අන්තිමේ මම හිත හදාගත්තා.

ඔට්ටු දාපු සල්ලිවත්, දාලා ගිය ගෑණි වත් ආපහු එන්නැති බව අන්තිමේ තේරුම් ගිය නිසා, මම හිත හදාගන්න තීරණේ කළා. අඩු පාඩු තියෙන්න ඇති. හවස බීලා එන එක ඇත්ත වෙන්න ඇති. ඒත් මම කවදාවත් පමණ ඉක්මවලා බීලවත්, පරදින්න ඔට්ටු දාලවත් නැහැ.

ඒ නිසා අන්තිමේ මම හිත හදාගත්තා.

බාගෙට ලියලා ඉවර වුන කතා කොළ මේසේ හැම තැනම. ඔලුවට මෙලෝ අදහසක් එන්නේ නැති තැන, බාගෙට ලියපු කතන්දර එකින් එක පුරුද්දන්න බැලුවා. ඒත් ඒක එච්චර ලේසි වැඩක් නෙවෙයි. ගින්දරයි වතුරයි එකට පුරුද්දන්න බැහැනේ. මැද්දෙන් ඇතිලියක් හරි මුට්ටියක් හරි තියන්නම වෙනවා. ඒත් මම ලියන්න හිතේ තියාගෙන ඉන්න කතාව කොහොමද මම එකකට එකක් ගැලපෙන්නේ නැත්නම් පුරුද්දන්නේ.

ඔලුවට මෙලෝ අදහසක් එන්නේ නැහැ.

අපේ එකෙක් ඒ ඇයි කියලා ඇහුවම, මම කිව්වා මට රයිටර්ස් බ්ලොක් වෙන්න ඇති කියලා. එතකොට ඌ අහනවා උඹ රයිටර් කෙනෙක් ද කියලා.

මොන ජීවිතද අප්පා මෙව්වා

කඳුළු පනිනකම් හිනා වෙන්න උවමනාව තිබ්බත් සතුට බෙදාගන්න උවමනාම කරන කෙනා මා ගාව නැති නිසා මම හිතේ සතුට බොහෝ වෙලාවට හංග ගන්නවා. කොච්චර ආසාවෙන් හිනාවෙන්න හිතුනත් එයා නැති පාළුව මට තවම දැනෙනවා. ෆෝන් එකේ දාගෙන ඉන්න එයාගේ පින්තුර ටික බල බල හිත තවාගත්තට මොකෝ හිත තාම රිදෙනවා උඹ මගේ ගාව නැති බව දැනුන මුල්ම දවසේ වගේම.

ඒ නිසා අන්තිමේ මම හිත හදාගත්තා.

කොහෙද උඹ ඉන්නේ, මොනවද කරන්නේ, කරදරයක් නැතිව ඉන්නවද , කියලා අහන්න කරන්න උවමනා නැතත් තවමත් හිතට එන්නේ ඒ දේවල්. උදේ 6.45 එන කෝල් එක, රෑ 10.45ට එන කෝල් එක, තොර තෝංචියක් නැතුව කියවන වග විස්තර, කොච්චර ආසාවෙන් අහගෙන හිටියද කියලා දන්නවා නම් උඹ..

ග්ලාස් එකේ පතුල පේන්න ගත්තට පස්සේ ඔලුව ඉස්සුවා. තාමත් බාර් මල්ලි බර්බන් එක අතේ තියාගෙන මම ඉස්සරහ!

සර්ට තව ෂොට් එකක් දාන්නද?

මොකුත් කියන්නේ නැතුව ඉන්නකොට, බුවා අනාරාධිතවම මගේ ග්ලාස් එක ආපහු පිරෙව්වා.
ග්ලාස් එක තාම ඉවර නැහැනේ

ඒ නිසා අන්තිම මම හිත හදාගත්තා.

