මම?... මම තුල ද මම..?

රෝග ලක්ෂණ අනුව නම් තියෙන්නේ හෙම්බිරිස්සාව තමා.., ඒත් මිස්ටර් සිල්වා කියන නිසාම මම තව බෙහෙත් ටිකක් දෙන්නම්..! බීලා බලන්නකෝ.., අඩු නැත්නං ආපහු එන්නකෝ.., අපි බලමු මොකද කරන්න පුලුවන් කියලා..!

රෝගියා නැගිට ගිය පසු නලල මතට වී ගිමන් හරිමින් තිබූ උපැස් යුවළ ගලවා පසෙකින් තැබූ දොස්තර මහතා සිය ඉස මත රෝගීන් විසින් තබා ගිය බර හෑල්ලු කරන්නටදෝ ඉදිරියෙන් සාත්තු සේවකයා විසින් තබා ගිය වතුර වීදුරුවේ පතුල පෑවෙන තුරු ම  පානය කරන්නට විය. දොරදෙස බලා තවත් රෝගීන් නේන බව සැකහැර ගත් පසු සාක්කුවෙන් අතට ගත් සිගරට්ටුව ගෙන මුවේ තබාගෙන තවමත් සුළඟට ඇරී තිබූ දොර අතරින් සඳලු තලය දෙසට යන්නට විය..,

හැමදාමත් එකවගේම නෑ මිස්ටර්, කවදාහරි අපිටත් වාසනාව කියනදේ උරගාන්න ලැබේවි.

තමා පි‍ටුපසින් වගේ කන්තල හරහා ගිය කෙඳිරුම කියූදේ වඩාත් හොඳින් අසන්නට මෙන් දොස්තර මහතා අසල වූ බිත්තියට හේත්තු වී සවන පි‍ටුපස ට සිය අත ළංකර එය වක් හැඩයට තබා ගත්තේය.

මොකෝ මේ..?
මාව ඇහෙන්නේ නැද්ද? මේ මම.
කවුද..?
උඹේ හිත. ඇත්තට විතරක් හා කියන උඹේ කට කිව්වත් කවදාවත් බොරු නොකියන උඹේ හිත.
මගේ හිත..?
ඔව් උඹේ තමා යකෝ..,
ඇ..ඇයි මේ තරම් තරහින්..?
මමද?
ඇයි බොල මනුස්සයෝ.., මීට අවුරුදු හතකට කලියෙන් අවිස්සාවේල්ලේ බේත් සාප්පුවක බේත් කලවං කල එකා, මෙලෝ සුදුකමක් නැතුව හොර දොස්තරයෙක් විදියට මේ කොරන නාඩගම? මට තරහා යන්න වෙන හේතු මොකටද?
ඇහ්..?
ඔව්.., ආ ඒක නෙවී මේ කතාව පස්සේ කරමු. අන්න උඹේ සාප්පු කෑල්ල එනවා, "නේස්" තවත් ලෙඩෙක් ඇවිල්ලද කොහෙද බේත් ගන්න..,


එවිටම දොර තිරය අසලින් මතුවූ හෙදිය,

"ඩොක්ටර් පේෂන්ට් කෙනෙක් ඇවිල්ලා ඉන්නෙවා
මම හිතන්නේ උණ හැදිලා වගේ...!"

සුවිනීතා යන්න මම එන්නං.

ඒ වන විටත් මුව තුල රුවා සිටියද මේ වන විට ‍ෆිල්ටරය දක්වාම අලුවී තිබූ සිගරට් කොටය පහලට විසිකර යන්නට විය.

මීට සුලු මොහොතකට පෙර තම සිත හිසට ඇන කී "මීට අවුරුදු හතකට කලියෙන් අවිස්සාවේල්ලේ බේත් සාප්පුවක බේත් කලවං කල එකා, මෙලෝ සුදුකමක් නැතුව හොර දොස්තරයෙක් විදියට මේ කොරන නාඩගම" යන වදන් පෙළ හිස තුල ‍රැව් දෙන්නට විය.

 

හිතට මොකක් හරි කරදරයක් ද වෝල්ටර්..? ඔයා ගෙදර ආ වෙලාවේ ඉඳන් ම ඉන්නේ හරි හිතේ කරදර පාටින්..? මොකෝ මේ?

