දඩයක්කරුවා ගසේ කරුව අතුරින් තුවක්කුව තබා ගත්තේය.., හේ නිහඬ ය, විමසිලිමත් ය, අවට පරිසරයේ වෙන හැම වෙනසකට සිය ඉන්ද්‍රීයන් සංවේදනය වන බව දඩයක්කරුවා දනිතත්.., තමා සිටිනා ගසේ ඉහත්තාවෙන් අයියානායක දෙවියන් වෙතට පිදූ රුක්අත්තන අත්ත තවම තිබේදැයි වෙඩිලන්නට ප්‍රථම දැනගන්නට මෙන් දඩයක්කරුවා හිස ඔසවා ගස දෙස බැලුවේය.
"දෙයියෝ මාව ආරස්සා කොරනවා"
ගැඹුරු හුස්මක් පහතට හරිමින් දඩයක්කරුවා සිතීය. ගස මතට වී සිටින්නට තවමත් කල් වෙලාසන වූවත් වේලාවට කලින් තම ඉලක්කය සරි කරගන්නා දඩයක්කාරතෙමේ සියල්ල පරිපූර්ණව සාර්ථක දඩයමකට සියල්ල ලැහැස්තිදැයි නැවතත් පරික්ෂා කරන්නට මෙන් මුලසිට සියල්ල පිරික්සන්නට පටන් ගති.
අදවත් දඩයමක් කරගෙන එන්න බලන්ට,
අපුච්චාගේ ඉලව්ගෙදෙට්ට ගත්ත කාසිවලට තෝරමල්ලිනානාට තවමත් මං මුදලක් ණයයි..,
ඒ  ටික දෙන්න බැරි උනොත් මට වෙන්න ඌ එක්ක ඒ හිලව්වට නිදිවදින්න..,
මම ඒම කොරන්ට ආස නෑ දෙයියෝ,
අයියනායක දෙයියන්ගේ පිහිටෙන් අදවත් සතෙක් එලාගන්ට බලන්ට..,
පැලෙන් තුවක්කුවද රැගෙන පිටවෙන්ට කලින් දෙපා වැඳි සිය බිරිඳ වූ "අසා" සිය දෙපාමුල රැඳී කියූ දේ දඩයක්කරුවාගේ හිතේ නටන්නට වන්නේ, කන්ද ඉහත්තාවේ පිහිටි යෝධ රුක් අත්තන ගසට නැගුණේ වෙන කිසිඳු විසඳුමක් නොවූ තැන ය. දඩයක්කාරයාගේ ජීවිතයේ වටිනාම වස්තු දෙකකි. එකක් පිය උරුමයෙන් තමන්ට ලැබි තුවක්කුවය. අනෙක පිය උරුමයෙන් ලැබුණු තුවක්කුව උරුක් කර නිවසින් බලෙන් පන්නගෙන ආ "අසා" ය.
මස් මරන එවුන්ට දෙන්න මේ පැලේ කෙල්ලෝ නෑ.., තෝ ආ අතක් බලාගෙන පල..,
හැරමිට්ට උරුක් කර තමා වෙතට බිනූ මහල්ලා වෙතට කිසිදු හිතක් පපුවක් නැතිව තුවක්කුව උරුක් කර බලහත්කාරයෙන් අසාව කැන්දගෙන ආ හැටි මතක් වෙද්දී දඩයක්කාරයාගේ මුවඟට නැගෙන්නේ සිනහවකි.
මට තොගේ නාකියට මොල කෑලි යන්න තියන්න පුලුවන් අම්මපා.., ඒත් මම එහෙම කරන්නේ නෑ,
මං තොට‍ මනාප නිසා..,
අම්මා අප්පලගේ වටිනාකමක් මම දන්නේ නෑ බොල,
මාව වදලා අපේ අම්මා වැදූගෙයි සන්නියෙන්ම මියෑදිලා,
කිරි අම්මා තමා මයේ අම්ම උනේ..,
තුවක්කුව අරන් අපේ අපුච්චා කැලේ යද්දී ඌරෙක් හදිගැහිලා බඩ හංකඩේ ඉරෙන්නම අඟෙං පාර දීලා..,
එහෙම තමා මයේ අම්මා අප්පා දෙන්නම මියෑදුනේ..,
මම තොගේ මහ එකාව තොලොංචි කරලා තෝව ඇන්න ආවොත් තෝත් මං වගේම අනාත එකෙක් වෙනවා,
උඹ මට ඇත්තටම මනාප නං මා එක්ක වර. අයියනායක දෙයියං පල්ලා මම උඹව ආරස්සා කොරනවා, මයේ ඉසේ පණ අති තුරාවට..,
මං මූට මනාපයි අපුච්චා..,
මට මහ ලොකු ආරච්චි පුත්තුන්ගෙං කාරි නෑ.
මං යනවා මූ එක්ක..!
එවකට සොළොස් වියවත් සපුරා නැති අසා, නමක් ගමක් නොදත් තමා සමඟ ආ හැටි මතක් වී දඩයක්කාරයාගේ සිතේ අසා ගැන ඉපැදුනේ නොසිඳෙන සෙනෙහසකි. 
අසා තමා සමඟ කරකාර විත් දෙවසරකට පමණ පසු අසාගේ අපුච්චා මියගියේ ලේ මාපිලෙකු දෂ්ඨ කිරීමෙනි.
සේතුං පිල්කඩේ ඇලවෙලා ඉන්න වෙලාවේ තමා මේක වෙලා තියෙන්නේ..,
පැලේ වහලේ දිගේ එල්ලිච්චි මාපිලා සේතුංගේ පපුතුරටමයි දස්ට කරලා තියෙන්නේ...,
දස්ට කොලාම විසට නින්ද යනවා, ඊට පස්සේ මාපිලා ලේ උරලා වහලෙන්ම කැලේට තොලොංචි වෙනවා.
මේක වෙලා ටික දොහක් වෙන්න ඇති, අපි සේතුවාගේ පැලෙන් සද්දයක් නැති නිසා,
පැලේ කුණු ගඳ ගහනකොට තමා ඇවිත් බැලුවේ..,
එතකොටත් වෙන්න ඕනේ හරිය වෙලා..!