වෙනදා වගේම Dynamite Jackට මගේ ඔට්ටුව දාලා කැෂියර් එකේ රංජිත්ට සල්ලි නෝට්ටු කොළ දුන්නම මිනිහා මගෙන් මොකටදවත් කියලා අහන්නේ නැතුව, සල්ලි ටික ලාච්චුවේ දාගෙන, කොණ තැලෙන කම් කකා හිටපු පැන්සලෙන් මොනාදෝ ඒ කිළුටු පොතේ ලියාගත්තා. මම මොනාද ලිව්වේ කොච්චර ඔට්ටුව දැම්මද කියලාවත් අහන්න ගියේ නැහැ, මොකද මම දන්නවා මම දාන ඔට්ටු දිනන වග.

මම ඒ වෙනකොට එච්චර දක්ෂ ඔට්ටු කාරයෙක් වෙලා හිටියා.

එහෙම ඔට්ටු දාලා හරි මට ඕනේ වුනේ මගේ හිත හදාගන්න. ඒ වුනාට මොනවා කලත් මගේ හිතේ ඒ අඩුපාඩුව මැකෙන්නේ නැහැ කියල මම දැනගෙන හිටියා, මම හිතන්නේ එයාත් ඒක දන්නවා ඇති.
එක දවසක මේක වුනේ, මම හිතන්නේ ඒක මගේ අන්තිම දවසද දන්නෙත් නැහැ.

වෙනදා වගේම රංජිත්ට සල්ලි දීලා ඔට්ටුව දාලා මම ආවා බාර් එකට මොනා හරි බිලා උගුර පුච්චගන්න. වෙනදා වගේම මගෙන් අවසරයක් නැතුව හිස් වෙන වීදුරු එකින් එක පිරවෙන්න ගත්තා. පිරුන වීදුරු එකින් එක උගුරෙන් පල්ලෙහාට ගලන්නත් ගත්තා.

වෙනදට වඩා මට පොඩ්ඩක් වැඩි වුනු බව මට හිතුනේ සිට් එකෙන් බහින්න හදනකොට. මට අරකිව මතක් වුනා. එකී හිටියා නම් මට මෙහෙම වෙන්නේ නෑනේ කියලා හිතලා මට පට්ට තරහක් ආවා. මම නැගිටින්න හිතනකොටම මහා ජරා ගඳක් තියෙන එවුන් දෙන්නෙක් ඇවිත් මාව අත් දෙකෙන් අල්ලාගෙන ගිහින් එලියට දානවා දැනුනා.

ඒක මහජරා ගඳක්, සුදුළුනු එක්ක අරක්කු කවලම් වෙච්චි. ඇස්දෙක බොඳ වෙලා හිතා ගන්න බැරි විදියට. මුළු ලෝකෙම බොඳයි. මම නැගිටින්න හදනකොටම කොහෙන්දෝ ආපු හෝන් පාරක් මගේ කණ පසාරු කරගෙන ගියා. ඒ එක්කම මට දැනුනේ, අමුතු ගැස්සිල්ලක් එක්ක මාව පාවෙනවා. ඒත් ඒ මිලි තප්පර ගානකට විතරයි.

ඔව් මිලි තප්පර ගානකට විතරයි.

කෑකොස්සන් ගහන එවුන් නැති නෑදෑකම් හදාගෙන මාව බදාගෙන කෑ ගහන එවුන් අස්සෙන් මම නැගිට්ටා. මම දැක්කා මම වගේම එකෙක් බිම බල්ලෙක් වගේ චප්ප වෙලා ඉන්නවා. මම නැගිටලා පාර අයිනට වුනා කාටවත් මාව පෙනුනේ නැහැ.

මම බිත්තියට මුවා වෙලා මොකද වෙන්නේ කියල බලාගෙන ඉන්නකොට මගේ අතේ ඇඟිලි අස්සෙන් අර ගොඩක් කාලෙකට කලින් මට දැනුන ඒ සිනිඳු ඇඟිලි වල අමුතු රස්නේ දැනුනා.

ඒ වෙනකොට කවදාවත් නැතුව මගේ හිත ඉබේටම හැදිලා තිබුණා.