දැන්ම ම එන්න කිව්වා..,
සුන්දරම් කලබලයකින් මෙන් දිවැවිත් කියූ දේ නිසා මධූට ගත් ඇමතුම විසන්ධි කර සංස්කාරක තුමාගේ කාමරයට අරවින්ද යන්නට විය.
අරවින්ද එන්න එන්න.

ඔව් සර්, හදිස්සීයක්ද?

නෑ හදිස්සියක්මත් නෙවෙයි.
පොඩි ආරංචියක් කියන්න. හිත හොඳ මනුස්සයෙක්ට මේක මට මුලින්ම කියන්න ඕනේ උනා.., ඒකයි..,

කියන්න සර්, ඕනෑ දෙයක් කියන්න..,

අරවින්ද මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ..,
මගේ වයිෆ් දැන් මට කෝල් කරලා කිව්වේ..,
අරවින්ද දන්නවා නේ මම මේ ගැන මොන තරම් දුක් වෙවීද හිටිය කියලා..,
අන්තිමටම දෙයියෝ මට නිවැරදිම උත්තරේ දීලා තියෙනවා..,
දිලිසෙන නෙතින් යුතුව පියෙකුගේ බරසාර බව නෙතින් දරන්නට පේවී සිටිනා අහිංසක පියෙකුගේ ඡායා සංස්කාරක තුමා වෙතින් දිස්විය..

මගේ උණුසුම් සුභ පැතුම් සර්.., නිවැරදි මිනිස්සුන්ට දෙයියෝ වැරදි කරන්නේ නෑ..

ඒක හරියටම හරි අරවින්ද..,
අරවින්ද මම දැන් එන්නැයි කීවේ,
මම ඔෆිස් එකෙන් යනවා එතකම් මේ වැඩ ටික පොඩ්ඩක් බලාගන්න පුලුවන්ද?

හරි සර්..,

තෑංක්ස් අරවින්ද තෑංක්ස් වෙරි මච්..!
සංස්කාරකතුමා පිටව ගියපසු සිය කාමරයට පැමිණි අරවින්ද..,
මධූ ගේ කෙටි පණිවුඩයට පිළිතුරු කෙටුවේ සියුම් මඳහසකින් යුතුව ය.
You're Welcome :)
 01. සෙවීම
 
ෂ්.. අර බලපන්!!
මොකද්ද??
දොරෙන් එලියට යන කෑල්ල..,
හ්ම්!!

හුග් ගාන්නේ,ඔය මාකටින් සෙක්ෂන් එකට අලුතින් ආපු කෑල්ල දන්නවද?

මැනේජරයගේ කැච් එකක්ලු...,

අර කලු මහත එකාගේ..?

ඔව් ඔව් බොල.., කෝමද වානරයා වගේ ඉඳළා ලයින් කරන කෑලි..ඈ?

අපි තමා මේ වහතු පස්සේ ගිහිල්ලා බැඳලා ළමයි හදාගෙන ඉන්නේ..,

ඒකට ඉතින් මොනවා කරන්නද තොපේ හදිස්සියට..,

හා හා ඒකෙන් කමක් නෑ නෑ.., යං යං අර එවෙන්ට් එකට ඕනේ කරන ෆයිල් ටික තියෙන්නේ මගේ මේසේ උඩ..,ඒ ටික සෝටවුට් කරමු

හුම්..!

02. කාමය ලෝභකම් ඇතිකරයි

එක්ස්කියුස් මී සර්, මේ අයි කමින්?

යෙස් යෙස් නයනා., ටේක් අ සිට්..,

සර් මම අර ෆයිල් වලට දාන්න කිව්ව, ලෙටර්ස් ටික ප්‍රින්ට් කරලා ඉවරයි., සර්ගේ සයින් එක ඔනේ ඒවා  ෆයිල් කරන්න කලින්...,

කෝ දෙන්න..,

ඉතින් ඉතින් නයනා.., කොහොමද අලුත් තැන?
වැඩ කරන තැන එහෙම ගැටලුවක් එහෙම නෑනේ??

කරදරයක් නෑ සර්.., ඒත් පොඩ්ඩක් වැඩ වැඩියි, වරදක් නෑ, ස්ටාෆ් එකත් හරි ෆ්‍රෙන්ඩ්ලී,

හරි එහෙනම්, මොනවා හරි ප්‍රෂ්ණයක් එහෙම තියෙනවා නං කියන්න ඕනේ.., ඕකේ? මම මගේ මැනේජර්ස්ලාට එහෙම කියලා තියෙන්නේ ඔයා ගැන ස්පෙශල් ඇටෙන්ෂන් එකක් දෙන්න කියලා, තේරුනාද?

ඔව් සර්, තෑංක්ස්.., එහෙනම් මම යන්නම් සර්..,

මේ නයනා වන් මිනිට්?

ඔව් සර්??

අර වැඩේ හෙට ඊවිනිං දාගමු..,

හ්..හා සර්..,

ඇයි නයනා මොකුත් ප්‍රශ්ණයක් ද? ඔයා කැමති නිසා මම ඒ එපොයින්ට්මන්ට් එක දාගත්තේ..,  ඔයා ට ප්‍රශ්ණයක් නෑනේ??

මම යන්නම් සර්..


03. රියදුරු දෑතට දෙවි පිහිටයි

උඹ දන්නවද මචන්, අපේ ලොකු සර් මට බුවාගේ කාර් එක එලවන්න ගත්තේ මිනිහගේ ලොකු රහසක් මම දන්න නිසා..., මිනිහා සමහර වෙලාවට එක එක සැම්පලේ කෑලි දාගෙන එන්න කියලා මට කෝල් කරලා කියනවා..,

උඹේ ලොක්කා අපේ ලොකු සර් එක්කත් වලි දාගෙන තියෙන්නේ ඔය කෑල් ප්‍රස්නේකට කියලා මට දවසක් එකවුන්ට් එකේ මිස් කෙනෙක් කිව්වා..?

උඹ එක්කලා මිස්ලා සෙට්ද එකවුන්ට් සෙක්ශන් එකේ??
ඩයිවර්ලා වෙච්චි අපිත් එක්කලා අඟෑලුම් පාන්නේ ඉතින් මොකක් හරි වැඩක් කරගන්න මිසක් වෙන මොකටද බන්.., මයුරි රට ගිහින් ඒකි අර අරාබි කාරයා එක්කලා ජීවත් වෙන්න පටන් ගන්නවාය ආයේ එන්නේ නෑය කියලා ලියලා එව්ව දවසේ ඉඳලා මට ගෑනු අරහං බන්..

වේ* හැතිකරේ..!

ඉතින් උඹ කියන්න ගියපු කතාව කියපන් කෝ..,

ඉතින් සර් ගොඩක් වෙලාවට සර්ගේ ගොඩගම ගෙදර තමා රෑ වැඩ වැටුනම ඉන්නේ.., සමහර පාටි එහෙම තියෙන දවසට සර් එක්ක කාරෙකට එන කෑලි ආපහු යන්නේ උදේ ගෙදරින්.., හික්කා ගිහිල්ලා අපේ ලොක්කා රෂියන් කෑලි දෙකක් එක්ක නටනවා හායි එකේ දාලා තිබ්බා මම දැක්කා.., උඹ දන්නවද, එදාට පස්සෙන් පහු ඒ කෑලි දෙක වීක් එන්ඩ් එකම හිටියේ අපේ ලොක්කා එක්ක..,

ඉතින් ලොක්කාගේ අවටියල් වැඩ මැඩම් දන්නෑද්ද??

දන්නවා ඇති බන්.., ඒත් ඉතින් ඒ ගෑණි කියලා මක් කරන්නද? දෙනදේ කාලා වෙනදේ

බලාගෙන ඉන්නවා ඇති.

හහ් හරි මම යන බේබිව ඉස්කෝලෙන් ගන්න.., දෙකට කාලයි..,

හරි මමත් යනවා සර්ගේ බත් එක කාර් එකේ, මිනිහට ඔපිස් එකට ගෙනියන්න අමතක වෙලා මට කෝල් කලා..,


04. මූණුපොතේ සිංහ පැටව්

දන්නවද අර කෑල්ලගේ නම?

මොකද්ද??

නයනා බං නයනා..,

පේස්බුක් ඉන්නවද? 

