තාම ලොකු අයියා කියාපු දොස්තර ආවේ නැද්ද අක්කේ.., මම මේ මගින් මඟටම ලොක්කට කෝල් ගගහ ආවේ.., කෝ කිසි සද්දයක් නෑනෙව..,
වැස්සෙන් තෙත බරියං උන කුඩේ බිත්තියට හේත්තු කරන ගමන් පොඩි හාමුදුරුවෝ පුණ්‍යාගෙන් ඇහුවා.., ඒත් පුණ්‍යා හාමුදුරුවෝ දිහා බලාගෙන හිටි විදියට තමන් අහපු දේට උත්තරයක් ලබා ගන්න එක අනිවාර්ය කරන්න හාමුදුරුවන්ට හිතුනේ නෑ. හාමුදුරුවෝ කෙලින්ම ගියේ අම්මාගේ කාමරේට.
අහන දේවල් වලට උත්තර බඳින්නද මන්දා පුණ්‍යාත් ඒ පස්සෙන්ම අම්මගේ කාමරේට ගියා.

අම්මේ..,
අම්මට මාව ඇහෙනවද අම්මේ..?

අම්මා ඇස් දෙකත් ලොකු කරගෙනම සීලිම දිහා බලාගෙන ලොකු කල්පනාවක..,

කොහොමද ලොකූ මෙහෙම අම්මට උනේ..?

පොඩි හාමුදුරුවෝ අම්මා දිහා බලාගෙනම පුණ්‍යාගෙන් ඇහුවේ අඬන්න වගේ..

පහුගිය දවස් ටිකේම අම්මා හිටියේ අසනීපෙන් හාමුදුරුවනේ.., මම කොච්චරවත් ඔය රෙදි මහන එව්වා කරන්න එපා කිව්වට කෝ අහනවා යෑ. දවස් දෙකකට විතර කලින් අම්මා මැහුමකුත් අතේ තියාගෙනම කුස්සිය පැත්තට යද්දී පය පැටලිලා වැටිච්චි පාර ඔලුව ගිහිලා වැදිලා උලුවස්සේ.., එදා ඉරිදා නිසා මම දවල්ට අම්මට නාන්න කියලා වතුරත් උණු කරලා නිවෙන්න තියලා තිබ්බේ.

ඉතින්..?
කතාව නවත්තපු තැනින් ආපහු පටන් ගන්න කියලා පොඩි හාමුදුරුවෝ ඇඟවීමක් කලා.

ඉතින් මම මේක දන්නෙත් නෑ. අම්මා මට කීවෙත් නෑ.., මම අම්මාව නෑව්වා.., ඉතින් ඊයේ එහෙම ඔලුව රිදෙනවා කීවම මම ආයුර්වේදෙන් ගෙනාලු තෙල දාලා ඔලුවේත් ගෑවා.., අනේ මන්දා මම අම්මට වෙනදා වගේම තේක හදාගෙන ඇවිල්ලා අම්මට කතා කරනකොට අම්මා කතා කරන්නේ නෑ.

ඊට පස්සේ තමා මම ලොකු අයියාටයි අක්කලාටයි හාමුදුරුවන්ටයි කිව්වේ..,

සිවුර අස්සෙන් ඇදලා ගත්තු ලේන්සුවෙන් අම්මා දිහා බාල හාමුදුරුවෝ ඇස්දෙක පිහදාගත්තා.

මුලුගේම හිස් උනා වගේ ලොකු අක්කේ.., මම කොල් එක එනකොට හිටියේ පිරිවෙන්නේ උගන්න උගන්න.., ආරංචිය ලැබිච්චි හැටියෙම තමා මේ ආවේ.., ලොකු අයියාට කෝල් එකක් දීල බලන්න, මේ පාර වැඩ නැත්තං අපි කරන දෙයක් ගැන කතා කරගමු.., කෝ හිච්චියි මද්දුයි..? උන් දෙන්නට බුලත් දෙන්න ඕනේද අම්මව බලන්න එන්න..?