ආලින්දයේ වූ සෙටියක් මත වැතිර නළල පිරිමදිමින් සිටින විට ඔහු අසලට ‍රැගෙන ආ තේ කෝප්පයද ටීපෝව මත තබමින් කේට් ඇසුවාය. කේට් , වූ කලී වෝල්ටර් සමරනායකනේ විසි එක් වසරක් එකට ජීවිතය බෙදාගත් ඔහුගේ ප්‍රාණසම පාද පරිචාරිකාව වූවාය.

නෑ මේ පොඩි හෙඩේක් එකක්.., ටිකකින් හරියාවි..,
ඒක නෙවී අද ක්ලේයා.., ආවානේ මෙහේ.,
ඉතින්..?
අපි දෙන්න කතා උනා  lions club එකෙන් කරන fundraising project එකට සපෝට් එකක් දෙන්න..,
මොනවගේ සපෝට් එකක්ද?
ක්ලේයායි මමයි spice items stall එකක් දාන්න කියලා තමා හිතාගෙන ඉන්නේ..,
එයා කිව්වා මට බයවෙන්න එපාලු financial සයිඩ් එක එයා බලා ගන්නවා කියලා..,
අහ් ඒකත් එහෙමද?
හ්ම්...,
ඕකේ මම යනවා වොශ් එකක් දාගන්න.., තව ටිකකින් යන්න තියෙන මිසිස් මැන්ඩෝසාගේ ගෙවල් පැත්තේ..,
ඒ මොකද ඒ ගෑණි ආපහු ලෙඩ වෙලාද?
ඔව් පොඩ්ඩක් ප්‍රෙෂර් එක වැඩිවෙලාලු..!


සමරනායක ආලින්දයේ සිට පඩිපෙල දක්වා ගමන්ගත්තේ මහත් වූ පීඩනයකිනි..,අත ‍රැඳි මුදල් හදල් ටිකෙන් ටික අවසාන වෙත්ම හිත තුල පීඩනයද තමාටත් නොදැනීම ඉහලයන්නේ මේ ලෙස යැයි කියාදීමට කෙනෙකු දොස්තර මහතා අස සිටියේ නැති. ඩිස්පැන්සරියේදී වූ සිදුවීම වෛද්‍යවරයාව හැකි උපරිමයෙන් නො සන්සුන් කරන්න්ට සමත්ව තිබිණි.., වතුරමලට හිස අල්ලන්නට වූයේ හිස තුල පවතින මේ නො එක් වූ කුණු කන්දල් සෝදායාමකට ඉඩ හරින්නට මෙනි.

තඩ්..තඩ්...තඩ්
ඕයි මේ..,
කවුද..? මේ මම අර හවස කතාකලේ..?
දෙයියනේ මූ මේ වෙලාවෙත්…? මට නිදහසක් ඇත්තේ ම නැද්ද?
මම උඹට කතා කරන්නේ නැතුව වෙන කාටද කතා කරන්නේ?
මා ආවේ පොඩි දැනුම්දීමක් කරන්න..,
මොකද්ද..?
තමුසේගේ ජීවිතේට සම්බන්ධවෙලා ඉන්න ගෑණුන්ගේ පොඩි අඩු කිරීමක් කරන්න බලනවා.., සරළව කියනවා නම් තමුසේගේ රහස්‍ය ලිංගික දේපල පොඩ්ඩක් මේ දවස් ටිකකට අයින් කරලා තියෙනවා..
ලිංගික දේපල මේ මොනවද ඒ..?
ආ උඹ බබා..දන්නේම නෑ ඈ.?
අර තමුසේ කේට්ට බොරු කරලා විටින් විටේ නිදිවදින ගෑණු සෙට් එක.., උන්ගෙන් ටිකක් ඈත් වෙලා ඉන්නවා..,
ඒ මොකටද? මම එහෙම කරනවා කියලා කවුරුවත් දන්නේ නෑ..?
තමුසේ සරමෙන් මූණ වහගෙන ඉන්නේ.., සරම ඇතුලේ කරුවල නිසා තමුසේ හිතන්නේ කාටවත් තමුසේ කරන අවටියල් වැඩ පේන්නේ නෑ කියලා.., ඒත් එලියෙන් ඉන්න එවුන් දකින්කොට සරමෙන් මූණ වහං ඉන්න තමුසේගේ ලැජ්ජාව එලියේ කියලා.., තමුසේ පරක්කු වැඩියි වෝල්ටර්..,
මම යනවා නැත්තං තමුසේ ශවර් එක යටට වෙලා ඉඳලා  ම නියුමෝනියාව හදාගන්නවා..!

