අඳුරක ගිලි හදවත තුල මා කරක් ගසමින් යන'තරදී මට, ඈව හමුවිය.., සුකුමාලය, පියකරුය.., අතැති පුයර වටා හෙලමින් රඟන්නට යන විටෙන මම ඈට නවතින්නට යැයි කීවේ, නිසල නෙතකින් තැවෙන කලා කරුවෙකුගේ තෙවෙනි ඇස සන්තර්පනය කරලන්නට නොව, හිත තුල තෙරපි "ඈ" නැමති මගේ ජීවිතයේ x අක්ෂරය අමතක කර ඈ සමඟ එසැනින් යහන් ගතවන්නට වූ නොතිත් ආශාවෙනැයි කියන්නට මගේ හිත තවමත් ඉඩ නොදෙයි.
මම තනිකඩයෙකු වෙමි.., අනන්තවූ මේ සංසාරයේ ගිණිය නොහැකි තරමක වූ පෙම්කතා මැද මගේ කතාවද කොතැනක හෝ විඳින්නට කෙනෙකු ඇතැයි සිතෙන විට, මම ඒ නොදැකි පාඨකයා වෙනුවෙන් උහු සන්න්තර්පනය කරලීම සඳහා ම මගේ පන්හිඳ මෙහෙයවිය යුතු වග සිහියට එන්නේද මේ අතරතුරදීය.
ඉදින් මගේ කැමරා කාචය, ඈ අසල දඟ කැවෙන්නට ගත්වේගයට වඩා වේගයෙන් ඈ සිය දේහ ලතාව මෙහෙයවී. මම ඇයව අත්පත් කරගනිමි මගේ චිත්ත ලොව තුල නීති කඩන්නාද, නීති තනන්නා ද මම ම වන බැවින් ඈ සිය රංගනය කරන්නේ මා චෛතසියන් මත ය. මම වෙහෙසෙමි, නෙක සරින් ඈ පානා ලාලිත්‍යයන් මගේ කාච නෙතට හසු කරලන්නට වෙහෙසෙමි.., ඈ අඳුරේ නලියන රිදී රේඛාවක් ලෙද මගේ සිත මත ඈ පාපියුම් තබන්නී; ගිගා බයිට දෙකක් වූ මගේ කැමරා චිපය පිරෙනා තුරු මම ඒ නෙත මත පිටපත් කර ගනිමි. සියල්ල අවසන අවකාශයට මුසුවූ සිහිනෙන් ගෑ සුවඳක් සේ,
මගේ හදවත මත සුවඳ විහිදුවනා සිතුවිලි මවන්නී,
හදවත මත රඟා රිදී රේඛා මවන්නී,
සියල් අවසන කිසිත් ඉතිරි නොකොට මා සිතින් වියකෙන්නී
මා පුයර මල,
ඇය ය.


BOCANADA from Gonzaga Manso on Vimeo.
සටහන් පොත අතට ගෙන ඉදිරියට එන කාන්තාව දෙස වරක් බැල්මක් හෙලා ඇයව සිතුවමට නගන්නට මීට වසර කිහිපයකට කලින් මා දක්ෂ වුව.., අද වෙන විට ඒ මාවතේම ඒ කාන්තාවම එනවිට සටහන් පොත එක අතකත්, පැන්සල එක අතකත් රඳවාගෙන මට බලාසිටින්නට වී ඇත්තේ බොඳවූ දෑසකිනි.

බ්ලර් උනාම ස්කෙච් කරන්න අමාරුයි නේද අයියා..?

මම හිස් දෑසින් මා පසු කරයන්නට එන ඒ කාන්තාව දෙස බලා සිටිනාවිට නංගී මගෙන් අසයි.,
සිනාහාසෙන දෑසින් මම ඇයදෙස බැලුවද මට ඇයව පෙනෙන්නේ ද බොඳවීය. මම මීට වසර 4 උඩදී දුටු ඇයව මතකයට නඟන්නට උත්සහ ගනිමි.

ඔව් ඒත් අපි ඉමේජ් එක මෙමරයිස් කරගත්තාම අඳින්න ලේසියි.., දන්නවද පේන්ටින් එකක් කරන්න කලින් ඒකේ ස්කෙච් එක හිතින් ඇඳගන්න..., ඒතකොට කොන්සෙප්ට් එක ඩෙවෙලොප් කරන්න ලේසියි..,

මාදෙස මුව අයාගෙන බලාසිටිනා සහෝදරිය මවා ගන්නට උත්සහ කරමි..,

නෑ.., දැන් මා දිහා එහෙම බලන්නේ නැතිව ඇති. එයා ලොකු ළමයෙක් නේ..

කලකට පෙර මා විසින් පෝෂණය කරන්නට යෙදුනු අය දැන් මාව පෝෂනය කරන්නට පටන් ගෙන ඇත.
හදවතට නිදහස් වීමක ප්‍රහර්ෂයක් ගෙන ආවද, ජීවිත කාලයක් පවතිනවා යැයි ජීවකයන් නිර්දේශ කරන්නට යෙදුන අන්ධකාරය මතක් වෙනවිට වාවාගන්නට නොහැකිව හිත ඉකිබිඳියි..,

අයියා ඉක්කාවක් ආවද.., ආ මේ වතුර පොඩ්ඩක් බොන්න..,

මම හිතින් අඬනාවිට උරහිස් ගැස්සෙන වග මම දැනගන්නේ එලෙසය.