පොඩි හාමුදුරුවෝ පුණ්‍යාගෙන් අහපු වේගේට පොඩීගේ දුව නදී අම්මාගේ සාය පස්සේ හැංගුණා.

හිච්චියි මද්දුයි දැන් සතියක විතර ඉඳන් අම්මා එක්කලා හිත් නොහොඳින් ඉන්නේ අපේ හාමුදුරුවනේ..!

අර මොකෝ??

ඒ දෙන්න අම්මගේ ඉඩමෙන් කොටස් ඉල්ලලා අම්මා කියලා පවුලේ බාලයා වෙච්චි පොඩි හාමුදුරුවන්ටයි ඒක අයිති කියලා.., එහෙම කිව්වම හිච්චියි මද්දුයි දැන් ඉන්නේ හිත් නොහොඳින්..,

ඉතින් මුන් දෙන්නා මේ කියවලා තියෙන්නේ මොන ඉඩම ගැනද අක්කේ..?
මේ  මහගේ තියෙන මේ ඉඩම ගැන හාමුදුරුවනේ..,

හ්ම් ඒකත් එහෙමද?

කසාද බැඳපු අලුත ඉඳන් ම මේ ගෙට ඒ දෙන්න ගේ බැල්ම වැටිලා තියෙනවා කියලා පොඩි හාමුදුරුවන්ට අවබෝධ වෙලා තිබුණා.., ඒත් ඒ එක්කෙනෙකුටවත් දැන් ගෙදර ඉඳන් අම්මව බලාගෙන ඉන්න පොඩි අක්කව අමතක වෙලා. ඔය ගැටලු ඇති වෙන බව අම්මා පොඩි හාමුදුරුවන්ව බැහැ දකින්න පන්සලට ආපුවෙලාවක අම්මට හාමුදුරුවෝ කිව්වම අම්මා දීපු උත්තරේ නිසා හාමුදුරුවන්ගෙත් කට වැහුනා.

ඒ ටික එහෙම තිබිච්චි දෙන්  හාංදුරුවනේ.., කොහොමත් ඔය අක්කර පහෙන් හතරක් ම මම වික්කේ හිච්චියි මද්දුවයි කසාද බන්දලා දෙන්න නේ. නැතිනම් මම හිතාන හිටියේ හාංදුරුවෝ මහන උනේ නැත්තං හාංදුරුවන්ට ලියලා දෙන්න. කෝමත් ළමයි 5ක් වදපු එකේ එකෙක්වත් මට මාව වලංගු නැති කාලේදී බලා ගනීවි නේ..,

අම්මා පොඩි හාමුදුරුවෝ ඉස්සරහා එහෙම කීවේ හිතේ බලා පොරොත්තු පුරෝගෙන වග පොඩි හාමුදුරුවන්ට තේරුණා. ඒත් අද වෙනකොට තත්ත්වය මොන තරම් වෙනස් වෙලාද කියලා ආපස්සට හිතනකොට පොඩි හාමුදුරුන්ට ඇති වුනේ පුදුමයක්..!!!

ඒ වුනාට පොඩි අක්කේ මේ වෙලාවේ අපි ඔක්කොම එක්කාසු වෙලා අම්මාව ගොඩ දාගන්න ඕනේ වෙලාව.
කාර් සද්දයක් ආවා.., ලොක්කා වෙන්න ඇති.., මම ගිහින් බලන්නම්..!

පොඩී හාමුදුරුවන්ගෙන් අවසරයක් නොපතාම උලුවස්සෙන් මෑත් උනා..,

අහ් පොඩි සාදු.., දැන්ද ආවේ..?
ටිකක් වෙලා ලොකු අයියේ.., මොකෝ ෆෝන් එක ආන්සර් කරන්නේ නැත්තේ..,
මම කීපාරක් කෝල් කලාද?

