අන්න තමුසේගේ යාලුවා ව සංගමෙන් කපපු එකට කේස් එක ඇදිලා.යන්නේ නැද්ද උදවු කරන්න...!
ඊයේ රෑ මා එක්ක කට ගහං ආවේ..,

මැහුම් පංති ගොසින් ආ විගසම අක්කා මේ පවසන්නේ පියසිරි ගැන ය. වයසින් අපේ අක්කාටත් වඩා වයසින් වැඩිමලු වුවත් මිතුරන් අතරේ බබා යන නමින් ප්‍රසිද්ධ වී සිටි පියසිරි ව මෙසේ අහේතුක ව සංගමයෙන් ඉවත් කිරීම අප කාටත් ඉවසුම් නොදෙන්නක් විය.

මම කතා කරන්න ඕනේ නෑ හලෝ මටත් එක්ක සිසිර ලා නදීශ ලා එහෙම කතා කරනව.

ඒවුනාට තමංගේ යාලුවා ගැන කැක්කුමක් තියෙන කෙනෙක් හැටියට කතා කරන්න යන්න එපෑය...?

මේ එන්නේ ආයිත් පෙරදා ඇදගත් කෙහෙවලු පටලවා ගැනීමේ දෙවෙනි කොටස පටන් ගන්න ට ය. ඒ බව මට ඉවෙන් මෙන් දැනේ.

මම හරක් එක්ක ගහ ගන්න බයයි. මොකද මම දන්නවා උන්ගේ අං ඇනිලා තුවාල වෙන්නෑ මටමයි කියලා.

ඒ පිළිවදන මගේ ය. නෝක්කාඩුවක් නොඇදෙන ලෙස කතා කරන්න ට කොපමන උත්සාහ කලත් ඒ වන විටත් මගේ ලේ රත්වෙමින් තිබූ බැවින් මගෙන් පිටවූ වදන් වැල ඇයට මරු පහරක් වූ බව පෙණින.

ආ එහෙමද? මට හිතෙන්නෙ මලයෝ ඔයාලට තමා අං තියෙන්නෙ. එහෙම නැත්තං මේ වගේ තප්පුලන්නේ නෑනේ...!!!

වදන් එන්න එන්න ම කර්කශ ය. හිටිවණ ම අකුණු සරක් සේ වදින්නෙ ද මට ම ය.

කොහොමත් මම තමා සංගමෙන් අයින් කරපු ගමන් පියසිරි එක්ක කතාකලේ. මොකද මිනිහ මට කෝල් කරල කිව්ව.

ඒ බූරුව අයිං කරපු එකමයි හොඳ.

පියසිරි ට බූරුව කියන්න එයා තමුසෙට කරපු වැරැද්ද මොකද්ද මොකද්ද? අනික ඔහොම දෙන්න යන්න එපා ඕයි සංගමේට කියලා. මොකද ඒකෙන් පේන්නේ තමං ගේ ගොන් ගතිය..!

ඔව් ඔව් අපි මෝඩයි නෙව.., අනික අයනේ මහ උගත්තු.

ආන්න පිළිගත්ත තමං ගොනා කියල. එකෙන් පේන්නේ තමං ගේ නිහතමානි කම.

මේක මළ වදයක් උනානෙ. කටවහගෙන ඉන්නවකො ඕයි.

මොනවාදෝ මුමුණමින් බුම්මා ගත් මුහුණින් ඈ යුතුව කාමරය ට වැදුනා ය.

මම මුව පියා ගත්තෙමි. පියසිරි ට විරුද්ධව කියන්න ආවොත් මගේ මුවතුළ තව මීට වඩා  විවර කළ හැකි වුවත් මම ඉවසා වැදෑරුවෙමි. ඒ සහෝදර කම ගැන සිතා ය. කොහොමටත් මම කට හොඳ නැති එකෙකු වසයෙන් හංවඩු ගැසී තිබුනේ අද ඊයෙක් නොවේ. මීට වසර ගණනාවක් පෙර සිටය. ඇත්ත කියන්නත් බිම ඉඳ ගන්නත් බියක් වන්නට කිසිම හේතුවක් නැති බව කුඩා කල සිටම ඇදහූ මට එයට කමටහන් ලැබුනේ.., අපේ ගෙදර ඉස්සරහ කාමරයේ පදිංචිව සිටි විමල් මාමාගෙනි. හේ හැත්තෑව දශකයේ රජයේ සේවකයෙකු ව සිට කොමියුනිස්ට් කාරයෙකු ලෙස සලකා  රැකියාව අහිමිවූවෙක් විය.

උඹ කිසිදෙයක් ගැන උඹට හඟින විදිය කියාපාන්න යන්න එක පොඩි එකෝ.., වැරැද්දක් කියලා කවදාවත් හිතන්න එපා. ජනතාව ජනතාව වෙනුවෙන් පෙනීසිටින්න ඕනි. ඒක තමා විදිය. තේරුනැයි...?