ඉන්නවා ඉන්නවා.., මම රික්වෙස්ට් එකක් දැම්මා මේකි මාව ඇක්සෙප්ට් කලේ නෑනේ..,අද උදේ මම වැඩට එනකොට ඒකි නැනෝ ටැක්සියකින් බැහැලා ඔපිස් එකට එනවා, මම හෙලෝ ගුඩ් මෝනින් කිව්වා.., මේකි ගස්සලා ගියේ නැද්ද ඇතුලට.., මමත් ඉතින් අනේ හුකේ කියලා ඇතුලට ආවා.., මොන හු**ක්ද? මුං නලලේ තියාගේන ඉන්නේ.., අපි හායි කිව්වම තමා හෙන ගනකම.., ලොක්කෝ දැක්කම විලුඹේ ඉඳන්ම නවනවා..,

වෙලාවකට මටත් හිතෙනවා මාකටින් සෙක් එකට පැනගන්න බන්.., එතකොට ලොක්කෝ සැප ගන්න කෑලි එක්ක අඩු ගානේ කතාවක් වත් කලෑකිනේ.., මේ අවුට සෙක්ශන් වල ඉන්න කොටතමා මුන් අපි දිහා මහ අමුතු විදියට බලන්නේ..

හා හා කෑ ගහන්න එපා බන්..,

කෑ ගහන්න නෙවෙයි බන්.., උන්ගේ තියෙන බොරු උස්නේ.., වේ* හැත්ත.

මේ ඕක අමතක වෙලා යන්නත් එක්ක මේ රිපෝට් එක හදන්න උදවු වෙයන්..,

ආ.... තව දෙයක් ඕනේම කරන එක කියන්න අමතක උනා.., මම කාර් පාක් එකේ ටොයිලට් එකට යනකොට, ලොක්කගේ ඩ්‍රයිවරුයි, අපේ එකවුන්ටන් මහත්තයාගේ එකයි බර කතාව.., 

මොකා ගැනද?
වෙන කා ගැනද බන්.., අරකී ගැන.., ලොක්ක හවසට ඒකිට ට්‍රැවලින් දෙන්නම් කියලා ගෙදර යන්න..,

ලොක්කා අච්චුව තියයි වගේ..,

අර තඩි බඩ එක්ක කෝම කොරන්නද බන් ඕක..,

බඩත් අවුලක්ද මල්ලී කිව්වලු..!


05. කාම සූත්‍ර

ඔයා නම් මාරයි නයනා...,
අපිටත් ගෑනු ඉන්නවා, උන් ඉන්නවාම විතරයි..,

සර් අපි ඒ ගැන කතා කරන එක නවත්තමු..,

හ්ම් ඔයාගේ කැමැත්තක්.., ඔයා අකමැති නැතිනම් මම කෑමතියි මේ ගේ දෙන්න.., වැඩට යන්න එන්නත් ලේසිනේ.., අනික අපි දෙන්න්ටම ලේෂර් ටයිම් එක පීස්ෆුලි ස්පෙන්ඩ් කරන්න පුලුවන්නේ..,

නෑ සර් මම යන්නම් ගෙදර,
ඕකේ.., ඉන්න මම කියන්නම් ඩ්‍රයිවර්ට ඔයාව ඩ්‍රොප් කරන්න කියලා..,

සර්..?

ඔව් නයනා කියන්න..?

අර මම කිව්ව වැඩේ..,

ආහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා.., ඒක හරි කියලා හිතාගන්නකෝ..,

තෑංක්ස් සර්.., මම යන්නද එහෙනම්..?

ඕකේ සී යූ ටුමාරෝ ඇට් දි ඔෆිස්.., බායි..,

බායි ස... සර්..!


06. නිර්වානය

ටක් ටක් ටක්..!!!

කවුද........

මේ මම නැන්දේ නයනා..,

කොහේ යනවද ළමයෝ කියද බලන්න දැන් වෙලාව..,

ඔෆිස් එකේ වැඩ තිබ්බා නැන්දේ ඒකයි ඔෆිස් ට්‍රාන්ස්පෝට් එකෙන්ම ආවේ..,

තේකක් හදන්නද මං?

එපා නැන්දේ මම කාලා ආවේ.., ඇඟට වතුර ටිකක් දාගෙන නිදාගන්න ඕනේ, හරි මහන්සියි, ඊටත් එහා හිතේ තෙහෙට්ටුව

ආ..මේ.., නයනා..?
නැන්දේ..?

මේ ඔයාට ලියුමක් ආවා..,

හ්ම්..,

ගෙදරින්ද?

ඒ වගේ..,


07. ආරම්භය වෙත සෙනෙහසින්..

ආදරණීය ලොකූ වෙත,

එවාපු ලියුම ලැබුනා.., දුව හොඳින් ඇතැයි හිතනවා, ඔයා එවපු සල්ලි වලින් අර බඩු ටික බේරගත්තා, ඔයා මේ ගෙවන්නේ අමාරු කාලයක් කියලා දන්නවා දුවේ, ඉන්න එකම ළමයා වෙච්චී ඔයට මේ දේවල් කියන්නේ නැතුව මම වෙන කාට කියන්නද? ඔයාට මම මේ ලියුම ලියන්නේ හොඳ ආරන්චියක් කියන්නත් එක්කයි. අප්පච්චීට පැන්ෂන් එක හදලා කියලා ලියුමක් ආවා.., දෙයියනේ කියලා ලබන මාසේ ඉඳන් මේ කරදර ටික ටික අඩුවේවි.
ලොකු නැන්දා ඊයේ අපේ ගෙදර ආවා.., ඇහුවා ඔයා එකලාසයක් වෙන්නේ නැද්ද කියලා.., මම කිව්වා ඔයා කිව්වය කියලා ලොකු දුවම එයාගේ දේවල් බලාගන්නවාය. අපි හොයන්න ඕනේ නැතිය කියාලා., මට පේන්නේ උන්දෑ හදන්නේ ලොකු එකාව ඔයාට ජෝඩු කරන්න වගේ.., මම නං ඒ හැටි මනාපයක් නෑ.., ඒත් අප්පච්චි තමා හරි බලාපොරොත්තුවෙන් ඉන්නේ ඒ ගැන. ඔයා මේවා කියවලා හිත කලබල කරගන්න එපා.., මම නිකමට ලිව්වේ ඒ ගැන.,
අප්පච්චි පැන්සන් එකේ වැඩ ටික කරගන්න එහෙම ළඟදී කොළඹ එන්න ඉඩ තියෙනවා, ඒ අස්සේ ගෙදර උකසට ඊයේ පෙරේදා රතු කොල ඇවිල්ලා අප්පච්චි කෝලේ දැකලා ප්‍රෙසර් පෙත්ත දිව යටින් තියාගනී කියලා මම බය උන්නේ. ඔයා අර ටික එව්වොත් අපිට උකසේ පොලී වාරිකයක්වත් බැන්කුවට බැඳගන්න පුලුවන් වේවි වෙලාවට..,මට මේවා කියන්න හිතෙන්නේ නෑ දුවේ ඒත් මම සල්ලි කොහෙන් කියලා හොයන්නද? මම තවත් ලියුම දික් කරන්නෑ..,
මට බෑ තවත් මේවා ලියලා දුක් දෙන්න..,
මම නවතිනවා.

බුදු සරණයි..,
මීට,
අම්මා.
පණ්ඩිත්. ඒ ඔහුට රසිකයින් විසින් අරූඪ කර තිබූ නාමයයි.., නිතර අඳින කපු කූර්තාව සහ පපුතුර දක්වා හැලෙන අලු වර්ණිත රැවුල ඔහු හඳුණන සලකුණු වී. විටෙක ඔහු පිළිබඳව පුවත්පතක පලවන ලිපියක සිය උවනත වෙනුවට දමා තිබුණේ ඒ අපූරු රැවුලයි..,

මා පිළිබඳ රසිකයන් ඉතා සැලකිළිමත්, ඔවුන් මගේ හුස්ම තියා කෙස් ගසකින් වුවත් මා වෙන්‍කර හඳුණගන්නට දන්නවා..,

පණ්ඩිත් විකල්ප පුවත් පතකට සිය අනන්‍යතාවය ගැන සැලකර තිබුණේ එසේයි.

අධ්‍යාත්මික නායකයෙකු සේම, ඉහළ රසවින්දනයකින් යුතු ගීත රචකයෙකු වූ පණ්ඩිත් ගේ ගීතයන් යූටියුබ් වැනි සමාජීය රසවින්දනාත්මක අඩෙවි තුලින් එළිදකින තුරු ඔහු රසිකයින් බලාසිටියේ ඇඟිළි ගනිමින්.

