හෙප්පුව ලොකු අක්කා මගේ අතට ගෙනැල්ල දෙනකොට මද්දු හිටියේ මගේ ඔලුවේ මල් ඉත්ත කොණ්ඩ කටුවකින් කෙස්සට හා කරමින්..!

ආං ඇවිල්ලා..!
ඉන්ටකෝ පොඩිත්තක් මම මේ මල් ඉත්ත ගහනකං..!
හා මෙයාටනේ පොඩ්ඩිව හැඩකරන්න ඕනේ වෙලා තියෙන්නේ.., මේ ආවේ බලන්ට.., මගුළට තව කල් තියෙනවා..!


ලොක්කිට මද්දු සැර වුණාට.., හිත ඇතුලෙන් මොකද්දෝ සංතෝසයක් ඒ දෙන්නා හංගගෙන ඉන්න බව ඒ වෙන කොට මගේ හිතට දැනිලා ඉවරයි..!

”දොස්තර මහත්තයා.., උපාධිය අරන් ඉවර වෙනකොටම පත්වීම කොළඹට ම ලැබුණ කියන්නේ ඇත්තද?”

අප්පච්චී මේ අහන්නේ මනමාලයාගෙන් ද.., එහෙමත් නැතිනම් වෙන කාගෙන් හරිද කියලා මට හිතාගන්න බැරි වුනේ ඒ පැත්තෙන් වාහන දෙකක් ම  ඇවිල්ල තිබුණ නිසා..!

ඔව් මට වැඩකරන්න වුනේ අපේ නාරද ලොකු අයියා යටතේම නිසා ඒක මට වාසියකට ගියා..!
එතකොට පුතාගේ නම කොහොමද?
මගේ නම……………


අප්පච්චී ප්‍රෂ්ණේ අහලා ඉවර උණාම අනික් පැත්තෙන් ලැබුණ උත්තරෙයි ඒ උත්තරේ දීපු හඬයි නිසා මාව  නිසා මාව සීතල වෙලා ගියා. ඒ නම අයිති මනුස්සයෙක් ගෙන් මීට අවුරුදු 6කට කලියෙන් මට ලැබිච්චි ඒ ආදරේ මට නවත්තන්න සිද්ධ වුනේ ඒ ලෙවල් සිංහල පොතක් අස්සේ තිබිලා අපේ අම්මට එයාගෙන් මට ලැබිච්චී ලියුමක් දැකලා..!

මේක අපේ පවුලටම අවනම්බුවක්.., පොඩ්ඩී උඹ හදන්නේ අපිව නැති කරන්නද..? අපි ඒ කාලේ කොල්ලෙක් දිහා බලනවා නෙවී කතා කරන්න වත් හිතන්නේ නැහැ..!

එයාගේ ලියුම අතේ ගුලිකරගෙන අපේ අම්මා ලොක්කී මද්දූ අප්පච්චී ඉස්සරහා තියාන මට දේසනාව පටන් ගත්තේ එහෙම..!

ඔහොම හිටියනං අම්මා අප්පච්චී එක්ක යාලු උනේ හීනෙන්ද කියලා අහන්න මගේ කට කොකියනවා උන්ත් මම ඒක හිතේම තද කරගත්තේ ඒක කිව්වා නම් මට කනේ පාරවල් හත අටක් කන්න හොඳටම ඉඩ තුබුණ නිසා..!

ඒත් අප්පච්චී වෙනදා වගේම හාංසි පුටුවට වෙලා පොත දිහාම බලාගෙන නිස්සද්දව හිටපු එක මගේ හිතට හරිම ඉස්පාසුවක් වෙලා තිබ්බේ..!

ලියුම අම්මගේ අතට අහු වුනේ නැතත් මට ඒ සම්බන්දේ ඉස්සරහට පවත්තන්න ක්‍රමයක් තිබුණේ නැහැ..! අම්මා ඒ අතේ ගුලිකරගෙන බැන්නේ එයා මට දුන්නු අන්තිම ලියුම ඒක නිසා..! කේසිරි සර්ගේ පංතියේ අන්තිම දවසේ මගේ අතට ඒ ලියුම දීලා මට කියාපු දේවල් මට අදවගේ මතකයි..!

දිස්නා.., මේ මගේ අන්තිම ලියුම.., මා ඉස්සරහ කියවන්න හදන්න එපා.., මට ඒක දරගන්න බැරිවේවි..! ඒත් කවදා හරි මම මේ ලියුම අන්තිම ලියුම කියලා දුන්නේ ඇයි කියලා ඔයාම මේක කියෙව්වාම තේරේවි..!

මොන හේතුවක් ද මන්දා.., මට ඒක කියවන්න හිත දුන්නේම නෑ..! අම්මට අහු උනේ මම ලියුමේ කවරේ වත් කඩලා නැතුව තියෙනකොට. වෙන කෙල්ලෙක්ගේ ඇස් වලින් කඳුලු විදින හේතුවක් උනත් මගෙන් එක ඉකියක් වත් එක ඇඬුමක් වත් එලියට ආපු නැති එක මට හරිම පුදුමයක් උනා..! මට අඬන්න උවමනාව තිබ්බට හිත වේලිලා නිසා ද මන්දා මගේ ඇස් වලට කඳුලු ඉනුවේ නැති තරම්..!

හැමෝම විභාගෙන් පස්සේ ට්‍රිප් ගියාට මට යන්න ඇත්තටම උවමනාවක් තිබුන්නැහැ..! කොන්වන්ට් එකේ අපේ සෙට් එක මට ලියුම් පිට ලියුම් එව්වත් ඒ එකක් වත් මම කියෙව්වේ වත් නැත්තේ මට ඒකටවත් පිරියක් නොතිබ්බ නිසා..! ඇත්තටම මම අතීතේට වෛරකලා කීවොත් හරි..,
ඉස්සර නිතර නිතර මැසිම වගේ කතා කරපු මගේ වෙනස තේරිලාදෝ මන්දා අම්ම මට මගුල් හොයන්න පටන් ගත්තේ රිසාල්ට්ස් එන්නත් කාලෙකට කලින් ඉඳලමයි..!