මම හිසවනා එය අනුමත කලෙමි. යටිහිත බයගුලු වූ තරමට ම උඩුහිත ඒ අඩුව වසා ගැනීමට තරමට නිර්භීත විය. මා වටා මිතුරු කැලක් ගොඩ නැගුනේ ඒනිසායැයි මම අදටත් විශ්වාස කරමි.
අප්පච්චීගේ නැන්දා හෙවත් සුදු අත්තම්මාගේ කොප්පරාවත්තේගෙදර මට නවතින්නට වූයේ කුඩාකල සිටම වූ මගේ හිතුවක්කාර කමත්.., ඒ හිතුවක්කාර කමට හේතුව මගේ වේලාපත්කඩයෙන් අප්පච්චීට මරණීය අපල ඇතිවේයැයි සාත්තර කරුවෙකු යැයි කියාගත්තෙකු ඔහුට ගතූ කීමත් ය. විමල් මාමාගේ හා මගේ වෙන්වීමට හේතුව අර නල්ලමලේ සාත්තර කරුවාගේ අනාගත වැකිය ය. මට අදටත් විමල් මාමා නැති අඩුව දැනේ . ඒ මීට ටික වේලාවකට පෙර මා හා එල්ලෙන්න ට ආ නිරු අක්කාගේ සිද්ධිය නිසා ය.

ඇත්ත වශයෙන් ම නිරූ මා හට අක්කා වූවා ට ඈ නෑදෑකම අනුව මට වෙන්නේ නැන්දා ය. එනයින් සුදු ආත්තම්මා නිරූ අක්කාගේ අම්මා ය. හතලිස් ඇඳිරියට ඔන්න මෙන්න තියෙද්දී අත්තාගේ මළගමින් වසර දෙකක් ගෙවුණ තැන සුදුඅත්තම්මාට නිරූ අක්කා ලැබුන බවට ගමේ කසුකුසුවක් පැවතිණ. තවද, මම මේ වනවිට ජීවත්වන නිවස හෙවත් කොප්පරාවත්තේ පොල්වෙළඳාමේ අපේ අත්තාගේ එකම හවුල් කරු වූ ජෝන් මුදලාලි තම යුතුකම් කොටස මැනෙවින් ඉටුකරමින් අත්තාගේ මරණින් පසුවත් අත්තම්මාගේ පවුලේ සුවදුක් විමසා ඇති බවට ගම්මුන්ගේ කතා ඔස්සේ ඉඟි ලැබුනද මට එතරම් බලපෑමක් කරන්නට එව්වා සමත් නොවුනේ එවකට අප අතර වයස් පරතරය වසර දෙක තුනක ට නොවැඩි වීමත්.., ඇයත් මම ත් කුඩා කල සිටම එකම පාසලේ ඉගෙනුම ලැබීමත් යැයි මට සිතේ.
එහෙයින් මම ඇයට අක්කා කියන අතර මට ඈ..,  ඕයි කියයි, මල්ලී කියාද නොඅමතන්නේ නොවේ.., ඒ වැඩිමණක් ම වාසියකට ය. කුඩා කල සිට ම ඈ මාහා  එකටම සෙල්ලම කර හැදීවැඩී උන්නත් ඈගේ මේ වෙනස් වෙන්න ට ආරම්භය තැබුවේ ඈ ජම්බු ගහෙන් වැටුන* පසුය. දින දෙක තුනක් කාමරය ක ගතකර නමෝ විත්තියෙන් නැකතට එලියට බට ඈ අපව එතැන් සිට සැලකුවේ ස්ත්‍රී දූෂණයකට අවැසි උපකරණ සතුව තිබෙනා මහා අපරාධකරුවන් පිරිසක් ලෙසය.

මොකෝ බං අරකිට වෙලා තියෙන්නේ..?

මගේ මිතුරන් මගෙන් විමසුවේ වරක් දෙවරක් නොවේ.

අනේ කවුද දන්නේ බං..., ඒකිට අපිව එපා නං අපිට මොකෝ...?
ඔන්නොහේ  ඉමු බං.
මම කියමි..,
මම මිතුරන් හා ටින්කඩමින්, රොබින් හුඩ් සෙල්ලම් කරමින් ප්‍රීතිවෙනු ඈ තමාට ලැබුනු අලුත් කාමරයේ සිට ජනෙල් රෙද්ද මෑත් කර හොරෙන් බලනවා දකින්නට ලැබුනත්.., අපේ රැලේ එකෙකු හෝ කර උස්සා ඒ දෙස බැලුවහොත් ඇය ගස්සා එතැනින් ඉවතට යන්නේ මොනවාදෝ මුමුණමිනි. අතීතයේ එසේ වුවත් අප වයසින් මුහුකුරා යනවිට මේ “මලසමයං” නවත්වන්නට උවමනාවක් තිබුනත්.., ඇයගේ ක්‍රියාකලාපය ඈ පවත්වාගෙන යන්නේ හිතුමනාපයට නිසා මමද මගේ මතු ආරක්ෂාව පතා මගේ දඩබ්බර ප්‍රතිරූපයද පවත්වාගෙන යන්නට පටන් ගතිමි. අප දෙදෙනාගේ වර්තමානයේ ගැටුම් වල ඇරඹුම එතැන ය.

වයසින් උස්මහත් වෙනවාත් සමඟ ම මා පිළිබඳ වූ අමුතුම ආකාරයේ ඉරිසියාවකින් නිරූ අක්කා පෙලෙන්නට වූ වග මට මුලින් ම කීවේ සුදු අත්තම්මා ය.


පොඩි එකෝ ඔය අපේ නිරූ කෙල්ලෙ එක්ක ඉන්නකොට පොඩ්ඩක් ඒකිගැන හොයල බලපං තේරුනැයි..,පරිස්සමට.., ඒකිගේ මේ දවස් වල සිකුරු දසාව.., මම පෙරේදා වෙලාව බැලෙව්වා. ගමේ එකාලා අපේ කෙල්ලගේ ඔලුවට එක එක බහුබූත දාලා., උඹලැයි සහෝදරකං බින්න කොරන්න.

ඒ මොනව කියාලාද අත්තම්මා..?

