අන්න අරයකා කෑ ගහනවා...,

තේ ගසමින් සිටි කඩේ මුදලාලිගේ පෙන්වීමෙන් පසු කඩ පිලේ සිටියවුන් ගේ අවධානය බේබද්දා වෙතට යොමුවිය. පසුගිය වසර විස්ස පුරාවට ම මෙන් අද ද බේබද්දා තම ඒකාංගික ප්‍රසංගය නරඹන්නන්ගේ අත්පොලසම සතයකට වත් මායිම් නොකර ආරම්භ කර තිබිණි. ඒ තමා කෙතරම් රැඟුවද නරඹන්නන්ගේ ප්‍රසාදය නොව අනුකම්පාව ලැබෙන බව වත් නොදැනය.

හරියට ම දහයයි පනහට තමා එයා මෙතනට එන්නේ...? අඩොව් උඹලා මගේ නෝනේ ව දැකලා තියෙනවද?
හෙහ් බලන්න එපායෑ උන්දෑ ගේ ලස්සන මම ගැටය කාලේ හරි හැඩ කාරයා. මම එක පාරයි උන්දෑ දිහෑ බැලෙව්වේ.., ඒකි මට මනාප උනා. ඒත් ඒත්...,


බේබද්දා ඉඳගෙන අඬන්න පටන්ගත්තේය. විටෙන අඩ සිනහවකිනුත්, විටෙක රූරා හැලෙන අඬුමකිනූත් හේ සැරසී සිටියේය.

මයේ අම්මා අප්පච්චී දෙන්නම ගුරුවරු යකෝ. තොපිලා මට මේවගේ අපහස කොලාට. උන්දෑලා හිටියානම් එහෙම මට කියන අවලං කතාවලට අද උඹලා මැරුණ තැං වල ගසුත් පැලවෙලා. හරිය...?

හසිරීම අමුතු වුවත් ටික වේලාවක් බලා සිටින විට අමුතු රටාවක් එහි ඇති බව බලන්නෙකුට පෙනේ. එක අතකින් අඩක් විසිරුනු බෝතලයත්.., කඩ පිලේ නානාගේ පරණ බෝතල් පත්තර කඩෙන් ඉල්ලාගත් පරණ ඩේලි නිවුස් පත්තරයත් ඔහු අත වරදින්නේ නැත. නිතර සුරාව පානය කරන්නේකු වුවත්.., කඩ පිලට විත් සැමදා මේ කියන දේවල් වල මනා ගැලපීමක් නැතත්.., මේ කියන දේවල සත්‍යාසත්‍ය බව අහන්නට දකින්නට කෙනෙකුට මේ දක්වා වත් උවමනාවක් ඇතිවී නැති බව තුලින් පෙනෙන්නේ මනුස්ස ජීවිතයක වටිනාකම ලංකාවේ පාවෙන රුපියලකටත් වඩා අවප්‍රමාණ වී ඇති බවයි.
බේබද්දා රැය පහන් කලේ ලයිට්කණු යට ය. නගරයේ කිසිවෙකු ඔහුට වහලක් සපයන්න කැමති වූවේ නැත. සකලවිධ කතන්දර බේබද්දා ගැන පැවතුනත් ඔහු කාගේ කවුද..? කොහෙන් පැමිණියෙක් ද කියන්න කිසිවෙකුත් දැනසිටියේද නැත. මුහුණට වැටුනු කෙස් රොදකින් ඉන් අඩකටත් වඩා වැසීතිබුනත් කිසිවෙකුත් ඒ කෙස් රොද යට  මුහුණත්තහඩුව දුටුවේ නැත.
හැම සෙනසුරාදාවක ම බේබද්දා පොළට යාම සිරිතක් කොට ගත්තේය. ඒ ලැබෙන කුලී වැඩක් කර ලැබෙන පනම් කිහිපය ඔහුට ඉදිරි දින දෙක තුනකට ම මත්වන්නට සෑහෙන බැවිනි. සමහර වෙලෙන්දෝ හිස් අරක්කු බෝතලයක ට තේ කහට පුරවා, එය පෙන්වා රවටා වැඩගත් වාරද අනන්තය. මුලු දවසම වැඩකල පසු වෙහෙසවී බෝතලය අතට ගෙන මුවතැබූ සැනින් කහට බව දැනගන්නා බේබද්දා කරන්නේ.., සූරිය නගරය මැද වූ සේනාරත්න පිළිමය යටවී කඳුලු පිරි දෙනෙතින් කල් ගත කිරීම ය . එහෙත් කිස්ම දිනක ඔහු තමා රැවටුවාට කාගෙන වත් පළි ගන්නට සිතුවේ නැත. ඒ හැම අවස්ථාවක් ම ඔහු මුවෙන් පිටවන එක වැකියක් විය.

මයේ අම්මා අප්පච්චී හිටියානම් එහෙම මට කරන අවලං වැඩවලට අද උඹලා මැරුණ තැං වල ගසුත් පැලවෙලා.

එහෙත් අවාසනාවක ට කිස්වෙකුත් බේබද්දා ගේ සහයට හිටියේ නැත.., ඒ බේබද්දාට මතකය පමණක් ඉතුරු කර සබැඳි සියල්ලන් ම ස්වර්ගස්ත වී අවසන් නිසා ය.
දවසක් දා හැන්දෑවක කඩපොලේ කට කතාවක් පැතිරිණ. ඒ බේබද්දා ගම හැරගොස් ඇති බවයි. බේබද්දා ගේ නික්මයෑම ගැන යටි සිතින් සංතෝස වුවත් මූණිච්චාවට දුකවන අය දුලබ නොවූහ.

ඒ යකාට සිරෝසීස් තියෙනවැයි කියන්නේ..?

අම්මා තාත්තා එහෙම හොඳ පරපුරක මිනිස්සුලු.

