රුපියල

/
23 Comments

කෙළවරක හිඳිනා මනුස්සයා දිහාවේ බලන්නට තරම් වත් මගේ හිත එකලාසයක් කරගන්න බැරුව හිටියේ..,
යටි හිත මට තවමත් දොස් පවරනවා..!

මෝඩයා.. ඒ කෙල්ල උඹට කැමතියි කියලත් උඹ අහක බලාගත්තා..,
ඉතින් මම මොකෝ කරන්නේ..?? මම ඒ කෙල්ලට අකමැති නිසා, මගේ හිතට බොරු කරන්න බැරි නිසා මම අකමැති වුනා..,
ඒත් ඒ කෙල්ල උඹේ පස්සෙන් කොච්චර ආවද??
ආවා කියලා එහෙමත් කැමති වෙන්න පුලුවන්ද? ලව් කියන්න උඹට ඩීල් එකක් උනාට මට ඩීල් එකක් නෙවෙයි..,
කෙටියෙන් කිව්වොත් උඹ කියන්නේ මම උනාට මම උඹට වඩා වෙනස්..!
මම මගේ හිතට කියා ගත්තා..

පුතා ඇහැලියගොඩට නේද ටිකට් ගත්තේ..?
කෙළවර හිටපු මනුස්සයා මගෙන් ඇහුවා..!

ඔව් ඇයි..?
මම දෙන්න ඕන උත්තරේ වෙනුවට ප්‍රෂ්ණේකින්ම උත්තර දුන්නා..,

නෑ මේ පහුවෙන්නේ කුරුවිට හරිය...ඒකයි..!

සීට් දෙකතුනකට එහායින් කොන්දා මතුවෙලා මගේ දිහාට එන්න ගත්තා.., සමහර විට ඇහැලියගොඩට ටිකට් අරන් කුරුවිට පහු කරන නිසා වෙන්නෑති.., මම පනහේ කොලයක් සාක්කුවෙන් ගත්තා..,

රත්නපුරේ එකක්..!

කොන්දා මගේ දිහා අමුතු විදියට බලලා ටිකට මැශිම එහාට මෙහාට කරකවන්න ගත්තා..,

"ඕක ජපනා හදලා මෙහෙට එව්වේ හොරයක් බොරුවක් වංචාවක් කිසිම කොන්දෙක්ට කරන්න බෑ කියලා ශුවර් කරලා., ගෙනැල්ලා සතියයි.., ඕකේ හිලකට ගිණිකූරු ඔලුවක් ඔබලා ටිකට් අඩුවෙන් කැඩෙන්න අපේ එකෙක් සෙට් කරා..! "

දවසක් අපේ තාත්තා වැඩ කරන මනුස්සයෙක් එක්කලා කියනවා මම අහගෙන..,

ටිකට් එක විතරක් දුන්නු කොන්දා එහා සීට් එකේ හිටපු තොල් රතු කරපු නෝනට ටිකට් දෙන්න ගියා..,

කෝ ඉතුරු??  මම ඇහුවේ කොන්දගෙන්
ගාණ බලන්න..?
49යි
දුන්නේ??
50ක්
රුපියලට මොන ඉතුරුද මහත්තයා..,

කට කොනකින් හිනාවෙන ගමන් කොන්දා කියද්දී.., අර තොල් රතු කරපු ගෑණි කට වහගෙන හිනාවුනා..,

නොසන්ඩාල යක්කු.., ඉතුරු දෙන්න දන්නේ නෑ.., ඊට හපන් උන්ට උඩගෙඩි දෙන්න ඉන්න ගෑණු.., ගෑණු ඉස්සරහ පොර වෙන්න උන් ඉතුරු දෙන්නෑ, ඒ මදිවට පඬි ටෝකුත් දෙනවා

මම මට ම කියාගත්තා..!

