පියසේන

/
14 Comments

මිනිසෙකු දිනයක් ආරම්භයේදී වතුර උගුරකින් කට පෙවීම කරනවා සේම මුහුණ සෝදාගත් පසු මම කරන්නේ නිවසට මීටර සියයක් පමණ දුරින් පිහිටා ඇති පුස්තකාලය වෙත යාමය.., නිවස හා පුස්තකාලය අතර වන දුර පයින් ඇවිදිමින් ගෙවදැමීමෙන් මගේ සිරුරේ පවතින මේ වයසට ආවේණික අලස ගතිය දුරුවී යනු ඇති බව මම බෝහෝ විට විශ්වාස කරමි..,

හොඳට ඇවිදල ගෙදරට ඇවිල්ලා මහන්සි ඇරියට පස්සේ හොඳවැයින් කොලකැඳ එකක් බොනවා නම් ඔය සෙම් පිත් ඔක්කොම ගහලා යනවා මහත්තෙයා..,

මා නිවසේ මෙහෙකරු පියසේන කියන්නේ එලෙසය., වෘත්තීය වෙද මහතෙකු නොවූවත්  සාමාන්‍ය ජීවිතය ගැන තිබෙන දැනුම ඉතාමත් ඉහල ය.

කවදා හරි මේ ලෝකේ ඉන්න ඔක්කෝම පවුකාරයෝ හෝදගෙන යන්න මහා ගංවතුරක් එනවා ඕන්න බලන්නකෝ මහත්තෙයා..

පියසේනගේ ජීවිතය ඉතා සරළය.., මට ඇවතුම් පැවතුම කරන්නට නො හැකි වෙන දවසට වෙනදාටත් වඩා පෙයවී ඒ කටයුතු කරද පියසේනට හවසට කසිප්පු නම් අනිවාර්යය.

පොඩක් හරි ගත්තේ නැත්තං මගේ ඇඟ ගැහෙන්න ගන්නවා මහත්තෙයා..,

එවැනි වෙලාවට වෙනදාටත් වඩා අසරණ ලෙස කොඳුරණ මේ මනුස්සයා තම කරන වරද සාධාරණී කරණය, කරන්නට තනයි.

කවදා හරි මහත්තෙයත් පොඩිත්තක් බීල බලන්ටකෝ, වෙනස තේරේවි..,

නූගත් වුව මේ මනුස්සයා මා සමඟ ම උදේට ඇවිදින්නට එන'තරම හේ අත ඇත්තේ පත්තරයකි..,


මහත්තයා උදේට දුවනවා පුස්තකාලේට යනවා වගේ තමා මමත් කියවන්නේ උදේම ඉංගිරිසි පත්තරේ තමා මේ!!!


සිය නවාගත් අත දිගහරින්නට තනමින් තම අත වූ පත්‍රය පෙන්වයි.., ඒ රේස් පත්‍රයකි.., පාතරාසය අවසන මම බෙහෙත් දෙන්නට නලාවත්, බෑගයත් උස්සාන යන්නට තනනා කල ඒ සහයට එන්නේද මේ අපූරු සේවකයායි..,


මේ පලාතට එහෙමත් කාලෙකින් ආපු දොත්තර මාත්තයා ගේ සෑල්ලුව උස්සන්නේ නෑතුව වත් යන එක මොන නව නිංගිරාවක් දෑ.?
රට්‍ටු මට දොස් තියාවි.

 

මේ ගම උදෑසනට ඉතාම මනරම් වේ.., සියොතුනෙනේ ගී නාද අම්බරුවන් හරකුන් අරවන හඬ මේ ආදී දහසක් දේ ජීවිතයෙන් භාගයකට වැඩි කලක් කොන්ක්‍රීට් වනයක් ජීවිතය ගෙනගිය මා වැනි අයෙකුට ඉතාම සුවබර අත්දැකීම් ය.


මහත්තෙයලෑ පැත්තේ ඔය වගේ නැතුව ඇති මයේ හිතේ..,
නැහැ පියදාස අපි ඉන්නේ නාරාහේන්පිට පැත්තේ ඒ හරියේ ඉතින් වාහන සද්දේම තමා.., කොහේද මේ වගේ නිස්කලංකාවක්..,

ඇයි එකපාරට ම එහෙම ඇහුවේ?


