නිරුත්සාහකව අතට ආ පෑණ කිසිවක් ලියා නැති ෆුල්ස්කැප් කොලය මත එහා මෙහා දිව්වේ.., අකුරු එකතු කරන්නට තරම් වැදගත් කිසිවක් නොවූ නිසාය.., රස්සාවට ගිය පළමු සතිය බැවින් වචන 650ක උපරිමයකට යටත් වන ලෙස සමාජීය ගැටලුවක් පිළිබඳ දවසට අවම එක ලිපියක් හෝ ලබා නොදුන හොත් ගැහැට වන්නේ ම මට ම නිසා පෑණ කොලයට තදකර සිතුවිල්ලක් මිරිකා හරින්නට වෙහෙස වීමි..,

ආ මහත්තයා අදත් මෙතනම..,

ඔව් මම මේ පත්තරේට ලිපියක් ලියන්න කරුණු කාරණා ටිකක් එක්කහු කරනවා.

මේ ළඟදී මෙතනම ඔය මහත්තයා හිටපු විදියටම මහත්තයෙකුයි නෝනා කෙනෙකුයි ඇවිල්ලා කතා කර කර ඉන්නකොට මම මොකෝ කියලා ඇහුවම ඒ දෙන්නත් කිව්වේ " අපි මේ පත්තරේකා සම්මුඛ සාකච්චාවක් ගන්න ආවැයි කියලා"

ඉතින්..?

මම ඒ වෙලාවේ මෙතන අතුගගා හිටියේ.., පස්සේ ප්ලේන්ටියක් බොන්න මම එහා පැත්තේ පෙට්ටිකඩේ ගාවට යනකොට පාර අනික් පැත්තේ තියෙන සනීහිල් එක ඇතුලේ ඉඳන් ඒ දෙන්නා ආපහු එළියට ආවා, නෝනගේ මූණේ කිසි එළියක් නෑ, මහත්තයා කලිසම හද හදා එළියට ඇවිල්ලා, නෝනව බස් එකට නග්ගලා මහත්තයා බයිසිකලේ නැගලා ගියා.

ඉතින් ඔහේට අහන්න තිබබනේ සම්මුඛ සාකච්ඡාව කරගත්තද කියලා..?

අනේ මොකටද මහත්තයා.., දෙන්න සාකච්චාව කෙසේ වෙතත් වැඩේ සම්මුඛ කරගෙන වග මට තේරුණා..,

කටේ වම් පසින් රූරන බුලත් කෙළ පහර පිටි අතින් මකමින් හේ තනිවම සිනහසෙයි, ඒ අව්‍යාජ සිනහව ඉදීරියේ මම මගේ සිනහවද ඔප්නංවා ගතිමි..,

මේ දවස් වල මට එච්චර වැඩ නෑ.., ඉතින් මම කරන්නේ ගාඩන් එකේ තණකොල ටික කපන්න සුබේට උදව්වේන ගමන්.., අර කොණේ තියෙන පාත්ති වල අලුතින් මල් පැල වගා කරනවා..,

ඇයි ඒ???

ඇයි මහත්තයා, එතකොට වත්තට මල් අඩු උනොත් එතනින් පැල ගන්න පුලුවන්නේ.., කංකානං මහත්තයා මට දවසේ වියදම දෙනවා.., ඉතින් ඒ ඇති නේව මට ජීවත් වෙන්න..,

ඔහේගේ නම මොකද්ද?

මම ජයසේකර, මට හැමෝම කියන්නේ සේකර කියලා. ඒත් මං කැමති මට ජයේ කියනවට, මගේපවුල විතරයි මට ජයේ කියලා කතා කරන්න හිටියේ.., කොහේද බාල කොල්ලා හම්බවෙන්න යද්දී නැති උනානෙව..,

ඉතින් දරුවෝ ටික බලාගන්නේ කෝමද??

