දඩයක්කාරයාගේ මරණය

දඩයක්කරුවා ගසේ කරුව අතුරින් තුවක්කුව තබා ගත්තේය.., හේ නිහඬ ය, විමසිලිමත් ය, අවට පරිසරයේ වෙන හැම වෙනසකට සිය ඉන්ද්‍රීයන් සංවේදනය වන බව දඩයක්කරුවා දනිතත්.., තමා සිටිනා ගසේ ඉහත්තාවෙන් අයියානායක දෙවියන් වෙතට පිදූ රුක්අත්තන අත්ත තවම තිබේදැයි වෙඩිලන්නට ප්‍රථම දැනගන්නට මෙන් දඩයක්කරුවා හිස ඔසවා ගස දෙස බැලුවේය.
"දෙයියෝ මාව ආරස්සා කොරනවා"
ගැඹුරු හුස්මක් පහතට හරිමින් දඩයක්කරුවා සිතීය. ගස මතට වී සිටින්නට තවමත් කල් වෙලාසන වූවත් වේලාවට කලින් තම ඉලක්කය සරි කරගන්නා දඩයක්කාරතෙමේ සියල්ල පරිපූර්ණව සාර්ථක දඩයමකට සියල්ල ලැහැස්තිදැයි නැවතත් පරික්ෂා කරන්නට මෙන් මුලසිට සියල්ල පිරික්සන්නට පටන් ගති.
අදවත් දඩයමක් කරගෙන එන්න බලන්ට,
අපුච්චාගේ ඉලව්ගෙදෙට්ට ගත්ත කාසිවලට තෝරමල්ලිනානාට තවමත් මං මුදලක් ණයයි..,
ඒ  ටික දෙන්න බැරි උනොත් මට වෙන්න ඌ එක්ක ඒ හිලව්වට නිදිවදින්න..,
මම ඒම කොරන්ට ආස නෑ දෙයියෝ,
අයියනායක දෙයියන්ගේ පිහිටෙන් අදවත් සතෙක් එලාගන්ට බලන්ට..,
පැලෙන් තුවක්කුවද රැගෙන පිටවෙන්ට කලින් දෙපා වැඳි සිය බිරිඳ වූ "අසා" සිය දෙපාමුල රැඳී කියූ දේ දඩයක්කරුවාගේ හිතේ නටන්නට වන්නේ, කන්ද ඉහත්තාවේ පිහිටි යෝධ රුක් අත්තන ගසට නැගුණේ වෙන කිසිඳු විසඳුමක් නොවූ තැන ය. දඩයක්කාරයාගේ ජීවිතයේ වටිනාම වස්තු දෙකකි. එකක් පිය උරුමයෙන් තමන්ට ලැබි තුවක්කුවය. අනෙක පිය උරුමයෙන් ලැබුණු තුවක්කුව උරුක් කර නිවසින් බලෙන් පන්නගෙන ආ "අසා" ය.
මස් මරන එවුන්ට දෙන්න මේ පැලේ කෙල්ලෝ නෑ.., තෝ ආ අතක් බලාගෙන පල..,
හැරමිට්ට උරුක් කර තමා වෙතට බිනූ මහල්ලා වෙතට කිසිදු හිතක් පපුවක් නැතිව තුවක්කුව උරුක් කර බලහත්කාරයෙන් අසාව කැන්දගෙන ආ හැටි මතක් වෙද්දී දඩයක්කාරයාගේ මුවඟට නැගෙන්නේ සිනහවකි.
මට තොගේ නාකියට මොල කෑලි යන්න තියන්න පුලුවන් අම්මපා.., ඒත් මම එහෙම කරන්නේ නෑ,
මං තොට‍ මනාප නිසා..,
අම්මා අප්පලගේ වටිනාකමක් මම දන්නේ නෑ බොල,
මාව වදලා අපේ අම්මා වැදූගෙයි සන්නියෙන්ම මියෑදිලා,
කිරි අම්මා තමා මයේ අම්ම උනේ..,
තුවක්කුව අරන් අපේ අපුච්චා කැලේ යද්දී ඌරෙක් හදිගැහිලා බඩ හංකඩේ ඉරෙන්නම අඟෙං පාර දීලා..,
එහෙම තමා මයේ අම්මා අප්පා දෙන්නම මියෑදුනේ..,
මම තොගේ මහ එකාව තොලොංචි කරලා තෝව ඇන්න ආවොත් තෝත් මං වගේම අනාත එකෙක් වෙනවා,
උඹ මට ඇත්තටම මනාප නං මා එක්ක වර. අයියනායක දෙයියං පල්ලා මම උඹව ආරස්සා කොරනවා, මයේ ඉසේ පණ අති තුරාවට..,
මං මූට මනාපයි අපුච්චා..,
මට මහ ලොකු ආරච්චි පුත්තුන්ගෙං කාරි නෑ.
මං යනවා මූ එක්ක..!
එවකට සොළොස් වියවත් සපුරා නැති අසා, නමක් ගමක් නොදත් තමා සමඟ ආ හැටි මතක් වී දඩයක්කාරයාගේ සිතේ අසා ගැන ඉපැදුනේ නොසිඳෙන සෙනෙහසකි. 
අසා තමා සමඟ කරකාර විත් දෙවසරකට පමණ පසු අසාගේ අපුච්චා මියගියේ ලේ මාපිලෙකු දෂ්ඨ කිරීමෙනි.
සේතුං පිල්කඩේ ඇලවෙලා ඉන්න වෙලාවේ තමා මේක වෙලා තියෙන්නේ..,
පැලේ වහලේ දිගේ එල්ලිච්චි මාපිලා සේතුංගේ පපුතුරටමයි දස්ට කරලා තියෙන්නේ...,
දස්ට කොලාම විසට නින්ද යනවා, ඊට පස්සේ මාපිලා ලේ උරලා වහලෙන්ම කැලේට තොලොංචි වෙනවා.
මේක වෙලා ටික දොහක් වෙන්න ඇති, අපි සේතුවාගේ පැලෙන් සද්දයක් නැති නිසා,
පැලේ කුණු ගඳ ගහනකොට තමා ඇවිත් බැලුවේ..,
එතකොටත් වෙන්න ඕනේ හරිය වෙලා..!