ගිණි හැත්තෑවක් අසූවක් වටින කෝට් බෑයවල් එහෙම ලු මිනිහගේ අප්පොච්චා ඇන්දය කියන්නේ...,

අපරාදේ අහිංසක මනුස්සයා...,

බීලා කෑගැහුවට හරි අහිංසකයා නෙව.

මේ අයුරින් කටකතා ගණනාවක ගොදුරක් වන්නට නගරයෙන් පලා ගිය බේබද්දා ට සිදුවිය. ප්‍රාන්තයේ මහ ඇමති තුමා ඡන්දයක් අත ළඟ ම එන බව ප්‍රකාශ කලේ මේ කට කතා සුලභව පැතිරෙන කාලයක ය.

……………………

" මිත්‍රවරුනී,
ගමක නැතිනම් නගරයක මූලිකම සාමාජිකයා වන්නේ පහලම මට්ටමේ අර්ථිකයක් හිමි පුද්ගලයායි. මක්නිසා ද යත් ධනවතුන් රජුන් තනන්නට උන් දිනවන්නට මිලෙන් ආධාර කලාට.., ඒ මිලේ බලමහිමයෙන් ඡන්දය පාවිච්චි කරලා සභිකයාව මැතිසබයට ගේන්නට මූලික වෙන්නේ අර බිම් මට්ටමේ සාමාජිකයා නිසා.. මට ආරංචි උනා මේ මෑතකදී අපේ ගංතුලානේ ජීවත් උන අහි\=න්සක මනුස්සයෙකු ගේ නික්මයෑම පසුගියදා සිද්ධ උනා කියලා.
මීට හේතුව කුමක්ද මිත්‍රවරුනී.., මේ පවිටු පාලනය නිසා දිනෙන් දින වැඩි වෙන අප මත පැටවෙන ජීවන බරයි..
අප නව මැතිවණයෙන් අපේ ඉහළම මනාපයෙන් නව දැක්මක් සහිත නායකයෙකු පත කරගත යුත්තේ ඒ නිසා...! "

පාක්ෂිකයන් ගේ අත්පොලසම් මැද ඇමැත්තා නව අපේක්ෂකයාව කළ එලි බැස්සවීම සිදුවිය. සෘජු කයක් හිමි, නිතර සිනහවෙන් ජනයාට සංග්‍රහ කල අපේක්ෂකයා අව්කණ්නාඩි හා ධවල වර්ණිත හිස්වැසුමකින් සැරසී සැරයටියක් ඇතැතිව සිටියේය. පිට දේශාන්තරයක වාසය කල රට්ටුවෙකු වුවද, ජනයා අතර කසුකුසුවට අනුව හේ ගංතුලානේ මහා ධනපතියා වූ පොඩි රාළහාමිගේ පුත්‍රයා විය. වචනයේ පරිසමාප්ත අරුතින් ම දානපතියෙකු වූ ඒ මහතා තුල වූයේ ඉමහත් නිරහංකාර බවෙකි. කටකතා වලට අනුව ගමේ පවත්වාගෙන යන අනාථ නිවාස හා පූජනීය ස්ථාන වල අභිවෘදිය සඳහා  පරිත්‍යාග කර ඇත්තේ දහසින් බැඳි පියලි වලිනි. 
මැතිවරණයට දින නියම විය. කොමසාරිස්තුමාගේ නිර්දේශයට අනුව ජනවාරි 26 දිනට දින නියම විණ. මේ අතර තුර අපේක්ෂකතුමා ගමෙන් ගමට නගරයෙන් නගරයට පාසැල් පන්සල් වෛද්‍ය මධ්‍යස්ථාන විවෘත කරමින් සැරිසරන්නට විය. අනෙකුත් තරඟ කරුවෝ තරඟ බිමට ඉදිරිපත්ව සිටියද ජනයා විශ්වාසය තැබුවේ පොඩි රාළහාමිගේ පුත්‍රයා වෙතය. සැරයටියක් අතින් ගත් විශ්වාසයේ අවංක බවේ ප්‍රතිමූර්තිය බඳුවූ අපේක්ෂකයා වෙත තර්ජනයක් එල්ල කරන්නට කිසිවෙකුට නොහැකිවිය. අපේක්ෂකයාගේ හදිසි ප්‍රාදූර්භූත වීම. නො ඉවසූ එක් ස්වාධීන කණ්ඩායමක උසිගැන්වීම මත සේවක සංගම් වල අරගල ආරම්භ වන්නට විය. සේවක සංගම වල ආශීර්වාදය තම දේශපාලන ස්ථාවරත්යට මනා ශක්තියක් වන බැව් අත්දැකීමෙන් දන්නා දේශපාලකයන්, අරගල ලන ස්ථාන වලට ගොස් ඒ සංගම නායකයන් හමුවී ඔවුනට ඇති ගැටලු ගැන සාකච්චා කරන්නට පොර කන්නට විය. අපේක්ෂක තුමා තම මතවාදය හා ස්ථාවරත්වය ගැන විදත් මඩුල්ලක් හා සංවාදයේ යෙදෙමින් සිටින විට අතවැසියෙකු ගෙන ආවේ භයානක පුවතකි.

තැබෑරුම පිටිපස්සේ අර ඊයේ පෙරේදා වහලා දාපු පැට්ටේරියේ සේවක සංගමේ සාමාජිකයෝ කට්ටියක් අද රෑට නගරාධිපති ව අත් අඩංගුවට ගන්න මාන බලනවාලු.

ඉතින් ඒ යක්කු මොකටද එහෙම කරන්න හේතුව..?

කට්ටියගේ කල්පනාව නගරාධිපතිතුමාව ප්‍රාණ ඇපයට ගෙන වහලා දාපු පැට්ටේරිය ආපහු ඇරගන්න ලු.