පණ්ඩිත්ගේ ගීතයක් කියන්නට අවස්ථාව ලැබෙනවා කියන්නේ කොයිතරම් භාග්‍යක් ද?

සිනමා ගීත සක්විති ලෙස කිරුළු පලන් අසේල පද්මවර රූපවාහිණී සාකඡ්ඡාවකදී කියනවා කුඩාදරුවෙකු ලෙස මගේ මතකයේද ඇඳී තිබේ.., පණ්ඩිත්ගේ රසිකාවියක වන මගේ අම්මා මා හට අකුරු කියවන දින හෝඩිපොතට ඉහළින් සේයාරූ හතරක් තබා තිබෙන සේයාරුවක් මට ලැබුනේ මෑතකදී ය. තාත්තා, ගණදෙවියන්, සරස්වතිය සහ පණ්ඩිත් ගේ රූප දිටි මට හිතැතුලින් මඳක සංතෝශ ජනක සිතුවිලි පහල වුනද, මා ඒවා සිත තුලම සඟවාගෙන සේයාරුව කබාය තුලරඳවා ගත්තේ කිසිඳු අදහසකින් තොරව ය. වසර ගණනකට පෙර දුටු පුද්ගලයාග්ෆේ වර්ථමාන කෙලෙසද කියා දැන ගැනීමේ නොතිත් කුහුල මා වෙත විය.

ඔයාට අර ඉන්ටර්විව් එකට යන පරක්කුවෙනවා නේද?
පල්ලෙහා කෑම හදලා තියලා ඇති.
අද ඉනෝකා ආවේ නැති නිසා මම මොකවත් ඉව්වේ නෑ..,
නටේලා ටිකක් ගාගෙන පාන් කන්න..,
අමතක කරන්නේ නෑතුව බටර් එකයි, නූටෙලා එකයි ෆ්‍රිජ් එකෙන් දාන්න.

කොල පිරුණු බෑගය මගේ අතටදෙමින් එසේ කියන්නේ මා බිරිඳයි.., වසර පහළොවකට පෙර සරසවියේදීත් මා පසුපස හිඳිමින් මාගේ අමතක වන දෑ මතක් කරනා ඈ අදද ඒ කාර්යය කරන්නේ නොපැකිලව ය.

අමතක කරන්න එපා ඔය දකුණු කබා සාක්කුවේ ඇති අර බඩු ලිස්ට් එක..,
වෙලා තිබ්බොත් ශ්‍යාමාස් එකට ගිහින් ඒටිකත් අරගෙන ම එන්න.


අංක 444/4, අමන්ටේ පැලස්, නෝර්මැන්ඩි ඇවිනියු, කොලඹ.

ඇඩ්‍රස් එකේ හැටියට නං මේක තමා තැන ඒත් කවුරුවත් නෑ වගේ..,

කාවද සර් හොයන්නේ??

අර ජනප්‍රිය කලාකාරයෙන් ඉන්නේ පණ්ඩිත් කියලා එයාගේ ගේ මේක ද?

ඔව් සර්.., ඒ අපේ පණ්ඩිත මහත්තයා.., ලොකු මහත්තයා ඉන්නවා ඇතුලේ කවුද පත්තෙරෙන් මහත්තයෙක් එනවා කියලා, ලෑස්ති වෙලා ඉන්නවා අටේ ඉඳන්..,

අහ් එහෙනං මටත් කලින් පණ්ඩිත් ලෑස්තිවෙලා වගේ මේකට.

යමු සර් ඇතුලට.., මේක ලොක්කරලා තියෙන්නේ මම මේ එහා පැත්තේ මුඩුක්කුවල ඉන්න වේස කොල්ලෝ ඇවිල්ලා මේ වත්තේ ගස් වල තියේන ගෙඩි කඩලා වනසලා යනවා නෙව..,

එතකොට තමුන්නැහේ..?

මගේ නම ජාසින්. සර් නං මට කතා කරන්නේ පිල්ලේ කියලා. පොඩි කාලේ ඉඳන් මම හැදුනේ මෙහෙ. මම තමා සර් පණ්ඩිත මහත්තයාගේ හැමදෙයක් ම බලාතියාගෙන ඉන්නේ.., මේ කොරිඩෝ එක දිගේ ම ගියාම අන්තිමට ම තියෙන කාමරේ ලොකු මහත්තයාගේ කන්තෝරු කාමරේ.., මේ වෙලාවේ මහත්තයා පත්තරේ බලනවා ඇති.., අවුලක් නෑ.., මහත්තයා යන්න.

පිල්ලේ ගේ මඟ කියවුම අනුව ඉදිරිට යනවිට සාලය පසුකරන විටම හමුවන්නේ මැදමිදුලක් මත පිහිටුවා ඇති විසාල හිටිපිළිමයකි. බිමට නැවුනු හිස් ඇති විසාල වටා පතකින් පවන් ගසනා ලංදේසි කාරයෙකුගේ හැඩයක් නිරූපිතය. තනිකම පාලුව මෙන්ම නිසල බව තුල සැඟවී ගත් ධෛර්යය ඉන් නිරූපිතවන බව මග හැඟෙන්නට වෙයි. ඉන් දකුණු පස පිහිටුවා ඇති කොරිඩෝවේ අවසානය ලකුණුවන තැනින් පිහිටුවා ඇති කාමරයේ පහන දැල්වී ඇති නිසා ඒ තුල කවරෙකු හෝ සිටින බව දැනේ.., නොවැරදීම ඒ පණ්ඩිත් වියයුතුය.

මඳක් හැර තිබූ දොරටුව වෙතට යත්ම ඇහුලේ සිටි කිසිවෙකු මා එන බව දුටු නිසා දෝ අවට කිසිදු සුළං රොදක් නොමැතිව ම මහ හඬක් නැගෙමින් වැසී ගියේය..,
වැසුනු දොරෙන් පිටවූ ශබ්දය කෙතරම් ද යත් පහල තට්ටුවේ සිටි පිල්ලේ ද උඩට දුවගෙන ආවේ එක හැල්මේ ය. ප්‍රෂ්ණාර්ථය මුව නඟාගෙන පිල්ලේ දෙසට මා හැරෙත් ම..,

කරන්න දෙයක් නෑ මහත්තයා...,
ඔහොම දොර වහනවා කියන්නේ පණ්ඩිත සර් ආපහු වරුවකටවත් එළියට එනවා කියන එක නෙවෙයි..,

හ්ම් ඒකත් එහෙමද??
ඔය කාමරේ සුද්ද පවිත්‍ර කරන්නේත් පණ්ඩිත මහත්තයාමයි.., කෑම කන්නේ වගේම ලියන කියන වැඩත් ඔක්කෝම කරන්නේ ඔහේ ඉඳන්.., මම හිතන්නේ පල්ලෙහා මැද සාලේට මේ අවුරුද්දටම ගිහින් ඇත්තේ දෙතුන් පාරද කොහෙද..,
එතකොට පණ්ඩිත සර් කෝමද වැඩ වලට එළි පහළියට යන්නේ???
ඇයි කුස්සියේ දොරෙන්.., වාහනේ එලවන ඩැයිවර් ට කියලා තියෙන්නේ මොනව හේතුවකටවත් ඉස්සරහ ඉස්තෝප්පුව ගාවට වාහනේ ගන්න එපා කියලයි.., අනේ මන්ද??
අපි මෙව්ව තේරුම් ගන්න තවම මෝරලා නැද්ද මන්දා ඒත් මහත්තයාට කියන්න මටත් දැන් අවුරුදු 60ක් වෙනවා මේ එන ජනේරුවට..,

හරි අපි මෙහෙම කරමු..,

කෝමද සර්...??

මං ආවේ ඉන්ටර් විව් එකකට ඔහේලාගේ ලොකු මහත්තයාව මුණ ගැහෙන්න.., දැන් මොකද උනේ කියලා අපිදෙන්නම දැක්කනේ.., ඉතින් මට ඔහේගෙන් උදව්වක් ඕන..,

ඒ මක්කේ??

මම අහන ප්‍රෂ්ණවලට උත්තර පිල්ලේ දන්න විදියට කියන්න ඕනේ හරිය...?