අහ් වෙන්න ඇති මම ක්ලයන්ට් කෙනෙක් එක්ක ටී වලට එලියට ගියා, ෆෝන් එක තිබ්බේ ඔෆිස් එකේ..!
ඒත් චෙල්සී  මට කීවේ නෑනේ කෝල් එකක් තියෙනවා කියලා..,
චෙල්සී කිව්වේ???
මගේ ප්‍රයිවෙට් සෙකට්‍රී..,
හ්ම්...!

දැන් අම්මට කොහොමද?

එහෙම ඇහුවේ උලුවස්සෙන් අම්මගේ කාමරේට හිස පොවන ගමන්..,

ඉක්මනට දොස්තර කෙනෙක් එක්කගෙන එන්න වෙයි.
දැන් ලොකු අයියා එක්කගෙන එනවැයි කීව නේද?
මම හදිස්සියෙන් ආවේ සාදු.., ආපහු ඔෆිස් එකට පෑ බාගෙන් යන්න ඕනේ..,

තමුසේ මෙහෙට එන්නේ නැතුව ඔය උලව් ඔපිස් එකටම වෙලා හිටියනම් ඉවරයි.., අපි මෙච්චර වෙලා බලා හිටියේ තමුසේ දොස්තරෙක් ව අරගෙන ඒවි කියලා..,

මොනා කරන්නද සාදු.., මේ වැඩත් එක්ක..,

අනේ මේ ලොකු අයියේ.., තමුසේගේ වැඩයි තමුසේගේ ක්ලයන්ට්ලයි තමුසේම තියා ගන්නවා.., එහෙන් හිච්චියි මද්දුයි අම්මගෙන් ඉඩම් ඉල්ලලා තරහා වෙලා, මෙහෙන් තමුසේට වැඩලු.., අම්මත් අපිව හදනකොට ඒ ඔක්කොම අතෑරලා දාලා අම්මා ගැන බලා ගත්තා නං අදත් අම්ම යහතින්.., ඒත් මෙහෙම උනේ අම්මගේ ජීවිතේම අපි පස්සෙන්ම වැටිලා හිටි නිසා..,

ලොක්කා බිම බලාගෙන හිටියේ හරියට කියාගන්න දෙයක් නැතුව වගේ..,

උඹලට මතකද අප්පච්චි අන්තරා වෙච්චි අලුත අම්මට අපිට කන්න දෙන්න විදියක් නැතුව කොස් මදුලු තම්බලා දුන්නා එකපාරක්.., ඊට පස්සේ අම්මා සර්වෝදෙට කරපු කෑම ඕඩරෙන් තමා අපිට කන්න ටික හදලා දුන්නේ.., ඒ අස්සේ අම්මා හවසට හදලා දෙන වඩේ ටික අරගෙන මම ගෙයක් ගානේ ගිහිල්ලා ඒ ටික විකුණලා එනවා..?

ඒත් මොනවා උනත් ලොකු අයියේ උඹට අම්මා අඩුවක් කලේ නෑ. අම්මා කිව්වේ එකෙක් හරි ඉගෙන ගන්න ඕනේ කියලා.., මම බදාදා හවසට වඩේ බාජනේ ඔලුව උඩ තියාගෙන එනකොට තමුසේ ඒ පාරේම අනිත් පැත්තෙන් යාලුවෝ එක්කලා පන්ති ඇරිලා අයිස් පැකට් කකා ගෙදර එනවා.., අපි තමුසෙට ලැජ්ජ වෙයි කියලා තමුසේ එක්කලා කතා නොකරම ගෙදර එනවා..,
මතකද???

පොඩී, ඇහේ කඳුලු මාත්තු කරනවා.., ඒ අස්සේ නදී අම්මත් ලොකු මාමත් හාමුදුරුවොත් දිහා බලාගෙන..,

මේවා කතා කර කර ඉඳලා වැඩක් නෑ, දැන් කරන්න තියෙන්නේ අම්මව ඉස්පිරිතාලේකටවත් එක්කගෙන යන එකයි..

