COVID කතන්දර

 

බ්‍රේකිං නිවුස් බයි අම්මා..!

අදත් ඇහැරුනේ පොඩ්ඩක් පරක්කු වෙලා. මාස දෙකක් තිස්සේ ඔහේ ගෙදෙට්ටම වෙලා ඉඳලා ඉඳලම එපා වුනත්, ආපහු ළඟදිම ඇඳිරිනීතිය අයින් කරනවා කිව්වම පොඩි දුකකුත් නැතිවාම නෙවී. ඒත් මම ඒ කුසීත කමට ආසා කරන්න පටන් අරන්ද කියලත් හිතෙනවා.

රස්සාවෙන් මාසෙට ගාණක් හම්බ කරලා ගෙදෙට්ට කන්න දුන්න මම කොළඹට ඇඳිරි නීතිය දාලා සතියක් දෙකක් ගියත් මේක එන්න එන්නම අවුල් යන නිසා, ශේප්පෙකේ බඩු ලොරියක එල්ලිලා ගෙදෙට්ට පංගාත්තු වුනේ පූරුවේ පිනකට කියලා හිතෙන්නේ ඒ ආපු දවසේ ඉඳන් ඔෆිස් එකේ යාලුවෝ උන්ගේ ගෙවල් වල හිරවෙලා කන කටුව නිසා.

මෙහෙම එන්න සිද්දවීමත් එක්ක අනික් කවුරු අවුල් වුනත් මේ ගැන අපේ අම්මා නං ඉන්නේ හරිම සතුටින්, මොකද එයාගේ ළමයි තුන්දෙනාම ගෙදර එයා එක්ක ඉන්න නිසා, ඒ අව්වස්සේ ගමේ වටපිටේ වෙන දේවල් ගැන අපේ අම්මා මා එක්ක කියන දේවල් වෙලාවකට ටිකක් කරදරයක් වගේ දැනුනත් ඒ දේවල් හරිම මිහිරි අත්දැකීම් කියලා හිතෙන්නේ ඒවා ගැන ආපහු පාරක් කල්පනා කරලා බැලුවම. මේ අපේ අම්මා කොවිඩ් අව්වස්සේ කියාපු කතන්දර කීපයක එකතුවක්.

කහ කෑල්ල සහ නිරෝධායනේ

අපේ ගම වෙලාවකට හරි අමුතු ආකාරේ වැඩ වෙන තැනක් කියලා හිතෙන්නේ මෙහෙම කාලෙක ගෙදෙට්ට වෙලා ඉන්නකොට. අපේ අම්මා මම ආපු දවසෙම කහ කෑල්ලක් තඹ මුට්ටියට දාලා වතුර එකක් ලිපේ තියලා නාන්න දීලා තමා ගේ ඇතුලට ගත්තේ.

මම මොකද කියලා ඇහුවම, “උඹ කොල්ලෙක්නේ. මට තව දීගතල දෙන්න කෙල්ලෝ දෙන්නෙක් ඉන්නවා. උන් දෙන්නට ඔය වසංගතේ හැදුනොත් එහෙම මිනිහෙක්වත් බලන එකක් නෑ.” අම්මා කිව්ව..!

ඉතින් නිරෝදායනේට දානවානේ?

නිරෝදායනේට දාලා, ඒකෙදී මේ කෙල්ලක්ට කරදරයක් එහෙම වුනොත්? උඹද ඒවට උත්තර හොයන්නේ??? මතකනේ සෙව්වන්දිට වුන කරදරේ??

කොච්චර මතක් කලත් නිරෝදායනයක් නිසා කරදරයක් වෙච්චි සෙව්ව්න්දි කෙනෙක් අපේ පවුලෙ ඉන්නවද කියලා කල්පනා කරත් හිතට ආවෙම නෑ!!!

කවුද අම්මේ එහෙම දෙයක් වුන මම නොදන්න සෙව්වන්දි?

මතක නැද්ද දීකිරිගෙදර ලොකු කෙලී..!

එක පාරටම මට බකස් ගාලා හිනා ගියා.

“අම්මේ, සෙව්වන්දි නිරෝදායනේ කරලා නෙවෙයි ළමයෙක් හම්බ වෙන්න ආවේ, සෙව්වන්දිට නිරෝද කරලා” කියලා කියන්න හිතුනත් මම මොකුත් නොකියාම අම්මා මාදිහා බලාගෙන ඉඩ්දිම මම කාමරේට ගියා.  

