නිර්මාණකරුවාගේ මළගම

නිර්මාණකරුවා සිය පින්සල මෙහෙයවා අලුත් සිතුවමක් නිමකරමින් සිටියේය. එළිමහනක කුවේර පරපුරක ධනය ඉස්මුරුත්තාවට ආ එහි අවසන් පුරුකක බිතක් සරසන්නට නිර්මාණකරුවා හට ලැබුණු ආරාධනයෙන් පසුවයි ඔහු සිය පින්සල මෙහෙයවා අලුත් සිතුවම නිමකරමින් සිටියේ. නිර්මාණකරුවා අවංකය. අව්‍යාජය, මුවට නැඟෙන අවංක අදහස නොබියව පවසයි, ඔහු සිය හැකියාව මෙතාක් කාලයක් ලබා දුන්නේ නොමිලයේ වුවත්, ඔහු සිටියේ තුටෙනි, සැනසිල්ලෙනි. මේ නිසා ගමේ නගරයේ තුල පමණක් නොව, පත්තර වල පවා ඔහුගේ හැකියාවන් නිරන්තරයෙන් ඇගයුමට ලක් විය. 
නිර්මාණකරුවා බිතුසිතුවමේ අවසන් රේඛා කිහිපය නිමකරමින් සිටිනා විටෙක බිත අද්දරින් අශ්ව කරත්තයක නැඟී යන්නේ, රටේ මාධ්‍ය කුවේරයාය. අසුගේ කුර ගැටෙන සරින් හැරී බැලූ නිර්මාණ කරුවා එහි ඇති කුඩා කවුලුවෙන් ඉතා අපහසුවෙන් තමන් නිම කල සිතුවම දෙස බලමින් යන පුද්ගලයා දැක ඔහු මුව සිනාවකින් සැරසිණ.
පුදුම දුකක් විඳින්නේ, බිත්තිය දිහා බලන්ට..,
මොකෝ වෙන්නේ නිදහසේ කරත්තේ නවත්තලා බැහැලා බැලුවා නම්..?
අව් රැල්ලට වහ වහා වියැලෙමින් යන අවසානයක් නොදුටු රේඛාවක් සිය ගමනාන්තය බලා පින්සලය මතින් ගමන් කරවූ නිර්මාණකරුවා සිතන්නට විය. සිය නිර්මාණ කාර්යය අවසාන කර තනිකඩ කුවේරයාගේන් පඬුරුත් රැගෙන මහා මන්දිරයේ සිට සිය නිවස බලා යන්නට දින දෙක තුනක් ගත වුවත්, සිලිමක් හෝ දෙකක් වැය කර කරත්තයක නැඟී යන්නට හැකියාව තිබියදීත් නිර්මාණකරුවා පාගමනින් නිවස වෙත යන්නට පට‍න් ගත්තේ ය. අවට ඇති ඇසට ප්‍රිය සූන්දරතා සහ උකහාගතයුතු යමක් වේද  එසැනින් ඔහු අත වූ සටහන් පොතේ පැන්සලයෙන් සටහන් කරගන්නට අවැසි විය, කෙටියෙන් කිවහොත් ඔහු සිය නිර්මාණ වල ගුරු කොට සැලකුවේ ස්වභාවධර්මයයි.
නිවසට ළඟාවන විට දින දෙකකුත් වරු දෙකකුත් පසුවී තිබිණි. මල් පෝච්චිය යටින් සුපුරුදු ලෙසින් ම සඟවා තැබූ තැනින් එළියටගත් යතුරින් නිර්මාණකරුවා නිවසේ දොර හැරියේය.., කවුරුන් හෝ නිවසේ දොර යටින් දමා ගොස් තිබූ පාචිමන්ට් කඩදාසියෙන් කල ලියුම් දෙකක් නිර්මාණ කරුවාගේ ඇස ගැටිනි. තවමත් ඇලෙමින් පැවති ලාකඩ දෙස බැලූ නිර්මාණ කරුවා ලියුම් දමා ගොසින් එතරම් වේලාවක් ගත නොවී ඇති බව වටහාගන්නට තරම් දක්ෂ වීය.
සුහ පැතුම් සමඟින්, මහාමාන්‍ය, දේශ හිතෛෂී, ජාතිමාමක, ජනමූල..
ගෞරව නාමයන් අතහැර තමන්ට අවැසි දේ පමණක් කියවන්නට ලියමන පුරාවට ඇස් යැවි නිර්මාණ කරුවා එක වදන් පෙළක් අස නැවතිනි. එය මෙසේ විය..,
දින කිහිපයකට ප්‍රථමයෙන් අප අධිපතිතුමාණෝ සිය සුදු අසුන් බැඳි කරත්තයෙන් ගමන් කරනා විටෙක ඒ මඟ අසල බිතක සිතුවමක් නිම කරමින් සිටි ඔබ දැක ඔබේ නිර්මාණ කාර්යය පිළිබඳව නොසෑහෙන්නට පැහැදී ඔබ පිළිබඳව සොයා, වහාම ඔහු සේවම මඬුල්ලට බඳවා ගතයුතුය, ඔබේ නිර්මාණ ධාරිතාවයට සැලකුම් කලයුතුය යන සුධර්මවත් චින්තාවේන් සැදී මේ ලියමන ඔබ වෙත එවන්නට මුල් හේතුව බවට පත් වීය.