 

වතුර මලේ සීතල හිසට හිරිවැටී තිබූ හිතට මොහොතකින් දැනෙනවාත් සමඟම සමරනායක කරාමය වසා දැමීය.සිය සුපුරුදු ආසනය අසල සීතල වී මැස්සෝද වැසි ඒ තේ කොප්පය උගුරට දෙකට ගිල දැමූ දොස්තර සිය වෙද නලාවද ගෙන රථයට ගොඩවිය.

 

ආහ් ඩොක්ටර්..,
මොකෝ මේ හවස් වෙලා.., නැ මිසිස් මැන්ඩෝසා මම මේ ආවේ නෝනාව පොඩ්ඩක් හම්බවෙන්න.., ඩ්‍රෙසින් රූම් එකේ ඇති ඩොක්ටර් ඉන්න මම කතා කරන්නම්..,
නෑ නෑ කරදර කරන්න ඕනේ නෑ.., මට වෙලා තියෙනවා..,
හරි මම යනවා සර්.., අද අපේ දුවගේ ක්ලීනික් යන දවස..,
තෑන්ක්ස් මිසිස් මැන්ඩෝසා..!
එනි ටයිම් ඩොක්..,

 

හොඳවෙලාවට කේට් අහපු වෙලාවේ ඔය නාකි ගෑණිගේ නම මතක තිබ්බේ.., නැත්නම් නැන්සි අපේ ගෑණිට දීපු ගිණිගෙඩිය පත්තු වෙනවා මම මෙහේ හිටියා කියලා..,


වෛද්‍යවරයා තමාට ම මුමුණා ගති..,

 

අහ් ඩොක් ඔයා දැන්ද ආවේ..?
මම එහේ දවල් ගියා.., අපි එකට ලන්ච් ගත්තේ..,

ඒක ගැන කතා කරගන්න තමා මම ආවේ මේ.., මම තමුසේ එක්කලා හිටි බව ඇත්තයි ඒ මීට අවුරුදු ගාණකට කලින් ක්‍රිස්මස් පාටි එකක් අපේ ගෙදර තිබ්බ වෙලාවේ..,
yes i remembar that one….
ඒක මතකනම් මොන උලව්වකට මගේ පවුල කඩා ඉහිරවන්න අපේ ගෙදරට ආවද ගෑණියේ.., මේ ක්ලෙයා මම උඹට එකක් කියන්නම් ආපහු මගේ ගෙදරට ඇවිල්ල  මගේ ගෑණි එක්කලා ඇඟෑලුං කම් පාන්න ගියොත් .., i swear to god.., i will cut your throat.

 

ආ දැං තමුසේ මේ ආවේ මව බය කරන්නද..?
ඒවා ට ටිකක් මහන්සි වෙන්න වේවි ඩොක්ටර්.., ඔය නලාව බෙල්ලේ ඔතාගෙන මිනිස්සුන්ට බෙහෙත් කලාට මම දන්නව තමුසේ මොකෙද්ද කියලා.., මගේ කට අවුස්සා ගන්න හදන්න එපා. තමුසේගේ ගෑණි දන්නේ නෑති රහස් මම දන්න වග අමතක කෙරෙන විදියට වැඩ කලොත් තමුසේට වෙන්නේ  අර පොලීසියේ ලාච්චුවට අහවල් එක දාගත්තා වගේ කියලා හිතා ගන්න..,

 

ගැහැණියකට තර්ජනය කිරීම නිසා ඇතිවෙන අතුරු ප්‍රථිඵල මේ තරම් භයංකර බැව් දොස්තර දැන සිටියේනම් මේ ගමනට කවදාවත් ලැහැස්ති නොවනු ඇති. කුමක නිසාවෙන් හෝ සමරනායකට කොතැනක හෝ වරදක් සිදුවී ඇති බව දැනීමත්.., ඒ අතරතුරේ ක්ලේයාගේ මේ බලාපොරොත්තු නොවූ හැසිරීම නිසා දොස්තරගේ හිත වඩාත් චංචල වී තිබුණේ ය. කලෙක නිදිවැදි ගැහැණියකගෙන් තම ජීවිතයට මේතරමට ම තර්ජනයක් එල්ල වේයැයි සමරනායක කිසිවිටෙකත් සිතුවේ නැති.., සිය රථය වෙතට එන තරමඟදී ක්ලෙයා පවුපසින් විත් කීදේ නැවත නැවතත් හොල්මන් කරන්නට විය..,


මම කලින් දවසක කේට් ගෙන් ඉල්ලගෙන ගිය පොතක් ආපහු දුන්නා.., එයා පොත පෙරලන්නේ නැතුවම ආපහු රාක්කෙන් තියල තිබ්බොත් තමුසේගේ වාසනාව ඩොක්. පොතේ නම women of the Egypt.