ඒත් මහත්තයා බැරි වෙලාවත් මම තමා උත්තර දුන්නේ කියලා ලොකු මහත්තයා දැන ගනිතොත්..?

ඒක ඉතින් පිල්ලේගේ වැඩ අනුව තමා තීරණේ වෙන්නේ..,

ඒ කියන්නේ??

ඒ කියන්නේ පිල්ලේ පත්තරේ ගිහිල්ලා දුන්නොත් නේ ලොකු මහත්තයා පත්තරේ බලන්නේ..,

ඔව්?

ඉතින් කරන්න තියෙන්නේ මේ ආටිකල් එක තියෙන පත්තර කොපිය එදාට ලොකු මහත්තයාට ගෙනිහිල්ලා නොදෙන එකයි..,

හරි හරි ඒක බලගමුකෝ සර්.., දැන් මහත්තයාට මොනවද මගෙන් අහගන්න තියෙන්නේ???


පණ්ඩිත මහත්තයාගේ ඉස්සර කාලේ ගැන පිල්ලේ මොනවද දන්නේ??

අනේ එහෙමට කියන්න දෙයක් දන්නේ නෑ මහත්තයා, ඉස්සර අපේ අම්මා නං කියනවා පණ්ඩිත මහත්තයා ගේට්ටුකඩේ හන්දියේ සමූපේ මැනේජර් වෙලා උන්නය කියලා.

මේ මා කිසිදාක අසන්නට තබා සිතන්නටවත් නොවූ විරූ නිමිත්තකි, පිල්ලේ නොනවත්වා කියවගෙන යයි.

ඒත් ඉතින් එහෙම කෝමද සමූපකාරෙක මැනේජර් කෙනෙක් වෙලා හිටියයි කියන්නේ, අද කාලේ වෙනකොට මේ ගෙවල් දොරවල් යාන වාහන කොහොමද එහෙම මැනේජර් කෙනෙක් ගන්නේ..,

ඕක මමත් හිතුවා මහත්තයා, මහත්තයට ඔලුව හරවලා බැලුවම දකුණු පැත්තේ රාක්කේ කොනටම වෙන්න පොඩි රවුම් ලොකු කාසියක් වගේ එකක් පේනවද?

ඉතින්?

ඕකට කියන්නේ පුලිස්ටර් ද පුලිට්සර් ද කොහෙද කියලා අඳුන්වන තෑග්ග.., ඕකත් අපේ මහත්තයාට ලැබුනා කියනවා නේ..., ඊට පස්සේ තමා මේ ඔක්කොම කරමයෙන් කරමයෙන් ලැබිලා තියෙන්නේ..., පිළිගැනීම වැඩිවෙනකොට එක එක වාසි වගේම එක එක පාඩුත් වෙනවා නේ..!!

හුම්

කෝමහරි එක දෙයක්!!!
අපේ පණිඩිත මහත්තයා උදලු තලත් මීයෝකාලා කියලා ඉන්වැන්ට්‍රියේ දාලා තමා මේ තත්ත්වෙට ආවේ කියලා අපේ බජාර් එකේ පොඩි කසු කුසුවක් ඒ දවස් වල තිබුණා.., ඒදවස් වල අපි ඉස්කෝලේ යන හිච්චි කෝල්ලෝ

ඕනෑම දීප්තිමත් කෙනෙකුගේ අඳුරු අහුමුලු තිබිය හැකි බව පිල්ලේගේ කතාවෙන් පසු අවබෝධ විය.., පණ්ඩිත්ගේ ජීවිත කතාවට දීර්ඝ රසවත් ඉතිහාසයක් ඇත්තේ වුව ඔහුගේ සාහිත්‍ය ඉතිහාසය ඉන් බිඳුවක් වත් නියෝජනය නොවන බව මට සිතෙන්නට වී..., මේ අමුතු පුද්ගලයාගේ ගුණ වරුණ මා සිත තුල දැන් ඇත්තේ අඳුරේ ය.

පණ්ඩිත්ගේ පොත්පත් මම කියන්නේ ලියන කරනවැඩ වලදී කාලය සහ අදහස් එහෙම හොයාගන්න මොනවගේ මූලයන් ඒ කියන්නේ මොනවගේ සාධක පාවිච්චි කරනවා ඇති කියලා පිල්ලේ හිතනවද?

සමහර වෙලාවට අපේ මහත්තයා අමුතු වැඩ කරනවා.., සර් දන්නවද මේඝමාධිනී මැඩම්ව? අර  ළඟදී විපක්සේට පැන්න ඇමති තුමාගේ නංගී..???

මේඝමාධිනී අධිකාරිවසම්, ජොකිම් අධිකාරිවසම්ගේ සහෝදරියයි.., මේ කතාවට කොතරම් සම්බන්දයක් නැත්තේ වුව අධිකාරිවසම් නාමය සාහිත්‍ය ඉතිහාසය තුල නාමගතව ඇත්තේ රන් අකුරිනි. සාහිත්‍යට කරන ලදේ සේවය සඳහා වූ නෝබල් ත්‍යාගයට මෙයට දශක කිහිපයකට පෙර නාමයෝජනාවන් තුලට ඇතුලත් වූ සිරිලක පළමු රචකයා ඇක්මන් අධිකාරිවසම් ය.. මේ ඉහත නම් සඳහන් වූ අධිකාරිවසම්වරු දෙදෙනා ඇක්මන් අධිකාරිවසම් ගේ සුජාත(?) දරු දෙදෙනා ය. ජෝකිම් තරුණකල සිටම ක්‍රියාකාරී දේශපාලනය බට අතර මේඝමාධිනී සාහිත්‍යට පෙම පුදකලාය, එ මතු නොව ඈ ප්‍රකට කාන්තා විමුක්තිවාදිනියකි,.., මෑතකදී පෞද්ගලික සංචාරයක් සඳහා විදේශගතව සිටි අවස්ථාවකදී ජෝකිම් හෝටල් කාමරයක  බැල්කනියකින්  බිමට ඇද වැටීම කලකට පෙර පුවත් පත් වල ප්‍රධාන පුවතක් බවට පත් වූ බව මා මතකයේ ඇත.

ඔව් දන්නවා ඉතින්???

ඔය මාධිනී මැඩම් එනවා සාමාන්‍යයෙන් මාසෙකට සැරයක් විතර මෙහෙ, ඒ ඇවිත් දවස් දෙකක් තුනක් ඉඳලා යන්නේ.., ඒ බවලතා බැඳලත් නෑනේව.

ඉතින් මොනවද අමුතු වැඩ කියලා කිව්වේ??

මැඩම් එනකොට එන්නේ එක එක අමුතු එව්වා අරන්..,
වේවැල්, බොල දංවැල්, ගාංචු, මාංචු එහෙම අරගෙන...,

මහත්තයට කියන්න එක දවසක මම රෑ ලයිට් නිවන්න බැල්කනියට යනකොට අපේ මහත්තයාගේ කාමරේ පැත්තෙන් කෙඳිරියක් ඇහෙනවා, මම හෙමීට ඔලුව දාලා බැලුවා.., 

බලනකොට රතු පාට ලෝගුවක් වගේ එකක් ඇඟේ දාගෙන
මැඩම් වේවැල අරගෙන මොනාදෝ ඉංගිරිසියෙන් කියනවා,
අපේ මහත්තයා ඇඳේ දණ ගහගෙන "යැස් මැඩම් යැස් මැඩම්" කියනවා..,
මම තව ටිකක් ඔලුව දාලා බැලුවා..,

ඉතින්??
බලනකොට හත්වලාමේ අපේ මහත්තයාව අර ගෑණි ඇඳට තියාලා මාංචු දාලා..!
වෙන්නට යන සිදුවීම සිතේ මවාගන්නට අපහසු නැත, මුවට සිනහවන් නැගෙතත් පිට කිරීම අපහසුය. රෙකෝඩරය කැරකේ.., මම පිල්ලේ වෙතට තව ප්‍රෂ්ණයක් විද්දෙමි.

පිල්ලේ මොකෝ කලේ??

මම කෝම අරවගේ දෙයක් බලා ඉන්නද මහත්තයා
;  තාත්තෙක් වගේ මනුස්සයා..,
මම පැනලා මහත්තයාව කවර් කරගෙන හිටියා.., ඒකට බය වෙච්චි මැඩම් එක පාරටම පුටුවේ වනලා තිබ්බ රෙද්ද අරන් ඇඟේ දාගෙන එහා කාමරේට දිව්වා...,

ඉතින්??

