ගුරුවරයෙකු ලෙස පත්වීම ලැබ මම ගංදෙණිය පිරිමි පාසලට පළමු වරට පාතැබූ දින මට ඒ වටපිටාව ඇති කලේ සුලුපටු බලපෑමක් නොවේ. මේ ගමට මගේ උපරිම ශක්තිය ධෛර්යය යොදවා උගන්වනවා යන අදහස ඇති වෙන්නට මා එවකට නවක ගුරුවරයෙකු වීමත් ගංදෙණිය පාසල මගේ පළමු පත්වීමත් වීම එක හේතුවක් වන්නට ඇති වග මට මේ වන විට හැඟේ. මෙයට අමතරව මගේ පෙම්වතියගේ බාල සොයුරාගේ වෛද්‍යවරයෙකු ලෙස යාබද ගමට ලැබූ පත්වීමද එක හේතුවක් වේ.

දැන් මල්ලී කොහේද ඉන්න හිතාගෙන ඉන්නේ..?
නිල නිවාස ඔක්කොම වගේ මට කලින් මෙහාට ආපු ඩොක්ටර්ස්ලා වෙන් කරගෙන අයියා.., මම හිතාගෙන ඉන්නේ ගමේ ගේක ඇනෙක්ස් එකක් වත් කුලියට ගන්න..,
කොළඹ වගේ මෙහේ ඇනෙක්ස් නෑ මල්ලී කුලියට.., අනික මෙහේ ගෙවල් වල දොස්තර කෙනෙකුට ඉන්න තරම් ඉඩපාඩු නෑ. දන්නවානේ ගම්බද ගෙවල් හරි පොඩියි.
අප්පා! එහෙමද?
මට මල්ලි එනවා කියලා කුමාරි කිව්වම මම මේ ගැන කිව්වා..
අක්කා කතා කලාද..?
නෑ ලියුමක් එවලා තිබුණා..!
අහ්..!
හරි මෙහෙම කරමු.., මගේ ගුරු නිවාසේ මගේ කාමරේට අමතරව තව කාමර 2ක් තියෙනවා.., අනිද්දට විද්‍යාව සර් නිවාඩු ගිහින් ආවාම එක කාමරයක් එයාට දෙන්න ඕනේ.., ඊට පස්සේ තව එක කාමරයක් තියෙනවා.., මල්ලී කැමතීනම් මට පුලුවන් ලොකු සර්ගෙන් අහලා ඒක මල්ලිට හදලා දෙන්න.
අනේ ලොකු දෙයක් අයියේ.., එහෙම වෙනවා නම්..,
හරි මම බලන්නම්..!


සිය සේවා මුරය සඳහා මගේ වෙන්ට මස්සිනා වූ මේ තරුණ වෛද්‍යවරයා පිටව ගිය පසු, මම පස්වෙනි කාලපරිච්ඡේදය සිට අටවැන්න දක්වා වූ සංගීත පාඩම සඳහා 10 පන්තිය වෙතට පිය නැඟීමි. මා හට වෙනම විදුහල්පති තුමාගෙන් අසන්නට උවමනාවක් නොවූයේ ඒ වනවිටත් ඒ අවසරය මුල්ගුරුතුමා විසින් මා හට ලබාදී හිබූ නිසාය.

 කෝ බලන්න..,
මේ පැත්තට හැරෙන්න..,
හයියෙන් හුස්ම ගන්න..,
මත්පැන් පාවිච්චි කරනවද?


මහල්ලාගේ මුවේ වූයේ මදහසකි.

එහෙමයි..,
ඒකනේ.., ඔය වයසත් එක්කලා බොන්න හොඳ නෑ ලොකු උන්නැහේ., තේරුණාද..?
දරුමල්ලො එහෙම ඉන්නවද?
එහෙමයි ඔක්කොම බැඳලා..!
ඉතින් ඒකනේ.., වගකීම් වලින් නිදහස් නම් මොකටද බොන්නේ..?
මම නම් කියන්නේ මිනිස්සු බොන්නේ කරදර නිසා කියලයි..,
කා ගාවද ඉන්නේ?
අපේ පොඩිළමයා ගාව..,
හා එහෙනම් මේ බේත් ටික බොන්න.., වෙනසක් නොවුනොත් ආපහු එන්නකෝ..


