චාමර

/
9 Comments
නෝක්කාඩු සමාගමය පිළිබඳව කුඩා චාමර තුල තිබුනේ හිත් නොහොඳකි. දෙමාපියන්ගේ සහ පන්ති භාර ගුරුතුමිය අතර හුවමාරු වන අමුතුම ආකාරයේ වාග්මාලා සහ තමාදෙසට එල්ල වන හදිසි රවා බැලීම් වලින් හෙම්බත්ව සිටි චාමර ආපසු පන්තිය දෙස බැලුවේ නිතර තමන් අකමැති යමපල්ලන් සිටින අපායක් වැනි වූ තමන්ගේ පන්තිය, ගුරු දෙමාපිය සමාගමය අස්සේ දෙවුලොවක් ලෙස පෙන්නට වූ බැවිනි.
මේකාව ගහලා හරි හදන්න මිසිස් අපෝන්සු..

වැඩක් නෑ මිසිස් කීර්ති මගේ අත රිදෙන එක විතරයි දැන් කියලම කී පාරක්ද?

ඒ වුනාට මැඩම් එහෙම බෑනේ, මේ ළමයව අපි සයිකෝලොජිස්ට් කෙනෙක්ගාව අරන් ගියොත් රට්ටු හිතයි මයේ කොල්ලට පිස්සු කියලා..
නෑ මිසිස් කීර්ති බලන්න මේ ළමයා අද උදේ ගර්ල්ස් ටොයිලට් ගාවට ගිහින් කලිසම අස්සේ අත දාගෙන ඉන්නවා..,
අපේ ප්‍රීෆෙක්ට් කී ගමනක් නම් කිව්වද ඔහොම ඉන්න එපා කියලා..,
කෝ ඒත් ඇහුවායැ..,
තව ඉස්සරහට ඔය එක එක බාල අපරාධ වලට එකතු වෙන්නේ මේ වගේ ළමයි තමා.,
මම නම් කියන්නේ මේ ළමයා මේවා කරන්න ඉගෙන ගත්තේ කොහෙන්ද කියලා හොයලා බලන්න..,
දෙමාපියෝ විදියට මේ ගැන මීට වඩා බරපතලව හිතන්න මිසිස් කීර්ති,
නැති නම් නැතිවෙන්නේ ඔයාලට ඔයාලගේ ළමයාවමයි.
කීර්ති මහත්මිය පන්තියට ගොස් ඉස්කෝල බෑගය රැගෙන එන විටත් චාමර සිටියේ පන්තියේ කොරිඩෝවේ දන ගස්වාය.., මේ ඔහුගේ එසේ මුල් වතාව නිසා කඳුලු පිරි දෙනෙතින් හාත්පස බලමින් සිටියේ තමාව බේරන්නට කවුරුත් නැද්දෝ යන සිතුවිල්ලෙනි..,
එනවකෝ යන්න අද මම අප්පච්චිට කියලා හොඳ ගුටියක් ඉල්ලලා දෙන්නං...
පාසැලෙක් ඇවිදින දුරක තිබූ කීර්ති මහත්මියගේ නිවස, දෙන්නා දෙමහල්ලෝ පස්වසරකට පෙර බදුගත්තේ චාමරව පාසලට ඇතුලත් කරගන්නට පාසල අසල නිවෙසක් තිබීම තෝරාගැනීම් ලැයිස්තුවේ ඉහළට එන්නට වැඩි ලකුණු එකතුවන්නට ඇති හොඳ අවස්ථාවක් බව විශ්‍රාමික ගුරුවරියක් කීර්ති යුවල දැනුවත් කලාට පසුව ය.
මොන රාස්සයෙක් වැහිලද මන්දා මෙයාට..,
ඉන්නවාකෝ අප්පච්චි එනකම් හොඳ ගුටියක් ඉල්ලලා දෙන්න..!
උගන්නන්නේ මොනවද කියලා මතක නෑ,
ගෙදර එන්නේ කොහේ හරි තුවාල කරගෙන එහෙම නැත්තං නාවර පෙරාගෙන
ඔහොමද ළමයි හැදෙන්නේ..,