හදිසි පණිවිඩය ගෙන ඒම ගැන සේවකයාට ස්තූති කල අපක්ෂකයා තනිව ම සිතන්නට ගත්තේය. හැමදා සිය මුහුනෙන් අඩක් වැසී ඇති කෙස් රොද සකසා ගත් අපේක්ෂකයා නිහඬවම රථයට නැඟුනේ මීට මොහොතකට පෙර තමා හා සුහදව සාකච්ඡාවේ යෙදුනු විදවතුන් පිරිස විමතියෙන් බලාසිටිද්දී ය. මැතිවරණයේදී තමාට එදිරිව නැඟී සිටින අපේක්ෂකයා වන නගරාධිපති ව මෙසේ බේරාගැනීමට යාම වටේ සිටියවුන් ට උභතෝකෝටිකයක් විය.
අපේක්ෂකයාට යන්නට ලැබුනේ මඳ දුරකි. කඩපිල අසල පාරේ ඉඩ අවුරාගෙන හිටියේ කඩුපොලු අතින් ගත් මිනිස් පවුරකි. පවුරට මඳ දුරක් ඈතින් තම රථයේ ආලෝක ධාරා පවුරට වදින ලෙස නැවතූ අපේක්ෂකයා පවුරදෙසට යන්න ට විය.

එකවරම පිරිස අතරින් ඉදිරියට පැමිණි මුගුරක් ඇති ගත් එකෙකු මුගුර අපේක්ෂකයා දෙසට එල්ල කරනවාත් සමඟ ම අවාසනාවකට මේන් රථයේ ආලෝක ලාම්පු නිවී ගියේ ය.

යරිගිරියෙන් කල කෑගැසීමක් සමඟම සියල්ල නිහඬ විය.
පසු දිනට එළිවන විට ගංතුලානේම ජනයා කඩපිල අසලට එකතුවී සිටියේ අසළ වූ මඩවලක මුහුණ ඔබා මරා දමා තිබූ මිනිසෙකු දැකගන්න ට ය. මුණින් අතට හැරවී තිබූ මළකඳ මුහුණත පිටට සිටින සේ හරවන්න ට වත් එකෙකු ඉදිරිපත් වූයේ නැත. මරණ පරීක්ෂකයා පැමිණ මිනියේ මුහුණ හරවන විට අවට සිටියවුන් සියලුදෙනා මෙන් ම පරීක්ෂක වරයා ද තුෂ්නිම්භූත විය.
අපේක්ෂකයාගේ ධවල වස්ත්‍රය හැඳ මියගොස් සිටියේ මීට මාස ගණනකට කලින් ගමෙන් අතුරුදන් වූ බේබද්දා ය.
අවට කසුකුසුව අධිකවිය..,
එතකොට අපේ අපේක්ෂකතුමා බේබද්දා ද..?
මේ තරං වැඩකරලත් ගමෙන් කිසිදෙයක් බලාපොරොත්තු නොවුන මේ උත්තමයා අර අපි හැමදාම හවසට කඩපිලේ අපි පල්කරන බේබද්දා ද?

කිසිවෙකුට මේ ගැටලු වලට දෙන්නට පිළිතුරක් ළඟ තිබුනේ නැත. තවමත් බිම වැතිරී තිබූ මිනියේ අඩවන් වූ දෙනෙතින් අහස දෙස බලාගෙන උපහාසවත් වූ සිනහව තවමත් එහි මුහුනේ විය. මේ සිනහාව බේබද්දා හා අපේක්ෂකයා යන දෙදෙනාට ම පොදු වූ බව අවබෝධවන වන විට චරිත දෙකෙහිම පොදුසාධකය වූ එහි ආත්මය සිරුර ඇතහැර ගොස් බොහෝ වෙලාවක් වන්න ට විය.

නියොන් ආලෝක කිරණ වැදී නිලංකාර වූ දෑස අභියස නැලවෙන රූප දැක්කත් උන් හා එකතු වෙන්නට මට සිහියක් තිබුණාදැයි මට මතකයක් නැත. ෂැම්පේන්, වොඩ්කා හා මිතුදම් ගොඩනඟන්නට ගිය මට මිතුදම අගය කරන්නට ඉතුරු වූයේ හිස් බෝතල් කිහිපයක් පමණ ය. නිතරම එන හිසරදය හා වමනය අතර මම හිරවීම මට දැනෙන්නට වූයේ මරණය හා උප්පත්තිය අතර හිරවූ ගන්දබ්බයෙක් වැනි සංවේදනයෙකි...! 
හිස ඔසවන්නට තැත් කරත් ම එය එසවුනත් ඒ මගේ ස්ව උත්සාහයෙන් නොවන වග මට එක වරම වැටහිණ. ඒත් සමගම මා සිරුර ඉහලට එසවුනත් මට කරකියා ගන්නට මඟක් නොවූයේ මාගේ සිරුර හතර දෙනෙකුගේ දෑත් මත වූ නිසා ය. අඳුරු තැනක සිට එකවරම එළිලන තැනෙක ට මාව පතිත විය..., දෙහි සුවඳැති යමක් මා හිස ගෑවෙත් ම සියලුම දේ වියකී මට පෙනෙන්න ට වූයේ ගණ අන්ධකාරයයි.
ඇස් හරිනවිට මා ඉදිරියෙහි වූ රුව බොඳවීම නැතිවෙන්න ටත් පෙර කතා කරන්න ට විය.

දැන් කොහොමද?

ඊයේ ටිකක් වැඩි වෙලා හිටියේ ඔයා ට.., මම පොඩ්ඩක් වෙන කස්ටමර් කෙනෙක් ගාවට ගිහින් එද්දී ඔයා බිම..

පස්සේ මම ඔයාව කාමරේට එක්ක ආවා.

ඇයි මෙහෙම තනියම එන්නේ යාලුවෙක්වත්  එක්ක ආවනං නේද හොඳ?

හඬ නම් හුරුපුරුදුය..., තවමත් ඊයේ රෑ වූදේ නිසා හිස කකියන්නට වී තිබිනි.

