පවතින ක්‍රමයේ වැරැද්ද

"ජනපතිවරණය ට ඇත්තේ දින කිහිපයකි. ආණ්ඩුපක්ෂය මෙන්ම විපක්ෂය ද සුපුරුදු පරිදි මඩ ගසාගනිමින් සිටිති. ඡන්දය දවසට ඉතුරු වන්නේ ගොමරිටි දෙකක් උවත් මේ බව නොදත් සුවච පාක්ෂිකයෝ ගෙයින් ගෙට ගොස් මනාප හිඟති."

විශ්‍රාමික මහැදුරුතුමෙකු වූ මගේ අප්පච්චී විකල්ප පත්තරයකට ලියන්නට ගෙන අතරමඟ නවතා ලූ මේ පත්‍රිකා කැබැල්ල දකින මගේ ඇඟේ ලේ රත්වෙන්නට පටන් ගන්නේ නොදැනුවත්ව ම ය.

"ඇයි මිනිස්සු මේ වගේ දේශපාලනී කරණය වෙලා තියෙන්නේ...?"

මම මගේ හිතටම තට්ටුකරගෙන නිතොර ම අසා ගන්නා සරිලන පිළිතුරක් මට තවමත් ලැබී නැතිවා මෙන් ම මේ ගැටලුව ඉදිරිපත් කරන්න ට සුදුසු මානසිකත්වය පවතින මනුස්ස්යෙකුද තවමත් මට මුණ නොගැසුනු බැවින් මම මගේ ප්‍රෂ්ණය හිත ලාගෙන සිටිමි. අවංකව ම කියනව නම් මම දන්නා හඳුනන මේ පිළිබඳව විචික්ෂණ බුද්ධියක් තිබෙන එක අයෙකු මට මේ දැන් වුවත් හඳුනා ගන්නට පිළිවණ. ඒ මගේ අප්පච්චී ය. තවමත් අතේ තියාගෙන සිටින පත්‍රිකාව හිත බල කරන්නේ අප්පච්චී ගෙන් මේ ගැන විමසා සිටින ලෙසය. එහෙත් මේ ගැන කිසිත් නොදත් අප්පච්චී සුපුරුදු පරිදි බුදුන් වඳින්නට ප්‍රථමයෙන් මිදුල අමදිමින් සිටියි. අප ඉපදින්නටත් ප්‍රථමයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන දිනවල සමසමාජ මානසිකත්වය ක සිටි ඔහු තම ආචාර්ය උපාධිය නිමකිරීමෙන් පසු දේශපාලනය කරන්නට අවතීර්ණ වුවත් ඒ අවස්ථාවේදී ඔහු විශ්වාසය තැබුවේ විවෘත ආර්ථිකය මෙරට ට හඳුන්වාදුන් පක්ෂය වෙතය. වයස් ගතවන විට මගේ හිතට ආ සිතුවිල්ල නම් විවාහයෙන් පසුව වගකීම් හා යුතුකම ඔහුවටා එක් රැස් වන විට සමසමාජ මතිමතාන්තර පසුකර මනසවටා මුදල් පසුබිම්කරගත් ගැටලු රොද බඳින්නට වීම දැයි මට නිතර සිතෙයි. එහෙත් මෙතුවක්කාලයක් හරිතයට පෙම් බැඳි ඔහු හිටි වනම විකල්ප පත්තරේක ට මධ්‍යස්ත මතධාරියෙකු ලෙස ලිපි යවන්නට පෙළඹවෙන්නේ ඇයිදැයි මට ගැටලුවක් විය. අවසානයේ මම අප්පච්චී ගෙන් මේ ගැන අසන්නට ඉටා ගත්තෙමි.

ටක් ටක් ටක්...!

කවුදෝ දොරට ගසනු ඇසී කියවමින් සිටි පත්තරය පසෙකින් තබා උපැස් යුවල අතට ගත් මම සාලය පසුකර දොර අසලට යනවිටත් අප්පච්චී පමිණි පිරිස හා කතාවට වැටී අවසානය.

ලොකු මහත්තයා නන්දන මහත්තයා ඉන්නවද දන්නෑ. අපි මේ සහෝදරයෝ පිරිසක් එක්ක ආවේ මේ ළඟ එන ඡන්දෙන් අපේ අපේක්ෂක තුමා ව දිනවන්න කියලා යන්න.

