යුක්තාණුව | zygote

       සංස්කාරක තුමා සිතනා පරිදි කවිය ලියන්නට හේතු භූත වූවා යැයි කියන්න නිමිත්ත කවියේ මඟක් ලියාගෙන යන විටෙක රචකයා තුලින් අද්භූත ලෙස අතුරුදන් වන්නට ගනිද්දී රචනාව කියවන්නා තුල ඇති වන අහ්ලාදයද ඒ ආකාරයෙන්ම අතුරුදන්වන බව කීප විටකම ඔහුගේ හිතවත් රචකයන් කීපදෙනෙකුටම කියා ඇති බව එතුමා හට මතක්වන්නේ ඔහුගේ සංස්කාරකත්වයෙන් එළිදකින මාසික සාහිත සඟරා කලාපයක හෙතෙම කවි ලෙස නොසලකන ඒ වැකි කොටස් ඇස ගැටෙන විටදී ය. කොලයේ වූ අකුරු මඳක් හුරුපුරුදු වුව කාගේදැයි එකවරම හිතට නංවා ගන්නට සංස්කාරක තුමා තවමත් අපොහොසත්ය.
මිස් ප්‍රේමා..,
කවුද මේ කවි දාන්න කියලා දුන්නේ..?
මේවා කවිද?
මේවාට කියන්නේ කුකවි කියලා.
අපේ සඟරාව වටේ නමක් රැඳුනානම් රැඳුනේ අපි පලකරන ලිපිවල ගුණාත්මක භාවය නිසා මිසක් මේවගේ මෙලෝරහක් නැති කවි කෑලි නිසා නෙවෙයි.
කවි පිටුව කරන අරවින්දට මගේ ඔෆිස් එකට එන්න කියන්න
වහාම මේ දැන්!!
 සඟරාවට එවනා පාඨක ලිපි කියවා බලන්නී ප්‍රේමා නම් වන්නීය. ඕ සඟරාව නමට ලැබෙන සියලු ලිපි කියවා බලා අදාල අංශ වලට යොමු කරයි. වගකීම කවිපිටුවේ සංස්කාරකට වන නමුදු කිසිත් නොදත් ප්‍රේමා වෙත සංස්කාරක තුමා කියූ ඒ ඒ වදන් මතක් වන විට "කියෙව්වා සැර වැඩිද මන්දා" කියා හිත කොතරම් කියන්නට වූවත් ඔහු දරනා මතය වෙනස් කරන්නට සූදානමක් නොවීම විටෙක ඔහුගේම කනස්සල්ලට හේතුවේ. එනමුදු මේ "උද්දච්චකම[?]" නිසා සංස්කාරක තුමන් ළඟාකරගත් දේ අපමණය. ඒ නිසා අහිමි වූ දේද නැත්තේ ම නොවේ, ඒවා අතුරු කතාය.  සංස්කාරක තුමා එවන් අවස්ථාවලදී සැනින් පරාජික අතීතය අමතක කර ඇතුලු හිතට හැරෙන බව කවුරුත් දන්න දෙයකි. ඒ "අමුතු හිතේ" ඉඩ ඇත්තේ ජයග්‍රහණයට පමණි.
සර් මට එන්න කිව්වේ?
අරවින්ද කාර්‍යාල කුටිය තුලට එබී ඇසුවේ සංස්කාරක තුමා කල්පනාවේ උඡ්ඡස්ථානය අසලදී ය..
කම් අරවින්ද ටේක් අ සීට්..
තෑංක්යූ සර්..,
අරවින්ද කවරදාටත් වඩා කලබලය, වයස සතලිසකට මඳක් අඩු බවින් පෙනුනද අරවින්ද සැබෙවින්ම හාෆ් සෙන්චරියේ අග එල්ලී සිටින්නෙකි, ඔහු පෙනුමෙන් සුදු මැලි ය.. රිටක් සේ උස බටහිර චිත්‍රපටවල එන ගොපල්ලෙකු [Cow Boy]බඳු ඔහු ඉන් වෙනස් වෙන්නේ නිතර අත රැඳි ස්මාර්ට් ෆෝනය, අපිලිවෙලට යටකල කමිසය සහ එයටම ගැලපෙන හමගිය ඩෙනිම, බොකුටු කොණ්ඩය, නිතර පළඳින ගීක් උපැස් යුවළ සහ බාගෙට කැපූ රැවුල වැනි වූ අරවින්දට ම ආවේණික හඳුණා ගන්නා ලක්ෂණ නිසාවෙනි.
ඔහුගේ මේ අනිසි කලබලය සංස්කාරකතුමාගේ මුවට නිති සිනහා නංවන නමුදු ඒ සිර කරගෙන අරවින්ද වෙතට හැරිණ.
මොනවද මේ දාලා තියෙන කවි?
මේවා කවිද?
ලියන්න දෙයක් නැති කමට ලියලා තියෙනවා කියලයි මට නං හිතෙන්නේ..,
අරවින්ද ඔයා මේ සඟරාවේ වගකීමක් දරන කර්තෘ කෙනෙක්, එහෙව් එකේ මෙහෙම එක එකා ලියලා එවන මේ වගේ පල් හෑලි දාන්න එපා මේකට.., එහෙම උනොත් අර ෆේස් බුක් එකෙයි මේකෙයි වෙනසක් නැති වෙයි.
කවියක් උනාම අර්ථයක් තියෙන්නේ ඕනේ එළිසමය එළිවැට ගලපන්න හැකිවෙන්නේ ඕනේ
ඒ ඔක්කෝටම වඩා අර්ථයක් තියෙන්න ඕනේ.. ඒත් මෙහෙම උනාම ඔටුවන්ටත් කවි ලියන්න පුලුවන්නේ..,
තාලයක් නෑ රාමුවක් නෑ, පද බෙදීමක් නෑ, තේරුමක් නෑ.
අනේ මන්දා..,
හා අරවින්දම කියන්න මා කියන එක වැරදිද හා??

