නැන්දක්කා

අන්න තමුසේගේ යාලුවා ව සංගමෙන් කපපු එකට කේස් එක ඇදිලා.යන්නේ නැද්ද උදවු කරන්න...!
ඊයේ රෑ මා එක්ක කට ගහං ආවේ..,

මැහුම් පංති ගොසින් ආ විගසම අක්කා මේ පවසන්නේ පියසිරි ගැන ය. වයසින් අපේ අක්කාටත් වඩා වයසින් වැඩිමලු වුවත් මිතුරන් අතරේ බබා යන නමින් ප්‍රසිද්ධ වී සිටි පියසිරි ව මෙසේ අහේතුක ව සංගමයෙන් ඉවත් කිරීම අප කාටත් ඉවසුම් නොදෙන්නක් විය.

මම කතා කරන්න ඕනේ නෑ හලෝ මටත් එක්ක සිසිර ලා නදීශ ලා එහෙම කතා කරනව.

ඒවුනාට තමංගේ යාලුවා ගැන කැක්කුමක් තියෙන කෙනෙක් හැටියට කතා කරන්න යන්න එපෑය...?

මේ එන්නේ ආයිත් පෙරදා ඇදගත් කෙහෙවලු පටලවා ගැනීමේ දෙවෙනි කොටස පටන් ගන්න ට ය. ඒ බව මට ඉවෙන් මෙන් දැනේ.

මම හරක් එක්ක ගහ ගන්න බයයි. මොකද මම දන්නවා උන්ගේ අං ඇනිලා තුවාල වෙන්නෑ මටමයි කියලා.

ඒ පිළිවදන මගේ ය. නෝක්කාඩුවක් නොඇදෙන ලෙස කතා කරන්න ට කොපමන උත්සාහ කලත් ඒ වන විටත් මගේ ලේ රත්වෙමින් තිබූ බැවින් මගෙන් පිටවූ වදන් වැල ඇයට මරු පහරක් වූ බව පෙණින.

ආ එහෙමද? මට හිතෙන්නෙ මලයෝ ඔයාලට තමා අං තියෙන්නෙ. එහෙම නැත්තං මේ වගේ තප්පුලන්නේ නෑනේ...!!!

වදන් එන්න එන්න ම කර්කශ ය. හිටිවණ ම අකුණු සරක් සේ වදින්නෙ ද මට ම ය.

කොහොමත් මම තමා සංගමෙන් අයින් කරපු ගමන් පියසිරි එක්ක කතාකලේ. මොකද මිනිහ මට කෝල් කරල කිව්ව.

ඒ බූරුව අයිං කරපු එකමයි හොඳ.

පියසිරි ට බූරුව කියන්න එයා තමුසෙට කරපු වැරැද්ද මොකද්ද මොකද්ද? අනික ඔහොම දෙන්න යන්න එපා ඕයි සංගමේට කියලා. මොකද ඒකෙන් පේන්නේ තමං ගේ ගොන් ගතිය..!

ඔව් ඔව් අපි මෝඩයි නෙව.., අනික අයනේ මහ උගත්තු.

ආන්න පිළිගත්ත තමං ගොනා කියල. එකෙන් පේන්නේ තමං ගේ නිහතමානි කම.

මේක මළ වදයක් උනානෙ. කටවහගෙන ඉන්නවකො ඕයි.

මොනවාදෝ මුමුණමින් බුම්මා ගත් මුහුණින් ඈ යුතුව කාමරය ට වැදුනා ය.

මම මුව පියා ගත්තෙමි. පියසිරි ට විරුද්ධව කියන්න ආවොත් මගේ මුවතුළ තව මීට වඩා  විවර කළ හැකි වුවත් මම ඉවසා වැදෑරුවෙමි. ඒ සහෝදර කම ගැන සිතා ය. කොහොමටත් මම කට හොඳ නැති එකෙකු වසයෙන් හංවඩු ගැසී තිබුනේ අද ඊයෙක් නොවේ. මීට වසර ගණනාවක් පෙර සිටය. ඇත්ත කියන්නත් බිම ඉඳ ගන්නත් බියක් වන්නට කිසිම හේතුවක් නැති බව කුඩා කල සිටම ඇදහූ මට එයට කමටහන් ලැබුනේ.., අපේ ගෙදර ඉස්සරහ කාමරයේ පදිංචිව සිටි විමල් මාමාගෙනි. හේ හැත්තෑව දශකයේ රජයේ සේවකයෙකු ව සිට කොමියුනිස්ට් කාරයෙකු ලෙස සලකා  රැකියාව අහිමිවූවෙක් විය.