මේ ළමයි ඈඳිගත්ත නං.
අපේ පුතානං ගෙදර නෑ. කමක් නෑ කියන්නටකෝ බලන්න මේ ළමයි ගේ උවමනාව මොකද්ද කියලා.
හැකියාවක් තියෙනවා නං මටත් පුලුවනි තම පමණින් උදව්වක් කොරන්න.

ලොකු මතත්තයා අපි මේ ආවේ මේ පවතින සමාජ ක්‍රමය තුලදී අපේ රට තුල අද ඇතිවෙලා තිබෙන මේ සූරකෑම මේ බඩවඩා ගැනීමේ දේශපාලනය වෙනස් කරල යහ පාලනයක් ඇති කරන රට දිනන මඟ ගැන පහදා දීල අපේ අපේක්ෂක තුමාව දිනවන කියලා ඔබතුමන් ලා වගේ ගමේ ඉන්න ප්‍රභූවරුන් ව දැනුවත් කරන්න.

පිරිස අතුරින් යටි රැවුල හා උඩුරැවුල පමණක් යහමින් වඩාගත් තරුණයෙකු ඉදිරියට පැමිණ පැවසීය. වාමාංශික දේශපාලනය ආත්මගතව කරන්නෙකුගේ ස්වරූපයට සමානව සැරසුනු ඔහුගේ අතේ මැතිවරණ පත්‍රිකා මිටියකි.

ඔය අතේ මොනවද ළමයෝ කොල මිටියක් තියෙන්නේ.

අප්පච්චී අසන්නේද උවමනාවක් නැතු ප්‍රශ්ණ ම ය. කෙලින්ම මාව හමුවුනා නම් මෙලහකටත් මාව හමුවන්නට ආ ඔවුන්ව පිටත්කර යවා අවසන් ය.

අපේ අප්පච්චී ගම කනවා අප්පා. ශිහ් මම හිටියේ නෑනේ එලියේ.

තනිවම හිතට බැනගත්තත්  අප්පච්චී මේ කරන්නට යන්නේ කුමක්දැයි මට අදහසක් නොතිබුණු බැවින් මම දොර රෙද්ද අභියසට වී අසාගෙන සිටින්නට තීරණය කලෙමි.

මූලිකවම ලොකු මහත්තයා අපි මේ ව්‍යාපෘතිය තුලින් ඉලක්ක වෙන්නේ නිර්ධන පංතියේ කම්කරුවාගේ පටන් අහස උසට මන්දිර අටවගෙන ඉන්න ධනවතා දක්වා මේ වික්ටෝරියානු ආදායම් ලැබීමේ ක්‍රියාපටිපාටිය වෙනස් කරන්න.

පත්‍රිකා මිටිය අතින් ගත් තරුණයා කතාව පටන්ගත්තේ ය.

මොකද මේ පවතින ක්‍රමය වෙන කලෙ නැත්නං අපේ දරුවන් ට වෙන්නේ ධන්වතුන්ගේ අතකොලුවක් වෙන්න. ලොකුමහත්තයා නියෝජනය කරන මධ්‍යම පන්තියත්, මම ඇතුලු මේ අපේ සහෝදර පිරිසෙන් වැඩිහරියක් ජීවත් වෙන නිර්ධන පන්තියත් යන මේ දෙකම පාගාගෙන අපේ ශ්‍රමය සූරාකන මේ ධනවාදී යකඩ සපත්තුව ගෙදර යවන්න යි අපි මේ නියෝජනය කරන කණ්ඩාවයේ මූලිකම බලාපොරොත්තුව වෙලා තියෙන්නේ.

නිකමට හිතන්න ඔබතුමා අද ඇයි මේ වගේ තමන්ගේ ජීවිතේ අවසාන කාලය මේ වගේ කිසිම වැඩක් කරන්න ට හැකියාවක් නැතුව ගෙවන්නට වෙලා තියෙන්නේ..?
පවතින ක්‍රමයේ වැරැද්ද මහත්තයා පවතින ක්‍රමයේ වැරැද්ද.

අනික අපි ගංගොඩ ආසේන් එන කොට දැක්ක ඔබතුමාගේ සහෝදරයාට අයිති ඉඩම් බොහොමයක් ම වල් බිහිවෙලා තිඑනවා මේ කට හේතුව මහත්තයා මහත්තයද ..? නෑ....!
පවතින ක්‍රමයේ වැරැද්ද මහත්තයා පවතින ක්‍රමයේ වැරැද්ද.