ඔ..ඔයා කවුද?

යුවතිය මඳහසක් නගන්නට විය.

ඇයි මතක නැද්ද.., ඊයේ රෑ ඔයා මගෙ උරිස්සට නේ ඔලුව තියාගෙන වෙන කෙල්ලෙක්ගේ නමක් කියාගෙන අඬන්න ගත්තේ..,

මම වික්ශිප්ත වීමි. මා ඇය ගැන නොසිතන්න ට ගෙන බොහෝ කලක් වුවත් මම බීමත් වූ පසු ඈ ගැන මතක් කරමින් හඬන බව දැනගත් පළමු අවස්ථාව විය. ආදරය අරුමසි ය. අප අවිඥ්ඥාණික ව සිටියද යටිහිත එය මතකයට නංවා ස්වයංක්‍රීය ව අපව හැඟුම්බර කරනායුර සිත් මවිතවන සුලු ය.

අද ඔෆිස්..,

යන්න බෑ මෙහෙම.., මොනවා හිතයිද අපෙ කට්ටිය.?

කවුරුවත් මොනවත් හිතුවට ඔයාට මොකද? තමන් හරියට වැඩක් කරනවා නම් එච්චරනේ..?


රාධිකා...? මේ මා හා කතා කරන්නේ පෙරදා රෑ..,මා හා වූ සබකෝලවත් ඇයද?

ඔයා..., ඔයා රාධිකා ද..?

මගෙ නම තරූ.., කස්ටමර් ලා ගාවදී අපි පාවිච්චි කරන්නේ රාධිකා කියලා...? එනිසා ඔව් මම රාධිකා තමයි...!

ඇය රූමත් ය. එහෙත් දිනපතා ගනුදෙනු කරුවන් සන්තර්පනය කරනවාට ලැබෙන මදුවිත දිනපතා තොලගෑම නිසා ඈ රුවෙහි වූ කෝමල රේඛා වියැකී යමින් තිබේ. තමදිවියේ විසිපස් වන කඩඉම පසුකරමින් සිටින ඇය ජීවත් වන්නේ කැරෝකි හල තුළ වූ කුඩා කාමරයකය. හිතතුල වූ දහසක් දේ සිනහවක් කර පිට කරන්නී, ඇතුළතින් අසංඛ්‍ය වාරයක් හඬා වැටෙන වග ඈ දෙස මඳ වේලාවක් බලා සිටින්නෙකුට හැඟීයයි .

ඔහොම ජීවිතේ හොඳම කාලේ විනාස කර ගන්න එපා. ඔයා දන්නවද? මට පුතෙක් ඉන්න වග. එයා ට දැන් වයස අවුරුදු හතයි. මට එයාව ලැබුනේ මට වයස දහ අටේදී විතර.., එයා ඉන්නෙ අම්මත් එක්ක කන්තලේ..,මම මෙහෙ ආවේ උසස් පෙළ කරන්න.

ඈ ප්‍රසිද්ධ බාලිකා විදුහලක නමක් කීවාය.

පස්සේ මම නැවතුනේ කොලේජ් එකේ හොස්ටල් එකේ. මම එයා එක්ක යාලු උනේ මෙහෙට ආපු අලුතම. මම දන්නේ නෑ මට මොනා උනාද කියලා.  පස්සේ මගේ ජීවිතේ උනේ එයා. මම එයාට මොනතරම් ආදරය කරා ද කිව්වොත් මම ඒලෙවල් වලට මාස ගානකට කලින් තම මට පුතාව හම්බවෙන්න ආවේ. මම මේ බව නිසල් ට කිව්වම එයා කිව්වෙ මගේ නිදහස මේ නිසා නැතිවෙනවා කියලා. එයාගේ නිදහසට අපේ පුතාව බදාවක් නිසා මට කිව්ව දරුවව නැතිකරගන්න කියලා. මම ගමට ගිහින් ආවේ පුතාව හම්බ උනාම. අම්මා තාම දන්නේ නෑ.., දරුව මගේ කියලා. මම කියලත් තියෙන්නේ මගේ යාලුවෙක් ගේ දරුවා.., එයා නැතිඋන නිසා මම හදා ගන්න ගත්තා කියලා. අදටත්  අම්මා දරුවව නඩත්තු කරන්නේ මම යවන සල්ලි වලින්…,

මම අසාසිටිමි. ඇය නොකියන එයා කවුදැයි අසන්න ට ද නොගියෙමි. ඈ.., කම්බි අතරින් පෙනෙන බේරේ වැවේ කොල පැහැති නිසල දියකඳ දෙස බලාගෙන ඔහේ කියවාගෙන යන්නී ය.

ඊට පස්සේ තමා මම මෙතෙන්ට වැඩට ආවේ.... මම තමා මෙතන ඉන්න පරණම කෙනා. පිටරටවල අපි වගේ අයට stripper ලා කිව්වට මට හිතෙන්නේ මේකත් එක්තරා රස්සාවක් කියලා. මොකද මේකෙන් කරන දේමයි ඔයාලා පුටුවක් ඉඳගෙන එළියේ ඉන්න අයගෙන් ගරුබුහුමන් ලබමින් කරන්නෙත් .

එක අහිමි වීමක් තුල මගේ ජීවිතයේ ඇතුලත ගන්ධබ්බයෙක් වූ මම.., අහිමිවීම ගොන්නක් හා තනිවී සිටින තවත් මා වැනිම කෙනෙකුට මුහුණලා සිටිමි. ඒ හමුවීම නියොන් ලයිට් යට දී අඩ සිහියෙන් රාගය සලමින් කරන රොමැන්තික හමුවීම් වලට වඩා යථාර්තවාදී ය.

