කේසරගේ ජාලගත මෙව්වා එක.

/
8 Comments


ඒ මෙයට පෑ කිහිපයකට හෝ දින කිහිපයකට එපිට ය.
හෝජුරු නැන්දාගේ නිවසේ පලහා තිබූ මස් කෑබලි කිහිපය ගිලදමා නිවසින් පිටතට ආ කේසර සිය කෙටි නමුත් ගන හිසකේ සොලවා අසල වූ දැලකට නැග ගත්තේය. හෝජුරු කොහේදෝ විදේස රටකින් ආ තැනැත්තියක් වුවත් ඈත සිය මව මෙන්ම දරුවන්ට ආලය කරන්නියකි. සිය සැමියාගේ අඟ සිය සිරුරේ සඟවාගත් පසුවට ඔහු සිය සිරුර දරුවන් වෙනුවෙන් දන් දුන් වග ඈ කේසර හට කීවේ කඳුලින් යුතුවය.
එයා මා දිහා බලලා මොනාදෝ කියන්න හැදුවා, ඒත් මට ඒක අහන්න ඕනෑවෙල තිබ්බේ නෑ, මට ඕනෑ උනේ එයාගේ ලේ දකින්න.
හෝජුරු පොලිස් නිලධාරියා ට කියූ දේ ඇත්ත නම් හෝජුරු සිය සැමියා මරාදමා ඇත්තේ හිතා මතා ම ය.
ඒත් සම්ප්‍රදායේ හැටියට එයා මට ආහාරයක් වෙන්නම එපෑය. එහෙම නැතුව කොහොමද මම දරුවෝ ටික බලාහදා ගන්නේ?? මට කැමති දඬුවමක් දෙන්න ඉන්ස්පැක්ටර් මම කැමතියි එයාගේ මතකය වෙනුවෙන් ඒ දඬුවම විඳින්න.
හෝජුරු එසේ කීවත් නිලදරුවා කිසිවක් නොකියාම අසල වූ ඉඩකට ගොඩවී සිය නිවස්නයට වැදුනේ ය.

මා කතාව කිවිය යුත්තේ හෝජුරු ගැන නොව ඈගෙ සහ මගේ හමුවීම ගැනය, ඉතින් ඒ වගත් මෙසේ ම,

හෝජුරු ගේ නිවස ඇත්තේ ඇප්‍රිකොට ගසක් ආසන්නයේම ය, මැලින්ඩාගේ පියා මව සහ එකම සහෝදරයා නිතර ගෙඩි කඩාගන්නට ආවත් කේසරගේ රාජධානි පෙදෙසට එන්නට තරම් එඩිවත් වූයේ නැත. එහෙත් එක දවසක් ඒ උත්සහය අපතේ ගියේ ය. ඒ වැඩිබර සන්ධ්‍යාවකි. මුලු ගසේම ඇප්‍රිකොට් ගෙඩි තිබුනද කන්නට තරමේ ඉදුනු ගෙඩි තිබුනේ නැති, මැලින්ඩාගේ පියා සිය පුත්‍රයා සමඟ ගස වටා කැරකී ගියත් මැලින්ඩා ගසේ ඇතුලු කොටසේ ඉදුනු ඇප්‍රිකොට් ගෙඩි ඇත්දැයි බලන්නට විය. රතු පැහැයට හුරු කම්මුල් සහිත මැලින්ඩා, අතු අතර ඇස යවා ගෙඩි ඇතිදැයි සොයනවා, කේසර හෝජුරුගේ නිවසින් එළියට ආ විගස ම ඇස ගැටෙන්නට විය. කිසිත් නොපවසා ම කේසර හෙමීට ඇප්‍රිකොට කොලයකට මුවාවී මේ අපූරු සත්වයාගේ විමසුම බලා සිටින්නට විය. අවාසනාවට බොහෝදේ කල හැකිය, මැලින්ඩාගේ ඇස ගැටුනේ කේසරගේ නිවාස වලට ඉහලින් දිලිසී දිලිසී එල්ලෙමින් හිරු රැසින් නැහැවෙමින් තිබූ යෝධ ඇප්‍රිකොට් වල්ලයි. එක වරම පළතුරු වල්ල දෙසට පියෑඹූ මැලින්ඩා දෙවරක් නොසිතාම සිය මුවෙන් ඇප්‍රිකොට වල්ල අත්තේන් කඩාගති, අවරට තිබාගත් දෙපා ලෙස්සා ගොස් කඩාගත් ඇප්‍රිකොට වල්ල බිමට වැටුනත් මැලින්ඩාට ඊට වඩා හානියක් සිදුවෙමින් තිබිණි. කේසරගේ නැන්දලා මාමලා වියා තිබූ දැල් වල මැලින්ඩාගේ දෑත් දෙපා ඇලී කිසිවක් කරගන්නට බැරිවන තරමට ගැලී සිටියා ය. අධික ලෙස බියපත්ව කෑ ගසමින් නැවත් නැවතත් දඟලන්නට වීම නිසා අසරණ වූ මැලින්ඩාට මේ තමාගේ අවසාන මොහොත පමිණ ඇති බව වැටහෙන්නට වැඩි වේලා ගියේ නැත.