ඔය කෙල්ලව වැදුවට පස්සේ රට්ටු මට කියාපු කතා එහෙම උඹලැයි අප්පච්චිලා එහෙම දන්නවා නම් මේ කොප්පරාවත්තේ ගෙදර පැත්තේ පස් පාගනවා බොරු. ඒ කතා අහං තමා මම ඔය කෙල්ලව හැදුවේ. මම ඇසූ ප්‍රශ්ණය ට පෙරලා පිළිතුරු දෙනවා වෙනුවට කාලයේ වැලිතලාවලින් වැසීගත් ඒ අපුල රහස ගැන මුල්ම ඉඟිය සුදුආත්තම්මා මා හමුවේ තැබුවේ එලෙස ය. සමහර විට මෙවැනි සබඳතා ගැන අවබෝදයක් නොමැති නිරූ අක්කා හා පවසනවාට වඩා නිතර මිතුරන් හා වල බහින මා වැනි කාඩයෙකු ( මා ඇතුලු මිතුරු නඩය අක්කා හඳුන්වන්නේ එසේය.) ට කීමෙන් ඈ හිත හෑල්ලු කරගන්න ට සිතුවා විය හැකිය.

මල්ලී....

ඈ...?

මේ ඕයි මෙහෙ බලනවාකෝ...?

මොකෝ..ඒ පාර...?

මොකවත් නෙවෙයි.

එහෙනං …?

අර තමුසෙලැගේ ක්‍රීඩා සමාජයෙන් අයින් උන යාලුවා….?

ඔව්..ඉතිං..?

ඉතිං නෙවෙයි එයා ගැන මොකද කරන්නේ ..?

මොනවා කරන්නද..? අම්මලා උන්ට කසාද හොයන වෙලේ ඌ ඇවිත් අපි එක්ක සෙල්ලං කරනවා එච්චරයි. තමුසෙට මොකෝ එකපාරට ම මගේ යාලුවෝ ගැන සත්තකරුණාවක් ආවේ...?

අනේ යනව ඕයි යන්න.., සත්තකරුණාවට වැඩේමයි.
"මලසමයං, මටනං පේන්න බෑ ඕකව."
ඈ ගස්සගෙන කාමරයට ගියේ තවත් මොනවදෝ මුමුණමිනි. නෑකමට නැන්දා වෙන භාශනයට අක්කාවෙන සහෝදරියක සිටීමේදී මොනතරම් ප්‍රවේසම් විය යුතුද යන්න ට මීට වඩා උපහැරණ අවැසිනැත. යමක් වහරන විටදී සැලකිලිමත් විය යුතු ය.

වල් බොන්ඩී තෝ එක එකාට ලියුං කරදහි ලියන්න ගන්න වග දන්න ව නං මම තෝව ඉස්කෝලෙකට වත් අරින්නේ නෑ බොල.
මීටවඩා හොඳයි මම මීදෙනක් හදාගත්තානං. මේ වෙනකොට තුං මුරයක් පැටවු ගහලා කිරිත් ගන්නවා.

අත්තම්මා මේ තරං පරල වී සිටිනු කවදාවත් දැක නැත. මගේ කන අසල පිපිරූ හෙණයක් මෙන් මේ ගෝසාව මට ඇසෙන්නට විය. මම කාමරයෙන් හිස යොමා බැලූ කල දකින්නට ලැබුනේ.., එක අතක මිටිකරගත් ලියුමකුත් අනෙක් අතින් නිරූ අක්කා දෙසට උලුක් කරගත් ඉලපොතත් සමඟින් සුදු අත්තම්මා කෑ මොර දෙන විට අනෙක් පස හිටියේ අවුල් වූ කෙස්සෙන් යුතු වූ නිරූ අක්කා ය.

අම්ම දන්නේ නෑ. මම එයාට මොනතරං කැමතිද කියලා. මම එයා වෙනුවෙං ජීවිතේ උනත් දෙන්න ලැහැත්තියි.

අම්ම හිතාන ඉන්නේ මම කාට ලියුං ලිව්වැයි කියලය..?

මට මොකා උනත් පලක් නෑ බොල උඹලා මෙහෙම වැඩ කටයුතු කොරද්දී අපි කොහොමැයි රට්ටුන්ට මුහුණ දෙන්නේ..?
හා කියහං බලන්න උබ ඔය ලියුං කරදහිය ලිව්වේ කාටද කියලා..?

ජෝන් මුදලාලිගේ පුතා පියසිරි ට...!

නිරූ අක්කා පැවසුවේ බිම බලා ගෙන ය.

මොනවා හපෝයි.., ම.. මගේ...ඔලුව..!!!!

ක්ලාන්ත වූ සුදු ආත්තම්මාව මම වත්තම් කරගත්තේ ආයාසයෙනි.


 

මගේ නිවසට යන එන අය, මුලින් ම බලන්නේ මගේ පොත් රාක්කය දිහා ය. මහා අනර්ඝවත් වූ පොත් දහස් ගණනකින් සමන්විත පොත් රාක්කය දෙස බලන සමහරු..,

ඔයා හරිම පොත පතට ලැදි කියවන මනුස්සයෙක් නේ.., පිටින් බැලුවම හිතන්නවත් බෑ ඔයා මේ තරමට පොත් කියවනවද වත් කියලා.

