විලාසිනියක ගේ ලෝකය

/
10 Comments

නියොන් ආලෝක කිරණ වැදී නිලංකාර වූ දෑස අභියස නැලවෙන රූප දැක්කත් උන් හා එකතු වෙන්නට මට සිහියක් තිබුණාදැයි මට මතකයක් නැත. ෂැම්පේන්, වොඩ්කා හා මිතුදම් ගොඩනඟන්නට ගිය මට මිතුදම අගය කරන්නට ඉතුරු වූයේ හිස් බෝතල් කිහිපයක් පමණ ය. නිතරම එන හිසරදය හා වමනය අතර මම හිරවීම මට දැනෙන්නට වූයේ මරණය හා උප්පත්තිය අතර හිරවූ ගන්දබ්බයෙක් වැනි සංවේදනයෙකි...! 
හිස ඔසවන්නට තැත් කරත් ම එය එසවුනත් ඒ මගේ ස්ව උත්සාහයෙන් නොවන වග මට එක වරම වැටහිණ. ඒත් සමගම මා සිරුර ඉහලට එසවුනත් මට කරකියා ගන්නට මඟක් නොවූයේ මාගේ සිරුර හතර දෙනෙකුගේ දෑත් මත වූ නිසා ය. අඳුරු තැනක සිට එකවරම එළිලන තැනෙක ට මාව පතිත විය..., දෙහි සුවඳැති යමක් මා හිස ගෑවෙත් ම සියලුම දේ වියකී මට පෙනෙන්න ට වූයේ ගණ අන්ධකාරයයි.
ඇස් හරිනවිට මා ඉදිරියෙහි වූ රුව බොඳවීම නැතිවෙන්න ටත් පෙර කතා කරන්න ට විය.

දැන් කොහොමද?

ඊයේ ටිකක් වැඩි වෙලා හිටියේ ඔයා ට.., මම පොඩ්ඩක් වෙන කස්ටමර් කෙනෙක් ගාවට ගිහින් එද්දී ඔයා බිම..

පස්සේ මම ඔයාව කාමරේට එක්ක ආවා.

ඇයි මෙහෙම තනියම එන්නේ යාලුවෙක්වත්  එක්ක ආවනං නේද හොඳ?

හඬ නම් හුරුපුරුදුය..., තවමත් ඊයේ රෑ වූදේ නිසා හිස කකියන්නට වී තිබිනි.

ඔ..ඔයා කවුද?

යුවතිය මඳහසක් නගන්නට විය.

ඇයි මතක නැද්ද.., ඊයේ රෑ ඔයා මගෙ උරිස්සට නේ ඔලුව තියාගෙන වෙන කෙල්ලෙක්ගේ නමක් කියාගෙන අඬන්න ගත්තේ..,

මම වික්ශිප්ත වීමි. මා ඇය ගැන නොසිතන්න ට ගෙන බොහෝ කලක් වුවත් මම බීමත් වූ පසු ඈ ගැන මතක් කරමින් හඬන බව දැනගත් පළමු අවස්ථාව විය. ආදරය අරුමසි ය. අප අවිඥ්ඥාණික ව සිටියද යටිහිත එය මතකයට නංවා ස්වයංක්‍රීය ව අපව හැඟුම්බර කරනායුර සිත් මවිතවන සුලු ය.

අද ඔෆිස්..,

යන්න බෑ මෙහෙම.., මොනවා හිතයිද අපෙ කට්ටිය.?

කවුරුවත් මොනවත් හිතුවට ඔයාට මොකද? තමන් හරියට වැඩක් කරනවා නම් එච්චරනේ..?


රාධිකා...? මේ මා හා කතා කරන්නේ පෙරදා රෑ..,මා හා වූ සබකෝලවත් ඇයද?

ඔයා..., ඔයා රාධිකා ද..?

මගෙ නම තරූ.., කස්ටමර් ලා ගාවදී අපි පාවිච්චි කරන්නේ රාධිකා කියලා...? එනිසා ඔව් මම රාධිකා තමයි...!

