2 espressos



ඇය විසින් මගේ ජීවිතය තුල ඇතිකළ මහා රික්තකය නිසා මගේ සිතිවිලි පුපුරා හැලෙනු කිසිවෙකුට ඉඟියකින් හෝ දැනෙන්නට නැතිව ඇත. එසේ දැනුනා නම් මම මගේ රක්ශාවේ පළමු දිනය සිනහවෙන් යුතුව අවසාන කරන්න දරන උත්සාහය ගැන බොහෝ දෙනා පුදුමය පල කරන්නට ඉඩ තිබිණි. සිනහා වීම සහ මගේ හැකියාවෙන් අනෙකාව ජීවිතය අවසානයේ දී හෝ සැනසීම රැකියාවක් ලෙස කරන විට කෙතරම් අපහසුදැයි දන්නේ එහි යෙදෙන්නා පමණය. පෙර කල “ඔබගේ විනෝදාංශය ඔබේ රැකියාව කරගත් විට ඔබට කිසිදා වැඩ කරන්නට වන්නේ නැත” යන කියමන මාගේ ජීවිතයේ මුලඡ්චේදය කරගෙන සිටි මම ඒ තත්ත්වයට පත්වූ පසුව එසේ කිරීමට කෙතරම් අපහසුදැයි හදාරමින් සිටිමි.

තලෙළු වර්ණිත ඇහි පිහාටු මත කාලවර්ණිත අංජන තවරා මඳක් රුව දෙස කණ්නාඩියෙන් බලා සිටි ඈ, නැවතත් සිය පුරුදු ස්වභාවයටම පැමිණියා ය. අසල වූ අවන්හලේ වීදුරුව මත මැවෙන සිය පිළිඹිබුව දෙස නෙත් යොමා සිටින ඈ වීදුරුවට පිටුපසින් ඈ දෙස බලා සිටිනා මා දුටුවේ නැති. රුව මනහරය, දෙවරක් බලන්නට සිතෙනා තරමටම ආකාර්ශනීය ය. කිසිවක් නොවූ ලෙසට සිය ඇහි බැම හිසකේ සකසා ගත ඈ, කිසිදු කලබලයක් නොමැතිව අවන්හලේ දොරෙන් අවන් හල තුලට පිවිසුනා ය.

“2 espressos”

මෙනු පත කියවා තමන් අසල වූ වේටර්වරියට පැවසු ඇය, සිය අසුන අසල වූ ටීපොවේ තබා තිබු පුවත්පත කියවන්නට පටන්ගත්තා ය. විනාඩි කිහිපයකට වරක් සිය ජංගම දුරකතනයේ තිරය දෙස බලා සිනහාසිමත්, වේගයෙන් ස්පර්ශක තිරය එබීමත් හැරෙන්නට ඈ වෙනත් කිසිවක් පුවත්පත කියවනා විට කරේ නැත. පුවත් පතකට මුවා වී සිටි මා මේ සියල්ලම බලාගෙන සිටිනා විට ඇය ඇනවුම් කල දේ රැගෙන පැමිණියේ වේටර්වරියයි. තවමත් ඈ හා කතා කරන්නට කල් වේලාසන වැඩි බවක් දැනේ. එහෙත් මහා හඬ තලමින් මගේ දුරකතනයට පැමිණි කෙටි පණිවුඩය ගැන අසල මේස වල සිටි කීපදෙනෙකුම විමසිලිමත් වෙනු මා ඇස කොනින් බලාගෙනය.

(ඇපල්, ගැලැක්සි බස්සන තැන් වලට චයිනීස් ගෙඩි බැස්සුවාම ඔහොම වෙනවා.) මම මඳක් සැලෙමින් දුරකතනයේ තිරය දෙස බැලීමි.

“yes this is for you, please join with me”

හොරෙන් බලා සිටියාට කරන්නට දෙයක් නැති. මේ වන විට බඩුත් සමඟ හොරු හසුවී අවසානය. මම පුටුවෙන් නැගිට ඇය දෙසට ගියෙමි.

කොහොමද?

ඉන්නවා වරදක් නැහැ.

මොනවද මේ දවස් වල කරන්නේ?

පරණ රස්සාවම තමා, මොකෝ මට වෙන එකක් තිබ්බයැයි කරන්න කියලා.

උවමනාවක් නැති කමට මොනවා කරන්නද නිරෝධ, ඔයාට ඕනෙතරම් ඔපචුනේටීස් තිබිලත් ගියේනැති එකට කවුරුවත් පලි නැහැනේ?

හ්ම්ම්, ඔව් එහෙම කියන්නත් පුළුවන්.

පැළඳගෙන සිටින අවු කන්නාඩි දෙක කෝපිහල තුලදී වත් ගලවන්නට ඇය ලැහැස්ති නැතිවාක් මෙනි. කාලයකට පසුව හමුවන පළමු අවස්තාව වුවත්, අපි වෙන් වූ කාලය සිටි අන්දමින්ම අපේ කතාව ආරම්භ වුයේ ඇනුම්පද කිහිපයක් හුවමාරු වීමෙනි.

හරි දැන් මොකෝ කරන්නේ ඔයා? අවුරුදු දෙකකට පස්සේ හම්බ වෙලත් පලවෙනි විනාඩි 10 සුපුරුදු විදියට වලි දාගන්න පුරුද්ද අපි දෙන්නගෙන් අයින් වෙලා නැහැ වගේ නේද මීරා?