කියද්දී මම කරන්නේ රාක්කයට පිටදීගෙන  සිහින් සිනහවෙන් යුතුව උපේක්ෂාවෙන් ඒ කීදේ අනුමත කිරීමයි. ඇත්ත වශයෙන් ම මේ තියෙන සියලුම පොත් මා විසින් කියවා නැති වුවත් මගේ විශය වූ ග්‍රන්ථකරණය ට අවැසිවෙන නිසාවෙන් ම මම සමහර පොත් මම ම මිලදී ගතිමි. බොහෝවිට මට විවිධ පොත් එළිදැක්වීමේ උළෙලවල් වලින් ආරාධනා පත් ලැබෙන විට මම කරන්නේ ඒ බව මගේ දින පොතෙ සටහනකර ගැනීමයි. එවිට ඒවා මගෙන් අත නොහැරෙන සුලු ය. තවද මම ඒවාට යන්නේ රචකයා ගැන වූ අවබෝදය නිසා ම නොව මට නොමිලයේ ම පොතක් මා සතු කර ගත හැකි එකම අවස්ථාව එයම පමණක් වන බැවිණි. අවංකවම කිවහොත් මම පොත් කියවන්නේ නැති වුව පොත් එකතු කිරීම මගේ එකම විනෝදාංශය යැයි කිවිය හැකිය.

ඔයා මේ තරම් පොත පතට අවංකව ම ආදරය කරනවා නම් ඇයි ඔයා මේ පොත් පත් ගැන විචාරයක් වත් ලියන්නේ නැත්තේ.., එහෙම කරන්න ඔයාට පුලුවන් කමක් තියෙනවා නම් ඔයාව ලේඛකයෙක් විදිහට විතරක් නෙවෙයි විචාරකයෙක් විදිහටත් ප්‍රසිද්ධ වේවි කියලා මට හිතෙනවා.

මගේ බිරිඳ මට මේ බැව් කීවේ වරක් දෙවරක් නොවේ. නවතම පොත් දොරට වැඩීමක ට සහභාගි වෙන්නට සැරසෙන හැමවිටෙක ම ය. ලියන්න කියන්නට ඇති හැකියාවක් ගැන නොදනිතත් පොතක් මතුපිටින් බලා එහි ගුණදොස් ටක්කෙට ම පැවසීමේ හැකියාව මගේ බිරිඳ ලැබුවේ කොහේන්දැයි අප විවාහය ට ඇතුලත් වී පහළොස් වසක් ගතවීත් මට සොයාගන්නට නොහැකිවීම මම පෞද්ගලිකව ම ලජ්ජාවට පත්විය යුතු කාරණාවක් වුවත් මගේ බිරිඳ මා තුල පවතිතැයි (ඇය) සිතන හැකියාවන් ඇය විසින් ම ස්වයං අධිනිෂ්චය කරගැනීමේ වාසනාව කරණකොට ගෙන මම කියන හැම දෙයක් ම ඇය පිලිගන්නේ හිස මුදුනෙන් තබාගන ය.

මව් පස හා පිය පසින් ලැබුණු දායාද වල බල මහිමයත් මගේ පෙර පිනට මගේ අතින් ලියැවී ඇතැයි මා අදටත් විශ්වාස කරන සාහිත්‍යම ය වටිනාකමක් ඇති පොත්පත් හා ලේඛන වලටත් පින් සිද්ද වෙන්නට, මසකට එකහමාරක ට වරක් නගරයේ ප්‍රකට පොත් මැඳුරු වලින් මම පොත් මිලදී ගන්න ට මා හුරුවී ඇත්තේ රුපියල් දහස් ගණන් මිල ගෙවාය. මේ නිසා ම මාව මේ පොත් මැඳුරු වල සේවකයන් ට හුරුපුරුදු ය.

අහ්..! සර් එන්න එන්න…, අලුත් පොත් වගයක් ගැන කතා කරගන්න ට අපේ මැනේජර් සර් ඔබතුමා එනකං බලා ඉන්නවා.

දිනක් මා නැණස පොත් හලට ගොඩවැදුනු ක්ෂණයේ ම., මා හඳුනාගත් වෙලඳ සලේ සේවකයෙක් මා හමුවී කීවේය. අලුත් පොත් පිලිබඳව සොයා බැලීම පසෙකින් තබා මම සේවකයා පසුපසින් මැනේජර් ගේ කාර්යාලය පරිස්‍රය වෙත ගියෙමි.

ආයුබෝවන්. මට මේ ළමයා කිව්වා ඔබතුමාට මාව හමුවෙන්නට උවනාවක් තිබෙනවා කියලා.

මම වෙළඳ සල් සේවකයාව පෙන්වමින් කීවෙමි.
ආ...ඔව් සර්..,

මේකයි මම කෙලින් ම කාරණාවට බහින්නම්කෝ. අපේ සමාගමේ ම අනුබද්ධිත ව මුද්‍රණාලයක් පවත්වාගෙන යනවා කියලා ඔබතුමා දැනටමත් දන්නව ඇති මම හිතන්නේ...,

"මොකෝ මම නොදන්නේ මුලු රටම දන්නවා නේ නැණස ප්‍රින්ටර්ස් ගැන" කියා කියන්න ට සිතුනත්

අහලා තිබ්බ බවට මතකයක් නං නෑ කමක් නෑ කියමුකෝ බලන්න

හ්ම් ඒකත් එහෙමද..?

මදක් කෙස්ස අඩුතට්ටය කසාගත් මැනේජර් නැවත්ත් සුපුරුදු පරිදි කතාව පටන් ගත්තේ ය.