දැන් බලන්න අක්කර පහේ කෑල්ලේ හදන්න යන ගෙදර විසාලත්වේ. මහත්තයාල ඉන්න මේ ගෙදරට වඩා හතරපස් ගුණයක් විතර විසාලයි.හිතන්න, මහත්තයාලට නැති වෙන්නත්ත් ඒ ගේ හදන ගොය්යට තියෙන්නත් හේතුව මොකද්ද මහත්තයා...?
පවතින ක්‍රමයේ වැරැද්ද මහත්තයා පවතින ක්‍රමයේ වැරැද්ද.

ඒක නිසා අපි මේ ගෙදරින් මේ පවතින ක්‍රමයවෙනස් කරන්න ඔබතුමාගෙන් පුංචිම පුංචි මූල්‍යමය ආධාරයක් බලාපොරොත්තු වෙනවා.

කියන දේට සංවේදී වෙමින් අපේ අප්පච්චී තවමත් දෑස වසාගෙන ධ්‍යානයක ට සමවැදුනා මෙනි.

ලොකුමහත්තයා.............?

අහ් මම මේ ළමයි කියපු දේවල් ගැන මම මේ පොඩි කල්පනාවක යෙදිලා හිටියේ. ඔය ළමයි කියපු දේවල් එක්ක අපේ ජීවිත ගැන කල්පනා කරල බැලුවා ම  ඔය ළමයි කියපු දේ කිසිම වැරැද්දක් නෑ. කොහොමත් මේ වගේ සමාජ ශෝදනයක ට ලක ලෑස්තිවෙලා තියෙන හින්දා මම මේ ළමයින් ගෙන මේ පිළිබඳව වැඩිහුර විස්තර දැන ගන්නත් එක්කම පොඩි ප්‍රෂ්ණයක් අහන්න හිතුවා. කමක් නෑ නේද..?

කිසි ගැටලුවක් නෑ මහත්තයා අහන්න. අපි ඉන්නේ ඔබ තුමන්ලා වගෙ අයට උපදේශනය හරහා උදවු කරන්න. අහන්න...?

මේකයි..,

අප්පච්චී තම ගැටලුව අහන්නට පටන් ගත්තේ ය.

ඔය ළමයි හිතන විදියට විශ්‍රාම ගිහිල්ලා අවුරුදු 4ක් ගත්වෙලත් විශ්‍රාම පඩිය ලැබුනේ නැති කෙනෙක් විදියට, වසර 30ක් පුරාවට ම නොමිලයේ දරුවන් ට සිංහල පංති පවත්වන දුප්පත් ගුරෙක් විදියට.., අද මේ වෙලාවේ ඔය ළමයි මේ ඇවිල්ලා ආධාර මුදලක් දෙන්න වත් වත්කමක් නැති නාකි මනුස්සයෙක් වෙන්නට තරම් තත්ත්වෙකට පත්වෙන්නට ඔය ළමයි හිතන විදියට හේතුව මොකක් වෙන්න බැරිද...?

එකිනෙකාගේ මුහුණට මුහුණ බලාගත් පාක්ෂිකයන් පිරිස එය ඔවුන් නොදන්නේ යැයි පැවසුවේ අප්පච්චිගෙන් පිළිතුර බලා පොරොත්තුවෙනි.

පවතින ක්‍රමයේ වැරැද්ද ළමයිනේ පවතින ක්‍රමයේ වැරැද්ද. ඔය ක්‍රමය වෙනස් වෙන තුරා මට ඔය ළමයින් ට ආධාරයක් වත් දෙන්න වෙන්නේ නෑ. ඉස්සෙල්ල අපි මේ තියෙන ක්‍රමය ට අනුගතවෙලා මුලින් ඒක හදාරමු. පස්සේ පවතින ක්‍රමය වෙස් කරන්න බලමු නේද ළමයිනේ...?

අ..අපි එහෙනම් ගිහිල්ල එන්නම් ලොකු මහත්තයා.

හා හොඳයි දෙවියන්ගේ ම පිහිටයි.