ඇය රූමත් ය. එහෙත් දිනපතා ගනුදෙනු කරුවන් සන්තර්පනය කරනවාට ලැබෙන මදුවිත දිනපතා තොලගෑම නිසා ඈ රුවෙහි වූ කෝමල රේඛා වියැකී යමින් තිබේ. තමදිවියේ විසිපස් වන කඩඉම පසුකරමින් සිටින ඇය ජීවත් වන්නේ කැරෝකි හල තුළ වූ කුඩා කාමරයකය. හිතතුල වූ දහසක් දේ සිනහවක් කර පිට කරන්නී, ඇතුළතින් අසංඛ්‍ය වාරයක් හඬා වැටෙන වග ඈ දෙස මඳ වේලාවක් බලා සිටින්නෙකුට හැඟීයයි .

ඔහොම ජීවිතේ හොඳම කාලේ විනාස කර ගන්න එපා. ඔයා දන්නවද? මට පුතෙක් ඉන්න වග. එයා ට දැන් වයස අවුරුදු හතයි. මට එයාව ලැබුනේ මට වයස දහ අටේදී විතර.., එයා ඉන්නෙ අම්මත් එක්ක කන්තලේ..,මම මෙහෙ ආවේ උසස් පෙළ කරන්න.

ඈ ප්‍රසිද්ධ බාලිකා විදුහලක නමක් කීවාය.

පස්සේ මම නැවතුනේ කොලේජ් එකේ හොස්ටල් එකේ. මම එයා එක්ක යාලු උනේ මෙහෙට ආපු අලුතම. මම දන්නේ නෑ මට මොනා උනාද කියලා.  පස්සේ මගේ ජීවිතේ උනේ එයා. මම එයාට මොනතරම් ආදරය කරා ද කිව්වොත් මම ඒලෙවල් වලට මාස ගානකට කලින් තම මට පුතාව හම්බවෙන්න ආවේ. මම මේ බව නිසල් ට කිව්වම එයා කිව්වෙ මගේ නිදහස මේ නිසා නැතිවෙනවා කියලා. එයාගේ නිදහසට අපේ පුතාව බදාවක් නිසා මට කිව්ව දරුවව නැතිකරගන්න කියලා. මම ගමට ගිහින් ආවේ පුතාව හම්බ උනාම. අම්මා තාම දන්නේ නෑ.., දරුව මගේ කියලා. මම කියලත් තියෙන්නේ මගේ යාලුවෙක් ගේ දරුවා.., එයා නැතිඋන නිසා මම හදා ගන්න ගත්තා කියලා. අදටත්  අම්මා දරුවව නඩත්තු කරන්නේ මම යවන සල්ලි වලින්…,

මම අසාසිටිමි. ඇය නොකියන එයා කවුදැයි අසන්න ට ද නොගියෙමි. ඈ.., කම්බි අතරින් පෙනෙන බේරේ වැවේ කොල පැහැති නිසල දියකඳ දෙස බලාගෙන ඔහේ කියවාගෙන යන්නී ය.

ඊට පස්සේ තමා මම මෙතෙන්ට වැඩට ආවේ.... මම තමා මෙතන ඉන්න පරණම කෙනා. පිටරටවල අපි වගේ අයට stripper ලා කිව්වට මට හිතෙන්නේ මේකත් එක්තරා රස්සාවක් කියලා. මොකද මේකෙන් කරන දේමයි ඔයාලා පුටුවක් ඉඳගෙන එළියේ ඉන්න අයගෙන් ගරුබුහුමන් ලබමින් කරන්නෙත් .

එක අහිමි වීමක් තුල මගේ ජීවිතයේ ඇතුලත ගන්ධබ්බයෙක් වූ මම.., අහිමිවීම ගොන්නක් හා තනිවී සිටින තවත් මා වැනිම කෙනෙකුට මුහුණලා සිටිමි. ඒ හමුවීම නියොන් ලයිට් යට දී අඩ සිහියෙන් රාගය සලමින් කරන රොමැන්තික හමුවීම් වලට වඩා යථාර්තවාදී ය.