අම්මා ගාව පොඩී නවතින නිසා බයක් නෑ.., මම දාන වලට එහෙම වැඩලා කරල තියෙන නිසා ආයුර්වේදේ මම අඳුනන දෝස්තරලා කීප පොලක් ම ඉන්නවා.., මම ඒ කටයුතු ටික ලෑස්ති කරලා ආපහු වාට්ටුවට එන්නං..!

හාමුදුරුවෝ පොඩීවයි ලොක්කවයි ඇඳ ගාව තියලා වාට්ටුවෙන් එළියට ගියා.

සාදුට තරහා ගිහිල්ලා නේද පොඩී..,
හ්ම්,
මොකෝ ඒ පාර උඹත් මා එක්කලා ඇවිලෙන්න හදනවද?
මේ ලොකු අයියේ.., හාමුදුරුවෝ නොහිටින්න අද අම්මා වෙනුවට තියෙන්නේ අම්මගේ මළකඳ.., එහෙව් එකේ ඔයා එහෙම කතා කල එක වැරදියි නේද? අනික ඔයා නොදන්න දෙයක් තියෙනවා මේ පවුලේ පොඩි හාමුදුරුවෝ ගැන..,
මොකද්ද?
මේක මට කිව්වේ අම්මා ලෙඩ වෙන්න සතියකට විතර කලින්. හාමුදුරුවෝ ඉස්සරම මහන වෙන්න කැමැත්තක් තිබිලා නෑ., අම්මා තමා කොහොම හරි බලෙන් ම සාසනේට දාලා තියෙන්නේ..,
අම්මා මට ඒදා කිව්වා..,
පොඩි පුතාට හොඳට බඩ පිරෙන්න කන්න ඕනේ.., අනේ පොඩ්ඩියේ මම කොහොමද අර කෑම ඕඩරෙන් පස් දෙනෙක් ගේ කටවල් පුරවන්නේ..? ඒකයි මම පොඩි එකාව පන්සලට දුන්නේ.., නැත්තං ඒ කිරි සප්පයව  පන්සලට දුන්නේ හිතකින් නෙවී.


එහෙම කියලා ඒදා අම්මා හරියට ඇඬුවා..,

මේක තවම කවුරුවත් දන්නේ නෑ. ඔයයි මමයි ඇරෙන්න.., හිච්චියි මද්දුයි අතෑරලා දාමු.., මේ වෙලාවේ අපි තුන්දෙනාවත් එකතු වෙලා අම්මාව ගොඩ දාමු ලොකු අයියේ..,
ඒක ඔය වැඩ ඔක්කොටම වඩා ලොකුයි.

ඒත්..?
ඒත් කියන්නේ? ඇයි මොකෝ..?
මම ඔෆිස් එකේ වැඩ පහු කරගෙන අම්මව බලන්නේ කොහොමද පොඩ්ඩී.., මේවා පොඩි සාදුට තේරෙන්නේ නෑ.., එයා පන්සලේ ඉන කෙනා.., දානේ ටික ළඟට එනවා.., අපි එහෙමද මාසේ පඩියෙන් ජීවත් වෙන්නේ.., ගෑණි බඩින්.., තව මාස දෙක තුනකින් ළමයා හම්බුනාම මේ ප්‍රශ්ණ දෙගුණ තෙගුණ වෙයි.., එතකොට මම මොකද කරන්නේ පොඩී.., අම්මා ව බලන්න ආවේ මමත් මේ මහගෙදර තව මාස දෙකතුනකින් මම නවතින්නද කියලා අහන්නේ මම දැනගෙන හිටියේ නෑ මෙහෙම දෙයක්..,

ඇයි මොකෝ දැනගෙන හිටියේ නැතිනං කට් එක දාලා එන්නේ නැතුව තිබ්බා නේද අයියේ..,

පොඩීගේ හිත තරහකින් පිරුණා

අනේ අම්මපා උඹලා වගේ සහෝර සහෝදරියෝ පොල්ගෙඩි වලින් කපලා ඉන්නවා අවුකණ පිළිමේ ගාව විකුණන්න.., මොකටද මේ සහෝදරකං ලොකු අයියේ.., අම්මලත් උඹලාට වෙන වෙනම සැලකුවානං මෙහෙම ඇහුවට කමක් නෑ. යකෝ කරන තරමක් උඹටම කරලා කරලා තව මහගෙදර නවතින්නත් ආවම මායි අම්මයි යන්නේ මොන දීපංකරේද ඈ..?