මා එළියට යනවිටත් පිරිස ගේට්ටුවෙන් එළියට යමින් සිටියේ නිසොල්මනේ ය. අප්පච්චී තවමත් නිසොල්මනේ කවිච්චිය උඩට වී වාමාංශික තරුණයා විසින් ලබා දෙන ලද පත්‍රිකාව කියවමින් සිටියේ මුවේ රැඳුනු සිහින් සිනහාවෙන් යුතුව ය.

Comments

  1. අප හුගක් වෙලාවට එල්බීගෙන සිටින මිථ්‍යවත් එය යථාර්තයක් කර ගැනීමට කරන හුදෙක් න්‍යායවාදී වන අරගලයන් තුළට ඇත්තටම එබී බලන්නට යොමු කරවන කතාවක්.

    මේ ඔබේ අප්පච්චී පිළිබද සැබෑ කතාවක් ද නැතහොත් උපදේශාත්මක නිර්මාණයක් ද කියා මා දන්නේ නැත.

    එහෙත් ඒ අප්පච්චි ඔබේ නම් මේ කතාව සත්‍යනම් ඔබට ඔබ ගැන ආඩම්බර විය හැකිය.

    ඒ ලෝකය දෙස විවෘත මනසකින් බැලිය හැකි දෘෂ්ටියක් ඔබේ අප්පච්චිට තිබෙන නිසාවෙනි.

    මගේ පියා නිසාවෙන් මට ලැබුණු දායාදයත් ඔබට ඔබේ පියා නිසා ලැබී ඇති බව සිතමි.

    Thejan Rathnayake

    http://lankanthoughts.blogspot.com

    ReplyDelete
  2. හැක් හැක් හැක්....
    හැක් හැක් හැක්....
    හෙට කතා කරාම, මේක ගැන හිතුනු දේ කියන්නම්කෝ..

    ReplyDelete
  3. හරිත, රක්ත මෙන්ම නීල වරණවාදයෙන් යුතු අයට මෙය අගනේමැයි නොවෙයිද?


    පතින ක්‍රමයන්ට අනුගත වී හදාරන ඒක වැදගත් වුවත් එහී වෙනසක් කළ යුතු නම් එහි වැරදි තිබෙයි නම් එය වෙනස් කරන්නට නව අපේක්ෂයෙක් පත් කිරීම විසිළුවකි, අවසානයේ පවතින ක්‍රමයත් නැති ක්‍රමයත් ඇති විය හැකිය. නමුත් අනුගත වීමත් එක්කම ඒ ඒ ක්‍රමයේ දොස් හා අඩුපාඩු පෙන්වමින් විරැද්ධ විය යුත්තේය. නමුත් අපේ රටේ වන්නේ මේ ක්‍රමවාදය පාට වලින් බෙදමින්ද එකිනෙකාට දොස් කීමයි. ඒ අනුව අනිත් ක්‍රමය හෙවත් අනිත් පක්ෂය හොඳ දෙයක් කිරීමේදී ඊට වැරදි කීම (එහි හොඳ පැති තිබුණත් වැරද්ද පෙන්වා දීම හා හදා ගන්නට පෙළඹවීම වෙනුවට මඩ ආකාරයේ වීම මෙහි ගැටලුවයි) හා දේශපාලනීකවාදය (ජාතිවාදය, කුලවාදය හා පන්තිවාදයට අමතරව) ඔලුවේ මානයෙන් යුතුව තබා ගැනීමයි.

    ලංකාවේ ගැටලුවේ එක් සුළු පැත්තක් විතරයි මේක.


    මට තේජන්ට මෙන් දයාදමය ලෙසින් ලැබුණ දෙයක් නැත, මගේ පියා හරිත වන අතර කුඩා කාලයේ එයට කැමති වුණත් පසුකාලීනව අත්දැකීම් හා දැනුමත් එක්ක වෙනස් වී අදට මට 'ශ්‍රි ලංකාව' නම් පොදු පක්ෂය හැරෙන්නට දේශපාලන පක්ෂයක් නැත. රට වෙනුවෙන් කියා කිසිදු අපේක්ෂයෙකුට ජන්ද ඉල්වන්නේ හෝ සහයෝගය පළ කරන්නේද නැත.

    ReplyDelete
  4. http://www.rabble.ca/news/2010/01/sri-lanka-battle-presidency

    ReplyDelete

Post a Comment