සාන්ත මල්ලී ගුරු නිවාසයට පදිංචියට පැමිණ සතියක් ගතවන විට මගේ අවසරය සහිතව ජංගම සායනයක් ආරම්භ කෙරුවේ ඉතා කැමැත්තෙනි.., රජයේ මුදලින් වාසිටි අධ්‍යාපනය ලබා ජනතාවට සේවය කරන්නට ඉතසිතින් කැපවී සිටිම දැනුම දෙමින් ළමා මනස සුවපත් කරනා අයුරින් ම සාන්ත මල්ලී ද සිය අත් ගුණයෙන් ගැමියන්ගේ රෝදුක් සුව කරනු දැකීම මගේ එකම බලාපොරොත්තුව විය.., සායන කෙරුවාව කොතරම් සාන්ත මල්ලී හා බැඳී තිබුණේද යත්.., කලක් යනවිට කුඩා සැත්කම් පවා කරන්නට සහයක් වන්නට සාත්තු සේවිකාවක ද ඔහු බඳවා ගත්තේය.
ආදරයෙන් කුමාරි වෙත,
ලියුමක් ලියා දෙදිනකට පසුව තකහනියක් ම මෙසේ ලියන්නට සිතුවේ වැදගත් ආරංචියක් කියන්නට තිබෙන නිසාය. ඒ මල්ලී ගේ සායන සේවා ව සම්බන්දයෙනි.., කොතරම් මේ සායනය ගමේ ජනප්‍රිය ද කියනවා නම් දැන් මල්ලීව හඳුන් වන්නේ ගුරුදොස්තර කියායි.., ඒ මම හිතන විදියට මල්ලී බෙහෙත් දෙන්නේ මගේ ගුරුනිවාසය තුල වීමයි.පසු ගියදාක මල්ලී තමාට සහයට සාත්තුසේවිකාවක් ද බඳවා ගත්තා ය. මම නම් මේ ක්‍රියාවලියට එතරම් කැමති නැතිවුවත් සේවයේ අත්‍යාවශ්‍ය බව සලකා කිසිවක් නොකියා සිටීමට තීරණය කළෙමි..,

මල්ලී ගැන මේ ලෙසට ලියුමකින් කුමාරිට දන්වා යැවීම පිරිමියෙකු ලෙස කොතරම් දුරකට යුක්ති ගරුකද යන්න පිළිබඳව මා හට දෙවරක් සිතන්නට සිත බල කලත්, පිරිමින් පමණක් සිටින නිවාසයකට සාත්තු සේවිකාවක ලෙසට පවා පිටින් කානතාවක ගෙන්නා ගැනීම කටකතාවකට අත වන්නන්නාක් වැනි යැයි අදහසක් මා හට ඇති වූයේ වයසින් මුහුකුරා ගියනිසා දැයි හෝ විරුද්ද ලිංගික ආකර්ශනය මට වඩා පැහැමත් ප්‍රියමනාප මුහුණුවරක් තිබෙන සාන්ත මල්ලීට වැඩි බවට මගේ සිත තුල තිබෙන මනෝභ්‍රාන්තිය හේතුවෙන්දැයි සිතා ගැනීම එකවරටම අපහසු විය.

හිත එකඟ කරගන්නට නොහැකි හේතූන් ලියුම ලිවීම වටාවට මැවී පෙනෙන්නට වීම නිසාවෙන් අවැසිතාවක් වුවොත් පාවිච්චියට ගැනුම පිණිස අඩක් ලියූ ලියුම නවා දිනපොත තුලට දමාගතිමි.
දහවල් ආහාරය මා එනතුරු මේසය මත කල් මරන බව සිහිපත් වූයේ පාසල ඇරී පෑ දෙකක් ද ඉක්ම ගියාට පසුව බව මට සිහිපත් වූයේ උදරය මා හට ඒ වෙනුවෙන් දෙස් දෙන්නට වූ කල ය.., අත සෝදාගෙන පිඟාන අතට ගන්න තනන් විට ම මගෙ සවනත යොමූ වූයේ ඉදිරිපස දොර වෙතටය..,
කවුරුන් හෝ පැමිණ ඇත.., බෝහෝවිට ඒ මල්ලී විය යුතුය.., තත්පර දහයෙන් දහයට දොරට තට්ටු කරන මේ හැඩය නම් මල්ලීට වඩා වෙනස් වග දැනුනෙන් මා අසල වූ කෑම මේසයෙන් පිඟාන තබා දොරදෙසට යන්නට වීමි.