පොඩී ලොකූගෙන් ඇහුවේ තරහින්.., ඇහුව වේගෙට වාට්ටුවේ හිටි ලෙඩ්ඩුත් ඔලුව උස්සලා මේ අයියා නගෝ දෙන්නා සිහිනැතුව ඉන්න අම්මා ගාව ඉඳගෙන බැන අඬ ගහන හැටි බලාගෙන හිටියේ හරි අප්පිරියාවෙන්..!

පොඩි හාමුදුරුවෝ කියාපු දේ ඇත්ත.., උඹලා කාටවත් අම්මා ගැන කැක්කුමක් නෑ..,කැක්කුමක් තියෙනවා නම් මෙහෙම අහයිද..?

නෑ මම කියෙව්වේ.., අපි ඔක්කොටම මහ ගෙදර අයිතියක් තියෙනවානේ.., ඔන්න අම්මා අපි ඔක්කොටම එක සමානව මහගෙදරයි ඉඩමයි බෙදලා දුන්නානං අහවරයිනේ එහෙනම් අපි ඔක්කොටම එකතුවෙලා අම්මට සලකන්න තිබ්බානේ.., අනික හිච්චියි මද්දුයි ගැන මම මෙච්චර වෙලා කිව්වේ නෑ.., ඒදෙන්න මට කිව්වා මගින් මඟටම අහන්න කියලා මේ ගැන.., එහෙම කලා නං අපි ඔක්කොටම සලකන්න තිබ්බා අම්මට.., දැන් මේ වෙලා තියෙන විදියට අම්මාට සලකන්නේ කෝමද අනුංගේ ගේකට ඇවිල්ලා..??
අනුංගේ කිව්වේ...?
ඇයි බන් තමන්ගේ මහගේ උනත් තමන්ගේ නමට නැතිව තියෙනකොට ඒ ගේ අනුංගේ නෙවෙයිද?

පොඩීට කවදාවත් තමන්ගේ ලොකු අයියා මෙහෙම දෙයක් කියාවි කියලා හිතුවේ නෑ.., එක බඩවැල කඩාගෙන ආවට තමන්ගේ සහෝදරයට තමන්ගේ කම නැති වග තේරෙන්න පොඩීට වැඩි වෙලාවක් ගියේ නෑ..,

පොඩී අතේ තිබ්බ ලේන්සුවෙන් ඇස්දෙක පිහදා ගත්තා.
අම්මා ඒ දවස් වල ඔක්කොම වට කරගෙන මැටි කෝප්පෙට බත් දාගෙන කවන හැටි පොඩීට මැවිලා පෙන්න වුනා..,

උඹලා ඔක්කෝම මම මැරුණත් එකා වගේ ඉන්න ඕනේ.!!
කවන ගමන් අම්මා කියා දීපු හැටි මතක් වෙන්නට උනා.

ඒ එක්කම පොඩි හාමුදුරුවෝ දොස්තරව එක්කරගෙන ආවා..!

ඒ වෙනකොටත් ලොකු අයියා වාට්ටුවේ පැත්තකට ගිහින් කා එක්කදෝ ඉංගිරිසියෙන් බර කතාවක..

මීට පශ්ෂේ මම වැඩ කරන්නේ ශල්ලි වලට..,
යකෝ පොඩි මහත්තයයි ලොකු මහත්තයයි.., උන්දැගේ පුතාල දෙන්නටයි ලස්සගාණක් මැණික් හම්බ වෙනවා ඒත් මට කියල එක සත පාක තැරැව්වක්* දුන්නද?
නෑ..!
කුණු යක්කු..!
තුහ් නොදකින්වත් අම්මපා..!