නෑ මහත්තෙය මම නිකමට ඇහුවේ.., මම කොළඹ ගිහිල්ලා නැහැනේ!!


තම අත වූ පුවක් අඩලය දෙකක් වෙන්නෙට කපනා ගමන් මදෙස බලා පැවසූවේ කිසිදු වෙනසක් නැතිවය.


ඈ.. ඒ මොකෝ?


පුදුමයට පත් වූ මම ඇසුවෙමි..,


ඉස්සර බාලාංසේ ඉන්න දවස් වල වන්දනාවක් කියලා කොළඹ හෙම බලන්න එක්කං ගියා, ඒත් අපේ අම්මා මම ඔය නොදන්නරටේ අතරමං වෙවි කියාල යැව්වේ නෑ.  ඔයිං ගියෑයිං පස්සේ පහු අප්පොච්චා අන්තරා වුණා.., පස්සේ මගේ ඉස්කෝලේ ගමනත් එතනින් ම හබක්..,


මහපොට ඇඟිල්ලේ වූ  හුණු තලිය දතට තබා හූරන අතරේ ඔහු කියයි..,

පියසේන කියනා ආකාරයට ඔහුට සහෝදරියන් තිදෙනෙකි.., එහෙත් ජයභූමි ඔප්පු වලට අයදුම් කර තිබීමෙන් පියාගේ මරණයෙන් පසුව නක්කාවිට ට පියසේන ඇතුලු සිය පවුලට යන්නට වී ඇතත් පියසේන මේ ගම අත හරින්නට අකමැති වී ඇත..,


කොහෙද මහත්තෙයා මම ආසා නෑ මේ ගම දාලා යන්න.., මගේ මුල් බැහැපු මේ පොලොව අතෑරල වෙන දීපංකරේක යන්න.., එව්වා කවදාවත් කෙරෙන වැඩ නෙවී මහත්තෙයා..,


එතැන් සිට පුරා දශක 6කට ආසන්න ප්‍රමාණයක් පියසේන ජීවත් වී ඇත්තේ මේ ගමේ ය.

 

මහත්තෙයා ඇයි කසාදයක් ගැන නොහිතන්නේ?


එක වරම පියසේන මගෙන් අසයි.., අතීත මතක මනසට ඒම තරම් වේදනා බර දෙයක් තවත් මගේ මනසට නැති නිසා උපැස ගලවා පසෙකින් තබා පියසේන වෙත හැරුණෙමි.


ඇ..ඇයි මහත්තෙයා ඒ ගෑණු උන්නැහේ වෙනැකෙක් බැන්දා වත්දැ..?
..,


ඉස්සර ඒ කියන්නේ මීට අවුරුදු දෙක තුනකට උඩදී මට ගෑණු ළමයෙක් හිටියා.., ඒත් එක එක ප්‍රෂ්ණ නිසා දන්නැද්ද,, මට එයව බඳින්න බැරිවුණා..!
හ්ම්..,
මහත්තෙයා බය වෙන එපා .., ඕන්න බලන්නකෝ මේ දුස්කර සේවේ ඉවර වෙලා ගේ පැත්තේ ගියාම මහත්තෙයට නෝනලාගෙන පරස්තා ඒයී..,නිකං දෙවි දෝසෙට නයි ඇදෙන්නැහේ..,


දෙවිදෝසේට නයි ඇදීමෙත් මගේ පරස්තාවලත් එකකට එකක් සම්බන්දයක් නැති වුව මේ මනුස්සයා ඒ දෙක සම්බන්ද කල ආකාරය ගැන මට පහලවූයේ සිනහවකි.., ගැමි හාස්‍ය යනු මේ බව මම තනිව සිතා ගතිමි.


හරි එතකොට පියදාස...?


හිහ්..,මම..?

ඔව් ..? මොකද්ද පියදාසගේ කතාව, කොල්ලා කාලේ පියදාසට ගෑණු ළමයෙක් වත් හිටියැයි..?