 

වෛද්‍යවරයා නැවත සිය රථයේ වේගය වැඩිකලේ ය.., සිය නිවස වෙතට හරවනා විටම ගේට්‍ටුව අසල වූ බෝගන්විලා පඳුර සහිත මල්පෝච්චිය තලාගෙන රථය හැරවෙන්නට වීම ඩොස්තරගේ හිස නැවතත් නොසන්සුන් කලේය.., තමා මීටවඩා සංසුන් උනානම් වඩාත් හොඳ වග දැනෙන විටත් වෛද්‍යවරයා නිවසට පය තබා අවසානය.. නිවසේ කිසිදු හැල හොලමනක් නැති.., වෑර්ලස් එකෙන් රේඩියෝ සිලෝන් එකේ ඊවිනින් බ්‍රේක් ගී වැඩසටහනද වාදනය වේ..,


කේට් රේඩියෝ අහනවා ඇති..,thank god. යාන්තං ඇති.
වෝල්ටර්...!!
ඇ..ඇයි කේටි..?

 

ලියුමක අත දරාන උන් සමරනායක මහත්මියගේ මුහුණේ තවමත් වැලපීම් ලකුණු නොමැකී තිබිණි..,


මොනවද මේ වෙන්නේ වෝල්ටර්..?


මොනවද කේට්..?


ක්ලේයා අද මාව හම්බවෙන්න ඇවිල්ල මේ පොත ඔයාගේ book rack එකෙන් තියන්න කියලා ගියා.., මම ඒක පෙරළලා බලනකොට ..,මේ...,මේක..,මේක හම්බුණා.., මට ඇත්ත කියන්න වෝල්ටර්.., මේ ගෑණි එක්කලා ඔයාගේ තියෙන්නේ මොනවගේ සම්බන්දයක් ද..? tell me the truth for god sake walter…! why did you do this to me.., why..why…?

එක දිගටම වැලපීම නිසාවෙන් හිතට වූ කම්පනය නිසාදෝ කේට් එක වරම නිහඬව අසලවූ සෙටියේ වාඩිවෙන්නට වී. සමරනායක අසල වූ කනප්පුවෙන් වාඩිවිය..,


මම ගෙදර යනවා...,
මොකක් කොහෙද..?
මම මල්ලීගේ ගෙදර යනවා.., මට තවත් මේවා මෙහෙම වෙත්දී බලාගෙන ඉන්න බෑ වෝල්ටර්..,
මටත් ආත්ම ගරුත්වයක් තියෙනවා.., මම යනවා..,

 

වෛද්‍යවරයා කිසිවක් කියන්නට පෙර ම කේට් සිය කාමරයට වැදී අගුලු ලා ගති. ටයි ගැටය බුරුල් කරගත් වෝල්ටර් කෑම මේසය අසල වු වයින් ඩිකැන්ටරයෙන් වීදුරුවට හලාගත්තේ හැල්මේ දුවන හිතට මඳ පහසුවක් වනු පිණිසය.., සියල්ල නැතිවූ මිනිසෙකුට වයින් පොදකින් හෝ සහනය ලබන්නට හැකිනම් එය ඔහු හෝ ඇයට ස්වර්ගයකි.

 

කේට් ගේ කාමරයේ දොරගුලු හැරෙත්ම කේට් තමා විදේශ සංචාර වලට භාවිත කරන ඇදගෙන යන බෑගය ද සමඟ එළියට විනි..,


මම සරළට කිව්වා එයාගේ කාර් එක අරන් එන්න කියලා ඔයා කලබල වෙන්න ඕනේ නෑ ඩොක්ට..,


සිය කම්මුලේ නටන මස්පිඩු එකතු කර වචන හදාගත් කේට් පැවසීය.., මඳ වෙලාවකින් අසල නිවැසියාගේ ඔස්ටින් කේම්බ්‍රිජ් රථයේ ගොරොද්දය ඇසුනද ඒ දෙස බලන්නට වත් සමරනායක හට දිරියක් නොවිනි.

