අනියම් සමූල ඝාතනය

          එකමත් එක රටක් අභියස දූපතක් තිබුණා.., මේ දූපතේ කවුරුවත් හිටියේ නෑ, සශ්‍රීක බවින් අනූන මේ දූපතට අසල තිබූ රටේ මිනිසුන් විශාල ප්‍රමාණයක් එදිනෙදා අවැසිතා සපුරා ගන්නට ආවේ මේ දූපතටයි. ඒත් මේ දූපතේ හිටපු වැඩිම ගහණය වුනේ මීයන්, සේලරුවන් දෙන ඕනෑමාපද්‍රව්‍යක් ආහාරයට ගන්නට මේ අපූරු මී බලකාය පුරුදුවෙලා හිටියා. ඒ නිසාම වෙරළේ අතහැර දමායන කෑම බීම සියල්ලම ආහාරයට ගන්නා මේ මීයන් පෙනුමින් මහත වගේම හැසිරීමෙන් නොරිස්සුම් බවක් උපතින් ආරූඪ කරගෙන තිබුණා.

කාලයක් යනවිට වෙරළේ නවතන බෝට්ටු වලට පවා මේ මී ගහණය අරියාදු කරන තත්ත්වෙට පත් වූ නිසා ම සමහර මිනිසුන් මේදූපතට යන එන එක පවා අත හැර දැමුවා. එත්  මෙහෙම කාලයක් යනවිට එක්තරා මිනිහෙකු තමන්ගේ කුමක්දෝ අවශ්‍යතාවක් සපුරා ගන්නට අවාසනාවකට වගේ මේ දූපතට ආවා.., ඔහු අමු කපටියෙක්.
බැලූ බැලූ අත හැමදෙයකින් ම පිරිපුන් මේ දූපත දුටුවිට ඔහුට ඇති වන්නේ පුදුමයක්,

ඇයි මම මේ දූපතට මෙච්චර කාලයක් ආවේ නැත්තේ..? අපරාදේ ඒ නො ආ කාලය.

ඔහු සිතන්නට වුනා.

මේ මී කරදරේ නැතිනම් කිසිම ආරවුලක් නෑ නෙව.., අම්මපා මට බෑද මේ කරදරේ දුරු කරගෙන දූපත මගේ කරගන්න, මීයන්ටම ගිය දූපත වෙච්චි,, වටේට වැට ගහලා මායිම් ටික සලකුණු කරගත්තානම් මමත් ඉඩම් හිමි වැවිලි කරුවෙක්

සිය දුඹුරුවන් වූ සම මත පැලවූ රැවුල් ගස් පිරිමදිමින් සිතන්නට වුණා

එදා සිට මේ මනුස්සයා ගෙවන හැම තත්ත්පරයක් ම ගෙවුනේ මේ දූපත අයිති කරගන්නට තැනෙන සැලසුම් සකස් කරමින්..,

අවසානයේ ඔහු තීරණයකට ආවා..,
 
සමූල ඝාතනයක්!!!

දූපත අසබඩ රටේ ලොකුම කේජු මුදලාලිගෙන් කේජු ණයට ගත් මේ මනුස්සයා ඒවා පටවාගෙන බෝට්ටුවෙන් දූපතට ආවා.., මුලින්ම කලේ දූපතේ වෙරළ වටේටම වැලි වල කේජු ඇතිල්ලෙන ලෙස කුඩු කරගත් වියලූ කේජු විසුරවාගෙන යාමයි. වෙරලේ දකුණ පස ගල් ගුහාවක  සිට මේ මනුස්සයා කරන දේ ගැන විමසීල්ලෙන් හිටපු එක් මීයෙක් හෙමීට වෙරළට සේන්දු වුණා..,

හප්පා!! මේ තියෙන්නේ අවුරුද්දකට කන්න තරම් කේජු..!! කන්න නෙවෙයි නාන්නත් ඇති!!