කියන්න.., ඔයත් මේවා අස්සේ රෑට කරක්ගහන්නේ මම වගේ ඔයාගෙත් නැතිවෙච්චි ජීවිතය හොයන්නද...? ඒත් මම හිතන්නේ නෑ මහත්තයා ඒක මෙහෙදී හමුවෙයි කියලා. හයියෝ මම මේ මොනවද කියවන්නේ නේද...? මිහිහෙකුට වැඩිවෙන එක ඒ තරම් දෙයක් යෑ.., ඉන්න ඔයාට යන්නත් පරක්කුවෙනව නේ මම තේකක් හදල දෙන්නං..,

මම නිහඬව ම ඈ පිළිගැන්වූ කිරිකහට කෝප්පය අතට ගතිමි.

සමහරක් වෙලාවට මට හිතෙනවා. මහණ වෙන්නත් එහෙම උනොත් මගේ දරුවා නඩත්තු කරන්නේ කවුද...? ඒ අහිංසකයටයි මගේ අම්මටයි කන්න දෙන්නේ කවුද..? අපි හැමදාම ලස්සනට ඇඳලා dancefloor  එකේ නැටුවට අපේ ජීවිත හරිම කුණු ගොඩවල්. ඒත් මෙහෙට එන අය හිතන්නේ අපේ ආතල් එක මිනිස්සු එක්ක ආතල් අරන් උන් එක්ක නිදිවදින එක කියලා.

බීල ඉවරනම් දෙන්න කෝප්පේ.., දැන් වෙලාව එකොළහට විතර ඇති.., පුලුවනි නම් යන්න ඔෆිස් එකට. එහෙම යන්න බැරිනම් ගෙදර යන්න. අද එහෙම සෙට් වෙන්න එපා තනියම.

මට උපදෙස් දෙන්නී ය.

අහ් මට අහන්නත් බැරි උනා කවුද අර ඔයා මගෙ උරිස්සට ඔලුවතියාගෙන අඬ අඬා කියපු කෙල්ල..? ඔයාගේ ගෑනුළමයද?

මම සුසුම් ලෑවෙමි..,
කමක් නෑ කියන්න උවමනාවක් නෑ. ඊයේ රෑ මට ඔයා මුලු කතාවම කිව්ව, නම ඇරෙන්න. මට නම ඇරෙන්න. මම ඒකයි ඔයාව මගේ කාමරේට් එක්ක ගෙන ඇවිත් මගේ කතාව දැන් ඔයාට කිව්වෙ.., මට වඩා ඔයා වැඩිමල් වෙන්න පුලුවන් අවුරුද්දක් හරි දෙකක් හරි. ඒත් මහත්තයා  මට උන දේත් එක්ක ඔයාටවෙලා තියෙනදේ ගන පොඩ්ඩක් නිවාඩු පාඩු වෙලාවක හිතල බලන්න. මම වගේ ජීවිතේ මේවට දියකරන්න එපා..

මම එන්නට පිටත් උනෙමි. කැරෝකේ හලෙන් පිටතට ආවද මගේ හිත තිබුනේ රාධිකා සමඟ ය. එක ජීවිතයක ගලායාම අසා මගේ ජීවිතය ඒ ඇසුරින් සාධාරණීකරණය කරන්න ට උවමනාවක් නැතත්.., තවත් එක තුන්කල් අහිමි වූ තරුණ ජීවිතයක්ය යන හැඟීම මාතුල හදවත් පහුරු ගාමින් වද දෙන්න ට විය..

පාවෙන මනෝභාවයන් හා සිරුර වසා ගත් කල කිරීම පපුතුරේ හිරකරගෙන මම සතියගෙවා දැම්මේ වසරක් ගෙවනවා හා සමානව ය. සිකුරාදා වැඩ අවසන් වූ වහාම මම කැරෝකිහල වෙන ගොඩවැදුනෙමි.

කෝ රාධිකා...?

එයාව අස්කරා අපේ ලොකු සර්.., කැෂියර් එකේ තිබ්බ රුපියල් පහළොස්දාහක් නැතිවෙලා හොයනකොට එයාගේ පර්ස් එකේ තිබ්බ නිසා. අපේ බවුන්සර්ස්ලා එයාට ගහලා පොලීසියට බාර දුන්නා.  අහලා බලනකොට රාධිකා කිව්වා එයගේ පුතාව ඉස්පිරිතාලේ නවත්තලා ලු. දරුවගේ චෙකප් වල ට වියදම් කරන්න කියලා. කෙල්ල හරියට ඇඬුවා අස්කරන්න එපා කියලත්.., වෙන යන්න තැනක් නැති නිසා.