අසාගේ පියා වල දැම්මේ මලගමක් නොමැතිවය.., එහෙත් හත්දොහේ දානයට දඩයක්කාරයා අත වූ මුදල නොසෑහුනු නිසා ඊට සහයට ආවේ නානා ය. වලත්තකමේ උපත ලෙස හැඳින්නූ ඇලෙන් එගොඩහේ හම්බවලානටම සිටි ධනවතා වූ තොරමල්ලි නානා ඇලහැර මැණික් වෙළඳාමෙන් සහ මුදල් අතමාරුවට දීමෙන් දිවිය සරු කරගත්තෙකි, බිරින්දෑවරුන් පස් දෙනෙකුට සැමියෙකු වූ නානා හට ඇලහැර ද තවත් පවුලක් සිටිනා බව රට්ටු කතා වෙනවා දඩයක්කාරයා ඇසී ඇත. එහෙත් අසාගේ අපුච්චාගේ මලගමට තමා අත වූ රුපියල් හතට මදිපාඩුව සපුරන්නට ඉතිරු රුපියල් තුන පංගාත්තු කරේ තොරමල්ලී නානා ය.
නානාට මං දඩයමක් එලාගත්තු ගමන් මුදල පියවන්නං..,
හදිස්සි නෑ හදිස්සි නෑ,
මම ළඟදී ඒ පැත්තේ ඇවිත් යන්නං කෝ..,
පිය වියෝවෙන් වැලපෙන අසා දෙස බලමින් නානා දඩයක්කාරයාට කී හැටි තවමත් මතකය.., 

දින කීපයකට පසුව ගංතුලානේදී
ඕන්න බලපන්, මසාගේ ගෑණිව මං සහේට ගත්තේ නැත්තං මං තොරමල්ලිනානා නොවෙයි
ලෙස කියනවා, දඩයක්කාරයාගේ කණට කාන්දු වූ වාර එමට ය.
වලත්තයා.., ඕකට මම
දඩයක්කාරයා තුවක්කුව වැරෙන් තද කරගන්නා විටම ඇසුනේ කොල අතු සැලෙන් හඬකි. වඩාත් විමසිලිමත්ව බැලූ කල දඩයක්කාරයා මෙතෙක් වෙලා බලා සිටි දඩයම තමා වෙතට එන බව හැගුනේය.

