විනිර්මුක්ත

රෝස පැහැ කොල ගණනාවක කියන්නට යෙදුනු කවි.., අවට පාවෙමින් තිබුණ. ඒ පෘථිවි ගුරුත්ව බලය පරයා සඳේ ගුරුත්වය පෘථිවියේ තහවුරු වෙමින් පැවති කාලයයි, අධික බරැති දේ හැරෙන්නට අන් සියල්ලම පොළොවෙන් අඩි පහක් හයක් ඉහළින් ගුවනේ පාවෙමින් තිබුණි.., පේණුවට සම්බන්ධ කර තිබූ නමුදු පාවෙමින් පැවති ගුවන් විදුලියේ විකාශය වෙමින් තිබූ ප්‍රවෘත්ති තුලින් කියැවුනේ සඳ පෘථිවියට තව තවත් ආසන්න වුවහොත් සීමාවකින් තොරව සියල්ල අහසට ඇදීයනු ඇති බවයි..!
කල් ගතවන්නට විය.., පෑන් තුඩෙන් කොලයට ආලේප වන තීන්ත ඉර පවා බිංදු ලෙස අහසට ඇදෙන්නට විය.., ලේඛකයා සිය කවි ලියන්නට භාවිතා කලේ අධි බරැති යකඩ කඳන් වලින් තනන්නට යෙදුනු මේසයක අලවා ගත් ස්ටිකර් කොලයකි..! මේ වන විට ලොව යකඩ භාවිතය ඉතා ඉහල ගොසින් තිබීම නිසා බිල්ගේට්ස් පරදා ලක්ෂ්මි මිත්තල් ලොව අපරාජිත ධනවතා බවට පත්විය.
මයික්‍රෝසොෆ්ට් සමාගම තවදුරටත් සිය මෙහෙයුම් කටයුතු කරගන්නට නොහැකිව මයික්‍රෝ අයන් වර්ක්ස් නමින් නවමු යපස් ඉල්ලම් ගොඩලන සමාගමක් ලෙස සිය වෙස් පෙරළාගෙන තිබිණි. ලොව සියලු දේ යකඩ භාවිත කර තනන්නට විය. කෙතරම් යකඩ භාවිතය සිය ජීවන චක්‍ර තුලට ඇතුළු කරගත්තාද කිවහොත් මීට වසර 10කට පමණ පෙර සේලවලින් තැනු රෙදි, අයන්චැලෙන්ජර් නමින් යුතු ඇසට නොපෙනෙන යකඩ මුදු එකිනෙක වියා තනා ගත් හැම අතටම නැවිය හැකි සලු නිපදවන්නට විය. ආසන්න වශයෙන් ගවුමක බර කිලෝ 20 පමණ වූ අතර සරමක් අවම ලෙස කිලෝ 5කින් ගොඩදා ගත හැකි විය. පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන් ගේ සිරුරු වල හැඩය කායවර්ධන ක්‍රීඩකයින්ගේ ආකාරයක් ගෙන තිබිණ.  කෙමෙන් කෙමෙන් කාන්තාවන් වැඩි බර දරන්නට හැකිවන ලෙස උස්ව පුෂ්ටිමත්ව වැඩෙන්නට වූ අතර පිරිමින් ගේ සිරුරු ඊට සාපේක්ෂව කෝමලත්වයෙන් අගතැන්ව වැඩෙන්නට විය. උප්පත්තියෙන් කතුනට ගර්භාශයක් ස්වභාව ධර්මයෙන් ලැබීතිබූ නමුදු පිරිමින් සමඟ ලෝකාස්වාදනය පිළිසිඳෙන දරුවා පෝෂනය කිරීම පිරිමින්ට අයිති දෙයක් බවට පත්වන්නට විය.
ගමනා ගමනය පහසු විය, ගුරුත්වය ඌණ වීම කරණ කොට අඩියක් තබා තව අඩියක් තබන විට ඒ දෙක අතර දුර අඩි 30ක් පමණ විය.., යකඩ සලු පැලඳ ඈතින් අඩි තියමින් තුටින් ගමනේ යෙදෙන කතුන් හා දරුවන් නලවමින් යකඩ අඩි ඇති අධිබර සපත්තු පළඳාගෙන සීරුවට පාරේ ගමන් ගන්නා පිරිමින් හිඟ නොවීය.