ලියමින් හුන් ලිපිය පසෙක තබා මම කවුලුවෙන් අවට බලන විට ඒ හඬ ඇසුනේ බැලීමි.., මේසය ළඟ කල්වුලුවෙන් හිස පොවන විට මට ලෙහෙසියෙන් ම නිවසට එන යන්නන් හා පාර ඉදිරිපිට සිටින්නන් පෙනෙයි..!

ආ තේක..,
අම්මා, ගෙන ආ තේක මේසය මත තබමින් සන් කරයි.., එහෙත් මම කවුලුවෙන් එහා බලා සිටිනු දකින අම්මා, මුවින් පිට නොවූ එහෙත් මුහුණෙන් කියවන අදහසට උත්තර තබන්නට වී..!

ඔය කෑ ගහන්නේ ගුණපාල.., අදත් බීගෙන ඇවිල්ලා.., ඔය ඉන්නේ බාප්පගෙන් බැණුං අහලා.., සල්ලි ගන්නවා විතරයි වැඩ නෑ.., ඔහොම බීගෙන කෑ ගහනකොට මිනිස්සු මොනවා නොකියා ඉඳීවිද? මට දුක අර දරු පවුල ගැන..,

පුරුදු ලෙසම නිකටට අත තබා අම්මා කවුලුවෙන් එහා අතොරක් නැතිව කියවන ගුණපාලයා දිහා බලමින් විස්සෝප වේ..!

ගුණපාල ගේ කල්ක්‍රියාව, චරිත අධ්‍යනය කරන්නෙකුට ඉතා ප්‍රිය දනවන වස්තු බීජ සපයයි.., දවස පුරාවට මොනවා හෝ රහමෙරක් කටේ තොලේ ගාගන්නා මේ මිනිහා අතොරක් නැතිව කියවයි.., ඒ කියවන දේ තුල ජන කතා, හොල්මන් කතා, වීර කතා වෙයි. ඊට අමතරව ජනකවි හිටිවන කවි අතරින් පතර කුණු හරුප ද සමඟ පිටවෙන වහසිබස් ද නැත්තේ නොවේ..,

ඕන්න ඊට පස්සේ අර රාස්සයා කුමාරයාව කන්න කන්ද උඩ ඉඳන් බෑඟිරි දීගෙන පැන්න මෙන්න මෙහෙම..!

කුඩා කල අපව වට කරගෙන ගලක් උඩට නැඟ රාස්සයා පැන්න විලසින් රඟ දක්වන්නට ගොසින් බිමට පැන්න වේගෙට උකුළ බිඳී  ගොස් මාස දෙක තුනක්ම ඉස්පිරිතාලේ ලැග්ගා මතකය. මා සවස පන්ති ගොස් පැමිණිවිට ඉහත සිදුවීම ගැන අම්මා මගේ කනේ තැබූ අයුර මා තවමත් සිහිපත් වේ..,

අන්න ඔයාලැයි වීරයා යාළුවොන්ට වීර කතා රඟපාලා පෙන්නන්න ගිහිල්ලා වැටිලා ඉස්පිරිතාලේ අරන් ගියා. හොඳ වෙලාවට අප්පච්චී හිටියේ නැත්තං ඔය මිනිහා ඔය තැලුං තුවාල අස්සේ මොනවා කරගනීද දන්නෑ.

පසුදාම අප්පච්චී සමඟ මමද ගුණපාලව බලන්න රෝහලට ගියෙමි.., ඈත දීම මා දුටුවේ අවට ලෙඩුන් දෙතුන් දෙනෙකු වට කරගෙන පාරම් බාන ගුණපාලය..,

අප්පච්චී එනවා දුටු ගුණපාල එකවරම,

"ලොකු මහත්තයා අල්ලා නොගන්න මම ඌට තුන් පිම්ම පනලා දෙක තුනක් ම නෙළලා.., මම ඒ දවස් වල හොඳ චීනාඩි කාරයෙක් නෙව.., මේ පෙන්නැද්ද තාම තියෙන්නේ ඒ හයි හත්තිය තමා"

