ස්වස්තික මට හමුවන්නේ අවිස්සාවේල්ල නුවර බසයක් තුල දී ය. [ඔහුගේ සත්‍ය නම නොදන්නා නිසා ඔහුව මේ නමින් හඳුන්නනවාට කරුණාකර කමන්න.] නිහඬව කවුළුවක් අසල රේ බෑන් කණ්නාඩි දෙකක් පැළඳ ගෙන පොතක් පෙරලගෙන සිටිද්දී ය. හදිසියේ බසයට නැගුණු සමහරක් දෙනා ස්වස්තික අසලින් හිඳ ගත්තද ටික වෙලාවක් යන විට අසල වූ සීට් එකක් හිස් වූ තැන, එතැනට ගොස් හිඳ ගනියි. ඉන් පසුව අසල සිටිනා පුද්ගලයෙකු හා ස්වස්තික දෙසට ඇඟිල්ල දිගු කරමින් මොනවාදෝ කියයි. 
අවිස්සාවේල්ලේ සිට හෙට්ටිමුල්ල පහුවන තුරුම දෙතුන් දෙනෙකුම එකමාකාරයෙන් ප්‍රතික්‍රියා දක්වන්නට වූ නිසා ස්වස්තික අසල වූ සීට් එකකට මම මාරු වුනෙමි. හේ උස ය, ප්‍රියමනාපය, කිසිදු වරදක් නොපෙනේ, විටින් විට සිය ජංගම දුරකථනය දෙස නෙත් යොමමින් තිරයේ පෙන්වන දේට උත්තර ලියමන් ද, ඒ අතරතුර තමා අතැති පොතේ පිටු පෙරලමින් ද කල් ගමනේ යෙදෙනු විනා ඔහු තුලින් කිසිදු වෙනසක් මා හට පෙන්නුම් කෙරුනෙම නැති. අවසාන කිසිවක් නොවන තැන මේ කුහුල ඉවසනු නොහැකිව මම ස්වස්තික අසලින් හිඳ ගතිමි.

ටික දුරක් ගමනේ යෙදුන තැන,
ස්වස්තික : මිස්ටර්ට ගමන බොරින් වගේ නම් මම පොතක් දෙන්නද කියවන්න?
මම: අනේ දෙන්න ගොඩක් ස්තුතියි.
විනාඩි කිහිපය සිය දෙපා අතර රඳවාගෙන සිටින රෙදි මල්ලෙන් පොතක් රැගෙන දෙයි.
ස්වස්තික : කියවන්න. ඔය පොත මම ලියපු එකක්, තවම ප්‍රින්ට් එකට දීලා නැහැ. හෙට අනිද්දම මොනා හරි කරන්න ඕනේ. දන්නේ නැද්ද, මගේ මිසිස්ගෙයි දරුවන්ගෙයි වැඩ වලට හිර උනාම මගේ වැඩ වලට වෙලාවක් නැහැනේ.
මම හිනහාවක් පා පොත අතට ගතිමි. මිනිසුන් මෙවැනි මිනිසෙකුව අඩු තක්සේරු කර ඔහු අනුන්ගේ විඩාව සිඳුවා ගැනීමට පොතක් දුන්විට එය ප්‍රතික්ෂේප කර වෙනත් තැනක අසුන් ගත උන් ගැන මට ඇති වුයේ සැබවින්ම අනුකම්පාවකි. පොත කවරය සිතන්නටත් බැරි තරම් අගනා ආකාරයට සමින් නිමවා ඇත. මෙතරම් වෙහෙසක් ගෙන පොතක් සමින් බැඳ ලියන්නට පටන් ගන්නා කෙනෙකු වේ නම් ඔහු හෝ ඇය නොසලකා හරිය යුතු පුද්ගලයෙකු නොවන බව මගේ සිතට දැන් දැන් දැනෙමින් පවතී.