 

සෝමේගේ මස්සිනාගේ කුඹුරු කෙටිල්ල

මම කාමරේට වෙලා බොඩිමෙන් උස්සගෙන ආපු හඩු රෙදි ටික හෝදන්න දාන්න බෑග් එකෙන් වෙන් කර කර ඉන්නකොට අම්මා හාල් ටිකක් නෑඹිලියට දාගෙන තෝරන ගමන් මගේ කාමරේ උලුවස්සට හේත්තු වුනේ මා එක්ක කතා කරන්න හිතාගෙන.

ටික කාලෙකින් දැක්කේ නැති නිසාද මන්ද අම්මා පොඩ්ඩක් මහත් වෙලා හරි පිං පාට පෙනුමක් ලැබිලා කියලා කියන්න හදලත් මම ඒක හිතේම තද කරගත්තේ, ඕවා කිව්වම මේ ඇඳිරිනීති අස්සේ අම්මා එකපාරට එයා මහත් වුනේ ඇයි කියලා අනිවාරතේ කලබල වෙන නිසා.

අන්න දෙවැටේ සෝමේ අයියගේ මස්සිනා ඊයේ පොලීසියට අහුවෙලා..

අම්මා ඒක කිව්වෙ කිසිම ගාණක් නැතුව. වෙනදටත් සෝමෙගේ මස්සිනාගේ නගර වැඩ ගෙදෙට්ට කෝල් කරන වෙලාවට අම්මා කිව්වත් මම එච්චර ගණන් ගත්තේ නෑ.

මොකද කරගෙන තියෙනවා කියන්නේ?

මම ඇහුව්වේ තෝරන ඇදුම් වලින් ඇස්දෙක අයින් කරගන්නේ නැතිව. 

නෑ මූ අර ගැබ්බර කෙල්ල ගෙදර ඉන්නැද්දී, කුඹුර කොටන්න යනවා කියලා ගෙදෙට්ට කියලා උදැල්ලක් මොටර්සයිකලේ බැඳගෙන ගොයි මූකලානේ ගෙදර කෙල්ල එක්ක ඇනිකට් එක ගාව ඉන්නකොට පොලීසියට ඇහුවෙලා!!

ඉතිං ඉතිං??

ඉතිං කියන්නේ, පොලීසියෙන් උඹ මොකද කරන්නේ කියලා ඇහුවම මම කුඹුර කොටන්න ආවා කියලා කියල. පස්සේ පොලීසියෙන් දෙන්නවම දාගෙන ඇවිත් පොලිසියේ ඇතුලේ බංකුවක ඉන්දවලා සෝමෙට කෝල් එකක් දීලා. පස්සේ ඒ කොල්ලා තමා මූව එලියට අරන් තියෙන්නේ.

සෝමෙයගේ නංගී තාමත් වැලහින්න වාගේ අඬනවලු

මොකද කරන්නේ කියලා ඇහුවම කුඹුර කොටන්න කියලා කියපු එකේ යටි තේරුම එක පාරට ඔලුවට ගිය නිසාදෝ මට හීන් හිනාවක් ආවත් මම ඒක අම්මට පෙන්නන්න ගියේ නෑ.

අම්මත් දවසේ රිපෝර්ට් එක දුන්නා ලොකූට කියලා හරි සතුටින් ආපහු කුස්සියට ගියා..

 

සොයිසා වත

අම්මාට මා එක්ක කියන්න අතපසු වුනු මාස කීපෙකම ආගිය තොරතුරු තිබ්බත් ගෙදෙට්ට ආපු ගමන්ම ඒවා ඔක්කොම එකදිගට කියාගෙන යන්නත් මොකද්ද වගේ කියලා මට හිතුණා. ඒත් එයා විවිධ හේතු ඉස්සර කරගෙන මගේ කාමරේට ඇවිත් ඒ විස්තර එකින් එක කියද්දි මම ආපහු ගමටම වෙලා හිටපු පරණ මිනිහා වීගෙන එනවයි කියලා මට දැනෙන්නට වුණා.

ලොකූට මතකද, අපේ ගෙවල් පල්ලෙහා සොයිසගේ පුතාව?

මොන පුතාද? ආමි එකට ගිය කෙනාද නැත්තං, තැපැල් කන්තෝරුවේ වැඩ කරන පොඩි එකාද?

පොඩි කොල්ලා..!

ඉතිං..?