එතනින් පස්සේ තමා හොඳම හරිය..,
අපේ මහත්තයාව බේර ගත්ත එකේ ගොන් කම තේරුනේ පස්සේ..,
මට මොනාදෝ කියලා කියලා බනින්න ගත්තා මහත්තයා..,
අම්මපා මම ඒ වචන අහලත් නෑ තේරුනෙත් නෑ..,
මම එදයින් පස්සේ මහත්තයාගේ කාමරේට යන එක නතර කලා මහත්තයා..,
ඔයාකාරෙට බැනුම් අහන්න පුලුවන් ය ?

ඊට පස්සේ මොකෝ උනේ??

මම පහුවදා උදේ මැඩම්ට තේක දෙන්න කාමරේට යනකොට මැඩම් කොම්පියුටරේ මොනාද කරනවා මම හෙමීට කනප්පුව උඩින් තේක තියාලා යන්න හැරෙනකොටම මැඩම් කතා කලා..!! 

පිල්ලේ???

ඇ..ඇයි මැඩම්??

ඊයේ වෙච්චි දේ අමතක කරලා දාන්න...,
මෙතන පොඩි තෑග්ගක් තියෙනවා මමයි මහත්තයයි දෙන්නම කතා කරලා තමා මේ තීරණේට ආවේ,
මෙහෙම
දෙයක් ඊයේ උනේ නෑ කියලා හිතා ගන්න..,
හැබැයි මේ ගැන කාටවත් කියන්න එපා...,
ඒකෙන් වෙන්නේ පිල්ලේගේ රස්සාවට කරදර වෙන එක
තේරුනාද??

ඔ...ඔව් මැඩම්!!

හොඳයි දැන් යන්න පුලුවන්..! 
ආහ් තවදෙයක්

ඔව් මැඩම්??
එකෝලහමාර වෙනකොට පොර්ච් එක ගාවට වාහනේ ගන්න කියන්න.., මම ආපහු නුවරට යන්න ඕනේ..,
සර් එක්ක මැඩමුත් එදා නුවර ගියා, මම මේක කාටවත් එදා ඉඳන් කිව්වෙත් නෑ.., මහත්තයට ඇරෙන්න.

මිනිසුන් තුල හැඳින ගත යුතු ගති ලක්ෂණ ඇතත් ගරු කටයුතු චරිතයක ලෙස කුඩා කල සිටම මාහට අකුරු කියවන්නට පවා ඔහු රුව යොදාගත් අයුරු මගේ මතකයට එයි. මිනිසුන් කොතරම් සිවිල් චරිත ලෙස සමාජය තුල අධිනිෂ්චය වුවද කිසිවෙකු නොදකින අඳුරු අගාධ උන් තුල ද නැත්තේ නොවේ.., පිල්ලේ මා ඉදීරියේ නිරුත්සාහකව වමාරන්නේ මේ තිත්ත ඇත්තයි.

මොනවා උනත් අපේ සර් මට හරි ආදරෙයි..,
අවුරුද්දට, වෙසක් එකට, නත්තලට පවා එක එක ලැබෙන එව්වා මට දෙනවා..,
ඒත් මේ බංගලාව ඇතුල හරි පාලුයි මහත්තයා..,
කිසිම නෑදෑ කියන කෙනෙක් පණ්ඩිත මහත්තයා ආස්සරේ කරන්නේ නැති නිසා උන්නැහේ නැති කාලේක මේවට මොනවා වෙයිද මන්දා..,
අපිට මොනව වෙයිද මන්දා??

ඇයි පිල්ලේට මොනවා වෙන්නද?

ඇයි සර් මම ඉන්නෙත් මෙහෙ නෙව. පවුලක් හවුලක් තියෙන එකක් යැයි??

හිතේ රඳවාගෙන පැමිණි කතිකාවක් කෙසේ වෙතත් ඉන් එහා ගිය තොරතුරක් සොයාගෙන, ගඳගහන අතීතයක් පටිගත කරගෙන, මා හට මේ මන්දිරයෙන් යන්නට සිදු වී තිබේ.  මම පිල්ලේ හට මුදලක් අත තබා, නැගී සිටියෙමි. පිල්ලේ කුමක් හෝ මතක් වී නිවෙස තුලට දිව ගියේය.

සර් මේ පොත් දෙක තුන අරන් යන්න ඕනේ නම්..,
අපේ පණ්ඩිත මහත්තයා කුරුටු ගාපු එව්වා..,
මේවා මගේ අතට දීලා කිව්වේ  ගිණිතියලා දාන්න කියලා..,
ඒත් මොනාහරි වැදගත් දෙයක් ඇති කියලා හිතලා මම මෙව්වා අරන් තිබ්බා..,

ඇයි පිල්ලේ කියෙව්වේ නැද්ද?

මට සිංහල අකුරු කියවන්න බෑනේ මහත්තයා.
නිවෙසට පැමිණ ඒ පොත් වල මුල සිට අග දක්වා එකිනෙක කියවා බැලුවද සාහිත්‍යමය කටු සටහන් හැරෙන්නට කිසිවක් සොයාගත නොහැකිවිය. එහෙත් මගේ ලිපියට අවැසි තොරතුරු අවැසි පමණටත් වඩා ඒ තුල අන්තර්ගත වීමතුල මට වූයේ වාසියකි. ලියමන ලියා අවසාන වූ පසු හොඳින් ආවරණය කල එම පොත් කිහිපය මගේ පොත් රාක්කයේ වඩා සුරක්ෂිත ස්ථානයක තැන්පත් විය.

දින සති මාස අවුරුදු ගෙවීම තුල ලෝකය තිරිහන් වීමත් ඒ තුල ජීවත් වන්නන්ගේ වියපත් වීමත්, විප්පයෝගයන් සහ එක්කාසුවීම් වැනි මානුෂ බන්ධන අනෙක් සියල්ලන්ටම වගේ මගේ ජීවිතය තුලත් වන්නට විය.

ලේඛකත්ව සන්නිවේදනය පිළිබඳ ශිෂ්‍යත්වයක් ලැබී මා හට විදේශගත වන්නට වූ කාලය තුල පණ්ඩිතගේ වියෝව ගොසිප් අඩවියකින් දකින්නට හැකිවිය, වෙබ් පිටු පුරා පණිඩිතගේ අතීතය අවුස්සන සොඳුරු මතකයන් සතු කිහිපයක් පුරාවටම සටහන් විය, යාවත් කාලීන විය. ඕනෑම දෙයක අවසානයක් පවතින බවට වූ නියමය සත්‍ය කරමින් පණ්ඩිත ගේ මතකය ද මා තුලිනුත්, මා හදවත තුලිනුත් ඉක්මනින් මැකීගියේ නැති. ලියමනකට උහු අදහස් ගන්නට ගිය මතකයත් ඔහු හමුවන්නට තිවූ ඉඩකඩ කෙස්ගසින් මඟහැරුන අයුරත් මකන්නට සිතුවිලි වලට නොහැකි විය.
 
එහෙව් අතීතය මතකයට ආ ඇසිල්ලක, ඒ අමතකවන්නට නොදී මෙසේ පරිගණකයක් ඉදිරිපස හිඳ, මේ සියල්ලම ලේඛනගත වන්නේ යලි මේ මතකයට නො ඒ යැයි හිත තුල පවතින අඩමානය නැති කරගන්නට ය. තව දින කිහිපයකින් මා මවුරට බලා යායුතුය. ලේඛකත්ව සන්නිවේදන ශිෂ්‍යත්වයේ මේ ගෙවන්නේ අවසාන දින කිහිපය නිසා පණිඩිත ගැන මතකය ඉවතලා එදිනෙදා දේට සිත යොමු කලෙමි. 

ලංකාවට පැමිණ දින කිහිපයකට පසුව රැකියාවේ වූ නිරාකරණය කරගැනීම් කිහිපයක් කරගන්නට කොළඹ යන්නට අවැසි වීම නිසා මගේ අනෙකුත් අවැසිතා ද ඒ දිනයටම යොදාගතිමි. ඒ අතර තුර අමන‍්ටේ පැලස් වෙත ගොස් පිල්ලේගේ දුක සැප බලා එන්නට ද උවමනාවක් මාතුල වී..,  අමන්ටේ පැලස් ඉදිරිපස වූ රථගාලේ මා රථය නවතා යන විටත් අමන්ටේ පැලස් හි වෙනසක් වී ඇති බව මා හට පසක් විය.
මන්දිරය ඉදිරිපස පසෙකට වන්නට සිය ව්‍යාපාරය කරගෙන යන සපත්තු මසන්නා වෙත ගිය මම,

දැන් මේ අපේ පණ්ඩිත මහත්තයාගේ ගෙදර කවුද ඉන්නේ උන්නැහේ??