ඉතින් අපි තීරණය කරලා තිබෙනවා අලුතින් දොරට වඩින පොත් කිහිපයකට ඔබතුමා ලවා පසුවදන් කිහිපයක් ලියාගන්න ට. මම හිතනවා සාහිත්‍යට අපිරිමිතව ආදරය දක්වන ප්‍රසිද්ධ ලේඛකයෙක් විදිය ට, මේ පුංචි උපකාරය ඔබතුමා කරාවි කියලා. 

මොකද මේ පොත් අපි විශේෂයෙන් ම පුරා මාස තුනක් ඇතුලත ඉංග්‍රීසි ප්‍රබන්ධ අංශයෙන් ඔබතුමාගේ පෞද්ගලික පරිහරණය සඳහා මිලදීගත්තු පොත් අතුරින් තමා අපි මේ පොත් කිහිපය තෝරා ගත්තේ., මේ පොත් ඔබතුමා මීට පෙර කියවල ඇති බවට සැකයක් නෑ. ඒ නිසා ම මේ වැඩේනම් ඔබතුමාට කරන්න ට හැකිවෙන බව අපට සීයට දෙසීයක් ම විශ්වාසයි.

ඇඟේ හිරිගඩු පිපී සියොලඟ ම දහදිය ගලන තත්ත්වේ ට මාව පත්වී ඇති බව මට දැනෙන්නට වූයේ ඉටි ආලේප කර පසෙකට පීරාගත් කෙස්ස අතුරින් ගලා පිටුපසෙන් හැලෙන්නට වූ දහදිය ගඟ නිසා ය. දහස් ගණන් මිලදී පොත් ගත්තත් මම ඒවා තබන්නේ පෙණුමට පමණක් බව කෙසේ නම් කියන්නද?

ඇ…ඇයි සර් මම වැරදි දෙයක් වත් කිව්වද?

මම විනාඩි දෙක තුනක් කලමණාකරුවා දෙසම රුවාගත් ඇසින් යුතුව සිටි බව දැනුනේ පසුවය. යන්තමින් හෝ සිහි එලවාගත් මම,

හ්ම්.., මේකයි මම බාසගත්තු වැඩ ගොඩක් තියෙනවා. කමක් නෑ මම කරලා දෙන්නම්කෝ. හැබැයි මට ටිකක් කල් ඕනි. කමක් නෑනේ..?

අය්යෝ කමක් නෑ. ඔබ්තුමා මේ ටික මට මාස දෙකකින් දුන්නා ම ඇති.

යන්න කලින් එක දෙයක් අහන්න තියෙනවා..?

මොකද්ද..?

දැං ඔය පරිවර්ථනය කරන්න යන පොත් වල නම් ටිකයි එව්වා ලියපු ලේඛකයොයි මට කියලා දුන්නා නම් ලොකු උදව්වක් වේවි.

අහ්.., ඒ නව මම කල් තියාම දැනගෙන තමා මම මේ වගේ ලැයිස්තුක හදලා තිබ්බේ.


කලමණාකරු ගොණුවක් තුළින් ඇද දුන්නේ හාෆ්ශීට් කොලයකි.

අපි දන්නවා ඔබේ කාලය රන් හා සමාන වන බව.

කලමණාකරුවා ට සිහින් සිනහවකින් සංග්‍රහ කල මම වාහනයට නැගුනේ පොත් ගැනීම පසෙකින් තබා ය.

මම නිවෙසට යන විටත් රසාදරී [මගේ බිරිඳ] මිතුරියක හා සංවාදයේ යෙදෙමින් සිටියා ය. ප්‍රමාද වී විවාහ වීමේ ප්‍රතිඵලයක් ලෙස ට අපට දරුසුරතල් බලන්නට තිබූ වරම අහිමි වුවත් වාසනාවක ට හෝ අවාසනාවක ට දෝ අපගේ නිවහන පාලුවට නොගියේ කලාලොවේ සාහිත්‍ය කලාවේ තරු චරිත අපේ නිවසට නිතරම ආව ගිය නිසා ය. ආලින්දයේ සිටි මිතුරියන් දෙදෙනා දුටු මම ඔවුන් වෙත සිනහවකින් ආචාර කර උඩුමහලේ පිහිටි මගේ අධ්‍යයන කාමරය වෙත වැදගතිමි.
නිවසෙන් යන හා එන විට සුපුරුදු ලෙස බිරිඳට සිපාචාර දක්වන මගේ ඉරියව්වල වෙනස දැනි දෝ මා කාමරයට වැදී මඳ වේලාවකින් ඇයද පැමිණියා ය.

මට හිතුන මට කිස් එකක් වත් දෙන්නේ නැතුව උඩට ආවම ඔයා මොකක් හරි ප්‍රශ්ණේක තමා ඉන්නේ කියලා. ඔයා ඔය ටයි එක බුරුල් කරගන්න, මම බොන්න මොනව හරි අරන් එන්නම්.

හරි කියන්න බලන්න දැං මොකද උනේ කියලා..?

බිරිඳ මවෙත ට දොඩම් වීදුරුවක් පාමින් පැවසුවා ය.

තම කසාද සැමියා නොසන්සුන් ව සිටින විටෙක ඔහුව කුමන අයුරින් හෝ සැනසීම සුවච බිරිඳ ක ගේ හැකියාවක් විය යුතු ය. එවැන්නියන් ගැන වූ මගේ හිතේ  මා පාදපරිචාරිකාව වූ රසාදරිය ට වූයේ අද්විතීය ස්ථානය කි.