හිටියා..,ඒ මම කොල්ලා කාලේ.., ඒ දවස් වල මම ගජ ඉලන්දාරියා.., බාලාංසේට වෙනකල් ඉතරක් ඉස්කෝලේ ගියාට මොකෝ මගේ බහට කෙල්ලෝ ඕසෙට වහ වැටෙනවා ඒ කාලේ.., ඇරත් ඉස්සර අපේ අපේ අම්මා කියන්නේ මට සිකුරා නලලට ගහලා ලු.., මම ඕවා ගණන් ගත්තේ නෑ, අපේ නැන්දා කෙනෙක් හිටියා හුලද්දූවේ රංකිරි හාමි කියලා.., අපේ අම්මා නං කියන්නේ උන්දෑගේ කැඩිලා නැත්තේ කොන්ද විතරයි කියලා.., ඒ තරමට පඳුරක් පඳුරක් ගානේ තලාපු ඒකියක් කියලා මං කොල්ලා කාලේ ඒ ඇත්තේ එනවට අපේ අම්මා එතරම් මනාප නෑ..!

හහ් ඒ කියන්නේ පියසේනත් හොඳ වැඩ කාරයා වෙන්න ඇති ඒකාලේ..,

මුලදී මුලදී සේවකයින් හා එකට මුහුවීමේ හැකියාව අරුමයක් වුවත් මේ අපූරු සේවකයා නිසා ඒ සිතුවිල්ල මා තුලින් නිරායාසයෙන් ම අතුරුදන් විය.

අනේ නෑ මහත්තෙයා.., ඉස්සර කොල්ලා කාලේ ඔය පොඩි පොඩි පලහිලවු තිබා තමා ඒත් එව්වා එච්චර දුර දිග ගියේ නෑ., මේ මම කියන්න යන සිද්දිය වෙනකල්

හා හා කියමු බලන්න..,

කර කර හිටි වැඩය ද පසෙකින් තබා නාසය මත වූ උපැස ද පසෙකින් තබමින් මම පැවසීමි.

ඉතිං...?

ඉතිං..., අර මම කීව රංකිරිහාමිට හිටියා දුවෙක්..,  ආයි ඇරපු අතක් නෑ රංකිරි නැන්දාගේ කපාපු පලුව.., කතාව ගමන බිමන ඔක්කොම ඒ වගේම තමා.., මේ වාරේ උන්දෑ ඇවිල්ල තියෙන්නේ දුවව ටික දොහකට නවත්තලා යන්ට අපේ ගෙදර.., කොහොමත් නැන්දාගේ කැ‍රැට්‍ටුව නිසා අම්මා නැන්දව නවත්ත ගත්තේ නැති උනාට මොකෝ අපේ අම්ම අර දැරිවිට හරී මනාපයි. කෝඅත් මමත් එකපයින් "හා" නිසා අපේ අම්මා ඕන්න නවත්තා ගත්තා..,
එදායින් පස්සේ නැන්දා ගමට ගියාට මොකෝ, පස්සෙං, පහු, අර දැරිවි මා එක්කලා හෙම හරී සෙනේවන්ත කමට හිටියා.., මොන කරුමයක් දන්නෑ මහත්තෙයෝ මටත් ඒකිව නැතුව ම බැරු උනා. අර මම මහත්තෙයාව ආපු අලුතම නාන්න එක්කං ගිය ගල්තලාව ගාව ඔයක් තියෙන්නේ..?

ඔව්..?