බිරිඳ සිය වචනයට යටත්ව නොසිටීම නිසාවෙන් වඩ වඩා විරහා  ගී ස්ටිකර කොල වල ලියැවෙන්නට විය.., ඈ සවසට සේවයට ගොස් සිය මිතුරියන් හා අසල වන ජංගම තැබෑරුමට වැදී සකේ පානය කර යකඩ ගවුම් සුළඟේ පාකරමින් මහ හඬින් ගී ගයමින් උඩ පැන පැන එන ආකාරය ගැන ලේඛකයා තුල වූයේ පශ්චත්තාපයකි.
මෙලෙස දුරස්ථව පියවර කිහිපයකින් කිලෝමීටර ගණනක් ගමන් ගන්නට ඇති හැකියාව නිසා වාහන සමාගම් සිය නිශ්පාදන නවතා දමා වාහන තනන්නට ගන්නා උපකරණ භාවිත කර විවිධ විලාසිතාවේ යකඩ සපත්තු තනන්නට විය. ටොයෝටා, ජගුවර්, හමර් ආදී විවිධ නම් වලින් යුතු පාවහන් වෙළඳපොලට පැමිණෙන්නට වී. වාහනයක් නිපදවන්නට අවැසි යකඩ  වලට සාපේක්ෂව සපත්තුවකට අවැසි යකඩ පර්මාණ ඌණ වූ බැවින්.., සමාගම් වල නිශ්පාදන ධාරිතාවය ඉහළ ගොසින් ඉතිහාසයේ නොවූ විරූ ලාභ ලබන්නට විය.
වසර ගණනාවකින් පොළවට දියබිඳ නොවැටීම නිසා විද්‍යාගාර වල ජලය කෘත්‍රීමව නිපදවන්නට විය. සෑම සියලු දෙනාවෙත එක සමානව ජලය බෙදාදීම සඳහා දෛනික සලාක ක්‍රමයකට ජලය බෙදාහරින්නට විය..,
අතිමහත් වූ ආයාසයෙන් මේසයේ ඇලවූ කොලවල කවි පබඳන්නට වීම නිසා ලේඛකයා දුර්වලව අකාලයේ මහලු වන්නට විය. දශක කීපයකට පෙර කෝමලත්වයෙන් අගතැන් වූ සිය බිරිඳ වර්තමානයේ ආරෝහ පරිනාහ දේහයෙන් යුතුය සිය සෝමාරි වූ සිරුරට හා අතීතයේ ඈ තමට පෙමින් යුතුව මධුර ලෙස ගායනා කල ලේඛකයා ලිවූ කවි ගැන පිළිකුල් මුඛයෙන් කතා කරන්නට වීම නිසා ලේඛකයා පසුවූයේ වේදනාවෙනි.
මෙයට පෙර අත්වැරදීම් වලින් සිය පා බැඳි සපත්තු ලෙහීම නිසා අහසට පාවී ගොස් තිතක් මෙන් වී අතුරුදන් වූ ම්නිසුන් ගැන ලේඛකයා අභූත ආරංචි අසා තිබූ නමුදු උන් අහසට ඇදී ගිය හේතුව ලේස ලේඛකයා සිතා ගෙන සිටියේ සඳේ අධික වූ ගුරුත්වය නිසා බවයි. බේබදු පිරිමින් මෙන් කටමැද දොඩන, ස්වභාවධර්මයට පින්සිදුවන්නට ලිංගිකව හැර අන් සියලු ආකාර වලින් පුරුෂාකාර වූ කාන්තාවන් ගැන ලේඛකයා තුල වූයේ අපුලකි.
සඳ පොළවට ළංවන්නට වූ සවසක නිවස ඉදිරියේ දශක ගණනාවකට පෙර තනන්නට යෙදුනු යකඩ වැඩ අසල ට හේත්තු වූ ලේඛකයා සිය පා බැඳි අධි බර යකඩ පාවහන් බුරුල් කරන්නට විය.., තමා හැඳ සිටි යමුදු සේලය ගලවා ඉවත් කල ලේඛකයාට පෙර මොවූ විරූ සහනයක් ලැබෙන්නට විය..,
එක වරම පාදය උස්ව පාදයේ මහපොට ඇඟිල්ලද පොළොවෙන් ඉවත් වූ පසුව කෙමෙන් කෙමෙන් සිය සිරුර වඩ වඩාත් සැහැල්ලුව ඉහල නඟින විට කර්කශ පොලවේ වූ නිවහන් කෙමෙන් කුඩාව තිත් තරමට වන්නට ගත් පසුව  ලේඛකයා සිය හිස අහස දෙසට හරවන්නට විය..,
සිය දෙනෙතින් සුළං පීඩනයට ඔරොත්තු දෙනු නොහැකිව අහසට මුසුව තමාටත් පෙර ඉහල නැග අවකාශයේ විසිර යන කඳු බිඳු ගැන සිතන්නට ගත්තේය.