ඇයි පණ්ඩිත මහත්තයා ගාව හිටපු පිල්ලේ..,
ඒ යකා තවම ඉන්නව නේ..,
ඌ වාසනාවන්තයා..! පණ්ඩිත මහත්තයාගේ මරණෙන් පස්සේ ඔක්කොම දේපල පිල්ලේට අයිති උනා, මහත්තයාගේ අන්තිම කැමතිපත්තරෙන් පවරලාම තියෙලු..,
මහත්තයා මැරිලා තුන්මාසේ යන්න හම්බුනේ නෑ පිල්ලේ කාරයා කසාදෙකුත් බැන්දා..,

ඒ කාවද?

ඇයි අර අධිකාරිවසම් ඇමතිතුමාගේ කසාද බැන්දෙ නැතිව ගෙදෙට්ටම නාකිවෙලා හිටි නංගිව..,
ඒ කටයුත්ත බෝම රහසිගතව උනේ අපි දන්නෙත් එදා උදේ බංගලාවේ ගේට්ටු ඇරලා තියේනකොට..,
පත්තරේකවත් ගියේ නෑ මයේ හිතේ..!

අනික මහත්තයා මිනිහා ඒකෙන් නැවතුනේ නෑ.., මිනිහා බංගලාවේ නමත් වෙනස් කලා..!!

කතාව අතරතුර සේවාදායකයෙකු පැමිණීම නිසා සපත්තු මසන්නා කාර්යබහුල විය..,
මම දකුණුකුළුණේ ඉහත්තාව දෙස නෙත් හෙලුවෙමි.

බැසයන හිරු එළියට කුළුණේ වූ "පිල්ලේ රෙසිඩන්ස්" නමින් යුතු පිත්තල තහඩුව පෙර නොවූ විරූ අයුරින් දිලෙන්නට විය.
           අපි සෙට් එක කතා කර කර ඉන්නකොටත් මිනිහා හිටියේ පත්තරේ බලාගෙන, හරියට පත්තරේ අකුරු ටික ඇස් දෙකෙන් උරාගන්න උත්සහ කරනවා වගේ.., ඒ දිහාටම නැවිලා යොමුවෙලා..! හවස සෙට් වෙන වෙලාවක මුහුදු හුළං වැදෙනකොට නිකම්ම වටේ අමතක වෙනවා උනාට මේ මනුස්සයා ගේ ඇටිටියුඩ් එක ලේසියෙන් ඔලුවෙන් අයින් කරන්න පුලුවන් උනේ නෑ.., ඒ තරමට ම ඒ මනුස්ස ප්‍රාණියා මගේ හිත තුල ආකර්ශණීය චරිතයක් වෙලා තිබුනේ...,
පත්තරේ පල්ලෙහාට හදිස්සියේ ම ගත්තට පස්සේ තමා මම දැක්කේ අතේ මැණික් කටුවට අඟලක් විතර යටින් ලොකු තරුවක් ටැටූ කරලා.., අර කලින් ගත්ත චිත්ත විනිශ්චයන් එක්කම මම මේ මනුස්සයා එක්කෝ විප්ලවවාදියෙක්ද එහෙමත් නැතිනම් සාතන් අදහන්නෙක් ද කියන උභතෝකෝටිකයට මැදිවුනා.

බයිට් පොඩ්ඩක් දීපන්.., සැන්ඩි මදි නේද? අබේ අපි ගෙනාපුවා ඉවරද?
බාගේට අලු කැඩුන සිගරට් එක කටේ තියාගෙන නිස්සා බෝතලේ අතේ තියාගෙන අහනවා.,

මම ආපහු කල්පනා ලොව මල්වනේ..,
ඒ එක්කම මේ මනුස්සයා මගේ දිහා නුරුස්සනා ස්වරයෙන් හුස්මක් පිට කරලා පත්තරේ පැත්තකින් තියලා එහා පැත්තේ කබායකින් වහලා තිබුණ පොත අතට ගත්තා.., කෆ්කා මුහුදු වෙරලේ.., මුරකමි ගේ පොත් කියලා කියවලාම තිබ්බ එකම පොත මේක උනාට මිනිහා මැද තිබ්බ පොත් සලකුණ පැත්තකින් තියාලා මා දිහා ආඩම්බරයෙන් බලලා පොත පෙරළගත්තේ නිකං

උඹලා බෝතලේටම යට වෙලා ඉඳපල්ලා.., මේ වගේ පොතපතක් කියවන්න එහෙම එපා

වගේ ලුක් එකකින්..! මම බයිට් අහුරක් අතට දාගෙන වෙරළ පැත්තට හැරුණා.., උණවටුන වෙරළ හවසට හරි ලස්සනයි.., වටේම රෙස්ටුරන්ට් වල එළියේ තියලා තියෙන ටේබල් යට චිමිනි මැද ගහපු ඉටිපන්දම් දැල් වෙන කොට පෙන්නේ ලස්සන මුතු පොටක් වගේ.., සවස හතට පොඩ්ඩක් කලින් ඔරලෝසුව බැලුනත් එක්ක මට මේ මනුස්සයා ගෙදර යන්නේ නැත්තේ ඇයි කියන සිතුවිල්ල එනකොටත් හෝ ගාලා කොල්ල පොත කියෝනවා.!!

ලස්සනට ඇඟිළිතුඩු වලින් පිටුවෙන් පිටුව වෙරළමින්.., කියවන වචනයක් පසා තමන්ගේ මුලු සිතම ඒදෙසට යොමුකරමින් මහා බැරෑරුම් විදියට ඇහිබැම කණ්නාඩියෙන් උස්ස උස්සා කියවන ගමන් එක පාරටම මේ මනුස්සයා ආපහු මගේ දිහා බැලුවේ මහ නුරුස්සන බැල්මකින්.., මම අහක බලාගත්තා.., මේ යකා මට බනින්න එයිදමන්ද??
මූණට වැටෙන ලයිට් එළියත් බයිට් පිඟාන චරියා ගාවම තියෙන නිසා මම චරියාට මුවා වෙලා බයිට් පිඟාන ගාවින් වටෙන් ඇවිත් වාඩි වුනේ මේ මනුස්සයාට මම අවිඥාණිකව බුවා දිහා බලනකොට පෙනුනොත් මේ මනුස්සයා ගේ හැසිරීම වෙනස් වෙයි කියන අදහසත් එක්කමයි..,

මොකෝ බන් මගේ පිටට මුවා වෙලා කරන්නේ??  
චරියා ඇහුවේ මගෙන් වෙන්න ඇති..,

නෑ බන් ලයිට් එක මූණට වැටෙනවා  එකයි..!
මම වේටර් මල්ලී එවෙලෙම ගෙනැල්ලා තියාපු සොසේජස් කෑල්ලක් කටේ දාගන්න ගමන් කිව්වා..!

කෙටියෙන් කියනවා නම් මිනීහා මැදිවයස් වෙච්චි පොඩ්ඩක් පෝස්ට් කොලෝනියල් ලුක් එකක් තියෙන ඒත් අර ටැටූ එක නිසා පොඩි රැඩිකල් ගතියක සේයාවක් ගෑවිලා තියෙන බවක් තේරුනා.., මිනිහෙක් දිහා බලාගෙන මෙහෙම විස්තර කියන එක මහ කැත වැඩක් තමා ඒත් විස්වාසෙට ගන්ඩ, මිනිහාව ඒ තරමට කියවන්න හිතෙනවා..,

මම ආපහු මිනිහා දිහා බලාගෙන,
පොත කියාවාගන යන ගමන් ම මේ යෝදය එක පාරටම අන්තිම පිට පෙරළුවා.., ඒත් ප්‍රයෝජනයට ගන්න තරම් දෙයක් ඒ කොටසේ නැති නිසා වෙන්න ඇති ආපහු තමන් අර කියවගෙන ගිය කොටසටම ආපහු ආවා..!! නවලා තිබ්බ කබායේ සාක්කුවෙන් ගත්තු අමුතු තාලේ පෙට්ටියෙන් එළියට ගත්තු පයිප්පේට දුම්කුඩු දාගත්තට පස්සේ උඩු සාක්කුවේ තිබ්බ අලියා ගිණිපෙට්ටියෙන් ගහපු ගිණිකූර පයිප්පේ කටට ඔබාගෙන උගුරු කීපයක් උරාපුවාට පස්සේ ඇස් දෙක පියාගෙන යටි තොල බෙරි කරලා වැහිලා තියෙන කට දෙපැත්තෙන් දුම් යවනවා හෝ ගාලා..,

වළල්ලක් යවපන්කෝ..,

මගේ හිත මේ උන්නැහේ ට කෑගහනවා, කොහෙද ඒවා වචන කලෝත් මට වෙන්නේ ගුටි කන්න. මම සද්ද නැතිව උන්නා.