පලි:
අනෙක් ලියුම් කවරය තුල ඔබේ ගමන් වියදමට සරිලන ප්‍රමාණවත් මුදලක් තැම්පත් කර ඇත. මෙවැනි අවස්ථාවක් යලිදු ඔබට නොලැබෙනු ඇති. ඔබ මීට ඉදිරි දින දෙක ඇතුලත ප්‍රතිචාර දක්වනු ඇති වග අපේ විශ්වාසයයි. දිනදෙක අවසන අපගේ නොයෝජිතයෙක් ඔබ නිවස අද්දරට පැමිණෙනු ඇත. ඔබට ඇත්තෙ ඔහු සමඟ පැමිණීම පමණි. 
ලැබී ඇත්තේ කිසිවෙකුට නොලැබෙන අවස්තාවකි, දුකින් අඟහිඟින් පිරි ජීවිතයට නැවතීමේ තිතකි. කුමක් කල යුතුදැයි,සිතන්නට විය. සිත මනස කියන්නේ තනතුර භාර ගතයුතු බවයි, එහෙත් සිය ස්වාධීනත්වයට වන හානිය මතකවන නිසාදෝ හදවත ඊට එරෙහි වෙයි. උයාගත් සිය ආහාර අනුභවයෙන් පසුව සිය මනසට සිතුවිලි හා වාද කරන්නට ඉඩ දී නිර්මාණ කරුවා නින්දට වැටිණි.
අවාසනාවක මහත! උදෑසන වන විට හදවත පරදා මනස ජයගෙන තිබිණි.

උදෑසනම අවදිවී ගත පැනින් නහවාගෙන, අලුත් ඇඳුමින් සැරසී, තමා රැගෙන යන්නට පැමිණෙන්නා එනතුරු දොරකඩ සිට නිර්මාණකරුවා මඟ බලා සිටියේය. බොල්කටු දෙකක් එක හා වැදෙන සරින් ගල් ඇතිරූ පොලවේ ඈතින් ඇසෙන හඬ නිර්මාණකරුවාගේ මනස් චින්තාව විලිපිසර කරවීමට සමත් විය. දෙතොලට උඩින් නැඟෙන දාඩිය බිඳ මහපොටැඟිල්ලෙන් තවරාගත් හේතෙමේ.., සිය අඩුමකුඩුම ඇහිරූ මල්ල කරට ගෙන පෙරමඟට ගියේ තමන්ව දියුණුවේ හිණිපෙත්තට තබන්නාගේ ගමන් සඟයා පිළිගැනුමට ය.

