සමුගැනීමේ සටහන

මේසය මත තිබූ ස්කොච් බෝතලය ඉවරවෙන තුරු බිව්වත් සිතේ ඇති වූ ශෝකය දියකර ආමාශයට රහමෙර හා යවනවා විණා වෙන සිත් සනහාලීමේ ක්‍රියාවලියක් ලේඛකයා අත්හදා බලා නොතිබුණේය. සමාජය විසින් සාහිත චූඩාමණී ගෞරව උපාධියත්, සමස්ත ලංකා අමද්‍යප සංගමයේ "ගරු" උපදේශක තනතුරත් ලැබූදා පටන් සිය ප්‍රියත්ම විනෝදාංශය වූ ස්කොච් ජීවිතයෙන් ඈත්කර තිබුණේය..!

"අන්තිම පාරට මට කියපන් සුදේව උඹ මේ බොන්නේ හිතේ දුක නැතිකරගන්න නම් උඹට අන්තිමට වෙන්නේ මාව නැති වෙන එක විතරයි"

සිය හදවත මේ ආකාරයෙන් කොතෙක් ජීවයේ වටිනාකම, සම්මා සතියේ වන වටිනාකම ගැන මස්තිශ්කයට ඇඟිල්ලෙන් ඇන කීවත්.., රෙඩ් ලේබල් වීදුරුවට වැටි අයිස් කැටයක් මෙන් ඒවා මත්වූ සිතුවිලි අතරට මුහුවී තනුක විය.

බඩු ඉවරයි..,හික්

රාම තෙල් පිට කිරීමක් සමඟම පිටවූ ඉක්කාවක් හා පැමිණි වදන් දෙක එළියට පැන්නේ කෙළපිඩක්ද සමගිනි. පිටි අතින් ස්වකීය මුවෙන් පෙරෙන ඛේට වැල් පිහදාගත් සුදේව පුටුවෙන් නැගිටින්නට තනත් ම.., සිය අතට හසුවූ ලියා ගුලිකර විසිකරදමන්නට තැබූ කොළය මතට සිය සිත යොමුවිය.


සුලක්ඛණා,
මේ මම ලියන අන්තිම ලියුම. මහ මිනිස්සු මොනවා කීවත් මම ඔයාව මගේ වත්තල ගෙදරට අරගෙන ආපු හේතුව ඔයා හොඳටම මතක ඇති කියලා හිතනවා. ඒ උනත් ඔයාගේ අම්මලා අප්පොච්චිලා ඉස්සරහ ඔයා හැසිරුනේ ඒ වැරැද්ද මගේ අතින් ඔයාට උනා වගෙයි. ඒක මට ඉවසන්න පුලුවන් සූ.
ඒත් මෙට අවුරුදු දෙකකට කලින් මගේ යාලුවගේ පිහිටෙන් ඔයාගේ ගෙදර එන කාලේ ඔයා රඝුට වත් කියන්නේ නැතිව මට කෝල් කරල විස්තරේ කීවම, මම ඔයා කලින් යාලු වෙලා හිටි අර අහිංසක මනුස්සයා රඝුට වත් කියන්නේ නැතිව මම ඔයාව එහෙට අරන් ආවේ ඔයාවගේ සහෝදරියක මට පොඩි කාලේ හිටි නිසා වෙන්න ඇති. ඒත් උඹ මට මෙහෙම කරපු එක හරිද..? මම අද පිස්සෙක් වෙලා ඉවරයි. මට උඹත් නැහැ. අම්මලා අප්පච්චිලත් නැහැ.  සමහර විට මේ මගේ අන්තිම ලියුම වෙන්නත් පුලුවන්..! දුක්වෙන්න එපා මම උඹට වෛර කරන්නේ නැහැ.
ඔයාට දෙවි පිහිටියි
මෙයට
ආයිත් නොඑන
සුදේව.