උඹ කිසිදෙයක් ගැන උඹට හඟින විදිය කියාපාන්න යන්න එක පොඩි එකෝ.., වැරැද්දක් කියලා කවදාවත් හිතන්න එපා. ජනතාව ජනතාව වෙනුවෙන් පෙනීසිටින්න ඕනි. ඒක තමා විදිය. තේරුනැයි...?

මම හිසවනා එය අනුමත කලෙමි. යටිහිත බයගුලු වූ තරමට ම උඩුහිත ඒ අඩුව වසා ගැනීමට තරමට නිර්භීත විය. මා වටා මිතුරු කැලක් ගොඩ නැගුනේ ඒනිසායැයි මම අදටත් විශ්වාස කරමි.
අප්පච්චීගේ නැන්දා හෙවත් සුදු අත්තම්මාගේ කොප්පරාවත්තේගෙදර මට නවතින්නට වූයේ කුඩාකල සිටම වූ මගේ හිතුවක්කාර කමත්.., ඒ හිතුවක්කාර කමට හේතුව මගේ වේලාපත්කඩයෙන් අප්පච්චීට මරණීය අපල ඇතිවේයැයි සාත්තර කරුවෙකු යැයි කියාගත්තෙකු ඔහුට ගතූ කීමත් ය. විමල් මාමාගේ හා මගේ වෙන්වීමට හේතුව අර නල්ලමලේ සාත්තර කරුවාගේ අනාගත වැකිය ය. මට අදටත් විමල් මාමා නැති අඩුව දැනේ . ඒ මීට ටික වේලාවකට පෙර මා හා එල්ලෙන්න ට ආ නිරු අක්කාගේ සිද්ධිය නිසා ය.

ඇත්ත වශයෙන් ම නිරූ මා හට අක්කා වූවා ට ඈ නෑදෑකම අනුව මට වෙන්නේ නැන්දා ය. එනයින් සුදු ආත්තම්මා නිරූ අක්කාගේ අම්මා ය. හතලිස් ඇඳිරියට ඔන්න මෙන්න තියෙද්දී අත්තාගේ මළගමින් වසර දෙකක් ගෙවුණ තැන සුදුඅත්තම්මාට නිරූ අක්කා ලැබුන බවට ගමේ කසුකුසුවක් පැවතිණ. තවද, මම මේ වනවිට ජීවත්වන නිවස හෙවත් කොප්පරාවත්තේ පොල්වෙළඳාමේ අපේ අත්තාගේ එකම හවුල් කරු වූ ජෝන් මුදලාලි තම යුතුකම් කොටස මැනෙවින් ඉටුකරමින් අත්තාගේ මරණින් පසුවත් අත්තම්මාගේ පවුලේ සුවදුක් විමසා ඇති බවට ගම්මුන්ගේ කතා ඔස්සේ ඉඟි ලැබුනද මට එතරම් බලපෑමක් කරන්නට එව්වා සමත් නොවුනේ එවකට අප අතර වයස් පරතරය වසර දෙක තුනක ට නොවැඩි වීමත්.., ඇයත් මම ත් කුඩා කල සිටම එකම පාසලේ ඉගෙනුම ලැබීමත් යැයි මට සිතේ.
එහෙයින් මම ඇයට අක්කා කියන අතර මට ඈ..,  ඕයි කියයි, මල්ලී කියාද නොඅමතන්නේ නොවේ.., ඒ වැඩිමණක් ම වාසියකට ය. කුඩා කල සිට ම ඈ මාහා  එකටම සෙල්ලම කර හැදීවැඩී උන්නත් ඈගේ මේ වෙනස් වෙන්න ට ආරම්භය තැබුවේ ඈ ජම්බු ගහෙන් වැටුන* පසුය. දින දෙක තුනක් කාමරය ක ගතකර නමෝ විත්තියෙන් නැකතට එලියට බට ඈ අපව එතැන් සිට සැලකුවේ ස්ත්‍රී දූෂණයකට අවැසි උපකරණ සතුව තිබෙනා මහා අපරාධකරුවන් පිරිසක් ලෙසය.

මොකෝ බං අරකිට වෙලා තියෙන්නේ..?