දින සති මාස වසරින් ගතවී ගියේය. කුවේරයාගේ සෙවණේ සේවා කරනා නිර්මාණකරුවා කරනා නිර්මාණ, වාණිජත්වයෙන් පිරී තිබිණි. පෙර මෙන් මිනිසුන්ගේ සුහ පැතුම් ප්‍රසංශා වෙනුවට ඔහුට තම නිමා කරනා නිර්මාණ වලට දෝත පුරා මුදල් ලැබෙන්නට වී. වනය අද්දර නිස්කාංසුවේ සිටි නිවස අත හැර ඔහු නගරයේ ධනවතුන් වෙසෙනා පලාතට යාබදව නව පන්නයේ නිවසකට පදිංචියට ගියේය. පෙර දේශ දේශාන්තර වල මිනිසුන් තුඩ තුඩ රැවුදුන් කරුණාවන්ත නිර්මාණශීලී නිර්මාණකරුවා සිය වාසය අසලම ජීවත් වන බව අසා ධනවතුන් ආඩම්බරයට පත් විය. වැඩි වැඩියෙන් කුවේරයාගේ සේවාස්ථානයට ඇනවුම් ලැබුන අතර, නිර්මාණකරුවාගේ නාමය ප්‍රතිභාව ගණිකා වෘත්තියේ යොදවා කුවේරයා යහමින් හම්බ කරනවා යන්න බොහොමයක් දෙනාගේ මතය විය.
•ඔහුට ඕනේ අපේ තත්ත්වයට එන්න.
•නෑ නෑ ඔහු දැනටමත් ඉතා ඉහළ මිලක් සිය නිර්මාණ වලට අය කරනවා, ඒත් පෙර තරම්ම ඒ නිර්මාණ ප්‍රශස්ත නැතිදෝ මංදා..?
•මම ඔහුගෙන් මීට වසර කීපයකට කලින් කඩ පිලකදී චිත්‍රයක් අන්දවාගත්තා, ඊට ඔහු මිලක් ලෙස අය කලේ සිලිං 5යි, එදා මම තව 10ක් ම දුන්නා. අපේ නිවාස අසලම ජීවත් වන නිසා මා ඔහුගෙන අන්දවා ගන්නට ගිය විට චිත්‍රයක් ඔහු ඊට අය කල මිල රන්පවුම් පහළොවක්!
බොහෝ සමාජීය හමු වල ඔහුගේ පැමිණීම කැපී පෙනෙන්නට විය. එහෙත් ජනතාව අතර පැතිරී ගිය මත, කට කතා නිසා සිය සම පන්තියේ ජනතාව ඔහුගෙන් නිර්මාණ කරවාගන්නට පැමිණිම පෙරට වඩා අඩුවිය. එහෙත් ධනය රිසි සේ විය පැහැදම් කරන්නන් වෙත සිය සේවාව පෙර සේම ලබාදෙන මේ නිර්මාණකරුවා තවමත් ධනවත් පංතිය හා උරෙනුර ගැටෙමින් ජීවත් වන්නට විය.
පෙර නිදහසේ, නිර්මාණ සඳහා වෙලාව ගෙන පරිපූර්ණ නිර්මාණ බිහිකලද මේ වන විට ගිවිසගත් මුදලට එක පැන්සයකුදු අඩුනම් සිය පින්සලය සෙලවීම හේ ප්‍රතික්ෂේප කලේය. එමතු නොව තමන්ට එන ඇනවුම් සියල්ලම භාරගෙන කුළියට ගත් සිත්තරුන් යොදවා නිර්මාණ කරවා ඒ අවසන සිය අත්සන පමණක් යොදා අලෙවි කරන්නට ද ඔහු මැලි වූයේ නොවේ.
මඟ දිගට නෙත ගැටෙනා ස්වරූප අකුරු කල සටහන් පොත කාවන්ගේ ග්‍රහණයට වී දිරායමින් තිබීණ. බොහෝ දින වල නිවසට සාදවලට ගොසින් බීමත් ව එන නිර්මාණ කරුවාගේ හදවත තුල වූ නිර්මාණශීලීත්වය මේ සියල්ල දෙසම වේදනාවෙන් බලා සිටියේය. තමාගෙන් උදව් නොගෙන තමා අතට එන මුදල් නැමැති පසමිතුරාගේ පහස ලබා කෙමෙන් කෙමෙන් විනාශය බලා දිව යන නිර්මාණ කරුවාගේ ජීවිතය තුලින් නිර්මාණශීලීත්වය කෙමෙන් කෙමෙන් පිටතට කාන්දුවිය. එක් අඳුරු දිනයක නිර්මාණකරුවා අවදිවන විට ඔහුගේ හස්තය සතුව පින්සලය හසුරවාගන්නට තරම්වත් හැකියාවක් නැති වන තරමට හේ දුර්වල විය, යාබද කාමරයට සිය ඇනවුම් නිමවමින් සිටි සේවකයින් දෙදෙනා දෙස බලා සිය පින්සල අතට ගත් නිර්මාණ කරුවාගේ අත පණතිබුනේ සිය අත්සන තබාගන්නට පමණි. කාමරමුල්ලේ කොලගොඩකට යටවී තිබූ සිය සටහන් පොතේ අවසාන පිටුවත් කාවුන්ගේ ආහාරයක් බවට පත්වී තිබු ආකාරය දුටු නිර්මාණකරුවාගේ මනස බියෙන් හැකිලීයන්නට වී.
මගේ ඇතුලේ හිටපු මම කෝහිද?
ඔහු තුල සිටි තමාව, ඔහු සොයනා විට ඔහු සිය ආත්මය අත හැර බෝ දුර ගොස් අවසාන බව නිර්මාණකරුව දැන නොසිටියේ ය. ඒ වන විට නිර්මාණ කරුවා බොහෝ ප්‍රමාද වී තිබිණ, ඇත්ත වශයෙන්ම නිර්මාණකරුවාගේ මළගම වී තිබුනේ මෙයට වසර කිහිපයකට ප්‍රථමයෙන් සිය මනසට හදවත පරාජය වූ ඒ කරුමක්කාර දිනයේදී ය.