ටික වෙලාවකින් මම අතේ තිබ්බා වතුර එක ටේබ්බල් එක උඩින් තියලා සෙට් එකෙන් මිදිලා එළියට ආවේ ගෙදරින් ආපු කෝල් එකට ආන්සර් කරන්න..,
කතා කරල ඉවර වෙලා එනකොට අර මනුස්සයා අතුරුදන් වෙලා..,

අපරාදේ මගේ රීසර්ච් එක.., මම ආපහු හැරෙනකොට අපේ හිටපු මොටේල් එකේ කොනේම ටේබ්ල් එකට කපල් එකක් ඇවිල්ලා ඒ අයගේ ටේබල් එලට සර්ව් කරන්නේ සුරංග අපේ එදත් අදත් මිත්‍රයා.., මම සුරංගට කතා කලා..,

මචන්.., අර අපේ සෙට් එක සෙට් වෙලා ඉන්න කබානා එක එපා පැත්තේ හිටියා පොරක් තඩි පොතකුත් තියාගෙන පයිප්පයක් පත්තු කරන් පැත්තකින් පත්තරේකුයි කෝට් ජැකට් එකකුයි නවාගෙන උඹ දන්නවද බුවා ගැන..,

ඔය සර් කියන්නේ.., ඩස්ටින් මහත්තයා ගැන.., එයා හැමදාම මෙහෙට එන කස්ටමර් කෙනෙක්.., හැබැයි එයා ගන්න ප්ලේන්ටියක් විතරයි.., හැමදාම මෙතෙන්ට වෙලා පහේ විතර ඉඳන් ඇඳිරි වැටෙනකම්ම ඉඳලා.., මේ වගේ වෙලාවට යනවා.., දැනට අවුරුදු විස්සකට විතර කලින් ඉඳම්ම මෙහෙට එනවාලු අපේ ලොකු සර්ගේ ෆිට් එකක්.., අපි කා එක්කවත් කතා කරන්නේ නෑ. ලොකු සර් කියල තියෙන්නේ ඉල්ලන ඕනෑම දෙයක් සර්ව් කරන්න සල්ලි ඉල්ලන්න යන්න එපා කියලා.., අපි අහන්න ගියෙත් නෑ ඒ ඇයි කියලා ලොකුසර් කිව්වෙත් නෑ ඒ මොකෝ කියලා..,

පෙනුමෙන් නම් මිනිහා හෙන උගතෙක් වගේ නේහ්???

අනේ නෑ සර් ඩස්ටින් මහත්තයට අකුරු බෑ.., උන්නැහේ පත්තරේ අරන් එන්නේ දාඩිය දානකොට පවං ගහගන්න, ලොකු පොත අරන් එන්නේ ඒ පත්තරේ හුළඟට යනවට තියාගන්න.!
          එකමත් එක රටක් අභියස දූපතක් තිබුණා.., මේ දූපතේ කවුරුවත් හිටියේ නෑ, සශ්‍රීක බවින් අනූන මේ දූපතට අසල තිබූ රටේ මිනිසුන් විශාල ප්‍රමාණයක් එදිනෙදා අවැසිතා සපුරා ගන්නට ආවේ මේ දූපතටයි. ඒත් මේ දූපතේ හිටපු වැඩිම ගහණය වුනේ මීයන්, සේලරුවන් දෙන ඕනෑමාපද්‍රව්‍යක් ආහාරයට ගන්නට මේ අපූරු මී බලකාය පුරුදුවෙලා හිටියා. ඒ නිසාම වෙරළේ අතහැර දමායන කෑම බීම සියල්ලම ආහාරයට ගන්නා මේ මීයන් පෙනුමින් මහත වගේම හැසිරීමෙන් නොරිස්සුම් බවක් උපතින් ආරූඪ කරගෙන තිබුණා.

කාලයක් යනවිට වෙරළේ නවතන බෝට්ටු වලට පවා මේ මී ගහණය අරියාදු කරන තත්ත්වෙට පත් වූ නිසා ම සමහර මිනිසුන් මේදූපතට යන එන එක පවා අත හැර දැමුවා. එත්  මෙහෙම කාලයක් යනවිට එක්තරා මිනිහෙකු තමන්ගේ කුමක්දෝ අවශ්‍යතාවක් සපුරා ගන්නට අවාසනාවකට වගේ මේ දූපතට ආවා.., ඔහු අමු කපටියෙක්.
බැලූ බැලූ අත හැමදෙයකින් ම පිරිපුන් මේ දූපත දුටුවිට ඔහුට ඇති වන්නේ පුදුමයක්,

ඇයි මම මේ දූපතට මෙච්චර කාලයක් ආවේ නැත්තේ..? අපරාදේ ඒ නො ආ කාලය.

ඔහු සිතන්නට වුනා.

මේ මී කරදරේ නැතිනම් කිසිම ආරවුලක් නෑ නෙව.., අම්මපා මට බෑද මේ කරදරේ දුරු කරගෙන දූපත මගේ කරගන්න, මීයන්ටම ගිය දූපත වෙච්චි,, වටේට වැට ගහලා මායිම් ටික සලකුණු කරගත්තානම් මමත් ඉඩම් හිමි වැවිලි කරුවෙක්

සිය දුඹුරුවන් වූ සම මත පැලවූ රැවුල් ගස් පිරිමදිමින් සිතන්නට වුණා

එදා සිට මේ මනුස්සයා ගෙවන හැම තත්ත්පරයක් ම ගෙවුනේ මේ දූපත අයිති කරගන්නට තැනෙන සැලසුම් සකස් කරමින්..,

අවසානයේ ඔහු තීරණයකට ආවා..,
 
සමූල ඝාතනයක්!!!

දූපත අසබඩ රටේ ලොකුම කේජු මුදලාලිගෙන් කේජු ණයට ගත් මේ මනුස්සයා ඒවා පටවාගෙන බෝට්ටුවෙන් දූපතට ආවා.., මුලින්ම කලේ දූපතේ වෙරළ වටේටම වැලි වල කේජු ඇතිල්ලෙන ලෙස කුඩු කරගත් වියලූ කේජු විසුරවාගෙන යාමයි. වෙරලේ දකුණ පස ගල් ගුහාවක  සිට මේ මනුස්සයා කරන දේ ගැන විමසීල්ලෙන් හිටපු එක් මීයෙක් හෙමීට වෙරළට සේන්දු වුණා..,

හප්පා!! මේ තියෙන්නේ අවුරුද්දකට කන්න තරම් කේජු..!! කන්න නෙවෙයි නාන්නත් ඇති!!

මීයා ඒ තරම් ආහාර ගොඩක් එකපාර දැක්කමයි..,

ගත වුනේ හෝරා කිහිපයයි, මුලු මී ගහණයම වෙරලේ පොරකමින් කේජු කන්නට පටන් අරගෙන. මිනිසා බෝට්ටුවට වී මේ සියල්ලම බලාගෙන..!
ඔහු නිහඬවම බෝට්ටුවේ ගොඩගසා තිබූ කේජු කුට්ටි කුඩු කරන්නට ගත්තා.