නෑ සර් වැරදිම නෑ.
ඒත් මේ දැම්මෙත් තොරලාමයි.
සතියකට කීදාහක් නං එනවද කවි කියලාම..,
ප්‍රේමා මිස් කරන්නේ ඒ ලියුම් කඩන්නෙත් නැතුව මගේ මේසෙට එවන එකයි..,
ලියුම් හාරපන්දාහකින් කවි විසිපහක් තෝරනවා කියන එක ලේසි පාසු වැඩක් නෙවෙයි සර්.
සර්ම දන්නවානේ ඒ ඩ්‍රිල් එකකටත් වඩා වෙනම ප්‍රොජෙක්ට් එකක් වන බව...

මම ඒක නොදන්නවා නෙවෙයි.
ඒක කරන්න මට පස්සේ ඉන්න හොඳම කෙනා අරවින්ද බව මම දන්න නිසා තමා මේ වැඩේ අරවින්දටම මම බාර දුන්නේ.
ර කවි සංගං වලින් එක දිගටම කවි එනකොට  හැමදාම ඒවා දැම්ම ම කියවන අයට ඒකාකාරී වෙන නිසා තමා පත්තරේ දැන්වීමක් දාලා පාඨක කවි දාමු කියලා කිව්වේ...,
ඒක වැරදුනේ නෑනේ, දැනටත් වැඩිම ඇඩ්ස් තියෙන්නේ ඒ පිටු දෙකටනේ.
එහෙම නේද?
 අරවින්ද සංස්කාරක තුමා දෙස බලා සිටියේ විමතියෙනි.
ඒත් සර් මේ කවි..

අ..අ..අ..!
තව එක වචනයක් කතා කරන්න එපා අරවින්ද,
අරවින්දම දන්නවා නේ අරවින්දට කවිපිටුව බලාගන්න දුන්නේ ඒ ගැන හොඳ විශ්වාසේ තියලා කරගෙන යන බවට වෙච්චි මගේ හිතේ තියෙන ෂුවර් එක නිසා කියලා,
ඉතින් ඒ විශ්වාසේ කඩා ගන්න එපා,
මම නැති කාලෙකත් මේ සඟරාව තියෙන්නේ ඕන,
ඔයාලව මම මේ පුහුණු කරන්නේ අන්න ඒ තැනට එන්න තේරුනාද?

ඔව් සර් ඒත්...