Comments

  1. තව කියන්න දේවල් හුගක් ඉතිරි කරල නේ.. කලබල උනාද මේක ලියන්න..(මට හිතුන හැටි)

    ReplyDelete
    Replies
    1. එහෙමම කලබලයක් උනේමත් නෑ.., මම ආටෝප වට්ටෝරු නැතුව මට කියන්න තියේන දේ කෙලින්ම කෙටියෙන් ලිව්වා...!! සමහර විට ඒක නිසා වෙන්න ඇති එහෙම දැනෙන්න ඇත්තේ..! [එකිනෙකාට සාපේක්ෂව එකිනෙකා නිර්මාණ විඳින විදිය වෙනස් වෙනවා නෙව]

      Delete
  2. පසුතැවිල්ල මරා දමන්නට හැකිවූ දිනක නැවත ජීවත් ‍වන්නට ඔහුට අවස්ථාවක් ලැබෙනු ඇත!

    ReplyDelete
    Replies
    1. අර උඩ ලියලා තියෙන ටික එක පෙළකට ගත්තම එහෙම කියන්න පුලුවන් ඇති. අනිත් අතට, පසුතැවිල්ල මරා දමන්න්ටවත් පෙර තමාට ඇත්තේ පසුතැවිල්ලක කියලා තේරුම් ගන්න පුලුවන් වෙයිද?

      Delete
  3. මචන් උඹ ඛලීල් ජිබ්රාන් ව නොකියවාම ඛලීල් ජිබ්රාන්ව ප්‍රතිනිර්මාණය කරලා. මේක උඹ දන්න අඳුනන ගොඩක් එවුන්ගේ ඉරණම වෙන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. අති දක්ෂයින් ගේ ඉරණම, සාපේක්ෂයි, මේ ඇතුලේ උඹ මම වෙනත් අය මේ ඔක්කෝම ඉන්න පුලුවං..!

      Delete
  4. හිතත් හදවතත් අතර යෙදුන සටනින් ඔහුගේ හදවත දින්නා නම් තාමත් ඔහු පාන් කැල්ලක් කාලා වතුර කෝප්පෙකින් සාගිනි නිවන දුප්පතෙක් නේ ද ? නිර්මාණකරණය තුලින් උපයා ගැනීම වැරදී ?
    වැදගත් වෙන්නේ නිර්මාණය අලෙවි කිරීම ද නැත්නම් නිර්මාණකරු අලෙවි වීම ද?

    ReplyDelete
    Replies
    1. නෑ කිසි වැරැද්දක් නෑ, වැරැද්ද තියෙන්නේ මුදල් ඉපයීම තුලින් තමන්ගේ හර පද්දතීන් පාවලා දෙන එක., සම්පත් ඒකරාශී වෙනකොට මිනිසුන් ගොයම් ගස් වගේ වෙන්න ඕන කියන එක අපේ සමාජය ඇතුලේ තියෙන කියමනක්නේ දුලාන්, කරලින් බර වෙත්දී බිමට නැවෙන්නේ බයට නෙවෙයි.., ගුණ යහපත් කමට..!

      Delete

Post a Comment