බටනලාව

රාස්සගල කන්ද නගින්නට සිතමින් මම විහාරයෙන් පහලට බැස්සෙමි. එවිටම හෝව් හොව් කියමින් නන්දසීල පොඩි නම මා පසුපස දුව ආවේ මගේ බටනලාව අතැතිව ය. සිත එක වරම ගැස්සී ගියද, පරණ සංසුන් බව පෙන්වන්න ට මගේ මුහුණේ මස්පිඩු උත්සහ කලත් හිස මැද්දෑවෙන් මතුවූ දාඩිය බිංදුව නළල දිගේ ගෙල ට බසිනු මට දැනෙන ට විය. සසුන ට පත් වී දැනට වසර හතරක් ගතවුවත් මසකට දෙවරක් වත් රාස්සගලට නැඟ හිතේ හැටියට බට නලාව පිඹීම මට ගෙන ආවේ නිවනට වඩා සුවය කි.
මම සිහිය එළවා ගතිමි..,

මොකද පොඩිනම මේ හතිදාගෙන..., සිල්වත් නමක් දුවනවාද මේ විදියට හ්ම්ම්...?

ඒ වනවිටත් පොඩිනම පඩිගැටයට වී හති ඇර අවසානය..,

පන්සලේ මල් අසුන  උඩ තිබිල මට මේ බට නලාව හම්බ උනා.., මම මේ ආවේ ඒක ඔබවහන්සේගෙද කියලා අහන්න.

චීවරේ ඉන්න අපට නච්ච ගීත වාදිත අකැපයි පොඩිනම. මේක දැන් ඩිංගදොහකට කලියෙන් බෝමලු මිදුල ඇමදපු සේපාලිකා සහෝදරී ගේද දන්නෙ නෑ...? කෝකටත් මට දෙන්ට.., ඕක ඔබ වහන්සේගේ ළඟ තිබීම භයානකයි.., ලොකු හාමුදුරුවො දැක්කොත් සැක හිතන්ට ඉඩ තියෙනවා..,

කියූ සැණින් බට නලාව මගේ අතට පත් වීම, ගෙන දුන්නේ හිතට අමා සැනසිල්ලක් වුවත් කෝටියක් සිල් රකින චීවරයක්ට වී මේ ගත කරන දෙබිඩි ජීවිතය මට ගෙනදුන්නේ අපුලකි. කරන්නට කිසිම දෙයක් නැත.., ඇත්තේ හතර කේන්දරය පාලු වූ කරුමෙට ජීවිතෙන් වන්දි ගෙවීම ය.

ඉතින් මේ ඔබ වහන්සේ මේ කොහෙද යන්න තනන්නේ...?

රාස්සගලට...?

මමත් එන්න දෑ...?

එපා අද ලොකු හාමුදුරුවො විනය පිටකය වනපොත් කරන්න කීව නේද..? එතකොට ඒකට මොකද වෙන්නේ..?

හ්ම් කොරඤ්ඤංකෝ ඉතිං..

බිම බලාගත් පොඩි නම වරක් මාදෙස බලා විහාරය දෙසට ගාටන්න ටවිය. ලද සැණින් ඉතිරි ගල් පඩි හතර උඩින් පන්න මා හැරුනේ බණ මඩුවට විරුද්ධ අත වූ කැලෑ වත්ත දෙසට ය.

අම්මගේ බලවත් විරුද්ධත්වය මැද අප්පච්චීගේ තනි කැමැත්ත ට පවුලේ එකම දරුවා වූ මා ව ශාසනයට භාර කලේ මා හැමදා වෛර කරන අප්පච්චීගේ දඩබ්බරකම ය. කුඩාකල සිට ම සාහිත්‍ය ලෝලියෙකු වූ අම්ම ගේ එකම පැතුම වූයේ මා සංගීත ගුරුවරයෙකු වනවා දැකීම ය. කුඩා කල සිටම මගේ ඇසුරට වැටුනු සංගීත ප්‍රස්ථාර පොත්, ගී තැටි සියල්ල මා ජීවත් කලේ වෙනම ලොවක ය.
එහෙත් අවාසනාවක ට ඒ මා ශාසනය ට භාර කරන තුරු පමණය. මගේ බට නලාවෙන් වෙන්වීම මට දරාගත නොහැකි තරම් විය.

අනුරුද්ධ පොඩිනම ට මොකක් හරි හිතේ ගැහැටක් ද..? හරිම දුකෙන් ඉන්න හැඩයි

බණ මඩුව පිටුපස ගල්පොත්තට වී මා හඬනායුරු දැක මා අසලට වැඩි ලොකු හාමුදුරුවෝ කීවේ එසේය. දැඩි විනය මතධාරියෙකු වූ නායක හාමුදුරුවන් ට මා හඬන්නේ බටනලාවක් නැතිව කියා කෙසේ වදාරන්න ද..? කල හැකි එකම දේ මුණිවත රැකීමය.