අසල වූ වල්ගසේ දලු කමින් සිටි පිරිපුන් සිරුර සහිත මේ සත්වයා එලා ගනිතොත් තමන්ට නානාගේ ණයෙන් බාගයකටත් වඩා ගෙවාදමන්නට හැකි බව මනසේ හොල්මන් කලේය.., දෙවරක් නොසිතූ දඩයක්කරු සත්වයාගේ හිස මානා කොකා ගැස්සුවේය. අතුණුබහන් සුද්ද කර මස් කඳ පැලට ගෙනියන්නට සිය ඉණෙහි වූ කිණිස්ස ඇදගත් දඩයක්කාරයා ගසෙන් පැන්නේ එක වරම ය.

නොසිතා තැබූ පය වැරදී යාම නිසා අත්ත පසු කර පහත වූ ගල් උලේ සිය දෙපරැන්ද වැදුන දඩයක්කාරයාට කිසිවත් සිතන්නටත් ප්‍රථම හිරිවැටුන යටිකයෙන් කුමක්දෝ උණු දියරයක් දෙපරැන්දෙන් ගලනවා දැනෙන්නට විය.., නිලංකාර වූ දෙනෙතින් කිසිවක් බලන්නට හැකියාවන් නැතිවුව උකු දියරින් පෙඟි සිය සරම අත ගෑමෙන් ඒ ගලන්නේ මොනවාදැයි ගලපාගන්නට දඩයක්කරයා උත්සහ දැරීය.

වෙඩි වැදි හිසින් යුතුව ගෝණ මව මරුවිකලෙන් දඟළනායුරු ඇසුන දඩයක්කරුට ඉන් පසුව රක්ත වූ දෑසින් දුටුවේ පණ අදින මව වටා ඉවලන කුඩා ගෝණ පැටවුන්ගේ සරසරයයි.

ඒ වන විටත් දරුවන්ගේ මවු අහිමි කල පවට බිරිඳට දාව සිය වර්ගයා බිහි කිරීමේ අයිතියද දඩයක්කාරයාට ස්වභාව ධර්මයා විසින් සදාකාලයට අහිමි කර අවසාන ය.

හිණ තුරේ වූ බුලත්පයියෙන් තමා සන්තක වූ අන්තිම මූණිස්සමත් තුවක්කුව දමාගත් දඩයක්කාරයා අවසන් වරට තමා දෙසට දෑස් යොමුකර සිටින ගෝණදෙනගේ සුවිසල් නිසල සිරුර දෙස බලා දෙනෙත් පියා ගති.
එවිටම නිකට යටට තුවක්කු මුව තැබූ දඩයක්කරයාගේ ඇඟිල්ල, තුවක්කුවේ කොකා පසුපසට කර අවසාන ය.
සෝරත හාමුදුරුවෝ පන්සලට වඩිනකොට හවස් යාමේ පහුවෙලා ගොම්මන වෙන්න මොහොතයි වගේ.., බෝමලුවේ සුදු ඇඳගෙන බොහෝම කල්පනාකාරීව මිදුල අමදින සැදැහැවත් බෞද්ධයෙක් දිහාවට සෝරත හාමුදුරුවන්ගේ ඇහැ ගියේ ඉබේට ම. සිවුරු පහුරු ලෙහලා පැන් සැනහීගෙන සුපුරුදු විදියට විහාර ගේ ඇතුලට යන්න ආවාසෙන් එළියට බැස්සේ එද්දී වගේ බෝමලුව දිහා ඇස් යොමාගෙන..,

කවදාවත් නැතිව මෙච්චර වෙලා මිනිහෙක් මිදුල අමදින්නේ.., ඇරත් මේ බෝමලුවේ..,
සෝරත හාමුදුරුවෝ තනිවම කියාගත්තා..,
කෝකටත් යමු බලන්ට..,

මහත්තයා...,
අපේ හාමුදුරුවනේ..,
අමුත්තා සෝරත හාමුදුරුවන් අස වැඳ වැටුණා.

මහත්තයා මේ අවේලාවේ..?

