ස්වස්තික


ස්වස්තික මට හමුවන්නේ අවිස්සාවේල්ල නුවර බසයක් තුල දී ය. [ඔහුගේ සත්‍ය නම නොදන්නා නිසා ඔහුව මේ නමින් හඳුන්නනවාට කරුණාකර කමන්න.] නිහඬව කවුළුවක් අසල රේ බෑන් කණ්නාඩි දෙකක් පැළඳ ගෙන පොතක් පෙරලගෙන සිටිද්දී ය. හදිසියේ බසයට නැගුණු සමහරක් දෙනා ස්වස්තික අසලින් හිඳ ගත්තද ටික වෙලාවක් යන විට අසල වූ සීට් එකක් හිස් වූ තැන, එතැනට ගොස් හිඳ ගනියි. ඉන් පසුව අසල සිටිනා පුද්ගලයෙකු හා ස්වස්තික දෙසට ඇඟිල්ල දිගු කරමින් මොනවාදෝ කියයි. 
අවිස්සාවේල්ලේ සිට හෙට්ටිමුල්ල පහුවන තුරුම දෙතුන් දෙනෙකුම එකමාකාරයෙන් ප්‍රතික්‍රියා දක්වන්නට වූ නිසා ස්වස්තික අසල වූ සීට් එකකට මම මාරු වුනෙමි. හේ උස ය, ප්‍රියමනාපය, කිසිදු වරදක් නොපෙනේ, විටින් විට සිය ජංගම දුරකථනය දෙස නෙත් යොමමින් තිරයේ පෙන්වන දේට උත්තර ලියමන් ද, ඒ අතරතුර තමා අතැති පොතේ පිටු පෙරලමින් ද කල් ගමනේ යෙදෙනු විනා ඔහු තුලින් කිසිදු වෙනසක් මා හට පෙන්නුම් කෙරුනෙම නැති. අවසාන කිසිවක් නොවන තැන මේ කුහුල ඉවසනු නොහැකිව මම ස්වස්තික අසලින් හිඳ ගතිමි.