පස්සේ ඉන්න මිනිස්සුන්ට ටික දීලා ආපහු ටික වෙලාවකින් කොන්දා මා ඉන්න තැනට ආවා..,
අර ඉස්සරහ ඉන්න නෝන ට මම රුපියල් දෙකක් වැඩිපුර දීලා ආවා.., කැමතිනම් ඉල්ලගන්ඩ..,

මේ ඕයි මම ටිකට් ගත්තේ තමුසේගෙන් මිසක් ඒ නෝනගෙන් නෙවෙයිනේ..,

ඒ වුනාට මහත්තයා, මහත්තයාගේ දිහා බලලා හරි නෝනා ටිකට් එකක් දෙන්න කැමති උනොත්???
මං දන්නෑ..,

දන්නේ නෑ නෙවෙයි මම ඒ නෝනට සල්ලි දුන්නම ඒ නෝනා කිව්වා මට වැඩිපුර රුපියල් දෙකක් ඇවිල්ලා කියලා.., මම කිව්වා රුපියලක් අඩුවෙන් දුන්නු කවුරුවත් ආවොත් මම නෝනා ගාවට එවන්නම් නෝනා එයාට රුපියලක් දෙන්න කියලා.

මූ මහ අමුතු කොන්දෙක්..,

තව හෝල්ට් එකකින් ඒ නෝනා බහිනවා මහත්තෙයා එතෙන්ට දැම්ම ම ගියොත් හොඳයි

මම නැගිටිනකොට මගේ එහා සීට් එකේ හිටපු තොල් රතු කරපු ගෑණි මම ඉන්න තැනට එන්න වටේ තියා ගෙන ඉන්න බෑග් ටික එකතු කරන්න පටන් ගත්තා..,

මහත්තයා මක්කටැයි යන්නේ?

මම යන්නේ රුපියලක් ඉල්ලගන්න..,

මොකටද?

ඒ මගේ ඉතුරු..,

රුපියලට ඔච්චර කෑදරවෙන්න එපා..,

රුපියල උනත් ඒ මගේ සල්ලිනේ, තමුන්ට ඕනේ නෑ ඒ ගැන වද වෙන්න

මමත් මේ මහ කතන්දර කිව්වට මටත් රුපියලක් කියන්නේ මහමෙරක් මහත්තයා..,

තමුන් මොනවද කලේ රුපියලකින් හා කියමු බලන්න.., මම ඒ බවලත් ඇත්තීගෙන් ඇහුවේ වදෙන් බේරෙන්න බැරි තැන.

මොනවද තමුන් කලේ ඒකෙන්..?

රුපියලකින්ද?

ඔව්

රුපියල පාවිච්චි කරලා තමා මම සමහර වෙලාවට අපේ ගේ ඉස්සරහා තියෙන බොක්ස් එකෙන් කෝල් ගන්නේ අපේ රට ඉන්න මහත්තයට..,

රුපියලකින්???

ඔව් ඒ පෝන් පෙට්ටියේ මුලින් රුපියල් පහක් දාලා පස්සේ තව රුපියලක් බාගෙට දාලා වට්ටගන්නේ නැතුව හිට්යම ඕන තරම් වෙලා කෝල් ගන්න පුලුවන්..,

වෙන???

මම මහත්තයා ගැන දන්නේ නෑ.., ඒත් මගේ ජීවිතේට රුපියලක් කියන්නේ මහ මෙරක් වගේ..,

ඒ මොකෝ..?

මම ඉස්සරහ ඉන්න ගෑණුකෙනා ගාවට යන්නේ නැතුව මෙයා ගාවින් ඉඳගත්තේ මේ කතාව අහගන්න උවමනාවෙන්..,