රාස්සගල මුදුනට ආ විට අපේ විහාරයේ ඉහත්තාව පෙනෙන්නේ ගණිපෙට්ටියක් තරම ට කුඩාවටය.., සිත තුල අධිනිශ්චය වී ඇති දේ ඉන් ඈතට ගොස් පොඩියට දැකීමට මම කුඩා කල පටන් ම ආශා කලෙමි. ඒ පර්යාවලෝකනය නිසාම විහාරය නිසා ඇහිරුන මගේ මේ (උමතු?) ආශාව ඉටුකර ගැනීමට විහාරයට උඩින් ඇති රාස්සගල මට මහ මෙරක් තරම් විය.
මෙයට සති දෙකකට පෙර ගල අසුන මත තබා ගිය නිල් නෙලුම පරවී ගල් ලෑල්ලට ම ඇලී දිරායාමට ආසන්නව මට මුහුණලා තිබේ.., ජීවිතය මේ තරම අසාරද? දෙසතියකට පෙර රුවෙන් දිලුන මේ මල් පොඩිත්ත අද වනවිට දිරා පොලවට දූවිලි වීමට ආසන්න වී ඇත..,

හමා එන සුළඟට නටන සිවුර තුල රුවා ආ බට නලාව මට වද දෙන්නට වූයෙන් එළියට ගෙන පිඹින්නට පටන් ගතිමි.., අප්පච්චී ගේ දඩබ්බර කම ගැන වූ නොනිමෙන වෛරයත්, මාගැන වූ අප්‍රමාන්විත කලකිරීමත්, නෙලුම නිසා මා දුටු ජීවිතේ නිසාර බවත් කැටිකර මම බටනලාව පිඹින්නට ගතිමි.
හිත තුල වූ සොව නොලස ව විටවන්නට වූ නිසාම නලාවේ ස්වරයද ශෝකී විය. කඳුළු වෑස්සෙන්නට විය. හදවත දුකින් බරව තිබේ, පීඩනය අහස උසට ය.., කරකියා ගත හැකි දෙයක් නොවූ තැන වාදනය නැවතූ මා බටනලාව ගෙන අහසට දමා ගැසීමි.
බටනලාව හා මා අතර ඇති පරතර වැඩිවත්ම මා බලා පොරොත්තු වූයේ මා හදවතේ වූ වංක බව තවත් දෙගොඩ තලා යාමකි. පුදුමෙනුත් පුදුමය.., නිල් නෙලුම නිසා මා දුටු ජීවිතයේ නිස්සාර බව මා අත හැර යමින් තිබේ. කුඩා තිතක් වී ඈත කැලයට ඇද වැටුනු බටනලාව නිසා විහාරය ට, මට, ලොකු හාමුදුරුවන්ට, පොඩිනම ට, මොහොතකට හෝ චිත්තවංචා කාරයෙකු වූ මම ඒ පීඩනයෙන් මිදෙන්න ට විය.
මේ හේතු නිසා මාව ශාසනයට භාර කල අප්පච්චී ගැන මා තුල ඊළඟ විනාඩියේදී වූයේ භක්තියෙකි. ඒ මාගේ චිත්තව්‍යාධිය මොහාන්ධකාරය දුරුකර සත්‍යයේ මාර්ගය එළි කරන්න මඟ පෑදූ පුද්ගලයා වීම නිසා ය.

මම රාස්සගල මුදුනින් පහලට බසින්නට ගතිමි. ඒවන විටත් මා සොයමින් මා ඉදිරියට ආ පොඩිනම මා දැක දනියට බරදී  ඇඟ වාරුකර මෙසේ කියන්නට විය.

සේපාලිකා අක්කා කිව්ව බටනලාව එයාගේ තමා කියලා..

බටනලාවක් ඇතිකෙරූ දුර්සිත ගැන මට නැගුනේ අනුකම්පාවකි. නැගුණ සිනහව අව්‍යාජ විය. පොඩි නමගේ අතින් අල්ලාගත් මා පිය නගන්නට වූයේ විහාරය දෙසට ය.

ඒ වනවිටත් සේපාලිකා මඟ බලමින් උන්නේ ඇයට හිමිවන්නට යන බටනලාව ගැනීමේ අභිලාශයෙනි

Comments

  1. Nice story......
    He he... Sepalika will stay still waiting for the flute..

    ReplyDelete
  2. මේ කතාවේ අවස්ථා ගැලපීම හරි අපුරුයි, ඒ කිව්වේ මිනිසාගේ තුළ ඇති ආශා සීමා මායිම් නිසාවෙන් කෙනෙකු නැති කර ගනිද්දී තවත් සීමා මායිම් අඩු කෙනෙකු ඒ ආශා නිසාම බැදීමෙන් බලාගෙන ඉන්නවා... ඒ වගේ දෙයකුයි මට සිතුණේ. <3

    ReplyDelete
  3. හරි ම අපූරුයි ලිෂාන්!!!!

    ReplyDelete
  4. නියමයි ලිශ් . . ඇසට කඳුලක් ගෙනාපු ලියවිල්ලක්. . . මට එක පාරටම මතක් වුනේ පාසැල් යන කාලේ කියවපු "ආලෝකෝ උදපාදී" පොත. . . මේ සටහන මට ඒ පොත ආයේ පාරක් කොහෙන් හරි හොයාගෙන බලන්න හිතට බලකරනවා ලිශ් . . . එකල පුංචි එකෙක් වුනත් ඒ පොත මගේ හිත හිරිවැට්ටුවා එය මට මතක හැටියට හාමුදුරු නමක් තමාගේ හිත ගැන කරපු විවරණයක්. මේ සටහන හරිම සංවේදීයි ලිශ් . .

    ReplyDelete
  5. අපූරු කතාවක් මිත්‍රයා. මේක කියෙව්වම මට හිතුනෙ ජීවිතය චීවරයකින් වහන්න බෑ කියල.
    ජය!

    ReplyDelete
  6. simply best... no other words to describe it.

    ReplyDelete
  7. මොහොතින් මොහොත වෙනස් වෙවී යන සිත... ඒ අතරට සේපාලිකාගෙ සිත!
    ලස්සන දැක්මක්.

    ReplyDelete

Post a Comment