මේක යවපන් ගුලි කරලා විසි කරන්නේ නැතුව.., එතකොට උඹේ හිතේ තියෙන බර බින්දුවක් හරි නැතිවෙලා යාවි. බීලම ජීවිතේ විනාස කරගන්න එපා දේව..,

සිය හිත කොතරම් කීවත් තව බෝතලයක් ගබඩාවෙන් ගන්නටම යටි හිත දෑත් දිගුකර ඉල්ලත්දීත් එයට අවැසි දේ මෙතෙක් කිසිම අවස්ථාවක ලබා නොදී නොතිබුණි. එහෙත් නැවත මේසයදෙසට හැරුණු ලේඛකයා වැනෙමින් මේසය දෙසට පැමිණ කැරෙකෙන පුටුවේ හිඳගති. වෙවුලන අතින් ගුලිකර තිබූ කොලය අතට ගෙන එහි රැළි ඉවත් කරන්නට කොළය තලයට තදකර ඇඟිළි වලින් පිරිමැදි ඔහු මේසය අසළ තිබූ රාක්කයෙන් ලියුම් කවරයක් ගන්නට සිතද්දී මස්තිශ්කය යලිත් හිතට තට්ටු කරන්නට විය..,


►මේ අහපන්

►මොකද්ද?

►මම කියන දේ..

►හා..!

►හා කියන්නේ මොකද්ද?

►උඹ කියන දේ අහන් ඉන්නව බව ඔප්පු වෙන්න මම දුන්න පිළිතුර

►හ්ම්..කියපන්..!

►මේකයි

►මොකද්ද..?

►ඔය ගෑණි උඹ යවන්න හදන ලියුම දැකලා කලබල වෙයි කියලා හිතන්වද?

►කියන්න බැහැ යවලම බලන්න ඕනේ..

►මම කියන්නේ මේකයි ඒ ගෑණිට උඹෙන් වැඩක් නැත්තම් ඇයි උඹ ඒකි පස්සේ යන්නේ

►ඒකනම් ඇත්ත තමා

►ඒකනේ..!

►ඒත් දුක එහෙම්මමයි බං..!

►ඒකට බීල හරියනවයැයි

►මම දන්නේ එච්චරයි

►එහෙම නොවේ උඹ ඒකිව අමතක වෙන්න හොඳට ලියපන්..!

►එතකොට ලියුම..?

►ඔය ආයි ලියුමක් ගැන කතා කරනවා!! ලියපන්!

►හ්ම්

►හුම් කියන්නේ?

►හා

►එච්චරයි

 

ඔව් එක අතකට මම මොකටද මගේ ජීවිතේ කෙළ කරගෙන විනාස වෙන්නේ.., ඒත් මේ ලියුම දාන්න ඕනේ ඒකි බය කරන්නත් එක්කලා..!
ලේඛකයාගේ මුවේ නැඟුනේ මඳහසකි. කොලය තලය උඩ තබා ලියුම් කවරයක් ගන්නා පුටුවේ සිට ම රාක්කය වෙන නැවිණි.

එකවර ම, රාක්කය වෙත නැවුණ ආකාරයට පුටුවේ තිබූ තුලිත භාවය නැතිවී ගොස් ලිස්සාගිය පුටුවේ හිසැතපුම සිරුරේ වැදීම නිසා ඉදිරියට විසිවූ ලේඛකයා රාක්කයේ කොණ් වලට අල්ලා තිබූ පිත්තල උලට හිස ඇමිණෙනු දැනුණි.., නළලේ සිට ගලා ගිය උණු දියරය මුහුණපුරා ගලායත්දී ලේඛකයා බොඳවූ ඇස් අතරින් අවසාන වරට දුටුවේ මීට මොහොතකට පෙර තමා අතින් මේස තලයට තදකර රැළි ඇරි ලියුමේ සමුගැනීමේ සටහනයි....

 

මෙයට
ආයිත් නොඑන
සුදේව.

Comments

  1. උපරිම පට්ටයි හරිද . එච්චරයි කියන්න තියෙන්නෙ.

    ReplyDelete
  2. මරු..!!
    (සියල්ල කියවා දැමූ කමෙන්ටුවකි)

    ReplyDelete
  3. කියන්නට වචන නැත...උපරිමයි!!!

    ReplyDelete
  4. ඉතා විශිෂ්ටයි !!!

    ReplyDelete
  5. හැමදාම කියන වචනේ තමා මචො කියන්න තියෙන්නේ...
    නියමයි...

    ReplyDelete

Post a Comment