කඩදාසි බරුව

           අපි සෙට් එක කතා කර කර ඉන්නකොටත් මිනිහා හිටියේ පත්තරේ බලාගෙන, හරියට පත්තරේ අකුරු ටික ඇස් දෙකෙන් උරාගන්න උත්සහ කරනවා වගේ.., ඒ දිහාටම නැවිලා යොමුවෙලා..! හවස සෙට් වෙන වෙලාවක මුහුදු හුළං වැදෙනකොට නිකම්ම වටේ අමතක වෙනවා උනාට මේ මනුස්සයා ගේ ඇටිටියුඩ් එක ලේසියෙන් ඔලුවෙන් අයින් කරන්න පුලුවන් උනේ නෑ.., ඒ තරමට ම ඒ මනුස්ස ප්‍රාණියා මගේ හිත තුල ආකර්ශණීය චරිතයක් වෙලා තිබුනේ...,
පත්තරේ පල්ලෙහාට හදිස්සියේ ම ගත්තට පස්සේ තමා මම දැක්කේ අතේ මැණික් කටුවට අඟලක් විතර යටින් ලොකු තරුවක් ටැටූ කරලා.., අර කලින් ගත්ත චිත්ත විනිශ්චයන් එක්කම මම මේ මනුස්සයා එක්කෝ විප්ලවවාදියෙක්ද එහෙමත් නැතිනම් සාතන් අදහන්නෙක් ද කියන උභතෝකෝටිකයට මැදිවුනා.

බයිට් පොඩ්ඩක් දීපන්.., සැන්ඩි මදි නේද? අබේ අපි ගෙනාපුවා ඉවරද?
බාගේට අලු කැඩුන සිගරට් එක කටේ තියාගෙන නිස්සා බෝතලේ අතේ තියාගෙන අහනවා.,

මම ආපහු කල්පනා ලොව මල්වනේ..,
ඒ එක්කම මේ මනුස්සයා මගේ දිහා නුරුස්සනා ස්වරයෙන් හුස්මක් පිට කරලා පත්තරේ පැත්තකින් තියලා එහා පැත්තේ කබායකින් වහලා තිබුණ පොත අතට ගත්තා.., කෆ්කා මුහුදු වෙරලේ.., මුරකමි ගේ පොත් කියලා කියවලාම තිබ්බ එකම පොත මේක උනාට මිනිහා මැද තිබ්බ පොත් සලකුණ පැත්තකින් තියාලා මා දිහා ආඩම්බරයෙන් බලලා පොත පෙරළගත්තේ නිකං

උඹලා බෝතලේටම යට වෙලා ඉඳපල්ලා.., මේ වගේ පොතපතක් කියවන්න එහෙම එපා

වගේ ලුක් එකකින්..! මම බයිට් අහුරක් අතට දාගෙන වෙරළ පැත්තට හැරුණා.., උණවටුන වෙරළ හවසට හරි ලස්සනයි.., වටේම රෙස්ටුරන්ට් වල එළියේ තියලා තියෙන ටේබල් යට චිමිනි මැද ගහපු ඉටිපන්දම් දැල් වෙන කොට පෙන්නේ ලස්සන මුතු පොටක් වගේ.., සවස හතට පොඩ්ඩක් කලින් ඔරලෝසුව බැලුනත් එක්ක මට මේ මනුස්සයා ගෙදර යන්නේ නැත්තේ ඇයි කියන සිතුවිල්ල එනකොටත් හෝ ගාලා කොල්ල පොත කියෝනවා.!!

ලස්සනට ඇඟිළිතුඩු වලින් පිටුවෙන් පිටුව වෙරළමින්.., කියවන වචනයක් පසා තමන්ගේ මුලු සිතම ඒදෙසට යොමුකරමින් මහා බැරෑරුම් විදියට ඇහිබැම කණ්නාඩියෙන් උස්ස උස්සා කියවන ගමන් එක පාරටම මේ මනුස්සයා ආපහු මගේ දිහා බැලුවේ මහ නුරුස්සන බැල්මකින්.., මම අහක බලාගත්තා.., මේ යකා මට බනින්න එයිදමන්ද??
මූණට වැටෙන ලයිට් එළියත් බයිට් පිඟාන චරියා ගාවම තියෙන නිසා මම චරියාට මුවා වෙලා බයිට් පිඟාන ගාවින් වටෙන් ඇවිත් වාඩි වුනේ මේ මනුස්සයාට මම අවිඥාණිකව බුවා දිහා බලනකොට පෙනුනොත් මේ මනුස්සයා ගේ හැසිරීම වෙනස් වෙයි කියන අදහසත් එක්කමයි..,