ඔයා ගෙදෙට්ට එන්න සුමානෙකට විතර කලින් ඒ කොල්ලගේ තාත්තා ඉස්කූටරයක් ගෙනැල්ලා..! ගමට සල්ලි ගන්න ඔය ඇඳිරිනීතිය නිසා අර ලංකා බැංකුවෙන් ලොරිය එනවානේ. මේ කොල්ලා ඒකට අත අල්ලලා, නවත්තන්නේ නැතුව ගිහින්, ගෙදර තිබ්බ ඉස්කූටරේ අරන් ගෙදරින් එපා කියද්දී මේ කොල්ලා ලොරිය එලවගෙන ගිහින්.

ලොරියේ ඩැයිවර් මංකොල්ල කන්න එනවැයි කියල හිතලද මන්දා හයියෙන් ගිහින්. පස්සේ බෝමලුවේ හන්දිය ගාවදී, සයිකලේ ලිස්සලා කොල්ලත් එක්කම වැටිලා. ලොරියෙන් ගන්න ගිහිල්ලා තියෙන්නෙ රුපියල් දෙදාහක්. බයිසිකලේටම පාඩුව විසිදාහක්ද කොහෙදෝ කිව්වා.  

 එක එක වෙලාවට උවමනාව ඉතාම පොඩි වියදමක් වුණත් දෙන්න වෙන මිල හරි විශාලයි. මට එහෙම හිතුණා..! 

 

කුඩ්ඩා

මම පොතක් කියව කියවා ඉන්න හෝ කෑම කාමරේ හෝ සාලෙට වෙලා ටීවී බලන වෙලාවටත් අම්මා නවලිය පත්තරයක් හරි උස්සගෙන මගේ කාමරේට එන්නේ මා එක්ක කතා කරන්න උවමනාවෙන් බව මම නොදන්නවා නෙවෙයි. ඒත් සමහර වෙලාවට අම්මා එන්නේ තව තවත් ආගිය කතා අම්මාගේ ආකයිව් එකේ තියෙන බව නොකියා කියමිනුයි.

ලොකූට මතකද, සේකර මාමගේ බාල කෙල්ල සුදාරිව?

ඔව් ඉතිං?

අම්මා පත්තරේ අකුලලා දාගෙන හිටපු කණ්නාඩිය එහෙම ගලවල පැත්තකින් තිබ්බා.

මේ ලඟදි දවසක සුදාරියා අර හන්දියේ පිටිකඩේ මුදලාලිගේ පුතාට කුඩ්ඩා කියලා පේස්බුක් එකේ බැනලා.

වැඩේ කැතයි නේහ්? කිසිම හේතුවක් නැතුව එහෙම බනින එක?

ඒක තමා, අන්න ලොකු මුදලාලි අපහස නඩුවක් දාන්න යන්න අද්වකාත් එකෙක් හරහා එන්තරවාසියක් එවලාලු සුදාරිට, සුදාරිය හොදටම බයවෙලා. අනික පිටි මුදලාලිගේ පුතාට කුඩ්ඩා කියලා පේසුබුක් එකේ බැන්නම, කාටද තරහා නොයන්නේ. අනික ඒකේ බැන්නම හැමෝටම පේනවලු. ඒ අස්සේ සුදාරි දැන් ෆෝන් ඔක්කොම ඕෆ් කරගෙන, පේස්බුක් එකත් වහලා දාලා ගෙදෙට්ට වෙලා ඉන්නවා කියලා ඊයේ උදේ මෙහෙට ආපු කීර ගුණේ කියලා ගියා. ගුණෙයා මේක ගම පුරාම පතුරවනවා ඇති මේ වෙද්දී.

ඕකේ දෙපැත්තක් තියෙනවා අම්මේ,

ඒ මොකද්ද ලොකූ.?

කෙනෙකුට සාක්කි නැතුව, අපහස කරන එක වැරදී, ඒ වගේම පිටි මුදලාලිත් හැම මගුලටම නඩු දාන්න ගියාම අඩුවෙන්නේ එයාගේ බිස්නස් එකට තියෙන තත්වේ. මොකද ඔය දේසපාලන තත්ව අරවා මේවා ඔක්කොම තව ටික කාලයක් ගියාම නිකම්ම ඉවර වෙනවා. ඉන් පස්සේ ගමේ එවුන් එක්ක බැහැලා කරල්ලා ඉන්න ඕනේ නේ..!

ඒක නං එහෙම තමා..!

මේ දේවල් ඔයා දන්නවා කියලා කියන්න යන්න එහෙම එපා කා එක්කවත් හරිද? මොකද ඉන්පස්සේ මේ කොරෝනා අස්සේ ඔයාවත් අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය යටතේ අත් අඩංගුවට ගනීවි. තේරුණාද?