මම එසේ අසනවිට ඈ සිහින් සිනාවක් මුවගන නගාගෙන ඇගේ එස්ප්රෙසොව තොල ගෑවාය.
මගේ එස්ප්රෙසොව තවමත් මගේ උගුරෙන් පහලට යවන්නට වේලාසන වැඩි බව නිසාදෝ, කොපිහළේ පයිප් මියුසික් හඬට තාල අල්ලන මීරාගේ පාදය මේසයේ වදින ස්වරයෙන් හෙල්ලෙමින් නිසොල්මනේ සිටින්නීය.

තාම මැරී කරන්න කෙනෙක් නැද්ද?

මීරා ප්‍රශ්ණ වලින් දමා ගසයි.

උත්තර නැති ප්‍රශ්න අහන්නෙපා මීරා..?

මම ප්‍රශ්නෙට ප්‍රශ්නයකින් උත්තර දිනිමි.

හරි! මම අනවශ්‍ය ප්‍රශ්න ඔයාගේ ඔලුවට දානවා කියලා හිතන්න එපා. මට තවමත් ඔයා ගැන පොඩි හරි දුකක් තියෙන නිසයි එහෙම ඇහුවේ. හිත රිදුනා නම් සොරි..!

එහෙනං මොකටද යකෝ මාව අතැරලා රට ගියේ?

හිතේ තියෙන ආවේගයට අසන්නට හිත කොතරම් කෑ ගසා කියූ නමුදු මොලය ඊට ඉඩ නොදේ. මම නිහඬ වීමි.

මම ෂෝර්ට් වකේෂන් එකකට ලංකාවට ආවේ. මම අනිද්දට යනවා. මම කොහොමටවත් හිතුවෙ නැහැ ඔයාව මීට් වෙන්න. ඇරත් මේ වගේ තැනක.

මම කිසිත් නොකීමි. ඈ අගේ කතාව නවත්වන පාටක් නැත. මම කරබා ගතිමි. තවමත් එස්ප්රෙසොව මේසයේ සීතල වේ.

මම නිරෝධ ඔයාට කිව්වා ඔය ජොබ් එක කරන එකෙන් අයින් වෙන්න කියලා. ඔයා කොච්චර පිරිසිදු වෙලා ආවත් මම කොහොමද දෙයියනේ දවස අන්තිමේ මගේ මිනිහා කියලා, බදාගන්නෙ.??

මම ඒක කළා කියලා. මම ඒ ජරා ගොඩවල නිදාගන්න යන්නේ නැහැනේ මීරා. අපි මේ කතාව නවත්තමු. නැත්තන් අපි දෙන්නට නිකන් හිත රිද්දගෙන අයින් වෙන්න වෙන්නේ.

මීරා ජනේලයෙන් ඉවත බලාගෙන එස්ප්රෙසොව තොල ගායි. මට නැගිට යාමට සිත්වී ඇති නමුදු ඒ සුන්දර පරණ මතකය ආපහු මගේ හිතේ හොල්මන් කරන්නට පටන් අරගත් නිසා, රණ්ඩු වුනත් එයත් මිහිරක් බව දැනෙන නිසා ඉවසා වදාරමින් සිටිමි.

පුලුවන්නම් ඔය කරන බිස්නස් එකෙන් අයින් වෙන්න බලන්න, මට වැඩක් නැහැ ඕක ඔයාගේ ෆැමිලි බිස්නස් එක වුනත්. ඔයා එහෙම අයින් වුනොත් සමහර විට මම ඔයා ගාවට ආපහු එන්නත් ඉඩ තියෙනවා.

ඒ වුනත්..!!!!

ඒ..ඒ..මේ..මේ කතා වැඩක් නැහැ නිරෝධ ඔයාට කිව්වේ මම හිතන දේ.!!

මම තව දවස් දෙකක් ලංකාවේ ඉන්නවා. ඔයාට හිතෙනවා නම් මම ඉල්ලන දේ සාධාරණයි කියලා, මෙන්න මගේ කාඩ් එක. මම ඉන්නේ ජයික් හිල්ටන් අපාර්ට්මන්ට් එකක. ඒකෙ නම්බර් එකත් ඕකේ ඇති. මට කෝල් කරන්න.

මම නොසෙල්වී සිටියෙමි. සිය මැද ඇඟිල්ලෙන් අවු කන්නාඩිය යලිත් දෑසට තද කරගත් මීරා, මා දෙස නොබලාම කොපි හලෙන් පිටවී ගියා ය. මා ඉදිරියේ ඇත්තේ ආරාධනාවක්ද තර්ජනයක්ද යන්න නොදැන, මම හිස් අදහසින් කොපිහළේ ලී සිවිලිම දෙස බලා සිටියෙමි.

ගිය අය ගියාවේ..!

මොනා වුනත් එම්බාමන් කෙනෙක් කියන්නේ හොඳ රස්සාවක්..!

කිසිම ක්ලයන්ට් කෙනෙක්ගෙන් කම්ප්ලේන් නොඑන රස්සාවක්..!!

මම අසුනින් නැගී සිටියෙමි.

සීතල වූ එස්ප්රෙසෝව තවමත් මේසය මත නිසල ව බලා සිටී..!

මිනියක් වගේ..!

හිත මට හීන් හඬින් කොඳුරයි..!

Comments

Post a Comment