ඒත් මේත් කියලා වෙච්චි දේට නිදහසට කාරණා කියවන්න හදන්නෙපා අරවින්ද, 

ඔයා ඔය කරන්න හදන්නේ මගේ යකා අවුස්සන වැඩක්. 
මොකද මම කැමති නෑ මා කතා කරනකොට මැදට පනින බොරු පණ්ඩිතයින්ට.
අරවින්ද කියන්න හැදු දේ එක වරම ගිලගත්තේ ය.
මේ මෝඩ පෝතකයාට කියා පලක් නැති වග අරවින්දට දැන් දැන් වැටහී යමින් පවතී.., මීට පෑ දෙකකට පෙර අහසේ සිට හේමලයා පෑගෙන්නට අව්ව දුන් රවී අවරට යන්නට තනන්නේ සිය වැඩ කොටස අදට අවසන් බව පවසන්නට මෙනි. අරවින්ද සයිඩ් බෑගයට ඉතුරු වූ කොල සියල්ල දමා ගත්තේ කාර්යාලයෙන් ඉවතට යන අතරමඟ තවත් ලිපි කිහිපයකට ම තොරතුරු ගන්නට ඒ ඒ තැන් වලට වේලාසනින් යායුතු නිසා ය.
අතපසුවීමකින් අවසාන කොලය මේසය මතට වැටුන සැනින් ඒ දුටු අරවින්ද කොලය අහුලා සිය පැසට ඔබාගන්නට සදනාවිට ඇස් කොණකට මීට දින කීපයකට පෙර "ඈ" ගෙන් ඉල්ලාගත් ඡායාරූපය ඇසට හසුවිය,
පුදුමයක් නෑ අර කෙල්ල අරෙහෙම දුක් විඳින එක....
දුරකතනයට ආ කෙටි පණිවුඩයක් නද දෙනු දැක ඒ අතට ගත් අරවින්ද, තිරයේ වූ දෑ දැක මුවගට සිනහවක් නඟාගන්නට විය.
Ain't no one in my place to night, If you''re free, Hop in..
තිබූ හදිසිය දෙගුණ තෙගුණ වී අරවින්ද කාටත් හොරා අඩවන් කර තිබූ දොරෙන් කාර්යාලයෙන් එළියට පනින විටත් සංස්කාරක තුමා සිටියේ මේසයට හිස ඔබාගෙන කුමක්දෝ ලියමිනි.
අරවින්ද හඬක් නොනැගෙන සේ දොර වසා දැමීය.

රාත්‍රී ආහාරයෙන් පසු "මධූ" හා සයනයේදීත් අරවින්දට, අද සිටින්නේ වෙනදා තමා පැමිණි පසුව නොනවත්වා සිනහා සලන මධූ නොවන වග දැනුනේ නිරායාසයෙනි. කැරලි වූ කෙහෙරැල්ලින් ආවරණය වූ කන් පෙත්ත මත හාදු තැවරූ අරවින්ද, මධූව තමාගේ පැත්තට හරවා ගත්තේ ය.
මොකෝ ඔයා බර කල්පනාවක වගේ??
මම?
ඔව්?
අද ඩිනර් එකේදීත් එහෙමයි, හිතට ඔච්චරම වද දෙනවා නම් කරන්න තියෙන්නේ ශෙයා කරගන්නා එක නේද?

you can tell me anything n you know that.
අපි එක්නෙකාට අමුත්තෝ නෙවෙයි නේ.
මොකෝ අම්මා ආපහු ලෙඩ වෙලා ද?
නෑ අරවින්ද, එහෙම එකක් නෙවෙයි, අපේ මහත්තයා ගැන.,
what about'em?
ඉස්සර වගේ නෙවෙයි අරවින්ද, දැන් එයාට පොඩ්ඩ බැරි වෙන්න බෑ තරහා යනවා.
සමහර වෙලාට මම දෙන ටී එක වත් නොබීයි යන්නේ..,
දවල්ට කෝල් එකක් නෑ, හවසට කෑමට එනවද කියලා අහන්න කෝල් කරනකොට ආන්සර් කරන්නේ නෑ.
අනේ මන්දා මෙයාට මොනා වෙලාද කියලා..,
ඔයාගෙන් ඩිවෝස් උනට පස්සේ මම හිතාගෙන හිටියේ අම්මලත් එක්ක ඉන්න නේ..,
ඒත් එයාම මාව අහගෙන මගේ පස්සෙන් එනකොට එනකොට, කරන්න දෙයක් නැති කමටයි මම කැමති උනේ..,