 

___ ____ ______ ____ ___

කේට් නිවසින් ගිය දා පටන් වෛද්‍යවරයා ජීවිතය ගෙවන්නට වූයේ තනිවම ය.., හදවත තුල ගලන ආදරය තනිකරම කේට් වෙනුවෙන් වුව.., තාවකාලික පහසකට ගොදුරුව ජීවිතය අරාජික වී ඇති බව හේ දනිතත්.., සිදුවීමෙන් වසර හයකටත් වඩා ගියද  ඒ නැවත ගොඩනගා ගැනීමට උවමනාවක් දොස්තර තුල නොවුනේ මන්දැයි  යන ගැටලුව සමාජයේ බොහෝදෙනා තුල විය.., බිරිඳ හැරයාමත්.., සිය වෛද්‍ය දිවියට ආයුබෝවන් කීමත්.., ඒ පිහිටා තුබූ කඩය සමරනායක ගේ ඩිස්පැන්සරියේ හෙදිය වූ සුවිනීතා විසින් ම රෙදි කඩයක් දමන්නට බදු ගැනීමත් මේ ආදී නොයෙකුත් දේ මේ අර්ධයට එකක් වැඩි දශකය තුල වීම  හැරුණුකොට.., වෙනදා රථයෙන් නගරයට යන දොස්තර.., අද වනවිට තනිවම මුමුණමින් පාරේ ගමන් කරන්නට වීම දොස්තරට හිතැති අයට සිත් පාරන සිදුවීමක් වුව.., නිතර නගරයේ සිටින තරුණ නඩයට නම් " පිස්සු ඩොකා" යන නම පටබැඳීමට හොඳටම ප්‍රමාණවත් විය..,

 

ගෙවී ගිය සය වසර පුරාවට ම තනිය පාලුව මකන්නට සමරනායක හා කෝකටත් තෛලය වී සිටියේ  තම ඇතුලි හිත තුල වූ දෙවැන්නා පමණි..,


තමුසේ දැන් මේ විදියට තව කොච්චර කල් ඉන්න බලාපොරොත්තු වෙනවද..?
මැරෙනකල් ම..,
හරි ඒකත් හරි කියමුකෝ.., මම අර කිව්වා වගේ තමුසේ ඔය අවටියක් වැඩ වලින් ඒ දවස් කීපේ වහන් වෙලා හිටියා නම් මේක වෙන්නේ නෑ ඕයි..,
නෑ දෙවෙනි.., මම මේක කලත් නැතත්.., අර වේසි මගේ දේරට ඇවිල්ලා ඔය පොත දීලා ඉවර ඒවෙනකොටත්..,මම කියලා එතකොට මොනවා කියලා කරන්නද යකෝ..,
ඒ කරදරේ උනේ තමුසේ අර වහන්තරාව බලන්න මැන්ඩෝසාගේ ප්‍රෙශර් බලන්න යනවා කියලා බින්නයක් ඇදබාලා ගෙදරින් ගිය එක.., තමුසේ හිටියා නම් කේට් පොත කෙලිම්ම ගෙනැල්ලා දෙන්න තමුසේට.., හේනං තමුසේගේ ඔක්කොම බේරෙනවා..,
මම කවදාවත් වැ‍රැද්දක් කියන්නේ නෑ කේට්ට එයා කල වැඩේට මම උනත් ඒ තත්ත්වේ හිටියොත් කරන්නේ ඒක දෙවෙනි.
ආ ඇත්ත්ද..? මේ ඕයි පොන්නයෙන් අඬනවා වගේ කියවන්න එපා හරිද.., මෙතන තමුසේව දාලා ගියේ ඒ ගෑනි.., ඒ ගෑනිට ඔය තරං සෙනේහයක් තිබ්බ නම් ආපහු එන්න එපැයි..? කෝ ආවද?
තමුසේ මගේ හිත ඇතුලට වෙලා බෙරිහන් දුන්නට ඕයි හැබැ ජීවිතේ ඔය ඔක්කොටම මූණ දෙන්නේ මම නේ.., තමුසෙ නම් කියයි..,
ඒත් මමනේ දන්නේ මේ සුමේ මොන තරං අමාරුද කියලා...?