කියන්න.., ඔයත් මේවා අස්සේ රෑට කරක්ගහන්නේ මම වගේ ඔයාගෙත් නැතිවෙච්චි ජීවිතය හොයන්නද...? ඒත් මම හිතන්නේ නෑ මහත්තයා ඒක මෙහෙදී හමුවෙයි කියලා. හයියෝ මම මේ මොනවද කියවන්නේ නේද...? මිහිහෙකුට වැඩිවෙන එක ඒ තරම් දෙයක් යෑ.., ඉන්න ඔයාට යන්නත් පරක්කුවෙනව නේ මම තේකක් හදල දෙන්නං..,

මම නිහඬව ම ඈ පිළිගැන්වූ කිරිකහට කෝප්පය අතට ගතිමි.

සමහරක් වෙලාවට මට හිතෙනවා. මහණ වෙන්නත් එහෙම උනොත් මගේ දරුවා නඩත්තු කරන්නේ කවුද...? ඒ අහිංසකයටයි මගේ අම්මටයි කන්න දෙන්නේ කවුද..? අපි හැමදාම ලස්සනට ඇඳලා dancefloor  එකේ නැටුවට අපේ ජීවිත හරිම කුණු ගොඩවල්. ඒත් මෙහෙට එන අය හිතන්නේ අපේ ආතල් එක මිනිස්සු එක්ක ආතල් අරන් උන් එක්ක නිදිවදින එක කියලා.

බීල ඉවරනම් දෙන්න කෝප්පේ.., දැන් වෙලාව එකොළහට විතර ඇති.., පුලුවනි නම් යන්න ඔෆිස් එකට. එහෙම යන්න බැරිනම් ගෙදර යන්න. අද එහෙම සෙට් වෙන්න එපා තනියම.

මට උපදෙස් දෙන්නී ය.

අහ් මට අහන්නත් බැරි උනා කවුද අර ඔයා මගෙ උරිස්සට ඔලුවතියාගෙන අඬ අඬා කියපු කෙල්ල..? ඔයාගේ ගෑනුළමයද?

මම සුසුම් ලෑවෙමි..,
කමක් නෑ කියන්න උවමනාවක් නෑ. ඊයේ රෑ මට ඔයා මුලු කතාවම කිව්ව, නම ඇරෙන්න. මට නම ඇරෙන්න. මම ඒකයි ඔයාව මගේ කාමරේට් එක්ක ගෙන ඇවිත් මගේ කතාව දැන් ඔයාට කිව්වෙ.., මට වඩා ඔයා වැඩිමල් වෙන්න පුලුවන් අවුරුද්දක් හරි දෙකක් හරි. ඒත් මහත්තයා  මට උන දේත් එක්ක ඔයාටවෙලා තියෙනදේ ගන පොඩ්ඩක් නිවාඩු පාඩු වෙලාවක හිතල බලන්න. මම වගේ ජීවිතේ මේවට දියකරන්න එපා..

මම එන්නට පිටත් උනෙමි. කැරෝකේ හලෙන් පිටතට ආවද මගේ හිත තිබුනේ රාධිකා සමඟ ය. එක ජීවිතයක ගලායාම අසා මගේ ජීවිතය ඒ ඇසුරින් සාධාරණීකරණය කරන්න ට උවමනාවක් නැතත්.., තවත් එක තුන්කල් අහිමි වූ තරුණ ජීවිතයක්ය යන හැඟීම මාතුල හදවත් පහුරු ගාමින් වද දෙන්න ට විය..

පාවෙන මනෝභාවයන් හා සිරුර වසා ගත් කල කිරීම පපුතුරේ හිරකරගෙන මම සතියගෙවා දැම්මේ වසරක් ගෙවනවා හා සමානව ය. සිකුරාදා වැඩ අවසන් වූ වහාම මම කැරෝකිහල වෙන ගොඩවැදුනෙමි.

කෝ රාධිකා...?

එයාව අස්කරා අපේ ලොකු සර්.., කැෂියර් එකේ තිබ්බ රුපියල් පහළොස්දාහක් නැතිවෙලා හොයනකොට එයාගේ පර්ස් එකේ තිබ්බ නිසා. අපේ බවුන්සර්ස්ලා එයාට ගහලා පොලීසියට බාර දුන්නා.  අහලා බලනකොට රාධිකා කිව්වා එයගේ පුතාව ඉස්පිරිතාලේ නවත්තලා ලු. දරුවගේ චෙකප් වල ට වියදම් කරන්න කියලා. කෙල්ල හරියට ඇඬුවා අස්කරන්න එපා කියලත්.., වෙන යන්න තැනක් නැති නිසා.

සහසක් දනන් සිත් සුව සදද්දී ඈ සිත සනසන්න ට ඈ කෙරේ තම සිත් සතපවා ගත් කිසිවෙකුට නොහැකිවිය...!

මම ආපසු හැරුනෙමි.
ඇයව මේ තත්ත්වය ට පත් කල මාද ඇතුලු මේ පවිටු සමාජය ගැන කිවනොහැකි තරම් වේදනාවක් හා කළකිරීමක් මා තුළ විය..!

රාස්සගල කන්ද නගින්නට සිතමින් මම විහාරයෙන් පහලට බැස්සෙමි. එවිටම හෝව් හොව් කියමින් නන්දසීල පොඩි නම මා පසුපස දුව ආවේ මගේ බටනලාව අතැතිව ය. සිත එක වරම ගැස්සී ගියද, පරණ සංසුන් බව පෙන්වන්න ට මගේ මුහුණේ මස්පිඩු උත්සහ කලත් හිස මැද්දෑවෙන් මතුවූ දාඩිය බිංදුව නළල දිගේ ගෙල ට බසිනු මට දැනෙන ට විය. සසුන ට පත් වී දැනට වසර හතරක් ගතවුවත් මසකට දෙවරක් වත් රාස්සගලට නැඟ හිතේ හැටියට බට නලාව පිඹීම මට ගෙන ආවේ නිවනට වඩා සුවය කි.
මම සිහිය එළවා ගතිමි..,

මොකද පොඩිනම මේ හතිදාගෙන..., සිල්වත් නමක් දුවනවාද මේ විදියට හ්ම්ම්...?