සියල්ල සිදුවීමට ගියේ තත්ත්පර කිහිපයක් වුවත් කේසර මේ සියල්ලම කොනක සිට විමසිල්ලෙන් බලා සිටියෙකු බව මැලින්ඩා දැන සිටියේ නැත. ඈ භීතියෙන් සහ විඩාවෙන් මුසපත්ව සියල්ල සන්සුන් වල තුරුම සිටි කේසර මැලින්ඩා වෙත සිය පා ඉක්මන් කරන්නට විය. තමා දෙසට නාඳුනන්නෙකු එන වග දැනගත් මැලින්ඩා, නැවතත් සිය පුරුදු කලබලය කරන්නට විය, සිය වර්ගයාගෙන් වෙනස් කෙනෙකු තමා වෙත එන විට යුවතියක තුල වන බිය මැලින්ඩාව ද වෙලා ගනිමින් තිබිණ.
ටික වේලාවක් ඈ දෙස බලා සිටි කේසර ට සිය නෑසියන් මේ විනම්බෑසිය බලන්නට දැන් දැන් ම නො එන වග කල් තියා දැන සිටියේ ය. සිය සතුරා අඩපන වනතුරු බලාසිටින්නට තරම් ඉවසිල්ලක් සහිත කේසරගේ වර්ගයා ගේ හීතියට පත් කරවන සුලු ඒ ඉවසිලිවන්ත භාවය කේසරටද නො අඩුවම උරුමව තීබිණි.
දෑසේ වූ අසරණ භාවයත් නළලතේ වූ දම් පැහැති කැලලත් නිසා කේසරට මැලින්ඩාව හඳුනාගන්නට අපහසු වූයේ නැත. ඇප්‍රිකොට් කන එකාගේ කෙල්ල නැතහොත් අර දං පැල්ලං ඉඩකුඩිච්චිය යන නමින් හෝජුරු සහ සිය මව බොහෝ අවස්ථාවල කතා බහ කරන්නේ මැය ගැන විය යුතු යැයි දැන් දැන් කේසරට සිතෙයි. අවිඥ්ඥාණිකව ඈ දෙස බලමින් මේ රුදුරු අමුත්තා අඩිය තබනා පියවරක් පියවරක් පාසා මැලින්ඩාගේ දැඟලිල්ල ඊට අනුලෝම සමානුපාතිකව වැඩිවන ආකාරයෙනි.
එක වරම කේසර ගමන නැවැත්වීය. තමා අසල සිරවී සිටිනා මැලින්ඩාව පැටලී ඇති රැහැන් කීපයක් ම කේසර එක පහරින් කපා දැමීය. එහෙත් මැලින්ඩා වෙත ළං වූයේ ඔහු නොවේ. ඈ වටේ රැහැණින් රැහැණට පනිමින් ඒ රැහැන් කපා මැලින්ඩාගේ උගුල බුරුල් කල කේසර, දැලට මැලින්ඩාව බද්ධව තිබූ අවසාන රැහැණද කපා දමා සිය අතෙකින් මැලින්ඩාවෙත ගස මුලට වැටී විසිරී ඇති ඉදුනු ඇප්‍රිකොට් ගෙඩි පෙන්වා සිටියේය.
ලද අවසරයෙන් සිය ශක්තිය එක්තැන් කර ගස යටට පියාඹා ඇප්‍රිකොට ගෙඩි කිහිපය සිය නියට තදකරගත් මැලින්ඩා එසැනින් ආපසු ගියද තමා හසුවී සිටි උගුලේ රැහැන් බුරුල් කල ඒ අමුත්තා ගැන මතකය ඈ වෙතින් පහව ගියේ නැත. අසරණිය පැන ගිය පසු සිය නෑසියන් ඇතිරූ දැල ඒ ආකාරයෙන් ම නැවතත් සැකසූ කේසර සිය නිවස්නය වෙත යන්නට ධවල ඇතිරුම වෙතට යන්නට දෑත් පා ඉක්මන් කලේ ය.
සිය දෙමාපියන් වෙත තමා ගෙන ආ ඇප්‍රිකොට් ගෙඩි කිහිපය දුන් මැලින්ඩා දොරටුව අසල පඩියක් සේ නෙරවිත් තිබූ ලී ගැටය මත හිඳගත්තා ය. ඉදිරියෙන් කිසිවක් නොදත්තා සේ ගලා යන සේන් ගඟ දෙස නෙත් හෙළමින් කල්පනා කරන්නට මැලින්ඩා කුඩාකල සිට ම ආශා කලා ය. ඇරත් ඈ හට කිසිවක් ගැටලු සහගත වූ සෑම අවස්ථාවක ම සේන් ගඟේ රැල්ලෙන් ඉපදෙන ජලබිඳු  වැකි මඳ සුළඟ ආසන්නත ම නිවැරදි පිළිතුර ඈ අසලට ගෙනැවිත් කිහිපවරක් ම පෙන්වා දී තිබිණි.
ඔහු ආවේ මට හිංසා කරන අදහසින් වෙන්න බෑ,
අනික එහෙම ආවා නම් ඇයි මම හිරවෙලා දඟළන විදිය පැත්තකට වෙලා බොහොම සන්සුන්ව බලා හිටියේ?
ඊට පස්සේ එකින් එක මගේ බැමි කපා දැම්මේ?? 
ඒත් ඔහු මා වෙතට ආවේ නෑ, මම කිසිවක් නොපවසාම ගෙදර ආපු එක නං වස වැරැද්දයි,
හෙට උදේ නොවැස්සොත් ආපහු අම්මලාට නොකියා ඒ හරියට ගිහින් එන්ට ඕන.
මැලින්ඩා සිය හදවත සමඟ තනිවන සෑම අවස්ථාවකම ඒ අපූරු සිදුවීම සිහියට නගා ගෙන කල්පනාවේ යෙදේ. වදවෙන්නට කිසිවක් නොමැතිව උස්මහත් වූ සිය සිතට නව මාතෘකාවක් දෛවය විසින් ලබාදී තිබේ. කලයුත්තේ ඒ ගැන මතකය වියැකෙන්නට පෙර වහ වහා ඒ පිළිබඳ ඉදිරි සැලසුම් ක්‍රියාවට නැංවීමයි.