මීයා ඒ තරම් ආහාර ගොඩක් එකපාර දැක්කමයි..,

ගත වුනේ හෝරා කිහිපයයි, මුලු මී ගහණයම වෙරලේ පොරකමින් කේජු කන්නට පටන් අරගෙන. මිනිසා බෝට්ටුවට වී මේ සියල්ලම බලාගෙන..!
ඔහු නිහඬවම බෝට්ටුවේ ගොඩගසා තිබූ කේජු කුට්ටි කුඩු කරන්නට ගත්තා.

දෙවැනි දවස උදා වුනා, මේ වෙනකොටත් කේජු ආහාරය ගෙන පුරුදු මීයන් ඊළඟ දිනයේදී තමන්ගේ පංගුව ලැබෙන තුරු බලාසීටියේ නොඉවසිල්ලෙන්. එදා අර කපටි මනුස්සයා වෙරළට ආවේ අමුතුම තාලේයේ පෙට්ටියකුත් ඔසවාගෙන කෑමත් අරගෙන, එය වානේ වලින් නිම වූවක්..., එක කරකින් පෙට්ටිය ඔසවාගෙන යන අතරම අනික් කරෙන් එල්ලා ගෙන ආ කේජු මල්ලෙන් වරින් වර අත දමා කුඩු කරගත් වියලි කේජු වෙරළ පුරා විසිරුවා හැරියා. වෙරළ පුරා කේජු විසුරවීමෙන් පසුව උන්නැහේ පෙට්ටියත් ඔසවාගෙන කැලය තුලට ගියා..!

මීයන්ට පෙට්ටිය ගැන වගක් නෑ, රංචු පිටින් වෙරළට විත් මේ කේජු කෑමට ගන්නට ඒ වෙනකොටත් මේ මෝඩ මී රැල පුරුදු වෙලා හිටියා.,

දින කිහිපයක් ගත වෙන්නට ඇති, අඩුම ගානේ සතියක් දෙකක්වත්!!

මේ වෙනකොට සීග්‍රයෙන් මීයන්ගේ බර වැඩිවේලා තිබුණා.. දිනපතා ලැබෙන කේජු සලාකය දෙස නෙත් යොමාගෙන සිටින මේ මී කැල එදත් බලාගෙන සිටියා අර මනුස්සයා එනකම්.., බලාපොරොත්තූ වූ විදියට ම ඈත කේජු පටවං එන බෝට්ටුවදැකලා මීයන් සතුටින් ඉපිලුනා..!
ඒත් අනේ අර මනුස්සයා එදා වෙනදා වගේ කේජු වෙරළ පුරා විසිරුවේ නෑ.., ඔහු ඒ වෙනුවට කලේ බෝට්ටුව අසල සිට වෙරළටත්, වෙරළ අසල සිට කැලය තුලටත් උරයේ තිබූ මල්ලේ තුබූ කේජූ විසුරවමින් කැලය තුලට යන්නට වුනා.

කලබල වූ මී ගහණය, උන්නැහේගේ හදිසි වෙනස් වීම නිසා වෙරළේ වූ කේජු ටික අත හැරලා කැලෑ පාර දිගේ හලාගෙන යන කේජු ටික පස්සෙන් මී රැලත් වැටෙන්නට වුණා.., කවදාවත් කැලයාට ගොසින් නැති මේ මී රැල අර මනුස්සයා විසිරවන කෙජු කමින් ඒ මඟ දිගේ යන්නට වුණා. ඒ වෙනකොටත් ඈත හිමය තුලට රිංගූ මිනිසා අතුරුදන් වෙලයි හිටියේ.., ඒ වෙනුවට ඔහු ආ මඟේ කේජු ඇති පදමට කන්නට තිබුණා. කැලෑ මඟ දිගේ කේජු කමින් ආ මී රැලට නියම නිධානය පහල වූයේ ඉන් පසුවයි..,

නිධානය; කේජු වලින් අඩක් පිරවූ යකඩ පෙට්ටියක්!!!