මේකයි උනේ.., මම පොත් ගන්න ගියා පුරුදු විදිය ට ම..., ඉතින්...,

මම පූර්ණ කතාව ම ඇය ඉදිරිපිට දිග හලෙමි. එහෙත් එක ඌණතාවයක් සහිතව ය.  ඒ මම ගන්නා පොත් කියවන්නේ වෙසෙසින් ම ඉංග්‍රීසි පොත් නොකියවන බව අත හැර ය. මගේ නිවස තුල පවතින ආධිපත්‍යය මේ මුලාව නිසා මගේ ගිලිහී යතැයි සිතීම ය. මේ සියල්ල රසාදරී අසා සිටියේ නිසල වූ විලසිනි. අවසන ඈ තම මුව විවර කලේය.ඈ මදෙසට විසි කලේ එකම පශ්ණය කි; ඒ..?

ඉතින් ඇත්තට ම ඇයි ඔයාට ඔය පසුවදන ලියන එක කරන්න බැරි...?

මේකයි මම බාර ගත්ත වැඩ කීපයක් තියෙනවා එකයි මම කල්පනාකලේ...?

මට මෙහෙම උදව්වක් කරන්න පුලුවන්..!

කොහොමද? මම ඇසීමි.

ඔයා කැමතිනම් මම ඔය වෙනුවෙන් පසුවදන් ටික ලියලා දෙන්නම්. කැමතිද?
 

ඔයා කොහොමද ඔය වගේ ලොකු පොත් ගැන පසුවදන් ලියන්නේ.., අනික ඔයා කියවලත් නැති කොට.

මගේ බිරිඳ මගෙන් මෝඩ ප්‍රශ්ණයක් ඇසූ විට මා මුවේ වන උපහාසවත් මඳහස අද රැඳුනේ ඈ මුවේය.

ඔයා හිතනවාද මම මේ ඔයාව බැඳපු අවුරුදු පහළොව ට ම ඔයා නැතිවෙලාවට මම ගෙදර හිටියේ  කුස්සියට වෙලා හරි.., අර ටීවී එකේ යන සෝප් ඔපෙරා ටිකේ පිහිටෙන් කියලා...?

ඔයාට වැරදිලා රැලෙක්ස්. මම සමහර වෙලාවට ඔයා ගෙන් ප්‍රශ්ණ අහන්නේ ඔයා දන්නවද කියලා බලන්න. මම දන්නවා ඔයා මට තරහෙන් උත්තර දෙනවා නම් ඒ ඔයා ඒ ගැන මෙලෝදෙයක් දන්නේ නැතිනිසා කියලත්. මොකද මම සමහර වෙලාවට ඔය ගේන පොත් ඔයා කියවන්නේ නැති බව දන්නේ ඒපොත් වල තීන්ත සුවඳ පවා ගිහින් නැති නිසා. 

ඔයා පොත් ගැන කවුරු හරි ඇහුවාම පස්සේ කියන්නම් කියලා විකීපීඩියා එක අවුස්සලා උත්තර හොයලා දෙනවා මම දන්නේ නෑ කියලා හිතන්න එපා. මරියා කැරේ කියපු සින්දුවක් සිංහලට හරවලා කවි තරඟෙක ට ඉදිරිපත් කරලා පළවෙනි තැන ගත්තු එකත් මම නොදන්නව හිතන්නත් එපා..!

මගේ හිස බමන්නට විය පොත් වෙනුවට විස්කි බෝතල් එකතුවක් නිවසේ තබා ගත්තානම් කෙතරම් අගනේදැයි සිතෙන්න ට විය.
මම හිස මේසයේ ගසා ගත්තෙමි.

"ජනපතිවරණය ට ඇත්තේ දින කිහිපයකි. ආණ්ඩුපක්ෂය මෙන්ම විපක්ෂය ද සුපුරුදු පරිදි මඩ ගසාගනිමින් සිටිති. ඡන්දය දවසට ඉතුරු වන්නේ ගොමරිටි දෙකක් උවත් මේ බව නොදත් සුවච පාක්ෂිකයෝ ගෙයින් ගෙට ගොස් මනාප හිඟති."

විශ්‍රාමික මහැදුරුතුමෙකු වූ මගේ අප්පච්චී විකල්ප පත්තරයකට ලියන්නට ගෙන අතරමඟ නවතා ලූ මේ පත්‍රිකා කැබැල්ල දකින මගේ ඇඟේ ලේ රත්වෙන්නට පටන් ගන්නේ නොදැනුවත්ව ම ය.

"ඇයි මිනිස්සු මේ වගේ දේශපාලනී කරණය වෙලා තියෙන්නේ...?"