කේසර සිය නිවස වෙත එන විට තමා කල වීරක්‍රියාව ගැන කේසරගේ මවට කණින් කොනින් ආරංචි ලැබී තිබිණි. තමන්ගේ වැඩිමහලු පුත්‍රයා නලලේ දම් පැල්ලම තිබෙන නැට්ටිච්චීව බේරා හැරිය බව ඒ පුත්තරයාගේ මව දන්නවා යනු මුලු කොළනියම ඒ ගැන දන්නා බව හැඟවීමේ එක සලකුණකි.
අසමජ්ජාතියා,
තමන්ගේ අම්මා මුත්තායේ කාලේවත් කල දෙයක්ද බොලා මේ කරලාතියෙන්නේ ඈ? තව ටික කාලෙකින් නෑම්බියක් අතින් අවසන් ගමන් යන්න ඉන්න එකා නේද? තමන්ගේ තාත්තා තමන්ව හදන්න ජීවිතේ දුන්නට මෙහෙම ලැජ්ජ කරලා නෑ, ඒත් බොලාගේන් පස්සේ පරම්පරාවට කියන්නේ අහල පහල උන් අර නැට්ටිච්චිව බේරලා ඇරිය එකාගේ පුතාලා කියලා නේද??
කතා කරපන්, කතා කරපන් යකෝ...! කේසර මම උඹටයි මේ කතා කරන්නේ..!
හොඳ වෙලාවට මම උඹලව බඩට ආ වෙලේ බොලාගේ මහ එකාව කම්මුතු කලේ,
එහෙම නොවුනා නං ඒ අසරණයා මැරෙන්නේ සාංකාවෙන් ඔව් සාංකාවෙන්..

