බොඳ වූ මතක

සටහන් පොත අතට ගෙන ඉදිරියට එන කාන්තාව දෙස වරක් බැල්මක් හෙලා ඇයව සිතුවමට නගන්නට මීට වසර කිහිපයකට කලින් මා දක්ෂ වුව.., අද වෙන විට ඒ මාවතේම ඒ කාන්තාවම එනවිට සටහන් පොත එක අතකත්, පැන්සල එක අතකත් රඳවාගෙන මට බලාසිටින්නට වී ඇත්තේ බොඳවූ දෑසකිනි.

බ්ලර් උනාම ස්කෙච් කරන්න අමාරුයි නේද අයියා..?

මම හිස් දෑසින් මා පසු කරයන්නට එන ඒ කාන්තාව දෙස බලා සිටිනාවිට නංගී මගෙන් අසයි.,
සිනාහාසෙන දෑසින් මම ඇයදෙස බැලුවද මට ඇයව පෙනෙන්නේ ද බොඳවීය. මම මීට වසර 4 උඩදී දුටු ඇයව මතකයට නඟන්නට උත්සහ ගනිමි.

ඔව් ඒත් අපි ඉමේජ් එක මෙමරයිස් කරගත්තාම අඳින්න ලේසියි.., දන්නවද පේන්ටින් එකක් කරන්න කලින් ඒකේ ස්කෙච් එක හිතින් ඇඳගන්න..., ඒතකොට කොන්සෙප්ට් එක ඩෙවෙලොප් කරන්න ලේසියි..,

මාදෙස මුව අයාගෙන බලාසිටිනා සහෝදරිය මවා ගන්නට උත්සහ කරමි..,

නෑ.., දැන් මා දිහා එහෙම බලන්නේ නැතිව ඇති. එයා ලොකු ළමයෙක් නේ..

කලකට පෙර මා විසින් පෝෂණය කරන්නට යෙදුනු අය දැන් මාව පෝෂනය කරන්නට පටන් ගෙන ඇත.
හදවතට නිදහස් වීමක ප්‍රහර්ෂයක් ගෙන ආවද, ජීවිත කාලයක් පවතිනවා යැයි ජීවකයන් නිර්දේශ කරන්නට යෙදුන අන්ධකාරය මතක් වෙනවිට වාවාගන්නට නොහැකිව හිත ඉකිබිඳියි..,

අයියා ඉක්කාවක් ආවද.., ආ මේ වතුර පොඩ්ඩක් බොන්න..,

මම හිතින් අඬනාවිට උරහිස් ගැස්සෙන වග මම දැනගන්නේ එලෙසය.

කසුන්ගේ අකුරු මාරම ලස්සනයි නේ.., පොඩිකාලේ ඩබල් රූල් ලිව්වද?
අනේ මේ ලියුම මට අනුත්තරාට යවන්න ලියලා දීපන් කසුන්.., මගේ අකුරු කැතයි..,
මේ ළමයාගේ අම්මා අත්දෙක කොණ්ඩ කැවුමෙන් තවනවාද? අකුරු මේ අතරමට ලස්සන වෙන්න..,


සිරිපා කරුණා කල දරුවන් නිවෙසට ආ කල අම්මලා පා පොඩිති තවන්නේ කොණ්ඩ කැවුමෙනි.., ඒ "මගේපුතා මේ දුර නැග්ගේ මගේ කිරි වල සත්තියෙන් නේදැ හිතා ඒ පිළිබඳ වූ සෙනේහෙනි.., ගුරුවරු මගේ අකුරු ගැන සිතන්නේ ද ඒ ලෙසමය.

මිස්ටර් සේමගේ තරමටම මේ රේඛා වලින් හැඩතල පේන විදියට අඳින්න පුලුවන් කෙනෙක් මට මුණ ගැහුණමයි. පුතා මගේ මෙන්න කොන්ටැක්ට් එක කතාකරන්න. මේ ටැලන්ට් එක පිටයන්න දෙන්න එපා.

දෙනෙතේ වූ දවසින් දවස එන අඳුරු බව නොතකා මම  කැන්වසයට පෙම්බැන්දෙමි. සිතක තැම්පත් වූ පෙමට වඩා නිතොර වෙනස් වූ මේ අරුමැසි පෙම මට එවක ස්වර්ගයක් විය..,

ඔයාව සේමගේ තත්ත්වෙට උස්සලා තිබ්බා කියලා ඔයා මේ තරමට මහන්සි වෙන්න එපා කසුන්..,
ඔයා දන්නවා නේ ඔයාගේ ඇස් වල සිටුවේශන් එක ගොඩක් වර්ස් කියලා..,