Comments

  1. ඇයි බන් ඕනෑවට වඩා ඔව්වා බොන්ඩ ගියෙ.. දුම ඩින්ගක් විස වෙනො සමහර වෙලාවට! ;-)

    ආසාවෙන් කියෙව්වා, ඕන්.. හරිය..?

    ReplyDelete
  2. ලිශාන් මල්ලි, බූට් එකක්වත් කෑවද ? බූට් එක ගලවා විසි කලේ...! නියමයි බං.....! ඔය කියන දවස උදා නොවෙන්නත් බැරි නෑ......!

    ReplyDelete
  3. විද්‍යා ප්රබන්ධයක්...... බොහෝම අපූරුයි.. ආසම හිතුනේ “තමා හැඳ සිටි යමුදු සේලය ගලවා ඉවත් කල ලේඛකයාට පෙර මොවූ විරූ සහනයක් ලැබෙන්නට විය..“.. කියද්දි යමුදු සේලය වචනය පාවිච්චි කලාට..:) :) වෙනසම කියමනක්.. විශිෂ්ධයි අයියේ

    ReplyDelete
  4. මේක ජීවිතයෙන් පලායාමක්. සමහර විට ඒ වෙනසට මුහුණ දෙන්න බැරි නිසාද? නැත්තං තමන්ගෙන්ම ගැලවෙන්න ඕන වුණ නිසාද?

    එල!

    ReplyDelete
  5. "ගවුමක බර කිලෝ 20 පමණ වූ අතර සරමක් අවම ලෙස කිලෝ 5කින්"
    මේක ගන්න ඇත්තේ පෘථුවියේ බරින් වෙන්න ඇති නේද? ඒත් ගුරුත්වාකර්ශණය අඩුවෙනකොට ඔය බරත් පේන්නේ අඩුවෙන් නේද?
    ඇරත් දැනුත් කෙල්ලෝ භාගෙට ඇදන් යන එකේ ඔච්චර ඈත අනාගතේ ගවුම් අඳියි කියලා හිතන්න පුළුවනෑ ;)

    කොහොම වුනත් කතාවෙන් මතුකරන්න හදපු දේ නම් එළ!

    ReplyDelete
  6. අන්තර්ගතයයි තේමාවයි මේ දේවල් ගැනනං කියන්න දෙයක් නැහැ..ඒ තරමටම විශිෂ්ඨයි..ඒත් රොකට් භාවිතයෙන් මෙ වැනි සංකල්පනාවන් පහළ වන බව මාගේ හැඟීමයි...එහෙම නැතිව මෙහෙම ලෝකයක් ඇතුලට කොහොම රිංගන්නද..එහෙම රිංගන්නේ නැතිව කොහොම නම් මෙහෙම ලියන්නද..? :D

    ReplyDelete
  7. සපත්තු ගලවලා ලනුවලින් කකුල් බැඳගත්තු ජෝඩු පොලෝ මට්ටමෙන් මීටර් තුන්සීයක් ඉහල අහසේ ඉඳන් රමණයේ යෙදුනා. ගෑනුන්ට හොරෙන් අහස් බාර් එකේ සෙට් වෙච්ච යාලුවො කනක් ඇහිලා පදමට සෙට් උනා. වීදුරුවට කට තියන්න ඕන උනෙත් නෑ. වීදුරුවට උඩින් කට අල්ලගෙන ඉඳලා බොන්න පුරුදු උනා. බීලා ඉවර වෙච්ච යකඩ ගල් බෝතල් ආයුධ ලෙස යොදාගත්තා. ෆිල්ම් හෝල් වල බොක්ස් ඇතුලෙ "ටාං ටාං" යන යමුදු ඇඳුම් ගැටුනා.

    මට දැනෙනම විදිහෙ ලිපියක්. මම ආසම විදිහ. මරු!

    ReplyDelete
  8. ලෙස්ටම ලියලා තියනවා ලිෂා. අනගතේ මෙහෙම වෙන්නත් ඉඩ තියනවා. කවියො ගොඩක් ඉදිවි ලියන්න අමාරු වුනත්...

    ReplyDelete

Post a Comment