කේසර නිහඬව සිටියේය. කර ඇත්තේ එක අතෙකින් වරදකි, සිය ප්‍රජාවට ආහාරක් ලබාගැනෙමේ අයිතිය පැහැර හැරීමකි. තවත් ගොදුරක් තම උගුලට හසුවන තුරු, කේසරගේ නෑසියන්ට උගුලේ සවිශක්තිය වියැකෙන්නට නොදී තබා ගැනීමේ භාරදූර කාර්යය සියදරුපවුල පෝෂනය කරන අතර තුර ඉටු කල යුතුය.

මැලින්ඩා වෙනදාටත් වඩා වේලාසනින් ඇඟමැලි කඩා කැදැල්ලෙන් එලියට පැමිණියා ය.
මම ඇප්‍රිකොට ගහ පැත්තට ගිහින් එන්නම්,
වෙනදාට තමා යන්නේ කොයිබදැයි කිසිවෙකුට කියා අවසර පතන්නට මැලින්ඩාට උවමනාවක් නොවුනත් තමා කරන්නට යන්නේ වැරදි දෙයක් දැයි සිත තමාගෙන් යළි යළිත් අසන්නට වීම නිසාවෙන් අවසානයේදී තමා යන ඉසව්ව සිය කණ්ඩායමේ සගයෙකු හට පවසන්නට සිතුවා ය.

කේසරගේ කාලය ගෙවුනේ වෙනදාට වඩා උදාසීන ගතියෙනි. තමා ගොදුරක් බේරා හැරිය බැව් සිය නඩයේ සියල්ලන්ම තොරතුරු රූපසටහන් සහිතව දන්නා බව සක්සුදක්සේ පැහැදිළි වූයේ සිය මව බෑඟිරි ගසා දෙස්තියන්නට වූ පසුවය, ඒ අසලින් සිය අටල්ලේ පිරික්සුම් කටයුතු කරමින් සිටි හෝජුරු නැන්දාද සිටීම නිසා ඇයටද මේ විනම්බෑසිය කන වැකෙන්නට ඇත. කාරණා කටයුතු ඒ ආකාරයෙන් ම සිදුවී ඇතිනම් තවත් නිමිත්තේ හෝදන්නට දෙයක් ඉතුරු වී නැති විය යුතු ය. පාලුව සාංකව මකාගන්නට කිසිවෙකු තමා හා කතාවට එන්නේ වත් තමා කා වෙතට හෝ යන්නේ වත් නැති නිසා කේසර සැබෙවින්ම සිතුවිලි අතර පීඩිතව සිටියේය.
කොහෙද සියදිවි නසාගන්ට වත් පුලුවනෑ, පල්ලමකින් පැන්නොත් මට කලින් මගේ කටින් නූල් විසික්කා වෙනවා නෙව. නිදහසේ මැරෙන්නට වත් ඉඩ නැති හැටි, සංසාරේ...
අවසානයේ සිය කල්පනා ලෝකය සැනසුමක් දෙන්නට ආහාර උගුල වෙත ගොස් එහි සිට අවට ඔත්තු බලන්නට කේසර අවසානයේ තීරණය කලේ ය. විනාඩි කිහිපයක දෑත් වෙහෙසවීමකින් පසුව ඇප්‍රිකොට ගස අසලට ළඟාවන්නට මැලින්ඩාට හැකිවිය. ගස වටෙන් ගොස් දකුණු පස කොල නැති අතු අගින් රින්ගා තවත් අතු කිහිපයක් ඉහලට නැඟ ගත් පසු තමා පෙරදිනයේ ගෙඩි කඩන්නට ගිය ඉසව්වට ළංවිය හැකි බව මැලින්ඩා දැන් දනී.