යැයි කියමින් දකුණු අතේ ඇති වැහැරුණු මස් ගොබ පෙන්වා සිනාසෙයි..,

ඉස්පිරිතාලේ සිටි කාලයේ වුවද නිවසේ සිටි කිසිවෙකුත් ගුණපාල බලන්නට පැමිණියේ නැති වුව, හේ ඒ පිළිබඳ කිසිවිටෙකත් දුක් වූවා කියා මට මතකය නැත. ටිකට් කපාගෙන ඉස්පිරිතාලයෙන් ගමට ආ පසුවද පෙර මෙන් බර වැඩ වල නියැලෙන්නට එපා යැයි දොස්තරවරු බලවත් ලෙස අවවාද කල නිසා ගුණපාලගේ ක්‍රියාකලාපය මඳක් මන්දගාමී වුව ඔහුගේ ප්‍රවේණි ගත ක්‍රියා කලාපය මඳකින් වත් අඩුවූයේ නැත.
බර උස්සන්න එපා කිව්වට කසිප්පු බොන්න එපා කිව්වේ නෑනේ

කවරෙකු හෝ බීමත් කම ගැන විමසූ විට ඔහු දෙන උත්තරයයි..

ඔය මිනිහාව හදන්න බෑ.., අපි කොයිතරම් බොන්න එපා, පතල් වලින් කීයක් හරි ඉතුරු කරන්න බලපන් කියලා කිව්වද? කෝ ඇහුවැයි..,

අම්මා නිවස ඉදිරිපිටට වී ගුණපාල කෑ ගැසු ආකාරය ගැන කියනාවිට අප්පච්චී එසේ කියයි..,

ඔහොම හිටියට ඔය මිනිහට හෙන වයසයි.., මම මේ ගෙදෙට්ට බැඳලා එනකොටත් ඔය මිනිහා ඔහොම්මම බීගෙන තමා ඒ දවස් වලත් හිටියේ..,

අම්මා අතීතය සිහිපත් කරන්නේ මට ඇසෙන්නට විය යුතුය.

බේබද්දෙකුට ස්ථාවර පවුල් සංස්ථාවක් ගොඩ නඟාගන්නට හැකියාවක් නැති බව පසක් කරමින් වර්ථමානය වෙනවිට ගුණපාල සිටින්නේ ගෙදරින් ගෙවල් කීපයකට එහායින් පිහිටා ඇති ගාමන්ට් චමරියේ මුරකරු ලෙසය.., කෙතරම් බේබදුකම් තිබුණද වල්කම් ගැන දැනීමක් වත් නැති මේ මිනිසා ගැන ගමේ පවතින්නේ අමුතුම කතා ගොන්නකි. ඒ හේතුව නිසාම මට මේ මිනිසා ගැන තව තවත් තොරතුරු සොයන්නට සිත් දේ..!

මහත්තයා දන්නේ නෑ.. ගුණේ අයියා ඉස්සර හිටියේ අපේ ගෙවල් වලට ටිකක් එහායින්., ඒ දවස් වලත් මිනිහා හෙනම බෙබා.., ඔය බැඳලා ඉන්න ජයවතී අක්කා අපේ ගෙදර එක්කෙනාගේ දුරින් නෑයෝ වෙනවා.., අපරාදේ මේ මිනිහාව බැන්දේ මහත්තයා.., ඒ ගෑණිගේ අවාසනාව.., මූ මොනතරම් බීමට කෑදරද කියනවානම් මහත්තයා.., ඒ දවස් වල කසාද බැඳපු මිනිස්සුගේ ළමයි හැදිල්ල සීමා වෙන්න ඉස්පිරිතාලේං කොරනවා ඔපරේසමක්.., කරලා රුපියල් පන්සීයක් ද කොහෙද දෙනවා.., ඒක ඒ දවස් වල හැටියට ලොකු ගාණක්..! මේ යකා ඔපරේසම කරගත්තානේ මහත්තයා ඒ පන්සීය ගන්න..,

එතකොට අර ළමයි දෙන්නෙක් ඉන්නේ ඔය..?