ටික දුරක් ගමනේ යෙදුන තැන,
ස්වස්තික : මිස්ටර්ට ගමන බොරින් වගේ නම් මම පොතක් දෙන්නද කියවන්න?
මම: අනේ දෙන්න ගොඩක් ස්තුතියි.
විනාඩි කිහිපය සිය දෙපා අතර රඳවාගෙන සිටින රෙදි මල්ලෙන් පොතක් රැගෙන දෙයි.
ස්වස්තික : කියවන්න. ඔය පොත මම ලියපු එකක්, තවම ප්‍රින්ට් එකට දීලා නැහැ. හෙට අනිද්දම මොනා හරි කරන්න ඕනේ. දන්නේ නැද්ද, මගේ මිසිස්ගෙයි දරුවන්ගෙයි වැඩ වලට හිර උනාම මගේ වැඩ වලට වෙලාවක් නැහැනේ.
මම හිනහාවක් පා පොත අතට ගතිමි. මිනිසුන් මෙවැනි මිනිසෙකුව අඩු තක්සේරු කර ඔහු අනුන්ගේ විඩාව සිඳුවා ගැනීමට පොතක් දුන්විට එය ප්‍රතික්ෂේප කර වෙනත් තැනක අසුන් ගත උන් ගැන මට ඇති වුයේ සැබවින්ම අනුකම්පාවකි. පොත කවරය සිතන්නටත් බැරි තරම් අගනා ආකාරයට සමින් නිමවා ඇත. මෙතරම් වෙහෙසක් ගෙන පොතක් සමින් බැඳ ලියන්නට පටන් ගන්නා කෙනෙකු වේ නම් ඔහු හෝ ඇය නොසලකා හරිය යුතු පුද්ගලයෙකු නොවන බව මගේ සිතට දැන් දැන් දැනෙමින් පවතී.
මම: මිස්ටර් පොත ගොඩාක් ලස්සනට බයින්ඩ් කරලා තියෙනවා. මෙහෙම පොතක් ලියන්න පටන් ගන්න එසේ මෙසේ හැකියාවක් තියෙන කෙනෙකුට බැහැ.
සිය උපැස් යුවල ගලවා පොත මතින් තබා මගේද බැලූ ස්වස්තික,
ස්වස්තික: මිස්ටර් මිනිස්සු උනාම කිසිම දෙකින් සැලෙන්න හොඳ නැහැ. හැමදේම වෙන්නේ මිනිහට, මම මගේ ඊළඟ ෆික්ෂන් එකට කරුණු කල්පනා කරන ගමන් ඉන්නේ, කැන්ඩි වලට මේ බස් එක යනකොට තව වෙලා යන නිසා මට මගේ ෆස්ට් චැප්ටර් එකට තොරතුරු එකතු කරගන්න පුළුවන්. ඒ නිසා ප්ලීස් ඔය මේ පොත කියවන්නකෝ, අපි ටිකකින් කතා කරමු.
එය ආරාධනාවක්ද තර්ජනයක් ද කියා මගේ සිතින් සිතා ගත නොහැකි වූ තැන මම මා ඇත වූ ඔහුගේ පොත දෙස නෙත් සැලීමි. හමින් කවරය කල පොත තවමත් මා දෙඅත තම නිසලව තිබේ. මම සෙමින් එය කියවන්නට පටන් ගතිමි. එහෙත්...,
මම පළමු පිටුවද දෙවැනි පිටුවද තෙවැනි පිටුවද පෙරලුවද කිසිවක් සොයා ගන්නට නොහැකි වූ තැන මම මුලසිට අගට පොත පෙරලීමි. එය කිසිවක් නැති හිස් පොතක් විය. මම ස්වස්තික දෙස හැරුනෙමි.
මම: මිස්ටර්, ඔයාගේ මේ පොතේ
ස්වස්තික : ආ...ඔව් ඉතින්?
මම: මොකවත් නැහැ නේ?
ස්වස්තික: මොනවා
මම : ඔව් මොනවත් නැහැ
ස්වස්තික : කෝ කෝ මෙහාට දෙනවා බලන්න.
මම : ආ මෙන්න.
ස්වස්තික : ඇයි අයිසේ මේ තියෙන්නේ යස අගේට.
ස්වස්තික ම දෙසට හැරී පොත් හිස් පිටු අතර ඇඟිලි යවමින් පෙන්වයි. එහෙත් කිසිවක් ලියා නැති ඒ පොතේ ඔහු පෙන්වන දේ සිතින් මවාගෙන හෝ හිසින් සන් කරන්නේ කෙලෙස? මම කරබාගෙන උන්නෙමි.
තමුසෙට පිස්සු, තමුසෙට විතරක් නෙවෙයි මෙතන මගේ එහාපැත්තෙන් හිටපු උන් ඔක්කොටොම පිස්සු. 
ස්වස්තික මහ හඬින් කියවයි, එහෙත් බසයේ මොර ගෑම නිසා ඒවා ඇසෙන්නේ ඉඳහිටය. මම මේ මනුස්සයා පවසනා අපුල කතා ඉවසනු බැරිම තැන නැගිට, අසලක වූ ඉඩක අසුන් ගතිමි.

බසය තවමත් මාවනැල්ල පසුකර නැත. ඉහත්තාවෙන් වූ බස් නැවතුමෙන් නැගුනු මගියෙක් ස්වස්තික අසලින් හිඳ ගත්තේය.
මිස්ටර්ට කම්මැලි වගේ නම් දෙන්නද පොතක් කියවන්න.?
ස්වස්තික තමන්ට එහායින් හිඳගත් මගියාගෙන් ඇසුවේද, මා ඇතුළු බහුතරයක් මගීන්ගේ මුවගට සිනහා නැගුනේද එකවරම ය. 

Comments

  1. විනාඩි කිහිපයකින් කියවලා ඉවර කරන්න පුළුවන් වුණාට, සෑහෙන දන්න කියන මනුස්සයෙක්ව මට මතක් කළා මේ කතාව. ඒ වීරසිංහ අංකල්. කාලෙකින් මේ අඩවියෙ ලිපියක් දැක්කෙ. ජය!!