හ්ම්.., දන්නවා ඒක.
අද මම කෝල් කරලා එනවද කියලා අහන්න කෝල් කලාම එක පාරට කට් කරලා ෆෝන් එක ඕෆ් කරලා.,
මම කොහොමද මෙහෙම ජීවත් වෙන්නේ අරවින්ද?
වෙලාවකට හිතෙනවා වහ ටිකක් බීලා මැරෙන්න..
නිරායාසයෙන්ම ඇස් කෙවෙණි තුලින් ගලා කම්මුල් දිගේ පහලට බට කඳුලු රාත්‍රී නිදි ගවුමේ පදාස තෙත් කරන්නට විය.
මැරෙනවා කියන එක උත්තරේ නම් ඔයාට වහ බෝතලයක් මුලින් ම ගෙනල්ල දෙන්නේ මම.
ඒත් එහෙම කලා කියලා කිසිම දෙයක් විසඳෙන්නේ නෑ නේද මධූ?
ඔයා මාත් එක්ක ඉඳපු කාලේ ආපු කරදර වලට උත්තර හෙව්වේ අපි දෙන්නම කතා කරලා..,
මතකද?
මධූ උත්තර දුන්නේ හිස වැනීමෙනි.
ඉතින් ඒ වගේ එයා කූල් එකේ ඉන්න වෙලාවක් බලලා පොඩ්ඩක් ස්මූත්ලී පොඩි ට්‍රීට් එකක් එහෙම දීලා කතාවට අල්ලගෙන එයා එක්ක කතා කරන්න, සමහර විට එයාට මොනා හරි ඔෆිස් එකේ ප්‍රශ්ණ තියෙනවද කියලා කවුද දන්නේ?
ඕන මිනිහෙක් ආසයි තමන්ගේ වයිෆ් ආදරෙන් ළඟට වෙලා කතා කරමින් ඉඳලා ඕනම ගැටලුවකට සොලූශන් හොයන්න.
එයත් එහෙම වෙයි..

හ්ම්ම් බලමුකෝ..,
එයා ඔයා වගේ ෆ්ලෙක්සිබල් නෑ අරවින්ද..,
ඒ රූඩ් ගතිය මට තේරුනේ බැන්දට පස්සේ..
අනික මේ ඔක්කොටම හේතුව වෙන කතන්දරයක් අරවින්ද...
අරවින්ද දෑස පියාගත්තේය..
ආදරය කල දෑත වෙන එකෙකු හා සරණ බැඳ, යහන්ගත වූ කල ඒ දැකීම ඉවසන්නට බැරිව තමාගේ අතීත වැලි තලාවේ වැළලී ඈ පිළිබඳ වූ සිය පෙම අද වන විට නිත‍්‍යානුකූල සැමියා තනතුරින් මිදී "හොරමිනිහා" නම් කුප්‍රකට තනතුර හොබවන්නට වූ විට අරවින්ද ගේ අවර පසට ඒ ගැන සතුටක් වුවත්, යහ පසට, මනස
දුකින් පුරවාලන නිමිත්තක් විය.

    මඳ විවෘතව තිබූ ජනේලය හරහා හිමිදීරියේ ලා හිරු එබිකම් කලේද අරවින්ද අවදි වූවේද එකටම ය. සිය පොරෝනය ගත දවටාගෙන උරහිසට හේත්තු වී නිදන මධූ දැක මෙයට වසර කීපයකට පෙර අතීතය මතකයට නගන්නට උත්සහ කලද, ඊට පෙර සිය දුරකතනයේ සීනුව නද දෙන්නට වූයේ "දැන් හිටියා ඇති ඔෆිස් යන්න ලෑස්ති වෙයන්" කියන්නාක් මෙනි..

---- ---- ----

අරවින්ද කාර්යාලයට එන විටත් කාර්යාල සහයක සුන්දරම් පාන්දරම  කාර්යාලයේ දොරටු හැර අවසානය..
අන්න ලොකු සර්,  අරවින්ද මහත්තයා එනකම් බලා ඉන්නවා.., 
ඊයේ රෑ දවසම වැඩ. ලොකුසර්ට හරි අප්සෙට් ඊයේ අරවින්ද මහත්තයාට කෑ ගහපු එකට, 
මම උදේ තේක දෙන්න ආවම ලොකු සර් මේසේට ඔලුව තියාගන නිදි, 
මම ඇහැරවන්නේ නැතුව යන්න හැදුවම මට කතා කරලා ඇහුවා අරවින්ද මහත්තයා ආවද කියලා...,

ඉතින් තමුසේ මොකෝ කිව්වේ?

මම මොනා කියන්නද ? මම නෑ කිව්වා. පස්සේ මට කිව්වා අරවින්ද මහත්තයා ආව ගමන්ම ලොකුසර්ගේ කැබින් එකට එන්නය කියලා කියන්නය කියලා.

හුම් ඒකත් එහෙමද? මොකෝ දන්නෑ
අරවින්ද කාමරයට යනවිටත් සංස්කාරක තුමා කුමක්දෝ ලියමින් සිටිනවා දැකීය. මුලු රැයක් පුරා නිදිවරා ලියු බොහෝදේ ගුලිවූ කොල ලෙස මේසය වටේ විසුරුවා හැර ඇති බවත්, මේසය මත කොල 200 පමණ බන්ඩලයකුත් ඊට අමතරව අවුල් වූ හිසකේ සහිතව පොඩි වූ කමිසය සහ නාස තුඩින් වැක්කෙරෙන්නට ඔන්න මෙන්න තිබෙන්නා වූ කණ්නාඩිය ද රඳවාගෙන සිටි හේ, එකවරම හිස ඔසවා අරවින්ද දෙස බැලීය,
ආහ්
අරවින්ද එන්න වාඩි වෙන්න

මට සමාවෙන්න අරවින්ද
මම ඊයේ ගොඩක් ටෙන්ෂන් එකෙන් හිටියේ,
මම ඒ ප්‍රේෂර් එක යැව්වේ අරවින්ද පිටින්..,
ෆොර්ගිව් මී ප්ලීස්..!