කවුද මහත්තයා උන්දෙන්නා ගුණේ අයියගේ කියලා කියන්නේ.., පේන්නැද්ද උන්දෙන්නගේ පෙනුම ඉතරක්.., පවුං පණහේ ගොන්නාම්බෝ දෙන්න වගේ..!

කතාවේ යම්දුරකට සත්‍යතාවක් තිබේ.., ගුණපාල යනු වැහැරුණු සිරුරැති දුඹුරු සමැති මිනිසෙකි.., ජයවතීද පෙණුමින් ඊට දෙවැනි නැත. එහෙත් දරුවන් පෙණුමින් අනෙක් පැත්තය..,

ඉස්සරම රාවයක් ගියා ඔය ජයවතියා විතරක් ඉන්න වෙලාවට හවසට හවසට බයිසිකලේක එන රතු මහත එකෙක් ගෙදරට රිංගනවා කියලා.., කියන්න බෑ මහත්තයා.., ඇයි මේ යකා සක්කිලියා වගේ බීගෙන ගමපුරා දඟලනකොට අර ගෑණිටත් යන කලදවසක් තියෙන්න එපෑය..! පව තමා මහත්තයා, මොනවා කරන්නද අනුන්ගේ ළමයි හුරතල් කර කර ඉන්නවා කරගත්ත මෝඩකම් නිසා..!

මිනිසත්බව ලැබගන්නට මිනිසෙකු කෙතරම් පින් කල යුත් වුව.., එවැනි අවස්ථා මඟාරින මෙවැනි අපුල ජීවිත දකිනවිට ඒ ජීවිත වලට බද්ධව සිටින්නන් ගැන ඇතිවන්නේ සංවේගයකි.

ඉස්සර ඔය මිනිහා සයිඩර් වික්කා.., අපිත් කුළී වැඩක් කරලා එහෙම හවසට මොනවා හරි බොන්න යනවා තමා ඒත් මූ පෙරාගත්ත සයිඩර් ඌම බොන්න ගත්තම වගාවක් වෙයියෑ මහත්තයා, අන්තිමට ඕකා නැවතුනේ ලේ වමනේ ගිහිල්ලා ඉස්පිරිතාලෙන්..,

"ගොඩමඩ ඩෙකම ශරුශාරය පලබරයා"

ඔන්න එනවා මහත්තයා ඔය හවස වඩිය ගහන්න යන්නයි හදන්නේ මම යන්නං මහත්තයා, නැත්තං ගුණේ අයියට හව්වුනොත් මගේ රුපියල් 50ට තට්ටු වෙනවා.! ඔය බලන්න බෑඟිරි ගාන හැටි, ඔය හාලියෙක් වගේ කෑගාන නිසා තමා  ඕකාට හේඅලියා කියන්නේ.., මම යන්නම් මහත්තයා.., නැත්තං ගෙදර යන්න සුනංගුවෙනවා..!

මම හා කියන්නටත් ප්‍රථම මේ ගැමියා මා කෙරෙන් ඈත්ව වඩ වඩාත් වේගවත්ව යන්නට විය.

ආ ආනන්ද මල්ලි, අපිව දැක්කම දැන් ගමන් උඩින්නේ..?  ඈ බන් උඹලැයේ කෙල්ල ලොකු වෙච්චි මඟුල්ගේ ගන්නකොට උදවු ගන්න හොඳා.., පාරෙදී අපි එක්කලා කතා කරන්න තමා බැරි නේ..,නොදකින්වත් තොපි..!

ගුණපාල පාරේ හිඳ තනියම කියවයි.., මම නිවසට යන්නට ගේ දෙසට හැරුනෙමි. අඩක් අවසාන කල අවර ගැමි සමාජ ක්‍රම පිළිබඳ වූ ලිපියේ අවසානයට බද්ධ කරන්නට අපූරු චරිතයක් හමුවී තිබේ..

ඒ ගුණපාලය..!