දෙවරක් නොසිතාම මේ කේජු ගොඩට කෑදර වූ මී රැල පෙට්ටියට පැන්නේ කේජු ඔක්කොම කන්න හිතාගෙන..!!

මිනිසා හිතුවේ පෙට්ටිය මදි වේවි කියලයි, මීයන්ගේ අවාසනාවට උන් සියල්ලටම ඒ පෙට්ටියේ ඉඩ සෑහුනා.., මූසිකයින් කේජු මත පිණුම් ගසමින් කේජු කන්නට වුණා. දූපතේ එකෙකුවත් මීයෙක් වෙරළේ තිබෙන කේජු කන්නට ගියේ නෑ උන් සියල්ලම පෙට්ටියේ කේජු වලට ලෝල වූණා.

එකවරම මහා භයානක දෙයක් වුණා..!! මහා හඬක් නඟම්න් පෙට්ටියේ පියන වැසී ගියා..!!

අසල ගසට වී මේ දෙස බලාගෙන සිටි මිනිසා සිතා සිටියේ මීයන් සියල්ලම කලබල වී මහා කලබලයක් ඇතිවේවි කියලයි.., ඒත් එවැන්නක් පුදුමයකට වාගේ වුනේ නෑ..,

බාග වෙලාවට උන් ඔක්කොම කේජු කනවා ඇති..!

කපටි මිනිසා සිතුවා..!!

ඇත්තෙන්ම වී ඇත්තේ එයමයි,

මුව කොනකින් සිනාවක් නඟාගත් කපටියා බෝට්ටුවට නැඟී සිය රට වෙතට හබල මෙහෙයවා බෝට්ටුව පදවන්නට වුණා..!!

සති දෙක තුනක් යනතුරු වත් අර කපටි මනුස්සයා දූපත පැත්ත පලාතේ ආවේ නෑ, පිත්තල ඉබ්බෙක් වැටුනු අර යකඩ පෙට්ටිය තවමත කැලේ ඇතුලේ මූසිකයින්ට රැකවරනය සැපයුවා..!!

අදට පෙට්ටිය වැසී මාසයකුත් දින කිහිපයක් ගතවෙලා..,
මහ වැස්සක පෙර නිමිත්තක් එක්කම අකුණක් අහස පුරා හොල්මන් කරද්දී ඈතින් දූපත දෙසට බෝට්ටුවක් පාව ආවා..!
ඔව් ඒ අපේ කපටි මනුස්සයා තමයි..!!

පාඟිලි අස්සෙන් මඩ වතුර මිරිකෙන වැස්ස අස්සේ ම නිහඩවම මේ මනුස්සයා කැලෑව තුලට ඇවිද යන්නට වුනා..,

ඔහු වෙරදමා පෙට්ටිය අගුලු ලා තිබූ ඉබ්බා ගලවා වසා තිබූ පෙට්ටියේ දොර හැර දැම්මා..! මිනිසාගේ බලාපොරොත්තු වූ විදියටම සියල්ල ඉටු වෙලා..!! තැනින් තැන පෙට්ටිය පුරා විසිරුණු මී හම් කැබලි සහ ඇට කැබලි අතරේ කපටියා හෙව්වේ කුමක්ද??

එක වරම මී හම් ගොඩ හෙලවෙන්නට ගත්තා.., එකවරම කෑස් කෑක් හඬක් නඟමින් එළියට පැන්නේ මීයන් දෙදෙනෙක්.., උන් වෙනදා කේජු කන්නට වූ කාලේ මෙන් නොව ඇට ගැසී දෙනෙත් රතුවූ ලොවි තරම් වී තිබුණා බලන්නටත් බයයි!
මීයන් දෙදෙනා එකවරම දෙදෙනාට දෙදෙනා දෙස බලා සිටින්නට වී, එකවරම එකිනෙකාට විරිත්තා ගස් දෙකකට නගින්නට වූවා.., පෙර තිබූ සංවර බවවත් එකමුතුව වත් උන් වෙත ආපසු ලැබී තිබුණේ නෑ.., උන් එකිනෙකාට වෛර කරන්නට අරගෙන..!