ඒක අහගෙනම අම්මා මොනවාදෝ කිය කියා කාමරේන් එලියට ගියේත්, මට පොඩි හිනාවක් ආවෙත් එකටම වගේ. මොනවා වුනත් මේ ඉන්න කාලය මට හිතට අත්දැකීම් එන කාලයක් කියන එක නම් නොකියාම බෑ.

 

සුරන්ජිත්ගේ මඥ්ඥොක්කා වගාව!

දවසක් මම උදේ නැගිටලා සාලෙට තේකත් අරගෙන යනකොට අපේ අම්මා මහ සද්දෙට නංගිලා දෙන්නට දෙහි කපනවා මොනාදෝ කිය කියා..!

මමත් උලුවස්සට හේත්තුවෙලා මොනවද කියන්නේ කියලා අහගෙන හිටියා..!

උඹලා කාමරේට වෙලා පරන භාවනා සඟරා කියව කියවා ඉඳපල්ලා. මේ ගෙදර දොරේ වැඩකට එහෙම උදව් වෙන්න එපා. අනේ අම්මපා මෙහෙම කෙල්ලෝ දෙන්නෙක් හැදුවට වඩා හොඳා මම එළැ හරක් දෙන්නෙක් හැදුවා නං මෙලහකට කිරි හරි ගන්නවා. අඩු ගානේ උයන්න ඕනෙ නෑ, වත්ත පිටියේ මොනවා හරි හිටවපල්ලා, ගෙදෙට්ට වගාවක් වෙන්න..! ඒවා නෑ..!

අන්න ඒකට අර හන්දියේ කුලීගෙයි ඉන්න සුරන්ජිත්ගේ පවුල, මම ඉදියාප්ප පාර්සලයක් දෙන්න ගියාම අනේ අම්මේ බැල්කනියේ පොඩි පොඩි පෝච්චි වල මඥ්ඥොක්කා වවලා ලස්සනේ බෑ. මම ළගට යන්න හැදුවම කිව්වා බෙහෙත් ගහලා තියෙන්නේ නැන්දේ වෙන වෙලාවක එන්න අල ටිකක් දෙන්නං කියලා. අන්න දිරිය කාන්තාවෝ..! ඒකට අපේ එවුන්.

අපේ ඩබල හොර පූසියෝ දෙන්නා වගේ මං දිහා බල බල තේක බොනවා.! මම මොකුත් නොකියාම කාමරේට ආවා..! ඔය සිද්දියත් ඔයින් මෙයින් අකා මකා වෙලා මැකිලම ගියා..!

දවස් කීපෙකට කලින් දරවගයක් ගෙනල්ලා දෙන්න ගුණයා ගෙදෙට්ට ආවම, අපේ අම්මා නංගිලාටත් ඇහෙන්නත් එක්ක,

ගුණේ අර සුරංජිත් මහත්තයාගේ නෝනා හරි උත්සහවන්තයි නේදැ? කියලා ඇහුවා!

ඒ හරිය නං මොකට කියනවද..! පුදුම උත්සහයක් තියෙන්නේ හෙහ් හෙහ් හෙහ්..!

අමුතු විදියට හිනාවෙන ගුණයගේ කතාව මට එච්චර ඇල්ලුවේ නැති නිසා මම ශේප් එකේ මොනවද කියන්නේ කියලා අහගෙන හිටියා.

ආ එහෙම කියන්නෙපා..! බලන්නකෝ අර බැල්කනියේ දාලා තියෙන මඥ්ඥොක්කා වගාව. බොහොම සාරයි නෙව..! උඹ දැක්කේ නැතෙයි ගුණේ??

අනේ ලොකු නෝනේ දන්න දෙයක් කියනවද? ඊයේ උදේම පොලීසියෙන් පැනලා ඔය ජෝඩුවයි උන්ගේ පැල තවානයි ඔක්කොම පටවං ගියේ ඒක නිසා තමා එහෙනං.!

ඇයි පොලීසිය මොකටද මඥ්ඥොක්කා අරන් යන්නේ?  අපේ අම්මා ඇහුවේ පුදුමයෙන් වගේ..!

ඒවා මඥ්ඥොක්කා පැල නෙවී නෝනේ, ඒවා ගංජා පැල,. සුරන්ජිත් කාරයා අලුතින් කාරෙකක් එහෙම ගත්තෙ ගිය මාසේ ඒ සල්ලි වලින් තමා..!

ඒක අහපු අපේ අම්මා ඈහ් කිව්ව්වෙත්, නංගිලාගේ කාමරෙන් මහ හයියෙන් හිනාවක් ආවෙත්, මම ශේප් එකෙ කාමරේට ගියෙත් එකම වෙලාවේ..!

Comments