 

අත තිබූ වතුර ජෝගුව මේසය උඩින් තබත්ම මෙහෙකරු විසින් මේසය මතින් තබා ගිය  ලියුම වෙත සමරනායකගේ දෑස යොමුවිය..,


party from new chair person Ms. Kate iyujine samaranayake

ඕකට යන්න එපා වෝල්ටර් මම තමුසේට කියන නිසා අහනවා .., මට දැනෙනවා ඉස්සරහර ලොකු කරදරයක් වෙන්න තියෙනවා කියලා.., මම කියනදේ අහනවා..,
එහෙම කොහොමද මේ අවුරුදු හයටම සාමාජික ගාස්තු ගෙව ගෙවා හිටියා මිසක්කා මම Lions Club එකේ කරපුදෙයක් තියෙනවද..? අනික  මේ අපේ කේට් මේපාර සභාපති කමට ඉල්ලලා දිනලා ඒකේ  පාටියට ආරාධනාව මේ..,
ඒක නොවේනම් මිනිහෝ මම යන්න එපා කියන්නේ .., තමුසේට පුදුම අපහාසුවක් දැනේවි.., මිනිස්සු එක්කලා කතා කරන්න වෙනකොට.., මොකද කරන්නේ කියලා හනකොට.., මොකෝ තමුසේ බොරු දොස්තරෙක් කියලා උන්ට කියන්න යැයි ඈ..?
ඒක ඇත්ත වෙන්න පුලුවන් දෙවෙනි ඒත් මටත් හිතෙනවා මම ජීවිතේ අලුතින් පටන් ගන්න කාලෙ හරි කියලා..,

ඕක පටන් ගැනිල්ලක් නෙවී මිනිහෝ පටන් ගත්තු එක ඉවර කිරිල්ලක්.., ඒ නිසා මාව මේ පාරටවත් විස්වාස කරලා ඉන්නැයි කිව්වේ ගෙදර..,
බෑ මම යනවා මයි.., යනවා කිව්වොත් යනවම තමා..,

කලකට පසුව එලියට ගත් සිය එලයිට් යුරෝපියන් සූට් එක හා ජෝන්වයිට් සපත්තු කුට්ටම තවමත් එකකට එකක්  ගැලපෙන බව දැන.., සිය රන් පැහැති සිංහ ලාංඡනය දකුණු පස කොලරයේ අමුණා ගත්තේය..,


හහ්..! වෙනදාවගේම තමා පොඩ්ඩක් වෙනසකට තියෙන්නේ කොණ්ඩේ පොඩ්ඩක් සුදුවෙලා තියෙන එක විතරයි.., 
චැහ්.., ඩයි පොඩ්ඩක් ගාගන්න බැරිවෙච්චි හැටි..!

සමරනායක සාදයට යනවිටත් එය පටන් ගෙන ස්වල්ප වේලාවක් ගතවී තිබිණ..,
ශාලාවේ මුල්ලක වූ මේසයේ කවුරුවත් නොමැත්තේ මේවැනි අවස්තාවක කලයුතු හොඳම දේ ඉදිරියට වී ඒ දේවල් වලට සහභාගි වීම බැව් ඔවුන් තේරුම් ගෙන මෙනි..,


දැන් අප නව සභාපතිනිය හඳුන්වා දීම සඳහා වේදිකාවට පිවිසෙන්නේ ක්ලෙයා රූපසිංහ..!
මගේ පාසල් යන කාලයේ සිටම හොඳම මිතුරියක වූ කේට් අද වන විට මේ සංගමේ සභාපතිනිය විදියට අද පත් වෙලා.., ඉතින් මේ වගේ අවස්තාවක මම තරම් සං‍තෝසවෙන වෙන කවුරුවත් සිටිතැයි මම හිතන්නේ නෑ.., එහෙනම් පිළිගන්න මා මිතුරිය කේට් ඉයුජින් සමරනායක

 

අත්පොල්සන්නාදය අතර වේදිකාවට ගොඩවූ කේට් සිය කතාව කරන්නට ගත්තේය..,


හිතවත් මිත්‍රවරුනී..,
අද අපේ 38 වෙනි සංවත්සරය දවසේදීම මගේ සභාපතිකමේ ලිපිය මගේ මිතුරිය ක්ලෙයා අතින් ලබා ගන්නට  ලැබීම ගැන මට තාම සංතොසයි.., අපිට ඉදිරි වසර පුරාවට ම කරන්නට ඉතා විසාල වැඩ කොටසක් තියෙනවා.., ඉතින් අපි මේ සං‍තෝසවත් අවස්තාවේ කතාවලට වැඩි වෙලාවන් නොගෙන මේ අමුත්තන් වෙනුවෙන් අපි සංවිධානය කර තිබෙන සන්ග්‍රහය භුක්ති විඳින මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.., ඒ අතරතුර.., ඔබේ අසලට විත් අපිස සතුරු සාමිචියෙන්  මේ සන්ධ්‍යාව ගතකරමු.., සතු‍ටු වන්න..!