මොකෝ බන් මගේ පිටට මුවා වෙලා කරන්නේ??  
චරියා ඇහුවේ මගෙන් වෙන්න ඇති..,

නෑ බන් ලයිට් එක මූණට වැටෙනවා  එකයි..!
මම වේටර් මල්ලී එවෙලෙම ගෙනැල්ලා තියාපු සොසේජස් කෑල්ලක් කටේ දාගන්න ගමන් කිව්වා..!

කෙටියෙන් කියනවා නම් මිනීහා මැදිවයස් වෙච්චි පොඩ්ඩක් පෝස්ට් කොලෝනියල් ලුක් එකක් තියෙන ඒත් අර ටැටූ එක නිසා පොඩි රැඩිකල් ගතියක සේයාවක් ගෑවිලා තියෙන බවක් තේරුනා.., මිනිහෙක් දිහා බලාගෙන මෙහෙම විස්තර කියන එක මහ කැත වැඩක් තමා ඒත් විස්වාසෙට ගන්ඩ, මිනිහාව ඒ තරමට කියවන්න හිතෙනවා..,

මම ආපහු මිනිහා දිහා බලාගෙන,
පොත කියාවාගන යන ගමන් ම මේ යෝදය එක පාරටම අන්තිම පිට පෙරළුවා.., ඒත් ප්‍රයෝජනයට ගන්න තරම් දෙයක් ඒ කොටසේ නැති නිසා වෙන්න ඇති ආපහු තමන් අර කියවගෙන ගිය කොටසටම ආපහු ආවා..!! නවලා තිබ්බ කබායේ සාක්කුවෙන් ගත්තු අමුතු තාලේ පෙට්ටියෙන් එළියට ගත්තු පයිප්පේට දුම්කුඩු දාගත්තට පස්සේ උඩු සාක්කුවේ තිබ්බ අලියා ගිණිපෙට්ටියෙන් ගහපු ගිණිකූර පයිප්පේ කටට ඔබාගෙන උගුරු කීපයක් උරාපුවාට පස්සේ ඇස් දෙක පියාගෙන යටි තොල බෙරි කරලා වැහිලා තියෙන කට දෙපැත්තෙන් දුම් යවනවා හෝ ගාලා..,

වළල්ලක් යවපන්කෝ..,

මගේ හිත මේ උන්නැහේ ට කෑගහනවා, කොහෙද ඒවා වචන කලෝත් මට වෙන්නේ ගුටි කන්න. මම සද්ද නැතිව උන්නා.

ටික වෙලාවකින් මම අතේ තිබ්බා වතුර එක ටේබ්බල් එක උඩින් තියලා සෙට් එකෙන් මිදිලා එළියට ආවේ ගෙදරින් ආපු කෝල් එකට ආන්සර් කරන්න..,
කතා කරල ඉවර වෙලා එනකොට අර මනුස්සයා අතුරුදන් වෙලා..,

අපරාදේ මගේ රීසර්ච් එක.., මම ආපහු හැරෙනකොට අපේ හිටපු මොටේල් එකේ කොනේම ටේබ්ල් එකට කපල් එකක් ඇවිල්ලා ඒ අයගේ ටේබල් එලට සර්ව් කරන්නේ සුරංග අපේ එදත් අදත් මිත්‍රයා.., මම සුරංගට කතා කලා..,

මචන්.., අර අපේ සෙට් එක සෙට් වෙලා ඉන්න කබානා එක එපා පැත්තේ හිටියා පොරක් තඩි පොතකුත් තියාගෙන පයිප්පයක් පත්තු කරන් පැත්තකින් පත්තරේකුයි කෝට් ජැකට් එකකුයි නවාගෙන උඹ දන්නවද බුවා ගැන..,