මම පන්සලට ආවේ ගොම්මන් වෙන්න කලින් අපේ හාමුදුරුවනේ..,

මහත්තයාව මම මීට කලින් පන්සලේදී දැකලා නෑ නෙව..,

ඔබ වහන්සේට තියා මට මාව දැකගන්නත් ලැබුණේ නෑ.., මට මාව පේන්න ගත්තේ වෙන්න තියෙන ලොකුම දේ වෙලා ඉවර උනාට පස්සේ අපේ හාමුදුරුවනේ..,

මම තකහනියක්ම ආවේ ඔබ වහන්සේව හමුවෙලා යන්න, මම අහලා තියෙනවා ඔබ වහන්සේගේ වචනෙකින් මිනිස්සු සීයක් උනත්

නිවන අවබෝධ කරගන්න ඇහැකි කියලා..,

ආ.. ඒ මහත්තයා මගෙන් ලාභ ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් මම බණට වඩින මාධ්‍ය ආයතන මා ගැන කියන කතා මහත්තයා.., මම චිත්ත උපදේශන කරනවා තමා මහත්තයා.., මට ඔබ තුමාට කරලා දෙන්න ඕන මට කොරන්නට ඇහැකි උදව්වක නං කොරලා දෙඥ්ඥා.. ඉතින් කියන්නකෝ මහත්තයා මගෙන් මොනවද වෙන්න ඕනේ??

මම රස්සාව කරන්නේ උසාවියේ අපේ හාමුදුරුවනේ.., වැරදිකාරයෝ නීතිය ඉදිරියට ගෙනල්ලා දඬුවම් දෙන්න වගේම වැරදි වලට දඬුවම් ලබන්නට උසාවි එන අහිංසකයෝත් නීතිය ඉස්සරහ නිවැරදි කාරයෝ කරලා තියෙනවා අපේ හාමුදුරුවනේ මම..,

ඒ කියන්නේ ඔබතුමා නඩුකාරයෙක්..,

සාමාන්‍ය ජීවිතය ඇතුලේ මිනිස්සු මාව අඳුණා ගන්න විදියෙන් කිව්වොත්...

ඔව් මම නඩුකාරයෙක්..,

හරි කතාව කියන්ට..,

මම නීතිය අතට අරගෙන කටයුතු කරපු කාලයක් තිබුණා.., ඒ මම මේ රස්සාවට ආපු මුල් කාලේ.., ඒකාලේ මම හිතුවේ රස්සාව වගේම මට පේන ඕනේම දෙයක් මට ඕන විදියට නීතිය හරහා හැඩ ගස්සන්න පුලුවන් කියලා.., අන්තිමේ මට වැරදුනා..!

මට තවම ඔබතුමාව පැහැදිලි නෑ

නීතිඥ්ඥයෙක් විදියට වැඩ බාරගන්නකොටත් මගේ පවුල් පසුබිම හංගලා, මම කවුදකියන නිමිත්ත අනික් අයගෙන් වසන් කරලා තමා මම ඒ තැනට පත් වුනේ.., රස්සාව මේ විදියට කරගෙන යනකොට මට තේරුණා, මගේ නීති උදව් ගන්න අය කොහොමත් මගේ වටපිටාව හොයනවග.., එහෙම උනොත් මගේ අතීතය ගෙවුනු විදිය සහ ඒ වෙත්දී මගේ අනෙක් පවුලේ උදවිය ඉන්න විදිය අනුව මට ඉහලට යන්නේ වෙන්නේ නෑ කියලා.., මට තිබ්බ එකම විකල්පය විදියට මම දැක්කේ මහේස්ත්‍රාත් කෙනෙකු විදියට සේවය කරන එක. එතකොට මගේ උවමනාවට නොවුනත් මා කරන රස්සාව එක්ක අවට පරිසරයේ ඉන්න අය මා එක්ක සම්බන්ධතා පවත් වන්නට එනවා අඩුනිසා.., කාලය ගතවුනා.. මම නීති පීඨයේ දැන අඳුණාගෙන හිටපු ගෑණු දැරිවියක් එක්ක මම කසාද බැන්දා, මම එයාටවත් මගේ අතීතය, මට බද්ධවෙලා තියෙන අතීතය ගැන කියන්න ගියේ නෑ.., 

හරි මම අහගෙන ඉන්නේ මහත්තයා, කියන්ට..,

මෙහෙම කාලය ගතවුනා.., මම මේ වෙනකොට දරුවන් දෙන්නෙකුගේ පියෙක්..,
මගේ පවුලේත් කිසිම ගැහැටක් මේ වෙනකොට වෙලා නෑ..,
ඒත් මේ හදිස්සියේ තමා මට මේ ගිණිගෙඩිය පාත්වුනේ..,
මට නිවනක් නෑ හාමුදුරුවනේ මාව පණපිටින් ගිණිගන්නවා..,
මම කවදාවත් ආදරයෙන් කතා කලේ නෑ තමා..,
ඒත් එක දවසක් හරි මා වෙනුවෙන් මොනවා හරි දෙයක් කරලා තියෙනව නෙව..,
මට තාම මතකයි, තීන්දුව දීලා පෑණ කඩද්දී මා දිගා බලා හිටපු විදිය..,
මට ඇස් පියන්න බෑ හාමුදුරුවනේ..,
මම ඇස් පියාගත්තොත් මට පේන්නේ ඒ මූණ..,