කන්බිහිරි කරවන තරම් අත්පොලසන්නාදයකට  සිය දෑතින් ද කුඩා සහයක් දුන් සමරනායක සිය මේසය මත තිබූ පිඟාන අතට ගෙන යන්නට භෝජන පෝලිම වෙතට යන්නට විය..,

 

වෝල්ටර් ඔයා...?
සිය පි‍ටුපසට වූ පෝලිමෙන්  ඇසුනු ඇමතුම කාගෙන්දැයි හඳුනා ගන්නට සමරනායකට වැඩිවේලාවක් නොගියේය..,
අහ්.. කේට්..?
ඔය කොහෙද මෙහේ..?
ඇයි මටත් ආරාධනාවක් ඇවිල්ලා තිබුණනේ..?
පුදුමයි..,පුදුම හමුවීමක්..!!
අමතක කරන්න එපා කේට් ඔයා දැන් මේකේ සභාපතු උනාට මේ සංගමේට ඔයාව බැ‍ඳෙව්වෙත් මමයි හරිද?
පරණ කුණු අවුස්සන්න එපා වෝල්ටර්.., ඉතින් කොහොමද ඔයාට..?
තාම තනිවම තම ඉන්නේ.., කිසිවෙනසක් නෑ..
මට ආරංචි උනා ඔයා පී.පී එක නවත්තලා කියලා..,
ඔව්  ඒක කාලෙකට ඉස්සර නැවැත්තුවේ..,
හ්ම්..!
ක්ලේයායි ඔයායි  හොඳ යාලුවෝ වගේ නේ..?
ඔව් අනේ.., එය තමා මගේ හැම දේටම උදවු කරන්න.., ගිය ආත්මේ මගේම සහෝදරියක් ද කොහෙද..?

හ්ම් ඒකත් එහෙමද..?

හරි මම ආවේ ඔයාට සුභ පතන්න මම යන්නම්.., මට යාලුවෙක් කිව්වදෙයක් හරියි කියලා තරෙන්නේ දැන් තමා..,


ඕක පටන් ගැනිල්ලක් නෙවී මිනිහෝ පටන් ගත්තු එක ඉවර කිරිල්ලක්.., ඒ නිසා මාව මේ පාරටවත් විස්වාස කරලා ඉන්නැයි කිව්වේ ගෙදර..,


කියා දෙවෙනි සිය හිතට හඬ ගෑම  යලි යලිත් ඇසෙන්නා මෙන් විය.

 

උඹ කියාපු ඒක හරි යාලුවා.., මේක මහ වේදනාවක් ම තමා..,


රථයට ගොඩවුවද හිතේ පැවති වේදනාව නිසා ගත ලෙඩකරවන තරම් බලවත් බව සමරනායකට දැනෙන්නට විය..,  දිගුකාලෙකින් සිය දුක සතුට බෙදාගත්  පාදපරිචාරිකාව  මෙලෙස දකින්නට වීම මේතරමට ම දුකක් බව  දෙවෙනි කියත්දිත් ඒ නාසා සාදයට පැමිනෙන්ටවීම ගැන සමරනායක තුල පැවතියේ  තමා ගැනම තරහකි..,  හිස කැරකෙන්නට වූ බැවින්  සුක්කානමේ හිස ගසාගෙන  සිටින විට අවට ශබ්ද අතරින් තමා යන්නාක් මෙන් ඒවා ඈතින් ඈතට වියැකී යන්නට විය..!

 

සමරනායක දෑස් හරින විට සිය නාස්පුට වෙත පැමිණියේ හුරුපුරුදු ඩෙටෝල් සුවඳකි.