ඔය සර් කියන්නේ.., ඩස්ටින් මහත්තයා ගැන.., එයා හැමදාම මෙහෙට එන කස්ටමර් කෙනෙක්.., හැබැයි එයා ගන්න ප්ලේන්ටියක් විතරයි.., හැමදාම මෙතෙන්ට වෙලා පහේ විතර ඉඳන් ඇඳිරි වැටෙනකම්ම ඉඳලා.., මේ වගේ වෙලාවට යනවා.., දැනට අවුරුදු විස්සකට විතර කලින් ඉඳම්ම මෙහෙට එනවාලු අපේ ලොකු සර්ගේ ෆිට් එකක්.., අපි කා එක්කවත් කතා කරන්නේ නෑ. ලොකු සර් කියල තියෙන්නේ ඉල්ලන ඕනෑම දෙයක් සර්ව් කරන්න සල්ලි ඉල්ලන්න යන්න එපා කියලා.., අපි අහන්න ගියෙත් නෑ ඒ ඇයි කියලා ලොකුසර් කිව්වෙත් නෑ ඒ මොකෝ කියලා..,

පෙනුමෙන් නම් මිනිහා හෙන උගතෙක් වගේ නේහ්???

අනේ නෑ සර් ඩස්ටින් මහත්තයට අකුරු බෑ.., උන්නැහේ පත්තරේ අරන් එන්නේ දාඩිය දානකොට පවං ගහගන්න, ලොකු පොත අරන් එන්නේ ඒ පත්තරේ හුළඟට යනවට තියාගන්න.!

Comments

  1. කාලෙකින් කියවපු හිතට දැනෙන කතන්දරයක්!!! ස්තූතියි ලිෂාන් අයියා

    ReplyDelete
  2. අකුරු බැරි උනාට පොතක් පත්තරයක් පෙරලලා බලන්න තහනමක් නෑනේ! ඒක ඒ මනුස්සයාගේ කැමැත්ත නොවැ! මිනිහෙක් දිහා පිටින් බලලා කතා හිතින් මවා ගන්න එක හොඳ නෑ.(ඒ උනාට මමත් ඒකම කරනවා සමහර වෙලාවට) මිනිස්සු පොත් කියවන්නේ මොකක් හරි හේතුවක් නිසා වෙන්න පුළුවන්. හැබැයි අපි පිටින් බලලා ඒ මිනිස්සුන්ට අනං මනං කියන එක හරි නෑ! මිනිහට පොතේ තියෙන දේ සම්පූර්ණයෙන් නොතේරුණාට මිනිහා ඒ දේවල් තේරුම් ගන්න උත්සාහ කරනවා වෙන්න පුළුවන්. (හුටා වෙන මඟුලක් ලියවිලා තියෙන්නේ! ;) )

    මේ කතාවේ පොඩි අවුල් තැන් කීපයක් මට ආවා!
    1) මිනිස්සු හවස බීච් එකට යන්නේ හුලං වදින නිසා මිසක් පත්තරයක් අරං හුලං ගහන්න නෙමෙයි!
    2) පත්තරේ හුළගේ යන තරමටම හුළඟ තියෙනවනම් ඇයි ආයෙත් පත්තරයක් අරං හුලං ගහ ගන්නේ?



    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවල් තියෙනවා පූසා.., මුහුදු වෙරළට ගියාම හුළං වදින්න තරම් වත් දැනෙන්නෙ නැති.., හුළං වදින එක එකක්.., ඒත් ඒ හුළඟට දාඩියදාන එක නවත්වන්න බෑ.., ඒක උඹ හොඳටම දන්නවා ඇති.., අනික තමා මනුස්සයෙක් තමන්ගේ ඉදිරියේ තියෙන දේට සංවේදී වෙනවට වඩා තමන්ගේ පුරුදු වලට සංවේදී වෙන එක..,
      ඒක හරියට සමහර අයට පිටත කොයි තරම් රස්නේ උනත් නිදාගන්න ඇඳපොරෝනයන් ඕනෑ වෙන එක වගේ.., තවත් විදියකින් කියනවා නම් සමහර අයට ටොයිලට් යන්න කලින් සිගරට් එකක් ඕනෑ වෙනවා වගේ සිද්දියක්..! :)

      Delete
    2. මටත් ආවා ඔය පුරස්නේ.. කෝ මේ පූසා පැනලානේ... හි හි...