මම මගේ හිතටම තට්ටුකරගෙන නිතොර ම අසා ගන්නා සරිලන පිළිතුරක් මට තවමත් ලැබී නැතිවා මෙන් ම මේ ගැටලුව ඉදිරිපත් කරන්න ට සුදුසු මානසිකත්වය පවතින මනුස්ස්යෙකුද තවමත් මට මුණ නොගැසුනු බැවින් මම මගේ ප්‍රෂ්ණය හිත ලාගෙන සිටිමි. අවංකව ම කියනව නම් මම දන්නා හඳුනන මේ පිළිබඳව විචික්ෂණ බුද්ධියක් තිබෙන එක අයෙකු මට මේ දැන් වුවත් හඳුනා ගන්නට පිළිවණ. ඒ මගේ අප්පච්චී ය. තවමත් අතේ තියාගෙන සිටින පත්‍රිකාව හිත බල කරන්නේ අප්පච්චී ගෙන් මේ ගැන විමසා සිටින ලෙසය. එහෙත් මේ ගැන කිසිත් නොදත් අප්පච්චී සුපුරුදු පරිදි බුදුන් වඳින්නට ප්‍රථමයෙන් මිදුල අමදිමින් සිටියි. අප ඉපදින්නටත් ප්‍රථමයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන දිනවල සමසමාජ මානසිකත්වය ක සිටි ඔහු තම ආචාර්ය උපාධිය නිමකිරීමෙන් පසු දේශපාලනය කරන්නට අවතීර්ණ වුවත් ඒ අවස්ථාවේදී ඔහු විශ්වාසය තැබුවේ විවෘත ආර්ථිකය මෙරට ට හඳුන්වාදුන් පක්ෂය වෙතය. වයස් ගතවන විට මගේ හිතට ආ සිතුවිල්ල නම් විවාහයෙන් පසුව වගකීම් හා යුතුකම ඔහුවටා එක් රැස් වන විට සමසමාජ මතිමතාන්තර පසුකර මනසවටා මුදල් පසුබිම්කරගත් ගැටලු රොද බඳින්නට වීම දැයි මට නිතර සිතෙයි. එහෙත් මෙතුවක්කාලයක් හරිතයට පෙම් බැඳි ඔහු හිටි වනම විකල්ප පත්තරේක ට මධ්‍යස්ත මතධාරියෙකු ලෙස ලිපි යවන්නට පෙළඹවෙන්නේ ඇයිදැයි මට ගැටලුවක් විය. අවසානයේ මම අප්පච්චී ගෙන් මේ ගැන අසන්නට ඉටා ගත්තෙමි.

ටක් ටක් ටක්...!

කවුදෝ දොරට ගසනු ඇසී කියවමින් සිටි පත්තරය පසෙකින් තබා උපැස් යුවල අතට ගත් මම සාලය පසුකර දොර අසලට යනවිටත් අප්පච්චී පමිණි පිරිස හා කතාවට වැටී අවසානය.

ලොකු මහත්තයා නන්දන මහත්තයා ඉන්නවද දන්නෑ. අපි මේ සහෝදරයෝ පිරිසක් එක්ක ආවේ මේ ළඟ එන ඡන්දෙන් අපේ අපේක්ෂක තුමා ව දිනවන්න කියලා යන්න.

මේ ළමයි ඈඳිගත්ත නං.
අපේ පුතානං ගෙදර නෑ. කමක් නෑ කියන්නටකෝ බලන්න මේ ළමයි ගේ උවමනාව මොකද්ද කියලා.
හැකියාවක් තියෙනවා නං මටත් පුලුවනි තම පමණින් උදව්වක් කොරන්න.

ලොකු මතත්තයා අපි මේ ආවේ මේ පවතින සමාජ ක්‍රමය තුලදී අපේ රට තුල අද ඇතිවෙලා තිබෙන මේ සූරකෑම මේ බඩවඩා ගැනීමේ දේශපාලනය වෙනස් කරල යහ පාලනයක් ඇති කරන රට දිනන මඟ ගැන පහදා දීල අපේ අපේක්ෂක තුමාව දිනවන කියලා ඔබතුමන් ලා වගේ ගමේ ඉන්න ප්‍රභූවරුන් ව දැනුවත් කරන්න.

පිරිස අතුරින් යටි රැවුල හා උඩුරැවුල පමණක් යහමින් වඩාගත් තරුණයෙකු ඉදිරියට පැමිණ පැවසීය. වාමාංශික දේශපාලනය ආත්මගතව කරන්නෙකුගේ ස්වරූපයට සමානව සැරසුනු ඔහුගේ අතේ මැතිවරණ පත්‍රිකා මිටියකි.

ඔය අතේ මොනවද ළමයෝ කොල මිටියක් තියෙන්නේ.

අප්පච්චී අසන්නේද උවමනාවක් නැතු ප්‍රශ්ණ ම ය. කෙලින්ම මාව හමුවුනා නම් මෙලහකටත් මාව හමුවන්නට ආ ඔවුන්ව පිටත්කර යවා අවසන් ය.

අපේ අප්පච්චී ගම කනවා අප්පා. ශිහ් මම හිටියේ නෑනේ එලියේ.

තනිවම හිතට බැනගත්තත්  අප්පච්චී මේ කරන්නට යන්නේ කුමක්දැයි මට අදහසක් නොතිබුණු බැවින් මම දොර රෙද්ද අභියසට වී අසාගෙන සිටින්නට තීරණය කලෙමි.

මූලිකවම ලොකු මහත්තයා අපි මේ ව්‍යාපෘතිය තුලින් ඉලක්ක වෙන්නේ නිර්ධන පංතියේ කම්කරුවාගේ පටන් අහස උසට මන්දිර අටවගෙන ඉන්න ධනවතා දක්වා මේ වික්ටෝරියානු ආදායම් ලැබීමේ ක්‍රියාපටිපාටිය වෙනස් කරන්න.

පත්‍රිකා මිටිය අතින් ගත් තරුණයා කතාව පටන්ගත්තේ ය.

මොකද මේ පවතින ක්‍රමය වෙන කලෙ නැත්නං අපේ දරුවන් ට වෙන්නේ ධන්වතුන්ගේ අතකොලුවක් වෙන්න. ලොකුමහත්තයා නියෝජනය කරන මධ්‍යම පන්තියත්, මම ඇතුලු මේ අපේ සහෝදර පිරිසෙන් වැඩිහරියක් ජීවත් වෙන නිර්ධන පන්තියත් යන මේ දෙකම පාගාගෙන අපේ ශ්‍රමය සූරාකන මේ ධනවාදී යකඩ සපත්තුව ගෙදර යවන්න යි අපි මේ නියෝජනය කරන කණ්ඩාවයේ මූලිකම බලාපොරොත්තුව වෙලා තියෙන්නේ.

