හේඅලියා

මීට පශ්ෂේ මම වැඩ කරන්නේ ශල්ලි වලට..,
යකෝ පොඩි මහත්තයයි ලොකු මහත්තයයි.., උන්දැගේ පුතාල දෙන්නටයි ලස්සගාණක් මැණික් හම්බ වෙනවා ඒත් මට කියල එක සත පාක තැරැව්වක්* දුන්නද?
නෑ..!
කුණු යක්කු..!
තුහ් නොදකින්වත් අම්මපා..!

ලියමින් හුන් ලිපිය පසෙක තබා මම කවුලුවෙන් අවට බලන විට ඒ හඬ ඇසුනේ බැලීමි.., මේසය ළඟ කල්වුලුවෙන් හිස පොවන විට මට ලෙහෙසියෙන් ම නිවසට එන යන්නන් හා පාර ඉදිරිපිට සිටින්නන් පෙනෙයි..!

ආ තේක..,
අම්මා, ගෙන ආ තේක මේසය මත තබමින් සන් කරයි.., එහෙත් මම කවුලුවෙන් එහා බලා සිටිනු දකින අම්මා, මුවින් පිට නොවූ එහෙත් මුහුණෙන් කියවන අදහසට උත්තර තබන්නට වී..!

ඔය කෑ ගහන්නේ ගුණපාල.., අදත් බීගෙන ඇවිල්ලා.., ඔය ඉන්නේ බාප්පගෙන් බැණුං අහලා.., සල්ලි ගන්නවා විතරයි වැඩ නෑ.., ඔහොම බීගෙන කෑ ගහනකොට මිනිස්සු මොනවා නොකියා ඉඳීවිද? මට දුක අර දරු පවුල ගැන..,

පුරුදු ලෙසම නිකටට අත තබා අම්මා කවුලුවෙන් එහා අතොරක් නැතිව කියවන ගුණපාලයා දිහා බලමින් විස්සෝප වේ..!

ගුණපාල ගේ කල්ක්‍රියාව, චරිත අධ්‍යනය කරන්නෙකුට ඉතා ප්‍රිය දනවන වස්තු බීජ සපයයි.., දවස පුරාවට මොනවා හෝ රහමෙරක් කටේ තොලේ ගාගන්නා මේ මිනිහා අතොරක් නැතිව කියවයි.., ඒ කියවන දේ තුල ජන කතා, හොල්මන් කතා, වීර කතා වෙයි. ඊට අමතරව ජනකවි හිටිවන කවි අතරින් පතර කුණු හරුප ද සමඟ පිටවෙන වහසිබස් ද නැත්තේ නොවේ..,

ඕන්න ඊට පස්සේ අර රාස්සයා කුමාරයාව කන්න කන්ද උඩ ඉඳන් බෑඟිරි දීගෙන පැන්න මෙන්න මෙහෙම..!

කුඩා කල අපව වට කරගෙන ගලක් උඩට නැඟ රාස්සයා පැන්න විලසින් රඟ දක්වන්නට ගොසින් බිමට පැන්න වේගෙට උකුළ බිඳී  ගොස් මාස දෙක තුනක්ම ඉස්පිරිතාලේ ලැග්ගා මතකය. මා සවස පන්ති ගොස් පැමිණිවිට ඉහත සිදුවීම ගැන අම්මා මගේ කනේ තැබූ අයුර මා තවමත් සිහිපත් වේ..,

අන්න ඔයාලැයි වීරයා යාළුවොන්ට වීර කතා රඟපාලා පෙන්නන්න ගිහිල්ලා වැටිලා ඉස්පිරිතාලේ අරන් ගියා. හොඳ වෙලාවට අප්පච්චී හිටියේ නැත්තං ඔය මිනිහා ඔය තැලුං තුවාල අස්සේ මොනවා කරගනීද දන්නෑ.