    අර පවන් ගන්න මුහුදු වෙරළට පත්තරයක් අරන් යන මනුස්සයාට වගේම හුඟක් අයට මේ මනුස්සයාවත් මතක හිටීවී..

    ReplyDelete
  2. ගහට ගහක් අවිස්සාවේල්ලෙදි හම්බ උනා එහෙන්ම් :P

    ReplyDelete
  3. "ස්වස්තික මට හමුවන්නේ කොළඹ නුවර බසයක් තුල දී ය" එල මම දන්න පාරක්

    "අවිස්සාවේල්ලේ සිට කෑගල්ල පහුවන තුරුම දෙතුන් දෙනෙකුම එකමාකාරයෙන්.... " මේකා පානදුර නුවර බස් එකට නේ කොළඹ නුවර කියල තියෙන්නේ.. හිටපන්කෝ ඒ පාරෙත් මම යනවනේ

    "බසය තවමත් අරණායක පසුකර නැත" අම්මප මූ නම් "ස්වස්තික" ම තමයි, මූ කියන්නේ "අරණායක - මාවනැල්ල" බස් එකක කෙස් එකක්

    යකෝ ඒ මම හැමදාම ගෙදර යන පාර

    ReplyDelete
    Replies
    1. සමාවෙයන් මට වැරදුනා. ඔන්න එක හැදුවා :) කතාව වෙන්නේ අවිස්සාවේල්ල නුවර අතරේ. මොකද මම අවිස්සාවේල්ලේ නිසා.

      Delete
  4. ලිශාන් බෝයි ආයේ ලියන එක ගැන මගේ හද පුරා මෙව්ව එක....!

    ඔය ස්වස්ථිකලා මට නම් නිතර හමු වෙනවා මේ රටේදි . සමහර වෙලාවට වයසට 65න් එහා. අසූව අසු පහේ අයත් ඉන්නවා. ඒක නිකම් පිස්සෙක් එක්ක කතා කරනවාට වඩා දෙයක් කියලා හිතලා මම නම් ඒ අයගේ පැත්තෙන් හිතනවා.
    සමහර වෙලාවට එයාලා ලියපු කවිත් අහන්න වෙනවා. කරපු ෆිල්ම් ගැන. ලියපු පොත් ගැන.
    හිතෙන්නේ නැද්ද අපි ඒ මිනිස්සුන්ව අහන් ඉන්න එක අඩු තරමේ මානසික සහනය ඒ මිනිසුන්ට?
    ඒ අයට ගෙවල් වල අහන් ඉන්න කවුරුත් නෑ. මතක තියාගන්න අපේ ඉස්සරහා සමාජය ඒක තමයි. අපි fully digitized වුනාම අපිට ඒ මිනිසුන්ට තරම්වත් එකෙක් ඇහුම්කන් දෙන එකක් නෑ.

    මට නම් ඕනෙතරම් ඒවට pay back වෙනවත් එක්ක. කලාතුරකින් තමයි මම කෝපි එකකටවත් ගෙවන්නේ. නත්තලට හෙම ගෙදර මම නොකෑවට කේක් වලින් පිරෙන්නේ ඒක හින්දා කියලත් මම දන්නවා. :-P

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවට ඔහේ කල්පනා කරමින් ඉන්නකොට මෙන්න මෙහෙම මිනිස්සු ඉන්නවා නම් කොහොම වෙයිද කියලා හිතෙන අවස්ථාවල වෙලාවට වගේ ඒ අහල පහල කොලේකුයි පෑනකුයි තිබ්බොත් මොනා හරි ලියවෙන අවස්ථා වැඩියි.
      මේක එහෙම අවස්තාවක ලියවෙච්චි වචන ටිකක්.
      සමහර අය ඉන්නවා සවන්දීලා විතරක් මදි ඒ අයව සනසන්න. මගේ ඔලුවට ආපු එහෙම ගතිගුණ තියෙන fictional character එකක් ගැනයි මේ කතාව. බුරුගේ අදහසෙන් පෙන්නේ මගේ අකුරු ටික අපතේ ගියේ නැති වග. ස්තුතියි. :)

      Delete
  5. මං කල්පනා කරේ ලිෂ් වගේ එකෙකුට ස්වස්ථිකව මීටර් නොවෙන්නේ ඇයි කියලයි.. කෝම උනත් වසන්තයා පමා වී හෝ කුමාරයාට වැසීම ගැන බලවත් සන්තෝසය..