ඒ වනවිටත් පොඩිනම පඩිගැටයට වී හති ඇර අවසානය..,

පන්සලේ මල් අසුන  උඩ තිබිල මට මේ බට නලාව හම්බ උනා.., මම මේ ආවේ ඒක ඔබවහන්සේගෙද කියලා අහන්න.

චීවරේ ඉන්න අපට නච්ච ගීත වාදිත අකැපයි පොඩිනම. මේක දැන් ඩිංගදොහකට කලියෙන් බෝමලු මිදුල ඇමදපු සේපාලිකා සහෝදරී ගේද දන්නෙ නෑ...? කෝකටත් මට දෙන්ට.., ඕක ඔබ වහන්සේගේ ළඟ තිබීම භයානකයි.., ලොකු හාමුදුරුවො දැක්කොත් සැක හිතන්ට ඉඩ තියෙනවා..,

කියූ සැණින් බට නලාව මගේ අතට පත් වීම, ගෙන දුන්නේ හිතට අමා සැනසිල්ලක් වුවත් කෝටියක් සිල් රකින චීවරයක්ට වී මේ ගත කරන දෙබිඩි ජීවිතය මට ගෙනදුන්නේ අපුලකි. කරන්නට කිසිම දෙයක් නැත.., ඇත්තේ හතර කේන්දරය පාලු වූ කරුමෙට ජීවිතෙන් වන්දි ගෙවීම ය.

ඉතින් මේ ඔබ වහන්සේ මේ කොහෙද යන්න තනන්නේ...?

රාස්සගලට...?

මමත් එන්න දෑ...?

එපා අද ලොකු හාමුදුරුවො විනය පිටකය වනපොත් කරන්න කීව නේද..? එතකොට ඒකට මොකද වෙන්නේ..?

හ්ම් කොරඤ්ඤංකෝ ඉතිං..

බිම බලාගත් පොඩි නම වරක් මාදෙස බලා විහාරය දෙසට ගාටන්න ටවිය. ලද සැණින් ඉතිරි ගල් පඩි හතර උඩින් පන්න මා හැරුනේ බණ මඩුවට විරුද්ධ අත වූ කැලෑ වත්ත දෙසට ය.

අම්මගේ බලවත් විරුද්ධත්වය මැද අප්පච්චීගේ තනි කැමැත්ත ට පවුලේ එකම දරුවා වූ මා ව ශාසනයට භාර කලේ මා හැමදා වෛර කරන අප්පච්චීගේ දඩබ්බරකම ය. කුඩාකල සිට ම සාහිත්‍ය ලෝලියෙකු වූ අම්ම ගේ එකම පැතුම වූයේ මා සංගීත ගුරුවරයෙකු වනවා දැකීම ය. කුඩා කල සිටම මගේ ඇසුරට වැටුනු සංගීත ප්‍රස්ථාර පොත්, ගී තැටි සියල්ල මා ජීවත් කලේ වෙනම ලොවක ය.
එහෙත් අවාසනාවක ට ඒ මා ශාසනය ට භාර කරන තුරු පමණය. මගේ බට නලාවෙන් වෙන්වීම මට දරාගත නොහැකි තරම් විය.

අනුරුද්ධ පොඩිනම ට මොකක් හරි හිතේ ගැහැටක් ද..? හරිම දුකෙන් ඉන්න හැඩයි

බණ මඩුව පිටුපස ගල්පොත්තට වී මා හඬනායුරු දැක මා අසලට වැඩි ලොකු හාමුදුරුවෝ කීවේ එසේය. දැඩි විනය මතධාරියෙකු වූ නායක හාමුදුරුවන් ට මා හඬන්නේ බටනලාවක් නැතිව කියා කෙසේ වදාරන්න ද..? කල හැකි එකම දේ මුණිවත රැකීමය.

රාස්සගල මුදුනට ආ විට අපේ විහාරයේ ඉහත්තාව පෙනෙන්නේ ගණිපෙට්ටියක් තරම ට කුඩාවටය.., සිත තුල අධිනිශ්චය වී ඇති දේ ඉන් ඈතට ගොස් පොඩියට දැකීමට මම කුඩා කල පටන් ම ආශා කලෙමි. ඒ පර්යාවලෝකනය නිසාම විහාරය නිසා ඇහිරුන මගේ මේ (උමතු?) ආශාව ඉටුකර ගැනීමට විහාරයට උඩින් ඇති රාස්සගල මට මහ මෙරක් තරම් විය.
මෙයට සති දෙකකට පෙර ගල අසුන මත තබා ගිය නිල් නෙලුම පරවී ගල් ලෑල්ලට ම ඇලී දිරායාමට ආසන්නව මට මුහුණලා තිබේ.., ජීවිතය මේ තරම අසාරද? දෙසතියකට පෙර රුවෙන් දිලුන මේ මල් පොඩිත්ත අද වනවිට දිරා පොලවට දූවිලි වීමට ආසන්න වී ඇත..,