ඒකට මිසිස් කාරියකරවනගේ ළමයා ජසින්ත..,
"කා" එකෙන් බහින්නේ කිරිකොකා  වගේ,
ගෙදර යනකොටත් එහෙමමයි,
ඇඟේ කුණුපොදක් නෑ,
ඒක අපේ එවුන්, මුන් ළමයි නෙවෙයි යක්කු..!
අම්මා මොනවාදෝ තනිවම කියා ගනිමින් තමන්ගේ සපත්තු මේස් බුරුල් කරන දුටු චාමර වෙනදාටත් වඩා නිහඬය. සිරුර දොවා, අකුත් ඇඳුම් අන්දවා වෙනදාට බත් ගුලි කර කවනා අම්මා, අද තමාව ඇඟසෝදවා තමා යලිදු ඔහු දෙස ගස්සා බලා කාමරයෙන් එළියට ගිය ආකාරය දුටු චාමරට හැඬුම් ආවේ ය. ප්‍රථම වරට අම්මා තමාව නොසලකා හැරිය බව දැනී.., බැරිමරගාතේ සාලුව උනා දමා ඇඳ උඩ පිළිවෙලට තබා තිබූ ඇඳුම් එකිනෙක ඇඳගන්නට වීය.

මේසය මත තබා තිබූ කෑම පිඟානේ වෙනදාට දකින බත් ගුලි වෙනුවට තැනින් තැන හොදි මාලු දමා ඇති ආකාරය දුටු කුඩා චාමරට අත්තම්මාගේ බත් පිඟාන සිහිවිය..,
අත්තම්මා හිටියා නං කවාගන්න තිබ්බා..,
එයා බාප්පලෑ ගෙදරනේ..,
සඳුනිට කවනවා ඇති දැන් එයා..!!!
සඳුනි යනු චාමරගේ අප්පච්චීගේ සහෝදරයාගේ දියණියයි. චාමරත් සඳුනිත් එක වයසේ නිසා දෙදෙනාට එකම ආකාරයෙක් කවනා අත්තම්මා දෙදෙනාගේම ප්‍රියතම චරිතය වන්නේ නිරායාසයෙනි. අත්තම්මා නිවසේ සිටින විට එකින් එක බත් ගුලි හදමින් සුරංගනා කතා කියමින් කෑම කවනා ආකාරය චාමරට මතක් විය.., අත්තම්මා බාප්පාගේ ගෙදර නිවාඩු ගන්නා බව අප්පච්චී අම්මාට කියනවා චාමර අසා සිටියේ පෙරදා ගෙදර වැඩ කරන අතර වාරයේ ය.
අම්මා තමා මෙයාලව නරක් කරන්නේ..,
ඔහොම කැව්වම කොහොමද ළමයා බත් අනන්නවත් අත හුරු කරගන්නේ..?
අත්තම්මා චාමරට කවනා විට කීර්ති මහතා සිය මවගෙන් කීප විටක් ම අසා ඇත.
උඹට අවුරුදු දොළහ වෙනකම්ම මම කැව්වා..,
කෝ උඹට බත් අනාගන්න දැන් හූරු නැද්ද??
අත්තම්මා අසන්නේ එපමණකි. කීර්ති මහතා හැකි වේගෙන් සිය තර්කය හකුලා ගන්නේ මුණුපුරන් සිටිනා මිත්තණියන් හා තර්ක කරනවාට වඩා සිය බිරිඳට අවකලණය උගැන්වීම ලෙහෙසි බව අත්දැකීමෙන් දන්නා නිසා ය.

කෑම කා අවසන් වූ පසුව චාමර, සෙමින් පිඟාන කුස්සියෙන් තබා පැමිණ ඇඳට ගොඩවිය..!

