තිසුරි ගේ අත මා නැගිටින විටත් මගේ හිස මත ය. යුවතියට නින්ද ගොස් ඇත. උස්පහත් වන පිරුණු ලැමත්, මුහුනේ වූ සදා නොවෙනස් වේයැයි මා හිතැතුලින් ම අදහන්නට පටන්ගෙන තුබූ ඒ සිනහවත් ඒ නිද්‍රාව මධ්‍යයේ වුව වෙනස් නොවී තිබිණි. ඈ උකුලෙන් මා හිස සෙමෙන් ඉවතට ගන්නේ මේසය මත වූ කැමරාව ගන්නට ය. කෙල්ලන් ගේ නියම ලස්සන මතු වී පෙනෙන්නේ නිදන විටදීත් රවන විටදීත් ය කතාව සත්‍යක් වග මගේ හිතට මෝදු වී සිනහවක් ලෙස පිටව යාමට ගතවූයේ ක්ෂණයකි. මම කැමරාව මානා කාචයට හසුකර ගන්නා විටත් ඈ ඇහැරී හමාරය.

ඇයි මටත් නොකියා උකුලෙන් නැගිටලා ගියේ...?

ගැහැණු සතුන් හුරතලයට විරුද්ධත්වය පාන ආකාරය ඉතා මනහර ය. කෙල්ලගේ මූණේ නෝක්කාඩුවකි.

ජනතාවට සත්‍ය පැවසීම තමා මගේ රස්සාව. ඒ නිසා අපි පෑ විසි හතර ම අවදියෙන්...! එකම ප්‍රාර්ථනය තමා පියවි ඇස නොගටෙන රූ පෙළහරවල් කැමරා කාචයට හසු කරගැනීම..!
ඒ දඟකාර මුවේ තවත් එක මොහොතක් කැමරාවේ සටහන් කරගන්නා අතර ම මම පැවසීමි.
ආ.....එහෙමද? එන්නයි කිව්වේ මගේ ළඟට තව දඬුවමක් දෙන්න.

මේ තනන්නේ හාදුවක් නැතිනම් තේරෙන සිංහලෙන් කිවහොත් liplock එකකට මා හසුකර ගැනීමට ය. මේ සොඳුරු දඬුවමට කවද මා කැමති බැව් දන්න ඈ මේ ආදරණීය වදකාරියගේ චරිතය රඟන්නේ බොහෝ කැමැත්තෙනි.

අප විවාපත් වී මේ ගෙවෙන්නේ දෙවෙනි වසරයි. සමහර පිංවත් පෙම්වත්තු පෙම් කර විවාහ වුවත් මාත් තිසුරීත් විවාහ වූයේ යෝජනාවක ප්‍රතිඵලයක් ලෙසට ය. ඉදින් අපි එදා සිට පෙම් කරන්නට පටන් ගතිමු.

යකෝ අපි ලව් කරලා බැන්දා. දැං ළමයි බලනවා. උඹලා දැං ද ලව් කරන්නේ...?

විවාහයෙන් පසුව රැකියාවට ගිය පළමු දිනයේම දහවල් බත් පත අතගාමින් දුරකතයෙන් තිසුරී හා සංවාදයේ යෙදෙනු දුටු මගේ සගයන් ගෙන් ලැබුනු පළමු කොමෙන්ටුව එය විය.

ඉතිං මම බොලාට ලව් කරන්න එපා කිව්වායෑ..! මට මොකෝ... උඹලා ලව් බැරිනම් ඕන මගුලක් කරගත්තට...!

මම පිළිවදන් දෙන්නේ සිනා පිරි මුවෙනි.
සමහරු විවහා දිවිය විඳිනවාට විඳවනවා කීවත් මම ජීවිතයේ නියම මිහිර විඳින්නේ දැන් ය. ඒ මම අත්දැකීමෙන් දනිමි. තිසුරි හා වූ ජීවිතය මට ස්වර්ගයකි. මම එය විඳිමි.

අද පෙබරවාරි දහතුන් වෙනිදා ය. නො එසේනම් පෙම්වතුන්ගේ දිනය උදාවීමට ඇත්තේ තව පෑ ගණනෙකි. විවාහයෙන් පසුව අපි දෙදෙනාගේ ම මනාපය මත අප දෙදෙනා පෙම්වතුන්ගේ දිනය සමරන්නට කතිකා කරගත්තෙමු. කවුරුන් කුමක් කිව්වද විදෙශයෙන් අපට ලැබුණු තවත් එක යහපත් සැමරුමක් වන වැලන්ටයින් දිනය නොහොත් පෙම්වතුන්ගේ දිනය මගේ ජීවිතයේ විශේෂ කුමක් හෝ සනිටුහන් වන්නෙකි. අපේ සරණ බන්ධනයෙන් පසුව උදාවූ පළමු පෙම්වතුන්ගේ දිනයේ තිසුරිට මගෙන් ලැබුණු ත්‍යාගය නම් රෝසමල් පොකුරක් හා රාත්‍රී භෝජනයකි. විශේෂත්වය නම් මේ භෝජන සංග්‍රහය ට අවැසි සියලුම දේ සකසන ලද්දේ මගේ දෑතින් ම වීමයි.