අහ් ආන්න ලෙඩාට සිහිය ආවා..,
කෝ කෝ එහාට වෙන්න එහාට වෙන්න..,
මිස්ට සමරනායක ඔයා මේ ඉන්නේ ඉස්පිරිතාලේ..,
පාටියෙන් පස්සේ ඔයාව සිහිය නැතිවෙලා.., කාර් එකේ ස්ටීරින් වීල් එක උඩ ඔලුව ගහවෙන ඉන්නැද්දී තමා ගෙස්ට් කෙනෙක් ට ඔයාව හම්බුවෙලා තියෙන්නේ..,
හෙල්ලෙන්න එපා ඔයා ඉන්නේ හරිම ක්‍රිටිකල් සි‍ටුවේශන් එකක..,

පේශන්ට් ට නින්ද යන්න බෙහෙත් දෙන්න නර්ස්..,
ඕකේ ඩොක්ටර්..!

 

සියල්ල ඇසුනද ඒ කිසිවකට උත්තර බඳින්න තරම් හැකියාවක් නොවිනි..,

 

පවු අහින්සකයා.., කාත කවුරුවත් නෑ.., තමන්ගේ කලින් වයිෆ් ගේ පාටියකට සුභ පතන්න ගිහින් එනකොට තමා මෙහෙම වෙලා තියෙන්නේ.., ඔය අවුරුදු 6ටම ඔය මනුස්සය එලියට බැහැපු පළවෙනි වතාව.!
පවු..!

සිය සයනය අසල සිට කවුදෝ කියනු ඇසිනි.., සමරනායකට ඒ කිසිවකට සවන් දෙන්නට උවමනාවක් නොවී..,

 

හැමදාමත් එකවගේම නෑ මිස්ටර්, කවදාහරි අපිටත් වාසනාව කියනදේ උරගාන්න ලැබේවි.
දෙවෙනි විසින් කනට කර මීට සය වසකට පෙර කියූදේ අද මෙන් ඇසෙන්නට විය..

 

 

Comments

  1. "හැමදාමත් එකවගේම නෑ මිස්ටර්, කවදාහරි අපිටත් වාසනාව කියනදේ උරගාන්න ලැබේවි."

    මිත්‍රයා මට මේක ගැන හිතාගන්න බෑ. හැප්පිලි, ඇත්ත, බොරුව, සල්ලි, හොරකම් ඔක්කොම සෙක්ස් හින්දද කියලත් හිතෙනවා. සමහරවිට ඊට වඩා සැප කියන වචනේ හරියාවි. මේක නියමයි. කතාවත් මැවුනා. අවසානෙකුත් මැවුනා. අනේමන්දා ඕයි!

    ReplyDelete
  2. ලස්සනයි කියන්නද මොනා කියන්නද කියලා හිතා ගන්න බැ අයියා.....
    අමුතුයි...හ්ම්...

    ReplyDelete
  3. දවල් මේක කියවලා ගියා මොකුත් නොකියාම. ඒත් ටිකක් විතර අතරමං වෙලා වගේ හිටියේ.
    පස්සේ රෑ Il Romanzo Criminale බලලා කාමරේට ආවම හිතුනා මේ කතාව ටිකක් මතක තියෙනවා වගේ. ටිකක් දුර හිතනකොට තමයි මතක් උනේ ඒක මම කියවපු වෙනත් කතාවක් කියලා.
    මේක ඒ කතාවමද එහෙම නැත්නම් ඔයාගේ හිතේ අලුතෙන්ම ආව එකක් ද කියලා අතරමං වෙලා තමයි තාමත් මේ ඉන්නේ.
    දැන් ඉතින් අපි ඔයාට ඔය දත් නම අතෑරලා වෙන නමක් දැම්මා නම් හොඳයි වගේ...

    ReplyDelete
  4. අහ්... කොටින්ම කියනවා නම් මම මේ තවම හිතනවා ලියන දේ... හිතුනහම හරියකට.. ලියන්නම්.. වින්දා... ඒක නම් කියා යා යුතුයි... ඉතුරුටික පසුවට !

    ජය!

    ReplyDelete
  5. "ජීවිතේ මල්" වගේ මමත් තාම හිතනව.

    ReplyDelete
  6. අපි ආසයි කියන ගොඩක් දේවල් ඇතුලෙ තියෙන්නෙ දුකක් ... එලියෙන් තියන සීනිකවරෙටයි අපි රැවටෙන්නෙ

    ReplyDelete
  7. හරියට හරි සහෝධරයා

    ReplyDelete

Post a Comment