ආන්න එතන තමා අපි දෙන්නට  දෙන්නා මුලිච්චි වෙලා කතා කොර කොර ඉන්නේ. කොහොමින් කෝම හරි අපි දෙන්නගේ සම්බන්දේ ගෙදෙට්ට ආරංචි වෙනකොටත් ඒ කෙල්ලට.., මගෙං පැටියෙක් බඩට ඇවිත්.., ඒත් අපේ අම්මා අපි දෙන්නාව එක්තැන් කොරලා ඒ අවනම්බුව වහගන්ට තැනුවට අපේ ගමේ ඉන්න කෙවුල් හැතිකරේ එක එක කතා හැදුවා.., ඒත් මං නොවේ ඒ එහෙකට වත් පස්සේ ගැහුවේ..ටික දොහක් ඔහෝම ගියාම ඒ කාලේ මේ ගමට ආවා මිනින්දෝරු මහත්තෙයෙක්.., ඒ දවස් වලත් මම වැඩ කලේ මේ බංගලාවේම තමා.., ඒ දවස් වල මේ පැත්තට තිබුණ එකම බංගලාව මේක නිසා ඔය වගේ ටික කලකට එන යන මහත්තුරු මේකේ නවතින එක මට මහ අරුමයක් නෙවී.., ඈ මහත්තෙයා ආවේ මාස 6 කට මේ පැත්තේ කැලෑටික මනින්න.., ඉතිං ඔහොම යනකොට මට තනියම දෙන්නෙක් ගේ ආවතේව කොටන්ට බැරිනිසා මම ඩී.ඇම්.ඕ මහත්තෙයාගෙන් අහලා අපේ පවුලවත් උයන්න පිහන්න එක්කාසු කරගත්තා.., ඔය කාලේ මේ ගංතුලානේ අපේ ගෑණිගේ දඩමස් ඉවිල්ලට ගහන්න ඉවිල්ලක් තිබ්බේ නෑ. පස්සේ ඔය කාලේ මගේ මේ කකුලේ මේන්න මේ හරියේ රිදිල්ලක් එන්න ඇවිල්ල මට වැඩක් පොලක් කරගන්න බැරි තත්ත්වෙට පත් වුණා.

එතකොට කවුද මෙහේ ආවතේව කලේ..?

මම ඇසීමි.

අපේ පවුල මම ඒ වෙනුවට මෙහෙට ඒ ටික කාලෙට එව්වා.., මගේ කකුල තමා මහත්තෙයා මට මේ ඔක්කොටම හෙනේට හිටියේ.., ඔය කාලේ අපේ ගෑණි ගෙදර එන වෙලාව ටික ටික එහා මෙහා වෙවී තිබ්බා.., මම ඇහුවාම මිනින්දෝරු මහත්තෙයා එන්න පරක්කු වෙන නිසා මම කෑම ටික රත් කොරලා දෙන්න ම හිටිය කීවා.., ඔහොම සති තුනක් විතර ගියාම එකදවසක් උදේ අපේ ගෑණි පුරුදු විදියට ම වැඩට ගියා.., එදා ඉඳන් මම තාම ඒකි එනකං බලා ඉන්නවා මහත්තෙයා...,

හ්ම් ඒකත් එහෙමද?

හාං.., පස්සේ මට ආරංචියක් ආවා අපේ එකී බඩත් උස්සාන ම පිට පාරෙන් ගිහින් තියෙන්නේ අර මිනින්දෝරු මහත්තෙයා එක්කය කියාලා..
,
ඔව්වා ඔහොම තමා පියසේන ගණන් ගන්න එපා..,

මට අර මිනින්දෝරු කතාව කිව්වම මතක් උනේ අපේ අප්පච්චීත් මුලින් ම පත්වීම අරං ඇවිල්ලා තියෙන්නේ මේ ගමටලු..,

මහත්තෙයා...?

ඔව් පියසේන, ඒදවස් වල අපේ අප්පච්චීව බණ්ඩාර මිනුං මහත්තෙයා කිව්වම ඕන කෙනෙක් දන්නවලු..,

ඇහ්..?

ඔව් ඇයි පියදාස හිටියද ඒ කාලේ...?

මේ...මේ....ම..ම..හ..ත්..ත..යා.., කෑ.. කෑම ලැහැත්තියි කන්න..,

රාත්‍රී ආහාරය  ගෙන අවසාන කලත් ඒ අස් කරන්නට සුපුරුදු පරිදි පියසේන නොවූ නිසා මම කෑම එක්කර ශීතකරණයට දමා කරන්නට වැඩ රාජකාරි කිහිපයක් තිබූ නිසා.., කාමරයට වැදුනෙමි..,
සුපුරුදු ලෙස මම රෝහලටත් ඉන් නිවස්නයටත් යාම නිසා වෙලාව යනවා නොදැනුනත් රාත්‍රී ආහාරය ලැහැත්ති කරන්නට පැමිණ සිටියේ මා රෝහලේ සිට ඇඳින ගෙන තිබූ ජයනෙත්තිය. 

good afternoon සර්..!

good afternoon ජයනෙත්ති කෝ අද පියසේන..?