අනේ සර් එකට මක් වෙනවද මම එහෙම ඕවා මතක තියා ඉන්න කෙනෙක් නෙවෙයි සර්..,
ඒ ගැන හිතන්න එපා..,
අරවින්දගෙන් මම පර්සනල් මැටර් එකක් අහන්නද?

අහන්න සර්?

අරවින්ද මැරීඩ් ද?

ඩිවෝස් වෙලා ඉන්නේ සර්.., ඒක දිග කතාවක්..,

හ්ම් මගේ කතාවත් ටිකක්
එහෙමයි, රස්සාව ගැන හිත යොමු කරලා, ජීවිතේ හදාගන්න උත්සහ කලා, ජීවිත හදාගෙන ගෑණියෙක් ගන්න බලනකොට මට ඒකට වයස වැඩියි.
පස්සේ මම බැන්දෙත් ඩිවෝස්ඩ් ලේඩි කෙනෙක්ව.,
මගේ තනිකම මකාගන්න.
ඒත් එහෙම කලාට ම ඒ තීරණේත් අවුල් කියලා හිතෙනවා,
කසාද බැන්දට මොකෝ අරවින්ද මේ ලයිෆ් එක ඇතුලේ පොඩි පොඩි අවුල් තියෙනවා,
ඒක තමා මෙච්චර මම ටෙන්ෂන් එකෙන් ඉන්නේ.
පවුල් ජීවිතේක තියෙන්නේ ඕනේ ප්‍රධානම දේ අවංක කමයි අරවින්ද, එක්කෙනෙක් හරි ඊට පිටු පානවා නම් එතන ජීවිතයක් නෑ..., නිකමට හිතන්න තමන්ගේ පාට්නර්ගේ කලින් මැරේජ් එකේදී කාවද බැන්දේ කියලා නොදන්න හස්බන්ඩ් කෙනෙක් ඉන්න පුලුවන්ද අරවින්ද? 
හ්ම්ම්
කරුමේ කියන්නේ අරවින්ද මම තනිකම මකාගන්න කසාදයක් කරගත්තට අපේ පවුලට තෙවැන්නෙක් ඕන බව තේරුනා ටික කාලෙකින් ම.
මගේ වයස එක්කලා තියෙන ප්‍රස්නේ එක්ක තියෙන එක දුක දරුවෙක් නැති එක.

ඉතින් සර් ඕෆනේජ් එකකින් දරුවෙක් ව හදාගන්න ගන්න ඇහැකිනේ?

බෑ අරවින්ද මට ඕන මගේම ලෙයින් උපන් දරුවෙක්.. විජේවර්ධන නම ගෙනියන්න පුලුවන් මගේම ලෙයින් උපන්න දරුවෙක්..,

මේවා මෙහෙම කතා කරන්න බෑ අරවින්ද.., දැන් යන්න ඔයාගේ කැබින් එකට අපි
හවසක අපේ ගෙදරදී හමුවෙමු..,
අපි ඩ්‍රින්ක් එක්ක් එහෙම දාගෙන කතා කරමු..

අරවින්ද කිසිත් නොකියාම කාමරයෙන් පිටවිය.
මේසය අසලට වී පෙරදින බෑගයට ඔබාගත් කොලමිට දිගහරිමින් අරවින්දගේ මතකය පෙරදින රාත්‍රියේ සයනය වෙතට හැරෙන්නට විය.. වෙනදා නුරා කෙඳිරුම්, ප්‍රේම ආලප් වලින් පිරි ඒ සයනය ඊයේ පිරී තිබූයේ අරවින්ද හා එකට සයනය බෙදාගත් ඒ කාන්තාවගේ සෝ දුක් රිසි සේ ගලන්නට ඉඩ දුන් පාදමක් ලෙසය.
එයා ඔයා වගේ ෆ්ලෙක්සිබල් නෑ අරවින්ද..,
ඒ රූඩ් ගතිය මට තේරුනේ බැන්දට පස්සේ..
අනික මේ ඔක්කොටම හේතුව වෙන කතන්දරයක් අරවින්ද...