ළමයි පොඩි කාලේ ලොකු කෙල්ල ළමයි ටික බලාගත්තා මහත්තයා.., කාලේ වෙනස් උනා අපි වයසට යද්දී ඒ අය තරුණ ළමයි වෙච්චි.., දැන් ඉතින් ඒ අයගෙන මට මිසක්කා මගේ ඒ අයට වෙන්න දෙයක් නෑ..,
හ්ම්.., ජයේ මේ දවස් වල එච්චර වැඩ නෑ කිව්වේ වෙන කොහේවත් වැඩ කරනවද??

මම බංකුවේ උඩ ලිපිගොණුව තබා සේකර වෙතට හැරුණෙමි.

ඔව් මහත්තයා මගේ රස්සාව, මිනී වලවල් කපන එක, අලුතෙන් ගෑස් එකෙන් පුච්චන නිසා කවුරුවත් දැන් වලවල් කපන්නේ නෑ.., ඉන්දියාවේ ක්‍රමේ කියලා ගඟකට හරි ඇලකට හරි අලු ටික විසික්කා කරනවානේ, ඉතින් අපි කොහෙද වලවල් කපලා ජීවත් වෙන්නේ.., ඒකයි මම ගාඩන් එකේ වැඩට ආවේ.

පාඩුවක් නැද්ද??

වරදක් කියන්නම බෑ මහත්තයා.., දවසේගාන හම්බුවෙන නිසා අවුලක් නෑ.., ඒත් මේ වැඩ හරි ඒකාකාරීයි.., මට ඉන්න බැරිම තැන මම මේකේ මුරකාර කමකට ඉල්ලුවා.., ඉස්සරහ ගේට්ටුවේ ඉන්න එකා මහ මුඩුමයා.., ඒ යකා මම ඉල්ලුම් කරන බව දැනගෙනද මන්දා මිනිහගේ දුව බැඳපු බෑණව ජොබ් එකට සෙට් කලා.., මං හිතන්නේ ඒ යකා ඌගේ ගෙදර කෙල්ලත් එක්ක බින්න බැහැලද කොහේදෝ ඉන්නේ.

මට රස්සාව නැති උනාට මේක මට පරම් පරාවෙන් ආපු රස්සාවක් මහත්තයා..,

ඔහේ ඔය කියන්නේ මිනීවලවල් කපන වැඩේ ගැනද??

එහෙනං, අපේ තාත්තගේ මුත්තා ඒ කියන්නේ නත්තා කරලා තියෙන්නේත් මේ රස්සාව.., පළවෙනි ලෝක යුද්දේ කාලේ අපේ නත්තා වැඩ කරලා තියෙන්නේ ඉංගිරිසි ලොකු ලොක්කෙක්ගේ වත්තක.., අපේ නත්තා ඒ දවස් වල පොඩීලු.., මුලින්ම කරන්න දීලා තියෙන්නේ රබර් වලවල් කපන එක, ඊට පස්සේ ටික ටික ලොකු වෙන්න ගත්තම වත්තේ සොහොනේ වලවල් කපන මිනිහා අසනීප වෙලා මෙයාට තමා වලවල් කපන්න වෙලා තියෙන්නේ.., දැන් වගේ ඒ කාලේ මරණ මෙහෙම සුලබ නෑ මහත්තයා.., ඒ දවස් වල මලගෙයක් උනා කිව්වාම කඩ පිලකවත් මිනිහෙක් හවස හය වෙනකොට හොයාගන්න අමාරුයි.., ඉතින් එහෙම එකේ මිනී වලක් ගැන කවර කතාද??? අනික ඔය මිනීවලවල් ඒ දවස් වල කැපුවේ රොඩීකුලේ අයලු.., ඉතින් මේ රස්සාවට මිනිස්සු නොයන නිසා නත්තා මේකට ගැරෙන්න ඇති කියලා හිතෙනවා මහත්තයා. ජීවත් වෙන්න එදාවේල හොයාගන්න මොන කුලබේදද මහත්තයා.., ඒ දවස්වල පිට ගං තුලාන වලින් මිනිස්සු ඇවිල්ලා අපේ නත්තාව එක්කගෙන යනවලු මිනී වලවල් කප්පගන්න.., ඒ දවස් වල අපේ නත්තා සත 10 ක ගාස්තුවකටලු මේ වලවල් කපලා තියෙන්නේ,