පසුදාම අප්පච්චී සමඟ මමද ගුණපාලව බලන්න රෝහලට ගියෙමි.., ඈත දීම මා දුටුවේ අවට ලෙඩුන් දෙතුන් දෙනෙකු වට කරගෙන පාරම් බාන ගුණපාලය..,

අප්පච්චී එනවා දුටු ගුණපාල එකවරම,

"ලොකු මහත්තයා අල්ලා නොගන්න මම ඌට තුන් පිම්ම පනලා දෙක තුනක් ම නෙළලා.., මම ඒ දවස් වල හොඳ චීනාඩි කාරයෙක් නෙව.., මේ පෙන්නැද්ද තාම තියෙන්නේ ඒ හයි හත්තිය තමා"

යැයි කියමින් දකුණු අතේ ඇති වැහැරුණු මස් ගොබ පෙන්වා සිනාසෙයි..,

ඉස්පිරිතාලේ සිටි කාලයේ වුවද නිවසේ සිටි කිසිවෙකුත් ගුණපාල බලන්නට පැමිණියේ නැති වුව, හේ ඒ පිළිබඳ කිසිවිටෙකත් දුක් වූවා කියා මට මතකය නැත. ටිකට් කපාගෙන ඉස්පිරිතාලයෙන් ගමට ආ පසුවද පෙර මෙන් බර වැඩ වල නියැලෙන්නට එපා යැයි දොස්තරවරු බලවත් ලෙස අවවාද කල නිසා ගුණපාලගේ ක්‍රියාකලාපය මඳක් මන්දගාමී වුව ඔහුගේ ප්‍රවේණි ගත ක්‍රියා කලාපය මඳකින් වත් අඩුවූයේ නැත.
බර උස්සන්න එපා කිව්වට කසිප්පු බොන්න එපා කිව්වේ නෑනේ

කවරෙකු හෝ බීමත් කම ගැන විමසූ විට ඔහු දෙන උත්තරයයි..

ඔය මිනිහාව හදන්න බෑ.., අපි කොයිතරම් බොන්න එපා, පතල් වලින් කීයක් හරි ඉතුරු කරන්න බලපන් කියලා කිව්වද? කෝ ඇහුවැයි..,

අම්මා නිවස ඉදිරිපිටට වී ගුණපාල කෑ ගැසු ආකාරය ගැන කියනාවිට අප්පච්චී එසේ කියයි..,

ඔහොම හිටියට ඔය මිනිහට හෙන වයසයි.., මම මේ ගෙදෙට්ට බැඳලා එනකොටත් ඔය මිනිහා ඔහොම්මම බීගෙන තමා ඒ දවස් වලත් හිටියේ..,

අම්මා අතීතය සිහිපත් කරන්නේ මට ඇසෙන්නට විය යුතුය.

බේබද්දෙකුට ස්ථාවර පවුල් සංස්ථාවක් ගොඩ නඟාගන්නට හැකියාවක් නැති බව පසක් කරමින් වර්ථමානය වෙනවිට ගුණපාල සිටින්නේ ගෙදරින් ගෙවල් කීපයකට එහායින් පිහිටා ඇති ගාමන්ට් චමරියේ මුරකරු ලෙසය.., කෙතරම් බේබදුකම් තිබුණද වල්කම් ගැන දැනීමක් වත් නැති මේ මිනිසා ගැන ගමේ පවතින්නේ අමුතුම කතා ගොන්නකි. ඒ හේතුව නිසාම මට මේ මිනිසා ගැන තව තවත් තොරතුරු සොයන්නට සිත් දේ..!