කල්පනාවක නිමග්න වූවෙකුට කල හැකි හොඳම බාධාව නම් ඒ කල්පනා ලොකයට තහංචි දැමීමයි. එකවරම තමාට පහත අත්තකින් ඇසුනු සරසරය කේසරගේ කල්පනාව බින්දේ සැනිනි. එක වරම පහත බැලු විට තමාට පහති තමන් පෙරදා බැමි ලිහා නිදහස් කල රුවැත්තිය කේසර දෙස ඇසිපිය නොහෙළා බලා සිටිනු දැක කේසර තිගැස්සී ගියේ ය.
ඇයි එහෙම කලේ??
මම දන්නේ නෑ, මට හිතුනා ඒකයි,

දැන් මොකද තත්ත්වේ??
කණ්ඩායමේ ඔක්කොම අය දන්නවා මම එහෙම කලා ය කියලා, උන් මාව නොසලකා හැරලා.. මට ඊට කලින් කියන්න ඔබ මෙතන මොකද කරන්නේ?

මටත් අහන්නට තියෙන්නේ ඒ ප්‍රස්නෙමයි ඔබෙන්??

කමක් නෑ මුලින් ඇහුවේ මම. ඒ නිසා ඔබ මට පිළිතුරක් ණයයි.
හොඳයි, මාව බැමි ලෙහුවට පස්සේ මම ගෙදරට යනකනුත් කල්පනා කලේ ඒ ගැන මට හිතාගන්න බෑ ඇයි එහෙම ඔබ මාව බේරා හැරියේ කියලා, මීට කලින් මට මෙහෙම දෙයක් වෙලත් නෑ, කවුරුවත් මට උදව්වක් කරලත් නෑ. මම ඒකයි අද ආවේ ඔබට කොහොමද කියලා බලන්ට.

හ්ම්ම්, මමත් මීට කලින් එහෙම කරලා නෑ තමා, අපේ මුලු පවුලම ගොඩක් කාලෙකින් මොනවත් ආහාරයට අරගෙන නෑ, අපි දඩයම් දන්න්නේ නෑ, අපි දන්නේ උගුල් අටවන්ට විතරයි, ඒකට කවුරු හරි තමන්ගේ නරක වෙලාවට අහුවුනොත් විතරයි අපිට කෑම ලැබෙන්නේ. ඒකයි මට අපේ කණ්ඩායමෙන් නින්දා අපහස ලැබෙන්නේ.., මම හිතන්නේ ඔබට තේරෙනවා ඇති මම කියනාදේ,

ඔව් මම දන්නවා, මගේ ජීවිතේ බේරපු එකෙන් ඔබ කරලා තියෙන්නේ මට විසාල උදව්වක් උනාට, ඔබේ ගෝත්‍රයට විසාල අසාධාරණයක්.