හමා එන සුළඟට නටන සිවුර තුල රුවා ආ බට නලාව මට වද දෙන්නට වූයෙන් එළියට ගෙන පිඹින්නට පටන් ගතිමි.., අප්පච්චී ගේ දඩබ්බර කම ගැන වූ නොනිමෙන වෛරයත්, මාගැන වූ අප්‍රමාන්විත කලකිරීමත්, නෙලුම නිසා මා දුටු ජීවිතේ නිසාර බවත් කැටිකර මම බටනලාව පිඹින්නට ගතිමි.
හිත තුල වූ සොව නොලස ව විටවන්නට වූ නිසාම නලාවේ ස්වරයද ශෝකී විය. කඳුළු වෑස්සෙන්නට විය. හදවත දුකින් බරව තිබේ, පීඩනය අහස උසට ය.., කරකියා ගත හැකි දෙයක් නොවූ තැන වාදනය නැවතූ මා බටනලාව ගෙන අහසට දමා ගැසීමි.
බටනලාව හා මා අතර ඇති පරතර වැඩිවත්ම මා බලා පොරොත්තු වූයේ මා හදවතේ වූ වංක බව තවත් දෙගොඩ තලා යාමකි. පුදුමෙනුත් පුදුමය.., නිල් නෙලුම නිසා මා දුටු ජීවිතයේ නිස්සාර බව මා අත හැර යමින් තිබේ. කුඩා තිතක් වී ඈත කැලයට ඇද වැටුනු බටනලාව නිසා විහාරය ට, මට, ලොකු හාමුදුරුවන්ට, පොඩිනම ට, මොහොතකට හෝ චිත්තවංචා කාරයෙකු වූ මම ඒ පීඩනයෙන් මිදෙන්න ට විය.
මේ හේතු නිසා මාව ශාසනයට භාර කල අප්පච්චී ගැන මා තුල ඊළඟ විනාඩියේදී වූයේ භක්තියෙකි. ඒ මාගේ චිත්තව්‍යාධිය මොහාන්ධකාරය දුරුකර සත්‍යයේ මාර්ගය එළි කරන්න මඟ පෑදූ පුද්ගලයා වීම නිසා ය.

මම රාස්සගල මුදුනින් පහලට බසින්නට ගතිමි. ඒවන විටත් මා සොයමින් මා ඉදිරියට ආ පොඩිනම මා දැක දනියට බරදී  ඇඟ වාරුකර මෙසේ කියන්නට විය.

සේපාලිකා අක්කා කිව්ව බටනලාව එයාගේ තමා කියලා..

බටනලාවක් ඇතිකෙරූ දුර්සිත ගැන මට නැගුනේ අනුකම්පාවකි. නැගුණ සිනහව අව්‍යාජ විය. පොඩි නමගේ අතින් අල්ලාගත් මා පිය නගන්නට වූයේ විහාරය දෙසට ය.

ඒ වනවිටත් සේපාලිකා මඟ බලමින් උන්නේ ඇයට හිමිවන්නට යන බටනලාව ගැනීමේ අභිලාශයෙනි

කවියාගේ පපුවෙන් වෑස්සුනු රුධිරයෙන් ඈ මුව තෙමීයන්නට විය. අවස්ථාව කෙතරම් ජුගුප්සාජනක වුවත් ඈ මුවවට රුහිරු තුල ආත්ම ගත වූයේ කවි සංකල්පනා යැයි සිතාගත් නිසාදෝ ඈ එයට පසු ගෙවුනු පෑ 24ම ගෙව්වේ කවි ලියමින් ය. අන් අඟණක පතාගොස් තමාගේ අතටම හසුවූ සැමියාට එදිරිව නඩු ගොනුකරන්න ට පෙරකදෝරුවෙකු සොයන්න ට උසාවි සංකීර්ණය අසල වටකඩද්දී ආසන්නයෙහි වූ ගම්මාලු ගස යට සාර බුලත් විට විකුණමින් සිටි විටි කරුවා ගේ මුවින් වට කවිදෙපදය නිසා ඕතොමෝ.., නඩුව පසෙකින් තබා  ඔහු හා යහන් ගත වූයේ තමාට ද කවි පබඳින අයුරු කියා දෙන ලෙස බල කරමිනි.
කාමොද්වේශය උත්සන්න වෙත්දී තම දෙපයින් කවියාව තල්ලු කර ඇඳවිට්ටම හේත්තු කරත්.., ඒ සමඟම විසිවූ රක්තවර්ණ මීදුමෙන් ආ මුව තෙමෙන්නට අසුරසැණක් වත් ගියේ නැත. සිවිලිම නැති වහලය දෙස බලාගත් වනම සිටි කවියාගේ අයාගත් මුව අතින් වැසූ ගැහැණිය. හාත්පස නෙත් යොමා බැලුවේ මුව පිස දා ගැනීම ට කුමක් හෝ ඇතිදැයි සොයනු අටියෙනි. ඇඳට ම යාව තිබූ කණප්පුව මත වූ කොළ කැබැල්ල අතට ගත් ම එහි වූ දෙපදයෙන් ගැහැණිය සැලීයන්න ට විය.

" යා දෙක නොරත රත
  සමඟ පෑහීමක් නැත  "

එහි වූයේ කවියා ගම්මාලු ගස යටදී හඬ නගා ගැයූ කවි දෙපදය විය. කවියාව අතින් ඇදගෙන යත්දීත් තමා කියන්න යනදේ මඳක් අසන මෙන් කවියා කල ආයාචනය ගැහැනිය තුළ රැව් පිළි රැව් දෙන්න ට විය.

ප්‍රමාද වැඩිය..,
ඒ වනවිටත් ඈ උමතුවෙන් මෙන් කවි පබඳමින් ගෙවදමා තිබුනේ මේ කිසිත් නොදත් විටි කරුවා ගේ මරණයෙන් පසු උදාවූ තිස්වෙනි හෝරාව විය.