මේ කෙල්ල මෙහෙම ගියොත් ගොලුවෙනවා..! කොල්ලෙක් ව වත් කතාකරල තිබ්බම ඕක ඇරිලා යයි...!

නාලිකා කෙල්ලට තාම වයස 20ක් වත් නැති එකේ දැම්ම මගුල් හොයන එක හරි නෑ නේද?

අනේ මේ ඔයා දන්න ඉටිගෙඩිය.., මම ඔයා එක්ක යාලුවෙනකොටත් මට වයස 19යි..! ඒකාලේ ඔයාට හරි කාරකමක් තිබ්බනම් මේ මහගෙදර බින්න බහීවියැයි..! මට ඕනේ මගේ කෙල්ලට මට වෙච්චි වැරැද්ද නොවෙන මිනිහෙක් ව හොයලා දෙන්න..!

කියන්න මොනතරම් දේවල් තිබ්බත් මග ගෙදරට බණ්ඩාර මැණිකේ වෙච්චී අපේ අම්ම සද්දයක් දැම්මම කටවගෙන යන පුරුද්ද අපේ අප්පච්චීට කාලෙක ඉඳලාම තිබිච්චි එකක්..! අපිට ඕව ඇහිලා ඇහිලාම ඒ තරම් වෙනසක් නොදැනුනත්.., මට පළවෙන පාරට අප්පච්චි මේ අම්මගෙන් බැණුම් අහන්නේ මං නිසා නේද කියලා දුකක් හිතට කාන්දු උනා..! එදා ඉඳලා මම ගෙදරින් කියන එකකට කැමති වෙනවා මම මගේ හිතටම  පොරොන්දු වුනදා ඉඳලා අවුරුදු 7 තිස්සේ මට මගුල් හොයනවා තාමත්…!
ආදරය කියන එක මට මේ වෙනකොට තිත්ත වෙලා තිබුණත් මට ඕනේ කලේ මම කැමති විදියට කාලා ඇඳලා ඉන්න පුලුවන් මිනිහෙක්ව හොයාගන්න එකයි..! ඒත් මිනිස්සු තෝරද්දී මම අම්මලාගේ කැමැත්තට ඉඩදීලා නිකං හිටියේ කවදා හරි මට හොයලා දෙන මිනිහගේ මොකක් හරි වැරැද්දක් තිබුණොත් මට බය නැතුව ඒ වගකීම අම්මලාහේ පැත්තට විතැන් කරන්න ඉඩ ලැබෙන හංදයි..!

කෝ පොඩ්ඩි ලැහැත්ති නැද්ද දැං මනමාල මහත්තයා ඇවිල්ලත් විනාඩි පහලොහක් විතර වෙන්න ආවා..!

අම්මා දොර රෙද්ද මෑත් කරගෙන මගේ පැත්තට ආවේ එහෙම කියාගෙන..!

වෙනදා නිකම්ම නිකම් මනමාලය කියලා එන මිනිහව හඳුනවන අපේ අම්මා අද මනමාලය අගට ගෞරවාර්ථයක් එක්කහු කලේ ඇයි කියලා මට නොහිතුනාමත් නෙවෙයි..!

මම හෙප්පුව අරන් එළියට යනකොටත් අප්පච්චී ආ අයත් එක්ක බරටම කදේ දාගෙන..! අමුත්තෝ ටික හිටියේ මං එන පැත්තට පිටුපාලා නිසා මට මනාලයාගේ මූණ ළඟට එනකල්ම බලාගන්න බැරි වුණා..!

මේ ඉන්නේ අපේ ගෙදර චූටි දුව දිස්නා.., අපි නම් කියන්නේ මෙයාට පොඩ්ඩී කියලා..!

අප්පච්චී මාව ආපු කට්ටියට අඳුන්වලා දුන්නේ එහෙම..!
එහෙම කියද්දිත් මාව බලන්න ආපු අපේ අම්ම කියන විදියට මනමාල මහත්තයා ගැස්සිලා මා දිහා ඔලු උස්සලා බලනවා මගේ ඇස් කොණට පෙණුනත් මම ගණන් ගත්තේ නැහැ. බිම බලාගෙනම මම හෙප්පුව අතට දෙනකොටම හෙප්පුව මගේ අතින් ගනිද්දී මගේ මාපොට ඇඟිල්ල හෙප්පුවට තියලා තදකලේ මාව කෙනිත්තෙන්නද කියලා හිතෙනකොටම, මට ආපු මතකයක් නිසා ඔලුව උස්සලා බැලුවත් මට මගේ ඇස්දෙක අදහන්න බැරි වුනේ මට හිතාගන්නත් බැරි විදියට..!

දෙයියනේ ඔයා..?
මට තප්පරයක්වත් හිතන්න ඉඩක් දෙන්නේ නැතුව හෙප්පු පැත්තකින් තිබ්බ එයා මට ආචාර කලා..!

ආයුබෝවන් දිස්නා...!!

ආයුබෝවන් කසංජිත්..!!

මනමාලයාව දැක්ක ගමන් මගේ මූණේ ඇඳුණු හිනාවේ තේරුම මොකද්ද කියලා දැනගෙන දෝ අම්මගෙයි අප්පච්චිගෙයි මූණ පිරිලා තිබුණේ අමුතුම සංතෝසෙකින්..!