හ්ම්ම්,

මම යන්නම්, ස්තූතියි නැවතත් මගේ ජීවිතය නොගත්තාට.
අවස්ථාවට ගැලපෙන කුමක් හෝ දෙයක් කියන්නට කේසර සිතනා විට පහතින් යලිත් ඇසුනු සර සරය නිසා කල්පනාව පසෙක තබා පහත අත්ත දෙස බලන විටත් මැලින්ඩා තිතත් වන්ව ඈතට යනවා කේසර දුටුවේ ය.

පරිස්සමින් සිය අත් දෙකකින් වැරගෙන ධවල බන්ධනයේ ඉහල කොටසකට නැඟුනු කේසර සිය කැදැල්ල වෙත පිය මැන්නේ ය. එදා සිදුවීම වාගේ නොව අද සිදුවීම කිසිවෙකු කිසිවන් දැන නොගනීම කේසරට සහනය විය. හැඩරුවෙන්, අදහසින්, භාශාවෙන්, ගෝත්‍රයෙන්, වර්ණයෙන් තමාට වඩා පරස්පර විරෝධී වුවද ඈ හා තමාගේ එකිනෙකා හඳුණන හුරුපුරුදු පොදු ගුණාකාරයක් ඇති බව කේසරගේ සිත් කොනක අදහසක් ඉපදිණ.
මම ඒක කොහොමහරි හොයාගන්නවා,
සුළඟට ගසාගෙන ආ දිරාගිය අත්තක කොටසකින් සිදුරුවූ සිය නිවහනේ වහලය ආවරණය කරන්නට මුදුනට නගිනා ගමන් කේසර සිය සිතට ම සපථ කරගත්තේ ය.

පෑ දින වලට පෙරළිණ, කේසර, මැලින්ඩා සමඟ සිය නිදහසේ කතාව කරගෙන යන්නට බොහෝ තැන්වල සිට උත්සහ දැරුවද, ඒ සෑම අවස්ථාවකදීම කේසරගේ හෝ මැලින්ඩාගේ ගෝත්‍රයේ කවුරුන්හෝ සිය නායකයාට ඒ බව රපෝර්තු කර ඇති බව දෙදෙනාව සිය වරිග සභා මැද්දට ගෙන අවවාද දීම් වලින් දැනගන්නට විය. නිදහස උගහට ය. තමා වෙත බැලුම් හෙළා සිටි තරුණ සෙබලා පවා තමාගේ වරිගයට නොගැලපෙන් සබඳතා වලින් වෙලී ඇති බව දැනගන්නට වීම නිසා මැලින්ඩාගේ හොඳම මිතුරියගේ සහකරුවා  බවට පත් කරගෙන ඇති බව ආරංචි විය,
ඒ වාගේම කේසරටද තමා වෙනුවෙන් හෝජුරු නැන්දාගේ දුවණියක ජෝඩු කරන්නට මව දැරූ උත්සහය වරිග සභාවේ අණින් වලක්වා ඒ වෙනුවට කේසරට බ්‍රහ්ම දණ්ඩයද, ජීවිතාන්තය දක්වා සිය සහකාරිය අතින් ලැබෙන ගෞරවණීය මරණය ද අහිමි කරවීය. දින ගණනක නිරාහාරය කේසරව දුර්වල කරන බව දැනෙන්නට විය. අවසානයේ කේසර තමාහට ගත හැකිව ඇති අවසාන තීරණය, එසේත් නැතිනම් සිය වර්ගයා තමාට ගන්නට යැයි බල කර සිටින ඒ තීරණය ගන්නට සූදානම් විය.
මිත්‍රත්වය කෙසේ වුවද බඩගින්න ඊට වඩා කවදාහෝ උග්‍ර වන බැව් කේසර දැන සිටියේය.., සිය අතිජාත මිතුරිය මැලින්ඩා එන තුරු සිය දෑත් යුගල දෙකක් භාවිතා කරමින් දැල වියමින් සිටියේ එහෙයිනි, අඩු ගනනේ අනික් තම වර්ගයේ එවුන්ට දැනෙන්නට හැරියේ එලෙසය. තමාහට ඒ හමුව එක්තරා ආකාරයක අරුමැසි කාරී එකක් බව තමා කෙනෙකුට විස්තර කලොත් ඉන්තේරුවෙන් ම කියනා වග කේසර දැන සිටියේය. මවු සිය සැමියාව ආහාරයට ගෙන සිය ගැබ පෝශණය කරගත් බව කට කතන්දර වලින් කියත්දීත් ඒවා තඹයකට මායිම් කරනොගෙන කෙළිදෙලින් නැන්දලා මාමලාගේ දැල් වලට කාලය ගෙවමින් සිටි කේසරට ඈ හමු වීම පුදුමයක් වූයේ මෙයට කලින් ඈ වැනි කෙනෙකු දැක නැති නිසාවෙනි. තාමත් විටෙක ඈ තරහින් කෑ ගසන විට මුල්ලකට වී බියගෙන සැඟවීම කරත්, කිසිවිටක මෙවර තරම් ඈ දැලේ ලා ගැනීමට බිම් සැලසුම් එලුවේ නැත. අතීත මතකය පසෙක ලා කේසර නැවත දැල වියන්නට ගත්තේ ය. අද ඈ සමහර විට වැස්සට පෙර එන්නට ඉඩ ඇත. කේසර ඒ බව දනී. 
මේ කරදර අවසානය කල යුතු තැනට පැමිණ ඇත.