සර් පියසේන හදිසියේ ම නක්කාවිට යනවා කීයල ගිය මේක දෙන්න කිව්වා සර්ට..,


සේවය හැරයාමේ සාමාන්‍ය ලිපියක් වුව ඔහු ගැන සොයා නොබලන ලෙස යටින් විශේෂව ලියා තිබීම හැරෙන්නට වෙනත් දෙයක් නොවී ය.
ටයි ගැටය බුරුල් කරගත් මම, ජයනෙත්ති ගෙනත් දුන් දුම් දමන කෝපි කෝප්පය මුවට ළං කරගතිමි..,

ජයනෙත්ති..?

සර්..?

ජයනෙත්ති කොයි තරම් කල් ඉඳං දන්නවද පියසේන ව..?

හපෝ පියසේන අයියාව මම දන්නේ බාලාංසේ කාලේ ඉඳං ම..,

ඇයි සර්..?

නෑ මිනිහ මට ඊයේ මාර කතාවක් කිව්වනේ..?

හහ්..මිනිහා ඒක මහත්තයටත් කිව්වද?

මොකද්ද?

මිනිහගේ පවුලගේ කතාව..?

ඔව් ඇයි ඒක බොරුවක්ද..?

අනේ නෑ.., මිනිහාගේ ගෑණි ඇත්තට ම දාලා ගියා. ගියේ මිනින්දෝරුවෙක් එක්කලා..,
ඒකාලේ අපි රෝහලේ ටැම්පරියට වැඩට ගිය අලුත.,

ඒ මනුස්සයාගේ නම මොකද්දජයනෙත්ති..?

කාගේද සර්..?

අර මිනින්දෝරුවාගේ?

අනේ මන්දා සර්.., ගම්මු නන් කියන්නේ බණ්ඩාර මිණුං මහත්තෙයා කියලා තමා....!

ඇහ්..?

ඒකියන්නේ..?

ඇ..ඇයි සර් මම වැරදි දෙයක් වත් කීවද..?

ජයනෙත්ති ත..තමුසේ ගෙ..ගෙදර යනවා අ..අ……,

ගෙල හිරවන්නට ඔන්න මෙන්න තරම් දැණුනු ටයි ගැටය බුරුල් කරගත්තේ ආයාසයෙනි..!



You may also like

14 comments:

  1. අම්මටසිරි! මෙන්න කතා! මෙක නියමම නියමයි. ලියන එවුන් හුඟක් තමුන් හිතට එන ඒවා නොලියා ඉන්නේ කියවන කට්ටිය තමුන් ගැන වැරදි අදහසක් ගනීවි කියලා හිතලයි. ඒක මම පෞද්ගලිකවම අහලා තියෙනවා. මේකනම් නියමයි මචන්. පියසේනගෙත් දොස්තරගෙත් මුලින් තිබිච්ච ළබැඳියාවම, ලේ වලට ඈඳීමක් කරපු එකනම් නියමෙටම නියමයි! සිරාම සිරා!

    ReplyDelete
  2. අඩේ මචං උඹ නම් මාර පොරක් නේ.....
    කියන්න දෙයක් නෑ සිරාවට ලියලා තියෙනව.. කියවන්න පටන් ගත්ම නවත්තන්න හිතෙන්නේ නෑ ඉවර වෙනකන්ම.. උඹට අර ඒකාංගියද මොනවද කියන නාට්‍ය පිටත් ලියන්න පුළුවන් ඈතිනේ...

    එළ එළ දිගටම ලියන්න..

    ජය වේවා මචං...!!

    ReplyDelete
  3. ගොතපු කතාවක් බව තේරුනේ අවසානෙට කියවද්දි.
    මම හිතුවෙ ඇත්තෙයි කියල

    ඒ තරං හොඳයි

    ReplyDelete
  4. පටේ පට්ට මචන්.... එලම කිරි....ආයෙත් වචන් 2ක් නෑ මචන්....

    ReplyDelete
  5. නියමම නියමයි ලිශා!හරිම ලස්සනට ලියවිලා.ඇත්තටම අගෙයි!:)

    ReplyDelete
  6. ලස්සනට ලියලා,ගොඩක් ආසාවෙන් කියෙව්වා!

    ReplyDelete
  7. අනර්ඝයි...! ලංකාවෙ හොඳ කෙටි කතා නොලියවෙන කාලයක් මේ. මෙන්න මේ වගේ තමයි හොඳ කෙටි කතා ලියැවෙන්න ඕනි. මරු, කීයටවත් නවත්වන්න එපා. දිගටම ලියන්න.....