මහත්තයා දන්නේ නෑ.. ගුණේ අයියා ඉස්සර හිටියේ අපේ ගෙවල් වලට ටිකක් එහායින්., ඒ දවස් වලත් මිනිහා හෙනම බෙබා.., ඔය බැඳලා ඉන්න ජයවතී අක්කා අපේ ගෙදර එක්කෙනාගේ දුරින් නෑයෝ වෙනවා.., අපරාදේ මේ මිනිහාව බැන්දේ මහත්තයා.., ඒ ගෑණිගේ අවාසනාව.., මූ මොනතරම් බීමට කෑදරද කියනවානම් මහත්තයා.., ඒ දවස් වල කසාද බැඳපු මිනිස්සුගේ ළමයි හැදිල්ල සීමා වෙන්න ඉස්පිරිතාලේං කොරනවා ඔපරේසමක්.., කරලා රුපියල් පන්සීයක් ද කොහෙද දෙනවා.., ඒක ඒ දවස් වල හැටියට ලොකු ගාණක්..! මේ යකා ඔපරේසම කරගත්තානේ මහත්තයා ඒ පන්සීය ගන්න..,

එතකොට අර ළමයි දෙන්නෙක් ඉන්නේ ඔය..?

කවුද මහත්තයා උන්දෙන්නා ගුණේ අයියගේ කියලා කියන්නේ.., පේන්නැද්ද උන්දෙන්නගේ පෙනුම ඉතරක්.., පවුං පණහේ ගොන්නාම්බෝ දෙන්න වගේ..!

කතාවේ යම්දුරකට සත්‍යතාවක් තිබේ.., ගුණපාල යනු වැහැරුණු සිරුරැති දුඹුරු සමැති මිනිසෙකි.., ජයවතීද පෙණුමින් ඊට දෙවැනි නැත. එහෙත් දරුවන් පෙණුමින් අනෙක් පැත්තය..,

ඉස්සරම රාවයක් ගියා ඔය ජයවතියා විතරක් ඉන්න වෙලාවට හවසට හවසට බයිසිකලේක එන රතු මහත එකෙක් ගෙදරට රිංගනවා කියලා.., කියන්න බෑ මහත්තයා.., ඇයි මේ යකා සක්කිලියා වගේ බීගෙන ගමපුරා දඟලනකොට අර ගෑණිටත් යන කලදවසක් තියෙන්න එපෑය..! පව තමා මහත්තයා, මොනවා කරන්නද අනුන්ගේ ළමයි හුරතල් කර කර ඉන්නවා කරගත්ත මෝඩකම් නිසා..!

මිනිසත්බව ලැබගන්නට මිනිසෙකු කෙතරම් පින් කල යුත් වුව.., එවැනි අවස්ථා මඟාරින මෙවැනි අපුල ජීවිත දකිනවිට ඒ ජීවිත වලට බද්ධව සිටින්නන් ගැන ඇතිවන්නේ සංවේගයකි.

ඉස්සර ඔය මිනිහා සයිඩර් වික්කා.., අපිත් කුළී වැඩක් කරලා එහෙම හවසට මොනවා හරි බොන්න යනවා තමා ඒත් මූ පෙරාගත්ත සයිඩර් ඌම බොන්න ගත්තම වගාවක් වෙයියෑ මහත්තයා, අන්තිමට ඕකා නැවතුනේ ලේ වමනේ ගිහිල්ලා ඉස්පිරිතාලෙන්..,

"ගොඩමඩ ඩෙකම ශරුශාරය පලබරයා"

ඔන්න එනවා මහත්තයා ඔය හවස වඩිය ගහන්න යන්නයි හදන්නේ මම යන්නං මහත්තයා, නැත්තං ගුණේ අයියට හව්වුනොත් මගේ රුපියල් 50ට තට්ටු වෙනවා.! ඔය බලන්න බෑඟිරි ගාන හැටි, ඔය හාලියෙක් වගේ කෑගාන නිසා තමා  ඕකාට හේඅලියා කියන්නේ.., මම යන්නම් මහත්තයා.., නැත්තං ගෙදර යන්න සුනංගුවෙනවා..!