ඉතින් මොකද්ද එයා එහෙම වෙන්න හේතුව?
මට දරුවෝ නෑලු එයා කොච්චර උත්සහ කලත් මගෙන් කිසි රෙස්පොන්ස් එකක් නෑලු

ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්න ගියේ නැද්ද?

ගියා..,
ඒ අය කියන්නේ මෙයාගේ වයස නිසා මෙහෙම ගැටලු එන්න පුලුවන් කියලා..,
ඒත් එයා හිතන්නේ ඒක මගේ වරදක් කියලා..,
ඒකේ පලිය ගන්නේ මගෙන් මේවගේ වැඩ කරලා..,

හ්ම්ම්...

මම මොනා කරන්නද අරවින්ද?
මට ඔයා වගේ මනුස්සයෙක් කසාද බැඳලාත් ඉන්න බැරි උනා නම් මෙයා ගැන මොන කතාද?
මම හරි පවු කාරියක් අප්පා,
මේ ජීවිතේ මහ කරුමයක්
 විජේවර්ධනගේ ජීවිතය සබැඳි හුය පිළිබඳව අරවින්ද මුල සිටම දැනෙගෙන සිටියද, විජේවර්ධනගෙන් මේ හෙළිදරව්ව වන තුරු මේ ගැන කිසිවක් ම දැන සිටියේ නැති. මේ උභතෝකෝටිකය ගැන ඇති ගැටලුව තුල දෙපසම සමබර කරන්නට තමා වෙතින් වියයුතු යුතුකම කුමක්දැයි අරවින්ද ගේ මොළයට දැනෙමින් නොදැනෙමින් තිබුණද, ඒ පිළිබඳ අවසාන නිගමනයකට එන්නට තමා වේලාසන වැඩි යැයි අරවින්දට සිතුනු වාර ගණන අනන්තය. සත්‍ය වශයෙන්ම අරවින්දගේ විඳුමට ගියහොත්, හදිසියේ හෝ විජේරත්න ඒ පිළිබඳව දැනගතහොත් ලැබෙන ප්‍රතිචාරය කෙබඳුදැයි අරවින්ද නොදැන සිටියේය.
සර් ඔලුව කැක්කුමද? පැනඩෝල් දෙකක් දෙන්නද?
තමාට පිටුපසින් ඇසුන සුන්දරම්ගේ හඬ නිසා හිස එසවූ අරවින්ද සුන්දරම් දෙසට හැරෙන්නට වන.
යමුද ප්ලේන්ටියක් ගහන්න?
යමු.
සුන්දරම් අරවින්දගේ පසුපසින් වැටින.
ප්ලේන්ටි දෙකයි වඩේ 4යි..
අරවින්ද මිල ගෙවා අවසාන වන විටත් සුන්දරම් වඩේ තැටිය සහ ප්ලේන්ටි දෙක රැගෙන මේසය මතින් තබා අවසාන ය.
සුන්දරම් උඹ බැඳලද?
ඔව් සර් අවුරුදු 4ක් විතර

බබාලා?
දෙන්නෙක් ඉන්නවා සර්

හ්ම්ම්..,

ඇ..ඇයි සර්..?

නෑ පොඩි අදහසක් දැනගන්න?

කියන්ඩ සර්, තේරෙන දේකට නං හෙල්ප් දෙන්නා.

දැන් මේම හිතපන්.
උඹ කෙල්ලෙක්ට ලවු කරනවා, කාලයක් යනකොට උඹේ ලවු එකට කෙල වෙලා, ඒ කෙල්ල වෙන මිනිහෙක් කසාද
බඳිනවා,
ඒත් උඹ
කෙල්ලව ආස්සරේ කරනවා,
අවුලක් තියෙනවා කෙල්ලට,
ඒක තමා.., මිනිහගෙන් කෙල්ලට ලමයි නෑ.
තනි අවුල,,
මිනිහා හිතන්නේ කෙල්ලගේ අවුලක් කියලා.
කෙල්ල හිතන්නේ මිනිහගේ අවුලක් කියලා.
කෙල්ල මේ සීන් එක උඹට කිය කිය අඬනවා,
උඹ මොකෝ කරන්නේ?
මම වෙන මොකෝ කරන්නද මහත්තයා
ගෑණිට කියනවා මිනිහව ඩිවෝස් කරන්න කියලා..,

එතකොට සුන්දරම්, අර මිනිහා පවු නැද්ද?

ඒත් මහත්තයා මිනිහට ළමයි හදන්න බැරිනං අර ගෑණිටනේ සමාජෙන් සෝලි වැටෙන්නේ..?