මම හිතුවා දොස්තර මහත්තයා ඇවිත් ඇති කියලා..,
ඇයි සුජීවාට කියන්නේ නෑද්ද කලින් දවසේ මල්ලී එන වෙලාව..,
නෑ සර් මට කිව්වා.., අද ලෙඩෙකුගේ මැහුමක් කපන්න තියෙනවා.., ඒ නිසා ඕනේ කරන කලමනා ටික ලෑහෑත්ති කරගන්න කියලයි කලියෙන් ආවේ..,


සුජීවා හැඩය.., පිරිපුන් ය.., ගම්මුන් කයි කතන්දර කොපමන හැදුවත් සුජීවා ඒ හැම එකකට ම හේතුවක් වන්නට ඇත්තේ වියැකීයන කෝමල රේඛා අතුරින් වුවත් තවමත් මැකී නොගිය ඒ රූමත් බවේ ලකුණු ඈ වතේ තවමත් ඉතීරිව ඇති නිසා වෙන් යැයි මට සිතේ. ඒ සියල්ලට ම වඩා සුජීවා වෙද සායනයේ සාත්තු සේවිකාව වීමම මේ නිවාසයේ දොර හරින්නට හේතුවක් වී අවසානය..,

ඇතුලට එනු පිණිස දොරකඩින් මෑත්වීමි..,

සුජීවා කොහේද?
බත් පත කන්නට ගන්නා ගමන් මම කතාවට මුල පිරීමි.., මේසයේ මම සිටිනා තැනට ඇය සායනයේ බඩුමුට්ටු අස් කරනාකාරය හොඳින් පෙනේ..,

මම මහත්තෙයා.., මේ එගොඩහ.., අර හන්දියේ කඩේ දාං ඉන්න තුවාන් නානාගේ ගෙදරට ගෙවල් දෙකක් එහායින්..,
අහා..,
අර මහත්තෙයාගේ සංගීත පන්තියට එන හන්සිකා මගේ බාල නංගී..,
අහා හන්සිකා මේ අවුරුද්දේ නේද විභාගෙට ලියන්නේ..?
ඔව් මහත්තෙයා.., මම මේ සායනේ වැඩට එන්නෙත් හන්සිගේ ඉගෙන ගන්න වැඩ වලට ඕන කරන සල්ලී හොයලාදෙන්න තමා..,
මම උදේට කඩයප්පන් හදලා නානාකඩේට දානවා.., ඊට පස්සේ ලොකු මහත්තයාගේ ගේ පිටිපස්සේ තියෙන කිරිකට්ටියේ වැඩ කරලා කිරි අකුලලා තමා මේ හවස ට සර්ගේ වැඩට උදවු වෙන්න එන්නේ..


හ්ම්.., ඉතින් සුජීවා ගේ මහත්තයාටත් මේ වැඩ වලට උදවු වෙන්න පුලුවන් නේ..,

මම බැඳලා නෑ මහත්තයා.., අම්මා අන්තරා වුනාට පස්සේ නංගිලා හයදෙනාව බලාගන්න කවුරුවත් නෑ අප්පච්චිත් ලෙඩ ගානේ කසිප්පු බීලාම., ඉතින් මම ඉගෙන ගන්න එක නවත්තලා මේ වැඩ ටික කරන්න පටන්ගත්තා.., අපිට ඉස්සර ඉඩම් තිබුණා මහත්තයා.., අප්පච්චීගේ බේබදු කම නිසා ඔක්කොම රට්ටු අල්ල ගත්තා.., අල්ලගත්තා නෙවී ඇත්තටම උකස් තියලා සින්න උනා..,

ගැහැණු දරුවන්  හය දෙනෙක්.., මවකගේ සෙනෙහස අහිමී වූ පසුවත් ඒ සෙනෙහස දෙන්නට වෙර දරනා මේ ගැහැණිය පිලිබඳ මා හට ඇති වූයේ ගෞරවයකි..,