මැලින්ඩාගේ හැසිරීම ගැන ඔත්තු බලන්ට යොදවා සිටි සෙබලාට මැලින්ඩා කැදැල්ලේ නොමැති බව දැනී වහ වහා රපෝර්තු කිරීමෙන් පසුව සෙබල පිරිසක් ඇප්‍රිකොට් ගස වෙත පියෑඹීම අරඹන විටත් මැලින්ඩා ගස අසලට ළඟාවී සිටියේ ය.  සිය මිතුරා තමාව කොටු කරගන්නට දැල් එලාගන්නට ප්‍රජාවට අවකාශ දී ඇති බව මැලින්ඩා වෙත ඊට පෙර දින සුළං රැල්ලක් කොඳුරා කීව්වත්, තමා ඊට එඩිබලව මුහුණ දෙන වග තම සිතේ සටහන් කරගත් වග මැලින්ඩා කිසිවෙකුට කියා නැති.
එක වරම අමු ගෙඩි අතර දිදුලමින් කිසිවකුගේ අවධානයක් නොලබා තීබෙන ඇප්‍රිකොට් ගෙඩිය වෙත ඈ සිය අවධානය යොමු කලේ ය. එ සමඟම තමාගේ එක තටුවක් පැටලුනු ධවල දැල කිසිවෙකුගේ බලපෑමක් මත පැටලී අනෙක් දැල් වෙත හා වෙන්නට යන වග මැලින්ඩාට සිහිවිය, ඇප්‍රිකොට් ගෙඩිය තමාව උගුලේ වට්ටන්නට කල ඇමක් බව මැලින්ඩාට පැහැදී අවසාන ය. ඈ සිය උත්සහයන් අතහැර මිතුරාගේ පාත්‍රවර්ගයා වෙත ආහාරය වේවා යන අදහසින් සිය පියාපත මත හිස ගසා ගත්තා ය.
සිය මිතුරිය ආහාරයට ගන්නට සූදානම් වන සිය නෑසියන් දෙස බලා සිටින්නට නොහැකිව අසරණ කේසර ඇප්‍රිකොට් ගස පිහිටා තිබූ තැනින් පහලට පනිද්දී එකවරම සිය එක අඬුවකින් අල්ලාගත් කවුරුන්හෝ ඉහළට ඔසවාගෙන යන බව අවටින් ගලායන සුළං වැල් වලින් කේසරට දැනෙන්නට විය, ඒ සමඟම ඇප්‍රිකොට් ගසේ පරම්පරා ගණනාවක් විරාජමානව තිබූ මකුළුදැලේ ගොදුරක් බවට පත්වන්නට ගිය මැලින්ඩාගේ බැමි සෙබල කුරුල්ලන් දෙදෙනෙකුගේ නිය පහරින් විසුනු කර දමා නැවතත් සේන් ගඟ අස කැදැල්ලට කැඳවාගෙන යන්නට විය. එකවරම සෙබල කුරුල්ලෙකුගේ හොටයක් අග එල්ලී සිටින අමුතු ආකාරයේ සත්ත්වයා දැක මැලින්ඩා හට තමන්ගේ ජීවිතය ගැන නව බලාපොරොත්තුවක් දලුලන්නට විය. කේසරත් තමාට පහතින් සෙබලුන්ගේ උදව්වෙන් තමාදෙස බලමින් පියාසලන සිය කිරිල්ලිය දැක මැලින්ඩාට ඇතිවූ සංවේදනාව ම ඇතිවන්න ට විය.
උඹලෑයේ බාප්පා අර සේන් ගඟ අහ, දං පැල්ලං ඉසකුඩිච්චිය එල්ලගෙන අපේ පරම්පරාව දැලි ගෑවා,තමන්ට නොගැලපෙන ගෝත්තරේකින් උඹලා පෑහෙන්න හදන්ට එපා, කෙටියෙන් කියනවා නම් උඹලා කේසර බාප්පා වගේ හැදෙන්න එපා තේරුණාද? උඹලා මේ දැල රකින්න ඕනේ,
හෝජුරු නැන්දා සිය මකුළු පැටවුන් හට කොතරම් අවවාද අනුශාසනා දුන්නද පැටිවියේ ගෙවෙන  ඒ මකුළු පැටවුන් හට උද්‍යෝගයෙන් කතා කරන්නට මනැස් විරුවෙකු ලැබී තිබේ. ඒ කේසර බාප්පා ය. 