හ්ම් ඒකත් එහෙමද?

ඇයි මහත්තයා එහෙම ඇහුවේ එකපාරටම?

නෑහ් නිකං
සුන්දරම් නොඉවසිලිමත් ය. අරවින්දගේ සිතේ කුමක් හෝ වද දෙන බව සුන්දරම්, අරවින්දගේ අතැඟිළි තේ කෝප්පයේ රාමුව වටා පිරිමැදෙන ආකාරයෙන් දනී. අවසානයේ කිසිවක් නොකියාම අරවින්ද නැගී සිටියේය.
අපි යමු.., කරන්න වැඩ ගොඩ ගැහිලා...!
තමන්ට ඇති වැඩ ගැන කිසිදා කා හටවත් චෝදනා නොකරන අරවින්ද ගෙන් මීට විනාඩි කිහිපයකට පෙර එසේ ඇසුවේ ඇයි දැයි කියා අසන්නට සුන්දරම්ට උවමනා වුව, ඔහු ඒ කිසිවක් නොඅසා ම අරවින්ද පසුපසින් වැටිණ.
ගෙවී ගිය කාලය තුල සඟරාවේ ඉදිරි කලාපයේ වැඩ අතර සිරවී සිටි අරවින්දට මධූ හා ගෙවූ කාලය සහ වර්තමානය අතර පරතරය සති දෙකක්ට වඩා වැඩි වුව, ඒ බව එතරම් නොදැනුනේ අරවින්දගේ වැඩ වල හිරවීම ඉතා ඉහල වූ නිසා වෙනි. කිහිපවාරයක් මධූගෙන් අරවින්දට ඇමතුම් ලැබුනද ඒවාට උත්තර දෙන්නට ලද අවස්ථා කුමනාකාරයකින් හෝ අතහැරීම නිසා මේ දැනීම තවත් අඩු විය.
නිවාඩු පාඩුවේ හෙමීට කෝල් එකක් දෙනවා..
අරවින්ද එක් දිනයක දෙකක එසේ සිතුවද, ඒ ඇමතුම, මධූගෙන් කෙටි පණිවුඩයක් අරවින්දට ලැබෙන තුරුම සිහිණයක් විය.. වැඩ කරන දවසක කෑම පැයට ස්වල්ප වේලාවකට ඉහතදී ආ ඒ කෙටි පණිවුඩය මධූගෙන් වීම අරවින්දට පුදුමයක් නොවුනද එහි ඈ ලියා තිබූ දේ ගැන ඇතිවූයේ පුදුමයකි..
Thanks a lot my love...
හදිසියේ තමාට ස්තූති කර එවා තිබූයේ කුමක් නිසාදැයි ඇසීමට අරවින්ද සිය ජංගම දුරකතනයෙන් මධූට ඇමතුමක් ගන්නට විය..
අරවින්ද මහත්තයා, අන්න ලොකු සර් මහත්තයාට එන්න කිව්වා,, හදිස්සියක්ලු, දැන්ම ම එන්න කිව්වා..,
සුන්දරම් කලබලයකින් මෙන් දිවැවිත් කියූ දේ නිසා මධූට ගත් ඇමතුම විසන්ධි කර සංස්කාරක තුමාගේ කාමරයට අරවින්ද යන්නට විය.
අරවින්ද එන්න එන්න.

ඔව් සර්, හදිස්සීයක්ද?

නෑ හදිස්සියක්මත් නෙවෙයි.
පොඩි ආරංචියක් කියන්න. හිත හොඳ මනුස්සයෙක්ට මේක මට මුලින්ම කියන්න ඕනේ උනා.., ඒකයි..,

කියන්න සර්, ඕනෑ දෙයක් කියන්න..,

අරවින්ද මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ..,
මගේ වයිෆ් දැන් මට කෝල් කරලා කිව්වේ..,
අරවින්ද දන්නවා නේ මම මේ ගැන මොන තරම් දුක් වෙවීද හිටිය කියලා..,
අන්තිමටම දෙයියෝ මට නිවැරදිම උත්තරේ දීලා තියෙනවා..,
දිලිසෙන නෙතින් යුතුව පියෙකුගේ බරසාර බව නෙතින් දරන්නට පේවී සිටිනා අහිංසක පියෙකුගේ ඡායා සංස්කාරක තුමා වෙතින් දිස්විය..

මගේ උණුසුම් සුභ පැතුම් සර්.., නිවැරදි මිනිස්සුන්ට දෙයියෝ වැරදි කරන්නේ නෑ..