මම: මිස්ටර් පොත ගොඩාක් ලස්සනට බයින්ඩ් කරලා තියෙනවා. මෙහෙම පොතක් ලියන්න පටන් ගන්න එසේ මෙසේ හැකියාවක් තියෙන කෙනෙකුට බැහැ.
සිය උපැස් යුවල ගලවා පොත මතින් තබා මගේද බැලූ ස්වස්තික,
ස්වස්තික: මිස්ටර් මිනිස්සු උනාම කිසිම දෙකින් සැලෙන්න හොඳ නැහැ. හැමදේම වෙන්නේ මිනිහට, මම මගේ ඊළඟ ෆික්ෂන් එකට කරුණු කල්පනා කරන ගමන් ඉන්නේ, කැන්ඩි වලට මේ බස් එක යනකොට තව වෙලා යන නිසා මට මගේ ෆස්ට් චැප්ටර් එකට තොරතුරු එකතු කරගන්න පුළුවන්. ඒ නිසා ප්ලීස් ඔය මේ පොත කියවන්නකෝ, අපි ටිකකින් කතා කරමු.
එය ආරාධනාවක්ද තර්ජනයක් ද කියා මගේ සිතින් සිතා ගත නොහැකි වූ තැන මම මා ඇත වූ ඔහුගේ පොත දෙස නෙත් සැලීමි. හමින් කවරය කල පොත තවමත් මා දෙඅත තම නිසලව තිබේ. මම සෙමින් එය කියවන්නට පටන් ගතිමි. එහෙත්...,
මම පළමු පිටුවද දෙවැනි පිටුවද තෙවැනි පිටුවද පෙරලුවද කිසිවක් සොයා ගන්නට නොහැකි වූ තැන මම මුලසිට අගට පොත පෙරලීමි. එය කිසිවක් නැති හිස් පොතක් විය. මම ස්වස්තික දෙස හැරුනෙමි.
මම: මිස්ටර්, ඔයාගේ මේ පොතේ
ස්වස්තික : ආ...ඔව් ඉතින්?
මම: මොකවත් නැහැ නේ?
ස්වස්තික: මොනවා
මම : ඔව් මොනවත් නැහැ
ස්වස්තික : කෝ කෝ මෙහාට දෙනවා බලන්න.
මම : ආ මෙන්න.
ස්වස්තික : ඇයි අයිසේ මේ තියෙන්නේ යස අගේට.
ස්වස්තික ම දෙසට හැරී පොත් හිස් පිටු අතර ඇඟිලි යවමින් පෙන්වයි. එහෙත් කිසිවක් ලියා නැති ඒ පොතේ ඔහු පෙන්වන දේ සිතින් මවාගෙන හෝ හිසින් සන් කරන්නේ කෙලෙස? මම කරබාගෙන උන්නෙමි.
තමුසෙට පිස්සු, තමුසෙට විතරක් නෙවෙයි මෙතන මගේ එහාපැත්තෙන් හිටපු උන් ඔක්කොටොම පිස්සු. 
ස්වස්තික මහ හඬින් කියවයි, එහෙත් බසයේ මොර ගෑම නිසා ඒවා ඇසෙන්නේ ඉඳහිටය. මම මේ මනුස්සයා පවසනා අපුල කතා ඉවසනු බැරිම තැන නැගිට, අසලක වූ ඉඩක අසුන් ගතිමි.

බසය තවමත් මාවනැල්ල පසුකර නැත. ඉහත්තාවෙන් වූ බස් නැවතුමෙන් නැගුනු මගියෙක් ස්වස්තික අසලින් හිඳ ගත්තේය.
මිස්ටර්ට කම්මැලි වගේ නම් දෙන්නද පොතක් කියවන්න.?
ස්වස්තික තමන්ට එහායින් හිඳගත් මගියාගෙන් ඇසුවේද, මා ඇතුළු බහුතරයක් මගීන්ගේ මුවගට සිනහා නැගුනේද එකවරම ය.