      Delete
    3. මේ ප්‍රශ්නය මටත් ආවා... ලිෂාන් ගෙ උත්තරයත් පැහැදිලියි. දැන් ප්‍රශ්නයක් නැහැ.

      Delete
  3. හෝ හෝ හෝ...
    මෙන්න උඹ ලියන, මම කැමති තාලේ පෝස්ටුවක්...

    එළ කිරී... නියමයි...

    ReplyDelete
  4. සුරංගයා වගේම සුරංගයගෙ බොසත් තාම හරියට ඩස්ටින් මහත්තයව අඳුරගෙන නැහැ !

    ReplyDelete
  5. කාන්චනා, නෙරංජී, කැරළි කාරි, සෝරෝ, සිහින : ස්තූතියි හැමදෙනාට ම..! :)

    ReplyDelete
  6. හ්ම්... කඩදාසි බරුව

    ReplyDelete
  7. මේ කියලා තියෙන විදියට මට හිතන්නෙ නෑ මේ මනුස්සයා අකුරු බැරි කෙනෙක් වෙන්න ඇති කියලා...

    තමන් දිහා කෙනෙක් බලාගෙන ඉන්නවා කියලා දැනුනම ලොකු පාට් එකට වගේ පොතක් පෙරළගන්න, පෝස්ට් කොලෝනියල් ලුක් එකක් තියෙන, ඒත් අතේ ටැටු එකක් ගහන් ඉන්න, මුහුදු අද්දරට වෙලා ප්ලේන්ටියක් තොල ගාන....

    ම්හු... මට මැවෙන්නේ නෑ... මට හිතෙනවා වේටර් සුරංග මනුස්සයා ගැන නොදන්න නිසා කියපු දෙයක් කියලා... ඒත් ඉතිං හැමදාම එකම පොත නං උස්සන් එන්නේ සුරංග හරි වෙන්නත් පුළුවන්....

    මට මතක් වෙන්නේ ඇක්වයිනාස් එකේ හිටපු අපේ ග්‍රැමර් සර් කෙනෙක්... හෙන උගතා.... මේකේ කිව්වා වගේම පෝස්ට් කොලෝනියල් ලුක් එකක් තිබුනේ... ඒකටම හරියන්න රෙදි ඔලොගුවක් එල්ලගෙන, බෝතල් අඩි කණ්ණඩි දෙකක් දාගෙන පෙනුම සම්පූර්ණ කරගන්නවා.... කාතාවට අහුඋනොත් කෙලින්ම බ්‍රිටිෂ් ඉන්ග්ලිෂ් වලින් දෙන්නේ.. ඇමරිකන් ඉන්ග්ලිෂ් වගේ කැඩිච්ච වචන නෑ... ( කො‌ෙහාමත් ඒකේ ගුරුවරු එහෙමයි...) හැබැයි පෙනුමින් කියන්න පුළුවන් මේ සුද්දගේ කාලේ හිටපු එක්කෝ පරිපාලන සේවයේ හිටපු කෙනෙක්, නැත්තම් ඒ කාලේ ගුරුවරයෙක් කියලා.... හි හි...

    වෙනදා වගේ මවාගන්න අමාරුයි මේ කතාව....

    ReplyDelete
    Replies
    1. ඉස්සර වගේ නෙවෙයි අකුරු ලියන්න කම්මැලී.., මේකත් හදිසිස්යේ ඩ්‍රාෆ්ට් කරපු අයිඩියා එකක්..! තව ඩස්ටින් මහත්තයට තව තව ගති ලක්ෂණ එකතු කරන්න උවමනාව තිබුනත්, මම එහෙම කලේ නැත්තේ මම චරිතේ ගොඩ නඟනකොට කතාව අමතක වෙන ලෙඩේ තියෙන නිසායි.
      හැබැයි එකක්.., මේ ස්ථානය මිතුරු හමුව, සුරංග කල්පිතයක් උනාට මේ මනුස්සයා තවමත් එනවා අවිස්සාවෙල්ලේ එක්තරා අවන්හලකට.., අතීතයේ නිතිපතා ආවත් දැන් උන්නැහේ වයෝවෘධයි, එවෙන්නේ එහෙමත් දවසක.., ඒත් සතියකට වරක් දෙවරක් නම් අනිවාර්යයි..!
      ස්තූතියි හිරූ..!!