අප්පච්චි කුමන වේලාවක හෝ එනු ඇත. අම්මා ඉස්කෝලේ විස්තරය කියූ පසු අප්පච්චීගෙන් ගුටි ලැබෙනු ඒකාන්තය..!
 
චාමර දෑස් තදකර පියා ගත්තේ ය.

අප්පච්චි වෙනදාට අරන් එන චොකෝ අද ගෙනෙයිද?
ගෙදර වැඩ කරන්නට උදව් වෙයිද?
ඉස්කෝලේ වූ දේ අම්මා කී පසු ගුටි කන්නට වේවිද?
මේ ආකාරයේ නා නා විධ වූ සිතුවිලි චාමරගේ හිත තුල හොල්මන් කරත්දී.., නිදි දෙව්දුව චාමරගේ දෑස මත නිදිදැල් අතුරන්නට විය..

එක වරම කවුරුන්දෝ සිය හිස සිපගනු දැනුනු චාමර එකවරම ඒ සුවඳ කාගේදැයි තහවුරු කරගත්තේ දෑස වරක් වත් හැරීමෙන් තොරව ය.
සුපුරුදු ආකාරයට තමන් කෑම කා නින්දට වත් ම, චාමර අවදිවන්නේ අප්පච්චීගේ සුපුරුදු හාදුව මඟිනි.
ඉන්නවාකෝ අප්පච්චි එනකම් හොඳ ගුටියක් ඉල්ලලා දෙන්න..!
අම්මා පාසලේ සිට ගෙදර එත්දී කියූ දේ එක වරම මතක් වී චාමර කොට්ටයට මූහුණ තදකරගෙන එක වරම හඬන්නට විය..,
චූටි පුතා මොකෝ මේ අඬන්නේ?? මේ බලන්න මම පුතාට චොකෝ ගෙනාවා..,
කෝ මේ පැත්ත හැරෙන්න..,
මොකෝ මේ අඬන්නේ?? හ්ම්..?
එන්න එන්න අපි චොකෝ එක කාලා කිරි එකක් බොමු හොඳේ??
චාමරගේ උත්තරයක් පිට නොවූවද අප්පච්චී චාමරව වඩාගෙන සාලයට ආවේ කිරි ජෝගුවද අතින් රැගෙන ය.
කෝ මේහේ බලන්න???
චාමර දෑස් හැරියේ එවිට ය..,
පුතාට අද ටීච මගේ පුතාට ගහලා එලියේ දන ගස්සලා තිබ්බද? හ්ම්?
කුඩා චාමර හිස වැනුවේ නිරුත්සාහකව ය.

දෑසින් කඳුළු ගුලි කඩා හැලෙන්නට වීම කීර්ති මහතාගේ හිතට පුදුමයක් වූයේ.., වෙනදාට වරදක් කල පසු මුහුණ රතු කරගෙන හොර බැල්මක් දමාගෙන සිටිනා සිය දරුවා, අද ඉකි ගසමින් අසරණව හඬන්නට වීම නිසා ය. කොතනක හෝ වරදක් සිදුවී ඇති බව කීර්ති මහතා හට ඉවෙන් මෙන් දැනෙයි. වෙන කවරදාකටත් වඩා කීර්ති මහතා චාමරට දයාබර විය..,
චූටි පුතා දන්නවද, ඉස්සර අප්පච්චි පොඩි කාලේත් චූටි පුතා වගේ මයි. කරන්නේම දඟ වැඩ. අත්තම්මා ගහනකෝ අප්පච්චි දුවන්නේ වත්ත පුරාවට.., එතකොට අත්තා මොකද්ද කරන්නේ කියලා දන්නවද?
චාමර නිහඬව හිසින් තමන් නොදන්නා බවට සන් කලේය. 
අත්තා අප්පච්චීව වඩාගෙන මුලු රෑ පුරාම කතා කියනවා..!
ඉතින් අත්තා වගේ මගේ චූටි පුතාත් මට ඉස්කෝලේ මොනවද උනේ කියලා කිව්වොත් ඔයාගේ අප්පච්චීත් ඔයාට දවස පුරාම වඩාගෙන කතා කියලා දෙනවා තේරුනාද?
අද උදේම ඉස්කෝලේ ගියාම මම කැන්ටිමට ගියා ටොෆි ගන්න..,
සියල්ල අවසන බ්‍රහ්මදණ්ඩය දුරුකරමින් චාමර වචන එකින් එක අමුණන්නට වී..
ඉතින්?