නිකමට හිතන්න ඔබතුමා අද ඇයි මේ වගේ තමන්ගේ ජීවිතේ අවසාන කාලය මේ වගේ කිසිම වැඩක් කරන්න ට හැකියාවක් නැතුව ගෙවන්නට වෙලා තියෙන්නේ..?
පවතින ක්‍රමයේ වැරැද්ද මහත්තයා පවතින ක්‍රමයේ වැරැද්ද.

අනික අපි ගංගොඩ ආසේන් එන කොට දැක්ක ඔබතුමාගේ සහෝදරයාට අයිති ඉඩම් බොහොමයක් ම වල් බිහිවෙලා තිඑනවා මේ කට හේතුව මහත්තයා මහත්තයද ..? නෑ....!
පවතින ක්‍රමයේ වැරැද්ද මහත්තයා පවතින ක්‍රමයේ වැරැද්ද.

දැන් බලන්න අක්කර පහේ කෑල්ලේ හදන්න යන ගෙදර විසාලත්වේ. මහත්තයාල ඉන්න මේ ගෙදරට වඩා හතරපස් ගුණයක් විතර විසාලයි.හිතන්න, මහත්තයාලට නැති වෙන්නත්ත් ඒ ගේ හදන ගොය්යට තියෙන්නත් හේතුව මොකද්ද මහත්තයා...?
පවතින ක්‍රමයේ වැරැද්ද මහත්තයා පවතින ක්‍රමයේ වැරැද්ද.

ඒක නිසා අපි මේ ගෙදරින් මේ පවතින ක්‍රමයවෙනස් කරන්න ඔබතුමාගෙන් පුංචිම පුංචි මූල්‍යමය ආධාරයක් බලාපොරොත්තු වෙනවා.

කියන දේට සංවේදී වෙමින් අපේ අප්පච්චී තවමත් දෑස වසාගෙන ධ්‍යානයක ට සමවැදුනා මෙනි.

ලොකුමහත්තයා.............?

අහ් මම මේ ළමයි කියපු දේවල් ගැන මම මේ පොඩි කල්පනාවක යෙදිලා හිටියේ. ඔය ළමයි කියපු දේවල් එක්ක අපේ ජීවිත ගැන කල්පනා කරල බැලුවා ම  ඔය ළමයි කියපු දේ කිසිම වැරැද්දක් නෑ. කොහොමත් මේ වගේ සමාජ ශෝදනයක ට ලක ලෑස්තිවෙලා තියෙන හින්දා මම මේ ළමයින් ගෙන මේ පිළිබඳව වැඩිහුර විස්තර දැන ගන්නත් එක්කම පොඩි ප්‍රෂ්ණයක් අහන්න හිතුවා. කමක් නෑ නේද..?

කිසි ගැටලුවක් නෑ මහත්තයා අහන්න. අපි ඉන්නේ ඔබ තුමන්ලා වගෙ අයට උපදේශනය හරහා උදවු කරන්න. අහන්න...?

මේකයි..,

අප්පච්චී තම ගැටලුව අහන්නට පටන් ගත්තේ ය.

ඔය ළමයි හිතන විදියට විශ්‍රාම ගිහිල්ලා අවුරුදු 4ක් ගත්වෙලත් විශ්‍රාම පඩිය ලැබුනේ නැති කෙනෙක් විදියට, වසර 30ක් පුරාවට ම නොමිලයේ දරුවන් ට සිංහල පංති පවත්වන දුප්පත් ගුරෙක් විදියට.., අද මේ වෙලාවේ ඔය ළමයි මේ ඇවිල්ලා ආධාර මුදලක් දෙන්න වත් වත්කමක් නැති නාකි මනුස්සයෙක් වෙන්නට තරම් තත්ත්වෙකට පත්වෙන්නට ඔය ළමයි හිතන විදියට හේතුව මොකක් වෙන්න බැරිද...?

එකිනෙකාගේ මුහුණට මුහුණ බලාගත් පාක්ෂිකයන් පිරිස එය ඔවුන් නොදන්නේ යැයි පැවසුවේ අප්පච්චිගෙන් පිළිතුර බලා පොරොත්තුවෙනි.

පවතින ක්‍රමයේ වැරැද්ද ළමයිනේ පවතින ක්‍රමයේ වැරැද්ද. ඔය ක්‍රමය වෙනස් වෙන තුරා මට ඔය ළමයින් ට ආධාරයක් වත් දෙන්න වෙන්නේ නෑ. ඉස්සෙල්ල අපි මේ තියෙන ක්‍රමය ට අනුගතවෙලා මුලින් ඒක හදාරමු. පස්සේ පවතින ක්‍රමය වෙස් කරන්න බලමු නේද ළමයිනේ...?

අ..අපි එහෙනම් ගිහිල්ල එන්නම් ලොකු මහත්තයා.

හා හොඳයි දෙවියන්ගේ ම පිහිටයි.

මා එළියට යනවිටත් පිරිස ගේට්ටුවෙන් එළියට යමින් සිටියේ නිසොල්මනේ ය. අප්පච්චී තවමත් නිසොල්මනේ කවිච්චිය උඩට වී වාමාංශික තරුණයා විසින් ලබා දෙන ලද පත්‍රිකාව කියවමින් සිටියේ මුවේ රැඳුනු සිහින් සිනහාවෙන් යුතුව ය.