මගේ ළමයට අවුරුදු එකහමාරේදී වලිප්පුව හැදෙන්න ගත්තා.., පස්සේ මම ළඟම තියෙන ඉස්පිරිතාලේට දරුවව වඩාගෙන දුවලා ගිහින් දොස්තරට පෙන්නුවම කිව්වා ඉක්මනට ගිහිල්ලා මේ බේත අරන් එන්න කියලා.., පස්සේ ළමයව ඇඳේ තියලා ගියා බෙහෙත අරන් එන්න.., තුන්ඩුව පාමසියට දීලා බේත ගන්න සල්ලි දුන්නම ඉතුරු දුන්නා මට ඒ මනුස්සයා රුපියලක් වැඩිපුර..,
මම ඒක දැක්කෙත් එළියට ආවට පස්සේ, පස්සේ ඉස්පිරිතාලෙට එනගමනේ මම යනකොට ඔන්න ඉන්නවා සුවිප් කාරයෙක්, මම ටිකැට් එකක් ගන්න පර්ස් එක අදිනකොට සල්ලි තිබ්බේ සන්තකේට ම රුපියල් දහනවයයි.., මොනවා කරන්නද මම ආපහු අකුලගෙන එන්න හදනකොට මට මතක් උනා බේත් තුන්ඩුව අස්සේ රුපියලක් එක්ක නේද මම පපුව අස්සේ ගහගත්තේ කියලා.., පස්සේ ඒක ඇදලා ඒ රුපියත් එක්ක රුපියල් විස්සක් කරලා මම ගත්තා ටිකැට් එක..,

"මේ ගෑනි කියන්නේ බේගලයක්ද මන්දා" මගේ හිත එහෙම කියනවා උනත් මේ කතාව අහන්නේ නැතුව යන්න මොකද්ද වගේ..,

ඉතින්????

ගෙදර ඇවිල්ලා ඉතින් වෙනදා වගේම වැඩ කරගෙන ගියා.., මට ටිකැට් එක ගැන හාංකවිසියක්වත් මතක් උනේ නෑ, දවසක් මම මම පපුවේ ගහං යන හැඹිලිය අරං කඩේට යන්න සල්ලි ගනින්න හදනකොට ඒක අස්සේ තිබිලා වැටුනා මේ ටිකැට් එක.., කඩේට යන ගමන් බැලුවා පත්තරෙන් දිනුම් ඇදීමේ ප්‍රතිපල.., මයේ හිත වාවන්නේ නැතුව ගියා මහත්තයා.., මට ඉංගිරිසි අකුර නැතුව අංක හතර ගැලපිලා..,

හරියටම කෝමද දන්නේ??

ඇයි මාත්තයා ටිකැට් එකේ පස්සේ ගහලා තියෙන්නේ විස්තර..,

ආහ් ඔව් නේද?

ඉතින් ඊට පස්සේ..?

මම ජීවිතේ ගොඩ දාගත්තේ ඊට පස්සේ.., මේ ඔක්කොම මට ඊට පස්සේ ලැබුණ එව්වා.., මනුස්සයෙක්ට පළවෙනි ලස්සේ හම්බු කරන්න තමා අමාරු මහත්තයා, ඊට පස්සේ ඒ මිනිහා දන්නවා කොහොමද ඉතුරු ටික ගොඩ දාගන්නේ කියලා..!

කෝ තාම මහත්තයා අරයාගෙන් සල්ලි ඉල්ලගත්තේ නැද්ද??

ඇහැ කොනට වගේ කිලුටු කහ පාට කමිසය අස්සේ තියෙන ටිකට් මැසිම දිහා බලන්න හදනකොටම මගෙන් කොන්දා එහෙම ඇහුවා..,

එක්කෝ ඕන්නෑ.., මොකටද කියලා හිතුනා..,

කෝමත් මාත්තයාට ඒ නෝනාගෙන් සල්ලි ඉල්ලගන්න ලැබෙන්නේ නෑ,

ඇයි ඒ..?
ඒ නෝනා මීට හෝල්ට් දෙක තුකනකට කලියෙන් බැස්සා.,

ඔහ්! මොනවා කරන්නද..? එහෙනම් තමුසේ වත් දෙනවා මට මගේ රුපියල..,

ආපහු ඉල්ලනවා..,

රුපියල දෙන්න මා ගාව මාරු කාසි නෑ..,

තමුසේලා ඔහොම එන නගින හැම කෙනාගෙන්ම රුපියල සත පනහා ගත්තාම තමුසේලට හාම්පුතාලගෙන් ලැබෙන 10% ට වඩා වැඩි ගාණක් ලැබෙනවනේ ඕයි..,