ඉතිං මම කැන්ටිම ඉස්සරහ ඉන්නකොට ලොකු අයියලා දෙන්නෙක් මට කතා කලා. කතා කලලා මට කිව්වා

ඔව් මොකද්ද කිව්වේ??
කිත්සිරි මහතාගේ සිත නොසන්සුන් ය.
මට කිව්වා. අක්කලාගේ ටොයිලට් එක ගාවට වෙලා  කලිසම ගලවගෙන පෑන්ටි එක ඇතුලට අත දාගෙන හිටියොත් රුපියල් 10ක් දෙනවා කිව්වා.., මම බෑම කිව්වා.., එතන හිටපු ලොකු අයිය කෙනෙක් කිව්වා එහෙම කලේ නැත්තම් නැටුම් කාමරේට දාලා දොර වහනවා කියලා..!
මම ටීචවත් හෙව්වා.., ඒ වෙලාවේ ටීචත් හිටියේ නෑ. පස්සේ මම ඒ කිව්ව විදියට හිටියා.
ඔයා ඇයි ඒක ටීචට කීවේ නැත්තේ??
මම කියන්න හදනකොට තමා අප්පච්චී, ටීච මට ගැහුවේ.., මේ???
චාමර සිය අතේ තවමත් උඩට මතුවී තිබූ ඉරටු පහරක් අප්පච්චීට පෙන්වී ය.
එතකොට ඔයා ප්‍රිෆෙක්ට් අයියා කෙනෙකුට කීව්වේ නැද්ද??
ප්‍රිෆෙක්ට් අයියා කෙනෙක් තමා අප්පච්චී මට එහෙම ඉන්න කියලා කිව්වේ...!!
එතකොට ඔයා අම්මට කිව්වේ නැත්තේ ඇයි?
අම්මට කියන්න හදනකොට මට කෑ ගහන්න එපා කියලා බැනලා ටීච එක්ක කතා කර කර හිටියා..,
එතකං ඔයා කොහෙද හිටියේ..,
ටීච කිව්වා එළියෙන් දණ ගහගෙන ඉන්න කියලා..!
චාමරට නොදැනෙන පරිදි කීර්ති මහතා චාමරගේ දෙදන දෙස නෙත් හෙලීය. උදේ වැලි පිරුණු පැසේජයේ දණ ගසාගෙන සිටිනා කුඩා චාමර ව මැවී පෙනෙන්නට විය.

හිස සිප, සිය සාක්කුවේ වූ චොකලටය චාමර අත තැබූ කීර්ති හුන් තැනින් නැගිට්ටේ සියලු තතු නිරාවරණය කරගෙන ය. ඈතින් සිට චාමරට නොදැනෙන පරිදි සියල්ල අසාගෙන සිටි කීර්ති මහත්මිය දෙස බැලූ ඈ සැමියා, සුසුමක් හෙලුවේ.., දරුවා ගැන වූ අනුකම්පාවෙන්ද, තමාගේ අදූරදර්ශී බවනිසා සිය පුතුට දුන් සිත්වේදනා ගැන කල්පනා කරදැයි නොදත් ඈ, සැමියාගේ දෙනෙත් මඟ හැර මුලුතැන්ගේ වෙත පා ඔසවන්නට වුවත් චාමර පාසලට ඇතුලත් කරන වෙලේ විදුහල්පති තමා හා සැමියාට කී දේ දෙසවන රැවු දෙන්නට විය. 
"මිස්ට ඇන්ඩ් මිසිස් කීර්ති බය වෙන්න එපා දැන් දරුවා ගැන, අපිට ඉන්නේ දරුවගේ හදවත අම්මලට වඩා තේරුම් ගත් ගුරු මණ්ඩලයක්, ඒ වගේම තමන්ගේ සහෝදර සහෝදරියන්ට වඩා තමන්ගේ බාල සහෝදරයින්ට ආදරේ කරන ශිෂ්‍ය නායක කණ්ඩායමක්.!! "