    ReplyDelete
    Replies
    1. මීටර් නොවුනා නොවෙයි දේශ්. මීටර් වෙච්චි එක මීටර් නොවුනා සේ අකුරු වලට පෙරලපු එකයි වුනේ.
      කොහොමටත් වසන්තයට ලියන්න උවමනාව තිබ්බත් කුමාරයාගේ අලස බව නිසා publish බටන් එක ඔබන්නත් කම්මලි කමේ ඉන්න අවස්තාවක කොච්චර ලියන්න කිව්වත් මොකුත් ලියවෙන්නේ නැහැ. එත් මේ වගේ අවස්ථා එනවා. එහෙම එකකදී පස්මහ බැලුම් හරියටම සෙට් උනොත් බඩු ම තමා.
      ජය! :)

      Delete
  6. 2015 දාපු පළවෙනි පෝස්ට් එක.. බුකියෙන් දැකල ආවේ.

    පෝස්ට් එක ගැන කියනවනම්.. අපිට තියෙන ලොකුම ප්‍රශ්ණේ තමයි අපේ පොත් හිස් නැතිවීම.. කෙනෙකුගේ පොතක් හිස් නම් ඔහු නිදහස් කෙනෙක්.. අපි නිදහස් වෙන්නේ කවදද කියල හිතා ගන්න බෑ.. අපූරු කෙටිම කෙටි කතාවක්..

    නතර කරන්න එපා දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් වසන්තය ෆේස්බුක් සමුහයේත් මේ අදහස ම එක මිත්‍රයෙක් දාලා තිබුනා. මම දන්නේ නැහැ ඒ ඔබද කියා. මොනා උනත් ඔව් ඔබ හරි..! අපේ පොත් ගොඩක් පිරිලා එකයි අපිට වෙන සියල්ලටම හේතුව.
      ජය! :)

      Delete
  7. අපි අපේ ජීවිතය හිස් කොලයක් නෙමෙයි කියලා දන්න කොට, තව කෙනෙක්ගේ ජීවිතය හිස් කොලයක් කියලා හිතන්නේ ඇයි. ඇයි අපිට බැරි, ඒ මිනිස්සුන්ගේ ජීවිතත් අපේ ජීවිත වගේම එකිනෙක සම්බන්ධ නැති සහ සම්බන්ධ ඇති අකුරු ගොඩකින් වැහිලා තියෙන බව දකින්න.....?

    ReplyDelete
  8. මෙහෙම බ්ලොග් එකක් තියෙන විත්තිය දැනගෙන හිටියේ නෑ.

    වෙනස්ම අන්දමේ, අපූරු කතාවක්.

    ReplyDelete
  9. හීනෝන්මාදය කියන්නේ පට්ට ලෙඩක්.. අපිට ගන්න බැරි ආතල් එකක් ඒ බුවාලා ගන්නනවා. එක අතකට බලනකොට අපි පේන දේ ඇත්තටම පේන දේ කියලා කියනවානම් ඉතින් හැමෝටම ඇස්දෙකෙන් පේන දේවල් වුනත් ඇත්ත තමා. ඇත්තටම ඇත්ත මොකද්ද අපිට පේන දේද අනික් එවුන්ට පේන දේද. කොහෙන්ද ඔය සාපේක්ෂ මිනුම හොයාගන්නේ. නියමයි..

    ReplyDelete
  10. දිනමිණ පත්තරේ මේ බ්ලොග් එක ගැන පළවුන ලිපියක් දැකලයි ආවේ. මුහුණු පොතේ ඔබේ කවි දැකලා තිබුනට බ්ලොග් එක කියෙව්වේ අද. ගොඩක් ඉහලයි. එක හුස්මට කියවාගෙන යතෑකි. දිගටම ලියන්න. සුභ!

    ReplyDelete

Post a Comment