කසුන්ගේ අකුරු මාරම ලස්සනයි නේ.., පොඩිකාලේ ඩබල් රූල් ලිව්වද?
අනේ මේ ලියුම මට අනුත්තරාට යවන්න ලියලා දීපන් කසුන්.., මගේ අකුරු කැතයි..,
මේ ළමයාගේ අම්මා අත්දෙක කොණ්ඩ කැවුමෙන් තවනවාද? අකුරු මේ අතරමට ලස්සන වෙන්න..,


සිරිපා කරුණා කල දරුවන් නිවෙසට ආ කල අම්මලා පා පොඩිති තවන්නේ කොණ්ඩ කැවුමෙනි.., ඒ "මගේපුතා මේ දුර නැග්ගේ මගේ කිරි වල සත්තියෙන් නේදැ හිතා ඒ පිළිබඳ වූ සෙනේහෙනි.., ගුරුවරු මගේ අකුරු ගැන සිතන්නේ ද ඒ ලෙසමය.

මිස්ටර් සේමගේ තරමටම මේ රේඛා වලින් හැඩතල පේන විදියට අඳින්න පුලුවන් කෙනෙක් මට මුණ ගැහුණමයි. පුතා මගේ මෙන්න කොන්ටැක්ට් එක කතාකරන්න. මේ ටැලන්ට් එක පිටයන්න දෙන්න එපා.

දෙනෙතේ වූ දවසින් දවස එන අඳුරු බව නොතකා මම  කැන්වසයට පෙම්බැන්දෙමි. සිතක තැම්පත් වූ පෙමට වඩා නිතොර වෙනස් වූ මේ අරුමැසි පෙම මට එවක ස්වර්ගයක් විය..,

ඔයාව සේමගේ තත්ත්වෙට උස්සලා තිබ්බා කියලා ඔයා මේ තරමට මහන්සි වෙන්න එපා කසුන්..,
ඔයා දන්නවා නේ ඔයාගේ ඇස් වල සිටුවේශන් එක ගොඩක් වර්ස් කියලා..,


මම කරබා ගනිමි. හැම වාදයකදීම දිනන්නේ ඇය නිසා මට පරාජය දිනුම තරමට ම හුරුපුරුදුය.
ඈ පවසන සත්‍ය කෙතරම් මා හට සමීප වුවත් මගේ කාලය ධනය මගේ කලාව වෙනුවෙන් කැප කරන්නට වීම මට සතුටකි..,
එහෙත්,
ප්‍රතිඵලය බියජනකය..,

මිසිස් ජයම්පති.., පුතාගේ ඇස් දෙක මේ සර්ජරි එක කරාමත් වෙනසක් වෙයි කියලා හිතන්න අමාරුයි.., කොහොමත් අපි මේ ට්‍රීට්මන්ට් ටික දිගටම කන්ටිනියු කරමු.., මම කියනදේ මිසිස් ජයම්පති තේරුම් ගනියි කියලා මම හිතනවා..,

අම්මා ඉදිරියේ මගේ කෙමෙන් අඳුරු වෙන අනාගතය ගැන විස්තර වහරන දොස්තරගේ ස්වරය තැම්පත් ය..,

මේ දරුවා.., කරුවලට හරි බයයි ඩොක්ටර් පොඩිකාලේ.., කරන්ට් ගියාම රෑ මගේ ගාව නිදාගන්නේ.., ඇයි ඩොක්ටර් මගේ අහිංසකයටම මෙහෙම වෙන්නේ..,

දාරක පෙමට නිබ්බුත පද බඳින්නට සුදුස්සෙකු බිහිවිය යුතුය.., ඒ නිබ්බුත පද මේ ගැහැණියටද අයිතිය.., ඒ ඇයද අම්මා කෙනෙකු නිසාය, ඇය මගේ අම්මා නිසාය.

අන්න අර ලේඩි එනවා. අයියා ඔයාට මතක විදියට එයාව අඳින්න ගන්න..,


නංගී මගේ අත උඩින් ස්කෙච් පොත හා පැන්සල තියන්නී.., මම මගේ සිව් වසරක මතකය අවුස්සා ඈ අඳින්නට පටන් ගනිමි. කෝමල රේඛා ඇඳින මගේ අතින් දැන් ඇඳෙන්නේ කුරුටු බලි වුවත් මතකය ඇයව සමීපව දැනෙනා තරමට ම තියුණු ය..,

අයියා හිනාවෙනවා.., මොකෝ පරණ කෑල්ලක් වත් මතක් උනාද..?

අඳුරු ලොවක තනිවන විට පැන නැගෙනා සිනහවන් අහසේ උපදින රිදී රේඛා සරි වේ..,
අතීත මතකය හිසදරාන මම වර්තමානයට සිනහසෙමි.
හැමදාම සවසට උයනේ මා සිටින බංකුවට මඳ දුරක් ඈතින් වැඩ ඇරී මා දෙසට ඇවිද එන යුවතිය,
ස්කෙච් පොත හා පැන්සල අතට දෙන නංගී " අන්න ඇය එනවා අඳින්න" යැයි කියන යුවතියද,
සිවු වසරක මතකය මත්තෙන් තව තවත් නැවුම් වන ඇය ද,

කලෙක මගේ පෙම්වතියව සිටි බව දන්නේ මමත් මගේ හිතත් පමණි.