You may also like

9 comments:

  1. මානව හිමිකම්, ළමා අයිතිවාසිකම් අරවා මේවා හෙන තොගයක් අද වෙද්දී ලෝකයේ තිබුනට මේ වගේ සිද්ධි දුලබ නෑ. ඉස්සර කාලේ හිටපු ගුරුවරු ළමයින්ගේ මනස හඳුනගෙන ළමයි එක්කම ඉඳලා අධ්‍යාපන කටයුතු කරපු නිසා එදා හිටි අය දන්නවා ළමයින් එක්ක ගණුදෙනු කරන හැටි. ළමා කාලය කියන්නේ තමන්ගේ ජීවිතේට එක දේවල් එකතු කරගන්න අත්හදා බලන කාලයක් නිසා ඒ අවධියේ සිටිය අය එක්ක ගණුදෙනු කරන එක බොහොම පරිස්සමෙන් කරන්න ඕන..

    ඒකට මොකද දැං මොන්ටිසෝරි කෝස්, ටීචිං කෝස් වැහි වැහැලෘ නේ.. ඕවා වල කියලා දෙන්නේ මොනවද නම් මම දන්නේ නෑ.. හැබැයි ළමා මනස අඳුගන්න හැටි අන්තිමයි..

    ළමයින්ට විතරක් නෙවෙයි එතනින් එහාටත් ඔය තත්ත්වය ඔහොමමයි.. ගුරුවරයාට දෙවියෙක්ට වගේ සලකන්නේ ගුරුවරයෙක් වුනොත් පමණයි කියන එක දන්නේ අද ඉන්න ගුරුවරු ස්වල්ප දෙනයි

    ප.ලි - සෑහෙන්න කාලෙකින් බ්ලොග් පෝස්ට් එකක් කියෙවුවේ.. :D

    ReplyDelete
    Replies
    1. ඉස්සර හිටපු ගුරුවරුන්ට ළමයි දණ ගහලා පාදස්පර්ෂ කරලා වැන්දේ ඒ අය හැමවිටම කරන ක්‍රියාවලින් අපට ඉගෙන ගන්න දෙයක් තියෙන නිසා..! ඒත් කාලය වෙනස් වෙනකොට ගුරුවරුන්ගේ ක්‍රියාවන් උනත් වෙනස් වෙනවා, ඒක අතරට දරුවාව හරි හැටි තේරුම් නොගැනීම කියන ගැටලුවත් එකතු කරන්න ම වෙනවා..!
      ඕක ඔය විදියටම අපේ වැඩිහිටියෙකු ගෙන් ඇහුවොත් මීට සමාන ම නොවුනත් මීට ළඟින් යන උත්තරයක් දෙන්න බොහෝ විට තියෙන ඉඩ කඩ වැඩියි..!

      Delete
  2. කොහොමත් ඉතිං උනේ මොකද්ද කියල අහන්නෙවත් නැතුව ගහගෙන ගහගෙන යන එකනේ ගොඩක් අම්මලගේ සිරිත.. තාත්තලයි ටීචර්ලයි කියලත් ඉතිං එච්චර වෙනසක් නෑ...