      Delete
  8. මුල් ටික කියවගෙන යද්දී සිහියට ආවේ සුනිල් මාධව... අනේ එත් අවසානය.....මාව පහළටම ඇදලා දැම්මා වගේ වුණා.. ලිෂාන් නියමයි.

    ReplyDelete
    Replies
    1. මේක ලියන්න ගන්නකොට මගේ හිතට ඩස්ටින් ගැන ආවේ මරලාදාන්න තරම් හැඟීමක්..! ඒත් පස්සේ එකවරම අතුරුදන් කරලා හිත හදාගත්තා..!
      චේතනාව කර්මයට මූලිකවේ කියනවා නේ ;)
      නෑ සුනිල් මාධව වගේ මධු ප්‍රනීතයෙක් නොවෙයි ඔහු..! :)

      ස්තූතියි නලීන්..!!

      Delete
  9. හිරු කියනවා වගේ, අන්තිම පැහැදිලි කිරීමත් එක්ක කලින් විස්තරය ගලපාගැනීමෙදි පොඩි අවුලක් එනවා. ඒත් අපි අමතක කරන්න නරකයි කලින් විස්තරය දෙන්නෙත් චරිතයක් බව. මෙහෙම හිතමු, මේ කථාව කියන පුද්ගලයා පොත පත කියවන්න කැමැත්තක් ඇති, විප්ලවවාදී අදහස් ඇති කෙනෙක් කියලා. අර 'චේ' ගෙ රූපෙ වගේ ඔහුගේ හිතේ තියන 'විප්ලවවාදියා' කියන චිත්ත රූපයට ගැලපෙන පුද්ගලයෙක් දැක්කහම ඔහු, ඒ පුද්ගලයාව කියවන්න හදන්නේ ඒ කොණයෙන්. ඒ නිසා කථාව කියන්නා මේ කියන දේවල්, අර පුද්ගලයා ගැන සාධාරණ නිරීක්ෂණයකට වඩා, තමන් තුල ඉන්න පොත්පත් කියවීමට කැමති විප්ලවවාදී අදහස් ඇති පුද්ගලයා ඔහු තුලින් දැකීමට කරන උත්සාහයක් වගෙයි. මිතුරන් සමග මත්පැන් බිබී කාලය ගතකිරීම නිසා ඔහුට දැනෙනවා කියා සිතිය හැකි වරදකාරී හැඟීමත් මේ විදිහ කියවීමකට උත්ප්‍රේරකයක් වෙන්න ඇති. එහෙම බැලුවහම, අන්තිම හෙලිදරව්වීම සමග ඇතිවෙන නොගැලපෙනබව, ඇත්තටම කථාව කියන චරිතය විසින් ගොඩ නගපු නොගැලපීමක් කියලා කියන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක එහෙම තමා තිසර. මොකද, ඒක මගේ අවුලක් වෙන්න ඇති, ගොඩක් වෙලාවට මම කතාවේ චරිත ඇතුලේ ඉන්න මනුස්සයාව එළියට දාන්නේ සහ ඒ චරිත කියවන්න කතා රසිකයාට ඉඩ හරින්නේ මගේ විව්පොයින්ට් එක ඇතුලෙන් වෙන්න ඇති.. මම ඒකේන් මිදෙන්න හැදුවත් මගේ ලියවිලි අවිඥ්ඥාණිකව ඒ ෆිල්ටර් එක ඇතුලෙන් මම ලියන කතන්දර යවනවා ඇති.., ආන්න එතනදී තමා ඔය ඔන කියන නොගැලපීම වෙන්නේ.., කියවන්නා බලාපොරොත්තු වෙන ක්ලයිමැක්ස් එක නොවෙයි නම් රචකයා කතාම මත තබා ඇත්තේ, කියවන්නාගේ කාරණාව බුදු නොවීම සාධාරණයි..!
      කතා කියන චරිත අවට චරිත අල්ලගන්නේ වැලමිටි වලින්, ඒ මම ලියන අකුරු වල තියෙන අවුලක්, ඒ කාරණාව ඔබ තේරුම් ගනී කියලා මම හිතනවා..!!
      ස්තූතියි, නැවත එන්න..! :)

      Delete

Post a Comment