දෙවැනි දවස උදා වුනා, මේ වෙනකොටත් කේජු ආහාරය ගෙන පුරුදු මීයන් ඊළඟ දිනයේදී තමන්ගේ පංගුව ලැබෙන තුරු බලාසීටියේ නොඉවසිල්ලෙන්. එදා අර කපටි මනුස්සයා වෙරළට ආවේ අමුතුම තාලේයේ පෙට්ටියකුත් ඔසවාගෙන කෑමත් අරගෙන, එය වානේ වලින් නිම වූවක්..., එක කරකින් පෙට්ටිය ඔසවාගෙන යන අතරම අනික් කරෙන් එල්ලා ගෙන ආ කේජු මල්ලෙන් වරින් වර අත දමා කුඩු කරගත් වියලි කේජු වෙරළ පුරා විසිරුවා හැරියා. වෙරළ පුරා කේජු විසුරවීමෙන් පසුව උන්නැහේ පෙට්ටියත් ඔසවාගෙන කැලය තුලට ගියා..!

මීයන්ට පෙට්ටිය ගැන වගක් නෑ, රංචු පිටින් වෙරළට විත් මේ කේජු කෑමට ගන්නට ඒ වෙනකොටත් මේ මෝඩ මී රැල පුරුදු වෙලා හිටියා.,

දින කිහිපයක් ගත වෙන්නට ඇති, අඩුම ගානේ සතියක් දෙකක්වත්!!

මේ වෙනකොට සීග්‍රයෙන් මීයන්ගේ බර වැඩිවේලා තිබුණා.. දිනපතා ලැබෙන කේජු සලාකය දෙස නෙත් යොමාගෙන සිටින මේ මී කැල එදත් බලාගෙන සිටියා අර මනුස්සයා එනකම්.., බලාපොරොත්තූ වූ විදියට ම ඈත කේජු පටවං එන බෝට්ටුවදැකලා මීයන් සතුටින් ඉපිලුනා..!
ඒත් අනේ අර මනුස්සයා එදා වෙනදා වගේ කේජු වෙරළ පුරා විසිරුවේ නෑ.., ඔහු ඒ වෙනුවට කලේ බෝට්ටුව අසල සිට වෙරළටත්, වෙරළ අසල සිට කැලය තුලටත් උරයේ තිබූ මල්ලේ තුබූ කේජූ විසුරවමින් කැලය තුලට යන්නට වුනා.

කලබල වූ මී ගහණය, උන්නැහේගේ හදිසි වෙනස් වීම නිසා වෙරළේ වූ කේජු ටික අත හැරලා කැලෑ පාර දිගේ හලාගෙන යන කේජු ටික පස්සෙන් මී රැලත් වැටෙන්නට වුණා.., කවදාවත් කැලයාට ගොසින් නැති මේ මී රැල අර මනුස්සයා විසිරවන කෙජු කමින් ඒ මඟ දිගේ යන්නට වුණා. ඒ වෙනකොටත් ඈත හිමය තුලට රිංගූ මිනිසා අතුරුදන් වෙලයි හිටියේ.., ඒ වෙනුවට ඔහු ආ මඟේ කේජු ඇති පදමට කන්නට තිබුණා. කැලෑ මඟ දිගේ කේජු කමින් ආ මී රැලට නියම නිධානය පහල වූයේ ඉන් පසුවයි..,

නිධානය; කේජු වලින් අඩක් පිරවූ යකඩ පෙට්ටියක්!!!

දෙවරක් නොසිතාම මේ කේජු ගොඩට කෑදර වූ මී රැල පෙට්ටියට පැන්නේ කේජු ඔක්කොම කන්න හිතාගෙන..!!

මිනිසා හිතුවේ පෙට්ටිය මදි වේවි කියලයි, මීයන්ගේ අවාසනාවට උන් සියල්ලටම ඒ පෙට්ටියේ ඉඩ සෑහුනා.., මූසිකයින් කේජු මත පිණුම් ගසමින් කේජු කන්නට වුණා. දූපතේ එකෙකුවත් මීයෙක් වෙරළේ තිබෙන කේජු කන්නට ගියේ නෑ උන් සියල්ලම පෙට්ටියේ කේජු වලට ලෝල වූණා.

එකවරම මහා භයානක දෙයක් වුණා..!! මහා හඬක් නඟම්න් පෙට්ටියේ පියන වැසී ගියා..!!

අසල ගසට වී මේ දෙස බලාගෙන සිටි මිනිසා සිතා සිටියේ මීයන් සියල්ලම කලබල වී මහා කලබලයක් ඇතිවේවි කියලයි.., ඒත් එවැන්නක් පුදුමයකට වාගේ වුනේ නෑ..,

බාග වෙලාවට උන් ඔක්කොම කේජු කනවා ඇති..!

කපටි මිනිසා සිතුවා..!!

ඇත්තෙන්ම වී ඇත්තේ එයමයි,

මුව කොනකින් සිනාවක් නඟාගත් කපටියා බෝට්ටුවට නැඟී සිය රට වෙතට හබල මෙහෙයවා බෝට්ටුව පදවන්නට වුණා..!!

සති දෙක තුනක් යනතුරු වත් අර කපටි මනුස්සයා දූපත පැත්ත පලාතේ ආවේ නෑ, පිත්තල ඉබ්බෙක් වැටුනු අර යකඩ පෙට්ටිය තවමත කැලේ ඇතුලේ මූසිකයින්ට රැකවරනය සැපයුවා..!!

අදට පෙට්ටිය වැසී මාසයකුත් දින කිහිපයක් ගතවෙලා..,
මහ වැස්සක පෙර නිමිත්තක් එක්කම අකුණක් අහස පුරා හොල්මන් කරද්දී ඈතින් දූපත දෙසට බෝට්ටුවක් පාව ආවා..!
ඔව් ඒ අපේ කපටි මනුස්සයා තමයි..!!

පාඟිලි අස්සෙන් මඩ වතුර මිරිකෙන වැස්ස අස්සේ ම නිහඩවම මේ මනුස්සයා කැලෑව තුලට ඇවිද යන්නට වුනා..,

ඔහු වෙරදමා පෙට්ටිය අගුලු ලා තිබූ ඉබ්බා ගලවා වසා තිබූ පෙට්ටියේ දොර හැර දැම්මා..! මිනිසාගේ බලාපොරොත්තු වූ විදියටම සියල්ල ඉටු වෙලා..!! තැනින් තැන පෙට්ටිය පුරා විසිරුණු මී හම් කැබලි සහ ඇට කැබලි අතරේ කපටියා හෙව්වේ කුමක්ද??

එක වරම මී හම් ගොඩ හෙලවෙන්නට ගත්තා.., එකවරම කෑස් කෑක් හඬක් නඟමින් එළියට පැන්නේ මීයන් දෙදෙනෙක්.., උන් වෙනදා කේජු කන්නට වූ කාලේ මෙන් නොව ඇට ගැසී දෙනෙත් රතුවූ ලොවි තරම් වී තිබුණා බලන්නටත් බයයි!
මීයන් දෙදෙනා එකවරම දෙදෙනාට දෙදෙනා දෙස බලා සිටින්නට වී, එකවරම එකිනෙකාට විරිත්තා ගස් දෙකකට නගින්නට වූවා.., පෙර තිබූ සංවර බවවත් එකමුතුව වත් උන් වෙත ආපසු ලැබී තිබුණේ නෑ.., උන් එකිනෙකාට වෛර කරන්නට අරගෙන..!

පෙට්ටිය වැසීමෙන් පසුව ඇතුලත වූ කේජු අවසන් වන්නට වුනාම ආහාර නොමැතිව හෙම්බත් වූ මීරන්චුවට ඉතිරි වී තිබුනේ එකම විකල්පයයි..!! ඒ එකිනෙකා මරා කෑමයි, කෙටියෙන් කියනවා නම් දුර්වලයාව ආහාරයය ගැනීමයි, සිය පැවැත්ම වෙනුවෙන් අකමැත්තෙන් හෝ කල ඒ දේ පසුව කල් යනවිට පුරුද්දකට වඩා අවශ්‍යතාවක් වුනා..!! කෙමෙන් කෙමෙන් සිරවූ පෙට්ටියක් තුල අසරණව පරිහාණියට මීරැල යන්නට වුණා..!! එකවරම නිදහස ලැබුනත් ඒ නිදහස භුක්ති විඳින්නට තරම් මී ගහනය ශක්තිමත් නෑ, පෙර කීවා මෙන් ඒ තුල ඉතූරු වී සිටියේ මීයන් දෙදෙනෙකු පමණයි..!!

කපටියා තමා අත වූ කේජු කැබැල්ල උන් දෙදෙනාට කඩා බෙදාදුන්නා..!!

අවාසනාවට.., උන් තවදුරටත් කේජු කෑවේ නෑ..!!
උන් දැන් කන්නේ මී මස්..!!!