පෙට්ටිය වැසීමෙන් පසුව ඇතුලත වූ කේජු අවසන් වන්නට වුනාම ආහාර නොමැතිව හෙම්බත් වූ මීරන්චුවට ඉතිරි වී තිබුනේ එකම විකල්පයයි..!! ඒ එකිනෙකා මරා කෑමයි, කෙටියෙන් කියනවා නම් දුර්වලයාව ආහාරයය ගැනීමයි, සිය පැවැත්ම වෙනුවෙන් අකමැත්තෙන් හෝ කල ඒ දේ පසුව කල් යනවිට පුරුද්දකට වඩා අවශ්‍යතාවක් වුනා..!! කෙමෙන් කෙමෙන් සිරවූ පෙට්ටියක් තුල අසරණව පරිහාණියට මීරැල යන්නට වුණා..!! එකවරම නිදහස ලැබුනත් ඒ නිදහස භුක්ති විඳින්නට තරම් මී ගහනය ශක්තිමත් නෑ, පෙර කීවා මෙන් ඒ තුල ඉතූරු වී සිටියේ මීයන් දෙදෙනෙකු පමණයි..!!

කපටියා තමා අත වූ කේජු කැබැල්ල උන් දෙදෙනාට කඩා බෙදාදුන්නා..!!

අවාසනාවට.., උන් තවදුරටත් කේජු කෑවේ නෑ..!!
උන් දැන් කන්නේ මී මස්..!!! 

Comments

  1. හිතල බැලුවොත් අපේ බොදු බල සේනා හලාල් කියන කේජු අපේ මී රැළට දුන්න කතාවට මේක සමාන කරන්න පුළුවන් නේද?

    ReplyDelete
  2. ඉතිං කපටියගේ බලාපොරොත්තුව ඉටු උනා... ආයිත් නම් මීයෝ නෑ ඒ දූපතේ...

    ReplyDelete
  3. මෙවැනි කපටි පාලකයන් සිටිනා රට වලද, මීයෝ දැන් කේජු වෙනුවට මරාගෙන කන්නේ තමන්ගේම සහෝදර මීයන්වය. මීයෝ මීයෝ මරාගනිද්දී කපටි පාලකයා සුවසේ කල්ගෙවන්නේය.

    ReplyDelete
  4. මේකෙ මී වර්ෂන් එක මෙහෙම පියවර කීපයකින් ඉවර කරන්න පුළුවන් වුණාට මිනිස්සුන්ට ආදේශ කරාම වැඩේ සෑහෙන්න බරපතලයි. මොකද මිනිස්සුන්ට එකිනෙකාව මරාගන්න මොන තරං හේතු තියෙනවද? ;-)

    ReplyDelete
  5. "පරිණාමය". මේ තත්වය අපි ඉන්න වටපිටාවට ආදේශ කලොත්.... හිතාගන්නත් අමාරුයි. ඒත්, දැන් දැන් වෙන්නේ ඒකද කොහෙද... :'(

    ReplyDelete
  6. ලස්සන උපමා කතාවක්. කලකිනුයි, මේ අඩවියට ගොඩ වුණෙ. ගොඩක් වැඩ වෙලා, ඇවිදින් බලන කොට. හරිම සතුටුයි. සුබ පැතුම්, ලිශාන් පුතේ.

    ReplyDelete
  7. හරියටම ගැළපෙන උපමා කතාව ලිෂාන්..
    අපරාදේ දෙන්නෙක් හරි ඉතුරු කරේ..උන්
    දෙන්නටත් පෙට්ටිය ඇතුලෙම මැරෙන්න
    දෙන්න තිබුණේ ...

    ReplyDelete
  8. හැමදෙනාටම ස්තූතියි..! :)

    ReplyDelete

Post a Comment