හීන් හිනාවකුත් එක්කලා කොන්දා මා දිහා බැලුවා..,

මහත්තයා, මේ රුපියලේ වටිනාකම තනියෙන් තියෙද්දී බොහොම අඩු උනාට රුපියලේ ඒවා ගොඩක් එක්කාසු කලාම බොහොම වැඩියි.., ඔහේලාට දැන් මෙහෙම රුපියල ගැන මතක් උනාට, මේ බස් එකට නගින සමහර ඈයෝ රුපියල් 10 අමතක කරලා බහින වෙලාවල් තියෙනවා, ඉතින් අපේ දරු පවුලුත් රැකෙන්නේ ඕකෙන් නිසා තමා අපි මේ රස්සාව තවමත් කරන්නේ..,

මං කිව්වේ මාත්තයා.., දැක්කා නේද රුපියලේ වටිනාකම..,
අපි දන්නේ නෑ සමහර වෙලාවට.., ලොකු ලොකු කෝටි වචන හැන්දෙන්නේ මේ වගේ පොඩි පොඩි රුපියල් වලින් තමා මහත්තයා..,

හා මහවත්ත හෝල්ට් බහින්න.., කෝ කෝ ඉක්මනට බහින්න..,

බස් එක නවත්තපු තැනින් මිනිස්සුන්ව ගන්න කොන්දා එහෙම්මම  ඉස්සරහට ගියා..,

මම ආපහු අර බවලත් ඇත්තී පැත්තට හැරුණා.

ඒ මනුස්සයා කියාපු එකෙත් ලොකු ඇත්තක් තියෙනවා මහත්තයා.., අතේ සල්ලි ගැවසෙන සමහර වෙලාවට ඔය රුපියල අපේ පොකට් එක බර කරන නිකම්ම නිකම් කාසියක් උනාට, ඔය රුපියල නිසා මිනිස්සු කීදාහක් නං අද ජීවත් වෙනවද?

හ්ම් ඒක නම් එහෙම තමා.., මම රුපියල ඉල්ලන්නේ නෑ ඒත්, මේ ඔහේ කියාපු කතාව හින්දා මට රුපියල නැව බහින්න හිත්දෙන්නේ නෑ..,

ඒකත් එහෙම වෙච්චි.., මම කියන්නද මහත්තයා, එහෙනං මෙන්න මේ රුපියල තියාගන්න.., ආපහු මේ ගෙන්දගං පොලවේ කොහේදි හරි අපි මුලිච්චි වෙන්නේ නැතෑ.., එතකොට මට මහත්තයාට මාව මතකේ තිබ්බොත් ආපහු මේ රුපියල දෙන්න.., අද මට රුපියල නූමනා උනාට එදාවෙනකොට මට ඔය රුපියල කෝටියකටත් වඩා වටීද කවුද දන්නේ..ඈ??

එහෙනං මං ගියාවේ..,
බුදු සරණයි.

කෙලින් කතා කරන්න බැරිවෙච්චි මගේ දෙබිඩි හිත, බස් එක, ටිකට් එක, සල්ලි, කොන්දා, ඉතුරු සල්ලි, රුපියල, රතු හැට්ට ඇත්තී, ඉතුරු සල්ලි, හොල්ට් එක, සුයිප් එක, සල්ලි, දිනුම, සල්ලි, හෝල්ට් එක, බහින තැන, සල්ලි, ඉතුරු සල්ලි, කොන්දා, රුපියල, රතු හැට්ට ඇත්ති, සල්ලි, රුපියල, ඉතුරු..,