You may also like

8 comments:

  1. මට මතක් වුනේ Epic කියන ඇනිමේශන් චිත්‍රපටිය :)

    ReplyDelete
  2. ඇනිමේෂන් එකකට නං හොඳයි තමයි... මකුළුවො හින්ද තවත් හොඳයි... ( තාම උන් ගැන ෆිල්ම් එකක් ආවෙ නෑ නේ ද...) හැබැයි පොඩ්ඩක් කතාව පැහැදිලි මදි.. ඕනෙකමින්ම අපැහැදිලි කරන්න ගිහින් නාගෙනද මන්ද.....

    ReplyDelete
  3. මේ බ්ලොග් එක අපේ බ්ලොග් දර්ශකයටත් ඇතුල් කරන්න. මෙන්න අපේ ලින්ක් එක.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
  4. අපි ගොඩ දෙනෙකුට පොදු එකම අර්ථකථනය වෙනස් කතාවකින්!

    ReplyDelete
  5. /////කොහෙද සියදිවි නසාගන්ට වත් පුලුවනෑ, පල්ලමකින් පැන්නොත් මට කලින් මගේ කටින් නූල් විසික්කා වෙනවා නෙව. නිදහසේ මැරෙන්නට වත් ඉඩ නැති හැටි, සංසාරේ...//////

    ඒකත් ඇත්තනේ අප්පා....

    ReplyDelete
  6. අර කීවත් වගේ ඇනිමේශන් ෆිල්ම් එකකටනං නියමයි.
    කතාව කොටස් දෙකකට වගේ දැම්මනං හොදයි කියල හිතෙන්නෙ නැද්ද ??

    ReplyDelete
  7. අපූරු සිත්තමක් ලිශාන්...
    සම්ප්‍රදායට පිටින් යන අය අනිත් අයට වීරයෝ වෙන හැටි නම් පුදුම සහගතයි..

    ReplyDelete
  8. සයිබර් අවකාශයෙන් හමුවුන අපූරුම කතාවක්.

    ReplyDelete