නිදිකුමරිය මගෙන් සිත් අහසට පාර අසනවිට මා ඇය දෙස බලාන හිටියේ විස්මිතවය. නින්ද එකවරම එන නිසාදෝ නින්ද ට අධිගෘහිත දේවතාවිය මා අසලම සිටියත් ඇය අඳුණා ගන්නට මාගේ මතක ශක්තිය මඳ විය. ඒ මායාකාරී බලය හිතවට වැටුන සැනින් මනස ඇල්ෆා තරංග වලින් පිරී යන්නට වූයෙන් මේ දුටු තාත්තාගේ මතය වූයේ මට අරක්කු ඩප්පියක් පෑගී ඇති බවයි.
ඇස් අරින විට මම සිටියේ වෙරළක් අද්දර ය. කෙල්ල මාව විවාහ කර ගන්න අවශ්‍ය නිසා එකතු කරන ලද දෑවැද්ද මා පාමුල යෝගට් වලින් ගොඩ ගසා ඉන් මගේ නම වන ලීෂාන් යන අකුරු හින්දි අකුරින් නිමවමින් සිටියා ය. ඇය මාහා සිනහා වන්නට උත්සාහ කල නමුදු ඈ මුව මට පෙනුනේ කලු අගාධයක් ලෙසය. මේ ගැන අසල ගහක් උඩ බඹුන් වඩන මුවාවෙන් වැටකේ පඳුරු ඇතුළේ ඉන්නා ජෝඩු වල ආලිංගන නරඹමින් සිටි ෆොන්සේකා මහතා ගෙන් මම මේ ගැන විමසූ විට ඔහු කියා සිටියේ තමා විධායක බලය අහෝසි කල පසු මේ සියල්ල ට ම පිළිතුරු ඉබේම ලැබෙන බවයි. වෙලාව සවස 4ට වූ නමුත්, උණුහුම මට සඳ එළියක් සේ සිසිල දෙන්නට විය.  ඒ මම මගෙ මහලු බව පසුකර සදාකාලික තාරුණ්‍යට බට කාලයයි. ඉන්දීය සම්භවයක් ඇති වංශවත් නීග්‍රෝ පරම්පරාවකින් පැවත එන මගේ පෙම්වතිය දකින දකින අය මාහට පැවසූයේ වර්තමානයේ අලුත්ම  විලාසිතාව වන කලු පැහැ සම නිසා මගේ තොරගැනීම 110% ම අනාගතය ඉලක්ක කරගෙන කෙරූවක් බවයි.
හැම පෙම් කතාවට ම අකුල් හලන්නට කවුරුන් හෝ සිටිය යුතු බව පසක් කරවමින් අපෙ විවාහය සඳහා ඇයගේ මවුපාර්ශවය පූර්ණ කැමැත්ත ලබා දෙන්නට විය. එහෙත් මගේ මනාපය මැක්සිකානු ක්‍රමය සඳහා වූ විවාහයක් නිසා මගේ අමීගෝවරු සියල්ලම එකතුවී භෞමිකාගේ නිවස ඉදිරිපිට ට විත් “ගුණේ අයියගේ බජවුදාන කාමරය” ෆෝ ෆෝ තාලයෙන් ගිටාර් හඬ පසුබිමෙ තබමින් ගයන්නට විය.
යසුනරි කවබතගේ ප්‍රකාශයට පත් නොවූ කෙටි කතාවක කොලයක් වන් මගේ පෙම්වතී මට හිමිවූයේ එහි ප්‍රතිඵලයක් ලෙසය. කොට්ටම්බා ගස් යට සිට අඹ ගස වලට කැටපොලේන් කොපමණ විද්දත් හිතයන්නේ ම අසල ඇති කුරුම්බා ගෙඩි වලට ය යන මනස්ගාතය සිහිගන්වමින්. අප ආදරය ට තෙවැන්නෙක් මැදිහත් වීම භෞමිකා සැලකුවේ ආශ්චර්යයක් ලෙස ය. වෘත්තියෙන් බහු ලිංගික විවාහ පිළිබඳ මහාචාර්ය වරියක වූ ඇය ගේ පැණිහඳ බැලීමේ මංගල්‍යය පිළිබඳව වූ තීරණය threesome වූ නිසා මගේ ආලය තරුණියන් අතර awesome පුවතක් ලෙස පැතිරයන්නට විය.  පසුගිය දිනෙක කක්ෂ ගත කරන ලද සාමාවතී2  යානාවෙන් ලංකාවේ භූගෝලීය පිහිටීම පරික්ෂා කරණු ලැබූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ලංකාවේ හැඩය ඩෝනට්ටුවකට සමාන බව  නිවේදන කල නිසා මින් කලබල වූ ජනතාව තීරණය කලේ මෙයට 50% බලපෑමක් භෞමිකාගේ හා මගේ විවාහය නිසා රටට වී ඇති බවයි.
මේ පිළිබඳ බලවත් කණගාටුව ප්‍රකාශ කල මම.., අප දෙදෙනාගේ විවාහය පිටුවහල් වීමකට පරිවර්තනය කරවාගෙන නැවක නැඟී සුලෙයිමාන් දූපත් කරා යාමට තීරණය කලෙමි. එක වරම අවට හාත්පස අඳුරු වන්නට විය. සියොළඟ දහදිය සලමින් මනස තුල උභතෝකෝටිකයක් දමාගෙන කල්පනාකරන්නට වූයේ මේ සුළිය නිසා රටේ දේශපාලන ප්‍රවාහය කුමන අතකට පෙරළේදැයි සැකයෙන් යුතුවය. සුළඟ දැඩිවත්ම මම තදින් භෞමිකාගේ අත පපුවටතද කරගනිමින් දෑස්පියාගත්තෙමි. එහෙත් මගෙන් නිදහස් වූ අත සුළිය දෙසට වන්මින් භෞමිකා වික්ට ගේ හිතමිතුරු සුළඟ ගීතය ගයන්නට වත්ම මහා ජලධාරාවකින් අපව වැසීයන්නට විය.
මම දෑස ඇරියෙමි. නිදිදෙව්දුව තවමත් මා අසලම ය. වෙනසකට ඇත්තේ අම්මා ඇඳ ළඟින් තබාගිය තේ කෝප්පය මා මුහුණේ තවරා ගැනීම පමණි. ටිකකට පෙර මා දිවගට දැනුණු ලෙස මුහුදු ජලය පැණිරසවන්නට ඇත්තේ එනිසා විය යුතුය...!