මෙහෙම එක එක හිතුවිලි මයේ ඔලුව අස්සේ හොල්මං කරන්න ගත්ත නිසා මම ඉස්සරහ සීට් එක ඔලුව ගහ ගත්තා.., ගෑණිගේ හැට්ටේ අස්සෙන් ගහගත්තු ලේන්සුවේ බාගෙට එලියට ආපු කොනේ තැවරිච්චි කියුටිකිරා වවුඩර් වල පුසුඹ අස්සේ මගේ සිහිය මේ අමුතු රුපියල වටා කේන්ද්‍රාපසාරීව කැරකෙන්න ගත්තා.., අයියෝ සල්ලී..,

මට අරින්න බෑ ඇස් දෙක, ගඩොල් දෙකක් පිල්ලම් වල එල්ලලා වගේ..,

මහත්තයා, මහත්තයා.., කෝ කිසි සද්දයක් නෑ නේ.., තාම තද නින්දේ..,

මහත්තයා, මහත්තයා කෝ නැගිටින්නකෝ,

අපි ඩිපෝවට දාන්න යන්නේ බස් එක..,

ඈ මම මේ කොහෙද?

රත්නපුරේ.., ඩිපෝවේ.., කෝ අර රතු ගෑණි මෙතන හිටපු..,

මොන ගෑණියෙක්ද? මෙතන එහා පැත්තේ තිබුනේ අපේ අයියගේ කඩේට දාන්න මම අවිස්සාවෙල්ලේන් ගත්තු කොහුමිටියක්.., මම දැක්කා මාත්තයා කොහුමිටිය අස්සේ රිංගලා මොක්ද්දෝ හක්කලමක් කරනවා.., මට මොකෑ ඉතින්..,

ඒ කියන්නේ මෙතන රතු අත්කොට හැට්ටයක් ඇඳන් ගෑණියෙක් හිටියේම නෑ..?

නෑ නෑ හත්තිලව්වේ හිටියේම නෑ.., හැමදාම උදේට රෙන මයේ පුක පල්ලා මෙතන තිබ්බේ කොහුමිටියක්.., ඒ අස්සේ මහත්තයා රිංගන ගමන් රුපියලක් ගැන මොකක් හරි කියනවත් ඇහුනා.., අනේ මන්දා මට මොකුත් තේරුණෙත් නෑ..,
මිනිස්සු පිරිලා හිටපු නිසා මම බලන්න වෙලා ගත්තේ නෑ..,

හ්ම් ඒකත් එහෙමද?

හරි හරි අපිට යන්න පරක්කුවෙනවා..,
මහත්තයාට ඉතුරු සල්ලි එහෙම ගන්න තියේද?
ආ ටිකට් එක බලනවා..,
රුපියලක් තියෙනවා.., ආ මෙන්න..,

රුපියලක්..?

ඔව්.

තමුසේම තියා ගන්නවා ඔය බම්බු රුපියල මට එපා..,

ඕක මහ අමුතු රුපියලක්..!


You may also like

23 comments:

  1. හැමදාම රෙන පුක පල්ලා මේක සුපිරියි මචන්
    අන්තිමට එනකම් හිතුවේ නෑ හීනයක් කියලා

    ඔය රුපියලේ සන්තෑසියට හැමදාම මූන දෙනවා,

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මුදියන්සේ

      Delete
  2. මම රුපියල ආදරයට සමාන කරන්න උත්සාහ කළා! අනේ මන්දා මං සාර්ථකද අසාර්ථකද කියලා!

    ReplyDelete
    Replies
    1. මිල ශ්‍රිතයේ උච්චාවචනය වෙන රුපියලවගේ තමා මචන් ආදරෙත්..! උඹ හරි

      Delete
  3. //කෙටියෙන් කිව්වොත් උඹ කියන්නේ මම උනාට මම උඹට වඩා වෙනස්..!
    මම මගේ හිතට කියා ගත්තා..//
    ඒ ටික තේරුම් ගන්න දෙපාරක් කියෙව්වා.මාර අදහසක්.