    හැබැයි වෙලාවකට ළමයින්ට නිදහසට කරුණු කියන්න දුන්නම කියන බොරු වලට හිනා යනවා මිසක් පාරක් ගහන්න හිතෙන්නෙ නෑ.. ඒ තරං බො‌රු හද හද කියනව... හි හි.. හැබැයි එහෙම බොරු කියන්නෙත් තමන් කළේ වැරැද්දක් කියන එක දන්න නිසා කියන එක තේරුම් ගන්න පුලුවන් නං ගහන්න ඕනෙ නෑ .. කිව්වෙ බොරුවක් කියලා තේරුම් ගත්ත බව පෙන්නුවා නං ඇති.. එයාලම ලැජ්ජා හිතලා වැරැද්ද හදා ගන්නවා.. හැමදේකටම ගහන්න ඕනෙ නෑ.. තාමත් සමහරු හිතං ඉන්නෙ ළමයින්ට ගහන්නම ඕනෙ හදාගන්න කියල...

    ReplyDelete
    Replies
    1. //හැබැයි එහෙම බොරු කියන්නෙත් තමන් කළේ වැරැද්දක් කියන එක දන්න නිසා කියන එක තේරුම් ගන්න පුලුවන් නං ගහන්න ඕනෙ නෑ//

      ඕක උඹ මෙහෙම කියනකොට තේරෙනවා.. කොල්ලා බොරු කියන වෙලාවට මතක් වෙන්නෙ නැහැනෙ..

      Delete
    2. හිරු : ඇත්ත කතාව..., දුක තමා තිසර කියනවා වගේ ඒ දේ මත්ක් වෙන්නේ ම නැති එක..! ඒකට ඇඟිල්ල දිගු කරන්න ඕනේ ළමයටද? ගුරුවරයටද කියලා දෙපාරක් හිතන්න වෙනවා..!

      Delete
  3. හිතන්න බොහෝ දෑ ඉතිරි කළ අගනා කතාවක්......මචෝ මෙවන් සමාජයීය ගැටලු හේතුවෙන් සමාජ වෛරක්කාරයන් නම් කෙතරම් බිහිව තිබේදැයි යන්න මොනවට පැහැදිලි වේ. හැම ගැටලුවක් දෙසම කීර්ති සේ දකින්නට අපට හැකිනම් කෙතරම් හොඳද

    ReplyDelete
    Replies
    1. බොහෝ දෙමාපියන් එසේ නොකර ඒකපාර්ශ්විකව සිතනා නිසා තමා අදාල කතාවේ පියාගේ නමට කීර්ති කියා දැමුවේ.! ගොඩක් වෙලාවට මේ සමාජයේ ඉන්නේ අංගුලිමාලගේ ගුරුවරයාගෙන් කමටහන් ගත්තු දේමාපියන් සහ ගුරුවරු.!

      Delete
  4. මම දන්නේ නෑ මම ලියන දේ කොයි තරම් දුරට මේ සටහනට සම්බන්ද වෙනවද කියලා.
    ඒත් මට හිතෙන්නේ ලාංකික සමාජයේ ළමයාගේ සිතුම් පැතුම්, නිදහස ගැන හිතන එක බොහොම අඩුයි කියලා. නිකම් හිතලා බලන්න පොඩි එකෙකුට කවන්න දඟලන තරම? නැත්නම් දෙමාපියන්ට ඕනේ විදියට බත් ගොඩක් ගිල්ලවන්න හදන තරම? ළමයෙක්ගේ අවශ්‍යතා වෙනුවෙන් බොහෝ විට තීරණ ගන්නේ දෙමාපියන්ගේ ඇසින් එහෙමත් නැත්න්ම සමාජයට ඕනේ විදියට.
    මේ වෙනස ස්කොලෙන් විතරක් මාරු වෙන එකක් නෑ නේද ලිශාන්?

    ReplyDelete
    Replies
    1. නෑ කොහොමටවත් නෑ අක්කේ..., ඔතන තියෙන අර ස්වාධීනත්වය කියන ගැටේ ලිහාගත්තානම් ඔය අවුල මතුවෙන්නේ නෑ..! ඔතන තියෙන්නේ තම තමන්ගේ ස්වාධීනත්වය ගැන තියේන තමන්දරන මතය ගැන තියෙන අවුලක් මිසක් අනෙකක් නෙවෙයි..!

      Delete