මගේ මිතුරන් මගෙන් විමසුවේ වරක් දෙවරක් නොවේ.

අනේ කවුද දන්නේ බං..., ඒකිට අපිව එපා නං අපිට මොකෝ...?
ඔන්නොහේ  ඉමු බං.
මම කියමි..,
මම මිතුරන් හා ටින්කඩමින්, රොබින් හුඩ් සෙල්ලම් කරමින් ප්‍රීතිවෙනු ඈ තමාට ලැබුනු අලුත් කාමරයේ සිට ජනෙල් රෙද්ද මෑත් කර හොරෙන් බලනවා දකින්නට ලැබුනත්.., අපේ රැලේ එකෙකු හෝ කර උස්සා ඒ දෙස බැලුවහොත් ඇය ගස්සා එතැනින් ඉවතට යන්නේ මොනවාදෝ මුමුණමිනි. අතීතයේ එසේ වුවත් අප වයසින් මුහුකුරා යනවිට මේ “මලසමයං” නවත්වන්නට උවමනාවක් තිබුනත්.., ඇයගේ ක්‍රියාකලාපය ඈ පවත්වාගෙන යන්නේ හිතුමනාපයට නිසා මමද මගේ මතු ආරක්ෂාව පතා මගේ දඩබ්බර ප්‍රතිරූපයද පවත්වාගෙන යන්නට පටන් ගතිමි. අප දෙදෙනාගේ වර්තමානයේ ගැටුම් වල ඇරඹුම එතැන ය.

වයසින් උස්මහත් වෙනවාත් සමඟ ම මා පිළිබඳ වූ අමුතුම ආකාරයේ ඉරිසියාවකින් නිරූ අක්කා පෙලෙන්නට වූ වග මට මුලින් ම කීවේ සුදු අත්තම්මා ය.


පොඩි එකෝ ඔය අපේ නිරූ කෙල්ලෙ එක්ක ඉන්නකොට පොඩ්ඩක් ඒකිගැන හොයල බලපං තේරුනැයි..,පරිස්සමට.., ඒකිගේ මේ දවස් වල සිකුරු දසාව.., මම පෙරේදා වෙලාව බැලෙව්වා. ගමේ එකාලා අපේ කෙල්ලගේ ඔලුවට එක එක බහුබූත දාලා., උඹලැයි සහෝදරකං බින්න කොරන්න.

ඒ මොනව කියාලාද අත්තම්මා..?

ඔය කෙල්ලව වැදුවට පස්සේ රට්ටු මට කියාපු කතා එහෙම උඹලැයි අප්පච්චිලා එහෙම දන්නවා නම් මේ කොප්පරාවත්තේ ගෙදර පැත්තේ පස් පාගනවා බොරු. ඒ කතා අහං තමා මම ඔය කෙල්ලව හැදුවේ. මම ඇසූ ප්‍රශ්ණය ට පෙරලා පිළිතුරු දෙනවා වෙනුවට කාලයේ වැලිතලාවලින් වැසීගත් ඒ අපුල රහස ගැන මුල්ම ඉඟිය සුදුආත්තම්මා මා හමුවේ තැබුවේ එලෙස ය. සමහර විට මෙවැනි සබඳතා ගැන අවබෝදයක් නොමැති නිරූ අක්කා හා පවසනවාට වඩා නිතර මිතුරන් හා වල බහින මා වැනි කාඩයෙකු ( මා ඇතුලු මිතුරු නඩය අක්කා හඳුන්වන්නේ එසේය.) ට කීමෙන් ඈ හිත හෑල්ලු කරගන්න ට සිතුවා විය හැකිය.

මල්ලී....

ඈ...?

මේ ඕයි මෙහෙ බලනවාකෝ...?

මොකෝ..ඒ පාර...?

මොකවත් නෙවෙයි.

එහෙනං …?

අර තමුසෙලැගේ ක්‍රීඩා සමාජයෙන් අයින් උන යාලුවා….?

ඔව්..ඉතිං..?

ඉතිං නෙවෙයි එයා ගැන මොකද කරන්නේ ..?

මොනවා කරන්නද..? අම්මලා උන්ට කසාද හොයන වෙලේ ඌ ඇවිත් අපි එක්ක සෙල්ලං කරනවා එච්චරයි. තමුසෙට මොකෝ එකපාරට ම මගේ යාලුවෝ ගැන සත්තකරුණාවක් ආවේ...?