අසාගේ පියා වල දැම්මේ මලගමක් නොමැතිවය.., එහෙත් හත්දොහේ දානයට දඩයක්කාරයා අත වූ මුදල නොසෑහුනු නිසා ඊට සහයට ආවේ නානා ය. වලත්තකමේ උපත ලෙස හැඳින්නූ ඇලෙන් එගොඩහේ හම්බවලානටම සිටි ධනවතා වූ තොරමල්ලි නානා ඇලහැර මැණික් වෙළඳාමෙන් සහ මුදල් අතමාරුවට දීමෙන් දිවිය සරු කරගත්තෙකි, බිරින්දෑවරුන් පස් දෙනෙකුට සැමියෙකු වූ නානා හට ඇලහැර ද තවත් පවුලක් සිටිනා බව රට්ටු කතා වෙනවා දඩයක්කාරයා ඇසී ඇත. එහෙත් අසාගේ අපුච්චාගේ මලගමට තමා අත වූ රුපියල් හතට මදිපාඩුව සපුරන්නට ඉතිරු රුපියල් තුන පංගාත්තු කරේ තොරමල්ලී නානා ය.
නානාට මං දඩයමක් එලාගත්තු ගමන් මුදල පියවන්නං..,
හදිස්සි නෑ හදිස්සි නෑ,
මම ළඟදී ඒ පැත්තේ ඇවිත් යන්නං කෝ..,
පිය වියෝවෙන් වැලපෙන අසා දෙස බලමින් නානා දඩයක්කාරයාට කී හැටි තවමත් මතකය.., 

දින කීපයකට පසුව ගංතුලානේදී
ඕන්න බලපන්, මසාගේ ගෑණිව මං සහේට ගත්තේ නැත්තං මං තොරමල්ලිනානා නොවෙයි
ලෙස කියනවා, දඩයක්කාරයාගේ කණට කාන්දු වූ වාර එමට ය.
වලත්තයා.., ඕකට මම
දඩයක්කාරයා තුවක්කුව වැරෙන් තද කරගන්නා විටම ඇසුනේ කොල අතු සැලෙන් හඬකි. වඩාත් විමසිලිමත්ව බැලූ කල දඩයක්කාරයා මෙතෙක් වෙලා බලා සිටි දඩයම තමා වෙතට එන බව හැගුනේය.

අසල වූ වල්ගසේ දලු කමින් සිටි පිරිපුන් සිරුර සහිත මේ සත්වයා එලා ගනිතොත් තමන්ට නානාගේ ණයෙන් බාගයකටත් වඩා ගෙවාදමන්නට හැකි බව මනසේ හොල්මන් කලේය.., දෙවරක් නොසිතූ දඩයක්කරු සත්වයාගේ හිස මානා කොකා ගැස්සුවේය. අතුණුබහන් සුද්ද කර මස් කඳ පැලට ගෙනියන්නට සිය ඉණෙහි වූ කිණිස්ස ඇදගත් දඩයක්කාරයා ගසෙන් පැන්නේ එක වරම ය.