මහත්තයා ලොකු කරදරයක පැටලිලා තියෙන වගේ මට තේරෙනවා.., ඒත් මට මහත්තයාව තවමත් තේරුම් ගන්න බැරි නිසා මම

කොහොමද මහත්තයාට උදවු කරන්නේ..?


හරි මම හාමුදුරුවන්ට කතාව කියන්නං..,

එක මනුස්සයෙක් තමන්ගේ ජීවිකාව විදියට නීතියෙන් වරදක් ලෙස සලකන දෙයක් ප්‍රවාහනය කරන්න ගත්තා.., දීර්ඝ කාලයක් තිස්සේ  මේ රස්සාව කරපු මේ මනුස්සයා තමගේ දරුවන්ගේ බඩකට පිරෙව්වේත් මේවායින් හම්බ කල ආදායමින්.., කල් ගතවෙනකොට මේ මනුස්සයාගේ පවුල ලෙඩවෙලා ආන්ඩුවේ ඉස්පිරිතාලෙක වාට්ටුවක, මූලික ප්‍රතිකාර පවා අහිමිව මැරෙද්දිත් මේ මිනිහා කලේ තමන්ගේ පුරුදු රස්සාවමයි.., අදාල නීති විරෝදී දේවල් ප්‍රවහනය කරනකොට දරන්නට වෙන ආතතිය නිසාවෙන් ඒ ගෙනියන දෙයින් තමනුත් ටික ටික වග කියන්නට වීම නිසා අවුරුදු දෙක තුනක් යනකොට ඒ මනුස්සයා ඊට ඇබ්බැහියෙක් වෙලා ඉවරයි.., දරුවන් කරකියා ගන්න දෙයක් නොමැති කම නිසා යැපුණා උනත් තමන්ගේ මව අහේතුකව මියගියේ තමන්ගේ තාත්තාගේ උවමනාවක් නැතිකම නිසා කියන අදහස දරුවන්ගේ හිතේ නිසතරම් දැල්වී පවතින ගිනිදැල්ලක් වුනා. දරුවන් කරඳඬු උස්මහත් වෙනකොටම උන් උන්ගේ ලෝක හොයාගෙන පියෑඹුවා.., ඒත් මේ මනුස්සයා තමන්ගේ ඇබ්බැහිය නවත්තන්නේ නැතිව කරගෙන යන්න උවමනා නිසා පරණ රස්සාවේම ගැලුණා.., ඔහොම් වෙත්දීයි මේ මනුස්සයා ග්‍රෑන්පාස් හංදියේදී පාර්සලයක් එක්කලා පොලීසියෙන් අත් අඩංගුවට අරන් තියෙන්නේ.., ඒ වෙලාවෙදී හිටපු නඩු කාරයා මේ මනුස්සයාව උසාවියට ඉදිරිපත් කෙරුවායින් පස්සේ ඇතුලට යැව්වා.., කොහොමත් ඒ වගේ චොදනාවකට වරදකරු උනාම ඒ නඩුව දෙවරක් අසන නිසා තීන්දුව දෙන්නට වෙලා තිබුණේ මට, එදායින් පස්සේ තමා මේ හැමදේම...,

මට මෙහෙම දෙයක් හිතෙනවා මහත්තයා, මම කවදාවත් අහලා නෑ නඩුකාරයෙක් තමා ගේ අතින් දඬුවමකට ලක් වෙච්චි කෙනෙක් ගැන මෙහෙම අනුකම්පාවකින් කතා කරනවා.., අනේ මන්දා.., මට හිතෙන හැටියට මේ මනුස්සයා මහත්තයා ජීවිතේට බොහොම ළඟ කෙනෙක් වෙන්න ඕනේ..,

ඔව් අපේ හාමුදුරුවනේ ඒකනේ මට ඉවසා දරගෙන ඉන්න බැරි..,

මහත්තයාගේ අකමැත්තක් නැතිනම් මම කැමතියි ඒ කවුද කියලා දැනගන්න..,

මගේ තාත්තා..!