    ReplyDelete
  8. මොනවා ලිව්වවත් මගෙ කැල්ලක් තියනවානෙ ලිශ් අයියා. මොකද කරන්නෙ වෙදනාවෙ.... ඉවසන්න බැහැ.. :D :D

    ReplyDelete
  9. ශා..මරුවට ලියලා...දිගටම ලියන්න..

    ReplyDelete
  10. උඹ ලියන විධියටත් සිදුවීමෙන් සිදුවීම පියවරෙන් පියවර අමුණන විධියටත් අන්තිමේ කරකවල අතාරින ස්ටයිල් එකටත් මං හෙන ආසයි. වෙල් ඩන් හැර කියන්න දෙයක් එන්නෙ නෑ අර පට්ට ගහපු පස්ඨ, එළ වගේ ඒවත් දැං ගතියක් නෑ වගේ...

    ReplyDelete
  11. @මුචා►
    ස්තූතියි මචන්.., මේ පියසේන කියන මනුස්සයාව දකින්න ඕනේ නම් උඹ අපේ ගෙදර වරෙන්.., ඔය කියන මනුස්සයා අපේ බාප්පලාගේ ගෙදර සේවකයෙක් විදියට මේ වෙනකොටත් සේවය කරනවා. මම ඒ මනුස්සයාගේ චරිතෙන් ගත්තේ ඒ මනුස්සයාගේ කතාකරන විලාසයයි, ජීවන විලාසයයි විතරයි..!

    @සෝරෝ►
    ස්තූතියි මචන්.., කියවලා සතුටක් ලැබුවානම් එච්චරයි..! :)

    @චන්දිම, අනුරාධ, වීතරාගී, නදී►
    ගොඩාක් ස්තූතියි! :)

    @උදය►
    උඹ කියන එක නම් ඇත්ත මචන්..!

    @රවා ►
    අනේ නොදැනුවත් ව ම හරි හිතට දුකක් එකතු වුණා නම් සමාවෙයන් මචන්.., මම කවදාවත් ලියන්නේ එහෙම කාටවත් රිද්දන්න හෙම නෙවී.., අනේ සමාවෙයන්..! :(

    @නිම්ශා ►
    ස්තූතියි සහෝදරී..!

    @හරේ ►
    කූටප්‍රාප්තියේ වෙනසක් අනිවා වෙන්න ම ඕනේ, ඒක මම අදහන දෙයක්..,
    කතාව මුල තුවක්කුවක් බිත්තියට හේත්තු කරලා තියෙනවා නම් අවසානයට පෙර එය ඉබේ හරි පත්තු වෙන්න ඕනේ..,

    ReplyDelete
  12. හැමදාමත් වගේ ඔයාගේ කතාව අදත් මාව සතුටට පත් කරනවා..ඇත්තමයි ගොඩක් හොදයි..මිනිස් සම්බන්දතා ගැන හිතනකොට පුදුමයි...

    ReplyDelete
  13. ඔව් පියසේන, ඒදවස් වල අපේ අප්පච්චීව බණ්ඩාර මිනුං මහත්තෙයා කිව්වම ඕන කෙනෙක් දන්නවලු..,

    ඇහ්..?
    ඔව් ඇයි පියදාස හිටියද ඒ කාලේ...?
    මේ...මේ....ම..ම..හ..ත්..ත..යා.., කෑ.. කෑම ලැහැත්තියි කන්න..,....

    ලිශ් අයියා... මෙතෙන්ට විතරක් කතාව තිබ්බත් ඈති වගේ...ඉතුරු ටික අපිට හිතා ගන්ට... ඒ තරම්ම එතෙන්ට එනකොට කතාව උපරිමයට එනවා..... ඉතුරු ටික තිබ්බත් නෑතත්... ජය ජය ජය ! උපරිමයි !

    (මම මේ හිටි අඩියේ ඔයාගෙ බ්ලොග් එකේ කතා කියවාගෙන කියවාගෙන යනවා... කමෙන්ටු නොදාම බෑ හිතෙනවා... ජය! මේව කවද හෝ පොතක් සේ අපට දකින්ට ලෑබේවා !

    ReplyDelete