අනේ යනව ඕයි යන්න.., සත්තකරුණාවට වැඩේමයි.
"මලසමයං, මටනං පේන්න බෑ ඕකව."
ඈ ගස්සගෙන කාමරයට ගියේ තවත් මොනවදෝ මුමුණමිනි. නෑකමට නැන්දා වෙන භාශනයට අක්කාවෙන සහෝදරියක සිටීමේදී මොනතරම් ප්‍රවේසම් විය යුතුද යන්න ට මීට වඩා උපහැරණ අවැසිනැත. යමක් වහරන විටදී සැලකිලිමත් විය යුතු ය.

වල් බොන්ඩී තෝ එක එකාට ලියුං කරදහි ලියන්න ගන්න වග දන්න ව නං මම තෝව ඉස්කෝලෙකට වත් අරින්නේ නෑ බොල.
මීටවඩා හොඳයි මම මීදෙනක් හදාගත්තානං. මේ වෙනකොට තුං මුරයක් පැටවු ගහලා කිරිත් ගන්නවා.

අත්තම්මා මේ තරං පරල වී සිටිනු කවදාවත් දැක නැත. මගේ කන අසල පිපිරූ හෙණයක් මෙන් මේ ගෝසාව මට ඇසෙන්නට විය. මම කාමරයෙන් හිස යොමා බැලූ කල දකින්නට ලැබුනේ.., එක අතක මිටිකරගත් ලියුමකුත් අනෙක් අතින් නිරූ අක්කා දෙසට උලුක් කරගත් ඉලපොතත් සමඟින් සුදු අත්තම්මා කෑ මොර දෙන විට අනෙක් පස හිටියේ අවුල් වූ කෙස්සෙන් යුතු වූ නිරූ අක්කා ය.

අම්ම දන්නේ නෑ. මම එයාට මොනතරං කැමතිද කියලා. මම එයා වෙනුවෙං ජීවිතේ උනත් දෙන්න ලැහැත්තියි.

අම්ම හිතාන ඉන්නේ මම කාට ලියුං ලිව්වැයි කියලය..?

මට මොකා උනත් පලක් නෑ බොල උඹලා මෙහෙම වැඩ කටයුතු කොරද්දී අපි කොහොමැයි රට්ටුන්ට මුහුණ දෙන්නේ..?
හා කියහං බලන්න උබ ඔය ලියුං කරදහිය ලිව්වේ කාටද කියලා..?

ජෝන් මුදලාලිගේ පුතා පියසිරි ට...!

නිරූ අක්කා පැවසුවේ බිම බලා ගෙන ය.

මොනවා හපෝයි.., ම.. මගේ...ඔලුව..!!!!

ක්ලාන්ත වූ සුදු ආත්තම්මාව මම වත්තම් කරගත්තේ ආයාසයෙනි.


 

Comments

  1. ලස්සනයි ලිෂෝ...
    සුදු ආත්තම්මා බය උනේ ඇයි කියලා, මට හිතා ගන්න පුළුවනි.. අයියෝ...

    ReplyDelete
  2. හික්ස්...
    නියමයි..
    මටත් ඉන්නවා සුදු අම්මා කෙනෙක්.
    හරිම කටකාරයි...

    /බිඟුවා...!

    ReplyDelete
  3. වචන පන්සීයක් විතර දිගට ඔහේ වලියක් ගැන දොඩෝලා අන්තිම පේළි දෙකෙන් කතාව හැරෙව්වා නේද කොල්ලෝ... නියමයි ආ.....!!

    ReplyDelete
  4. දැන් මොකද කරන්නෙ මේක බේරන්න

    ReplyDelete
  5. හිනාවෙලා පන යනවා.....
    රඟපෑම ඉදිරියේ යථාර්තය රජවෙද්දි

    ReplyDelete
  6. //වල් බොන්ඩී තෝ එක එකාට ලියුං කරදහි ලියන්න ගන්න වග දන්න ව නං මම තෝව ඉස්කෝලෙකට වත් අරින්නේ නෑ බොල.
    මීටවඩා හොඳයි මම මීදෙනක් හදාගත්තානං. මේ වෙනකොට තුං මුරයක් පැටවු ගහලා කිරිත් ගන්නවා. //

    කීමට වචන නැත

    ReplyDelete

Post a Comment