මම හා කියන්නටත් ප්‍රථම මේ ගැමියා මා කෙරෙන් ඈත්ව වඩ වඩාත් වේගවත්ව යන්නට විය.

ආ ආනන්ද මල්ලි, අපිව දැක්කම දැන් ගමන් උඩින්නේ..?  ඈ බන් උඹලැයේ කෙල්ල ලොකු වෙච්චි මඟුල්ගේ ගන්නකොට උදවු ගන්න හොඳා.., පාරෙදී අපි එක්කලා කතා කරන්න තමා බැරි නේ..,නොදකින්වත් තොපි..!

ගුණපාල පාරේ හිඳ තනියම කියවයි.., මම නිවසට යන්නට ගේ දෙසට හැරුනෙමි. අඩක් අවසාන කල අවර ගැමි සමාජ ක්‍රම පිළිබඳ වූ ලිපියේ අවසානයට බද්ධ කරන්නට අපූරු චරිතයක් හමුවී තිබේ..

ඒ ගුණපාලය..!

Comments

  1. රූප මවාගෙනම කියෙව්වා...

    ReplyDelete
  2. කියවද්දි මැවෙනවා චිත්ත රූප...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තීර්ථ යාත්‍රිකයා

      Delete
  3. මම දන්නේ නෑ රහ බලන්න ආසාවට වත් උඹ අරක්කු කටේ තියලා තියනවාද කියලා.. හැබැයි මචං උඹේ හැම කතාවකදිම “මත් බව“ අමුතු අමුතු ක්‍රම වලට යොදාගෙන දෙන ගේම නම් පට්ටයි. මේ වගේ මිනිස්සු ගැන කතාවක් හදන්න පුළුවන් කියන එක ගැන මම මේ විදියට හිතාගෙන හිටියේ නෑ. මොකද බේබද්දෝ හැම වෙලාවෙම ඉන්නේ අර කියන සමාජයේ අවර පැත්තේ. ඒ උනාට ඒ“අවර“ කොටස පරිසයට එක් කරන වෙනස හා ලස්සන උඹ නියෙමෙට ලියලා තියනවා. ගති.!

    ReplyDelete
    Replies
    1. අවර පැත්තේ හිටියට ඒ මිනිස්සු අපේ කතා වලට සපයන්නේ ලොකු හයියක්.., මගේ බොහොමයක් කතාවල ඉන්න.., චරිත බොහොමයක් දෙනවා අපේ ගමේ ජීවමාන චරිත.., තවත් අය මම ඉගෙනුම ලබන කාලයේදී හමුවී ඇති චරිත. ඉතින් මම කරන්නේ මම අසා ඇති කතා වල ඉන්න ඔවුන්ව අකුරු හරහා ඉස්සරහට ගේන එක විතරයි.., වෙලාවක සෙට් උනාම මම උඹට විස්තර කියන්නම් මචන්.., ස්තූතියි කොමෙන්ටුවට..! :)

      Delete
  4. හිතේ ඇඳෙන්නම ලියවිලා තියනවා!

    ReplyDelete
  5. ගුණපාලය වගේ කෙනෙක් අපේ ගමෙත් ඉන්නවා :D
    මට මිනිහාව මතක් උනා !

    ReplyDelete
    Replies
    1. හැම ගමකම මෙහෙම මිනිස්සු ඉන්නවා බනියා.., ඒ හැටි.

      Delete
  6. නාට්ටිය හිතේ මවාගෙනම කියෙවුවා...!!

    ReplyDelete
    Replies
    1. උඹ ඉතින් මම ලිය එව්වා හැමදාම කියවන එකනේ.., ස්තූතියි මචන්..!

      Delete
  7. අපූරුයි ලිශ්..! අදයි කියවන්න ලැබුණේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සචී අක්කේ..! :)

      Delete
  8. මත් බව ලස්සනයිද කැතයිද යාළුවා?

    ReplyDelete

Post a Comment