සහසක් දනන් සිත් සුව සදද්දී ඈ සිත සනසන්න ට ඈ කෙරේ තම සිත් සතපවා ගත් කිසිවෙකුට නොහැකිවිය...!

මම ආපසු හැරුනෙමි.
ඇයව මේ තත්ත්වය ට පත් කල මාද ඇතුලු මේ පවිටු සමාජය ගැන කිවනොහැකි තරම් වේදනාවක් හා කළකිරීමක් මා තුළ විය..!



You may also like

10 comments:

  1. මේකම නොවුණත් මේ වගේම දෙයක් මගේ හිතට බොහොම් මෑත කාලයක ආවා, ඒත් මේකේ විශේෂත්වය තමා කතාවේ අවසානයේදී ධනේචශ්ර තැබෑරුම් අයිතිකරුගේ ගල් හිතත් ඇයගේ අසරණත්වයත් එක්ක ජේදනය කිරිමයි.

    හැමදාමත් වගේ අතිවිශ්ඨයි!!!

    ReplyDelete
  2. අපූරුයි..
    ඇයි ඉතින් හොරකම් කරන්නේ??? ඒක වැරදියිනේ කොහොම උනත්..
    සල්ලි නැත්නම් ඇත්ත කියලා ඉල්ලා ගන්න තිබ්බනේ...

    පව් තමා.. ඒත් මොනවා කරන්නද?
    රාධිකා ගේ අතෙත් වැරදි තියෙනවා නේද? සමාජේ වැරැද්දක්මමත්ම නෙමෙයි..
    තැබෑරුමේ අයිතිකාරයාට වැරැද්දක් කියන්න බෑ..

    ReplyDelete
  3. මට කමෙන්ට් කරන හැටි දන්නෙ නෑ බං, එක්කො ඒකටත් මට කම්මැලි ඇති. ඒත් මම මේක මම වින්ද. උපරිමයටම වින්ද.
    ජය!

    ReplyDelete
  4. අදයි මම මේ බ්ලොග් එක දැක්කේ.. ඔක්කොම පොස්ට්ස් කියවනවා වීකෙන්ඩ් එකේ..

    කතාව හොදට ලියලා තියෙනවා... නියමයි..

    සයිට් එක කොත්තු එකේ නෑ නෙද? ඒකටත් දාන්න..

    ජය!

    ReplyDelete
  5. නියමයි ලිශ් . . . රාධිකා දොඩමළු වෙන්න කලින් පාපොච්චාරනය කරන්න කලින් තව පොඩ්ඩක් එයා එක්ක මිතුරු වෙන හැටි කිව්ව නම් වැඩිය හොඳයි කියලයි මට හිතුනේ

    ReplyDelete
  6. මතකයේ තිබුනේ මේකට කොමෙන්ට් කලා කියලයි. ඒත් මේකෙ නෑනේ.

    මේ වගේ අය කොයි තරම් නම් ඉන්නවද මේ වගේ ප්‍රස්නවලට මුහුන දෙනවද කියලා අපිට හිතාගන්නත් බැරි තරම්. ඒත් අවාසනාවකට ඒ වගේ අය ඕනෙ තරම් ඉන්නවා.
    මේක fiction මද කියලා හිතාගන්න බැරි තරමට ඔබ අපිව දුර ගෙනිහින්...අවසානය එයිට වඩා වෙනස් උනා නම් කියල නොහිතුනාමත් නොවෙයි.

    ReplyDelete
  7. උපරිමයි!

    එච්චරයි ඉතින් මේ පොඩි එකාට කියන්න පුලුවන්... :)

    ReplyDelete
  8. එක ලස්සන වචනයක් - මගේ හිත පැහැර ගත්ත - "කෝමල රේඛා"...!!!

    එතෙන්ට ගොඩ වුණු නිසා ලේඛකයා අත්වින්ද වේදනාවයි කලකිරීමයි දැනෙන්නෙම නැතිව ගියා...

    "ආල නුරාවෙන් බැඳි රන් රේඛා - ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා"

    ජය!

    ReplyDelete
  9. ලස්සනයි කතාව

    ReplyDelete