ඊට පස්සේ.., නත්තා මලායින් පස්සේ අපේ මුත්තා.., ඒ කියන්නේ ආතගේ තාත්තා තමා මේ වැඩේ කරගෙන ගිහින් තියෙන්නේ අපේ මුත්තා කසාද බැඳලා තියෙන්නෙත් මිනීවලක් කපන්න ගිහින් වල කපන තැනට තේ ගේන්න ආපු ළමයා එක්කලු.., අපේ මහ ආච්චිට වයස අවුරුදු 13යිලු මුත්තා එක්ක එකවහලක් යට වෙද්දී.., කොහොම හරි අර වල කපපු ඉඩමෙන් බාගයක් විතර දෑවැද්දට හමුබුවෙලා තියෙනවා.., මහත්තයා දන්නවද අපේ මුත්තා කරලා තියෙන්නේ මොකද්ද කියලා..?

මොකද්ද විකුණලද ඉඩම??

මොන පිස්සුද මහත්තයා.., අපේ මුත්තා ඒක සොහොන් පිට්ටනියක් කරලා.., පොඩි ඉඩම් කෑලි මිනි වළලගන්න විකුණලා.., වලවල් වලට.., ඒ කාලේ රුපියල් 20යිලු අටයි පහේ ඉඩං කෑල්ලක්.., කොහොම හරි මෙහෙම වැඩ කරගෙන යනකොට අපේ ආතාත් කොල්ලා කාලේලු.., මිනිස්සු අතරේ "වල ආතර්" කිව්වම හරි ප්‍රසිද්ධයිලු.., ඉස්සර දවසට වලවල් 10ත් 20 අතර ප්‍රමාණයක් කපනවලු. 

තනියම..????

නෑ මහත්තයා ඔය කාලේ වෙනකොට අපේ ආතා වැඩේට බැහැලා තියෙන නිසා මිනිස්සු දම්මලාලු වැඩ කරවලා  තියෙන්නේ, මාසේ පඩියකට තමා ඒ කට්ටිය වැඩ කරලා තියෙන්නේ.., ඔය ටවුමේ සොල්දර කඩේ මුදලාලිගේ පවුල ගේ මිනී වලේ වැඩ කරලා තියෙන්නේ අපේ ආතලා..,

මහත්තයා කොහේද??

මමද? මම රත්නපුරේ..,

හා එහෙමද? එහෙනම් අහලා තියෙනවද සුනිල් මැණික් කියලා වෙළෙන්දෙක් ගැන..,

ඔව් ඔය කහවත්තේ ඉන්නේ..,

අපේ ආතා මේ වගේ මිනිස්සු දාලා වැඩ කරනවා කියලා කිව්වම අපේ මුත්තගේ බාලපුතාත් ඒ කියන්නේ අපේ ආතගේ එකකුස උපන් මල්ලී එක්කහුවේලා ඔය වැඩේට.., පස්සේ ඔහොම යනකොට එක දවසක් කහවත්තේ රබර් ඉඩමක ලැයිමක දෙමළ මිනිහෙක් මැරිලා අපේ ආතට පණිවිඩේ ඇවිල්ලා, එදා ආතා වෙන තැනක වලක් කප්පවන්න බාර අරන් තිබ්බ මිසා ආතගේ මල්ලීව යවලා වැඩේ කරන්න කියලා.., පස්සේ වල කපනකොට උදැල්ලට ටිකක් තදට ගලක් වැදුන නිසා අලවංගුවෙන් පොඩ්ඩක් හාරලා බලලා.., බලනකොට මැණික් ගල.., එතනින් පස්සේ තමා මිනිහා නගින්න පටන් ගත්තේ.., දැන්නං අපි එක්කලා කිසිම ඇයි හොඳයියක් නෑ..,