ඒක හරියටම හරි අරවින්ද..,
අරවින්ද මම දැන් එන්නැයි කීවේ,
මම ඔෆිස් එකෙන් යනවා එතකම් මේ වැඩ ටික පොඩ්ඩක් බලාගන්න පුලුවන්ද?

හරි සර්..,

තෑංක්ස් අරවින්ද තෑංක්ස් වෙරි මච්..!
සංස්කාරකතුමා පිටව ගියපසු සිය කාමරයට පැමිණි අරවින්ද..,
මධූ ගේ කෙටි පණිවුඩයට පිළිතුරු කෙටුවේ සියුම් මඳහසකින් යුතුව ය.
You're Welcome :)

Comments

  1. බොහොම අගෙයි මචං..බොහොම හිතගත්ත කතාවක්..මම මේ රටාවට බොහොම කැමතියි.මම අනුගමනය නොකරපු රටාවක්.ඒක නිසා තවත් කැමතියි

    ReplyDelete
  2. නෝ කමෙන්ට්ස්. නියමයි.

    ReplyDelete
  3. රසයි රසයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අටම් අයියා

      Delete
  4. කාලෙකින් ලිශාන් අයියාගෙන් මේ වගේ කතාවක් කියෙව්වේ. මිනිස්සුන්ගේ සංකීර්ණ මනෝභාවයන් හරි විදිහට පිළිවෙලකට එකතුකරගන්න පුළුවන් උනාම ඒක ඉතාම හොඳ නිර්මාණයක් වෙනවා කියලයි මට හිතෙන්නේ. මේ කතාව ම ඒකට හොඳ උදාහරණයක්!

    ReplyDelete
    Replies
    1. මේක ලියලා හය පාරක් විතර ආපහු ආපහු කියවලා.., දෙපාරක් විතර රී රයිට් කරලා තමා මෙහෙම දැම්මේ.., අවංකවම කියන්නම් පූසා.., කතාවේ අවසානය ගැන මම අතෘප්තිමත්..,
      දන්නේ නෑ මොකද්ද හේතුව කියලා.., මොකද්දෝ අඩුවක් දැනෙනවා මට..

      Delete
  5. ප්‍රස්න ගොඩකට
    විසඳුම
    'ඉස්ගෙඩියා'ගෙන්
    :-)

    ReplyDelete
    Replies
    1. සිම්පල් ප්ලෑන් එකක් ;)

      Delete
  6. අවසන් විසඳුම(ද)!!!

    ReplyDelete
  7. මේ කාලෙ වෙද්දි බ්ලොග් එකකට කමෙන්ට් එකක් දාන එකත් හෙණ කම්මැලි වැඩක් වෙලා.

    මේ කතාව අවසානෙදි අපට කියන්න දෙයක් ඉතිරි වෙන්නෙත් නෑ. සර්කිට් එක ක්ලෝස් වෙනව සම්පූර්ණයෙන්.

    හැබැයි කතාව එතනින් ඉවර වෙන්නෙ නෑ කියල අන්තිමට දීල තියෙන ඉඟිය භයානකයි!

    ReplyDelete
    Replies
    1. //--හැබැයි කතාව එතනින් ඉවර වෙන්නෙ නෑ කියල අන්තිමට දීල තියෙන ඉඟිය භයානකයි!--//

      කතාව ආවෘත කරන්න ගියාම සමහර කොටස් මඟ ඇරෙනවා.., ඒත් භයානක ඉඟි දෙන්න මමගත්තු උත්සහය තවත් ටිකක්..! වැඩි කරන්න තිබ්බා.., මට ඒක තේරුනේ මේක ආපහු කියෙව්වම..

      Delete
  8. අරවින්ද මෙහෙම කරන්න පෙලඹුනේ ඇයි..සංස්කාරකගේ රසංඥතාවයට හිනාවෙන්නද?
    හ්ම්..විසඳුමක් කියලා හිතුනට මට නම් දැනේනේ ප්‍රශ්න ගොඩක් කියලා..!!

    ReplyDelete
    Replies
    1. වෙන්න පුලුවන්.., අපි විසඳු කියලා හිතන ගොඩක් දේවල් කවදාවත් විසඳුම් වෙන්නේ නෑ රූ.. ඒවා අපේ ජීවිතේ කියන බෝට්ටුවේ ගැටලු කියන වතුර එනවට ගහපු තාවකාලික ඇබ විතරයි..! කවදාහරි ඉන් එකක් හරි ගැලවුනොත් අපි ගිලෙන්නේ ඒ මතින්මයි..!
      කඩුව උඩ ගමන් පරිස්සමට කියන්නේ නිකං යැයි..!

      Delete

Post a Comment