මම දන්නේ නෑ තේජ ඔයාට මේ තරම් රහට උයන්න පුලුවන් කියලා..., මට මං ගැන ලැජ්ජත් හිතෙනවා අනේ...!
එහෙම හිතන්න එපා සුදූ..,
ඔයා මං වෙනුවෙන් හැමදාම හදල දෙන කෑම එක මම මොනතරම් ආසාවෙන්ද කන්නේ කියල ඔයා දන්නවනම් ඔහොම කියන්නේ නෑ කවදාවත්..!

මම මෙසේ පවසන්නේ ඈව උඩ තබන්නට නොවේ. අප එක ගෙදරකට වූදා සිට මා වෙනුවෙන් වෙහෙස වන්නී, මුවින් එකදු චෝදනාවකුදු නොදොඩාය. එනිසා මම යලිත් කියමි.., මේ ගැහැණිය මට ස්වර්ගයකි.

ටික් ටික් හඬින් ගතවෙන ඔරලෝසුවේ මැදියම් දොලහ කණිසම වදින්නට තව ඇත්තේ මිනිත්තු කිහිපයකි.
සාලය දෙස බැලූ මට සෝපාවේ ගුලිවී රූපවාහිණිය බලන තිසුරී දුටු විට මට ඇති උනේ සැකයකි.  මගේ හිත පෙබරවාරි දා හතර ගෙවෙන තුරු වලි කන්නට හේතුව නම් පෙරේදා තිසුරි ගේ මුවින් පිටවූ දෙයකි.

දා හතර වෙනිදාට මට ඔයාට දෙන්න ලොකූ තෑග්ගක් තියෙනවා.ඒක මගේ ජීවිතේ මට දෙන්න පුලුවන් ලොකු ම තෑග්ග වෙන්නත් පුලුවන්. හරියටම රෑ 12ට දා හතර ලබද්දී මම ඒක ඔයාට දෙනවා. ඒක ඔයාටත් ජීවිතේ ලබන ලොකුම තෑග්ග වේවිද දන්නෙත් නෑ සමහර විට...?

......................................................

රෝසපාට කම්මුල් දෙකට අත තබාන රූපවාහිනිය දෙස නරඹන ඈ සිටින්නේ නිසොල්මන්ව ය.

කෙල්ලට වැලන්ටයින් ගිෆ්ට් එක අමතක වෙලාවත් ද..?
? ? ? ? ?

ගෙල පිටුපසින් තැවරෙන සිහින් හාදුවක ට සංවේදී වූ මා ඇහරුනේ ක්ෂණිකව ය.

සුදූ...?
හ්ම්...?
ඔයා හිතුවද මට අද දවස අමතක වෙලා කියලා...?

කෝ මගේ තෑග්ග....?
මම මවන්නේ බොරු තරහවකි. වෙලාවකට මට ම පුදුමය... ආදරය අද්දර මේ තරම් බොළඳ වෙන්නේ මම ම ද කියලත්...?

තෑග්ග...?
ඔව්...?
මේ තියෙන්නේ...!
කෝ...?


ඈ මා හිස සිය උදරයට තබා ගන්න විට මට සියල්ල අවබෝධ විය. මම තෑග්ගට කතා කරන්නට ඉඩදී නිහඬ වූයෙමි.

ඔයාට මතකද සුදූ මම කිව්වා, ඔයාට ලෝකෙ මට දෙන්න පුලුවන් ලොකු ම තෑග්ග මම දෙනවා කියලා...?

ඔව්..?

ඉතින් ඒ මම කියපු තෑග්ග තමා මේක ඇතුලේ ඉන්නේ...!

කියන්නට වදන් මා සතු නැත.., ඈ කුස තුල මේ ඇගේ අප දෙදෙනා ගේ ආදරය මැදින් පිළිසිඳි මේ ජීවියා ගැන වූ ඒ සුභාරංචිය පවසන්නට ඈ පෙම්වතුන්ගේ දිනය ම තෝරා ගැනීම කෙතරම් අරුමැසි ද?

තිසුරිගේ කුස මත හොවාගත් මුහුණ කෙළවරකින් තෙත දහරක් ගලා යනු දැනෙන්නට විය. මටත් හොරා මේ ගලන්නේ සතුටු කඳුලු ය.

සත්තකට ම.., මගේ ජීවිතය තුල ලැබූ වටිනා ම ත්‍යාගය එය විය.

මම තිසුරිව තවත් තුරුළු කර ගතිමි.