ඒ මොකෝ සරු වෙලා නිසා සේකරලව දකින එක ලැජ්ජයිද දන්නේ නෑ,

එහෙම වෙන්නත් ඇති මහත්තයා.., කවුද දන්නේ.., එදා අපේ ආතා ගියානං වල කපන්න අද ඔතන ඉන්නේ අපි.., පස්සේ ටික කාලයක යනකොට ආතා මේවා දැනගෙන තමන්ගේ මල්ලී තමන්ට කිසිම උදව්වක් කරපු නැති නිසා.., හිතේ අමාරුවටම බොන්න පටන් අරගෙන.., ඒකෙන්ම මැරිලා.., ඒ මැරෙන්න හේතුව ඒක විතරක් නෙවී මහත්තයා මැතිණිගේ කාලේ ප්‍රජා ඉඩං රාජසන්තක කලාලු, ඒකට අහුවේලා, ඔය කාලේ වෙනකොට අපේ අර ඉඩමත් ආණ්ඩුවට අයිතිවෙලා.., ඒකේ සෝකෙන්ම තමා එහෙම වෙලා තියෙන්නේ.., මට මතකයි අපේ ආතා මැරෙණවා.., එතකොට මම 7 වසරේ.., මම 8 පාස් උනාට පස්සේ ඉස්කෝලේ නැවැත්තුවා.., මමත් තාත්තා පස්සේ

ගිහින් මේ රස්සාවටම පුරුදු උනා.., පස්සේ බැන්දා දරුවෝ හැදුවා.., ඔන්න ඔහොම තමා ජීවිතේ.., මම කවදාවත් කාටවත් කරදරයක් කරලා ජීවත් වෙච්චි මිනිහෙක නෙවෙයි මහත්තයා.., ඒක නිසා මට හිතේ දුකක් නෑ.., ඉතින් මේ වයසට ගිහින් ඉන්න නිසා සේකරට පුලුවන් නේ ගෙදරට වෙලා දරුවන්ගේ දුක සැප බලාගෙන ඒ අයගෙන් උදවු අරගෙන

ඉන්න..,

තනි මට මොන සැපද මහත්තයා..,
ලොකු කෙල්ල ගාමන්ට් එකේ කිව් ඇස් කෙනෙක්ව බැන්දා, ඒ දෙන්නට ළමයි දෙන්නයි., මද්දුමේ ඩුබායි.., පොඩ්ඩා තමා ගෙදර ඉන්නේ මා එක්කලා තනියට ගෙදටත් මම පොඩ්ඩට ලිව්වා මහත්තයා, කොල්ලට වයස 22ක් උනාට කසාද බඳින්න කෙල්ලෙක් එහෙම ඉන්නවා.., අපිවගේ නෙවෙයි.., ඒවා නං කලටවෙලාවට කරගන්නවා අද කාලේ උන්..,

ඒ උනාට සේකරට පුලුවන්නෙව මාසෙට සතිය ගානේ දරුවන්ගේ ගේවල් වල ඉන්න...,

මම මොකට ඒ අයට කරදර කරනවද මහත්තයා., ඒ අය ඒ ගොල්ලන්ගේ ලොක හදාගෙන පැලපදියම් වේලා ඉන්නකොට මම මොකටද කරදර කරන්නේ මට තවම හයිය හත්තිය තියෙනවා මිනී වලක් දෙකක් දවසට කපාගන්න..,

දැන් මිනී වලටකට කීයක් ගන්නවද කපන්න..,

රුපියල් 900ක් දාහක් වත් ඕනේ මහත්තයා..,
ඒත් වලකපල ගොඩට ඇවිල්ලා ගණුදෙණු කතා කරනකොට මිනිස්සු හැසිරෙන්නේ උන් කවදාවත් මැරෙන්නෑ කියලා වගේ.

මිනිස්සුන්ගේ හැටි තමා මහත්තයා.., මහත්තයා ලියලා ජීවිතේ ගොඩ දානවා.., මම වලවල් කපලා ජීවිතේ ගොඩ දානවා.., වෙනස් දේවල් කලාට මිනිස්සු මේ හැමදෙයක්ම කරන්නේ ජීවත් වෙන්න..,
එහෙම ජීවත් වෙලා ඇතිවෙලා මිනිස්සු අවසානට මොහොතට යනකොට ඒ ඈයොන්ට සැතපෙන්ට උදවු කරන්නේ මම..,

ඒ කෝහොමද??

ඇයි මහත්තයා.., මයේ රස්සාව මිනී වලවල් කපන එකනේ..!