    මොකද්ද කතුතුමා මේ ලියවිල්ල පිළිසිඳ ගන්න හේතු උන කාරණාව. ලියන හැම ක්මෙන්ටුවකටම උත්තර ලියන්නැති නිසා අහලත් වැඩක් නෑ. එත් අහන්න හිතුණ හංදා ඇහුවා.

    ReplyDelete
    Replies
    1. මනුසයෙක්ට එක චරිතයක් වේ නම් ඒ චරිතය තුලසිටින මනුස්සයා තුල චවත් චරිතයක් තියෙන්නට හැහියි නේ.., ඒකයි මම එහෙම කිව්වේ..!

      Delete
  4. වචන අස්සේ අතරමං වෙන අපූරු ලිවීම.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රංගී අක්කා

      Delete
  5. රැපියල ගිය දුර

    ReplyDelete
  6. අපූරු ලියමනක්. ජය...!

    ReplyDelete
  7. අදයි මේ බ්ලොග් 1 දැක්කෙ. අමුතුම ලියවිල්ලක්. ලස්සනයි

    ReplyDelete
  8. මරු මචං.. නියමම නියමයි.

    ReplyDelete
  9. සිරාවටම ඒක මහ අමුතු රුපියලක්..

    ReplyDelete
  10. අදයි බං කියෙව්වේ.. මාත් යනවා රුපියල් 9යේ දුරක්.. හැමදාම මම හිතන් යන්නේ ගාණ 10යි කියලා.. ඒක මගේ හිතට හෙන සැහැල්ලුවක්.. රුපියලක එල්ලිලා ඉන්නවට වඩා.. හැබැයි ගැන්නොත් 100ක් විතර ඔය විදියට දීලා ඇති.. කමක් නෑ..

    ReplyDelete
  11. මුල, මැද සහ අග සම්භන්ධීකරණය නම් අති විශිෂ්ඨයි...

    ReplyDelete
  12. හීනය නම් නියමයි.රුපියලක පවා වැදගත්කම අපූරුවට කියලා තියෙනවා.I like your writing style :) මේකත් මං කියවන්න හොයාගෙන එන තවත් බ්ලොග් එකක්.

    ReplyDelete
  13. මේක නියම කතාවක්. මම දන්නවනම් මගේ පොස්ට් එකට කාලින් මේක කියවන්න කියලා ලින්ක් එක දානවා. අපේ බ්ලොග් භාණ්ඩාගාරික කියන්න පුළුවන් හිරුවා තමයි මෙතනනට එන්න පාර කිව්වේ. මගේ පොස්ට් එක මේකටම සම්බන්ධ හින්දා ලින්ක් එකක් දාන්නම් අමනාමාප නොවෙනවානම්

    කොන්දොස්තරලාට පාඩමක් උගන්වමුද - ඇවිද්ද පය ......

    ReplyDelete
  14. බොහොම කාලෙකට කලින් ඒ කියන්නෙ 1980 ගණන්වල මුල හරියේ සිළුමිණ සහ රිවිරැස විතරක් තිබුනු කාලේ මගේ ජනප්‍රියම අංගය තමා ඉරිදා පත්තරේ කෙටි කතාව කියවන එක. ඉන් පස්සෙන් පහු ඒ පුරුද්ද මම අතහැරියා හොද කතා නැති නිසා. අද මගේ ඉ දොළ සංසිඳුනා. බොහොම ස්තුතියි. (දේශකයාටත් ස්තුතියි මට පාර කිව්වට.)

    ReplyDelete
  15. බ්ලොග් අවකාශයේ මේ වගේ ලිපි දකින්නත් ආසයි . හරිම අපූරුයි.

    ReplyDelete
  16. මම නම් රුපියලක් වුණත් අතාරින්නේ නැහැ :)

    ReplyDelete
  17. මාර කථාවක්නේ ලිෂාන්!!!!!
    අල්ලලම ගිය එකක්

    ReplyDelete