මම කරබා ගනිමි. හැම වාදයකදීම දිනන්නේ ඇය නිසා මට පරාජය දිනුම තරමට ම හුරුපුරුදුය.
ඈ පවසන සත්‍ය කෙතරම් මා හට සමීප වුවත් මගේ කාලය ධනය මගේ කලාව වෙනුවෙන් කැප කරන්නට වීම මට සතුටකි..,
එහෙත්,
ප්‍රතිඵලය බියජනකය..,

මිසිස් ජයම්පති.., පුතාගේ ඇස් දෙක මේ සර්ජරි එක කරාමත් වෙනසක් වෙයි කියලා හිතන්න අමාරුයි.., කොහොමත් අපි මේ ට්‍රීට්මන්ට් ටික දිගටම කන්ටිනියු කරමු.., මම කියනදේ මිසිස් ජයම්පති තේරුම් ගනියි කියලා මම හිතනවා..,

අම්මා ඉදිරියේ මගේ කෙමෙන් අඳුරු වෙන අනාගතය ගැන විස්තර වහරන දොස්තරගේ ස්වරය තැම්පත් ය..,

මේ දරුවා.., කරුවලට හරි බයයි ඩොක්ටර් පොඩිකාලේ.., කරන්ට් ගියාම රෑ මගේ ගාව නිදාගන්නේ.., ඇයි ඩොක්ටර් මගේ අහිංසකයටම මෙහෙම වෙන්නේ..,

දාරක පෙමට නිබ්බුත පද බඳින්නට සුදුස්සෙකු බිහිවිය යුතුය.., ඒ නිබ්බුත පද මේ ගැහැණියටද අයිතිය.., ඒ ඇයද අම්මා කෙනෙකු නිසාය, ඇය මගේ අම්මා නිසාය.

අන්න අර ලේඩි එනවා. අයියා ඔයාට මතක විදියට එයාව අඳින්න ගන්න..,


නංගී මගේ අත උඩින් ස්කෙච් පොත හා පැන්සල තියන්නී.., මම මගේ සිව් වසරක මතකය අවුස්සා ඈ අඳින්නට පටන් ගනිමි. කෝමල රේඛා ඇඳින මගේ අතින් දැන් ඇඳෙන්නේ කුරුටු බලි වුවත් මතකය ඇයව සමීපව දැනෙනා තරමට ම තියුණු ය..,

අයියා හිනාවෙනවා.., මොකෝ පරණ කෑල්ලක් වත් මතක් උනාද..?

අඳුරු ලොවක තනිවන විට පැන නැගෙනා සිනහවන් අහසේ උපදින රිදී රේඛා සරි වේ..,
අතීත මතකය හිසදරාන මම වර්තමානයට සිනහසෙමි.
හැමදාම සවසට උයනේ මා සිටින බංකුවට මඳ දුරක් ඈතින් වැඩ ඇරී මා දෙසට ඇවිද එන යුවතිය,
ස්කෙච් පොත හා පැන්සල අතට දෙන නංගී " අන්න ඇය එනවා අඳින්න" යැයි කියන යුවතියද,
සිවු වසරක මතකය මත්තෙන් තව තවත් නැවුම් වන ඇය ද,

කලෙක මගේ පෙම්වතියව සිටි බව දන්නේ මමත් මගේ හිතත් පමණි.

Comments

  1. අම්මෝ චූටි මහත්තයා මගේ ලෝකයේ වීරයෙක් වෙලා වගේ... මේ වගේ ආසාවෙන් මම කලින් කියවුවේ දකුනු ඇමෙරිකන් පොත් විතරයිද කොහෙද?...

    ReplyDelete
  2. කියවන්න ආස හිතෙන ලියවිල්ලක්. ලිෂාන් මල්ලි කවදත් අමුතු දේවල් ලියනව නෙ. සුබ පතුම්!

    ReplyDelete
  3. මේ දෙබස් වලට මම කැමතිය. හරියට අපේ හන්දියෙ චන්දරේගෙ පුතාගෙ කඩේ ආප්ප දානවා වගේය. ඒ ආප්ප හෙන රසය. මම ආප්ප කඩේට රුපියල් අසූවක් ණයය!

    ReplyDelete
  4. හැමදාම වගේ ඔයාගේ කතා ආසවෙන් මම කියොගෙන කියොගෙන යනවා..එ හැම කතාවක්ම හරිම ලස්සනයි...අමුතුම විදිහක් තියෙනවා..එ ඔයාගේ අනන්‍යත්වය වෙන්න ඇති..එත් එ විදිහ හරිම ලස්සනයි..

    ReplyDelete
  5. අදයි මේ පැත්තේ ආවේ අයියා. හරිම හැඟුම් බරයි. ලස්සනයි ගොඩක්ම...........

    ReplyDelete
  6. ලිශානයා පට්ටයි ඈ......

    ReplyDelete

Post a Comment