මිනිස්සූ අම්ම නැතිවුනේ අප්පච්චිගේ වරදින් කියලා කියන්න ගත්තා මහත්තයා, ඒ හිතේ අමාරුවටමයි ඒ මනුස්සයා බීලා බීලා ලෙඩ උනේ.., සමහර දවස්වලට රෑට ඔක්කොටම කන්නදීලා මම වළං ටික හෝදන්න පිලිකන්නට යනකොට මට ඇහෙනවා අප්පච්චී අඬනවා අම්මගේ නම මතුර මතුරා.., මොනා කරන්නද මහත්තයා මම කොහොමද අම්මා දීපූ ආදරේ අප්පච්චීටයි නංගිලා හය දෙනාටයි දෙන්නේ..,

ඇය සුන්දර යුවතියක්ව ඉන්නට ඇති, කලෙක පටන් සිහින ලොවක සරන සිහින් කුමරෙකුට ඇයත් පෙම් බඳින්නට ඇති.., ඒත් අම්මාගේ අහිමිවීම ඇය ඒ සියලු ප්‍රාර්ථනා වලට තිත තබා තවත් කටවල් සතක් පුරවන්නට සිය හිත හා ගිවිස ගත්තා ය.., මේ මනුස්ස ජීවීයා මවක් නොවූවද මවක ගේ සෙවනැල්ලක් බව කවදාවත් සිතට ඇසිල්ලක් නැති ඇයට සිහිපත් වේදැයි කීමට මාර්ගයක් නොවී.., ඒ හැරත් සිහිපත් වූවත් කුමක් කරන්නද..?

දාරක පෙමට ඉහලින් පෙම් කුරුල්ලන් පියාඹන්නේ ඉතා කලාතුරකින් ඈ මේවන විටත් පසක් කරගෙන ඇති වග මම අවබෝධ කරගතිමි..,

සුජීවා දන්නවද සුජීවා මේ විදිහට කසාද නොබැඳ ඉන්න එක නිසා ගම්මු සුජීවාට කටකතා හදනවා කියලා..,

මම මොකෝ නොදන්නේ මහත්තයා.., ඒ විතරක් නොවේ මට එක කාලයක් කැලෑපත්තරත් ගහලා තිබුණා.., ඔය හන්දියේ කඩේ මුදලාලි එක්කලා මගේ හුටප්පරයක් තියෙනවා කියලා.., ඒත් මම මොනවා කියලා කරන්නද මහත්තයා.., උදේට කඩේට දෙන කඩයප්පන් වල සල්ලී මම සර්ගේ සායනේ වහලා ගෙදර යමින් ගමන් ගන්නේ නැතුව කොහොමද අර කටවල් හත පුරවන්නේ..? ඔය කතා හදවුන් ද මා සල්ලී දෙන්නේ..? මම මනුස්සයෙක් එක්ක බුදියලා හරි ගෙදර උන්ගේ කටවල් පුරවලා මයේ අම්මට වෙච්චි පොරොන්දුව ඉෂ්ඨ කරනවා.., නැත්තං මට හෙණ ගහාවි.
මුස්ලිම් උනත් ඒ මනුස්සයගේ හිතේ මනුස්සකම කියන එක ගෑවිලාවත් තියෙන නිසා මගේ ඕඩරේ තවම කරගෙන යනවා.., මම හදන ඉඳියප්පන් කකාම තමා ඕකුන් මට ඔය වගේ අලුගුත්තේරු කතා හදන්නේ..,


ඉඳුල් අතටම වේලී මේ අපූරු කාන්තාවගේ කතාව අසා සිටීම එක්තරා ආකාරයක ආශ්වාදය වූ නිසාදෝ අත සේදීම මා හට අමතක විය..,

මම යනවා මහත්තයා ඉස්තෝප්පුව අතු ගන්න.., දැන් ලෙඩ්ඩු එන වෙලාව.., අද මම කලින් යන්නත් ඕනේ.., අද මම මද්දු නංගිට පොරොන්දු උනා එළවලු රොටි හවස කන්න හදලා දෙනවා කියලා.., 

සාන්ත මල්ලීත් ඈත එනවා පෙනුනෙක් හෙට දවසට දරුවන්ට ලබා දියයුතු නිබන්ධනය එකලාසයක් කිරීම සඳහා මේසය මත වූ කොල මිටිය අතට ගතිමි..,

සුජීවා සිහින් මදහසක් නඟාගෙන පොලොව අමදින්නේ සවසට තැනෙන එළවලු රොටී වල සිහියෙන් විය යුතුය.