නොසිතා තැබූ පය වැරදී යාම නිසා අත්ත පසු කර පහත වූ ගල් උලේ සිය දෙපරැන්ද වැදුන දඩයක්කාරයාට කිසිවත් සිතන්නටත් ප්‍රථම හිරිවැටුන යටිකයෙන් කුමක්දෝ උණු දියරයක් දෙපරැන්දෙන් ගලනවා දැනෙන්නට විය.., නිලංකාර වූ දෙනෙතින් කිසිවක් බලන්නට හැකියාවන් නැතිවුව උකු දියරින් පෙඟි සිය සරම අත ගෑමෙන් ඒ ගලන්නේ මොනවාදැයි ගලපාගන්නට දඩයක්කරයා උත්සහ දැරීය.

වෙඩි වැදි හිසින් යුතුව ගෝණ මව මරුවිකලෙන් දඟළනායුරු ඇසුන දඩයක්කරුට ඉන් පසුව රක්ත වූ දෑසින් දුටුවේ පණ අදින මව වටා ඉවලන කුඩා ගෝණ පැටවුන්ගේ සරසරයයි.

ඒ වන විටත් දරුවන්ගේ මවු අහිමි කල පවට බිරිඳට දාව සිය වර්ගයා බිහි කිරීමේ අයිතියද දඩයක්කාරයාට ස්වභාව ධර්මයා විසින් සදාකාලයට අහිමි කර අවසාන ය.

හිණ තුරේ වූ බුලත්පයියෙන් තමා සන්තක වූ අන්තිම මූණිස්සමත් තුවක්කුව දමාගත් දඩයක්කාරයා අවසන් වරට තමා දෙසට දෑස් යොමුකර සිටින ගෝණදෙනගේ සුවිසල් නිසල සිරුර දෙස බලා දෙනෙත් පියා ගති.
එවිටම නිකට යටට තුවක්කු මුව තැබූ දඩයක්කරයාගේ ඇඟිල්ල, තුවක්කුවේ කොකා පසුපසට කර අවසාන ය.

Comments

  1. අප්පා දෙවනි පාර කියවද්දී ඇඟ හිරිවැටුනා... ජුන්ඩා ඉවරයි නේද...

    තෝරමල්ලි නානාට රජමඟුල්... දුක හිතෙන කතාවක්...මාර ලිවිල්ලක්...

    ReplyDelete
  2. මේකේ වෙඩිල්ල වැරදිලා ගිහින් එතනින් කොහේදෝ යමින් හිටි නානාට වැදුණා නම් මම කැමතියි....!

    ReplyDelete
    Replies
    1. මාත් කැමතියි බන් එහෙම වුනානම්, ඒත් උඹනියමට පද ගලපලා තියනවා

      Delete
  3. අයියෝ දඩයක්කාරයා

    ReplyDelete
  4. බය හිතෙන දුක හිතෙන කතාවක් නේ..

    ReplyDelete
  5. හපොයි! ලිසාන් නවගත්තේගමයා මයේ රුපියල් පා කෑව සීන් එකක් වුණේ. ගෝණට වෙඩිල්ල තිබ්බ ගමන් මම හෙන කැත.... කතාවක් හිතාගත්තා.

    ReplyDelete
  6. ඇඟ හිරිවැටෙන කතාවක්! :D

    ReplyDelete
  7. අයියෝ එච්චර ලස්සනට ලියපු කතාව මෙහෙම දුක හිතෙන විදිහට නතර කලේ ඇයි . .

    උඹට කියන්න ඕන උනේ දිඨ්ට දම්ම වේදනීය කරුමේ ගැනද . ..

    සිරාම සිරා . ..

    ReplyDelete
  8. අනේ මංදා ...කතාවේ මොකක්දෝ අමුත්තක් ...එක දිගට කියවගෙන ගියා...හිරිගඩුත් පිපුණා .... දුකකුත් නෙවෙයි ...ඊට පස්සේ හිස්..... හරි වචනෙ අහු වුණා. කම්පණයක්.
    නියම writing style එක.Good Luck :)

    ReplyDelete
  9. ඇයි එච්චර ආදරේ කරපු තමන්ගේ ගෑණිව ඔය වගේ අතරමං කරලා දාලා යන්න දඩයක්කාරයා හිත හදා ගත්තේ.... ආත්මාර්ථකාමීත්වය ද......

    මට කම්පනයක් ඇතිවුනේ ඒතරම් ආදරයක් කරපින්නගෙන දඩයක්කාරයා එනකම් පැලට වෙලා පාර බලං ඉන්න අසා ගැන හිතලයි.... වර්ගයා බෝ කිරී‌මේ අවශ්‍යතාවය නැති උනත් දුකට අඩන්න උරහිසක් දෙන්න වත් ජීවත් වෙලා හිටියනම් හොදයි කියලා මට හිතෙනවා...

    ReplyDelete

Post a Comment